The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ බිසවගේ ලේ තැවරුණු හැට්ටය ජාතික කෞතුකාගාරයට ලැබුණු හැටි..!

T

The Leader Desk

April 15, 2025 • 5:29 AM

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ බිසවගේ ලේ තැවරුණු හැට්ටය ජාතික කෞතුකාගාරයට ලැබුණු හැටි..!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 2500කට වැඩි කාලයක් අඛණ්ඩව පැවති කිරීටය බිඳ වැටීමත් සිංහලයේ අවසන් රජු සිංහලයින්ගේ උදව් ඇතිව ඉංග්‍රීසීන් විසින් පැහැරගෙන යෑමත් ලක්වැස්සන් දැඩි කම්පාවට පත්කළ සිදුවීම්වේ.
  • එකී කම්පාව වඩාත් තීව්‍ර වන්නේ 1815 පෙබරවාරි 18 වැනිදා කන්ද උඩරට බෝමුරේදී රජු ජීවග්‍රහයෙන් අල්ලා ගත් අවස්ථාවේ සිංහලයින් රජ පවුලට කෲර ලෙස සැලකූ අන්දම මෙම ඇඳුම් ආයිත්තම් තුළින්හෙළිවන නිසාය.
  • සංචාරකයින් ලෙස මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය පුරවැසියෝ මෙම නොපනත් ක්‍රියාව ඇසීමෙන් හා එම හැට්ටය දැකීමෙන් ලැජ්ජාවට පත්වෙති.
  • වසර 210 ක් පැරණි එම රාජකීය ඇඳුම් බෙහෙවින් දිරාපත්ව තිබී පසු කලෙක සංරක්ෂණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර 2500කට වැඩි කාලයක් අඛණ්ඩව පැවති කිරීටය බිඳ වැටීමත් සිංහලයේ අවසන් රජු සිංහලයින්ගේ උදව් ඇතිව ඉංග්‍රීසීන් විසින් පැහැරගෙන යෑමත් ලක්වැස්සන් දැඩි කම්පාවට පත්කළ සිදුවීම්වේ.

එකී කම්පාව වඩාත් තීව්‍ර වන්නේ 1815 පෙබරවාරි 18 වැනිදා කන්ද උඩරට බෝමුරේදී රජු ජීවග්‍රහයෙන් අල්ලා ගත් අවස්ථාවේ සිංහලයින් රජ පවුලට කෲර ලෙස සැලකූ අන්දම මෙම ඇඳුම් ආයිත්තම් තුළින්හෙළිවන නිසාය.

images

රජු ඉංග්‍රීසින් විසින් පැහැරගෙන යාමේ කණගාටුදායක මොහොත සිහිගන්වන එකම සාක්ෂිය වශයෙන් දැනට ඉතිරිව පවතින්නේ රජුගේ අග මෙහෙසිය වූ වෙන්කතරංගම්මාල් දේවියගේ ලේ තැවරුණු හැට්ටය පමණි. මෙරට තිබෙන ජාතික වස්තුන් අතර ඉහළම ස්ථානයක් ඊට හිමි වෙයි.

රජ බිසවගේ කුණ්ඩලාභරණ සතුරන් විසින් පැහැරගනු ලැබීමේදී ඉරී ගිය ඇගේ කන්පෙති වලින් වැටුණු ලේ බිංදුවල සලකුණු සහිත එම රාජකීය හැට්ටිය ශ්‍රී ලාංකිකයින් පමණක් නොව විදේශකයින්ද කම්පාවට පත් කරන්නට සමත්ය.

සංචාරකයින් ලෙස මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය පුරවැසියෝ මෙම නොපනත් ක්‍රියාව ඇසීමෙන් හා එම හැට්ටය දැකීමෙන් ලැජ්ජාවට පත්වෙති.  

වසර 210 ක් පැරණි එම රාජකීය ඇඳුම් බෙහෙවින් දිරාපත්ව තිබී පසු කලෙක සංරක්ෂණය කර ඇත.  

 ආසියාවේ රටක සිටි රෙදි පිළි සංරක්ෂණය පිළිබඳ ඉහළම සුදුසුකම් ලද පුද්ගලයකු වූ ඉන්දියාවේ සී ජී අග්‍රවාල් ප්‍රමුඛ කණ්ඩායමක් කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් ලංකාවට ගෙන්වා මෙම සංරක්ෂණ කටයුතු සිදු කර ඇත.

2007 ජූලි මාසයේ මෙම සංරක්ෂණය සිදු කෙරෙන අන්දම දැක බලා ගන්නට මටද අවස්ථාව ලැබිණි.

images 2025 04 15T084416.311

මා කෞතුකාගාරයේ සංරක්ෂණ අංශයට යන විට එවකට අසූ හැවිරිදි වියේ පසු අග්‍රවාල් කුඩා ඉඳිකටුවක් වැනි උපකරණයක ආධාරයෙන් රංගම්මාල් දේවිය අවසන් වරට හැඳ සිටි හැට්ටයේ දිරාගිය නූල් ඉතා සීරුවට පිළියම් කරමින් සිටියේය. හැට්ටයෙහි අලංකාර වැඩ දමන ලද රන් පැහැ කෙඳි විසිරී තිබූ අතර පින්සලක තැවරූ ද්‍රව්‍යයක ආධාරයෙන් ඒවා ඉතා සූක්ෂ්මව අලවන අන්දමද මම දුටුවෙමි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උඩුකය ඇඳුමෙහි මල්කම් එලෙසම පවතී. අළු පැහැයට හුරු එම මල් සහිත රෙදි 18 වෙනි සියවසේ දී විදේශයකින් ආනයනය කළා වන්නට පුළුවන. ඒවා තවමත් අලුත් පාටය. රන් පැහැ බොත්තම් ගැලවී ඇත.

සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳව කුතුහලයෙන් මඬනා ලද සිතින් එම ස්ථානයේ සිදුවන දෑ නිරීක්‍ෂණය කරමින්සිටින අතර මා තුළ පැන නැගුණ ප්‍රශ්නය වූයේ රජුගේ හා බිසවගේ ඇඳුම් ආයිත්තම් ජාතික කෞතුකාගාරයට ලැබුණේ කෙසේද යන්නය.  
image b33a2b7578

ඉංග්‍රීසීන් මහනුවර අල්ලා ගත් පසු රජතුමා ඇතුළු පිරිස උඩු නුවරට පලා ගියෝය. එවකට සබරගමු දිසාව බාරව සිටියේ රාජසිංහ රජුගේ ජන්ම හතුරෙකු වූ ඇහැළේපොළ අධිකාරමය. රජු අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් උනන්දු කළ හෙතෙම එක්නැලිගොඩ නිලමේ ඇතුළු සබරගමුවේ පිරිසක් ඉංග්‍රීසි හමුදාවට මග පෙන්වනු පිණිස කන්දේ නුවරට යවා ඇත. ඇහැලියගොඩ කිරි පෝරුවේ මොහොට්ටාල එම පිරිසෙන් එක් අයෙකි.

රජු සැඟව සිටි බෝමුරේ ප්‍රදේශයට ඉංග්‍රීසීන් කැටුව ගොස් තිබෙන්නේ ඇහැලියගොඩින් ගිය පිරිස විසිනි. බෝමුරේ ආරච්චිගේ නිවසේදී ශ්‍රී වික්‍රම රජු ජීවග්‍රහයෙන් අල්ලා ගත්තේය. මෙම පිරිස ඉතා කෲර අන්දමින් බිසවුන්ගේ කර්ණාභරණ කඩා ගනිමින් ඔවුන්ට තුවාල සිදුකළ බවත් නොහොබිනා අන්දමින් හැසිරුණු බවත්, ඉංග්‍රීසින් සමඟ ගිය භාෂා පරිවර්තක සී ටී ඒ ඩයස් 1861 දී “සින්පාල් ” සඟරාවට ලිපියක් සපයා තිබුණි.

P1250586
ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ සිට පැවත ආ ලෝකයේ දීර්ඝතම රාජ වංශය නිමාවූයේ එසේය.

දැන් නැවතත් ප්‍රස්තුත කාරණයට අප පැමිණිය යුතුය. මෙම ඇඳුම් ආයිත්තම් කෞතුකාගාරයට කෙසේ ලැබුණි දැයි සොයා බලද්දී ලැබුණු එකම හෝඩුවාව ඇහැලියගොඩ ප්‍රදේශයේ කිසියම් වැදගත් මහත්මයකු විසින් මෙම රාජකීය ඇඳුම් කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබෙන බවය.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා එවකට කෞතුකාගාර අධ්‍යක්ෂිකා ධුරයේ කටයුතු කළ ආචාර්ය නන්දා වික්‍රමසිංහ මට හෝඩුවාවක් ලබා දුන්නාය. ඒ අනුව මම ඇහැලියගොඩ කරඳන  විශ්‍රාමික  විදුහල්පතිවරයෙකු වූ කේ එන් ඩී චන්ද්‍රසේන සොයා ගියෙමි.

 රජ්ජුරුවෝ තෙල්දෙනියට ගෙනා පසු සබරගමුවේ මිනිසුන් විසින් ඉරා හානිකර තිබූ ඇඳුම් වෙනුවට අලුත් ඇඳුම් ලබා දුන් බව ජෝන් ඩොයිලි සිය දින පොතේ සඳහන් කර තිබේ.  

එක්නැලිගොඩ නිලමේ සමග කන්දේ නුවරට ගිය කිරි පෝරුවේ මොහොට්ටාල රාජසිංහ රජුගේ ඇඳුම් ආයිත්තම් පොට්ටනිය සබරගමුවට ගෙනැවිත් කිරි පෝරුවේ සිය නිවසේ පෙට්ටගමක සඟවා තබා ඇත.

රාජකීය ඇඳුම් සම්බන්ධව පූර්වාපර සන්දි ගලප්පා මගේ ගැටලුව නිරාකරණය කර  දුන්නේ ඇහැලියගොඩ චන්ද්‍රසේන මහතාය. චන්ද්‍රසේන මහතාගේ පියාවූ ටී ගුණදාස  1930 ගණන්වල ඇහැලියගොඩ කරඳන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවයට පැමිණ ඇත. පුරාවිද්‍යාවට ඇලුම් කරන්නකු වූ ඒ මහතා එක් දිනක් සිසුන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඉතිහාස පාඩම කියා දී තිබේ. ඒ අවස්ථාවේ නැගී සිටි කුඩා ශිෂ්‍යාවක “ලොකු මහත්තයා අපේ ගමේ ගෙදරක රජ්ජුරුවන්ගේ රෙදි පොට්ටනියක් තිබෙනවා කියා අම්මා කීවා” යයි පවසා ඇත. දැරියගේ එම තොරතුර ඔස්සේ විපරම් කර බැලීමේදී  කිරි පෝරුවේ මොහොට්ටාල පරපුරට අයත් පුරාණ නිවස සොයාගන්නට ගුණදාස මහතාට හැකි විය.

81788846 866283517125401 1440315783770013696 n

ඒ වන විට එම පරපුර අභාවයට ගොස් තිබූ බැවින් ප්‍රදේශයේ තොරතුරු දත් අයද අල්ප විය. රෙදි පොට්ටනිය අවුරුදු 125 ක් මොහොට්ටාලගේ ගෙදර පෙට්ටගමේ සැඟවී තිබී ඇත. රාජකීය ඇඳුම් වස්දොස් වදින ඒවා නිසා පරම්පරා දෙකක් යනතුරුත් කිසිවෙකු ඊට අත තබා නැත. ගුණදාස මහතා එම නිවසට යන විට එහි හිමිකරු දුනුමාල බණ්ඩාර නමැති මැදිවිය ඉක්මවූ අයෙකි. වලව්වද ගරා වැටී අබලන්ව තිබුණි. ගුණදාස මහතා කීප විටක් එම නිවසට ගොස් යාප්පුවෙන් කතාකර රෙදි පොට්ටනිය ඉල්ලා සිටියද ඔහු එය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණ. දුනුමාල බණ්ඩාර තදින් බීමට ඇබ්බැහි වූ අයෙකි. මත්පැන් බීමට මුදල් හිඟ වූ එක් දිනෙක ඉතා සුළු මුදලකට රෙදි පොට්ටනිය ගුණදාස මහතාට දෙන්නට ඔහු කැමති වී ඇත.

එම ගනුදෙනුව සිදුවී තිබෙන්නේ. 1941 වර්ෂයේ ජනවාරි මාසයේය. ඒ වන විට රෙදි පොට්ටනියේ බිසවගේ හැට්ටය, රජුගේ හැට්ටය හා බඳපටියද තවත් රෙදි කෑල්ලක්ද පමණක් තිබී ඇත.

ගුණදාස මහතා ළඟ රාජකීය ඇඳුම් කට්ටලයක් ඇති බව නාපාවල සෝරත හිමියන්ට ආරංචි වන්නේ මේ අතරය. උන්වහන්සේ එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ගුරු හාමුදුරුවෝය. නාපාවල හිමියන්ගෙන් රඹුක්වැල්ලේ සිද්ධාර්ථ නා හිමියන්ටද උන්වහන්සේ වෙතින් එවකට ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඒ පී දැරනියගල මහතාට ද මෙම ආරංචිය සැලවිය.

දැරණියගල මහතා 1941 වර්ෂයේ ජනවාරි මස දිනක ස්වාමීන් වහන්සේලා දෙනමක් කැටුව ටී ගුණදාස මහතා සොයා කරඳනට පැමිණියේය. එදා තරුණ කොළුගැටයෙකු වූ චන්ද්‍රසේන මහතා මා සමග පැවසුවේ ආලින්දයෙහි තැබූ ඇඳි පුටුවක ඇන්ද මත තබා පියා විසින් රජ ඇඳුම් අමුත්තන්ට පෙන්නන අවස්ථාවේ ඔවුන් විශ්මයට පත් වූ බවය. ඒවා රාජකී ඇඳුම් ආයිත්තම්  බව ඔවුන් එකහෙලාම තහවුරු කළ අයුරු අද මෙන් තමාගේ මතකයේ ඇති බවය. ආචාර්ය සිරාන් දැරණියගල, පී ඒ පී දැරණියගල මහතාගේ පුත්‍රයාය.

117175735 132818005162812 8057584857708187077 n

සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලෙස දැරණියගල මහතා විදුහල්පති ගුණදාස මහතාගෙන් ඉල්ලා ඇත. දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා අවසානයේ එම ඇඳුම් පරිත්‍යාග කිරීමට ගුණදාස මහතා එකඟ වී ඇත. 1941 පෙබරවාරි 01 දින මෙම අගනා කෞතුක වස්තූන් ගුණදාස මහතා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කර ඇත.

ලේක් හවුස් පුස්තකාලයට ගිය මා වඩාත් සතුටට පත් වූයේ ගුණදාස මහතාගේ එම උතුම් ක්‍රියාව ඒ මහතාගේ ඡායාරූපයක් ද සමඟ  1941 පෙබරවාරි 02 දා සිළුමිණ පුවත්පත මුල් පිටුවේම වාර්තා කර තිබෙන අයුරු දැකීමෙනි.

සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් ජාතික කෞතුකාගාරයට හිමි වූ අන්දම පිළිබඳ කතා පුවත එසේය.

 ඉන්දියාවේ සිට පැමිණි සංරක්ෂණ කණ්ඩායම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුහුණ දුන් අභාග්‍ය සම්පන්න ඉරණම  පිළිබඳව දැන සිටියේ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටේ පාලකයා වූ මෙම රජුගේ රාජ්‍යය උදුරා ගෙන රජු සහ බිසව සිරකරුවන් ලෙස  මුරිසි දිවයිනට රැගෙන ගිය බවත් ඔවුන් බොහෝ දුක්  පීඩා විඳ එම රටේදී මිය ගිය බවත් මම පරිවර්තකයෙකුගේ ආධාරයෙන් ඔවුන්ට පැහැදිලි කළෙමි.

හින්දි භාෂාව කතා කරන තරුණ සංරක්ෂණවේදියෙකු මේසය මත අතුරා ඇති රාජකීය සැට්ටය දෙස හැඟුම්බරව බලා සිටියේය. අනතුරුව සෙමෙන් කතා කළ ඔහු. ''මට මගේ රටේ සිටි සාජහන් රජුත් මුම්ටාස් මහල් දේවියත් මතක් වෙනවා” යයි පැවසුවේය. තවත් මොහොතකින් ඔවුහු ගැඹුරු හැඟීමෙන් යුතුව සිය කටයුත්තේ නියැලෙන අයුරු පෙනුනි.

museum1

(ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂිකා ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය හා ජාතික කෞතුකාගාර අධිකාරී රංජිත් හේවගේ සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු සංරක්ෂණ නිලධාරී දුෂ්මන්ත ගුණසේකර මහත්වරු මෙම කටයුතු සාක්ෂාත් කරගැනීම සඳහා සහාය වූහ.)

udeni saman

(සටහන | උදේනි සමන් කුමාර)


උපුටා ගැනීම - lankapowernews

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...