දෙදිනකට පසු ඔහු “ප්‍රතිචාරක බදු” අය කිරීම දින 90 ට තාවකාලිකව අත්හිටු වීය. එහෙත් සමහර රටවල් තනි තනිව තමන්ගේ තීරු බදු ඉහළ දැමීමට පියවර ගත්හ.
තම තීන්දුව සාධාරණය කරමින් ජනාධිපති ට්‍රම්ප් කියුවේ, මෙම ගාස්තු ඉහළ දැමීම මගින් ඉලක්ක කෙරුණේ දසක ගණනාවක් ඇමෙරිකාවට එරෙහිව ක්‍රියාත්මක වූ අසාධාරණ වෙළඳ පිළිවෙත් බව ය.
චීනයට දක්වන විශේෂය
මෙම ගාස්තු වැඩි කිරීමත් සමග ඇමෙරිකාවට ආනයනය කෙරෙන චීන භාණ්ඩ සඳහා සියයට 50 ට වැඩි ගාස්තුවක් අය කෙරෙන්නේය. චීන වාණිජ අමාත්‍යාංශය එසැණින් වොෂිංටනයෙන් ඉල්ලා සිටියේ එම ගාස්තු ඉහළ දැමීම වහා අත්හිටවන ලෙස ය. එවැනි ගාස්තු ඉහළ දැමීම් ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර යැයිද, එය ඇමෙරිකානු අපේක්ෂාවන්ට සහ ජාත්‍යන්තර සැපයුම් දාමයට අයහපත් යැයිද ඔවුහු කීහ. වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයින් නොසිටින්නේ යැයිද, ආරක්ෂණවාදී වෙළඳාමකින් ලැබිය හැකි වාසි නැතැයිද චීන බලධාරීහු කීහ.

මෙතෙක් කල් ඇමෙරිකාවට ආනයනය කෙරුණු ඩොලර 800 ට නොවැඩි පාර්සල් සඳහා වූ “නිදහස් ආනයන” සහනය, ජනාධිපති ට්‍රම්ප් විසින් මැයි 02 වන දින සිට අහෝසි කරනු ලැබ ඇත. ඇමෙරිකාවට එන භාණ්ඩ පාර්සල් අතුරෙන් සියයට 90 ක් පමණ එන්නේ බදු රහිත එම ආනයන පෝලිමේ ය. ඉන් සියයට 60 ක් පමණ චීන භාණ්ඩ ය. බදු රහිත මේ ආනයනයෙන් වැඩියෙන්ම වාසි ලැබූයේ චීනයේ නිෂ්පාදනය කෙරෙන විලාසිතා භාණ්ඩ ඇමෙරිකාවට ආනයනය කරන “ෂෙයින්” සහ “ටෙමු” යන සමාගම් ය.
ඇමෙරිකාවට චීනයෙන් ආනයනය කෙරෙන තෝරා ගත් චීන භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගේ වෙළඳ ගාස්තු සියයට 245 ක් දක්වා ඉහළ දැමීම සඳහා චීනයේ ප්‍රතිචාරය වූයේ, ඇමෙරිකානු ආනයන සඳහා සියයට 125 ක් දක්වා ගාස්තු වැඩි කිරීමකි. ඉන්පසු ඔවුන් ට්‍රම්ප්ගේ තීරු බදු වැඩි කිරීම හැඳින් වූයේ අර්ථයක් නැති ඉලක්කම් ක්‍රීඩාවක් යැයි කියා ය. ඇමෙරිකාව තව දුරටත් ගාස්තු වැඩි කළහොත් එය මහා විහිළුවක් වන බවත් එවැනි වැඩි කිරීම් චීනය නොසළකා හරින බවත් ඔවුහු පැවසූහ.

ට්‍රම්ප් ගේ තීරු බදු වැඩි කිරීම් නිෂ්පාදිත භාණ්ඩ වලට සීමා කෙරෙන නමුත් චීනය තෝරා ගෙන ඇත්තේ වෙනත් ප්‍රතිචාරයකි. චීනය ඇමෙරිකානු සේවා සැපයුම් සීමා කිරීම සඳහා පියවර ගැනීමට යොමුවන බවක් පෙනෙන්නට ඇත. “නොමුරා” ආයතනයේ වාර්තා අනුව, ඉකුත් දසකය තුල චීනය ලබා ගත් ඇමෙරිකානු සේවා 2024 වනවිට දස ගුණයකින් වැඩි වී ඇත. ඇමෙරිකාව විශාල අතිරික්තයක් තබා ගත් සංචාරක, නීති, මූල්‍ය හා උපදේශන සේවා සඳහා චීනය සීමා කොන්දේසි පැනවීමේ නැඹුරවක් දැන් දකින්නට ඇත. ඇමෙරිකානු චිත්‍රපට ආනයනය කිරීම සීමා කරන බව චීනය පසුගිය සතියේ ප්‍රකාශ කළේ ය. එවගේම, ඇමෙරිකාවේ සංචාරයට සහ අධ්‍යාපනයට නොයන මෙන් ඔවුහු චීන පුරවැසියන්ට කීහ. ඇමෙරිකානු විනෝද කර්මාන්තයට, සංචාරක ව්‍යාපාරයට හා අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑම් කිරීමක් ඔවුහු ඉන් අපේක්ෂා කරති. චීන විශ්ලේෂණ මධ්‍යස්ථානයේ කලමනාකරණ අධ්‍යක්ෂ ජිං කියාන්ට අනුව, එහි ඩොලර බලපෑම අඩු විය හැකි නමුත් ඉන් ඇමෙරිකානු ප්‍රතිරූපයට කෙරෙන හෑල්ලුව සුළුපටු නොවේ.
සාම්ප්‍රදායික ලෝකයේ “වෙළඳ යුද්ධය”
ඇමෙරිකාව හා චීනය අතර කෙරෙන මේ “වෙළඳ යුද්ධය”, ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය සාමාජිකත්වය දරණ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සියලු නීති, කොන්දේසි සහ එකඟතාවන් “අමු අමුවේ” බිඳ දැමීමකි. එහෙත් මෙහිදී වැදගත්වන කාරණාව වන්නේ බලවත් ධනවත් රටවල් ඇතුළු 200 ට වැඩි සාමාජික රටවල් ජනාධිපති ට්‍රම්ප් මුල පිරූ ඇමෙරිකානු තීන්දුවට එරෙහිව ලෝක වෙළඳ සංවිධානය වහා කැඳවා විසඳුම් සාකච්ඡා කිරීමට පියවර නොගත්තේ මන්ද යන්න ය.

මෙය කතා කිරීමට අප දෙවන ලෝක යුද්ධය අවසානයෙහි ජාත්‍යන්තර සබඳතා ආයතනගත කිරීමේ මැදිහත්වීම් දෙස නැවත බැලිය යුතුය. මේ පෘථිවියේ කොතැනකවත් නැවත යුද්ධ ඇති නොවන “ලෝක සාමය” වෙනුවෙන් 1945 දී රටවල් 52 ක් අත්සන් කළ, “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය” පදනම්ව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානය ස්ථාපිත කෙරුණි. ඊට පෙර, දෙවන ලෝක යුද්ධය අවසාන වූ වහාම වාගේ ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බලවත් රටවල් ගණනාවක් 1943 වන විට සාකච්ඡා ආරම්භ කළහ. 1944 අත්සන් කළ “බ්‍රෙට්න්වුඩ් ගිවිසුම” සහ “මාෂල් සැළැස්ම” ඒ සාකච්ඡාවල ප්‍රතිපල ය.
ඒ කිසිවකින් ආවරණය නොවුනු ක්ෂේත්‍රයක් වූයේ ලෝක වෙළඳාම ය. ඇමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල් අතර ලෝක වෙළඳාම සම්බන්ධ සාකච්ඡා ආරම්භ වූයේ 1944 දී ය. 1945 නොවැම්බරයේ දී ඇමෙරිකාව ලෝක වෙළඳාම හා රැකියා සම්බන්ධ ඔවුන්ගේ සැළසුම ප්‍රකාශයට පත් කළ පසු, ඒ සම්බන්ධ සාකච්ඡා යුරෝපා නගර කිහිපයක දිග හැරුණි. ඒවායේ ප්‍රධාන අරමුණ වූයේ 1930 දී ඇතිවූ ලෝක අවපාතය හමුවේ, බොහෝ රටවල් තමන්ගේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කළ සම්භාධක හා ඉහළ තීරු හා රේගු බදු පැනවීම, ආනයන සීමා කිරීම් වැනි පියවර ලිහිල් කෙරෙන, ලෝක වෙළඳාමට ව්‍යාප්ත විය හැකි නිදහස් වටපිටාවක් හැදීම ය. අවසානයේ 1947 රටවල් 23 ක් විසින් අත්සන් කෙරුණු බහු පාර්ශවීය එකඟතා ගිවිසුම “වෙළඳ හා තීරුබදු සඳහාවන පොදු ගිවිසුම” (General Agreement on Trade & Tariff - GATT) ලෙස 1948 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වූයේ සම්මුතිවාදී බහු පාර්ශවීය කේන්ද්‍රයක් ලෙසින් ය.
ගෝලීය වෙළඳපලෙහි යෝධ ව්‍යාපාර ඔවුන්ගේ ලාභ වෙනුවෙන් දේශ සීමා හරහා ආයෝජන හා නිෂ්පාදන කර්මාන්ත රැගෙන යෑමේ ආර්ථික නිදහස, බොහෝ දියුණු වන්නාවූ රටවල සංවර්ධනයට අහිතකර වූවත් ගෝලීය වෙළඳපල වඩ වඩා නිදහස් කර ගැනීම ආර්ථික විද්‍යාඥයින්ගේ විශේෂඥ මතවාදය විය. එහෙයින් 80 දසකය වන විට ව්‍යාපාරික යෝධ මාෆියා ජාතික ආර්ථික මෙහෙය වන්නට තරම් එඩිතර විය. එවැනි පසුබිමක ලෝක ආර්ථිකය හසුරුවා ගැනීමට GATT ප්‍රමාණවත් නොවුනි. එනිසා 90 දසකය ආරම්භ වූයේ ලෝක වෙළඳාම නියාමනය කිරීම වෙනුවෙන් අලුත් ව්‍යුහයක අවශ්‍යතාව ගැන ඇතිවූ සාකච්ඡා සමගින් ය.

එම සාකච්ඡා කෙළවර “ලෝක වෙළඳ සංවිධානය” (WTO) 1995 ජනවාරි 01 වන දින සිට බලාත්මක කෙරුණේ ආරම්භක සාමාජිකයින් 130 ට වැඩි සංඛ්‍යාවක් සමග ය. අපද එහි එක් ආරම්භක සාමාජික රටකි. එතැන් සිට GATT අහෝසි විය. සැබෑව නම්, “ලෝක වෙළඳ සංවිධානය” (WTO) දියුණු ආයතනගත සංවිධානයක් ලෙස GATT සඳහා ආදේශකයක් වූ බවය. එය 150 ට වැඩි සාමාජික පිරිසක් බැඳී සිටින්නාවූ ජාත්‍යන්තර වෙළඳ නීති හා ගිවිසුම් සමූහයක් කලමනාකරණය කරන්නාවූ ආයතනයකි. එහි වැදගත්ම කාර්ය ලෙස සැළකෙන්නේ, GATT මගින් සංවේදී යැයි ආරක්ෂා කෙරුණු අංශ, නිදහස් කිරීම ය. විවිධ ගිවිසුම් මගින් සීමා පනවා තිබූ රෙදි හා ඇඟළුම් අපනයනය නැවත නිදහස් කිරීම ය.
අවුරුදු 30 ක කාලයක් ගෝලීය ආර්ථිකයෙහි නීති රීති සම්පාදනයත්, පැමිණිලි පිරික්සීමත්, වෙළඳ ගිවිසුම් සාකච්ඡා කිරීමේ සභාවක් ලෙසත් දියුණුවන රටවලට සහාය වීමත් සිය වගකීම් ලෙස බාරගෙන තිබූ ලෝක වෙළඳ සංවිධානයද දැන් සිය ඓතිහාසික කාර්යයේ අවසානයට පැමිණ ඇති බව, ජනාධිපති ට්‍රම්ප් ගේ තීරු බදු ඉහළ දැමීමේ තීන්දුවෙන් සහ චීනය ඊට දක්වන ප්‍රතිචාර මගින් කියන්නකි. ලෝක වෙළඳ සංවිධානය මෙතෙක් පවත්වා ගත් තීරු බදු සම්බන්ධ සියලු නීති, ප්‍රමිතීන්, එකඟතා, එක රැයින් ඇමෙරිකානු පාලනය විසින් අත හැර දැමුවත් සාමාජික රටවල් ට්‍රම්ප් තීන්දුවට එරෙහිව තනි තනිව ප්‍රතිචාර දක්වනවා මිස, ලෝක වෙළඳ සංවිධානය වෙත නොයෑමට මූලික හේතුවක් ඇත. පසුගිය දසකයකට වැඩි කාලයේ චීනයද ලෝක වෙළඳ සංවිධානයේ කොන්දේසි ගිවිසුම් වලට පිටතින් ඔවුන්ගේ සේවා හා භාණ්ඩ වෙළඳාම් වෙනුවෙන් ආර්ථික කේන්ද්‍ර හා සැපයුම් දාම අලුතින් තහවුරු කර ගැනීම, ලෝක වෙළඳ සංවිධානය සතු වූ අධිකාරී බලය හෑල්ලු කරන්නට හේතු වීමය.

එවැනි ශක්තියක් චීනයට ලැබුණේ ඔවුන්ගේ ජාතික ආර්ථිකයේ හා යෝධ රාජ්‍යයෙහි ශක්තිය මතම නොවේ. ඇමෙරිකානු විදේශ ණය පියවීම සම්බන්ධයෙන් ඔවුන් සතු පංගුව හේතුවෙනි. මේ වසරේ පෙබරවාරි අවසන් වන විට ඇමෙරිකාවේ විදේශ ණය ප්‍රමාණයේ එකතුව වූයේ ඩොලර ට්රිලියන 34.64 කි. ඇමෙරිකානු මහ භාණ්ඩාගාරයේ බැඳුම්කර මිලට ගත් ප්‍රධානම රටවල් 05 න් දෙවැන්නා වන්නේ චීනය ය. මේ වසර පෙබරවාරි අවසානයේ ඔවුන් සතු වූ ඇමෙරිකානු මහ භාණ්ඩාගාර බැඳුම්කර වල වටිනාකම ඩොලර බිලියන 784.3 කි. (Table 5: Major Foreign Holders of Treasury Securities )
එවැනි ලෝකයක, මෙය හුදෙක් තීරු බදු ඉහළ දැමීම හා බැඳුණු අර්බුදයක්ම නොවේ. මෙය ඊට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශීය ආර්ථික ගෝලීය වෙළඳපලෙහි රඳවා තබා ගැනීමට, ට්‍රම්ප් පාලනය සමග සාකච්ඡා කිරීමෙන් විසඳුම් ලැබිය හැකි අර්බදුයක්ද නොවේ. අප තේරුම් ගත යුත්තේ, ගෝලීය ආර්ථිකය නැවත අර්බුදයකට හසුව ඇත්තේ අලුත් ආර්ථික සමීකරණයකට හසු වීමෙන් බව ය. ගෝලීය ආර්ථිකයෙහි ප්‍රධාන මධ්‍යස්ථානය දියුණු බටහිර ලෝකයෙන් ආසියාවේ නැගෙනහිරට මාරුවීමේ සංක්‍රාන්ති සමයක අප දැන් ඉන්නා බව ය. අලුත් ලෝක පද්ධතියක් හදා ගැනීමේ අලුත් අත්දැකීම් ලබන්නට අපි දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව තල්ලු වන්නෙමු. එබැවින් පැරණි නිදහස් ලෝක වෙළඳපල යතාර්ථය වෙනුවෙන් මේ අර්බුදය සඳහා විසඳුම් සෙවීමේ අරුතක් නැතැයි මම කියමි. අප ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අලුත් සමාජ-ආර්ථික ආකෘතියක් සඳහා සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි මම යෝජනා කරමි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 අප්‍රේල් 17



