නමුත් ව්‍යාපාරිකයින් ඉතා දැඩිව ඉන්නා ස්ථාවරය තමයි, රාජ්‍ය සේවයට වගේ පෞද්ගලික අංශයට වැටුප් වැඩි කිරීමට හෝ දීමනා ලබා දීමට ආණ්ඩුවකට අයිතියක් නැතැයි කියන තැන. ඒ නිසා අපි කවුරුත් අහලා තියෙනවා බොහෝ අයවැය කතාවල, රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම් ලබා දෙමින් මුදල් ඇමතිවරයා ඉතා බයාදු ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කරනවා, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ටත් වැටුප් වැඩි කරන්න කියලා. නමුත් මුදල් ඇමතිවරුන්ගේ එවැනි ඉල්ලීම් අනුව හාම්පුතුන් වැටුප් වැඩිකරලා නැහැ.

ඒ තත්ත්වය යටතේ සිය ධූරයේ අවසන් මාස කිහිපයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තුමිය පළමු වරට “අයවැය සේවක සහන දීමනා පනත” යැයි පාර්ලිමේන්තු පනතක් 2005 ඔක්තෝම්බරයේදී සම්මත කරමින් පෞද්ගලික අංශයේ මාසික වැටුප රුපියල් 30,000 ට අඩු සියලු සේවක සේවිකාවන්ගේ වැටුප රුපියල් දහසකින් (1,000) වැඩි කෙරුවා. ඊට පස්සේ 2015 පත් වුන අගමැති වික්‍රමසිංහගේ “යහපාලන ආණ්ඩුව” වෘත්තීය සමිති බලපෑම් හමුවේ “අයවැය සේවක සහන දීමනා පනත” සංශෝධනය කරමින් 2015 ජනවාරි සිට රුපියල් 1,000 ක් හා 2016 ජනවාරි සිට රුපියල් 2,500 ක් වැඩි කෙරුවා. එවැනි “කොට” එකතු කරලා මේ වනවිට, පෞද්ගලික ක්ෂේත්‍රයේ අවම වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කෙරිලා තියෙනවා. මාලිමා ආණ්ඩුව ලබන ජනවාරි සිට තව රුපියල් 3,000 ක් වැඩි කරනවා කියලා තියෙනවා.
මේ වැඩි කිරීම් කිසිවක් හාම්පුතුන්ට බලපාන්නේ නැහැ. පසුගිය අවුරුදු 10 ක 15 ක විතර කාලයේ ඉඳලා විශේෂයෙන් ඇඟළුම් කර්මාන්තයට සේවිකාවන් ආකර්ශනය කර ගන්න අතිකාල, ඉලක්ක සැපිරීමේ දීමනා, නිවාඩු නොගැනීමේ විශේෂ දීමනා වගේ ගෙවීම් සමග මාසෙ අන්තිමට ඔවුන්ගේ “අතට ගන්න” මුළු වැටුප ලෙස රුපියල් 33,000 ත් 36,000 ත් අතර වැටුපක් දැනට ගෙවන නිසා, මේ වැඩි කිරීම් හාම්පුතුන්ට අදාල නැහැ.

කොරෝනා වසංගතය සමයේ වැටුපට වඩා බරපතල වුනේ රැකියා සුරක්ෂිතතාව යයි. කොරෝනා වසංගතය නිසා අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයට ලැබෙන සාමාන්‍ය ඇණවුම් පවා අඩු වෙනවා කියලා, ඒ නිසා කර්මාන්ත ශාලාවල සේවක අතිරික්තියක් ඇති වෙනවා කියලා හාම්පුතුන් ආණ්ඩුවට කිව්වා. ඒ කතා සමග ආරම්භයේදීම ත්‍රෛපාර්ශික ජාතික කම්කරු උපදේශන සභාවෙහි ඇති වූ ලොකුම විවාදය වුනේ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය බලකර සිටි, “කොරෝනා වසංගතය හේතුවක් කරගෙන කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමට ඉඩ නොතැබිය යුතුය” යන කොන්දේසියයි. එවකට කම්කරු ඇමති වූ දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව එය ආණ්ඩුවේ ප්‍රත්පත්තියක් ලෙස ප්‍රකාශයට පත් කෙරුවා. නමුත් වෙනත් හේතු දක්වමින් ඇතැම් හාම්පුතුන් සේවක සේවිකාවන් රැකියාවෙන් ඉවත් කෙරුවා.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් “වෙළඳ ගාස්තු” වැඩි කිරීම නිසා, සේවක අතිරික්ත කතා වැඩි බරක් ඇතිව දැන් නැවත ඉදිරිපත් කෙරෙනවා. ඇණවුම් නොලැබී යාමේ තර්ජනයක් තියෙන බවත් ඇණවුම් ලැබුණත් වැඩි මිලක් කීමට සිදුවන හෙයින් සැපයුම්කරුවන් වෙනත් අඩු මිල නිෂ්පාදන කළ හැකි රටවල් සොයා යන බවත් හාම්පුතුන් කියනවා. පෞද්ගලික අංශයේ අවම රැකියා ලක්ෂයක් අහෝසි විය හැකි යැයි රනිල් වික්‍රමසිංහ ටික දවසකට කලින් අනාවැකි කීමත් හාම්පුතුන්ට වාසියක් වුනා.
දැන් බරපතලම ප්‍රශ්නය තමයි මේ තත්ත්වයට මුහුණ දිය හැකි සහ හාම්පුතුන් සමග කේවල් කළ හැකි වෘත්තීය සමිති, ඇඟළුම් කර්මාන්ත, නිදහස් වෙළඳ කලාප ඇතුළු සමස්ථ අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේම නැහැ. වෘත්තීය සමිති පිහිටුවා ගැනීම හා සාමාජිකත්වය ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)ඈ යටතේ මූලික අයිතිවාසිකමක් වුනත් ඒ සඳහා උනන්දුවුනු හැම සේවකයෙක්ම, සේවිකාවක්ම හාම්පුතුන් විසින් වහාම ක්‍රියාත්මකවන ලෙස සේවයෙන් දොට්ට දැම්මා. එහෙම දොට්ට දැමූ සේවක නාම ලේඛන ඇතැම් හාම්පුතුන් ප්‍රසිද්ධ කෙරුවේ, ඔවුන්ව රැකියාවට නොගන්නැයි අනෙක් කර්මාන්ත හිමියන්ට කියන්නටයි. ඔවුන්ට තිබුණ වාසිය, කම්කරු දෙපාර්තමේන්තුව සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටීමයි.
ට්‍රම්ප් ගේ වෙළඳ ගාස්තු වැඩි කිරීම ගෝලීය අර්බුදයක් හැටියට හාම්පුතුන් ඔසව ගැනීම නිසා, ඇඟළුම් සේවක සේවිකාවන් ඇතුළු මේ රටට මෙතෙක් කල් ඩොලර් උපයා දුන්න අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ගේ රැකියා ඇත්ත අවදානමකට දැන්මම ගොදුරු වෙලා. සැළකිය යුතු සංඛ්‍යාවකගේ රැකියා නැති වෙන්න ඉඩ තියෙනවා වගේම, බහුතරයකගේ අතිකාල සමග අනෙක් සියලු දීමනා කප්පාදු කෙරෙන යෝජනා හාම්පුතුන් අතර කතා වෙනවා. දවසකට වැඩ මුර 03 ක් හැදුවම අතිකාල අවශ්‍ය නැහැයි කියලා හාම්පුතුන් කතා වෙන්නේ සේවකයින් අඩු කරලා නිෂ්පාදන ඉලක්ක වැඩි කරලා වැඩ ගැනීමෙන් වියදම් අඩු කර ගන්නයි.
මේ සේවක සේවිකාවන්ගේ රැකියා බේරා දෙන්න, ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා, මට ප්‍රශ්නයක් තියෙනවා.
ඔවුන් වෙනුවෙන් කතා කරන්න ඔබට වගකීමක් නැද්ද?

ඔව්. ඉහතින් කෙටියෙන් කියූ කරුණු සමග මේ ප්‍රශ්නය මං විශේෂයෙන් අහන්නේ නාගරික මැදපංතිකයින්ගෙන් හා රජයේ සේවක සේවිකාවන්ගෙන්. ඔබලාගේ අතේ තියෙන සුපිරි ජංගම දුරකතන, ටැබ්, ලැප්ටොප්, නිවෙස් වල තියෙන රූපවාහිනි යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රොවේව් කුකර්, දිනපතා යන එන පෞද්ගලික කාර් එක නැතිව ඔබට ජීවිතයක් ගැන දැන් හිතන්න පුළුවන්ද? ඒ වාහන වලට ඉන්ධන නැතිව දුවන්න පුළුවන්ද? ඉන්ධන හිඟය නිසා 2021-2022 විදුලිය කැපුවා මතකද?
ඉන්ධන ඇතුළුව ඔබලා බුක්ති විඳින එවැනි සුවපහසුකම් සියල්ල ලංකාවට ආනයනය කරන්නේ රුපියල් වලින් නෙවෙයි. ඒ සියල්ල ආනයනය කරන්නේ ඩොලර් ගෙවලා. කවුද ඒ ඩොලර් උපයලා දෙන්නේ? රජයේ සේවක ඔබ ද?
ලංකාවට ඩොලර් උපයා දෙන ප්‍රධාන කාණ්ඩ 03 ක් ඉන්න බව ඔබ දන්නවා. සිය වසකට වඩා පැරණි කාණ්ඩය තේ වැවිලිකරයේ දුප්පත් කම්කරුවන්. ඔවුන්ගෙන් බහුතරය කාන්තා ශ්‍රමය. 2023 අවුරුද්දේ ඔවුන් ඩොලර බිලියන 01.3 ක් උපයා දුන්නා.

අනෙක් කාණ්ඩය සංක්‍රමණික ශ්‍රමිකයින්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව වාර්ෂිකව මැද පෙරදිගට සංක්‍රමණය වන ශ්‍රමික සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 03 ට ආසන්නයි. ඉන් සියයට 40 ක් පමණ තරුණ කාන්තාවන්. 2024 දී ඔවුන් ඩොලර බිලියන 05.9 ක් ලංකාවට එවා තිබුණා. ඩොලර් අර්බුදය නිසා පසුගිය අවුරුදු කිහිපයේ හැකි තරම් ශ්‍රමිකයින් පිටරට පැටවීමට ආණ්ඩු උත්සාහ කෙරුවා.
ඇත්තම කතාව නම්, මෙහෙම රට පටවන්නේ තම ගම් ප්‍රදේශයේම රැකියා කරමින් තමන්ගේ ජීවිත නඩත්තු කර ගන්න බැරි අහිංසකයින්වයි. නාගරික මැදපංතික කාන්තාවන් එහෙම යනවා අහලා තියෙනවද? මේ අහිංසකයින් එවපු ඩොලර් බිලියන 06 ට ආසන්න මුදලින් ගමේ විනාස වෙන ඔවුන්ගේ දරු පවුල් ස්ථාවර කරන්න කොපමණ මුදලක් වැය කරනවාද කියලා කවුරුවත් අහන්නේ නැහැ.
මං මේ ලිපියේ වැඩි අවධාරණයක් කරන ලක්ෂ 11 ක් පමණ වන ඇඟළුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සෘජු සේවක සේවිකාවන් රටට ඩොලර් උපයා දෙන තුන්වන කාණ්ඩයයි. තවත් ලක්ෂ 10 ක් විතර ඔවුන්ගෙන් යැපෙනවා. රැකියා අහිමි වීමේ හා වැටුප් කප්පාදු වීමේ තර්ජනය ඇත්තේ ඔවුන්ටයි. 2024 දී ඔවුන්ගේ නිෂ්පාදන අපනයන මගින් අප ඩොලර බිලියන 12.7 ක් උපයා ගෙන තියෙනවා.

ඒ ශ්‍රමිකයින් උපයා දුන් ඩොලර් ගෙවා ආනයනය කළ තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩ යැයි ඔබ ගණන් නොහදන සුපිරි ජංගම දුරකතන, ටැබ්, ලැප්ටොප්, නිවෙස් වල තියෙන රූපවාහිනි යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රොවේව් කුකර් වැනි සියල්ල පැත්තකින් තැබුවත් කාගේ කාගෙත් වාහන සඳහා ඉන්ධන ගෙන්වා ගන්න, කාටත් නැතුව බැරි විදුලිය උත්පාදනයට ඔවුන් උපයා දුන් ඩොලර වෙනුවෙන් ඔබ ණයගැති යැයි හිතෙන්නේ නැද්ද?
ඔබගේ ජීවිතයේ සුවපහසුව වෙනුවෙන් ඩොලර් උපයා දෙන ශ්‍රමිකයින්ගේ රැකියා අහිමි විය හැකි මොහොතක, ආදායම් කප්පාදු විය හැකි මොහොතක, ඒ වෙනුවෙන් කතා කිරීමේ සම්මුති ගැසිය නොහැකි යුතුකමක් වගකීමක් ඔබට තියෙනවා කියලා මං ප්‍රසිද්ධියේම කියන්නෙ, ඔබලාගේ නිහැඬියාව ආත්මාර්ථකාමයට එහා යන හාම්පුතුන්ගේ වාසිය වෙනුවෙන් තැබෙන නිහැඬියාවක් නිසයි. (සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 අප්‍රේල් 12



