The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙවන රාජසිංහ රජු සහ ජනතාව අලුත් අවුරුද්ද සැමරූ හැටි 'ඇසින් දුටු' රොබර්ට් නොක්ස්ගේ මතක

T

The Leader Desk

April 14, 2025 • 6:03 AM

දෙවන රාජසිංහ රජු සහ ජනතාව අලුත් අවුරුද්ද සැමරූ හැටි 'ඇසින් දුටු' රොබර්ට් නොක්ස්ගේ මතක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොබර්ට් නොක්ස් යනු ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි සමයේ රජකම් කළ දෙවන රාජසිංහ රජ සමයේදී සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික නාවිකයෙකි.
  • ඒ අනුව, ඔහු ඇතුළු පිරිස ලක්දිව රජුගේ සිරකරුවන් බවට පත්වූහ.
  • අප්‍රේල් මස 04 වන දා ලංකාවේ සිරකරුවෙකු බවට පත්වූ බවත්, එදින ඔහුගේ වයස අවුරුදු 19 මාස 1ක් සහ දින 27ක් වූ බව රොබර්ට් නොක්ස් සිය 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථයේ පෙරවදනෙහි සඳහන් කර තිබේ.
  • ඔක්තෝබර් මස 18 වන දා නිදහස ලබන විට ඔහු අවුරුදු 19 මාස 6ක් සහ දින 14ක් සිරකරුවෙකු ලෙස ලංකාවේ ගත කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රොබර්ට් නොක්ස් යනු ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි සමයේ රජකම් කළ දෙවන රාජසිංහ රජ සමයේදී සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික නාවිකයෙකි.

ඔහුගේ පියා සමග ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යය බලා යාත්‍ර කරමින් සිටියදී කුණාටුවකට හසුවූ ඔවුන් සිටි නෞකාව ලක්දිවට ගොඩගසා තිබිණි.

ඒ අනුව, ඔහු ඇතුළු පිරිස ලක්දිව රජුගේ සිරකරුවන් බවට පත්වූහ.

 

lf
1660 අප්‍රේල් මස 04 වන දා ලංකාවේ සිරකරුවෙකු බවට පත්වූ බවත්, එදින ඔහුගේ වයස අවුරුදු 19 මාස 1ක් සහ දින 27ක් වූ බව රොබර්ට් නොක්ස් සිය 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථයේ පෙරවදනෙහි සඳහන් කර තිබේ.

1679 ඔක්තෝබර් මස 18 වන දා නිදහස ලබන විට ඔහු අවුරුදු 19 මාස 6ක් සහ දින 14ක් සිරකරුවෙකු ලෙස ලංකාවේ ගත කර තිබිණි.

එම කාලය සම්බන්ධයෙන් ඔහු විසින් රචනා කරන ලද 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ මහනුවර යුගයේ සමාජය ගවේෂණය කිරීමට අතිශයින් වටිනා ග්‍රන්ථයක් වන්නේ, එවකට ජීවත් වෙමින් ලත් අත්දැකීම් ඔහු ම සටහන් කර තිබීම හේතුවෙනි.

ඔහු සිය ග්‍රන්ථයේ ලක්දිව එකල 'අලුත් අවුරුද්ද' සැමරූ ආකාරය සම්බන්ධයෙන් ද විස්තර කර තිබීම ලක්දිව සමාජයේ වැදගත් සංස්කෘතික උත්සවයක ඉතිහාසය ගවේෂණය කිරීමට ලැබුණු මහඟු මූලාශ්‍රයකි.

අලුත් අවුරුදු බද්ද

eda Heladiwa
ඔහු සිය ග්‍රන්ථයේ 15 වන පරිච්ඡේදය අරඹන්නේ, 'අලුත් අවුරුදු බද්දක්' පිළිබඳ විස්තරයකිනි.

එම සටහන එම්.ඩී. ගුණසේන සමාගම විසින් පළ කරන ලද ඩේවිඩ් කරුණාරත්න විසින් කරන ලද 'An Historical Relation of the Island of Ceylon' ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වන 'එදා හෙළදිව' ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

'අලුත් අවුරුදු බද්ද මෙබඳු ය: අලුත් අවුරුදු දිනයෙහි රජතුමා විසින් චිරාගතව පවත්වාගෙන එනු ලබන සිරිත් විධි විශේෂයක් වෙයි. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු දිනය මාර්තු මාසයේ 26, 28 හෝ 29 දිනයකට එයි. (මෙම දින විවාදයට තුඩු දෙයි) මේ දවසෙහි උදෑසනක් සේ ම අවදි වන රජතුමා නැකැති නාවන්ගේ උපදෙස් පරිදි ඉස් සෝදා ස්නානය කරයි.'

අලුත් අවුරුදු බදු ගෙවීම තරාතිරම අනුව වෙනස් වන බව රොබර්ට් නොක්ස් සඳහන් කර තිබේ.

 

483486358 1863763647789133 5332890099064858377 n

'අධිකාරම්, දිසාපති ආදී රජයේ උසස් නිලධාරීහු තම තමන්ගේ ස්ථානාන්තර වශයෙන් ද, රට හා දිශා වශයෙන් ද අලුත් අවුරුදු පෙනුම් කත් සඳහා ගෙන එනු ලබන ද්‍රව්‍ය අතර, රත්රන්, ආභරණ, ලෝහමය තැටි, අවි ආයුධ, පිහියා සහ වස්ත්‍රාදිය ද වෙයි. මහ රජුට පරිත්‍යාග කිරීම සඳහා මෙබඳු (ද්‍රව්‍ය) නැති තැනැත්තෝ ඒ වෙනුවට මුදල් පරිත්‍යාග කරති.' (එදා හෙළදිව - 172 පිට)

'වෙළහෙළඳාම් ආදී නිදහස් රැකියාවන්හි නිරත වූ තැනැත්තන් විසිනුදු තමතමන්ගේ වත්කමේ - ආදායමේ ප්‍රමාණයට යම්කිසි මුදලක් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් රාජකීය භාණ්ඩාගාරයට ගෙවිය යුතු ය.'

ඊට අමතරව, 'සාමාන්‍ය රට වැසියා විසින් සිරිත් පරිදි කවදත් ගෙවනු ලබන අය බදු වනාහී මීපැණි, තෙල්, ධාන්‍ය, පැණි, ලාකඩ, වස්ත්‍ර, යකඩ, ඇත්දත්, දුම්කොළ හා මුදල් යනාදිය' රජුට බදු වශයෙන් ගෙවන බව ද සටහන් කර තිබේ.

'සිංහල අවුරුදු උත්සවය'

රොබර්ට් නොක්ස්, රජ මාලිගයේ 'සිංහල අලුත් අවුරුදු උත්සවය' ද නිරීක්ෂණය කරමින් ඔහු එය දුටු ආකාරය සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

'සිංහල අවුරුදු උත්සවය වූකලී ලක් වැසියන් ඉතා වැදගත් කොට සලකන උළෙලකි. මේ දින රජ මාලිගයේ දොරටුවක් පාසා තොරන් බැඳ සරසති.' (එදා හෙළදිව)

king Gota 820x500
'සිංහල අවුරුදු මංගල්‍යය දා බලමුළු පෙළ සැදී මහා වාසල අරක් ගනිති. උදෑසනක් සේ ම අවදි වන රජතුමා මීට කලින් ද කියූ පරිදි ස්නානය පිණිස පැන් ගෙට ප්‍රවිෂ්ට වන්නේ ය. එම උල්පැන් ගෙයි දියවඩන නිලධාරියා රජුට මෙහෙ පිණිස සැරසී සිටී. රජ්ජුරුවෝ හිස් සෝදා නාපියා සර්වාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සැදී සිට ගත් බල සෙනග පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති.' (එදා හෙළදිව)

රස කැවිලි

අලුත් අවුරුදු කාලයේ ආහාර අතර විශේෂ තැනක් හිමි වන කැවුම් ඇතුළු රස කැවිලි කිහිපයක් පිළිබඳව ද රොබර්ට් නොක්ස් විස්තර කර තිබේ.

කැවුම්

Konda Keum Kavum Sri Lankan Traditional Sweet Food 1
රොබර්ට් නොක්ස් අලුත් අවුරුදු කාලයේදී වර්තමානයේ පවා අතිශයින් ජනප්‍රිය කැවුම් පිළිබඳව සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

මීට වසර 365කට පෙර පවා කැවුම් රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගෙන ඇති බව ඔහුගේ සටහනෙන් පෙනී යයි.

'ඔවුන්ගේ රස කැවිලි විවිධ ය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම්, සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කර වූ පසු තෙලෙන් එළියට ගනිති.' (එදා හෙළදිව - 282 පිට)

මේ අතර, කැවුම් සම්බන්ධයෙන් ඔහු අසා තිබූ ප්‍රවාදයක් ද එහි සඳහන් කර ඇත.

'ඕලන්දක්කාරයන් පළමු කොට ලක්දිවට පැමිණි අවධියේ, ඔවුන්හට රාජකීය සංග්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු, ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන්හට නියම කළේ ය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යැයි සිතා "මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක් දැ?" යි ඇසුවෝ ල!' (එදා හෙළදිව)


අග්ගලා

wp 1605157979408
ලක්දිව ජනයා අතර ජනප්‍රිය තවත් ආහාරයක් ලෙස ඔහු අග්ගලා හඳුන්වා තිබේ.

අග්ගලා සකස් කරන ආකාරය ද ඔහු විස්තර කර ඇත.

'අග්ගලා නමින් තවත් අලුමුසුවක් වෙයි. බැදි හාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසු කොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි, ගුලි කිරීමෙන් පසු තද වෙයි. ගමන් බිමන් යාමේදී, සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමාගෙන යන්නේ මේ අග්ගලා ය.' (එදා හෙළදිව)

අලුවා

LK94008528 01 E
'මෙම අග්ගලා සාදන ආකාරයෙන් ම සාදා ගනු ලබන අලුවා නම් අහරක් ද ඇත. වෙනසකට ඇත්තේ හැඩය පමණකි. අග්ගලාව වටකුරු වූ අතර, අලුවා පැතලි ය.

ආහාර අහේනියෙන් හාමත් වූ විට අලුවා කා ඉක්බිති වතුර බොනු ලැබේ. අතුරුපසට මන වඩන්නා වූ මෙම අලුවා ටිකක් අපි පලා එද්දී ගෙන ආවෙමු.' (එදා හෙළදිව)

යක්පැටි

5426366323 9d91d9dedc b
වණ්ඩු ආප්ප ලෙස සැලකිය හැකි රස කැවිලි වර්ගයක් පිළිබඳව ද රොබර්ට් නොක්ස් සටහන් කර තිබේ.

ඔහු එම රස කැවිලි විශේෂය නම් කර ඇත්තේ, යක්පැටි ලෙස ය.

'යක්පැටි නම් තවත් අහරක් වෙයි. හාල් පිටි, පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල් පිටි, පැණි මුසු කොට අනා ගුලි කොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනිති. ඉතා මොළොක් වූ මෙය බුදින විට හකුරු සමග සුදු පාන් කන බවක් හැඟෙන්නේ ය.' (එදා හෙළදිව)

(සටහන | කුමුදු ජයවර්ධන)

BBC සිංහල සේවය



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...