The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෝදි මෙවර ලංකාවට එන්නේ කච්චතිව්වලටත් හිමිකම් කියාගෙන ද ?

T

The Leader Desk

April 4, 2025 • 10:52 AM

මෝදි මෙවර ලංකාවට එන්නේ කච්චතිව්වලටත් හිමිකම් කියාගෙන ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කච්චතිව් දූපත සම්බන්ධයෙන් සිය යෝජනාවලියක් මධ්‍යම රජය වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
  • තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ 1974 වසරේ ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ඉන්දියාවට ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.
  • එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබුණි.
  • අපගේ ගැමි වහරට අනුව ඇතැමුන් ගේ ඇතැම් වදන් “බෝම්බ”ලෙස හඳුන්වන අවස්ථා තිබේ.ඒ අනුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ එම වදන් කිහිපය ද එසේ හැඳින්වීමට යමකුට පුළුවන.
අකුරු ප්‍රමාණය (Font Size):


කච්චතිව් දූපත සම්බන්ධයෙන් සිය යෝජනාවලියක් මධ්‍යම රජය වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ 1974 වසරේ ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ඉන්දියාවට ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබුණි.

 


අපගේ ගැමි වහරට අනුව ඇතැමුන් ගේ ඇතැම් වදන් “බෝම්බ”ලෙස හඳුන්වන අවස්ථා තිබේ.ඒ අනුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ එම වදන් කිහිපය ද එසේ හැඳින්වීමට යමකුට පුළුවන. නමුදු ඔහු ගෙන් නික්මුණු මේ හඬ අලුත් එකක් සේ අප නොසිතිය යුතු ය. 2013 මැයි 3 වැනි දා ද තමිල්නාඩු ආණ්ඩුව මෙම කරුණ සම්බන්ධ ඒකමතික යෝජනාවක් සම්මත කොට ඇත. ඉන්දීය රජය විසින් 1974දී ශ්‍රී  ලංකාවට පවරා දුන් කච්චතිව්හි පාලනය යළි භාර ගැනීමට ඉන්දීය රජය වහා පියවර ගත යුතු බව එමගින් ඉල්ලා තිබේ.

මේ අතර 1974දී කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද කොංග්‍රස් පක්ෂයට චෝදනා කළ පුවතක් 2023 වසරේ ද විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණ. එහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිවු දූපත සාම්ප්‍රදායිකව දෙරටේ ධීවරයන් විසින් අතීතයේ සිට භාවිත කළ මුත් දේශපාලන අරමුණු පදනම් කරගනිමින් 1974 වසරේ දී ඉන්දු-ලංකා සමුද්‍ර ගිවිසුම යටතේ එම දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස එවකට ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍ය වරිය පිළිගත් බවකි.

මෙවැනි සිදුවීම් මඟින් ඉන්දීය භූමිය කැබලි කිරීමට කොංග්‍රස් පක්ෂය කටයුතු කොට ඇති බව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂයට චෝදනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණ.ඒ අතර කච්චතිවු දූපත යළි ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් තමාට දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බව එහි දී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබීමෙන් මෙම ප්‍රශ්නය ඔඩු දුවමින් පවතින ආකාරය සැකෙවින් දත හැකි ය.

සිරිමා ඉන්දිරා 01ඉන්දු ලංකා සමුද්‍ර ගිවිසුම සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි

කච්චතිව් යනු මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් පමණි. ශ්‍රී ලංකාවට වඩාත් දුරින් ම පිහිටි හා ඉන්දියාවට සමීපතම දූපත වන්නේ ද කච්චතිව් ය. කච්චතිව් දූපතේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමිර් 1.15ක් පමණ ආසන්න ය. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා තිබේ. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතීව් දූපත දක්වා ඇති දුර කිලෝමීටර 24කට ආසන්න වන මුත්, යාපනය සිට කච්චතීව් දූපත දක්වා කිලෝමීටර 64කට ආසන්න දුරක් තිබේ.ඒ අනුව කච්චතිව් භෞමික වශයෙන් ඉන්දියාවට වඩාත් සමීප බව පැහැදිලිව පෙනේ.

ශ්‍රී ලංකාවට මෙන් ම ඉන්දියාවට ද ධීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් හේතුවෙන් ඉතා වැදගත් කච්චතිව් ආගමික වශයෙන් ද ඉතා වැදගත් ය. ධීවර ප්‍රජාවගේ කැපකාර මුනින්ද්‍රයා ලෙස කතෝලික බැතිමතුන් ගෞරවාදරයෙන් අදහන ශාන්ත අන්තෝනි මුනිඳුන් ගේ දේවස්ථානයක් කච්චතිව් හි තිබේ. එහි වාර්ෂික මංගල්‍යය මෙවර ද උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී පැවැත්විණි. ශ්‍රී ලාංකේය හා ඉන්දීය ධීවර ප්‍රජාව එක් ව සහභාගී වන එම වාර්ෂික මංගල්‍යය සඳහා මෙවර ඉන්දීය බැතිමතුන් 3500කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ.

kachchaකච්චතිව් දේවස්ථානයට පැමිණෙන ඉන්දියානු බැතිමතුන්
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන අතර එම වාර්ෂික මංගල්‍යයට එක් වීමෙන් එම සාගර කලාපයේ ධීවර කර්මාන්තයේ යෙදෙන්නවුන්ට ශාන්ත අන්තෝනි මුනිඳුන් ගේ පිහිටාරක්ෂාව හිමි වන බවට දෙරටේ ධීවරයන් අතරම බලවත් විශ්වාසයක් පවතී.

එවන් පසුබිමක  වසරකට දින 02ක් එම දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය සැමරෙන්නේ දෙරටේම ධීවරයින්ගේ සම සහභාගීත්වයෙනි. මෙය කිතුනු ජන වන්දනාව පදනම් කර ගත් ඉතා වැදගත් ආගමික සංහිඳියා ක්‍රියාදාමයකි.

 

Kachchathivu 250324
ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ රදගුරු අති උතුම් ලුර්දු ආනන්දන් රදගුරුතුමා සහ යාපනය රදගුරු පදවියේ අනුනායක අතිගරු පී.ජේ. ජෙබරත්නම් පියතුමා මෙවර කච්චතිව් මංගල්‍ය දිව්‍ය පූජා යාගයේ ප්‍රධානත්වය ගත් බව පැවසෙයි. එසේම එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරල් කාංචන බානගොඩ සහ යාපනයේ ඉන්දීය කොන්සියුලර් ජනරාල් ශ්‍රී සායි මුරලි ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටි බව ද පැවසෙයි.මෙවරත් කච්චතිව් මංගල්‍යයේ සියලු කටයුතු සිදුකෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙනි.

කච්චතිව් දූපතේ අයිතිය මුල්කරගනිමින් අතීතයේ නොයෙක් යුග වල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන මත ගැටුම් පවා නිර්මාණය වී තිබේ.නමුත්, 1974 දී කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ දෙරටේම ධීවරයින්ට එය භාවිත කිරීම සම්බන්ධයෙන් කොන්දේසි ද පනවමිනි.

modමෝදි කච්චතිව් පිළිබඳ අවධානයෙන් පසුවන බව පැවසෙන කාටූනයක්

1960 වසරේ බලයට පත් ලොව ප්‍රථම අග්‍රාමාත්‍ය වරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක හා 1966 වසරේ බලයට පත් ඉන්දීය අග්‍රාමාත්‍ය වරිය වූ ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියක් ද වෙයි. එය අදටත් ඇතැමුන් “හැත්තෑ හය වසරක ශාපය” ලෙස ව්‍යාජ හංවඩුවක් තබා ඇති යුගය තුළින් මතුවන දහසකුත් එකක් සාධනීය සංසිද්ධීන් වලින් එකකි.

756
එම ගිවිසුමට අනුව කච්චතිව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් වන බව සඳහන් වෙයි.මෙම ගිවිසුම මඟින් ඉස්මතු වනුයේ එතෙක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කල් ඇදෙමින් තිබූ සාගර සීමා අර්බුදය නිමා කිරීම බව පෙනේ. . කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ද ඉන්දීය නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අතර, සාකච්ජාවක් පවත්වා තිබුණි.

එහිදී ඉන්දීය නියෝජිතයින් සඳහන් කර තිබුණේ, කච්චතිව් දූපත බ්‍රිතාන්‍ය පාලන සමයේ රාමන්ඩි පාලකයෙකු යටතේ පැවති බව ය.එහිදී ඊට එකඟ නොවූ ශ්‍රී ලංකා නියෝජිතයින් පවසා ඇත්තේ, කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව තිබු බවට කිසිදු සාක්ෂියක් නොතිබූ බවකි.

17කච්චතිව් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය
ලන්දේසි යුගයේ දී කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බව සඳහන් ව තිබූ අතර 1860 වසරේ ශ්‍රීමත් එම්‍රසන් ටෙනන්ට් ලියා ඇති ග්‍රන්ථයක ( Ceylon Vol 1 )ද කච්චතිව් ශ්‍රී ලංකාව සතු බව දක්වා තිබේ.එමෙන්ම 1951 දී මිනින්දෝරු වෘත්තියේ යෙදී සිටි ආර්.එල්. බ්‍රෝහියර් සූරීන් ජේ.එච්. ඌ පවුලිස් සමඟ සම්පාදනය කළ සිතියම් එකතුවක (Land maps and surveys ) ද කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා තිබේ.

1974 දී අත්සන් කළ ගිවිසුම අනුව කච්චතිව් දූපත ආශ්‍රිත ධීවර කටයුතු හා කච්චතීව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් වූ ගැටලු හේතුවෙන් එදා සිට මේ දක්වා ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් අතර ගැටුම් පවතී.ඒ අතර 1976 වසරේ ඉන්දු – ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි කොට තිබේ.ඒ මුහුදු සීමා පදනම් කර ගනිමිනි.ඉන්දියාවේ තමිල්නාඩු ජනතාවට කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා දිය යුතු බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කරනුයේ එම ඓතිහාසික මූලයේ සිට ය.

 

xdfgdg
මේ අතර කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති නිසා ඉන්දියාව ආසන්නයේම පිහිටි ඒ සාගර කලාපය ගැන චීනයේ අවධානය යොමු වීම ද ඉන්දියාවේ බරපතල නොරිස්සුමට ලක් ව තිබේ. එමඟින් භූ දේශපාලනික බලපෑමක් සිදුවීමේ පහසු හැකියාව මත ඉන්දියාව ඒ ගැන උනන්දු වීම ඉතා ස්වභාවික ය.

ඉකුත් යුද සමයේ ධීවර කටයුතු නොකෙරුණු මෙම සාගර කලාපයේ මත්ස්‍ය සම්පත බහුලව පවතී. එය ශ්‍රී ලාංකේය ධීවර ප්‍රජාවට ඉමහත් වාසියකි. නමුත් මෙම සාගර කලාපයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ශ්‍රී ලාංකේය ධීවරයන් ට ඉන්දීය ධීවරයන් ගේ “චණ්ඩි පාට්” බැලීමට සිදුවීමත් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් අත් අඩංගුවට ගැනීමත් සුලබ සිදුවීම් බවට පත්ව තිබේ.

ඊට අමතරව කච්චතිව් දූපත ආසන්නයේ ගෑස් නිධියක් පිහිටා ඇති බව ද අනාවරණය වී තිබේ. ඒ අතර කච්චතිව් දූපත ඉන්දියාවට අයත් වුවහොත්, ශ්‍රී ලංකාවට අයත් වන පර්යේෂණ සාගර කලාපයේ වපසරිය අඩු වනු ඇත.කෙසේ වෙතත්, කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීම පහසු කටයුත්තක් නොවන බව ඇතැම් ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.ඔවුන් පවසනුයේ එය සිදු කිරීමේ පහසුම මඟ නැවත ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමක් ඇති කර ගැනීම පමණි.

akd modi 250404
මේ අතර අද (04) සිට 06 දක්වා යෙදී ඇති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් උදා කරනු ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් කොළඹ දී ඉන්දියාවේ පළ වන “ද හින්දු” පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රීනිවාසන් සමඟ ප්‍රකාශ කොට තිබේ. ඔහු එහි දී සඳහන් කොට ඇත්තේ ඉන්දීය අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී අත්සන් කිරීමට නියමිත ප්‍රධාන ගිවිසුම් මඟින් ඉන්දු-ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ නව වෙනසක් ඇති කරන බව ය.

එහෙත්, මෙම වෙනස කච්චතිව් දූපතට අදාල එකක් නොවනු ඇති බව අප ගේ විශ්වාසයයි. එසේ වුවහොත් එය “එලොව ගිහින් මෙලොව ආවා” කතාවේ කලු අප්පු රාලහාමි නාඳුනන හිඟන්නට තම අශ්වයා රැගෙන යාමට ඉඩ හැරීමක් බඳු සිදුවීමක්ම වනු ඇත.

Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)


උපුටා ගැනීම - vinivida

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෝදි මෙවර ලංකාවට එන්නේ කච්චතිව්වලටත් හිමිකම් කියාගෙන ද ? | The Leader