The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුරතල් සතුන් අතහැර දැමීම නැවැත්වීමට සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය කළ නගරයක්

T

The Leader Desk

April 11, 2025 • 11:26 AM

සුරතල් සතුන් අතහැර දැමීම නැවැත්වීමට සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය කළ නගරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජලභීතිකා එන්නත නිරීක්ෂණය කිරීමට සහ උපත් පාලන ප්‍රතිකාර කිරීම සඳහා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිවිල් පාලන අධිකාරිය, අයාලේ යන සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම ආරම්භ කර තිබේ.
  • බලධාරීන් පවසන්නේ, මිනිසුන් සිය නිවෙස්වල සිටින සුරතලයට ඇති කරන සුනඛයින් අතහැර දැමීම වැළැක්වීම සඳහා මාස කිහිපයක් තුළ මෙම පියවර එම සුරතල් සුනඛයින් සඳහා ද ක්‍රියාත්මක කරන බව ය.
  • මෙම ක්‍රමය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක ක්‍රියාත්මක වන අතර, එහිදී සුරතල් සුනඛයින්ට සති අටක් පිරෙන්නට පෙර මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය වේ.
  • කෙසේ වෙතත්, චෙන්නායිහි, තම සුනඛයින් අතහැර යන සුරතල් සතුන්ගේ හිමිකරුවන් වෙත වගකීම්සහගත බව ඇති කිරීමේ පියවරක් ලෙස මෙම මයික්‍රො චිප් බද්ධ කිරීමේ වැඩපිළිවෙළ සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජලභීතිකා එන්නත නිරීක්ෂණය කිරීමට සහ උපත් පාලන ප්‍රතිකාර කිරීම සඳහා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිවිල් පාලන අධිකාරිය, අයාලේ යන සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම ආරම්භ කර තිබේ.

බලධාරීන් පවසන්නේ, මිනිසුන් සිය නිවෙස්වල සිටින සුරතලයට ඇති කරන සුනඛයින් අතහැර දැමීම වැළැක්වීම සඳහා මාස කිහිපයක් තුළ මෙම පියවර එම සුරතල් සුනඛයින් සඳහා ද ක්‍රියාත්මක කරන බව ය.

මෙම ක්‍රමය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක ක්‍රියාත්මක වන අතර, එහිදී සුරතල් සුනඛයින්ට සති අටක් පිරෙන්නට පෙර මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය වේ.

මයික්‍රො චිප් බද්ධ කරන ලද සතුන් අතරමං වුවහොත් ඔවුන්ගේ අයිතිකරුවන් වෙත ආපසු ලබා දීමට බොහෝ දුරට හැකියාව ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

කෙසේ වෙතත්, චෙන්නායිහි, තම සුනඛයින් අතහැර යන සුරතල් සතුන්ගේ හිමිකරුවන් වෙත වගකීම්සහගත බව ඇති කිරීමේ පියවරක් ලෙස මෙම මයික්‍රො චිප් බද්ධ කිරීමේ වැඩපිළිවෙළ සැලකේ.

බලධාරීන් පැවසුවේ, අතහැර දැමූ සුනඛයන් හේතුවෙන් අයාලේ යන සතුන් සංඛ්‍යාව වැඩි වන බවත්, එමගින් ඔවුන් එන්නත් කිරීමේ වැඩසටහන ද දුෂ්කර වන බවත් ය.

2024 දී කරන ලද සමීක්ෂණයකට අනුව, චෙන්නායිහි අයාලේ යන සුනඛයින් 1,80,000කින් 30%කට පමණක් උපත් පාලන සහ ජලභීතිකා එන්නත් ලබා දී ඇති බව සොයා ගන්නා ලදී.

ලොව පුරා වාර්ෂිකව ජලභීතිකා මරණ වැඩි ම සංඛ්‍යාවක් සිදුවන රට ඉන්දියාව බැවින්, එරට සුනඛයින්ට එන්නත් කිරීම සැලකිය යුතු සිවිල් ගැටලුවකි. ලොව පුරා වසරකට සිදුවන ඇස්තමේන්තුගත මරණ 59,000න් 36%ක් ඉන්දියාවෙන් වාර්තා වේ.

 

dogo1

සුරතල් සුනඛයෙකු මයික්‍රොචිප් භාවිතයෙන් නිරීක්ෂණය කරමින්

 

මෙම වැඩසටහනේ පළමු අදියරේදී චෙන්නායිහි අයාලේ යන සුනඛයන් 4,000කට පමණ මයික්‍රො චිප් බද්ධ කර ඇති බව නගරයේ පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරී කමල් හුසේන් පැවසීය. "නිවාසවල සිටින සුනඛයන්ට ද මයික්‍රොචිප බද්ධ කිරීම ළඟදී ම සිදුකරනවා," හුසේන් පැවසීය.

කෙසේ වෙතත්, සුරතල් සුනඛයින්ට චිප්ස් බද්ධ කිරීම වඩාත් අපහසු කාර්යයක් විය හැකි ය.

2023 දී චෙන්නායි නගරයේ සුරතලයට ඇති කරන සුනඛයින් මාර්ගගතව ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබිණි. මෙම වසරේ ජනවාරි මාසයේදී සිවිල් අධිකාරිය මාර්ගගත ලියාපදිංචිය සඳහා මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය කළේ ය. කෙසේ වෙතත්, සුරතල් සතුන්ගේ හිමිකරුවන්ගෙන් ඒ සඳහා ලද ප්‍රතිචාරය ඉතා දුර්වල විය.

මේ වන විට, ලියාපදිංචි කර ඇත්තේ සුරතලයට ඇති කරන සුනඛයින් 9,600ක් පමණි. චෙන්නායිහි සුරතලයට ඇති කරන සුනඛයින් 100,000ක් පමණ සිටින බව ඉන්දියානු සත්ව ශුභසාධන මණ්ඩලයේ හිටපු උපසභාපතිවරයෙකු වන ආචාර්ය එස්. චිනී ක්‍රිෂ්ණා ගණන් බලා තිබේ.


මයික්‍රොචිප් ක්‍රියා කරන්නේ කෙසේ ද?

ඉඳිකටුවක ආධාරයෙන් සහල් ඇටයක ප්‍රමාණයේ මයික්‍රොචිපයක්, සුනඛයින්ගේ උරහිස් අංශ ඵලකය (shoulder blades) යටට ඇතුළු කරනු ලැබේ.

සුනඛයන්ගේ වර්ගය, වර්ණය, ස්ත්‍රී පුරුෂභාවය, වයස, එන්නත් තොරතුරු, ඔවුන් අයත් ප්‍රදේශය සහ ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ කවුන්සිලය විසින් සපයන ලද චිප් අංකයක් වැනි විස්තර එහි අඩංගු වේ. වාර්ෂික ජලභීතිකා එන්නත් නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි චිප් දත්ත පවත්වා ගැනීම සඳහා මෘදුකාංගයක් සකස් කර ඇති බව ද චෙන්නායි නගර සභාව පවසයි.

සුරතල් සුනඛයින්ගේ හිමිකරුගේ තොරතුරු ද චිප් එකට ඇතුළත් කෙරේ.

 

dogo2

ඉදිකටුවක ආධාරයෙන් සුනඛයාව එන්නත් කරමින්

 

හිමිකරුවන් තම සුරතල් සුනඛයින් අතහැර දැමීම වැළැක්වීමට මෙය උපකාරී වන බව හුසේන් පැවසීය.

"සුරතලයට ඇති කරන සුනඛයින් අතහැර දමන හිමිකරුවෙකුට එරෙහිව කළ යුතු දේ සහ නිවසේ ඇති කළ හැකි සුනඛයින් සංඛ්‍යාව සීමා කිරීම ඇතුළු විවිධ අංශ පිළිබඳව අපි කල්පනා කරමින් සිටිනවා," හුසේන් පැවසීය.

අතහැර දැමූ සුනඛයින් පිළිබඳ පැමිණිලි දිගින් දිගට ම ලැබෙන බවත්, චෙන්නායිහි අයාලේ යන සුනඛයින් 1,80,000කින් කොපමණ සංඛ්‍යාවක් අයිතිකරුවන් අතහැර දමා ගොස් ඇති ද යන්න පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන නොමැති බවත් චෙන්නායි නගර සභාව පවසයි.

"මිනිස්සු බලු පැටවු මිල දී ගන්නේ ඔවුන්ට හුරතල් පෙනුමක් තියෙන නිසා, නමුත් සමහරු නඩත්තු වියදම් දරා ගන්න බැරි වුණා ම ඔවුන් අතහැරලා දානවා," වෛද්‍ය චිනී ක්‍රිෂ්ණා පැවසීය. "සමහරු විදේශගත වන නිසා ඔවුන් අතහැර දමනවා, තවත් සමහරු පවුලේ සමහර සාමාජිකයන් බල්ලන්ට අකමැති නිසා එහෙම කරනවා."

විශේෂඥයින්ට අනුව, සුනඛ උපත් ප්‍රාදේශීය මට්ටමින් නිරීක්ෂණය කිරීම සහතික කිරීමට මයික්‍රො චිප් උපකාරී වනු ඇත.

ගැහැනු සුනඛයෝ වසරකට දෙවරක් පැටවුන් බිහි කිරීම සිදු කරති. ඔවුන්ගේ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා, මාස හයක චක්‍රයට පෙර උපත් පාලන උත්සහයන් වේගවත් කළ යුතු ය. අපි නිශ්චිත ප්‍රදේශ ඉලක්ක කර එහි සිටින සියලු ම අයාලේ යන සුනඛයින්ට ප්‍රතිකාර කළ යුතුයි," සත්ව ශුභසාධන ක්‍රියාකාරී ක්ලෙමන්ට් ඇන්තනි රූබින් පැවසීය.

මතභේද මොනවා ද?

dogo3

පාරේ සිටින වීදි සුනඛයින්

 

බොහෝ අය එකඟ වන්නේ, සතුන්ට මයික්‍රො චිප් බද්ධ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අවදානමේ හෙළනවාට වඩා වැඩි බව ය. කෙසේ වෙතත්, සත්ව හිමිකම් ක්‍රියාකාරීන් මේ තීරණය පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ.

බැංගලෝර් නගර සභාව විසින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. අපිරිසිදු, විවෘත පොදු ස්ථානවල විෂබීජහරණය නොකළ පරිසරයක චිප්ස් බද්ධ කරන බවට ක්‍රියාකාරීන් පැමිණිලි කර ඇත. සත්ව අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරී සංවිධානයක් වන ඇක්ෂන් ෆෝ ඇනිමල් ජස්ටිස් සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ මයික්‍රො චිප් බද්ධ කිරීම මගින් සුනඛයන්ගේ ශරීරවල තුවාල හා පිළිකා ඇති විය හැකි බව ය.

කෙසේ වෙතත්, ඉන්දියාවේ මහාධිකරණයක් එම ක්‍රියාවට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. තවමත්, චෙන්නායිහි ඇතැම් සුනඛ හිමිකරුවන්ට එය සැක සහිත ය.

වීදි සුනඛයෙකු සුරතලයට නිවසේ ඇති කරන වසන්ති පැවසුවේ, තම සුනඛයාට විදේශීය ද්‍රව්‍ය එන්නත් කිරීමේ අවශ්‍යතාව කුමක් දැයි තමාට නොතේරෙන බව ය.

අනුරපුර පුදබිමේ සුනඛ පක්ෂාගාත රෝගය මැඬලීමට වෙර දරන යස හාමුදුරුවෝ
"ගොඩක් තැන්වල කරන විදිහට, විස්තර ඇතුළත් ලෝහ තහඩුවක් බල්ලගේ බෙල්ලේ එල්ලන්න පුළුවන්. නැත්නම් බලපත්‍ර අංකය හැම දෙනාට ම පේන්න තියන්න පුළුවන්, සිවිල් ආයතනයට එතකොට හැම විස්තරයක් ම නිරීක්ෂණය කරන්න පුළුවන්," ඇය පැවසුවා ය.

අනෙක් අතට, ඇල්සේෂන් වර්ගයේ සුනඛයෙකුගේ හිමිකරුවෙකු වන ජොන්සන් පැවසුවේ මෙම පියවර සුනඛයින් නිරීක්ෂණය කිරීමට උපකාරී වනු ඇති බව ය.

"මම හිතන්නේ ඒකෙන් සුනඛයින්ව වඩා හොඳින් නිරීක්ෂණය කරන්න උපකාරී වෙනවා. මයික්‍රො චිප් බද්ධ කිරීම අලුත් අදහසක් නෙවෙයි. බොහෝ රටවල් එය කරමින් සිටිනවා. ඒක බරපතළ සෞඛ්‍ය අවදානමක් ඇති කරයි කියලා මම හිතන්නේ නැහැ," ඔහු බීබීසී වෙත පැවසීය.

සත්ව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රූබින් පෙන්වා දුන්නේ, ඉන්දියාවේ දැනටමත් සතුන්ට මයික්‍රො චිප් සවි කර ඇති බව ය.

"චෙන්නායිහි මරීනා වෙරළ තීරයේ විනෝද චාරිකාවලට පාවිච්චි කරන අශ්වයන්ට දැනටමත් මයික්‍රො චිප් සවි කරල තියෙනවා. වනාන්තරවල සිටින අලි ඇතුන්ටත් මයික්‍රො චිප් සවි කරල තියෙනවා. ගෝවේවල සුනඛයන්ට මයික්‍රො චිප් සවි කරල තිබෙනවා. මයික්‍රොචිප් මගින් බල්ලන්ගේ ශරීරවලට කිසිදු හානියක් සිදුවෙන්නේ නැහැ," ඔහු පැවසීය.

(සටහන | සාරධා වී)
බීබීසී දෙමළ සේවය

උපුටා ගැනීම - BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...