The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්

T

The Leader Desk

April 6, 2025 • 2:40 PM

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ දැඩි අවධානයකට ලක් වූ අතර මෙය උපායශීලී, ආර්ථික වශයෙන් සහ කලාපීය වශයෙන් වැදගත් සංචාරයක් බව සඳහන් කර තිබෙන දකින්නට හැකි විය.
  • මෙය හුදෙක් උත්සවශ්‍රීයෙන් යුක්ත රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට මෙන්ම දකුණු ආසියාව තුළ බලය විදහා දැක්වීමේ උපායශීලීත්වයක් ද පෙන්නුම් කරන බව බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ අදහස විය.
  • ශ්‍රී ලංකාව තුළ චීනය සිය සලකුණු සටහන් කරමින් යන අතරවාරයේ මෝදියේ සංචාරය තුළින් සංකේතවත් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැපවීම පෙන්වා දීමේ අවස්ථාවක් බව The Guardian, Al Jazeera, The Washington Post සහ The Straits Times වැනි ජාත්‍යන්තර මාධ්‍ය උදක්ම විස්තර කර තිබුණි.
  • The Guardian පුවත්පත මේ සංචාරය විස්තර කර තිබුණේ චීනයේ ඉන්දීය සාගරය නම් චෙස් පුවරුව මත සතුරාගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම සඳහා ඉන්දියාව විසින් උපායශීලීව ඉත්තන් මෙහෙයවීමකට සමාන දෙයක් බවය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ දැඩි අවධානයකට ලක් වූ අතර මෙය උපායශීලී, ආර්ථික වශයෙන් සහ කලාපීය වශයෙන් වැදගත් සංචාරයක් බව සඳහන් කර තිබෙන දකින්නට හැකි විය.

මෙය හුදෙක් උත්සවශ්‍රීයෙන් යුක්ත රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට මෙන්ම දකුණු ආසියාව තුළ බලය විදහා දැක්වීමේ උපායශීලීත්වයක් ද පෙන්නුම් කරන බව බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ අදහස විය.
 
modi lk visit 1
ශ්‍රී ලංකාව තුළ චීනය සිය සලකුණු සටහන් කරමින් යන අතරවාරයේ මෝදියේ සංචාරය තුළින් සංකේතවත් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැපවීම පෙන්වා දීමේ අවස්ථාවක් බව The Guardian, Al Jazeera, The Washington Post සහ The Straits Times වැනි ජාත්‍යන්තර මාධ්‍ය උදක්ම විස්තර කර තිබුණි.
 aljazeera1
 
The Guardian පුවත්පත මේ සංචාරය විස්තර කර තිබුණේ චීනයේ ඉන්දීය සාගරය නම් චෙස් පුවරුව මත සතුරාගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම සඳහා ඉන්දියාව විසින් උපායශීලීව ඉත්තන් මෙහෙයවීමකට සමාන දෙයක් බවය. විශේෂයෙන් සමුද්‍ර සබඳතා සහ අපරව්‍යුහ පහසුකම් ඇති කිරීම සම්බන්ධව බීජිං රජයට සිදු කළ උපායශීලී කෙනිත්තීමක් බව එම පුවත්පත සඳහන් කර තිබුණි.

Al Jazeera පුවත් සේවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දකින්නේ අසල්වැසියාගේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකත්වය පෙන්වීමේ උත්සාහයක් බවය. මෙය හුදෙක් ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් සිදු කළ සංචාරයක් නොව සංස්කෘතික සහ ආගමික රාජ්‍ය තාන්ත්‍රිකමය සංචාරයක් ද වන බව එය සඳහන් කර තිබුණි. බෞද්ධ පුදබිම් වැඳ පුදා ගැනීම සහ ආගමික උත්සවවලට සහභාගී වීම තුළින් ඉන්දීය අගමැතිවරයා දෙරට අතර වූ දිගු කාලීන, ගැඹුරු ශිෂ්ටාචාරයේ සබඳතා ඉස්මතු කිරීමේ උත්සාහයක් ද පිළිබිඹු වූ ඔවුන් පවසා තිබුණි.
 
straight times
සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන The Straits Times පුවත් සේවය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අපරව්‍යුහ පහසුකම්, බලශක්ති සහයෝගිතාව සහ වරාය සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම වැනි ආර්ථිකමය කටයුතු කෙරෙහි දැඩි අවධානයක් යොමු කොට තිබුණි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බලශක්ති පද්ධති ඒකාබද්ධ කිරීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කොට ඇති යෝජනාව ශ්‍රී ලංකාවේ විදුලිබල ගැටලු සැබෑ වෙනසකට ලක් කිරීමට මුල පුරන බව එම පුවත් සේවය සඳහන් කර සිටියි.
 
මේ අතරේ The Washington Post පුවත්පත භූදේශපාලනීය අදහසක් දක්වමින් පවසා සිටින්නේ මෝදිගේ සංචාරය තුළින් අරමුණු දෙකක් ඉටු වන බවය. ඉන් එකක් වන්නේ ඉන්දීය සාගර කලාපය තුළ ඉන්දියාවේ ආධිපත්‍යය යළි තහවුරු කිරීම වන අතර අනෙක නම් චීනයේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවයට වැටකඩොලු බැඳීමය.

 හම්බන්තොට වරාය චීනයට බදු දීම ඉන්දියාව අවදානම් සහගත ලෙස සලකා බලන කාරණයක් වන අතර එයින් සිදුවිය හැකි අහිතකර බලපෑම් ප්‍රබල ද්විපාර්ශ්වීය ගිවිසුම් මගින් සමනය කර ගැනීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ද එය සඳහන් කර සිටියි.
depature ins
 
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ සලකුණු තවමත් පහව ගොස් නැති අතර මේ සංචාරය තුළින් ඉන්දීය ආයෝජන වර්ධනය කර ගැනීමේ සහ වෙළෙඳාම තවදුරටත් ඇති කර ගැනීමේ අවස්ථාවක් ලබා දෙන බවත් එය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික අර්බුදය ඇති වීමට පටන් ගැනුණු කාලයේදීම ඇමරිකානු ඩොල්ර් බිලියන 4 ඉක්මවා ලබා දුන් ඉන්දීය ණය පහසුකම් සහ සංවර්ධන සහයෝගීතාවයන් පිළිබඳ Bloomberg පුවත් සේවය විශේෂයෙන් සඳහන් කර සිටියි. නාවික, දුම්රිය සහ ගුවන් සේවා සම්බන්ධව ඇති කර ගත් නව ගිවිසුම් මගින් දෙරටේම ආර්ථිකයන් කෙරෙහි සුබවාදීව බලපෑ හැකි ඒකාබද්ධතාවක් ඇති වන බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

Nikkei Asia පුවත් සේවය ශ්‍රී ලංකාවට ඖෂධ සහ කෘෂිකාර්මික ආනයන සඳහා ලබා දී ඇති ණය පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබුණි. ඔවුන් එය සඳහන් කර තිබුණේ ‘කොළඹ වෙනුවෙන් අත්‍යවශ්‍ය ආර්ථික ජීවන අත්වැලක්’ වශයෙනි. මේ පහසුකම තුළින් ඉන්දීය වෙළෙඳපලට වැඩි වශයෙන් ප්‍රවේශ වන්නට හැකියාව ලැබෙන බැවින් එයින් ශ්‍රී ලංකා රුපියල සහ සංචිත ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබෙන බවත් පාලන පිරිවැයක් යටතේ අත්‍යවශ්‍ය සැපයුම් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවත් එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
 
modi akd 786
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින ඒකාබද්ධ කරමින් ත්‍රයිපාර්ශ්වික සහයෝගීතවක් ඇති කර ගැනීමට මෝදි තුළ ඇති උනන්දුව The South China Morning Post පුවත්පත විශේෂයෙන් නිරීක්ෂණය කර තිබුණි. ඔවුන් එය සඳහන් කර තිබුණේ ‘දකුණු ආසියාව තුළ වර්ධනය විය හැකි ආර්ථික රාමුවක්’ වශයෙනි. අපරව්‍යුහ පහසුකම් සහ වෙළෙඳ සබඳතා වඩාත් ගැඹුරින් සිදුවුවහොත් මෙය වඩාත් ප්‍රබල තත්ත්වයක් ඇති කළ හැකි බව ඔවුන් සඳහන් කර තිබිණි.
france 24
 
කොළඹ පරිපාලනය තුළ දේශපාලනික වශයෙන් ගිනි දළු ඇති කිරීමට මෝදිගේ සංචාරය හේතු වන බව Deutsche Welle සහ France 24 යන පුවත් සේවා දෙකම සඳහන් කර තිබිණි. ස්වෛරීත්වය සහ කලාපීය සමබරතාව පිළිබඳ සලකා බැලීමේ දී දේශීය වශයෙන් යම් යම් නරක ප්‍රතිවිපාක මේ සංචාරය නිසා ඇති විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති.
 
“ඉන්දියාවට ඕනෑවට වඩා නැඹුරු වීම ශ්‍රී ලංකාවේ යම් යම් දේශපාලන බෙදීම් ඇති විය හැකිය” යනුවෙන් Deutsche Welle පුවත් සේවය සංවාදයට බඳුන් කර තිබිණි. මෙය විශේෂයෙන් බලපෑම් කරන්නේ දෙමළ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාවේ මැදිහත් වීමක් සිදුවීම තුළය. දෙමළ සංහිඳියාව සහ අයිතිවාසිකම් යන්න ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ තවමත් සංවේදී මාතෘකාවකි. කෙසේ නමුත් මේ සංචාරය තුළ එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් සිදු නොවූ අතර උතුරු නැගෙනහිර කලාපය තුළ බලය බෙදාහැරීමේ යාන්ත්‍රණය පිළිබඳ France 24 පුවත් සේවය වැඩි අවධානයක් යොමු කර තිබිණි.
1743854942 modi tamil leaders
 
ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලනය කෙරෙහි ඉන්දීය බලපෑම වැදගත් භූමිකාවක් ඉටු කිරීමේ හැකියාව පිළිබඳ The Diplomat පුවත් සේවය අවධානය යොමු කොට තිබෙනු දකිනු හැකිය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජාතිවාදී පදනමක සිට කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ද සහයෝගීතාව සහ ජාතිවාදය අතර දෝලනය වෙමින් පවතින බව එය සඳහන් කරයි. මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි ඉන්දීය සෙවණැල්ල වැඩි වශයෙන් පතිත වෙමින් පවතින එම පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කර සිටී.

පුළුල් දර්ශනයකින් යුක්තව මේ දෙස බලන විදෙස් මාධ්‍ය දක්වන අදහස නම් මෝදිගේ සංචාරය තුළින් පිළිබිඹු වන්නේ මෙය දැවැන්ත ඉන්දු – පැසිෆික් පෙළගැස්මක් බවය. BBC පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ඉන්දියාව සිය ‘සාගර්මාලා’ නම් සාමුද්‍රික උපාය මාර්ගික ක්‍රීඩාවේ නියැළෙන බවය. වෙරළ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ සහයෝගිතාව ලබා දීම The Japan Times පුවත් සේවය දකින්නේ ශ්‍රී ලංකාව කෙමෙන් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේම කොටසක් බවට පත් වෙමින් පවතින බවය.

ශ්‍රී ලංකාව බාහිර ණය උගුලේ පැටලී පවතින අවස්ථාවේ දී ඉන්දියාව උපාය මාර්ගික සහ මානුෂීය මුහුණුවරකින් එයට ප්‍රවේශ වූ බව New York Times පුවත්පත ප්‍රකාශ කරයි. අපරව්‍යුහ පහසුකම් ඇති කර දීම තුළින් බලපෑම් කිරීමේ චීන ක්‍රමයට සාපේක්ෂව මෝදි ප්‍රවේශ වන්නේ වඩාත් නම්‍යශීලී, සංස්කෘතිකමය සහ දේශපාලනික වශයෙන් සංවේදී ආකාරයට බව එම පුවත් පත පවසයි.
 
Prime Minister Narendra Modi and Sri Lankan Presid 1743878827815
විදේශ මාධ්‍ය බොහෝ දුරට අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ආර්ථික සහයෝගීතාවය සංස්කෘතික, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සමඟ මිශ්‍ර කරන උපාය මාර්ගික බුද්ධිමත් පියවරක් ලෙස නිරූපණය කර ඇත. ශ්‍රී ලංකාව සඳහා, මෙම සංචාරය ආයෝජන සහ වෙළඳාමේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලබා දෙන අතරම ස්වෛරීභාවය සහ කලාපීය පෙළගැස්ම පිළිබඳ දේශපාලන ගැටලු ද මතු කරයි.
akd modi 20340923
 
මෝදිගේ සංචාරයේ සැබෑ උරුමය රඳා පවතින්නේ ඉන්දියාවට අධික ලෙස පෙනී නොසිට සම්බන්ධතාවයේ ගම්‍යතාව පවත්වා ගත හැකිද යන්න සහ ශ්‍රී ලංකාවට එහි ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් මෙම නව හවුල්කාරිත්වය උපයෝගී කර ගත හැකිද යන්න මත ය. ඉන්දු-පැසිෆික් භූ දේශපාලනයේ වෙනස් වන වැලිතලාව තුළ, මෝදිගේ සංචාරය ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා සඳහා පමණක් නොව, කලාපීය මෙහෙවර සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරයි.

Niranjan Chaminda(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...