The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දන්ත ධාතුව ලංකාවට රැගෙන ආ දන්තපුරය සොයා ගැනීම

T

The Leader Desk

April 17, 2025 • 11:11 AM

දන්ත ධාතුව ලංකාවට රැගෙන ආ දන්තපුරය සොයා ගැනීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට මහනුවර දළදා මාලිගාවේ තැන්පත්කර තිබෙන දන්ත ධාතුව ලංකාවට රැගෙන ආවේ ඉන්දියාවේ කාලිංග දේශයේ දන්තපුරයෙන් බව මහාවංශය, ධාතුවංශය සහ තවත් ශ්‍රී ලාංකික ඉතිහාස පොත් කිහිපයක සඳහන්ව තිබේ.
  • මේ දන්තපුරය නිශ්චිතව ම ඉන්දියාවේ පිහිටා තිබූ ස්ථානය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව ශ්‍රී ලාංකික බොහෝ දෙනා තවමත් විශ්වාස කරති.
  • ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක් විසින් මේ පොත පළකර දැනට වසර පහක් ගතවී ඇතත්, ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයෙන් වැදගත්වන මේ සොයාගැනීම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී තිබීම විමතියට කරුණකි.
  • දන්තපුරය පිහිටා ඇත්තේ කොහි ද?
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට මහනුවර දළදා මාලිගාවේ තැන්පත්කර තිබෙන දන්ත ධාතුව ලංකාවට රැගෙන ආවේ ඉන්දියාවේ කාලිංග දේශයේ දන්තපුරයෙන් බව මහාවංශය, ධාතුවංශය සහ තවත් ශ්‍රී ලාංකික ඉතිහාස පොත් කිහිපයක සඳහන්ව තිබේ.

මේ දන්තපුරය නිශ්චිතව ම ඉන්දියාවේ පිහිටා තිබූ ස්ථානය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව ශ්‍රී ලාංකික බොහෝ දෙනා තවමත් විශ්වාස කරති.

WhatsApp Image 2025 04 17 at 4.06.13 PM 1විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

එසේ නමුත් 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේෂිතවූ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් රචිත Finding Sinhabahu  (සිංහබාහු සොයා ගැනීම) කෘතියේ පරිච්චේද දෙකක පිටු 52 පුරා ඉන්දියාවේ දන්තපුරය නිශ්චිතවම හඳුනාගැනීම ඔහු විස්තර කරයි. ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක් විසින් මේ පොත පළකර  දැනට වසර පහක් ගතවී ඇතත්,  ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයෙන් වැදගත්වන මේ සොයාගැනීම  කිසිවෙකුගේ අවධානයට ලක් නොවී තිබීම විමතියට කරුණකි.

දන්තපුරය පිහිටා ඇත්තේ කොහි ද?


අජිත් අමරසිංහ මහතා මේ පොතෙහි විස්තර කරන ආකාරයට ලංකාවට ක්‍රි. ව. හතරවැනි සියවසේ දී ලංකාවට දන්ත ධාතුව රැගෙන ආ දන්තපුරය පිහිටා ඇත්තේ වත්මන් ඉන්දියාවේ ආන්ද්‍රාප්‍රදේශ් ප්‍රාන්තයේ උතුරු කෙළවරේ බෙංගාල බොක්කට ආසන්නයේ ය. මේ ස්ථානය වත්මන් ඔරිස්සා ප්‍රාන්තයට ඉතා නුදුරින් පිහිටා ඇති අතර මෙය ඓතිහාසික ඉන්දියාවේ කාලිංග ප්‍රදේශයේ කොටසක්ව පැවතිණි.

මේ ස්ථානය සොයා කොළඹ සිට චෙන්නායිවලටත්, එතැන් සිට විසාකාපට්ටනම්වලටත් ගුවනින් ගිය අජිත් අමරසිංහ, එතැන් සිට කි මි 105ක් මහ මගින් ගොස් දන්තපුරයට ආසන්න ම ප්‍රධාන නගරය වන ශ්‍රීකාකුලම් වෙත ළඟාවී ඇත. ඔහුගේ පැමිණීමෙහි වැදගත්කම අවබෝධ කරගත් ප්‍රදේශයේ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනකු සහ ප්‍රාදේශීය පුවත්පත් කලාවේදියකු  එහි දී ඔහු  හමුවීමට පැමිණ ඇත. ඔවුන් ඔහුට පවසා ඇත්තේ ඔවුන්ගේ දැනීමේ ප්‍රමාණයට මේ ස්ථානය සොයා ආ මුල්ම ශ්‍රී ලාංකිකයා ඔහු බවයි.

WhatsApp Image 2025 04 17 at 4.06.08 PM 1
අජිත් අමරසිංහ මහතා මේ පිරිස සමඟ  2015 ජුලි මස 31 වෙනි දින ශ්‍රීකාකුලම් නගරයේ සිට කි. මි. 20 ක් දුරින් පිහිටා ඇති දන්ත පුරය පිහිටා තිබූ ස්ථානයට ගොස් ඇත. මේ ස්ථානය දැනටත් හඳුන්වන්නේ "දන්තපුරම්" නමිනි. ගූගල් චන්ද්‍රිකා සිතියමක ඔබ Dantapuram  යැයි  ටයිප් කළහොත් අදටත් මේ ස්ථානය ඒ සිතියමේ පෙන්නුම් කරයි.

 

WhatsApp Image 2025 04 17 at 4.06.08 PM 2
ප්‍රදේශයේ බෞද්ධ නටබුන්

ඒ වනවිට වල්බිහිවී තිබු මේ ස්ථානයේ ඓතිහාසික වැදගත්කම අවබෝධ කරගත් ආන්ද්‍රාප්‍රදේශ් රජය මේ කැලය තුළ විශාල බුදු පිළිමයක් තනා ඇත. මෙහි ඝන කැලය තුළ බෞද්ධ ස්තුප රැසක් තිබෙන අතර මේවායින් කිහිපයක මීට වසර ගණනාවකට පෙර කැණීම් කර ඇතත් ඒ කැණීම් අතරමග නවතා ඇත.      

WhatsApp Image 2025 04 17 at 4.06.09 PM
දන්ත පුරය වටා තිබූ පස්වලින් තැනූ ප්‍රාකාරයේ කොටස් තවමත් දිස්වෙන අතර මේ පෞරාණික නගරය හෙක්ටෙයාර් 170 පමණ විශාලත්වයකින් යුතුවූ බව ගූගල් සිතියම් ආධාරයෙන් කළ ගණනය කිරීම පිළිබඳව "සිංහබාහු සොයා ගැනීම" කෘතියෙහි විස්තර කෙරේ. මෙය පිහිටා ඇත්තේ වම්සධාර නදියේ සිට කි. මී. 2ක් ඈතිනි. මේ ප්‍රදේශය පුරා දැනට නටබුන්වී  ඇති පෞරාණික ස්තුප, බෞද්ධ සිද්ධස්ථාන සහ පිළිම රැසක් ඇති අතර මෙයින් විශාලම ස්තුපය දන්තපුරයට කි. මි.  18ක් දුරින් පිහිටා ඇති "සාලිහුන්දම්" මහා ස්තූපය යි. මේ ස්තුපය ආශ්‍රිතව ධර්මාශෝක රජුගේ යුගයේ ලියවුනු ශිලාලේඛන පවා සොයාගෙන ඇත.

WhatsApp Image 2025 04 17 at 4.06.09 PM 1

WhatsApp Image 2025 04 17 at 4.06.10 PMමේ ස්ථානයට ආසන්නයේ ඇති කාලිංග පට්ටනම් නම් පෞරාණික වරාය අසල ද බෞද්ධ ස්තුප රැසක් ඇත. මේ වරාය අසල තිබී රෝමානු කාසි පවා හමුවී තිබෙන අතර ක්‍රි ව 1වන සියවසේ විසු “ෆ්ලීනි” නම් රෝමානු ලේඛකයා ගේ ස‍ටහනකින් ද මේ ස්ථානය එකල දන්තපුර ලෙස හැඳින්වූ බව සනාථ වේ. ඒ හැරුණු කල මේ දන්තපුරම් ප්‍රදේශයේ වත්මන වාසය කරන්නන් ද තමන් මේ  වැදගත් ස්ථානයේ පාරම්පරිකව සිටින්නන් බව විශ්වාස කරයි. මොවුන් අතර එක පවුලක් සතුව දන්ත ධාතුව එහි තිබිය දී එය ආවරණය කර තිබූ කුඩා රත්රන් පත් දෙකක් රහසිගතව තිබෙන බවට කටකතාවක් මේ ප්‍රදේශයේ පවතී.

දන්ත ධාතුව ලංකාවට ගෙන ආවේ ඇයි...?

WhatsApp Image 2025 04 17 at 4.06.11 PM
මහා වංශයට සහ වෙනත් වංශකතාවලට අනුව දන්ත ධාතුව ලංකාවට ගෙන ආවේ ක්‍රි. ව. හතර වෙනි සියවසේ (ක්‍රි. ව. 303- 331) රජකම් කළ කිත්සිරිමෙවන් රජ දවස ය. මේ විස්තරවලට අනුව එකල දන්තපුරයේ තිබු දන්ත ධාතුව පැහැර ගැනීමට කීරධාර නම් රජකු එය වටකළ මොහොතේ එහි රජකම් කළේ  ගුහසීව නම් රජු ය . එවිට ඔහු  තම දු කුමරිය වන හේමමාලි සහ ඇයගේ සැමියාවූ දන්ත කුමරු අත හොර රහසේ දන්ත ධාතුව ලංකාවට එවී ය. එයට හේතුව මේ කීරධාර රජුට වඩා තම මිතුරු ලංකාවේ රජකම් කළ මහාසේන රජුගේ අතට දන්ත ධාතුව පත්කිරීමට ඔහුට තිබූ වුවමනාවයි.

 

WhatsApp Image 2025 04 17 at 4.06.11 PM 1

හේමමාලි සහ දන්ත කුමරු ලංකාවට පැමිණෙන විට මහාසේන රජු මියගොස් අනුරාධපුරයේ රජුව සිටියේ ඔහුගේ පුත් කිත්සිරිමෙවන් ය. ඔහු මේ දන්ත ධාතුව අභයගිරියේ තැන්පත් කර වසරක් පාසා දළදා පෙරහරක් සංවිධානය කළේ ය. ලංකාවට දළදාව ගෙනවිත් වසර කිහිපයකට පසු ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුව ද  මේ දළදා පෙරහැර දුටුවේ ය.  මේ ඉතිහාස කතාව තවදුරටත් සනාථ කරමින් කීරධාර නමට ඉතා සමාන “කිදාර” නම් රාජවංශයක් ඒ අවදියේ ම වයඹදිග ඉන්දියාවේ රජකම් කළ බවත්, මොවුන් ද බෞද්ධයන් වූ බවටත්  ඓතිහාසික සාක්ෂි රැසක් ඇති බව අමරසිංහගේ ග්‍රන්ථයේ සඳහන් වේ.

WhatsApp Image 2025 04 17 at 4.06.12 PM

අවධානය යොමුවිය යුතුයි

WhatsApp Image 2025 04 17 at 4.06.10 PM 1
ශ්‍රී ලංකාවට දන්ත ධාතුව ගෙන ඒමට පෙර ඉන්දියාවේ එය තිබු ස්ථානය ගැන විද්‍යාත්මක සාධක රැසක් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා තම ග්‍රන්ථයේ දීර්ඝව විස්තර කරයි. ලංකාවේ බෞධයින්ට ඉතා වැදගත්වන ඉන්දියාවේ දන්තපුරය පිළිබඳ දෙරටේ ඉතිහාඥයින්ගේ සහ පුරාවිද්‍යාඥයන්ගේ අවධානය දැන්වත් යොමු විය යුතු ය.

 

WhatsApp Image 2025 04 17 at 4.06.10 PM 2
(සටහන | සුජීව සෙනරත්)





The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...