The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පසුගිය දිනවල රට පුරා පැතිරුණු මොකක්ද මේ 'සාප්පු උන්මාදය' ? | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

April 16, 2025 • 5:51 AM

පසුගිය දිනවල රට පුරා පැතිරුණු මොකක්ද මේ 'සාප්පු උන්මාදය' ? | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බහුරතරයක් හැසිරෙන්නේ ලෝකයේ ඇති අවසානතම ඇඳුම් තොගය අත්පත් කර ගැනීමට උත්සාහ සරනා ආකාරයකිනි.
  • කෙසේ නමුත් උත්සව සමයන්හිදී ඇඳුම් ගැනීමට ඇති මේ පෙලඹීම පසුපස මනෝවිද්‍යාත්මක කාරණයකුත් පවතින බව ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.
  • මෙය ‘ඔනියෝමේනියාව’ (oniomania) නමින් හඳුන්වනු ලබන අතර ‘අධික ලෙස මිලදී ගැනීමේ උන්මාදය’ වැනි නමකින් සිංහල බසින් පැවසිය හැකිය.
  • මෙය ආබාධ පාලන ආබාධයක් (impulse control disorder) ලෙස වර්ග කොට ඇති අතර ඇබ්බැහිවීම් සහ අධික ලෙස අත්හල නොහැකි හැසිරීම් රටාවන් සමග සම්බන්ධ වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


බහුරතරයක් හැසිරෙන්නේ ලෝකයේ ඇති අවසානතම ඇඳුම් තොගය අත්පත් කර ගැනීමට උත්සාහ සරනා ආකාරයකිනි.

අලුත් අවුරුදු සමය ආරම්භයේ දී අප රටේ සුප්‍රකට ඇඳුම් අළෙවි සලක් විවෘත කරන තුරු මිනිසුන් රොක් වී සිටි ආකාරය පිළිබඳ සමාජ ජාලාවල වීඩියෝ පවා සංසරණය විය.

 



උත්සව සමයක දී තෝරා ගැනීමට ඇඳුම් බොහෝ තිබීම, ලාබ කළ ඇඳුම් තිබීම ආදී විවිධ හේතු නිසා බොහෝ දෙනෙක් මෙසේ රොක් වනු දකින්නට හැකිය. කෙසේ නමුත් උත්සව සමයන්හිදී ඇඳුම් ගැනීමට ඇති මේ පෙලඹීම පසුපස මනෝවිද්‍යාත්මක කාරණයකුත් පවතින බව ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.

මෙය ‘ඔනියෝමේනියාව’ (oniomania) නමින් හඳුන්වනු ලබන අතර ‘අධික ලෙස මිලදී ගැනීමේ උන්මාදය’ වැනි නමකින් සිංහල බසින් පැවසිය හැකිය. එමෙන්ම ‘අත්හල නොහැකි මිලදී ගැනීමේ ආබාධය’ (compulsive buying disorder – CBD) ආකාරයෙන් ද හැඳින්විය හැකිය. මෙය ආබාධ පාලන ආබාධයක් (impulse control disorder) ලෙස වර්ග කොට ඇති අතර ඇබ්බැහිවීම් සහ අධික ලෙස අත්හල නොහැකි හැසිරීම් රටාවන් සමග සම්බන්ධ වී තිබේ.

One people alone. A senior woman enjoys evening shopping while taking advantage of offers and discounts. On his arm a lot of shopping bags while she looks at her cell phone
මේ තත්ත්වයෙක් පීඩා විඳින්නෝ අධික මිලදී ගැනීමේ ආශාවකින් පසුවෙති. මෙය පසුපස ඇත්තේ සැබවින්ම මිල දී ගැනීමේ අවශ්‍යතාව නොව තමා කෙරෙහි වූ වරදකාරී හැඟීම, කාංසාව හෝ විෂාදය වැනි තත්ත්වයන් බව හෙළිවී තිබේ.

සාමාන්‍යයෙන් පුද්ගලයකු සාප්පු සවාරි යාම මෙන් නොව ඔනියෝමේනියා තත්ත්වයේ දී ඇත්තේ චිත්තවේගීය පීඩා තත්ත්වයකි. මෙහිදී මිල දී ගන්නා බොහෝ දේවල් අනවශ්‍ය වන අතර ඒවා ප්‍රයෝජනයට ගන්නේ ද නැත. ඇතැම් ඒවා මිලදී ගත්ත ද පාවිච්චියට ඇති ලජ්ජාශීලී ස්වභාවය නිසා සඟවා තබන අවස්ථාවන් ද දකින්නට ලැබේ.

මනෝවිද්‍යාඥයින් පවසන්නේ මේ තත්ත්වයෙන් පසුවන්නන් බොහෝ විට ආත්මාභිමානය අඩු, චිත්තවේගීය බවක් නොමැති විසඳා ගත නොහැකි විවිධ ගැටලුවලින් යුක්ත වූවන් වන බවය. මේ නිසා ඔවුන්ට සතුටට ඇත්තේ මොනවා හෝ මිල දී ගැනීම මතය. එය එක්තරා ආකාරයකට මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමකට සමානය. ඔවුන්ගේ මානසිකත්වය ඉහළ නගින්නේ මිල දී ගැනීමක් සිදු කරන විටය.

 

Clothes
කෙසේ නමුත් මේ සතුට කෙටි කාලීන වන අතර මේ නිසා නැවත නැවත ඇඳුම් පැලඳුම් හෝ වෙනත් දේවල් මිල දී ගැනීම සඳහා නැවත නැවත සාප්පු සවාරි යාමට පෙලඹෙයි.

ස්නායු ජීව විද්‍යාත්මක (Neurobiological) අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ මොළයේ ඩොපමයින් අක්‍රමවත් වීම මෙයට හේතු වන බවය. සතුට සම්බන්ධ හැඟීම් පාලනය කරන්නේ මේ හෝමෝනය මගිනි. මෙය අක්‍රමවත් වීම නිසා එයින් ඇති විය යුතු ප්‍රතිඵල නොව එයට වඩා හාත්පසින්ම වෙනස්, ඍණාත්මක ප්‍රතිඵල ඇති වෙයි. යම්කිසි සූදුවකට ඇබ්බැහි වූවන් තුළ ද මෙවැනි ලක්ෂණ පවතින බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දෙති.

පවතින සංස්කෘතීන් මගින් ද අප තුළ මිල දී ගැනීමේ හැඟීම ඇති කිරීම සඳහා විවිධ හේතු සාධක ලබා දෙයි. ළමා වියේ සිටම සාර්ථකත්වය, සතුට සහ අනන්‍යතාව ඇති කර ගැනීම පසුපස යම්කිසි දෙයක් අත්පත් කර ගැනීම පවතින බවට හැඟීම අප තුළ ඇති කොට තිබේ. මෙයින් ප්‍රයෝජන ගන්නා වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන්නෝ මිනිසුන්ව අධික පරිභෝජනය කරා තල්ලු වී යන ආකාරයෙන් සිය නිර්මාණ ඉදිරිපත් කරන්නට කටයුතු යොදති.

 

shop mahara
බොහෝ සමාජවල, විශේෂයෙන් නාගරික සහ මධ්‍යම පාන්තික ජනතාව තුළ සාප්පු සවාරි යනු සමාජයේ යම්කිසි තත්ත්වයක් පෙන්නුම් කරන්නක් ලෙස සලකන්නට හුරුපුරුදුව තිබේ. ප්‍රචාරක ආයතනවල අළෙවිකරණ කටයුතු සහ සමාජ මාධ්‍යවල බලපෑම මෙය තවත් වර්ධනය කරන්නට හේතු වී තිබේ. කාංසාව හෝ විෂාදය ඇති අය මෙහිදී මේ තත්ත්වයට පහසුවෙන්ම ගොදුරු වෙයි. සමාජයෙන් ලැබෙන මේ බලපෑම නිසා ඔවුන් අධික වශයෙන් මිල දී ගැනීම තුළින් සතුටක් ලබන්නට උත්සාහ කරති.

එමෙන්ම මේ වන විට අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීම් ද වඩාත් පහසු වී ඇති අතර එය මේ තත්ත්වය තවත් අයහපත් කරන්නට හේතු වී තිබේ. eBay, AliExpress, Temu වැනි අන්තර්ජාල මිල දී ගැනීමේ අඩවිවල පද්ධති සකසා ඇත්තේ එක් එක් පාරිභෝගිකයාගේ හැසිරීම් රටාවන්වලට ගැළපෙන පරිදි වන අතර එය තවත් තවත් මිල දී ගැනීමය පොලඹවයි.

ඔනියෝමේනියාව මගින් පුද්ගලික සහ වඩාත් පුළුල් ලෙස ගතහොත් ආර්ථිකමය වශයෙන් ද ප්‍රතිවිපාක ඇති කරයි. පුද්ගලික මට්ටමින් ගතහොත් ඔවුන් අධික ණය බරකට මුහුණ දෙන අතර ඒ නිසා අන්‍යයන් සමග සබඳතා පවත්වාගෙන යාමේ ගැටලුවලට ද මුහුණ දෙයි. මෙය තවත් දරුණු මට්ටමට යාමේ දී මූල්‍යම වශයෙන් වූ වැරදි කළමනාකරණය නිසා බංකොලොත් භාවයට පත්වීම හෝ රැකියා අහිමි වීම වැනි දෙයක් ද ඇති විය හැකිය.

 

An unrecognizable Caucasian female standing at the shopping mall with paper bags.
සාර්ව ආර්ථික මට්ටමින් ගතහොත් ලෝකයේ බොහෝ රටවල පාරිභෝගික මිල දී ගැනීම් දළ දේශීය නිෂ්පාදනය මෙහෙයවයි. නමුත් අත්හල නොහැකි අධිකව මිල දී ගැනීම තුළ මේ තත්ත්වය වෙනස් වෙයි. මෙය හේතුවෙන් තිරසාර නොවන පාරිභෝගික පුරුදු, ගෘහස්ථ ණය මට්ටම වැඩි වීම සම නාස්තිකාර පරිභෝජන රටාවන් ඇති කරන්නට හේතු වෙයි. මෙයින් සිදු වන්නේ විලාසිතා සහ විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවන සමාගම් සමෘද්ධිමත් වීම පමණි. එමෙන්ම මානසික රෝගී තත්ත්වයන්ගෙන් යුක්ත ජනතාව වර්ධනය වීම නිසා එය සෞඛ්‍යමය ගැටලු බවට පත් වී සෞඛ්‍ය සේවා පද්ධතියට අමතර බරක් ද ඇති කරයි.

ඔනියෝමේනියාව අසන්නට ලැබී දැනට දශක කිහිපයක් පමණක් වුව මෙය අලුත් තත්ත්වයක් නොවේ. 19 වැනි සියවසේ සිටි ජර්මානු මනෝ චිකිත්සකයක වූ එමිල් කේප්ලින් මේ අත්හල නොහැකි මිල දී ගැනීමේ ආබාධය පිළිබඳ කරුණු ඉදිරිපත් කොට තිබේ. මෙය වැඩි වශයෙන් කාන්තාවන් සම්බන්ධ කාරණයක් වූ බැවින් එය ප්‍රධාන වෛද්‍ය ක්ෂේත්‍රය තුළ එතරම් සැලකිල්ලට ලක් කළේ නැත.

ඔනියෝමේනියාව එක් සංස්කෘතියකට හෝ රටකට සීමා වන්නේ නැත. අධ්‍යයනවලින් පෙනී යන්නේ උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සිට ආසියාව සහ මැදපෙරදිග දක්වා විවිධ ප්‍රදේශවල මෙය පවතින බවය. කෙසේ නමුත් වර්තමානය වන විට නාගරිකත්වය සහ අන්තර්ජාල සබඳතා සමග මෙහි යම්කිසි වෙනසක් ඇති වී තිබේ.

Portrait of Attractive Asian woman shopping home decorative ornaments and joss paper for celebrating Chinese Lunar New Year festive with using credit card making payment at Bangkok Chinatown street market.

සංවර්ධිත රටවල මිනිසුන්ගේ වැය කළ හැකි ආදායම ඉහළ තත්ත්වයක පැවතීම සහ ආක්‍රමණශීලී අලෙවිකරණ වැඩකටයුතු නිසා මිල දී ගැනීමේ වේගය තව තවත් වර්ධනය වී තිබේ. දකුණු කොරියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය වැනි රටවල මෙය මේ තත්ත්වය ඉතා අධික ලෙස පවතිනු දක්නට ලැබේ.

ඇතැම් රටවල සහ සංස්කෘතීන් තුළ මේ තත්ත්වය විවෘත කතාබහකට ලක් වන අතර අතර ඇතැම් රටවල එය විවෘතව කතා බහ කිරීම ලජ්ජාවට කාරණයක් සේ සලකා කතාබහ සාමාන්‍ය කාරණයක් සේ සලකනු දක්නට ලැබේ.

මේ අනුව බලන විට ඔනියෝමේනියාව යනු පුද්ගල මනෝවිද්‍යාවේ සහ සමාජ සාරධර්මවල ගැඹුරු දෙදරා යමක් පිළිබිඹු කරන බහුවිධ ගැටලුවක් ලෙස සඳහන් කළ හැකිය. එය හුදෙක් යමක් අනවශ්‍ය ලෙස මිල දී ගැනීමක් පමණක් නොවේ. එයින් පිළිබිඹු වන්නේ ඉටු කර ගත නොහැකි වූ චිත්ත්වේගීය අවශ්‍යතා, සමාජයීය පීඩනය සහ ධනවාදයේ අයහපත් ප්‍රතිවිපාකයන්ය.

image ffe448bd9d

මේ ඩිජිටල් යුගයේ දී අවශ්‍යතාව සහ ආශාව අතර වූ මායිම හරි හැටි අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසා මේ තත්ත්වයන්ගෙන් මිදීම සඳහා දැනුවත්භාවය, සහකම්පනය සහ මානසික සෞඛ්‍යමය මැදිහත්වීම් අවශ්‍ය වේ. පාලනය කර ගත නොහැකි මිල දී ගැනීමට එරෙහිව සටන් කිරීම යනු හුදෙක් ඥානවන්තව මිල දී ගැනීම පමණක් නොවේ. නිමා නොවන ආශාවන් පවතින සමාජයත් තුළ මනා සිහියකින් යුතුව ජීවත් වීම ද මේ සටනේම කොටසකි.



Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...