ආණ්ඩුවට ඇති ජනතාවාදී වැඩපිළිවෙල කුමක්දැයි ප්‍රකාශ නොවුනත් ජ.වි.පෙ/ජා.ජ.බ නායක නායිකාවෝ මැතිවරණ වේදිකා මත ඔවුන්ට පළාත් පාලන මැතිවරණයේ පූර්ණ ජය අවශ්‍ය බැව් විවිධාකාරයෙන් කියන්නාහ.
ජ.වි.පෙ නායකත්වයෙහි දේශපාලන නොදැනුවත්කම ඉන් කදිමට මැන ගත හැක්කකි. කොළඹ මහ ආණ්ඩුවට තම ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට, පාර්ලිමේන්තුවේ බහුතර බලයට අමතරව ප්‍රාදේශීය, නගර හා මහ නගර සභාවල බලය කුමටදැයි ජ.වි.පෙ/ජා.ජ.බ නායකයකයින් මෙතෙක් පැහැදිලි කර නැත.
එහෙත් ජා.ජ.බ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කොට්ටහච්චි මැතිනිය ප්‍රාදේශීය රැස්වීමක් අමතා කියූවේ, විධායක බලයත් ව්‍යවස්ථාමය බලයත් දැන් ජා.ජ.බ සතු හෙයින් පළාත් පාලන ආයතනත් ජා.ජ.බට ලබා දීමේ වාසිය ඇත්තේ ජනතාවට යැයි කියා ය. ඇය නොකියා කියූවේ, විපක්ෂයට ලබා දෙන පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය ජා.ජ.බ ආණ්ඩුවට තීන්දු කළ හැකි යැයි කියා ය. එහි ව්‍යංගයෙන් තැවරූ තර්ජනයක්ද විය.
පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ මහ ආණ්ඩුවේ ජාතික වැඩපිළිවෙලෙහි කිහිළිකරු වන්නට හෝ මහ ආණ්ඩුවෙන් වැඩ කරවා ගැනීමට හෝ නොවේ. පළාත් පාලනයට අයත් මහ නගර, නගර හා ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඒවායේ බලය, වගකීම් හා සීමා තීන්දු කෙරෙන පනත් 03 ක් ඇත. ඉන් 1987 අංක 15 දරණ “ප්‍රාදේශීය සභා පනත” මගින් එහි 01 වන කොටසේ 03 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවකට භාර කරනු ලබන වගකීම් හා කාර්යන් සඳහන් කරනුයේ, “එක් එක් ප්‍රාදේශීය සභා ප්‍රදේශය සඳහා සංස්ථාපනය කරන ලද ප්‍රාදේශීය සභාව, එම ප්‍රදේශය ඇතුළත පළාත් පාලන ආයතන විය යුතු අතර, මහජන සෞඛ්‍යයට, පොදු උපයෝගීතා සේවාවන්ට සහ පොදු මංමාවත් වලට ද සාමාන්‍යයෙන් එම ප්‍රදේශය ඇතුළත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමට ද අදාළ සියලු කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම සහ පරිපාලනය කිරීම ඊට භාර විය යුතු ය” යනුවෙන් ය.

ඒ සමග ප්‍රාදේශීය සභා වෙත අදාල පනතින් ලබා දී ඇති අනෙක් වැදගත් ප්‍රතිපාදනය වන්නේ, එහි අංක 12(2) උප වගන්තියේ සඳහන් එක් එක් විෂයය සම්බන්ධයෙන් එනම්-
“(අ) මු දල් සහ ප්‍රතිපත්ති සැකසීම; (ආ) නිවාස සහ ප්‍රජා සංවර්ධනය; (ඇ) කාර්මික සේවා; සහ (ඈ) පරිසරය සහ පහසුකම් යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට උපදෙස් දීම පිණිස, (1) වන උපවගන්තිය යටතේ වෙනම කාරක සභාවක් පත කළ යුතුය” යන්න ය.

ඉන් නිශ්චිතව කියන්නේ, ප්‍රාදේශීය සභා පත් කරගත යුත්තේ, පනතේ භාෂාවෙන්ම කියනවා නම්, “සාමාන්‍යයෙන් එම ප්‍රදේශය ඇතුළත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමට” ය. ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටද මහ ආණ්ඩුව අවශ්‍ය නොවන්නේ යැයි පනතින් කියා ඇත්තේ ඒ සඳහා “කාරක සභාවක්” පත්කර ගැනීමට බලය ලබා දීමෙනි. එළෙසින්ම නගර හා මහ නගර සභා සම්බන්ධයෙන්ද අදාල පනත් මගින් ඒවාට පැවරෙන බලය, වගකීම් හා සීමා සඳහන්වන අතර, ඒවායේද මහ ආණ්ඩුවෙන් යැපීමක් හෝ හවුලක් ගැන කතා සඳහා ඉඩ තබා නැත.
එනිසා පළාත් පාලන මැතිවරණයකදී අවශ්‍ය වන්නේ ඒ බල ප්‍රදේශය සඳහා ප්‍රායෝගික සංවර්ධන සැළසුමක් ඉදිරිපත්කර ඇත්තේ කවර පක්ෂයද නැතිනම් කණ්ඩායමද යන ඡන්දදායක සාකච්ඡාව ය. එහෙත් එවැනි සාකච්ඡා මේ සමාජයේ තවමත් නැත.

එයට ප්‍රධානම හේතුව, සර්වජන ඡන්දය ලැබී අවුරුදු 95 ට ආසන්න කාලයක් ගතවී තවමත් “ඡන්දය” භාවිත කළ යුත්තේ කුමක් සඳහාදැයි මේ සමාජයේ සාකච්ඡා නොවීමය. 1931 පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමට ඡන්දය භාවිත කරන විට, ආණ්ඩු පත් කිරීමේ වගකීමක් ජනතාවට නොවුනි. දේශපාලන පක්ෂද නොවූයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඡන්දය භාවිත කෙරුණේ තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා “වඩා හොඳ” මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට ය. එදා පැවති සමාජයෙහි ජනතාව “වඩා හොඳ” යැයි තීන්දු කෙරුවේ තමන්ගේ ජාතියට, ආගමට හා කුලයට සාපේක්ෂව ය.
එදා නොතිබූ ආණ්ඩු පාලන පත්කර ගැනීමේ වගකීම දැන් ඇත. එහෙත් උගත් නූගත් වෙනසක් නැතිව හැම මැතිවරණයකදීම ඡන්දය භාවිත කෙරෙන්නේ ජාතිය, ආගම, කුලය අමතක නොකරන, පෞද්ගලික ලාභ ප්‍රයෝජන හා තාන්න මාන්න ලබා ගැනීම වැනි ආත්මාර්ථකාමී, පෞද්ගලික අරමුණු වෙනුවෙනි. කිසිදු මැතිවරණයක දේශපාලන පක්ෂ විසින් හෝ සමාජයේ දැනුවත් ක්‍රියාකාරීන් අතර හෝ පැවැත්වෙන මැතිවරණයට අදාල සාකච්ඡාවක් දිග හැරෙන්නේ නැත. මෙවරද පාට පාට පත්‍රිකා බෙදන්නට එන අපේක්ෂකයින්ගෙන් ඔවුන්ගේ බල ප්‍රදේශය වෙනුවෙන් ඉදිරිපත් කරන සංවර්ධන සැළසුම ගැන ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ නැත.

ආණ්ඩු විරෝධයක් වෙනුවෙන් හෝ විපක්ෂයද එවැනි විකල්පයකට අත තියන්නේ නැත. ප්‍රාදේශීයව හෝ එවැනි සාධනීය මැදිහත්වීමක් ඇති දැයි දැන ගැනීමට විපක්ෂයේ ප්‍රධානියකුට කතා කර ඔහු සම්බන්ධීකරණය කරන්නාවූ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කරන්නාවූ ප්‍රාදේශීය සංවර්ධන සැළසුම කොට්ඨාශ මට්ටමින් සාකච්ඡා කරන්නේදැයි විමසූ විට ඔහුගේ කෙටි, සරළ පිළිතුර වූයේ “ඒවට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ” යන්න ය. එවැන්නක් තිබේදැයි ඇසූ විට “ඔව්... අපිත් එකක් ගැහුවා” යැයි කම්මැලි ස්වරයෙන් උත්තරය ලැබිණ. “නායකයා” යනු රැල්ලට ගොඩ වන්නකු නොව, තමන්ගේ දේශපාලනය මත රැල්ලක් හදන්නකු බව මේ රටේ දේශපාලනඥයින් දන්නේ නැත.

නායකයින් එසේ වනවිට, මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ නොදැනුවත්කමත් සිතා ගත හැක. පසුගිය දිනෙක දුසිමක පමණ කණ්ඩායමක් සමග පැමිණි අපේක්ෂකයෙකු මා පදිංචි පළාත් පාලන බල ප්‍රදේශය වෙනුවෙන් ඔවුන්ගේ සංවර්ධන සැළසුමද ඇතුළත් වර්ණවත් කොළ ගොන්නක් මටද දුන්නේ ය. එහි යෝජනා 13 ක් ඇත. මාතෘ හා ළදරු සායනය, මුල් ළමාවිය සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ගුවන් පාළම්, වාහන නැවතුම් පලක්, වැසිකිළි පද්ධතියක් සමග නගරාලංකාරය, බෙහෙත් ශාලා නවීකරණය, සුසාන භූමි තුල දේහ තැන්පත් කිරීමේ ශාලා, ක්‍රීඩාපිටි සංවර්ධනය වැනි සාම්ප්‍රදායික යෝජනා ය. ඉන් යෝජනා 07 ක්ම “රාජපක්ෂ පන්නයේ” ඉදිකිරීම්ය.
වෙනකක් තබා “පරිසරය” යනු කවරක්දැයි ඔවුන් නොදන්නා බවද ඉන් කියැවේ. “පරිසර පද්ධතිය රැක ගැනීම” යැයි මාතෘකා කොට එහි සඳහන් කෙරෙන එකම කාරණාව නම්, “ආක්‍රමණික ශාක ඉවත්කර දේශීය ශාක ඒ තුල ව්‍යාප්තකර හා පරිසරය ආරක්ෂාකර ගනිමින්, දේශීය විදේශීය සංචාරක පුරවරයක් බවට” එම තෙත් බිම් ප්‍රදේශය පත් කිරීමය. අභය භූමියක් ලෙස වෙන් කෙරුණු තෙත්බිම් සංරක්ෂණය, දේශීය ශාක වගා කිරීමෙන් පමණක් කළ නොහැකි බැව් ඔවුහු නොදන්නාහ. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි ප්‍රදේශයක් දේශීය විදේශීය සංචාරක පුරවරයක් කිරීමම, එහි සත්ව ගහණයට කෙරෙන තර්ජනයකි.

එවගේම අධික ජනගහනයක් වර්ධනයවන නාගරික පරිසරයක වායු සහ ශබ්ද දූෂණය, අනීිතික ගොඩනැගිලි ඉදිකිරීම, අපිරිසිදු ජලය ඉවත් කිරීමේ සැළසුම් යනාදිය පළාත් පාලන ආයතනයකට අයත්වන ඉතා වැදගත් පාරිසරික වගකීම්ය. එවගේම කර්මාන්ත හා වෙළඳ සංකීර්ණ සඳහා පරිසර සුරැකීමේ අවසරපත් ලබාදීමත් පළාත් පාලන ආයතන වෙත පරිසරය සුරැකීම වෙනුවෙන් නෛතිකව පැවරුණු වගකීමකි. එය පළාත් පාලන ආයතනයේ පාරදෘශ්‍යභාවයට අදාල විවෘත ක්‍රියාවලියක්ද විය යුතුය. මේ සියලු කාර්යන් අදාල බල ප්‍රදේශයේ පරිසරය සුරැකීමේ සැළසුමට ඇතුළත් විය යුතු බැව් ඔවුහු නොදන්නාහ.
මේ කිසිවක් නගර සැළසුමකට අදාල නොවේ. නගර සැළසුමක සඳහන් විය යුතු වාණිජ හා කාර්මික ප්‍රදේශ, පදිංචිය සඳහා නේවාසික ප්‍රදේශ සහ හරිත උද්‍යාන වැනි නිශ්චිත භූමි ප්‍රදේශ වෙන් කිරීමක් ගැන කිසිදු සඳහනක් එහි නැත. අනෙක් පළාත් පාලන බල ප්‍රදේශ වලද තත්ත්වය ඊට නොදෙවෙනිය. පළාත් පාලන ආයතන 339 ට නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින්ගෙන් අවම සියයට 90 ක් එවැනි ය.
ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන නායකයින්ටද පළාත් පාලන ආයතනයක වගකීම් ඉටු කළ හැකි දැනුවත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ වුවමනාවක් නැත. නමුත් මිලියන 17.3 ක් වන ඡන්දදායකයින්ගෙන් දළ වශයෙන් සියයට 70 ක් පමණ ඔවුන්ට ඡන්දය දෙනු ඇත. එබැවින් දැන් අපට ඡන්දදායකයින්ගෙන් අසන්නට වන්නේ, “මැයි 06 වන දා ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද?” යැයි කියා ය. “දූෂණයෙන් තොර, අවංක පාලනයක් සඳහා” යැයි කරුණාකර නොකියන්න. “දූෂිත පාලනයක්” පත් කිරීමට කිසිවකු ඡන්දය දෙන්නේ නැත.

මහජන මුදලින් වාර්ෂිකව රුපියල් මිලියන 1,620 ක් වැටුප් ලෙස ගෙවා පළාත් පාලන ආයතන නඩත්තු කෙරෙන්නේ, “....එම ප්‍රදේශය ඇතුළත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමටය”. ඔබ එවැන්නක් ගැන නොසිතා ඡන්දය දුන්නේ නම්, දූෂණයෙන් තොර අවංක පාලනයක් පත් වූවත් සැළසුමක් නැති ඔවුන් නඩත්තු කිරීම වෙනුවෙන් මහජන මුදල් අපතේ යැවීමට, නාස්ති කිරීමට ඔබද හවුල්වන බැව් පිළිගත යුතුය.
දැනට මම එතැනින් නතර වෙමි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 අප්‍රේල් 10



