ගස්වැල්වල මල් පිපී ඒවායේ අලුත් කොළ දලු ලියලා නැවුම් බවට පත්වෙන වසන්තය හැඬ ගස්වන්නට මෙන් එරබදු ගස් රත් සළුවකින් වැසී යයි. කුරවි කෙවිල්ලන්ගේ කුරවික නාදයෙන් මනෝරම්‍ය වූ ගම් තුලාවෙහි කැවුම් – කොකිස් -සුවඳැල් සුවඳින් තවද මිනිස් සිත් සතන් ආහ්ලාදයකින් පිරීයයි.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම සනිටුහන් කරන පරිසර සංදේශය මේ ලෙසින් ප්‍රකාශයට පත්වෙද්දී ‘අවුරුදු කෝණමට නැකැත් සීට්ටුව ගත් නැකැති රාළ ගමේ ගෙයක් ගෙයක් පාසා එය බෙදාගෙන යෑමේ කාර්ය ඉටුකරයි. ශස්‍ය සම්පත්තියෙන් දිවිගෙවන සිංහල ඇත්තන් හට ‘කෝණම් ගෙඩිය’ මේ ආකාරයෙන් උත්සවශ්‍රීයෙන් යුතුව සමරන්නට ඉඩකඩ විවර කරමින් පූවාලු, කෝලිකුට්ටු හෝ සුවඳැල් කැන් ගෙයක් ගෙයක් පාසා හිනහෙයි-
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද පිළිගන්නට පරිසරය හැඩවෙද්දී අද මෙන් නොව එදා ගේ දොර අලුත් තත්ත්වයකින් කලඑළි කරගැනීමට සිංහලයන් උනන්දු වී ඇතිබ පැරණි පොතපත (එදා හෙළදිව, ඩේවි දුටු ලංකාව, සංදේශ ආදිය මගින් පෙනී යයි. කල්වේලා ඇතිව මකුළු දැල් කඩා පිල් හා ගෙබිම ගොම මැටි ගා පිරිපහදු කර ගැනීමට සිංහලයන් උත්සුක වී ඇත්තේ අවුරුදු කුමරා නැවුම්ව පිළිගැනීමට ය. දොර ජනෙල් අලුත් තිර රෙද්දෙන් හැඩගන්වා ගෘහ උපකරණ ආදිය පිරිසිදු කරගන්නේ අලුත් අවුරුදු කුමරා ප්‍රහර්ෂයෙන් යුතුව නැවුම්ව පිළිගැනීමටය.
අලුත් මල් ගස් සිටුවා පැරණි ගස් ඉවත් කර ගෙමිදුල කලඑළි කිරීමටත්, පැරණි කැඩීබිඳී ගිය බඩු මුට්ටු ඉවත්කර නැතිනම් අලුත්වැඩියා කර හෝ අලුතින් ගෘහ උපකරණ රැගෙන ඒමෙන් අවුරුදු කුමරා නැවුම්ව පිළිගැනීමට ගේ දොර සූදානම් කරගැනීම බොහෝ ආර්ථික අවපාතයන් මැද වුවද සිදු කිරීම සිංහල සංස්කෘතියෙහි උච්චතම වූ අංගයකි. දිරාගිය මානා හෝ පිදුරු ඉවත් කර අබලන් පරාල හා උමං ලී ඉවතලා නව පරාල හා ලී සැරහුම් කරගනිමින් නිවහන නව්‍ය ආකාරයෙන්ම තබා ගැනීමට උත්සහ දරන්නේ සිංහල අලුත් අවුරුද්ද සිරිත් විරිත් නව අදහසින්, නව මුහුණුවරකින් පොබකර ගන්නට ය.
ගංතුලානට සිරියාව රැගෙන එන අවුරුදු කුමාරයා යනු අලුත් හිරු එළියයි. නව සංස්කෘතික ප්‍රාණයක් ලබාදීමට මෙන් ගම්බැද්ද මල්වරවීමෙන් අනතුරුව අවුරුදු කුමරු ගම්දොර වඩයි. සෘග්වේදයෙහි එන ‘අදිති’ නමැති දෙව්දුව අවුරුදු කුමාරයාගේ මව ලෙස සලකන අතර ඇයගේ පුතා වන ‘ආදිත්‍ය’ නමැත්තා පසුව අවුරුදු කුමාරයා යන නාමයෙන් ප්‍රචලිත වූ බව සැලකේ. මෙම ආදිත්‍ය හෙවත් අවුරුදු කුමාරයා හට සහෝදරයන් දොළොස් දෙනෙක් වූ අතර ඔවුන් අතර වැඩිමහල් සහෝදරයා වූයේ මොහු ය.
ජ්‍යොතිෂයේ ගැනෙන රාශි දොළහ මෙම සහෝදරයන් බවට අනුමාන කෙරේ. අවුරුද්දේ එන මාස දොළහ මෙම සහෝදරයන් දොළොස්දෙනා හට භාරවී ඇති අතර බක්මහ හෙවත් අප්‍රේල් මාසය භාරවී ඇත්තේ ‘ආදිත්‍ය’ නමැති කුමාරයාට බවත්, ඔහුට ‘බග’ හෙවත් ‘භාග’ නමින් ආරූඪ නමක් ද යෙදී ඇති බැවින් අවුරුදු මාසය භාග්‍යය මාසය වී ඇත.
බග නම් භාග්‍යයයි. නැතහොත් වාසනාවයි. තම ගැලවුම්කරු වූ හිරු එළු හෙවත් මේෂ රාශියට වැදි, බලයට පැමිණෙන වකවානුව තමනට භාග්‍යය උදාවන සමයක් ලෙස පැරණියෝ සැලකූ හ.
අවුරුදු කුමාරයා ‘මිහිඟු’ නමින් හැඳින්වෙන බව, ‘මිහිඟු නමින් උපත ලබා අවුරුදු කුමරා එනවා’ යනාදී ජනකවිය අනුව පෙනේ. කෙසේ වතුදු අවුරුදු කුමාරයා යනු මන:කල්පිත වස්තුවක් වන අතර ඔහු ස්ථිර ස්වරූපයකින් සිටිය යුතු යැයි පිළිගැනිමක් නැත. එහෙත් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්ම වූ ඔහු කුමාරයෙකුට ඔබින ආභාරණ වලින් සැරසී ඔටුන්නක් ද හිස දරමින් සිටින- බව සාමාන්‍ය පිළිගැනිමයි. එසේම රන්වන් පැහැ ශරීරයකින් යුතු ඒ ඒ වර්ෂයන්ට අදාළව ජ්‍යොතිෂය විසින් නියම කරන වර්ණ සහිත පිළිගත දවටාගෙන දෙකන රන් තෝඩු ද ගෙලේ නිල් මැණික් වලින් ඔපවත් වූ මාලයකින් ද සැරසී ගන්නා බව සාමාන්‍ය මතයයි.
ගම්තුලානේ නැකත් රාල විසින් සාදන ලද නැකත් සීට්ටුව හැම ගංගෙදරකට ම මහ ගොවිරාල විසින් බෙදීම සිදු කරනු ලබයි. අවුරුදු නැකත අභිබවා කටයුතු කිරීම මතු ජීවිතය අවාසනාවන්ත කරගෙන කරදර රැසක පැටලීමක් බවට පත්විය හැකි බැව් සිතූ පැරණි ගැමියා නැකතට අනූවම නව වසර පිළිගන්නට සැදී පැහැදී සිටියේ ය.
සිංහල ව්‍යවහාරයට අනුව බක් මාසයේ 12, 13 14 යනාදී දින ආශ්‍රිතව අවුරුදු නැකත් බොහෝවිට යොදාගැනීම ජ්‍යොතිෂයට අනුව සිදුකරන අතර, අවුරුදු චාරිත්‍ර සියල්ලටම හිරු ප්‍රධාන ලෙස පාදක වී ඇති නිසා සියලු නැකැත් සකස් කරනු ලබන්නේ හිරු උදාව පදනම්කර ගනිමිනි. සූර්යයා හෙවත් රවි මීන රාශියේ සිට නැවත වරක් අලුත් ගමනක් යෑම සඳහා මේෂ රාශියට සංක්‍රමණයවීම නැතහොත්ල යළිත් වරක් මේෂ රාශියෙන් හිරු රැස් වැටීම ආරම්භවීම අලුත් අවුරුද්දේ ආරම්භය ලෙස සැලකේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මුළුමනින්ම පදනම් වී ඇත්තේ සූර්යයා මත බැවින් සූර්ය වර්ෂය (Solar Year) ‘හිරුගේ අවුරුද්ද’ යැයිද කියනු ලැබේ.
අපේ පැරණි ජනකාව්‍ය පොතක් වන ‘අවුරුදු මාලයේ’ අලුත් අවුරුද්ද උදාවන අයුරු මෙසේ දක්වයි.
බක්මහ ලත් මේසය යන රැසටා
සත්රජ ලෙස දිවසළු හැඳ තොසටා
සෙත් ආසිරි දෙව් මේ සතටා
නික්මෙයි සූරිය දෙව් මේ ලෙසටා
දැරුව කිරුළ හිසකේ සුවඳ තවරා
සරුව බරණ හද ගිනද පතුරා
සරුව කසුම තවරා කුග හසරා
මෙලොව පහළවෙයි අවුරුදු කුමරා
මෙහි දැක්වෙන අවුරුදු කුමාරයාගේ පැමිණීමෙන් නිරූපණය වන්නේ සාමය, සතුට හා සෞභාග්‍ය, වාසනාව නව අවුරුදු උදාවත් සමග ලැබෙන බවයි. රාජ්‍ය අනුග්‍රහයෙන් එදා පැවැති අවුරුදු උත්සවයේ නැකත් රජුගේ නියෝගය පරිදි සකස් කළ අන්දම රොබට් නොක්ස් ‘එදා හෙළදිව’ කෘතියෙහි සඳහන් කරයි.
‘මේ නැකත්කරුවෝ පරණ අවුරුද්ද ගෙවන අන්තිම මොහොත, විනාඩිය දක්වා ගණන් බලා කියති. ඒ අවස්ථාවේ රටේ රජවරුන් හැරෙන්නට අනිත් සෑම කෙනෙක්ම සෑම වැඩකින්ම නිදහස්ව සිටිති.’
මහනුවර රාජධානි සමයෙහි අවුරුදු නැකත් සකස් කළ අන්දම ගැන ‘ජෝන් ඩිවි’ ද අදහස් දක්වා ඇත. නොනගතය, අවුරුදු උදාව, ළිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය, නෑහෙන්තුවේ යෑම (නෑගම් යෑම), හිස තෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම ආදී වශයෙන් නැකතට, වේලාවට වැඩ කිරීමට උනන්දු කරවන මෙකී චාරිත්‍රගතව කටයුතු කිරීම හරහා සිංහල ජීවිතයෙහි සාර්ථක අසාර්ථකභාවය තීරණය වන බව පැරැන්නෝ විශ්වාස කළහ.
නවසඳ බැලීම

අවුරුදු චාරිත්‍ර සඳහා මුලින්ම සඳ බැලීමට නියමකර තිබීම පැරණි චන්ද්‍ර වන්දනාව අනුගමනය කිරීමක් බව පෙනීයයි. හඳ බැලීම ඉෂ්ටාර්ථ සාධනයට හා සම්පත් ලැබීමට හේතුවක් වන බව හින්දු භක්තිකයෝ ඇද වූහ. අපේ සිංහල සංදේශවල සඳට ලබාදී ඇත්තේ සුවිශේෂී වූ ස්ථානයකි.
“ලප නොමවන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි”
(සැළලිහිණි සංදේශය)
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම

සාමාන්‍ය ජීවිතයේදී ස්නානය කිරීම ශරීර සෞඛ්‍යය රැකගැනීම සඳහා හිතකර වෙයි. මෙම අවුරුදු චාරිත්‍රය අදවන විට නගරයේ මෙන්ම පිටිසර ද ලිතට පමණක් සීමාවී ඇත. පරණ අවුරුද්ද සේදී ගොස් අලුත් අවුරුද්ද සඳහා අලුත්වීමක් මෙම ස්නානය කිරීම නිසා සිදුවන බව ඇදහූ ගැමියෝ මේ සිරිත අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දු වූහ.
නොනගතය හෙවත් පුණ්‍ය කාලය

පරණ අවුරුදු සමය කොටස් තුනකට බෙදිය හැකිය.
■ පරණ අවුරුද්ද
■ නොනගතය
■ අලුත් අවුරුද්ද
පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර ඇති සංක්‍රාන්ති සමය වන නොනගතය ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වේ. යට සඳහන් කළ පරිදි මීන රාශියේ අවසානය සහ මේෂ රාශියේ ආරම්භය අතර කාලයේ සුබ නැකැත් නොමැත. එය ‘නොනැකතය’ නම් වෙයි. ‘නැකත් නැත’ යන්න එහි අදහසයි. මෙම අගුණ ඵල සහිත කාලච්ඡේදයේදී වැඩපළ නොකළ යුතු බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.
එසේ වුවද මෙම කාලය පින්කම් හි නිරතවීම උචිත බවද දක්වා තිබේ. මේ නිසාම මෙයට ‘පුණ්‍ය කාලය’ ලෙස අන්වර්ථ නාමයක් ද තබා ඇත. මෙලෙස පුණ්‍ය කර්මයන්හි යෙදීමෙන් ඒ කාලය තුළ ඇතිවිය හැකි අපල උපද්‍රව දුරුකර ගැනීමට හැකිවේ. මෙම කාලය තුළ තෙරුවන් වැඳපුදා ශිෂ්ට සම්පන්නව හා ධාර්මිකව කටයුතු කිරීමට සිංහල ජනතාව පෙලඹී ඇත. හේවිසි, හොරණෑ හඬ පැතිරෙත්ම ගැමියන් සුදුවතින් සැරසී විහාරස්ථානවල ආගමික කටයුතු සමග ඒකරාශි වන අතර, ඒ තුළින් ගම හා පන්සල අතර සම්බන්ධය ද නව ආරයකින් නව වසර තුළ ආරම්භ වේ.
ආහාර පිසීම

නොනගතයෙන් පසුව මුල්ම නැකත ආරම්භ වන්නේ ආහාර පිසීමේ අවස්ථාවෙනි. මෙය පැරණි ‘ගිනි දෙවියා පිදීමේ අවස්ථාවේ නව මුහුණුවරක් ලෙසද අර්ථකථනය කළ හැකිය. වෛදිකයෝ ‘අග්නි ගෝස්ත්‍ර’ පූජාව සිදු කළාක් මෙන් හෙළයෝ ළිප් බැඳ ගිනි මොළවා ආහාර පිස ගැනීම නැකතට සිදු කිරීම හරහා, නව වසරේ ආහාර අහේනියක් මතු නොවී නිවෙසට සිරිදුව පැමිණෙන බවට පැරැන්නෝ විශ්වාස කළහ.
තවද පීතෘ මූලික වූ සමාජයක කාන්තාවකට පවතින අඩුවගකීම් සහගත තත්ත්වයේ කිසියම් වෙනසක් සිංහල අවුරුදු උත්සවය හරහා ඇතිවීම ද මෙම නැකැත හරහා සිදුවේ. එනම් මෙම නැකතට අනුව කටයුතු කිරීමේ වැඩි වගකීම පැවරී ඇත්තේ නිවසේ ගෘහණියට ය. එයට හේතුව ළිප ගිනි මෙළවීමේ හා ආහාර පිසීමේ කටයුතු ඇයගේ දෛනික කටයුතුවල ප්‍රමුඛස්ථානයක් ගන්නා කටයුත්තක් වන නිසාය.
මෙහිදී ගෘහණිය නියම කර ඇති වස්ත්‍රාභරණවලින් සැරසී නැවුම් වළං මුට්ටිවල නැවුම් ආකාරයට එය සිදුකිරීම හරහා නව වසරට සුබාසිරි හිමිවන බව ගැමි විශ්වාසයයි.
ආහාර අනුභවය

නැකතට පිසින ලද ආහාර මුළු රටට එකම නැකතකින් අනුභව කිරිමේ චාරිත්‍රය ලොව කිසිදු රටක දක්නට නොමැත. පවුලේ සාමය හා රටේ සාමය පිළිබඳව නව සිතුවිලි ඇතිකර ගැනීමට කදිම අවස්ථාවක් මේ තුළින් හිමිවේ. විශේෂයෙන්ම පවුලේ සියල්ලන් එකට එකතු වී එකම මේසයකට වාඩිවී එක්ව ආහාර ගැනීමේ සිරිත කොතරම් නම් අමන්දානන්දයක් ද?
නැකත නොඉක්මවා ආහාර අනුභවයෙන් නිරෝගී සම්පත ලැබෙන බව ද වසර පුරා ආහාර අහේනියක් මතු නොවන බව ද බවභෝග සම්පතින් ආඪ්‍ය වන බව ද පිළිගැනේ.
ගනුදෙනු කිරීම හා වැඩ ඇල්ලීම

ආහාර අනුභවයෙන් පසුව ඊළඟට සිදුවන්නේ වැඩ ඇල්ලීමයි. මෙතුළින් අපේක්ෂා කරන්නේ අවුරුද්දේ සියලු කාර්යයන් සමෘද්ධවීම පිණිස කටයුතු ඉෂ්ටකර ගැනීමයි. එක් එක් අය තම වෘත්තියට ගැළපෙන ආකාරයෙන් තමන්ට අදාළ කටයුතු සුබ මුහුර්තියෙන් ඉටුකිරීම මින් අපේක්ෂිතය. කිරි ගසක අත්තක් කැපීම, අධ්‍යාපන කටයුතුවල නිරතවීම, තම වෘත්තියට අදාළව කම්මල්කරුවා මිටිය, පෙදරේරුවා මේසන් හැන්ද, සිත්තරා තෙලිතුඩ ආදී වශයෙන් අදාළ ආම්පන්න රැගෙන වැඩෙහි යෙදීම සිදුකරයි.
ඊළඟට යෙදෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව තුළින් අපේක්ෂා කරන්නේ ඉදිරි වර්ෂයේදී මුදල් හදල් අතින් කරදර වලින් තොරව කටයුතු කිරීමේ හැකියාව ලබා ගැනීමයි. ඒ සඳහා පිරිසිදු හදවතැති, යහමින් මුදල් ගැවසෙන අයෙක් සමග ගනුදෙනු කිරීම වැදගත් බව පැරණි ගැමි ආකල්පය විය. ගනුදෙනු කරන්නා, බුලත් කොළයක එතූ යම් මුදලක් පිළිගන්වන අතර එය භාරගත් අය ඊට වැඩිපුර මුදලක්ද එකතු කොට ආපසු ලබාදීම සිරිත විය.
තමන්ට වඩා උසස් තත්ත්වයෙන් යුත් සාර්ථක ව්‍යාපාරයක යෙදෙන ඔහු පිළිගැනීම පිණිස කැවිලි පෙවිලියෙන් ද සංග්‍රහ කොට සහ සම්බන්ධතාවය ගොඩනැංවේ. අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමේ වැඩසටහන් වර්තමානයෙහිදී බැංකු, මූල්‍ය ආයතන මාර්ගයෙන්, ව්‍යාපාරික අරමුණින් යුතුව ඉටු වුවද පැරැන්නෝ එය ඊට වඩා නම්‍යශීලී පරමාර්ථයක් තුළ ක්‍රියාත්මක කළහ-
හිස තෙල් ගෑම

පුරාණ අවුරුදු චාරිත්‍ර අතර ප්‍රමුඛස්ථානයක් ලැබී ඇත්තේ මෙම නැකත් චාරිත්‍රයටය. ඒ නිසාම ‘තෙල් ගාන නැකත’ ලෙස එය ජනප්‍රිය වූ අතර ‘තෙල් ගාන අවුරුද්ද’ ලෙසින් ද සිංහල අවුරුද්ද හඳුන්වා දී තිබුණි.
ශකවර්ෂ 821 හිස තෙල් ගෑමේ චාරිත්‍රය විස්තර කර තිබුණේ පහත පරිද්දෙනි. “හිස තෙල් ගාන නැකත අප්‍රේල් මස 15 වන සෙනසුරාදා ඉර මුදුන් වන්ට ඔර්ලෝසුවෙන් නවය පසුවී මිනිත්තු 58ට දකුණ බලා කුංකමප්පු, ගෝරෝචන, ජටාමාංශ, පාට කහුමුරුවා, සුදු හඳුන්, අට නෙළුම් පත්‍ර, ඉරිවේරිය, තගරලොත් මිශ්‍ර නානු හිසට, නුග කොළ දෙපයට, කරඳ කොළ තබා ඉසගානු…..”
(1821 නැකත් පත්‍රය)
වසරේ මාස එකොළහක් තිස්සේම තලප්පා සුම්බර හිසබැඳ ගිනි කාෂ්ටක අව්වේ ද මොර සූරන වැස්සේ ද එක දිගටම ගොඩමඩ ගොවිතැන්වල යෙදුණු ගොවියාට හිසතෙල් ගෑමට විවේකයක් ලැබුණේ නැත. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා කේශාන්තයේ පටන් පාදාන්තය තෙක් වැලඳෙන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසීය තුනක් වූ ආන්ත්‍ර මුලිනුපුටා දමා ශාන්තිය ලබාගැනීම මෙහි අභිප්‍රේතාර්ථය විය.
මුළු ගම්මානයන්ම පන්සලට එකදු පහදු වී නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මැද සිදුකරන මෙකී චාරිත්‍රය පන්සල හා බැඳී ගැමි බැඳියාව තවදුරටත් විස්තාරණය කරන්නට සමත් වේ. එමතු නොව වා, පිත්, සෙම් තුන්දොස් සමනය කර දීර්ඝායුෂ ලබාදීමට සමර්ථ හැකියාවක් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය හා සමග බැඳී පවතින බව පැරැන්නෝ විශ්වාස කළහ. ඈත රජ සමයේදී මිනිසුන්ට පමණක් නොව අලි ඇතුන් හටද නැකතට හිසතෙල් ගැල්වූ බව පොත පතෙහි සඳහන් වේ.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

මෙය සිංහල අවුරුදු නැකත් සීට්ටුවෙහි අවසාන නැකත් විශේෂයයි. නැකතට නිවසින් පිටත්ව යන්නා, ඇඳ පැලඳ යායුතු ඇඳුම්වල වර්ණය ද, මුහුණලා පිටත්විය යුතු දිශාව ද දක්වා තිබේ. ගමනාරම්භයට පෙර එළකිරි මිශ්‍ර ආහාරයක් සමග කිරිබත් අනුභව කිරීම සුදුසු බව සඳහන් වේ.
අවුරුදු නැකත් අනුගමනය අද ඉතාම ලඝු බවට පත්ව තිබේ. බොහෝදෙනා අනුගමනය කිරීමට පෙලඹී සිටින්නේ ආහාර අනුභවය වැනි නැකත් පමණි. කාර්යබහුලවීම නිසා වර්තමාන සිංහල සමාජයෙහි මිනිසුන් අවුරුදු නැකත් අනුව කටයුතු කිරීමෙන් ඈත්වීම කනගාටුවට කරුණක් වේ.
සිංහල අලුත් අවුරුද්ද සඳහා විවිධ වූ ඛාද්‍ය බෝජ්‍යයන්ගෙන් අවුරුදු මේසය හැඩගැන්වීමට එදා හෙළයෝ පුරුදුවී සිටියහ. විශේෂයෙන්ම බක්මහ කෝණම වෙනුවෙන් පවත්වන සැණකෙළියට යොදාගන්නා ලද්දේ අවුරුද්දට පෙර අවසන් කළ ගොවි කටයුතුවලින් නෙළාගන්නා ලද අවස්වැන්න ය. තෙල් වළං ළිප තබමින් කෝදුරු කැවුම කෝදුරුවන්ට වෙන් කිරීමේ සම්ප්‍රදාය අදටත් ක්‍රිියාත්මක කෙරේ. තවද අතිරස, මුං කැවුම්, ලෝලූ, පැණිවළළු, නාරං කැවුම් (කොමලවටං), ආස්මි, කොණ්ඩ කැවුම්, අග්ගල, කළු අලුවා, මුංගුලි, මුං කැවුම්, කොකිස් ආදී කැවිලි පෙවිලි මේසය මුළු ගමකට සංග්‍රහ කළ හැකිවන ආකාරයට සකස් කර ගැනීමට එදා හෙළයා උනන්දු වූහ. ආස්මි ‘පුලුබ්බෝදන’ ලෙසින් හැඳින්වීමට වයඹ පළාත් වැසියන් උත්සුකවී තිබේ.
නෑගං යන්නටත්, නෑගමට නිවසට එන හිතවතුන්, නෑදෑයන් පිළිගන්නටත් කැවිලි පෙවිලි අඩුක්කුව තනාගත් අතර හත්මාළුව අවුරුදු කෑම මේසයට නැතිවම බැරි ව්‍යාජනයක් ලෙස මෑතක් වනතුරුම සිංහල ජනතාව අතර භාවිතවීම දක්නට තිබුණි. මෙය පිළියෙලකර ගන්නේ කජු ඇතුළු එළවළු වර්ග 7 ක් යොදා ගනිමිනි.
වර්තමානයේදී බටහිර කැවිලි පෙවිලි හා ආහාර සංස්කෘතිය අවුරුදු කැවිලි මේසය ආක්‍රමණය කර ඇති අතර එහෙයින්ම නවාංග එකතු කළ ආහාර මේසය ගම්දනව් පුරා දැකිය හැකි වේ. සෞඛ්‍යාරක්ෂිතව පෙර සිදුකරන ලද අවුරුදු කෑම මේසය සැකසීම මේ නිසාම නව්‍යකරණය වී තිබේ.
අවුරුදු ක්‍රීඩා

වසන්ත උදානය සමගින් සිංහලයන් ඒකරාශිවී සතුට බෙදාගැනීම පිණිස ක්‍රීඩා පැවැත්වීම සිදුකිරීම නිසා සිංහල අවුරුද්ද හා ජන ක්‍රීඩා අතර පවතින්නේ අවියෝජනීය වූ සම්බන්ධතාවයකි. අලුත් අවුරුදු සමය නිසා පැරණි ගංදොර එකම සංස්කෘතික සංදර්ශනයක් බවට පත්වේ. සිංහල ජාතියේ ආරම්භයේ සිට නැකත් කෙළිය පදනම් කරගෙන දුප්පත් පොහොසත් බේදයකින් තොරව උත්සව පැවැත්වූ බව පැරණි පොත පත අධ්‍යයනයට ලක් කිරීමේදි පෙනී යයි. අවුරුදු උත්සවය එදා ආරම්භ වූයේ අස්වනු කපා ගෙටගත් පසුය. එබැවින් එයට ගොවිජනතාව සතුටින් හා සැහැල්ලුවෙන් යුතුව සහභාගි වූහ. මෙලෙස පැවැත්වූ ජන ක්‍රීඩා කොටස් කිහිපයකට බෙදිය හැකිය.
ගෘහ ක්‍රීඩා

නිවසේ හෝ ගොඩනැඟිලි තුළ සිදු කරන ක්‍රීඩා
උදා : පංච කෙළිය, ඔලිඳ කෙළිය, නෙරංචි ඇදීම, දාං ඇදීම
එළිමහන් ක්‍රීඩා

මෙම ක්‍රීඩා වැඩි වශයෙන් නිවෙස් ආශ්‍රිතවත් නිවෙස් වලින් පිටස්තරව කරන ක්‍රීඩා
උදා : රබන් ගැසීම, ඔන්චිල්ලා පැදීම, තාච්චි පැනීම, ගුඩු ගැසීම, අඹ ඇට පැනීම, චක්කරං පැනීම
ආගමික හා දේව සංකල්පවලට සම්බන්ධ ක්‍රීඩා කිසියම් සුවයක් ශාන්තියක් අපේක්ෂාවෙන් යුතුව සිදු කරනු ලබන ක්‍රීඩා
| අං කෙළිය
උදා: අං කෙළිය, පොර පොල් ගැසීම
වෙහෙස ගෙනදෙන ක්‍රීඩා

උදා: අහසට ඉණිමං බැඳීම, එළුවන් කෑම
අනතුරුවලට ලක්විය හැකි ක්‍රීඩා

උදා: කුකුල් පොර, තිරික්කල රේස්, අලි රේස්
රබන් සුරල් වැයීම අනාදිමත් කාලයක් තිස්සේ සිංහල සංස්කෘතිය සමග අත්වැල් බැඳ ගන්නා ලද ක්‍රීඩාවකි. සිංහල අවුරුද්ද ළඟාවී ඇති බව ගම්දොරට මුලින්ම කියැවෙන්නේ අතරින් පතර ගම්මැද්ද තුළින් ගලාඑන රබන් සුරල් නාදය තුළිනි. බොහෝ අවස්ථාවලදී රබන් සුරල් වැයීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මුල් වී සිදුකරන්නාවූ තරගකාරී ක්‍රීඩාවකි. රවුමෙන් පිටත සිටින අය නම් කරන්නාවූ පදයට රබන් වැයීම ද නොඑසේ නම් එය වාදනය කරන අය රබන් පද කියමින් රබාන වාදනය කිරීම ද සිදුවේ.
ඔංචිල්ලා බැඳීම ද විනෝදය ගෙනදෙන ක්‍රීඩාවකි. එකිනෙකා අතර එකමුතුබව ප්‍රදර්ශනය කරන මෙම ක්‍රීඩාවේදී අවුරුදු කාලය තුළදී බොහෝ විට වැඩි වශයෙන් නිරත වන්නේ යෞවනියන් ය. කාව්‍යශේඛරය, රුවන්මල් නිඝණ්ඩුව වැනි ග්‍රන්ථවල ද ‘අවුරුදු මාලය’ නම් කෘතියෙහිද ඔංචිල්ලා පැදීම ගැන සඳහන් වේ. කතුරු ඔංචිල්ලා, වැල් ඔංචිල්ලා, රන් ඔංචිල්ලා, බඹර ඔංචිල්ලා ආදී වශයෙන් ඔංචිල්ලා වර්ග විවිධ වේ. ඔංචිල්ලාව පදින විට කියන කවි ‘ඔංචිලි වාරම්’ ලෙස අවුරුදු මාලය නම් කෘතියේ සඳහන් වේ.

අට දෙන අට කොන වාඩිවෙයල්ලා
සිටගෙන දෙන්නෙක් පොලු පාගල්ලා
වවුලන් ලෙස කැරකෙන ඔංචිල්ලා
අපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා
ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි ඔංචිල්ලාව යන්නට දී ඇති නිරුක්තිය වන්නේ දෝලාව යන්නය. ඒ. පී. ද සොයිසා සූරීන් සිය ශබ්ද කෝෂයෙහි දක්වන්නේ ‘සතුටුවීමට, පැද්දීමට යොදාගත් දේ’ යනුවෙනි.
කව්සිළුමිණේ ද ඔංචිලි පදින කාන්තාවන් ගැන සඳහන් වන අතර, මෙම තොරතුරුවලින් පෙනී යන්නේ අවුරුදු සමය තුළදී ඔන්චිල්ලා කොතරම් ජනගත ක්‍රීඩාවක් වූවාද යන්න ය.
අහසට ඉණිමං බැඳීම, එළු කොටු බැඳීම, ගුඩු පැනීම, ඉරටු හැංගීම, කුකුළන් වී ඇහිලීම, පොල් කැඩීම, කොපර කොපර පිපිඤ්ඤා, බුහු කෙළිය, කැට ගැසීම, හවරි හැංගීම, කඹ ඇදිල්ල… ආදී ක්‍රීඩා මගින් ඒකාකාරී ජන ජීවිතය වෙනස් කර ගන්නට අවස්ථාව උදාකර දී ඇත. එසේම කවදා කෙදිනක මෙම ජන ක්‍රීඩා ආරම්භ වුනි දැයි දැක්වීම කළ නොහැක්කා සේම සාමුහිකත්වය, රසවින්දනය, ක්‍රීඩා කුසලතාවයන් වර්ධනයකර ගැනීම ආදී අරමුණු ඉටු කරගැනීමේ අභිලාෂයෙන් යුතුව මේවා ක්‍රියාත්මක වී තිබේ.
අභාවයට යන මේවර කෙළිය, ඔලිඳ කෙළිය වැනි ක්‍රීඩා සිංහල අලුත් අවුරුදු කාලයෙහිදී හෝ නැවත කරළියට පැමිණීම අගය කළ යුතු ය. ඉඳින් වියැකී යමින් පවතින මෙකී නානාප්‍රකාර වූ ජන ක්‍රීඩාවන්, මෙවන් අවුරුදු වකවානුවක් තුළ නැවත නැවත භාවිතයට උත්සහ දරන්නේ නම් එය අගය කළ යුතුය. රජ දවස පැවැති අලුත් අවුරුදු උත්සවය පිළිබඳව විවිධ ලේඛන මූලාශ්‍රයන්ගෙන් තොරතුරු ලැබී තිබේ. දීපවංශය, මහාවංශය වැනි ඓතිහාසික ග්‍රන්ථ වලින්ද, ජෝන් ඩේවි විසින් ලියන ලද ග්‍රන්ථයන්හි ද එකළ අවුරුදු උත්සවය පැවැති ආකාරය රසවත්ව විස්තර කර තිබේ.

“රජ්ජුරුවෝ ඉස් සෝදා නාපියා ස්වර්ණාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පේළි ගැසී සිටගත් බල සෙනඟ පරීක්ෂා කිරීම සඳහා, මාළිගාවෙන් නික්මෙත්, ඉක්බිත්තෙන් අධිකාරම්, දිසාපති ආදී උසස් නිලධාරීහු රජ දැක්ම පිණිස අලුත් අවුරුදු කත් සමග මාළිගයට පැමිණෙති…”
(රොබට් නොක්ස් -එදා හෙළදිව)
සිංහල රජ කාලයේ “අවුරුදු බද්ද” නමින් විශේෂ බද්දක් අය කළ අතර, ඉන් රජයේ ආදායම වර්ධනය වූ බව ද සඳහන් වේ. අපේ ප්‍රථම ජාතික අවුරුදු උලෙළ ආරම්භය කවදා කොතැන සිදුවුණි දැයි කිව නොහැකි වුවද, 1886 වර්ෂයේදී අවුරුදු දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කළ අයුරු ඉහත කෘතිවල සඳහන් වේ.
එහෙත් සිංහල අවුරුදු උත්සවය වාණිජකරණයට ලක්වෙමින් පැවතීම වර්තමානයේදී බලවත් ලෙස සිදුවේ. අවුරුදු උලෙළ හරහා සිදුවූ යහපත් දේ අතර නිසි කලට නිසි දේ කිරීම, නව සිතුම් – පැතුම්වලින් ජීවිතය නැවුම්වීම, වැඩිහිටි උපස්ථානය, සෞඛ්‍යය රැකගැනීම, වරදට සමාවදීම, විනෝදය, සාහිත්‍යය හා කලා කටයුතුවල උද්දීප්තිය, යනාදි ය- සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර නිසා පැරණි සිංහලයන්හට අත්පත් වූ වාසි කිහිපයකි. එහෙත් වර්තමාන වාණිජකරණය වූ පසුබිමක, යාන්ත්‍රිකවූ සමාජයක අවුරුද්ද සැමරීමෙහි නියමාර්ථය වටහාගෙන නොමැති බව පෙනේ. ඒ නිසාම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු කාබී ප්‍රීතිවී අවසිහියෙන් කටයුතු කළ හැකි සුබ මුහුර්තයක් බව බහුතරයකගේ පිළිගැනීමයි.
එසේම විද්්‍යුත් මාධ්‍ය තරගකාරී ලෙස අවුරුදු උලෙළ ව්‍යාපාරික අරමුණින් යුතුව සැමරීම සඳහා කරන ‘ඩෙඟා නැටීම’ නිසා අවුරුද්දේ සැබෑ මිහිරියාව යටපත් ඇද්දෝයි සිතේ. එසේම විවිධ නළු නිළියන් යොදාගනිමින් කරන වැඩසටහන් නිසා අවුරුදු කොවුල්සර සිංහල සිත් සතන් තුළින් ගිලිහී යෑම වර්තමාන අවුරුදු සිරියාවට කනකොකා හැඩීමක් බදුය.
එසේම ජන ක්‍රීඩා වෙනුවට ජුගුප්සාජනක හා හාස්‍යජනක, විකාරජනක ක්‍රීඩා හරහා අවුරුද්දේ හරය යටපත්වී යෑම කනගාටුවට කරුණක් වේ. දේශපාලනිකරණය වූ අවුරුදු උත්සව හා නැකත් වේලාවේදී පවත්වනු ලබන මාධ්‍ය අවුරුදු උත්සව හරහා අවුරුද්දේ සැබෑ අරුත යල්පිනු තත්ත්වයට පත් වී තිබේ. ගස්වැල් කපා දැමීම නිසා අද එරබදු ගසක් සොයාගන්නට නැත. මස් මාංශාදිය අවුරුද්දට ඈඳා ගැනීම නිසා අවුරුදු සමයෙහි සතා සීපාවට පවා විනාශය ළඟාවේ. ගවයන්, ඌරන්, කුකුළන් සිංහල චාරිත්‍රානුකූල අවුරුද්ද වෙනුවෙන් බිලිවෙත් නම් එය කොතරම් කනගාටුදායක තත්ත්වයක්ද? සමගිය සමාදානය ඔප් නංවනු වෙනුවට මත්පැන් වලින් වියරු වැටුණු මිනිසුන් කෙරෙන් බැණ අඬගැසීම්, කලකෝලාහල, පළිගැනීම් සඳහා අවුරුදු දිනය තෝතැන්නක් බවට පත් වී තිබේ.
“සත් රජ ලෙස දිව සළු ඇඳ සොඳවා
නෙක් ආසිරි සලසා සව් සත්වා
නික්මෙනි සූර්ය දෙව් මේ ලෙසටා
සියොළඟ කුසුම් තවරා නැඟ හසරා”
මේ ලෙස පැමිණෙන අවුරුදු කුමරු බුදු දහමෙහි සහ සිංහල සංස්කෘතියෙහි ආභාසයෙන් යුතුව පිළිගනිමින් එකිනෙකා අතර සමගිදාමයෙන් බැඳෙන සේ කටයුතු ඉටු කරමින් සැමරිය හැකි නම් මේ නව අවුරුද්දෙහි එය රටට ම හොඳ පණිවිඩයක් ලබාදීමක් සිදුවනු ඇත. අලුත් අවුරුද්ද වනාහි සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් වන හෙයින්, නව ආකල්ප සහිතව අවුරුද්ද දෙස බැලීම ඉතා වැදගත් වුවහොත්, මීට වසර සියයකට, දෙසීයකට පෙර අප අත්දුටු අවුරුද්දේ සැබෑ අරුත යළි ගම්දොරට කැඳවාගනිමින් කොපුල්සර හඬ අත්විදින්නට හැකිවන නව වසරක් වනු ඇත.
එකසිය විස්සට දෙසීය විස්සක් ආයු වැඩෙන සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

(සටහන | කථිකාචාර්ය ඩි.කේ.ජී. විමලරත්න)
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය – පොල්ගොල්ල
උපුටා ගැනීම - divaina



