The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වීදිය බණ්ඩාර ගේ යක්ෂාත්මය 'බොඩි ගාඩ්' කමට අරගෙන

T

The Leader Desk

April 6, 2025 • 5:59 AM

වීදිය බණ්ඩාර ගේ යක්ෂාත්මය 'බොඩි ගාඩ්' කමට අරගෙන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලුතර දිස්ත්‍රික්කයේ ධනවත් ව්‍යාපාරිකයෙකුට මීට වසර කිහිපයකට පෙරදිගින් දිගටම සතුරු කරදර එල්ල විය.
  • හොයලා බලනකොට කාරණේ සම්පූර්ණ ඇත්ත.
  • ‘‘හොඳයි ඔයාලා කොහොමද ඔය කියන දේ ඔය විදියටම කරනවා කියලා ඔප්පු කරන්නේ?’’ සිතට පිවිසි අන්දමන්ද බව නිසා ඒ ව්‍යාපාරිකයා ඇසීය.
  • කමක් නෑ අන්තිම ලක්ෂ පහක් දෙන්නකෝ.
අකුරු ප්‍රමාණය (Font Size):

කලුතර දිස්ත්‍රික්කයේ ධනවත් ව්‍යාපාරිකයෙකුට මීට වසර කිහිපයකට පෙරදිගින් දිගටම සතුරු කරදර එල්ල විය.


ඊට හේතුව කලක් ඔහු සමඟ නීති විරෝධී ජාවාරම් කිහිපයකට සම්බන්ධ වූ පිරිසක් පසුව ඒ ව්‍යාපාරිකයා ඒවායින් ඉවත් ව සාමාන්‍ය ව්‍යාපාර ක්ෂෙත්‍රයට පසු නිරන්තරයෙන් ඔහු ගෙන් කප්පම් ඉල්ලා සිටීමයි.

ඒ පිරිස ඊට පසුව ද නීති විරෝධී ජාවාරම් වල යෙදුණු අතර ඔවුන්ගේ එම අයථා බලපෑම් නීතිය හමුවට ගෙන ඒමට ද එම ව්‍යාපාරිකයා බිය විය.ඒ එමඟින් තම අතීත අඳුරු සෙවනැලි ඉස්මතු විය හැකි නිසා ය.

ඔය අතරේ එක්තරා දිනයෙක මෙම ව්‍යාපාරිකයා හමුවීමට වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණයන් දෙදෙනෙක් පැමිණියහ.

 

‘‘අපි මේ සර්ව හම්බුවෙන්න ආවේ බොහොම වැදගත් රහසිගත වැඩකට. සර්ට මේ දවස්වල සතුරු කරදර එහෙම තියෙනවා නම් අපිට පුළුවන් සර්ගේ ආරක්ෂාවට වීදිය බණ්ඩාරව බන්දවලා දෙන්න. ඒ වැඩේ කරගත්තොත් සර්ට ඉන්න ඔය හතුරන්ව දූවිලි වගේ පිඹලා අයින් කරන්න පුළුවන්.’’ ඉන් එක් තරුණයෙක් කීය.

86970456 201860007834775 6057702675498139648 n

කෝට්ටේ රාජධානි සමයේ සිටි ප්‍රබලතම සටන්කාමියෙකු වූ ‘කෝට්ටේ ව්‍යාඝ්‍රයා’ නමින් හැඳින් වූ වීදිය බණ්ඩාර පිළිබඳව එම ව්‍යාපාරිකයා ද යම් යම් දේ අසා දැන තිබිණි. එහෙත්, මෙම තරුණයන් පවසන කතාවේ අගක් මුලක් වටහා ගන්නට ඔහු අසමත් විය.

‘‘සර් දන්නවනේ මාකෙලි ඇල්ල. ලත්පඳුරෙන් මෝල්කාව පැත්තට යනකොට තියෙන්නේ. ඔය කියන වීදිය බණ්ඩාර කාලයක් පෘතුගීසින්ගෙනුයි ටිකිරි කුමාරයාගෙනුයි බේරෙන්න ඔය මාකෙලි ඇල්ල පාමුල හැංගිලා සටන් පුහුණු කඳවුරක් කරගෙන ගිහින් තියෙනවා. පස්සේ වීදිය බණ්ඩාර යාපනේදී මැරුණට පස්සේ එයා නපුරු දේවතාවෙක් ඒ කියන්නේ යක්ෂාත්මයක් විදියට අදත් ඔය මාකෙලි ඇල්ල වටේ සැරිසරනවා කියලා ගුප්ත සංනිවේදනයකින් අපිට දැනගන්න ලැබුණා. හොයලා බලනකොට කාරණේ සම්පූර්ණ ඇත්ත. හැබැයි සර් අපිට පුළුවන් ඉතාම සියුම් විදියට වීදිය බණ්ඩාරගේ ආත්මය දමනය කරලා ඒ බලය ජීවම් කරපු සුරේකට දාලා දෙන්න. එතකොට ඉතින් සර්ගේ බොඩිගාඩ් හැටියට වීදිය බණ්ඩාරව ළඟ තියාගත්තා වගේ තමයි.’’ ඉන් එක් තරුණයෙකු කීයේ එම ව්‍යාපාරිකයාගේ දෙනෙත් නළලේ හිඳුවමිනි.

‘‘හොඳයි ඔයාලා කොහොමද ඔය කියන දේ ඔය විදියටම කරනවා කියලා ඔප්පු කරන්නේ?’’ සිතට පිවිසි අන්දමන්ද බව නිසා ඒ ව්‍යාපාරිකයා ඇසීය.

 

66037334 1052148091649995 5765645178543013888 n

‘‘ඒක සිම්පල් වැඩක් සර්. මේ වැඩේ කෙරෙනකොට සර්ට නියමෙටම තේරෙනවා දැන් වැඩේ හරියටම හරි කියලා. හැබැයි සර් මේ වැඩේ කරගත්තොත් ඉතින් ජීවිත කාලෙටම සර්ගේ ආරක්ෂාව සියයට දාහක් සහතිකයි.’’ එසේ කී තරුණයා අනතුරුව, ‘‘හැබැයි සර් මේ වැඩේට වැඩිපුර සල්ලි ටිකක් නම් යනවා.’’ යැයි කීයේ තම ස්වරය බාල කරමිනි.

‘‘කීයක් විතරද? රුපියල් විසි තිස් දාහක්?’’ ශූර ව්‍යාපාරිකයාද එසැණින් ඇසීය. එවිට එම තරුණයා උපහාසාත්මකව සිනාසී ඉවත බලාගත්තේ එවැන්නක් පැවසීමට තබා සිතීමටවත් එපා යන්න එම ව්‍යාපාරිකයාට අඟවමිනි.

 

පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ : අස්වැසුම මුදල් ගෙවීම අද සිට
‘‘මේක සර් අපි දෙන්නගෙම ජීවිතත් මාරයාගේ කට ළඟ තියලා කරන වැඩක්. බැරිවෙලාවත් වීදිය බණ්ඩාර දේවතාවා බන්දවා ගන්න හදනකොට අපිට පහර දුන්නොත් අපේ අලු දූවිලිවත් ඉතුරුවෙන්නේ නෑ. ඒත්, දේවතාවා බන්දවලා ගත්තාට පස්සේ සර්ට කිසිම හානියක් නෑ. ඒක හරියට සැරයක් පත්තු කරපු ගිනිකූරක් ආයෙමත් පත්තු කරන්න බෑ වගේ දෙයක්.’’ යැයි කී තරුණයා, ‘‘හැබැයි සර් මේ වැඩේට අපිට රුපියල් ලක්ෂ දහයක්වත් ඕනේ. කමක් නෑ අන්තිම ලක්ෂ පහක් දෙන්නකෝ. හැබැයි සුරේ නම් සර්ට තමන්ගේ වියදමින් හදා ගන්න වෙනවා’’ යැයි කීයේ තම කටහඬ බාල කරමිනි.

මෙම තරුණයන් දෙදෙනාගේ පෙනුම, කතාබහ, හැසිරීම් අනුව පෙනී යන්නේ ඔවුන් රස්තියාදු කාරයන් නොව ඉතා හොඳ අධ්‍යාපනයක් සේම විවිධ කරුණු සම්බන්ධ මනා දැනුමක් ඇත්තවුන් ලෙසිනි. එමෙන්ම රුපියල් ලක්ෂ පහක් වියදම් කොට තම ජීවිතයට පූර්ණ ගුප්ත රක්ෂණාවරණයක් ලබාගැනීමට ඇති අවස්ථාවද පැහැර හැරිය යුත්තක් නොවන බව එම ව්‍යාපාරිකයාට වැටහිණි.

ඒ අනුව කෝට්ටේ ව්‍යාඝ්‍රයා, වීදිය බණ්ඩාර යක්ෂයා හෙවත් දේවතාවා දමනය කොට ඔහුගේ බලය සුරයකට දමා ඒ ව්‍යාපාරිකයාගේ ගෙලෙහි එල්ලීම දක්වා වන ගුප්ත ක්‍රියාන්විතය ඒ තරුණයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් අරඹන ලදි.

 

makeli ella

මාකෙලි ඇල්ල

 

කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුවලතැන්න ග්‍රාමයේ පිහිටි මාකෙලි ඇල්ල හා වීදිය බණ්ඩාර සම්බන්ධ ජන කතා කිහිපයක් ද තිබේ.

විශේෂයෙන් ඔහු පෘතුගීසින්ගෙන් සහ පසුව සීතාවක රාජසිංහ නමින් රජ බවට පත් ටිකිරි බණ්ඩාර හෙවත් ටිකිරි කුමාරයාගෙන් බේරීම පිණිස ඒ ආසන්නයේ ඇති ‘පැළෑඳ නුවර’ තෝරාගත් බව රාජාවලිය ඇතුළු ඓතිහාසික මුලාශ්‍ර රැසක තිබේ. එමෙන්ම වීදිය බණ්ඩාර මාකෙලි ඇල්ල සමීපයේ යක්ෂාත්මයක් ලබා ඇති බවටද එම ප්‍රදේශයේ පැරණි ගැමියන් අතර විශ්වාසයක් තිබී ඇත. මෙම ව්‍යාපාරිකයාගේ ආරක්ෂාව පිණිස වීදිය බණ්ඩාරගේ යක්ෂාත්මය බන්දවා දිය හැකි බවට එම තරුණයන් දෙදෙනා කළ ප්‍රකාශය එම ඓතිහාසික සහ ජනශ්‍රැති පදනමට අතිශයින් සමාන්තර ය.

ඉහත සඳහන් ගුප්ත ක්‍රියාන්විතය සඳහා එම ව්‍යාපාරිකයා විසින්ම තෝරාදෙන ලද සමාජාවබෝධය තරමක් අඩු මතුගම ප්‍රදේශයේ තරුණයෙකු තෝරාගැනිණ. පසුව ඊට සතියකට පමණ පෙර සිට ඒ යක්ෂ බන්ධනය කරන තරුණයන් දෙදෙනා ඒ තරුණයා මුල්කොට කිසියම් පූජා චාරිත්‍ර කිහිපයක් සිදුකළ බව පැවසෙයි. පසුව එම තරුණයන් හට අඳුනකින් පැවසුණු බව කියන එක්තරා දිනයක මැදියම් රැයේ එම ව්‍යාපාරිකයාත්, තරුණයන් තිදෙනාත් මාකෙලි ඇල්ල සමීපයට ගොස් තිබේ.

k689

 

එහිදී එම තරුණයන් දෙදෙනා විසින් මාරුවෙන් මාරුවට මතුගම ප්‍රදේශයේ තරුණයාට නොයෙක් යන්ත්‍ර මන්ත්‍ර ජීවම් කරමින් සිටින අතරේ ඒ මතුගම තරුණයා මහ හඬින් හූ කියාගෙන මාකෙලි ඇල්ල ඉදිරියේ වූ ගල්තලාව මත සිහි විසඥව ඇද වැටී තිබේ.


ඒ මොහොතේ වහා ඉදිරිපත් වූ තරුණයන් දෙදෙනා වීදිය බණ්ඩාරගේ යක්ෂාත්මයේ බලය තමන් සතු කරගන්නා බව ඇඟවෙන යම් යම් ක්‍රියා සිදුකොට ඇති අතර, හරියටම ඊට දින හතකට පසු එලෙස වීදිය බණ්ඩාරගේ යක්ෂාත්මයේ බලය කැටි කළ සුරය ඒ ව්‍යාපාරිකයාගේ ගෙලෙහි බන්දවා ඇත. ඒ රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගනිමිනි. මෙය මීට වසර ගණනාවකට පෙර සිදු වූවක් වන අතර අද එම මුදලේ අගය කිහිප ගුණයකින් ඉහළ නැංවී තිබිය යුතු ය.

සැබැවින්ම මෙහි කිනම් හෝ සත්‍ය පදනමක් තිබේද? යන්න මට ඒ තොරතුර ලබා දුන් හිතවතා ද මගෙන් ඇසීය. ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ සරල මනෝ විද්‍යාත්මක ඇස්බැන්දුමකි. මාකෙලි ඇල්ල හා බැඳුණු වීදිය බණ්ඩාර පුරාවෘත්තය සේම එම ව්‍යාපාරිකයාට එල්වී ඇති ජාවාරම්කාර තර්ජන පිළිබඳව අසා දැනගත් මෙම තරුණයන් දෙදෙනා ඒ සිදුවීම් ‘එකට ගැටගසා’ මෙම යක්ෂ බන්ධනය සිදුකොට තිබේ.

 

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකි ද? - (තිලක් සේනාසිංහ)

මෙහි දී ඔවුන් යොදාගෙන ඇත්තේ ව්‍යංගය හෙවත් මානසික ඇණවුම (Suggestion) යන මනෝමය සාධකය පමණි. විවිධ පුද්ගල පෞරුෂ ස්වභාවයන් අනුව කිනම් හෝ ගුප්ත විශ්වාසයක් මුල්කොට සිදුකරන මානසික කුළුගැන්වීම්වලදී යමෙකු ආරූඪයකට පත්වීමේ (Possession) හැකියාවක් පවතී. මෙහිදී වීදිය බණ්ඩාර පිළිබඳ පුරාවෘත්තය මනැසේ දැඩිව ධාරණය කරගෙන සිටි මතුගම තරුණයා ඒ මානසික කුළුගැන්වීමේ උච්ඡතම අවස්ථාවේදී වීදිය බණ්ඩාරගේ යක්ෂාත්මය තමන් හට ආරෝපණය වූ බව පරම විශ්වාසය කරගනිමින් ආවේශයට, පරලයකට පත්වූ බව නිසැකය.

අප රටේ බලි, තොවිල්, ශාන්තිකර්ම සම්බන්ධයෙන් ද මෙවන් නොවිධිමත් මනෝ චිකිත්සාමය පදනමක් තිබේ. මෙම තරුණයන් දෙදෙනාද තමන්ගේ පරිකල්පන හා නිර්මාණ ශක්තිය යොදා නවතම මාදිලියේ තොවිලයක් නිර්මාණය කළ බව මගේ පෞද්ගලික වැටහීමයි.බොහෝ දුරට ඔවුන් ඉතිහාසය හදාරන හෝ හැදැරූ හා සීතාවක රාජධානී සමය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන හෝ සිදු කළ සරසවි අධ්‍යාපනයට සම්බන්ධ වූවන් විය හැකිය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...