The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හිමාලයානු දුඹුරු වලසුන් දෙහිවලදී ප්‍රදර්ශනය කිරීමෙන් පලක් තිබේද?

T

The Leader Desk

April 4, 2025 • 7:00 AM

හිමාලයානු දුඹුරු වලසුන් දෙහිවලදී ප්‍රදර්ශනය කිරීමෙන් පලක් තිබේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොවුන්ව මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලද්දේ මසකටත් වැඩි නිරෝධායන කාලසීමාවකින් පසුවය.
  • දිගින් අඩි 7 යි අඟල් දෙකක් පමණ වන මොවුහු සිසිර සමයේ දී ගුහා තුළ දීර්ඝ සිසිර නිද්‍රාවකට වැටෙති.
  • නිවර්තන දේශගුණික තත්ත්වයක් පවතින ලංකාවට ගෙනැවිත් ඇත්තේ එවැනි පරිසර පද්ධතියක් සිය නිජබිම් කරගෙන වාසය කරන සත්ත්ව විශේෂයකි.
  • හිමාලයානු දුඹුරු වලසා මේ පුවත පළ වී ඇති වෙබ් අඩවිවලට ඒවායේ පරිශීලකයන් විසින් දක්වන ලද අදහස්වලින් පෙනී යන්නේ සතුන්ගේ අයිතිවාසිකම් සහ සත්වෝද්‍යාන පිළිබඳ බහුතරයකගේ ආකල්ප මහත් සේ වෙනස්ව ඇති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මොවුන්ව මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලද්දේ මසකටත් වැඩි නිරෝධායන කාලසීමාවකින් පසුවය.

හිමාලයාන දුඹුරු වලසුන්, හිමාලයානු රතු වලසුන් හෝ ඉසබෙලයින් වලසුන් යන නම්වලින් හඳුන්වනු ලබන මොවුහු හිමාලය කඳු වැටියේ අධික උස් බිම්වල වාසය කරති. දිගින් අඩි 7 යි අඟල් දෙකක් පමණ වන මොවුහු සිසිර සමයේ දී ගුහා තුළ දීර්ඝ සිසිර නිද්‍රාවකට වැටෙති. විසිතුරු භාණ්ඩ නිපදවීම සහ ඇඳුම් සඳහා නිය සහ ලොම් ලබා ගැනීම නිසා මොවුහු වඳ වීමේ තර්ජනයකට මුහුණ දී සිටිති. රඩ්යාර්ඩ් කිප්ලිංගේ Jungle Book කෘතියෙහි බාලු නම් වලසාගෙන් නිරූපණය වන්නේ මේ වර්ගයේ වලසෙකි. නිවර්තන දේශගුණික තත්ත්වයක් පවතින ලංකාවට ගෙනැවිත් ඇත්තේ එවැනි පරිසර පද්ධතියක් සිය නිජබිම් කරගෙන වාසය කරන සත්ත්ව විශේෂයකි.

හිමාලයානු දුඹුරු වලසා
මේ පුවත පළ වී ඇති වෙබ් අඩවිවලට ඒවායේ පරිශීලකයන් විසින් දක්වන ලද අදහස්වලින් පෙනී යන්නේ සතුන්ගේ අයිතිවාසිකම් සහ සත්වෝද්‍යාන පිළිබඳ බහුතරයකගේ ආකල්ප මහත් සේ වෙනස්ව ඇති බවකි.

කලකට ඉහත දී නම් මෙවැනි අපූර්ව ආකාරයේ සතෙකු සත්වෝද්‍යානයට රැගෙන ආ විට බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් සතුටාදායක අදහස් දක්වනු දකින්නට හැකි නමුත් දැන් එය එසේ නොවේ. බොහෝ දෙනෙක් මොවුන් මෙරටට රැගෙන ඒම පිළිබඳ අප්‍රසාදය පළකොට ඇති බව පෙනෙන්නට තිබේ. කිසිදු සතෙකු කූඩුවල සිරකොට මිනිසුන්ගේ නැරඹීම පිණිස තැබීම බහුතරයක් අනුමත නොකරන තත්ත්වයකට මේ වන විට පත්ව තිබේ.

සත්වෝද්‍යාන තුළ සතුන් කූඩු කොට මහජනතාවගේ ප්‍රදර්ශනයට තැබීම සම්බන්ධව ධනාත්මක මත පළ කරන්නන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ අප රටේ නොමැති සතුන් සහ ඔවුන්ගේ චර්යාවන් දැක බලා ගැනීමට මේ නිසා අවස්ථාවක් ලැබෙන බවය. නමුත් මේ වන විට එම අදහස් යල් පැන ගොස් තිබේ.

ලෝකයේ බොහෝ රටවල සත්වෝද්‍යාන යනු සතුන් නිදහසේ හැසිරෙන, මිනිසුන් කූඩුවල සිට ඔවුන්ව නරඹන තත්ත්වය දක්වා වෙනස් වී තිබේ. අනෙක සත්වෝද්‍යානයක දී කිසිදා කිසිදු සතකුගේ ස්වාභාවික හැසිරීම් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

WhatsApp Image 2025 04 01 at 12.45.54 PM

සතුන්ට සුපුරුදු පාරිසරික තත්ත්වයක් තුළ නොසිටින තාක් ඔවුන්ගෙන් ස්වාභාවික හැසිරීමක් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. අනෙක මේ වන විට සතුන් වෙනුවෙන්ම කැප වූ රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාල වීඩියෝ සමාජ ජාල තුළින් සතුන්ගේ ස්වාභාවික හැසිරීම් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලැබී තිබේ. එකම වෙනස වන්නේ ඔවුන් සජීවීව දැක ගැනීමට අවස්ථාවක් නොලැබීම පමණි.

එය එසේ වුවත් ඒ හේතුව නිසාම ඔවුන් කූඩු කර ප්‍රදර්ශනය කිරීම සාධාරණීකරණය කළ නොහැක. එය දියුණු මානවීය ලක්ෂණයක් වන්නේ නැත. මිනිසුන් දිනෙන් දින ආකල්පමය වශයෙන් පරිණාමය වන විට මේවා පිළිබඳ අප වඩාත් පුළුල්ව සිතිය යුතු කාලය එලැඹ තිබේ.

අප රටේ නොමැති යම් සතෙකු සත්වෝද්‍යානය තුළින් සජීවීව දැක ගත් පමණින් විශේෂ දෙයක් සිදුවන්නේ නැත. සත්වෝද්‍යානයක දී කිසිදු අයුරකින් කිසිදු සතෙකු අධ්‍යයනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. සත්වෝද්‍යාන පිළිබඳ මෑතක් වන තුරුම ලොව ප්‍රචලිතව පැවතියේ අධ්‍යාපනය ලැබිය හැකි, මිනිසුන්ට සතුන් නිරීක්ෂණය කළ හැකි, සතුන්ගේ එදිනෙදා ක්‍රියකාරකම් ස්වාභාවිකව දැකගත හැකි ස්ථානයක් ලෙසය.

 

1554979811 Z00 L
කෙසේ නමුත් ඒ මතුපිටින් සතුටුදායක සේ පෙනෙන චිත්‍රයට යටින් ආචාර ධර්ම සම්බන්ධ ගැටලු රැසක් සත්වෝද්‍යාන ආශ්‍රිතව දැකිය හැකිය. අප රටේ ද සත්වෝද්‍යානයේ සතුන්ට අමානුෂික ලෙස සලකන ලද අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබිණි. එසේ හෙයින් සත්වෝද්‍යාන මානුෂික ද නැතහොත් අමානුෂික ද යන ගැටලුව මෑතක සිට විවාදයට බඳුන් වී තිබේ.

සත්වෝද්‍යානවලට පක්ෂපාත ලෙස අදහස් දක්වන්නන් පවසන්නේ මේවා තුළින් සතුන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් ඉටු වන බවය. වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින සතුන් සත්වෝද්‍යාන තුළ දී බෝ කිරීමේ වැඩසටහන්, වාසභූමි අහිමි වූ සතුන් සෙවණ සැලසීම් ආදිය මේවා තුළින් සිදුවන බව සැබෑය. සත්වෝද්‍යාන මගින් පවත්වනු ලබන අධ්‍යාපනික වැඩසටහන් තුළින් වනජීවී සංරක්ෂණය පිළිබඳ ජනතාව තුළ යම් වැටහීමක්, මේවා නරඹන්නට පැමිණෙන්නන්ගෙන් ලැබෙන ආදායමින් සතුන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන් දියත් කිරීම ආදිය සිදු වේ.

hima4සිංගප්පූරු සත්වෝද්‍යානයේ තවත් දසුනක් 
කෙසේ නමුත් සතුන්ගේ සැබෑ වාසභූමි යැයි අප දන්නා පාරිසරික තත්ත්වයක් සත්වෝද්‍යානයක් තුළින් කිසිසේත්ම ඇති කළ නොහැකිය. ඔවුන් ජීවත් වන්නේ සීමිත ඉඩකඩක, සිරවුණු, කෘත්‍රිම වශයෙන් සකස් කරන ලද පාරිසරික තත්ත්වයක් තුළය. මෑතක දී රැගෙන ආ හිමාලයානු දුඹුරු වලස් යුවලට ද ලැබෙනු ඇත්තේ කෘත්‍රිමව නිර්මාණය කරන ලද හිමාලයානු පාරිසරික තත්ත්වයකි. මෙවැනි කෘත්‍රිම පරිසරයක දී ඔවුන්ගේ ස්වාභාවික ජීවන රටාවන් දැක ගත නොහැකිය.

තවත් නිදසුනකට කොටියා ගතහොත් ඔවුන් ජීවත් වන ප්‍රදේශ කිලෝමීටර් සිය ගණනක් දක්වා විහිදී පැතිරී තිබිය හැකිය. නමුත් සත්වෝද්‍යානයක් තුළ දී මේ මහා බලගතු සත්ත්වයා ඉතා කුඩා භූමියක් තුළ සිරකරුවකු සේ ජීවත් වෙයි. ඔවුන්ගේ හැසිරීම් සීමිත වන අතර දිනපතා එකම ජීවන රටාවකට අනුගත වීම තුළින් ඔවුන් තුළ zoochosis නම් මානසික තත්ත්වය ඇති වෙයි.

 

සත්වෝද්‍යාන තුළ කූඩු වී සිටින සතුන් එකම මාර්ගයේ රවුමට අඛණ්ඩව ගමන් කිරීම, තමාවම සපා කෑම, කූඩුවේ යකඩ කූරු සපා කෑම, එක දිගට හිස සෙලවීම, මිනිසුන් කෙතරම් අවට සිටිය ද ඒ කිසිවකට හෝ ප්‍රතිචාර නොදැක්වීම වැනි හැසිරීම් රටා පහළ වන්නේ මේ තත්ත්වය හේතුවෙනි.

යකඩ කූඩුවක සිර වී සිටින සිංහයාගෙන් කිසිදා ඔවුන්ගේ දඩයම් චර්යාවන් දකින්නට ලැබෙන්නේ නැත. මේ අනුව බලන කල සත්වෝද්‍යාන යනු වන සතුන් ප්‍රදර්ශනය කරන සංදර්ශනයක් පමණි. මානුෂීය හැඟීම් පහළ වන බොහෝ දෙනෙකු සත්වෝද්‍යාන නැරඹීම පිණිස යාමට කැමැත්තක් නොදක්වන්නේ සතුන් මේවා තුළ සිටින ආකාරය ඔවුන්ගේ සිත් කම්පනයකට ලක් කරන බැවිනි.

hima5සිංගප්පූරු සත්වෝද්‍යානයේ වෙසෙන මේ පැන්ඩාවුන්ට හැකිතාක් සමීප වටපිටාවක් නිර්මාණය කර තිබේ
එසේ හෙයින් විවෘත සත්වෝද්‍යාන සහ වනෝද්‍යාන මෙයට වඩා සිය දහස් ගුණයකින් යහපත්ය. ඒවා තුළ සතුන් නිදහසේ ජීවත් වන අතර ඔවුන්ගේ ස්වාභාවික චර්යාවන් රිසි සේ දැක ගත හැකිය. මෙහිදී නැගිය හැකි එක් තර්කයක් වන්නේ එවිට යම්කිසි රටකට ආවේණික නොවන සතුන් සජීවීව දැක් බලා ගත හැක්කේ කෙසේද යන්නය.

නිදසුනක් ලෙස ගතහොත් හිමාලයානු දුඹුරු වලසුන්ට ශ්‍රී ලංකාව වැනි රටක වනෝද්‍යානයක් තුළ ස්වාභාවික වාසභූමියක් ඇති කළ නොහැකිය. මේ ගැටලුව බොහෝ දියුණු රටවල් ජය ගැනීමට උත්සාහ කරන්නේ ‘සත්‍යාසන්න යථාර්තය සහ ඩිජිටල් අත්දැකීම්’ (Virtual Reality and Digital Experiences) ඔස්සේය. මේ තාක්ෂණය කුළින් ඕනෑම පුද්ගලයකුට එකී සතුන් අතරටම ගොස් ඔවුන්ගේ චර්යාවන් දැක බලා ගැනීමේ හැකියාව ලබා දේ. ඔවුන්ගේ ස්වාභාවික පරිසරයේ ඇති දේශගුණ තත්ත්වය, වටපිටාවේ ශබ්ද වැනි සියලු දේ ස්වාභාවික ලෙසම අත්විඳිය හැකිය.

hima1වනෝද්‍යානයක වන සතුන් නිදහසේ සිටින අතර මිනිසුන් කූඩු වී සිටී

කෙසේ වෙතත් සත්වෝද්‍යාන පිළිබඳ මේ සංවාදමය ගැටලුව තවත් බොහෝ කලක් පවතිනු ඇත. ඒ අතරේ හැකිතාක් සතුන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරය තුළදීම දැකිය හැකි අන්දමේ ව්‍යාපෘති දියත් කළ යුතුය. හිමාලයානු වලසුන්, පෙන්ගුයින්, හිම වලසුන් වැනි සතුන් වෙනත් රටක සත්වෝද්‍යානයක් ලබා දෙන්නේ නම් විශේෂඥ උපදෙස් යටතේ ඔවුනට සිය ස්වාභාවික ජීවන රටාව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඉඩ වෙන් කිරීම කළ යුතුය. මේවා කළ යුත්තේ අන් කිසිවක් නිසා නොව සත්වෝද්‍යාන තුළ සතුන් සිර කර තැබීම මනුෂ්‍යත්වයට නිගාවක් වන නිසාය.


Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...