The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගමේ පුරාජේරුවෙන් වැහුණු කොළඹ අවුරුද්ද | හර්ෂා සුගතදාස

T

The Leader Desk

April 14, 2025 • 8:02 AM

ගමේ පුරාජේරුවෙන් වැහුණු කොළඹ අවුරුද්ද | හර්ෂා සුගතදාස  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිරන්තරයෙන් සෙනඟ ගැවසුණු කඩ වීදී සහරා කාන්තාරය මෙන් ජන ශූන්‍යව පවතියි.
  • ඒ අයට තේ හදලා දීලාම අම්මාට එපා වෙනවා ඇති.
  • නැකතට කිරි උතුරවලා කිරිබත් හදලා නැකතට ඉඳුල් කරලා තමයි අවුරුද්ද පටන් ගත්තේ.” යනුවෙන් සිය අත්දැකීම් මෙලෙසින් දිගහැරියේ ප්‍රවීණ ලේඛිකාවක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන කරුණා පෙරේරා ය.
  • සන්ත බස්තියමේ 27 වත්තේ ඉපදී හැදී වැඩුණු ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ, සිය පියා නැකැත් වේලාව ළංවන විට ටයිම්පීස් ඔරලෝසුවෙන් දෙනෙත් ඉවතට නොගෙන සිටින අයුරු සිහිපත් කළේ ළමාවිය ආවර්ජනය කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිරන්තරයෙන් සෙනඟ ගැවසුණු කඩ වීදී සහරා කාන්තාරය මෙන් ජන ශූන්‍යව පවතියි. කපුටකුගේ හඬක් මිස වාහනයක හඬක් හෝ ඇසෙන්නේ නම් ඒ මධ්‍යම බස් නැවතුමෙන් පමණි. ඒ ද ඉඳහිටය. ප්‍රමාදව ගම් රටවල් බලා යන මගියන් හෝ ළඟපාත ඥාති නිවෙස් කරා යන සීමිත පිරිසක් වෙනුවෙන් මේ කාලයේදිත් බස් කාල සටහන් ක්‍රියාත්මකව පවතින බැවින් එහි යම් තරමක ජීවයක් රැඳී තිබේ. නමුත් සිංහල අලුත් අවුරුදු දෙදින සහ තවත් දින කීපයක් යන තුරුම කොළඹ නගරය දැඩි නිද්‍රාවකට පත් අද්භූත සත්ත්වයකු වැනිය..”


 අනුරසිරි හෙට්ටිගේඅනුරසිරි හෙට්ටිගේප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ රචිත කොළඹ ළමයා යොවුන් නව කතාවේ 173 පිටුවේ කොළඹ සිංහල  අලුත් අවුරුද්ද පිළිබඳව මේ ආකාරයට විස්තර කර තිබෙන්නේ ඔහුගේ ළමා කාලය සන්ත බස්තියමේ  27 වත්තේ ගෙවුණු නිසාය. නැකතට කිරිබත් කෑම, වත්තේ යහළුවන් සමඟ ක්‍රීඩා කිරීම යනාදී තොරතුරු රැසක් එහි ගැබ් කර තිබෙන්නේ ඔහුගේ අත්දැකීම් ඇසුරෙනි.

 



වත්තේ අවුරුද්ද 

 photo 6 1

karuna pereraකරුණා පෙරේරා

“අවුරුද්දට  කොළඹ නගරය පාළු වුණාට අපි ජීවත් වුණ වත්ත පාළු වුණේ නැහැ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද එනවා කියන්නෙම ලොකු පොඩි හැමෝටම පුදුම නිදහසක්. අපි කුඩා කාලේ අම්මලාට යහමින් මුදල් නොතිබුණත් අම්මා අවුරුද්දට කැවිලි ජාති දෙකක් අනිවාර්‍යයෙන් හැදුවා. කැවිලි හදන්න පිටි කොටන්න පටන්ගත්ත වෙලාවේ ඉඳලා අහල පහළ උදවිය උදව්වට එනවා. ඒ අයට තේ හදලා දීලාම අම්මාට එපා වෙනවා ඇති. අහල පහළ අය ඒ විදිහට උදව් කරද්දි පුංචි ළමයි කැවුම් හොරකමෙත් ගියා. අපි කෝටු දර හෙව්වා. නැත්නම් දර කෑලි හීනියට පලලා වේළා ගත්තා. හැම ගෙදරකම කට්ටිය එකට එකතුවෙලා තමයි වැඩකළේ. පවුල් වෙන් වෙන්ව වැඩ කළේ නැහැ. අපිට අවුරුදු මාසය කියන්නේ මුළු වත්තෙම සමඟිය එකමුතුකම පෙන්වන මාසයක්. අපේ අම්මා ගාල්ලේ කෙනෙක්. ඒ නිසා නැකැත් අකුරටම කළා. නොනගතයට කන්න දුන්නේ නැහැ. අපි නොනගතයට පංච දැම්මා. ඔළිඳ සෙල්ලම් කළා. අපේ ගෙදර ඉස්සරහ බෝ ගහක් තිබුණා. අවුරුදු කාලේට ඒ ගහේ ඔන්චිල්ලාවක් ගැට ගහලා දෙනවා. මුළු දවසම ඔන්චිලි පැද්දා. නැකතට කිරි උතුරවලා කිරිබත් හදලා නැකතට ඉඳුල් කරලා තමයි අවුරුද්ද පටන් ගත්තේ.” යනුවෙන් සිය අත්දැකීම් මෙලෙසින් දිගහැරියේ ප්‍රවීණ ලේඛිකාවක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන කරුණා පෙරේරා ය. ඈ කොළඹ සාංචි ආරච්චිගේවත්තේ ඉපදී හැදී වැඩුණු  කෙනකු වන බැවින් කොළඹ අවුරුද්ද පිළිබඳව ඇයට ද අත්දැකීම් රාශියක් තිබේ.


සන්ත බස්තියමේ 27 වත්තේ ඉපදී හැදී වැඩුණු ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ, සිය පියා නැකැත් වේලාව ළංවන විට ටයිම්පීස් ඔරලෝසුවෙන් දෙනෙත් ඉවතට නොගෙන සිටින අයුරු සිහිපත් කළේ ළමාවිය ආවර්ජනය කරමිනි. එහෙත් යාබද නිවසක මහහඬින් දමා ඇති ට්‍රාන්සිස්ටර් රේඩියෝවෙන් ප්‍රකාශ කෙරෙන නැකැත් වේලාවත් සමඟම මුළු වත්තටම අවුරුදු උදාවන විට තරඟයට රතිඤ්ඤා දැල්වූ අයුරු ඔහු සිහිපත් කළේය.

photo 6 2

“අපේ ගෙදර තිබුණ ස්ටූල් එක උඩ කිරිබත්, කෙසෙල්, කැවුම්, කොකිස් තියලා ගෙදර තිබුණ පිත්තල පහන පත්තු කරනවා. ආහාර ගැනීමේ නැකතට තාත්තා අම්මාට කිරිබත් කෑල්ලක් කවනවා. එතකොට අම්මා තාත්තාට බුලත් දීලා වඳිනවා. ඊටපස්සේ තාත්තා අපිට කිරිබත් කවනවා. අපිත් බුලත් දීලා තාත්තාටයි අම්මාටයි වඳිනවා. එතකොට බුලත් කොළයක ඔතලා අපිට සල්ලි දෙනවා. ඊටපස්සේ අපි අවුරුද්දට පනවලා තිබුණ අවුරුදු  නිවාස අඩස්සියෙන් මිදෙනවා. කෑම පිඟන් අරං යනවා. කැට ගහනවා. ඕක තමයි අපේ අවුරුද්ද”

කුමුදු කුමාරසිංහකුමුදු කුමාරසිංහ
පසුගිය වසරේ ඉමහත් පාඨක ආකර්ෂණයක් දිනාගත් ‘කොළඹ මතක‘ ලියූ, ලේඛිකාවක සහ රංගන ශිල්පිනියක වන කුමුදු කුමාරසිංහ, කැටවලමුල්ලේ 89 වත්තේ පදිංචිකාරියකි. ඇය පවසන්නේ සිංහල අලුත් අවුරුදු කාලය ඇගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය වන බවයි. නිවසේ මුළුතැන්ගෙයි තිබුණු දර ළිපේ ඇගේ මිත්තනිය ගොමමැටි ගාමින් එය පිළිසකර කරන ආකාරයත් රබාන රත් කරන ආකාරයත් ඇගේ මතකයේ තදින් ඇඳී තිබෙන බව ඈ සඳහන් කළාය.

“පොඩිකාලේ සිංහල අවුරුද්දට මට හම්බවුණේ චීත්ත ගවුමක්. ඒක ඇඳගෙන මම වත්තේ ළමයි එක්ක සෙල්ලම් කළා. පංච දැම්මා. කැට ගැහුවා. ඒ කාලේ අපේ වත්තේ ගස් ඕනෑ තරම් තිබුණා. අපේ ගේ ළඟ ලාවුළු ගහක්, අරලිය ගහක් එහෙම තිබුණා. ඒ ගස්වල අපිට ඔන්චිල්ලා ගැට ගහලා දෙනවා.  අපි ඇති තරම් ඔන්චිල්ලා පැද්දා. අපේ ගෙදරත් වත්තේ හැම සිංහල ගෙදරකම නැකත් කළා. නොනගතයට පංසල් ගියා, නැකතට කිරි ඉතිරෙව්වා, කිරිබත් ඉව්වා, කැවිලි හැදුවා. අපේ වත්තේ ගොඩක් ඉන්නේ මුස්ලිම් පවුල්. අපි ඒ ගෙවල්වලට කෑම පිඟන් බෙදුවා. අපිට නම් අවුරුද්ද හරිම සුන්දරයි. අදටත් අපි අවුරුදු නැකැත් ඒ විදිහටම කරනවා. ඒත් දැන් දර ළිප නැහැ. රබන් නැහැ. ඔන්චිලි පැදපු ගස් නැහැ. අපේ ආච්චිලා ගනුදෙනු කරපු ලොකු නාන ළිඳ අද වහලා.” කුමුදු කුමාරසිංහ, වත්තේ අතීත අවුරුද්ද වර්තමානය සමග යා කරමින් පැවසුවා ය.

තට්ටු ගෙවල්වල අවුරුදු


සුජාතා හේවාපතිරණjpgසුජාතා හේවාපතිරණ
සිය විවාහයෙන් අනතුරුව 1974දී කොළඹ සර්පන්ටයින් ජාතික මහල් නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණි සුජාතා හේවාපතිරණ  එදා සිට අද දක්වාම නොකඩවා අවුරුදු නැකැත් අකුරටම ඉටු කරන්නියකි. සිංහල අලුත් අවුරුද්දට කැවිලි වර්ග ඇණවුම් කර ලබා ගන්නා ඈ මුංකැවුම් හෝ කොකිස් පමණක් නිවසේ පිළියෙළ කරන්නීය.

“මම නොනගතයට පෙර කෑමබීම හරි ගස්සලා තියා ගන්නවා. ආයේ ළිප පත්තු කරන්නේ නැකතට තමයි. අපිට දර ළිපක් නැති නිසා කුස්සියේ බිම තහඩුවක් තියලා පුංචි මැටි ළිපක් අරගෙන චූටි මුට්ටියක නැකතට කිරි උතුරවනවා. කිරිබත ගෑස් ළිපේ හදා ගන්නවා. නැකතට ඉඳුල් කිරීම, ගනුදෙනු කිරීම හැමදෙයක්ම අපි කරනවා.  අහල පහළ ගෙවල්වලට කෑම පිඟන් බෙදනවා. මගේ මහත්තයා මාතර කෙනෙක්. අපේ ගෙදර සියලුම චාරිත්‍ර කටයුතු අවසන් කරලා තමයි අපි මාතර ගියේ.“ යනුවෙන් සුජාතා හේවාපතිරණ සඳහන් කළාය.

photo 4
එහෙත් දැන් ඇගේ පවුලේ අයගේ මාතර ගමනට නැවතීමේ තිත වැටී තිබෙන්නේ ඇගේ සැමියා අවුරුදු දෙකකට පෙර ජීවිතයෙන් සමු ගත් නිසාය.  දැන් ඇගේ නිවසේ  අවුරුදු චාරිත්‍ර අවසන් කර මාතර යනවා වෙනුවට ඈ පෙරමඟ බලා සිටින්නේ විවාහ වී ගිය දූ දරුවන් මුනුබුරු මිනිපිරියන් සමඟ ඇයට බුලත් දීමට පැමිණෙන තුරු ය.

අම්පාරේ සිට කොළඹ දෙමටගොඩ 149 වත්තේ පදිංචියට පැමිණි පියුමලි ද සිල්වා පැවසුවේ අලුත් අවුරුද්ද තිබෙන්නේ කොළඹ නොව ඔවුන්ගේ ගමේ බවයි. බොහෝ අවස්ථාවල සිංහල අලුත් අවුරුදු සැමරීමට ගමේ යෑමට ඈ ප්‍රිය කරන්නේ එබැවිනි.

පියුමලි ද සිල්වාපියුමලි ද සිල්වා“ මම විවාහ වෙලා මෙහේ පදිංචියට ඇවිත් දැන් අවුරුදු 20ක් වෙනවා. මම දකින විදිහට කොළඹ අවුරුදු නැහැ. අපේ වත්තේ ඉන්න ගොඩක් සිංහල බෞද්ධ අය අලුත් අවුරුද්ද හැටියට සමරන්නේ ජනවාරි පළමුවැනිදා උදා වන අලුත් අවුරුද්ද. දෙසැම්බර් 31 රෑ කිරි උතුරවලා ජනවාරි පළමුවැනිදා උදේට කිරිබත් උයනවා. ඒ අය අප්‍රියෙල් සිංහල අලුත් අවුරුද්ද ලොකුවට සමරන්නේ නැහැ. සමහරු නම් නැකත මොකක් වුණත් එදා උදේට කිරිබත් උයනවා. එච්චරයි. සමහරු ට්‍රිප් යනවා. මම ගෙදර ඉන්නවා නම් අලුත් අවුරුදු නැකත් කරනවා. මේ ගෙදර පොඩි කුස්සියක් තියෙන්නේ. දර ළිප් නැහැ. ඒ නිසා තහඩුවක් උඩ පොඩි ළිපක් තියලා පුංචි මුට්ටියක කිරි උතුරනවා. කිරිබත ගෑස් ළිපේ උයනවා. කැවිලි කීපයක් අපිම හදා ගන්නවා. හැබැයි නොනගතයට ළිප නිවලා ඉන්න එක නම් ස්ථීරෙටම කෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට ළිප පත්තු කරන්න වෙනවා.” යනුවෙන් පියුමලි ද සිල්වා සඳහන් කළාය.

photo 3 2
නමුදු සුජාතා හේවාපතිරණ නම් මොනම හේතුවක් නිසාවත් නොනගතය ලැබූ පසුව ළිප දල්වන්නේ නැත. හදිසියේ වතුර ටිකක් උණු කර ගැනීමට අවශ්‍ය වුවහොත් හීටරය ගසා එය සපුරා ගන්නා බව ඈ පැවසුවාය.

දෙමළ අයගෙත් අවුරුද්ද

සිංහල සහ දෙමළ  අලුත් අවුරුද්ද සමරන්නේ කොළඹ වාසය කරන සිංහල  අය පමණක් නොවේ. කොළඹ වාසය කරන දමිළ ජනතාවද එය උත්සවාකාරයෙන් සමරති. වසර 30ක් පමණ  කොළඹ ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර පදිංචි වී සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී. නඩරාසාගෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන ආකාරය විමසුවේ එබැවිනි.

ටී. නඩරාසාටී. නඩරාසා“මම මඩකළපුවේ කෙනෙක්. 1987දි තමයි කොළඹට ආවේ. නවගම්පුරේ පදිංචියට ආවේ 1990 අවුරුද්දේ. නවගම්පුරේ අවුරුදු 30ක් විතර ජීවත් වුණා. දැන් දුවගේ පවුල එක්කලා වත්තල ඉන්නවා. අපි ගමේ ඉන්න කාලෙත් නවගම්පුර ඉන්න කාලෙත් දැනුත් අවුරුදු සමරනවා. අපිත් ගෙවල් ශුද්ධ කරලා තීන්ත ගානවා. නැකතට අඳින්න තියෙන පාට මොකක්ද කියලා බලලා ඒ පාට ඇඳුම් මහනවා. ලඩ්ඩු, මුරුක්කු, පලගාරම් වගේ අපේ කෑම හදනවා. නැකතට කිරි උතුරනවා. මඩකළපුවේ හිටපු කාලේ නම් අපි කිරිබත් හැදුවේ නැහැ. කොළඹ ආවාට පස්සේ කිරිබත් හදනවා. ඒවගේම තමයි අපේ කෑම ජාති අපි අනිත් අයට බෙදනවා. සිංහල අය එයාලාගේ කෑම ජාති අපිට ගෙනත් දෙනවා. අපි කෝවිල් යනවා. සමහර අවුරුදුවලට මඩකළපුවේ යනවා. පුංචි ඉඩකඩේ වුණත් අපි සිංහල අය සමඟ එකතුවෙලා සහයෝගයෙන් අනිත් අය වගේම අවුරුද්ද සමරනවා.” යනුවෙන් ටී. නඩරාසා පැහැදිලි කළේය.

photo 1 2
වැල්ලවත්තේ 451 වත්තේ (ලයිෂන්පොළ වත්තේ) උපන් ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහට නම් අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කළ බවක් මතකයේ නැත. උපන්දා පටන් වයස අවුරුදු 25ක් පමණ වන තුරු  ජීවත් වූ 451 වත්තේ ඔහු ගත කළ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

උපුල් ජනක ජයසිංහඋපුල් ජනක ජයසිංහ“අපිට අලුත් අවුරුද්ද කියන්නේ අඳින්න කොට කලිසමකුයි කමිසයකුයි හම්බ වෙන එකයි කිරිබතක් උයන එකයි තමයි. ඒ හැරෙන්න නැකැත්, චාරිත්‍ර මුකුත් අපේ ගෙවල්වල කළේ නැහැ. අපේ වත්තේ කවුරුවත් කළේ නැහැ. අපේ වත්තේ ජීවත් වුණ බහුතරයක් දුප්පත්. ඒ අයට කැවිලි හදන්න සල්ලි නැහැ. අපේ වත්තේ බට්ටලෑ අම්මා කියලා කෙනෙක් හිටියා. එයා හාල් ටිකක් දියේ දාලා මොනවාහරි එක කැවිලි ජාතියක් හදලා වත්තේ ගෙවල්වලට බෙදනවා. එහා වත්තේ හිටියා පියසේන බාස් කියලා කෙනෙක්. එයාගේ ගෙදර කැවිලි ජාති හදනවා. අපි එහෙ ගිහින් කැවුම් කොකිස් කනවා. ඒ කාලේ අපි කට්ටිය එකතු වෙලා කැට ගැහුවා. කැට ගහන්න මම සල්ලි හොයාගත්තේ බෝතල් පත්තර විකුණලා. අපි අවුරුදු ප්‍රීතිය භුක්ති වින්දේ නැකැත් කරලා නෙමෙයි, අවුරුදු උත්සවවලට ගිහින්.” ඒ ජනකගේ අවුරුදු අත්දැකීම්වලින් බිඳකි.

සෙල්ලමයි සූදුවයි ජයටම

අවුරුදු උත්සව ගැන කතා කිරීමේදි එදා ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයෙන් තොරව අලුත් අවුරුදු උත්සව පැවති බව සඳහන් කළේ ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා ය.

 

169514359 3397268420378683 2869117763257965179 n
“අපි ජීවත් වුණ වත්තේ කීපදෙනෙක් එකතුවෙලා අවුරුදු උත්සව සංවිධානය කළා. ඒ අය ව්‍යාපාරිකයන් නෙමෙයි. පස්සේ කාලේ නම් අවුරුදු උත්සව ව්‍යාපාරිකයන් අතට ගියා. අපි පොඩි කාලේ අලියාට ඇස තැබීම, ඉඳිකටුවට නූල දැමීම, දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන යෑම වගේ පොඩි පොඩි තරඟ පැවැත්වුවා. තෑගි හැටියට ලැබුණේ කොපි පොත් 6ක්, පැන්සල් පෙට්ටියක්, කිරිටොපි පාර්සලයක් වගේ පුංචි පුංචි දේවල්. ඒ තෑගිවල වටිනාකම් ගැන අද වගේ කවුරුත් බැලුවෙ නැහැ. තෑග්ගක් ලැබුණා කියලා ලොකු පොඩි හැමෝම සතුටු වුණා. එක සැරයක් මමත් කවි ගායනා කරලා දිනලා මට රටඉඳි පාර්සලයක් ලැබුණා.”  සාංචි ආරච්චිගේවත්තේ එකල පැවති සිංහල අලුත් අවුරුදු උත්සව පිළිබඳව මතකය අවදි කරමින් කරුණා පෙරේරා පැවසුවාය.

අනුරසිරි හෙට්ටිගේ විසූ 27 වත්තේ අවුරුදු කාලයට පමණක් කලඑළි  බසින ක්‍රීඩාවක් තිබේ. ඒ වතුර පිරවූ ලොකු වීදුරු බෝතලයක් තුළ තිබෙන කුඩා බෝතලයට කාසි දැමීමේ ක්‍රීඩාවයි. ඊට අමතරව කැට ගැසීමේ ක්‍රීඩාව ද ජයටම සිදු කෙරිණි. මෙම ක්‍රීඩාවලට සහභාගි වීම සඳහා වැඩිහිටියන්ට බුලත් දී වඳින විට බුලත් කොළවල ඔතා දුන් කාසි ප්‍රයෝජනවත් වූ බව අනුරසිරි හෙට්ටිගේ පැවසීය. වත්තේ ජීවත් වූ වැඩිහිටියන්ගේ ලොකුම ක්‍රීඩාව වූයේ සල්ලි ඔට්ටුවට බූරුවා ගැසීමයි.


b7c38799dba7194ad2d493c77dbb7caa

“මම ජීවත් වෙන 89 වත්තෙත් අපි පොඩි කාලේ ජයටම බූරුවා ගැහුවා. ඒ අය අලුත් සරමක්, අලුතින් මහපු ලස්සන ෂර්ට් එකක් එහෙම ඇඳලා තමයි බූරුවා ගහන්න පටන් ගන්නේ. හැබැයි පහුවෙනකොට පරණ කෝන්තර ඇදලා ගන්නවා. ඊටපස්සේ ලොකු ගෝරියක්. ඒ කාලේ පිට පළාත්වල රස්සාවලට ගිය කට්ටියත් අවුරුද්දට ගෙවල්වලට එනවානේ. සමහර වෙලාවට අම්මා කියනවා අසවලා ගෙදර ඇවිත් ඉන්නවා, ලොකු රණ්ඩුවක් යයි කියලා. කොහොමහරි හවස් වෙනකොට අම්මා අපිව ගෙටදාලා දොර වහනවා මට මතකයි. දැන් නම් බූරු පොළවල්, කැට ගැසීම් මුකුත් නැහැ.” යනුවෙන් ලේඛිකාවක සහ රංගන ශිල්පිනියක වන කුමුදු කුමාරසිංහ පැවසුවාය.

වර්තමානයේ අලුත් අවුරුදු උත්සව පැවැත්වුවත් ඒවාට එකතු වී තිබෙන්නේ එදා පැවති ක්‍රීඩා අංගෝපාංග වෙනුවට නව අංගෝපාංග සමූහයකි. අද වන විට කොළඹ වතු වෙනුවට මහල් නිවාස ඉදි වී තිබේ. එදා ඔන්චිලි ගැට ගැසූ ගස්, ස්නානය කළ පොදු ළිං කිසිවක් අද නැත. කුමුදු කුමාරසිංහ ජීවත් වූ කුඩා නිවස අද තෙමහල් නිවසක් වී තිබේ. අනුරසිරි හෙට්ටිගේ, කරුණා පෙරේරා, උපුල් ජනක ජයසිංහ, ටී. නඩරාසා වැනි අයද පදිංචිය වෙනස් කර ඇත. එහෙත් ඒ සියලුදෙනාම අලුත් අවුරුදු චාරිත්‍ර, නැකැත් සියල්ල අකුරට ඉටු කරති.

 

konda 2
“මම අවුරුදු නැකැත් කරන්න පටන් ගත්තේ විවාහයෙන් පස්සේ. මගේ බිරිඳ ඒවා අකුරටම කරනවා. දැන් මගේ දරුවනුත් කරනවා. නොනගතයට පෙර උයලා පිහලා වැඩ ඉවර කර ගන්නවා. නැකතට ළිප ගිනි මොළවනවා. නැකතට කෑම කනවා, ගනුදෙනු කරනවා. දැන් අපි හැම දෙයක්ම අකුරටම ඉටු කරනවා.”  උපුල් ජනක ජයසිංහ පැවසීය.

ගමේ සිසිලස නැතත් ගමේ පුරුදු පුහුණු කළ ඇසූ පිරූ තැන් පිළිබඳ මතකයන් ඇති සිංහල අවුරුද්ද, කොළඹ මිනිසුන් විසින්ද දරු මුනුබුරන් හට තිළිණ කළ යුතු උරුමයක් ලෙස සැලකීම අපූරු කාරණයක් නොවේද?

Harsha 2023
(සටහන | හර්ෂා සුගතදාස)
නිදහස් මාධ්‍යවේදිනී
harshasugathadasa@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...