The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : අලුත් අවුරුද්දට අලුත් බැංකුවක්

T

The Leader Desk

April 6, 2025 • 10:35 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : අලුත් අවුරුද්දට අලුත් බැංකුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “උකස් කළ ඔබේ රන් භාණ්ඩ බේරාගැනීමට නොහැකිව ළත වෙනවාද?
  • පහත අංකයට අප අමතන්න.” උකස් කිරීමේ වෙළෙඳමය පැත්ත පසෙකින් තැබූ විට එහි ඇති ශෝකජනක ස්වරූපය ඉහත කියූ දෙයින් වටහාගත හැකිය.
  • පසුව හෙළි වූයේ ඔහු චිත්‍රපටය නැරැඹීම සඳහා පුද්ගලික රෝහලකට ලේ විකුණා මුදල් සොයාගෙන තිබූ බවය.
  • රසිකයෝ ඇතැම් චිත්‍රපට නරඹා පිටතට එන්නේ ලේ කෝප වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

“උකස් කළ ඔබේ රන් භාණ්ඩ බේරාගැනීමට නොහැකිව ළත වෙනවාද?
එසේ නම් අපි උදව් කරන්නම්. පහත අංකයට අප අමතන්න.”

උකස් කිරීමේ වෙළෙඳමය පැත්ත පසෙකින් තැබූ විට එහි ඇති ශෝකජනක ස්වරූපය ඉහත කියූ දෙයින් වටහාගත හැකිය.

 

16195150 381126712245789 2122669895080327232 n large“බැංකු වීරයා”
“බැංකු වීරයා” නාට්‍යයේ එන බැංකු කොල්ලකරුවා එක් අවස්ථාවකදී මෙසේ කියයි.

“සල්ලි ප්‍රශ්න එනකොට අතපය පවා විකුණන්න හිතෙනවා.”

වකුගඩු විකුණන්නේත්, ලේ විකුණන්නේත් එවැනි අසරණයන්ය.

 

2171 blood donation

ඉන්දියාවේ ප්‍රධාන ආගම හින්දුය. දෙක, ක්‍රිකට්ය. තුන, සිනමාවය. දිල්ලියේ චිත්‍රපට ශාලාවක් ඉදිරිපස පෝලිමේ සිටියෙක් ක්ලාන්ත වී බිම වැටුණි. පසුව හෙළි වූයේ ඔහු චිත්‍රපටය නැරැඹීම සඳහා පුද්ගලික රෝහලකට ලේ විකුණා මුදල් සොයාගෙන තිබූ බවය. පුදුමය වන්නේ එයම නොවේ. ඒ වන විට ඔහු එම චිත්‍රපටය දහ දොළොස් වතාවක් නරඹා තිබීමය. සිරි ලංකාවේ සිදුවන්නේ මෙහි අනික් පැත්තය. රසිකයෝ ඇතැම් චිත්‍රපට නරඹා පිටතට එන්නේ ලේ කෝප වීය. කලකට ඉහත නම් පුටු මකුණන්ටද ලේ බෝතලයක් දෙකක් පරිත්‍යාග කිරීමට සිදුව තිබුණි. කොට කලිසම් අඳින කාලයේ ගැලරි බැංකුවල හිඳ, මකුණන් කෑ තැන් කසමින් වීරයන්ට විසිල් ගැසූ සැටි මට තවම මතකය.

kidney disease treatment

 

වකුගඩු වෙළෙඳාම ද ඉන්දියාවේ නිතර අසන්නට ලැබෙන දෙයකි. (ඇතැම්විට සිරි ලංකාවේද සිදුවෙයි.)

මිනිසකුට විකිණිය හැක්කේ එක වකුගඩුවක් වුවද, ඉන්දියාවේ සමහරු රෝහල් දෙක තුනකම ලියාපදිංචි වෙති. අවශ්‍යතා ඇති රෝගීන්ගෙන් අත්තිකාරම් මුදල් ද ලබති. ඒවාට උදව් කරන “කිඩ්නි ඒජන්ට්ස්”ලා ද සිටිති.

භයානක කාරණය වන්නේ මිනිසුන් පැහැරගෙන ගොස් සිහිසුන් කොට වකුගඩු සොරා ගැනීමය. වකුගඩු පමණක් නොව, වෙනත් ඉන්ද්‍රියන්ද මෙසේ ඉවත් කරගන්නා අවස්ථා ඇත. ඒවා “බොඩි පාට්ස් බිස්නස්” ය. ඉන්දියාවේ රික්ෂෝකාරයෙක්, කිඩ්නි බිස්නස් කරන “වෛද්‍ය මධ්‍යස්ථානයක”ට ගොස් තම වකුගඩුවක් ලබා දිය හැකි බව කීය. එහෙත් මූලික පරීක්ෂණයේදී පෙනී ගියේ ඒ වන විටත් ඔහු තම වකුගඩුවක් විකුණා තිබූ බවය.

“තමුසෙ එක වකුගඩුවක් විකුණලනෙ තියෙන්නෙ.” වෛද්‍ය මධ්‍යස්ථානයේ බාරකරුවා (තැරැව්කරුවා) අමනාපයෙන් මෙන් කීය.

 

kidney india
“ඔව් සෑර්... අනික් එකත් විකුණන්නයි මං ආවෙ.”

රික්ෂෝකරුවා බයාදු ලෙස කීය.

“එතකොට තමුසෙට? තමුසෙට වකුගඩුවක් නැතුව ජීවත් වෙන්ඩ පුළුවන්යැ?”

“ඒකට කමක් නෑ සෑර්. ගමේ කඩේ මුදලාලි කිව්වා අද හිඟ මුදල් ගෙව්වෙ නැත්තං මගේ රික්ෂෝ එක උස්සං යනව කියල. මට වකුගඩුවට වඩා රික්ෂෝව වටිනවා සෑර්.”

සිනාවත්, කඳුළත් මුසු වූ මෙවැනි වකුගඩු කතා ඉන්දියාවේ බහුලය.

nirmala sitaramනිර්මලා සීතාරාම්

 

ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් එක් අවස්ථාවක මෙබඳු ප්‍රකාශයක් කර තිබුණි.

“අපේ රටේ මිනිස්සු අයිෆෝන් ගන්නත්, වකුගඩු විකුණපු කාලයක් තිබුණා. දැන් එහෙම ඕනෙ නෑ. මිනිස්සුන්ට සල්ලි දීල ෆෝන් ගන්න ශක්තියක් තියෙනවා.”

එහි සැබෑ, බොරු කෙසේ වෙතත් දුරකථන සමාගම් නම් ඇමැතිතුමියගේ ප්‍රකාශයෙන් ඇති තරම් වැඩ ගත්තේය. අන්තිමේදී එය “ටෙලිෆෝන් ඇඩ්” එකක් බවටම පත්වුණි!

ඉන්දියාව අවතක්සේරු කළ යුතු නැත. එය ලෝකයේ පස්වැනි බලගතුම ආර්ථිකය ඇති රටයි.

 

අගමැති මෝදි ද සිරි ලංකාවට සැපත් විය. සමාජ මාධ්‍යකාරයන්ට එය ද විහිළුවකි.

එක් අයෙක් සඳහන් කර ඇති අන්දමට මෝදි ලංකාවට එන්නේ දූපතකුත් අයිති කරගෙන යාමටය. තවත් අයකුට අනුව ශුක්‍ර ධාතු බැංකුව විවෘත කිරීමටය. (ඊට දායකවීමට ඔහුගේ අදහසක් නැත.)

mod
කාටූන්කාරයකුට සුදුසු කතාවකින් මෙවර පෙර-අවුරුදු කොලම නිමා කරමි. කාර්යාල සහායක රොබින් බැංකුවට ගොස් ඒමට ෂෝට් ලීව් එකක් ඉල්ලුවේය.

“ඒ මොකටද? මේ හදිස්සියෙ?” ප්‍රධානියා ඇසීය.

“අවුරුද්දට සල්ලි ටිකක් හොයාගන්න.”

“මොන බැංකුවටද යන්නෙ, බඩු උකස් කරන්ඩද හදන්නෙ?”

“නෑ සර්. ශුක්‍ර ධාතු බැංකුවට. අපේ වයිෆ්ටත් කිව්වා, පෝලිමට ඇවිත් ඉන්ඩ කියලා.”

රොබින්ට වෛද්‍ය තාක්ෂණයට වඩා වයිෆ් ෂුවර්ය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජනතා අධිකරණයක් ළඟදීම(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...