The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෝකයේ මෙතෙක් බිහිවූ වැදගත් ම පුද්ගලයා ඇරිස්ටෝටල් ද?

T

The Leader Desk

April 16, 2025 • 10:01 AM

ලෝකයේ මෙතෙක් බිහිවූ වැදගත් ම පුද්ගලයා ඇරිස්ටෝටල් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරාතන ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල්ගෙන් ලෝකයට ඇති වූ බලපෑම කොතෙක් ද යත්, ඔහුගේ අදහස්වලින් ලොව හැඩගැසී ඇති ආකාරය අප නොදකින තරම් බව ජෝන් සෙලර්ස් තර්ක කරයි.
  • තමන් කරන්නේ නිර්භීත ප්‍රකාශයක් බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ රෝයල් හොලොවේහි මහාචාර්යවරයෙකු වන සෙලර්ස් දනී.
  • නමුත්, ඔහු අවධාරණය කරන්නේ, ඇරිස්ටෝටල්ගේ බලපෑම කිසිවකට සම කළ නොහැකි බව ය.
  • නිර්භීත ප්‍රකාශයක් ඇන්ටිගනී (Antigone) සඟරාවෙහි පළවූ ලිපියකින් සෙලර්ස් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පුරාතන ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල්ගෙන් ලෝකයට ඇති වූ බලපෑම කොතෙක් ද යත්, ඔහුගේ අදහස්වලින් ලොව හැඩගැසී ඇති ආකාරය අප නොදකින තරම් බව ජෝන් සෙලර්ස් තර්ක කරයි.

දේශපාලනයේ සිට විද්‍යාව දක්වා හෝ වේවා, සාහිත්‍යයේ සිට තර්ක ශාස්ත්‍රය දක්වා හෝ වේවා ඔහුගේ බලපෑම සෑම ක්ෂේත්‍රයක ම දක්නට ලැබේ. මහ සයුරේ වෙසෙන ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරමින් ඔහු ජීව විද්‍යාවට පදනම දැමුවේ ය. විවිධ දේශපාලන පද්ධති සම්බන්ධයෙන් ඔහු කළ විමසා බැලීම්වලින් දේශපාලන විද්‍යාවෙහි පුරෝගාමියෙකු විය. ඔහුගේ කාව්‍ය ශාස්ත්‍රයෙහි අඩංගු වෘත්තාන්ත විශ්ලේෂණ තවමත් නවීන සිනමා කර්මාන්තය හැඩගස්වයි. එමෙන් ම, තර්ක ශාස්ත්‍රයේදී ඔහුගේ තර්කන මූලධර්මය මගින් දර්ශනවාදයේ සිට ඩිජිටල් යුගය දක්වා තවත් බොහෝ දෙයට පදනම දැමී ය.


තමන් කරන්නේ නිර්භීත ප්‍රකාශයක් බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ රෝයල් හොලොවේහි මහාචාර්යවරයෙකු වන සෙලර්ස් දනී.

නමුත්, ඔහු අවධාරණය කරන්නේ, ඇරිස්ටෝටල්ගේ බලපෑම කිසිවකට සම කළ නොහැකි බව ය. "අපි හිතන ආකාරය ඔහු තමයි හැඩගැස්සුවේ," ඔහු කියා සිටී.

නිර්භීත ප්‍රකාශයක්

ඇන්ටිගනී (Antigone) සඟරාවෙහි පළවූ ලිපියකින් සෙලර්ස් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ. "ඇරිස්ටෝටල් ලොව විසූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා පමණක් නොවෙයි, ඔහු එතෙක් මෙතෙක් ජීවත්වූ වැදගත් ම මිනිසා යි."

එය අසාමාන්‍ය ප්‍රකාශයක් ද වන අතර, ඔහු රචනා කළ 'ඇරිස්ටෝටල්' නමැති කෘතියෙන් ඒ පිළිබඳව වැඩිදුරටත් විස්තර කර ඇත.

ලෝකයේ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා තේරුම් ගැනීම

"දර්ශනය ඉගෙන ගන්න පටන් ගනිද්දි ම මම දැනගෙන හිටියා ඇරිස්ටෝටල් කියන්නේ වැදගත් කෙනෙක් කියලා, නමුත් ඔහු ගැන හිතා ගන්නවත් බැරි කෙනෙක්," යනුවෙන් සෙලර්ස් සිහිපත් කරයි. "ඔහු ලියපු දේ කියවන්න ගත්ත හැම වෙලාවෙ ම මම ඉක්මනින් ම අතරමං වුණා වගේ හැඟීමක් දැනුණා."

කල් ගතවෙද්දී ඔහුට තේරුම් ගැනීමට හැකි වූයේ, ඇරිස්ටෝටල් යනු ඉවසීමෙන් කියවිය යුතු මාතෘකාවක් බව ය. "ඔහුව තේරුම් ගන්නේ කොහොම ද කියලා දැනගන්න ඕන, හෙමින්," සෙලර්ස් පවසයි.

ඔහු සිය ග්‍රන්ථයෙන් උත්සහ දරන්නේ, ඇරිස්ටෝටල්ගේ අදහස් කියවන්නාට ග්‍රහණය කරවමින්, ඇරිස්ටෝටල්ගේ සදාකාලික බලපෑම ඉස්මතු කිරීමට ය.


ඉගෙනුමෙන් පිරි ජීවිතයක්

Plato Socrates Aristotle
සොක්‍රටීස් සහ ප්ලේටෝ සමග එක්ව, ඇරිස්ටෝටල් සම්භාව්‍ය දර්ශනවාදයේ ස්වර්ණමය ත්‍රිත්වයේ කොටසක් නියෝජනය කරයි. උතුරු ග්‍රීසියේ උපත ලැබූ ඔහු වයස අවුරුදු 18 දී ඇතන්ස් වෙත ගොස් ප්ලේටෝගේ ඇකඩමියේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහු ශිෂ්‍යයෙකු සහ ගුරුවරයෙකු ලෙස වසර 20ක් සේවය කළේ ය.

ප්ලේටෝ කෙරෙහි ගෞරවයක් පැවතිය ද, ඇරිස්ටෝටල් තමාගේ ම අදහස් වර්ධනය කර ගත්තේ ය. ඔහුගේ උපදේශකයාගේ මරණයෙන් පසු, ඔහු ඇතන්ස් සිට ලෙස්බොස් දූපතේ සොබාදහම හැදෑරීමට පිටත් විය. ඔහුගේ කීර්තිය වර්ධනය වූ අතර, පසුව ඔහු මහා ඇලෙක්සැන්ඩර් බවට පත්වූ මැසිඩෝනියාවේ රජු වන ෆිලිප්ගේ පුත්‍රයාගේ උපදේශකයෙකු ලෙස තෝරා ගන්නා ලදී.

ඇලෙක්සැන්ඩර් තම විජයග්‍රහණයන් ඇරඹීමත් සමග ඇරිස්ටෝටල් නැවත ඇතන්ස් නගරය කරා ගොස් ලයිසියම් නමැති තමාගේ ම විද්‍යායතනය ආරම්භ කළේ ය. තම අවසන් කාලය ඉගැන්වීම, ලේඛනය සහ ගවේෂණයට කැප කළ ඔහු 62 වියේදී මිය ගියේ ය.

ඔහුගේ නිර්මාණයන්ගෙන් අතලොස්සක් පමණක් මේ වන විට ඉතිරිව පැවතිය ද, ඒවා පවා වචන මිලියනයකට ආසන්න සංඛ්‍යාවකින් යුක්ත වේ. මෙය ඉතා සුවිශේෂ බුද්ධිමය උරුමයකි.

image ඇරිස්ටෝටල් මහා ඇලෙක්සැන්ඩර් රජුට උගන්වන අවස්ථාවක් දැක්වෙන පැරණි සිතුවමක්
විද්‍යානුකූල චින්තකයෙක්

ඇරිස්ටෝටල් යනු දර්ශනවාදියෙකු පමණක් නොව, මුල් කාලීන විද්‍යාඥයෙකු ද වෙයි.

අන්වීක්ෂය සොයා ගැනීමට සහ ප්‍රවේණි විද්‍යාවේ ආරම්භයට බොහෝ කලකට පෙර ඔහු ස්වාභාවික ලෝකය ක්‍රමානුකූලව හැදෑරීය. සතුන් සහ ගස්වැල් වර්ගීකරණය කරමින් ඔහු ජීවවිද්‍යාව යනු ශාස්ත්‍රීයව හැදෑරිය යුතු විෂයයක් බවට පත් කිරීමේ පදනම දැමුවේ ය.

Aristotle studying in his youth. The Ancient Greek philosopher and naturalist Aristotle (384-322 BC) influenced many later thinkers, working in areas such as logic, astronomy, zoology, embryology and physics. He grew up in Macedon, and then, from the age of 18, spent nearly 20 years at Plato's Academy in Athens. Artwork, after a painting by Bezard, from the 19th century book Vies des Savants Illustres.
එනමුත්, ඔහුගේ සමහර නිගමනයන් සාවද්‍ය බව පසුව ඔප්පු විය. කෙසේ වෙතත්, ඇරිස්ටෝටල්ගේ නියම ජයග්‍රහණය වන්නේ ඔහුගේ ක්‍රමවේදය බවට සෙලර්ස් තර්ක කරයි. කලින් සිතාගත් කරුණු මත නොව නිරීක්ෂණය සහ සාක්ෂි මත පදනම්ව යමක් තේරුම් ගැනීම මෙහෙයවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

නවීන විද්‍යාවේ හදවත වන්නේ මෙම මූලධර්මය යි.

දේශපාලනය සහ සාහිත්‍යය පිළිබඳ පදනම

ඇරිස්ටෝටල් දේශපාලනයට පවා එම ක්‍රමානුකූල ප්‍රවේශය භාවිත කළේ ය.

image 11

විවිධ ප්‍රාන්ත නගරවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් එක්රැස් කොට ඒවා එකිනෙක හා සසඳා බලමින් ඔහු උත්සහ කළේ, ඇතැම් සමාජයන් සමෘද්ධිමත් වන අතරවාරයේ අනෙකුත් ඒවා අසමත් වීමට හේතු අවබෝධ කර ගැනීමට ය. අදහස් මත නොව සාක්ෂි මත පදනම්ව සිදු කළ මෙම විධික්‍රමය සමාජ විද්‍යාවන්ට ද පදනම දැමී ය.

සාහිත්‍යය කෙරෙහි වූ ඔහුගේ බලපෑම ද ඒ හා සමානව ම විචක්ෂණශීලී විය. ග්‍රීක නාට්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ ඇරිස්ටෝටල් ආරම්භය, මධ්‍යය සහ අවසානය ලෙසින් කතාවක් කොටස් කොට දක්වා ලූයේ වර්තමානයේ ද සිනමාව සහ ග්‍රන්ථ රචනය කෙරෙහි හැඩගැස්වීමකට අවශ්‍ය ව්‍යුහයක් හඳුන්වා දෙමිනි.

තර්ක ශාස්ත්‍රයේ සහ ආචාර ධර්මවල පියා

තර්ක ශාස්ත්‍රය සම්බන්ධයෙන් වූ ඇරිස්ටෝටල්ගේ හඳුන්වාදීම් ඔහුගේ වඩාත් ම කල්පවතින දායකත්වයක් ලෙස සැලකේ.

අප දැන් මධ්‍යස්ථභාවය බැහැර කිරීමේ රිතිය (Law of the Excluded Middle) යනුවෙන් හඳුන්වනු ලබන ඕනෑ ම ප්‍රකාශයක් නිවැරදි හෝ වැරදි ලෙසින් පමණක් වර්ග කිරීමේ අදහස වැනි ප්‍රධාන මූලධර්ම ඔහුගේ හඳුන්වාදීමකි. දාර්ශනික විවාදවලදී මෙන් ම පරිගණක ද්විමය කේතවලට (binary code) ද මෙම සරල නමුත් ප්‍රබල සංකල්පය බලපෑමක් කළේ ය.

 

how did aristotle shape ancient greek philosophy

එපමණක් ද නොව, අප ජීවිතයේ මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන අප ජීවත් විය යුත්තේ කෙසේ ද? යන ප්‍රශ්නය නිරාකරණය කිරීමට ද ඇරිස්ටෝටල් ක්‍රියා කළේ ය.

නිකොමැකියන් ආචාරධර්මවලදී (Nicomachean Ethics) ඔහු තර්කනය කළේ, විචාරය, සමාජයීය සබඳතා සහ බුද්ධිමය කුතුහලය එකිනෙක සමග තුලනය කිරීමෙන් පමණක් මානවයින් දියුණුවට පත්වන බව ය.


අපට නොපෙනෙන බලපෑමක්

ඇරිස්ටෝටල්ගේ අදහස් මේ වන විට නවීන විශ්වාසයන් සමග කෙතරම් බද්ධව පවතින්නේ ද යත්, අප තවදුරටත් ඒ බව නොදකින තත්ත්වයට පත්ව ඇතැයි සෙලර්ස්ගේ විශ්වාසය යි.

"ඔහුගේ සංකල්ප සෑම තැනක ම තිබෙනවා. නමුත් අපි ඒවා ඒ ආකාරයෙන් විය යුතු බව පිළිගන්නවා විතර යි," ඔහු පවසයි.

එසේ නම්, ඉතිහාසය තුළ ලොව විසූ වැදගත් ම පුද්ගලයා ඇරිස්ටෝටල් ද?

image 13

සෙලර්ස් ප්‍රබල තර්කයක් ඉදිරිපත් කරයි. එහෙත්, ඇරිස්ටෝටල් හුදෙක් ශ්‍රේෂ්ඨ චින්තකයෙකු පමණක් ද, නැතහොත් සෙලර්ස් තර්ක කරන පරිදි ඉතිහාසයේ වැදගත් ම මිනිසා ද? යන්න අවසානයේ තීරණය කළ යුත්තේ පාඨකයා ය.



| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...