මූල්‍ය අර්බුද හෝ අවිනිශ්චිතතා ඇති විට රත්‍රන් සාමාන්‍යයෙන් ආරක්ෂිත සහ ශක්තිමත් වත්කමක් ලෙස සැලකේ.
එහෙත්, එය සැබවින් ම ආරක්ෂිත තෝතැන්නක් ද?
සියවසක ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තියේ විශාලතම වෙනස්කම්වලින් එකක් වන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු සැලසුම් පිළිබඳ නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, පසුගිය සතියේ රන් මිල ඩොලර් 3,167කට වඩා වාර්තාගත ඉහළ අගයක් කරා ළඟා විය.
තීරු බදු සහ වෙළෙඳ යුද්ධ පිළිබඳ සැකසංකා හේතුවෙන් මෙම වසරේදී එම වාර්තා නැවත නැවතත් බිඳ දමා තිබේ.
අස්ථාවරත්වයක් පැවතියදී බොහෝවිට රන් මිල ඉහළ යාමක් පෙන්නුම් කරයි.
බොහෝ අවස්ථාවලදී වෙළෙඳපොළ කඩා වැටෙන විට, බොහෝ පිරිස් රත්‍රන් මිල දී ගැනීමට යුහුසුළු වෙති.
එලෙස, යුහුසුළුව රත්‍රන් මිල දී ගන්නේ කවුද?
බෙල්ෆාස්ට් විශ්වවිද්‍යාලයේ ආර්ථික ඉතිහාසඥ ආචාර්ය ෆිලිප් ෆ්ලයර්ස් පවසන පරිදි, "රජයන්, තනි ආයෝජකයින් හෝ සුළු ආයෝජකයින් කොටස් වෙළඳපොළ විශාල වශයෙන් අත්හැර දමමින් සිටින අතර, ඔවුන් රත්‍රන් ආයෝජනය කිරීමට යොමු වෙමින් සිටිනවා."
"ඒකෙන් ඇත්තට ම මිල ගණන් ඉහළ යනවා."
ගෝලීය මූල්‍ය අවිනිශ්චිතතාවන් තුළ රත්‍රන් සැමවිට ම ඉහළ ම තේරීම වී ඇත.
2020 වසරේදී, කොවිඩ්-19 වසංගතය ආර්ථික පසුබෑමක් ඇති කළ අතර රන් මිල හදිසියේ ම ඉහළ යනු දක්නට ලැබිණි.
කෙසේ වෙතත්, මූල්‍ය වෙළෙඳපොළවල අවිනිශ්චිතතාව ද රත්‍රන්වලට බලපෑ හැකි ය.
2020 ජනවාරි මාසයේදී, කොවිඩ්-19 වසංගතය මතු වීමත් සමග රත්‍රන් මිල ඉහළ ගිය නමුත්, එම වසරේ මාර්තු වන විට එය පහත වැටීම ආරම්භ විය.
"ඒක 'ආරක්ෂිත' ආයෝජනයක් යැයි කිව්වත් ඒකෙන් අදහස් වෙන්නෙ අවදානමක් නැහැයි කියන එක නෙවෙයි," ආචාර්ය ෆ්ලයර්ස් පවසයි.
ආර්ථික අවිනිශ්චිතතාවන් තුළ රත්‍රන් තවමත් වාසිදායක ආයෝජනයක් ලෙස සැලකේ, එහි වටිනාකම සඳහා පමණක් නොව, ඉතිහාසය සහ සංස්කෘතීන් හරහා ඉහළ අගයක් අත්පත් කරගෙන ඇති රත්‍රන් පහසුවෙන් අලෙවි කළ හැකි බැවිනි.
| ටූටන්කාමන්ගේ රනින් නිමවූ මුහුණ
පුරාණ ඊජිප්තුවේ ටූටන්කාමන්ගේ රනින් කරන ලද මුහුණේ සිට ඝානාවේ අසන්ටේහි රන් පුටුව සහ ඉන්දියාවේ පද්මනාභස්වාමි දේවාලයේ රන් සිංහාසන දක්වා, මෙම ලෝහය ඓතිහාසිකව ආගමික හා සංකේතාත්මක වැදගත්කමක් උසුලයි.
බොහෝ අය තම ධනය එක්රැස් කිරීමට විශ්වාසදායක ක්‍රමයක් ලෙස රත්‍රන් දෙස බැලීම පුදුමයක් නොවේ.
ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල සිදුවන වෙනස්කම් බොහෝ විට නිවසේ රන් භාණ්ඩ හා ආභරණවල වටිනාකමට බලපාන්නේ නැත.
නමුත් ප්‍රධාන මූල්‍ය ආයෝජකයින්ගේ වෙළෙඳපොළ ක්‍රියාකාරකම් විශාල ආයෝජනවලට බලපෑ හැකි ය.
"මෙයින් බොහොමයක්, රජයේ මහ බැංකු රත්‍රන් මිල දී ගැනීම නිසා සිදුවන බවට මම සැක කරනවා," මෑතකදී රන් මිල ඉහළ යාම ගැන සඳහන් කරමින් ආචාර්ය ෆ්ලයර්ස් පැවසුවේ ය.
අවිනිශ්චිත කාලවලදී කොටස් වෙළෙඳපොළ ආයෝජනවලින් ඉවත් වන විට, ඔවුන් බොහෝවිට තම සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා තොග වශයෙන් රත්‍රන් මිල දී ගනී.
මෙයින් අදහස් කරන්නේ, මෙම වටිනා ලෝහයේ ආයෝජනය කිරීම අවදානම් සහගත විය හැකි බව ය.
"රන් මිල ඉහළ යාම පිළිබඳව අනුමාන කිරීම තවමත් අවදානම් සහගත යි, වෙළෙඳපොළ ස්ථාවර වූ විගස රජයයන් ප්‍රකෘති තත්ත්වයට පැමිණි පසු මිනිසුන් රන් මිල දී ගැනීම නවත්වයි," ආචාර්ය ෆ්ලයර්ස් පවසයි.
"රත්‍රන්වල ආයෝජනය කිරීම දිගු කාලීනව කරන දෙයක්," ආචාර්ය ෆ්ලයර්ස් පවසයි.
(සටහන | ඩෙබ්‍යුලා කෙමෝලි)
බීබීසී ලෝක සේවය
උපුටා ගැනීම - BBC සිංහල සේවය



