The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද එකක්ම ද? | තිලක් සේනාසිංහ

T

The Leader Desk

April 14, 2025 • 4:56 AM

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද එකක්ම ද? | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ බවට ජන මාධ්‍ය වලින් නිතර නිතර පැවසෙන කරුණු අනුව සිංහලයන් වන අප මෙය සිංහල දෙමළ අලුත් අවුරුද්ද වශයෙන් හැඳින්වුවද දෙමළ ජනතාව මේ සඳහා සූදානම් වන ආකාරය, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආදිය පිළිබඳ එතරම් අවබෝධයක් අප තුළ නැත.
  • ඒ1993 වසරේ සිට මගේ සුහද මිතුරකු වන එවක ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා නියෝජිත (නාරා) ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස කටයුතු කළ කේ අරුලානන්දන් ගේ උපන් බිමේ ය.
  • ඉන් පසුව 2003 වසරේ දී ස්වීඩනයේ ගොතම්බර්ග් සරසවියෙන් සාගර විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධියක් ද හිමි කර ගෙන සාගර විද්‍යාඥයකු වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව හිඳින ඔහු මේ වන විට සිංහල අධ්‍යක්ෂ ජනරාල් පදවිය හොබවයි.
  • අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද සිංහල හා හින්දු චාරිත්‍ර වාරිත්‍ර එක සමාන විය යුතුය යන විශ්වාසයන් මත පිහිටා එම ගමන ගිය මට හැඟී ගියේ මෙය අපගේ අලුත් අවුරුදු උත්සවයට සපුරාම වෙනස් උත්සවයක් බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ බවට ජන මාධ්‍ය වලින් නිතර නිතර පැවසෙන කරුණු අනුව සිංහලයන් වන අප මෙය සිංහල දෙමළ අලුත් අවුරුද්ද වශයෙන් හැඳින්වුවද දෙමළ ජනතාව මේ සඳහා සූදානම් වන ආකාරය, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආදිය පිළිබඳ එතරම් අවබෝධයක් අප තුළ නැත. අප දකින්නේ අලුත් අවුරුදු දිනයේ රූපවාහිනී සජීවී විකාශන ඔස්සේ දෙමළ ජනතාව අලුත් අවුරුදු උළෙල පවත්වන ආකාරය පමණි. ඉන් ඔබ්බට අප ඒ පිළිබඳ සොයා බලන්නේ ද නැත. නමුත් අප දකින දෙයට වඩා, එය පසුපස අප නොදන්නා දෑ බොහොමයක් තිබේ.

 

DSC 5382

අප රට පුරා දෙමළ හින්දු ජනතාව විසිරී පැතිරී සිටියත් අප්‍රේල් මාසයේ උදාවන අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරන්නට පෙළඹෙන්නේ බොහෝ විට ශ්‍රී ලාංකීය හින්දු බහුතරයක් වෙසෙන උතුරු පළාතේ ය. ඊට අමතරව කොළඹ වැනි ශ්‍රී ලාංකීය දෙමළ හින්දු ජනතාව ද මෙය සමරති. නමුත් ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ හින්දු ජනතාව මේ සම්බන්ධ විශේෂ උනන්දුවක් නොදක්වති.

jalli kattu festivel4

 

2012 වසරේ සිංහල අලුත් අවුරුදු දිනය මා ගත කරන ලද්දේ අප රටේ උතුරු කෙළවර වන පේදුරු තුඩුවේ ය. ඒ1993 වසරේ සිට මගේ සුහද මිතුරකු වන එවක ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා නියෝජිත (නාරා) ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස කටයුතු කළ කේ අරුලානන්දන් ගේ උපන් බිමේ ය. ඉන් පසුව 2003 වසරේ දී ස්වීඩනයේ ගොතම්බර්ග් සරසවියෙන් සාගර විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධියක් ද හිමි කර ගෙන සාගර විද්‍යාඥයකු වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව හිඳින ඔහු මේ වන විට සිංහල අධ්‍යක්ෂ ජනරාල් පදවිය හොබවයි.

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද සිංහල හා හින්දු චාරිත්‍ර වාරිත්‍ර එක සමාන විය යුතුය යන විශ්වාසයන් මත පිහිටා එම ගමන ගිය මට හැඟී ගියේ මෙය අපගේ අලුත් අවුරුදු උත්සවයට සපුරාම වෙනස් උත්සවයක් බව ය.

ඒ ගමන සඳහා මා හා ගලහිටියාව මැදි විදුහලේ ඉගෙනුම ලබා පසුව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා නියෝජිත ( නාරා ) ආයතනයේ ව්‍යාප්ති නිලධාරී ලෙස කටයුතු කළ ආනන්ද ලාල් ලියනගේ ද එක් විය. එහි දී අප උතුරේ අවුරුදු සැමරීම පිණිස දකුණෙන් රැගෙන ගිය සිංහල අලුත් අවුරුද්දට ආසන්නතම දිනයෙක පොර කමින් මිල දී ගත් සිංහල අලුත් අවුරුද්දේ “නිල පානය”උතුරේ අවුරුදු සැමරුම් වලට කෙසේ වත් අදාල නොවන බව දැන ගත් අපි මවිත වීමු.

 

1200 675 21222336 1092 21222336 1713095699697
මගේ සුමිතුරු ආනන්ද මෙලොව හැර ගොස් දැන් වසර ගණනාවකි. යාපනයේ දෙමළ අවුරුද්ද මෙසේ වුව ද අප රටින් බැහැර සමස්ත ලෝකය පුරා විසිරී සිටින හින්දු ජනතාව මෙය සමරන ආකාරය අනුව එම වෙනස්කම් තවත් පුළුවන බව විදේශ ගත අද්දැකීම් රැසක් ලබා ඇති එහි දී “අරූල්” මා හා කීය.

අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ ජාතික නැකැත් කමිටුව වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින හින්දු ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අප්‍රේල් 14 වැනිදා ය. ඒ අනුව අප රටේ දෙමළ හින්දු ජනතාව ද මෙරට ජාතික නැකත් කමිටුවේ නියමයන් නොතකති.ඒ ඔවුන් ගේ ආධ්‍යාත්මික සංකල්ප වලට ගරු කරමිනි.

 

arul

ආචාර්ය කේ අරුලානන්දන් ඔහුගේ දියණි වරුන් දෙදෙනා සහ වැඩිමල් සොයුරිය සමඟ පේදුරු තුඩුවේ වඩුවාවත්තෙයි කෝවිලේ දී අලුත් අවුරුදු දිනයෙක

 

නිරයන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගේරියන් දින දර්ශනයේ අප්‍රේල් 14 වැනිදා ය. ජාත්‍යන්තර හින්දු දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරයන මේෂ සංක්‍රාන්තිය ගණනය කරනු ලබයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීම ය. ඒ අනුව දැන් අප්‍රේල් 14 වෙනිදාට යෙදෙන සිංහල අලුත් අවුරුද්ද තව කලකින් අප්‍රේල් පහළොස් වන දා බවට පත්වනු ඇත. මෙලෙස වසර හැත්තෑ දෙකෙන් හැත්තෑ දෙකට සිංහල අලුත් අවුරුද්ද දවසින් දවස මැයි මාසය දෙසට තල්ලු වනු ඇත.

එමෙන්ම ඒ යන ගමනේ දී තව වසර එක්දහස් දෙසීයකින් පමණ අපට වත්මන් සිංහල අලුත් අවුරුද්ද සොයා ගැනීමට සිදුවන්නේ මැයි මාසයෙනි.

 

vhverhgb 1537870796e

සිංහලයන්ගේ සේම දෙමළ හින්දු ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් ය. එය චිත්‍රා මාසය නමින් හැඳින්වෙයි. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ‘සත්‍යායුගය’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේදී ය. මෙම මාසය දෙමළ බසින් ‘පුත්තන්ඩු ’, ‘වරුද පයිරප්පු’ හෝ ‘චිත්තරයි තිරු-නාල්’ යනනමින් හඳුන්වනු ලබයි ‘පුත්තන්ඩු වාස්තුකල්’ හෝ ‘ඉනිය තමිල් පුත්තන්ඩු නල්ල වාස්තුක්කාල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේ දී එකි`නෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇතැම් ඇසෑම්, බටහිර බොංගාලය, කේරලය, මනිපූර්, මිලිලා, මඩිෂා,ත්‍රිපුර ආදී ප්‍රාන්තවල ද මෙම නදියේ අලුත් අවුරුද්ද සැමරේ.

හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ලෝකය මැවූ බ්‍රහ්මයා විසින් වසර දිවා රාත්‍රී දෙකොටසකට බෙදා තිබේ. ඒ අනුව සෑම වසරකම ජනවාරි 14-17 අතර දිනයක යෙදෙන තෛපොංගල් ඔවුන්ගේ වාර්ෂික දහවලේ උත්සව හෙවත් සූර්ය මංගල්‍යය සැමරෙන දිනයයි.

 

gettyimages 1236321362 512df45e8b69c3810dbd7b4bd851eab6042c0fef
ඉන් මාස දහයකට පසු ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේ දිනයෙක එළැඹෙන දීපවාලී උළෙල එම වාර්ෂික රාත්‍රියේ ආරම්භක උත්සවයයි. පහන් වැට යන අරුත දෙන දීප+ආවලී යන වදනින්ම එය රාත්‍රිය හා සම්බන්ධ උත්සවයක් බව පැහැදිලි ය.

මෙසේ බ්‍රහ්මගේ ලෝක නිර්මාණය අනුව හින්දුන්ට මාස දහයක ආධ්‍යාත්මික දහවලක් සහ මාස තුනක ආධ්‍යාත්මික රාත්‍රියක් හිමිවෙයි. එහෙත් ඔවුන් ‘චිත්‍රා’ මාසය පදනම් කරගත් මේ අලුත් අවුරුදු උත්සවය සමරනුයේ එම ආධ්‍යාත්මික දිවා රාත්‍රී භේදය අනුව නොවේ. බ්‍රහ්මයා, විසින් ‘සත්‍ය යුග’ නම් නව යුගයක් උදා කිරීම මුල් කරගනිමිනි.

දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල උදාගී, යුගාදී, සම්වත්සාදී ආදී නම් වලින් හැඳින්වෙන මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දට යම් තරමකට සමාන වුවත් මෙය සැමරෙනුයේ මාර්තු මාසයේ දෙවන අර්ධයේ හෝ අප්‍රේල් මාසයේ මුල් අර්ධයේ ය. ඒ කෙසේ හෝ අප්‍රේල් 14 දාට යෙදෙන පුත්තාන්ඩු අලුත් අවුරුදු උළෙල වෙනුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කෙරේ. මෙම උළෙල චෛශාඛි, මේෂ සංක්‍රාන්ති ආදී නම් වලින් ද ඒ ඒ ප්‍රදේශබදව සැමරෙයි.

CrmcI8oUAAA28BY

 

ඉන්දීය මධ්‍යම රජය මගින් අප්‍රේල් 14 දින නිවාඩුව ප්‍රකාශයට පත්කොට ඇති අතර ඒ මුල් පෙළේ ඉන්දීය මානව හිතවාදියකු වන බී. ආර්. අම්බෙඩ්කාර් තුමන්ගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් මිස අලුත් අවුරුද්දක් මුල් කොට නොවේ.

අප රටේ සේම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමේ පදනම ඇති අස්වනු මංගල්‍යයක් වන මෙය ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ ප්‍රාදේශීය අලුත් අවුරුදු උළෙලක් ලෙසිනි. අප සිංහල අලුත් අවුරුද්දේ ස්නානයට වැදගත් අංගයක් හිමි වන සේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මෙම උත්සවය ද සම්බන්ධ ප්‍රධානතම අංගය වනුයේ ශුද්ධ ජලය ස්නානය කිරීම ය.

එසේම මෙම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමේ කතාව ද පෘථිවි කේන්ද්‍රවාදය මුල්කොට ගත් දෘශ්‍යමය තත්ත්වයක් මත ගොඩනැගුණු සංකල්පයකි. නවීන තාරකා විද්‍යාවට අනුව මෙහි දී සැබැවින්ම සිදුවන්නේ අප ජීවත් වන පෘථිවිය ජ්‍යොතිෂයේ දැක්වෙන රාශි චක්‍රයේ කන්‍යා රාශියෙන් තුලා රාශියට පැමිණීම ය. එවිට එය දෘශ්‍ය පථයට හසුවනුයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමක් ලෙසිනි.

ඒ තත්ත්වය පසෙක තිබිය දී අපි දැන් හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සමහරක් වෙත යොමු වෙමු.

 

MW IF446 family ZDR 20200429082444
අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදි වන හින්දු පවුලක මාතාව පවුලේ සාමාජිකයන් ගේ දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාමේ චාරිත්‍රයක් තිබේ. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

හින්දු නිවෙස්වලට ඇතුළු වන දොරටුව අසල බිම කාන්තාවන් විසින් ‘කෝලම්’ හෝ ‘රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට තරමක් සමාන ය. මෙම කෝලම් රටාවලට මැදින් ‘කුක්තු විලක්කු’ නම් පහනක් තබනු ලබයි. ‘කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‘කන්නි’ යන්නෙහි අරුත වන්නේ ‘සුබ දසුන’ වැන්නකි. ඔවුහු මේ අවස්ථාවේ දී රන් ආභරණ, පලතුරු, එළවළු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදා වෙතැයි ද විශ්වාස කරති.

 

main qimg 56151b7568cef62edbb69fbefb0e3d8d lq

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්ලා තිබෙනු දැකිය හැකිය. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේ දී ඒ අසලින් කොහොඹ අතු තැබීම, නිවසේ සැරසීම සඳහා ඒවා යොදා ගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹ වල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුසුකර ගැනීම මගින් තම ජීවිත වෙත එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට පන්නරයක් හා ශක්තියක් දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලුත් අවුරුදු දිනයේ දී ලක්ෂ්මී දෙවඟන ට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.

ශ්‍රී ලංකාවේ හින්දු ජනතාව අලුත් අවුරුද්දේ ‘කායි විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදුකෙරෙන්නේ අවිවාහක තරුණ තරුණියන්, විශේෂයෙන් කුඩා දරුවන් සමඟ ය. එයින් බලාපොරොත්තු වන්නේ වාසනාවන්ත බවයි. මෙය සිංහල අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට යම් සබැඳියාවක් දක්වයි.

එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස් පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‘ආර්පිඩු’ නමින් හැඳින්වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට තරමක් සමාන ය. සිංහල ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික හින්දු ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‘පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම අප ගේ සිංහල අලුත් අවුරුදු පුණ්‍ය කාලය ද මෙම හින්දු ඌරුවෙන් දේශීයකරණය වූවකි.

c1e900ba a752 478b a131 03a773e3ffd6
එමෙන්ම ජනතාව ඖෂධ මිශ්‍ර ‘මරුති-නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදු කරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපෙරොත්තු වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සමානය.

නමුත් අප හා ඔවුන් අතර පවත්නා මෙම අවුරුදු සැමරුම්වල ප්‍රධාන වෙනසක් ද තිබේ. එනම් අප දින කිහිපයක් තුළ ඉටු කරන අලුත් අවුරුදු චාරිත්‍ර ඔවුන් එක් දිනයක් තුළ ඉටු කොට නිමා කිරීම ය. ඒ අනුව අප එවර දකුණෙන් උතුරට රැගෙන ගිය සිංහල අලුත් අවුරුද්දේ “නිල පානය” අප ගේ ගමන් මලු තුළ සඟවා ගෙන ආපසු දකුණට ගෙන ඒමට සිදුවීමෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද එකක් නොවන බව ප්‍රායෝගිකට වටහා ගැනීමට මට අවකාශ ලැබිණ.


WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...