The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තක්කාලි මත ඉදිවුණු මදනපල්ලි නගරය සහ ඉන්දියාවේ වීදි දරුවෝ

T

The Leader Desk

April 18, 2025 • 10:19 AM

තක්කාලි මත ඉදිවුණු මදනපල්ලි නගරය සහ ඉන්දියාවේ වීදි දරුවෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවන් මිලියන 18ක් මහපාරේ *ළමා ශ්‍රමිකයන් මිලියන 17ක් අප ගමන් කළ බස් රථය තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රාන්තය යා කරන අධිවේගී මාර්ගය දිගේ ධාවනය වෙමින් තිබිණි.
  • චෙන්නායි සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් ආන්ද්‍රා ප්‍රදේශ් හි කුඩා නගරයක් වන මදනපල්ලි අපේ ගමනාන්තය විය.
  • අපගේ මිත්‍ර ක්‍රිෂ්ණාචරන් අපව පිළිගෙන නවාතැනට කැඳවාගෙන ගියේ, පසුදා ඒ නගරයේ තිබෙන විශේෂ තැන් සියල්ල අපට පෙන්වන බවට පොරොන්දු වෙමිනි.
  • ප්‍රදේශයේ අක්කර 36,000කට අධික භූමි ප්‍රමාණයක තක්කාලි වගාව සිදු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*දරුවන් මිලියන 18ක් මහපාරේ

*ළමා ශ්‍රමිකයන් මිලියන 17ක්

අප ගමන් කළ බස් රථය තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රාන්තය යා කරන අධිවේගී මාර්ගය දිගේ ධාවනය වෙමින් තිබිණි. චෙන්නායි සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් ආන්ද්‍රා ප්‍රදේශ් හි කුඩා නගරයක් වන මදනපල්ලි අපේ ගමනාන්තය විය.

 

tomato bucket

පැය හයක ගමනකින් පසු බසය මදනපල්ලි වෙත ළඟා වන විට අලුයමට ආසන්න වුවද, නගරය කළුවර නිශ්ශබ්දතාවක ගිලී තිබිණි. අපගේ මිත්‍ර ක්‍රිෂ්ණාචරන් අපව පිළිගෙන නවාතැනට කැඳවාගෙන ගියේ, පසුදා ඒ නගරයේ තිබෙන විශේෂ තැන් සියල්ල අපට පෙන්වන බවට පොරොන්දු වෙමිනි.

ආගන්තුක නගරයේ නුපුරුදු මුහුණුවර එළි කරමින් උදෑසන හිරු උදාවිය. ආලෝකයත් සමග එය ක්‍රමයෙන් කාර්යබහුල වෙයි. මදනපල්ලි නගරයේ සැබෑ අනන්‍යතාවය එහි ජනතාව තුළ පමණක් නොව එහි සිට වෙළඳපොළට නිකුත් කරන නිෂ්පාදන තුළද පවතී.

 market

මෙම නගරය ආසියාවේ විශාලතම තක්කාලි වෙළෙඳපොළ වන අතර විවිධ ප්‍රභේදවලට අයත් රත්පැහැ තක්කාලි මත නගරයේ ආර්ථිකය භ්‍රමණය වෙයි. ප්‍රදේශයේ අක්කර 36,000කට අධික භූමි ප්‍රමාණයක තක්කාලි වගාව සිදු කෙරේ. ගොවීහු 20,000කට අධික පිරිසක් වගාවෙහි නිරතව සිටිති. බැංගලෝර්, හයිද්‍රාබාද් සහ නවදිල්ලිය වැනි නගර වෙත දිනකට තක්කාලි මෙට්‍රික් ටොන් 800ක් පමණ මදනපල්ලියෙන් පිටත් වේ. මේ ප්‍රදේශයේ වැවෙන තක්කාලි සඳහා ඉන්දියාව පුරාම හොඳ ඉල්ලුමක් පවතී.


සමාජයෙන් ගිලිහී වැටුණු දරුවෝ


road india

එසේ එහා මෙහා යන ටොන් ගණන් තක්කාලි අතරින් සමහරක් ගිලිහී වැටීම අරුමයක්ද? වෙළෙඳපොළ ඇතුළේ, බිම වැටී පෙරළී යන තක්කාලි, යන එන අයගේ පාවලට පෑගී චප්ප වී යයි. ඒ අනතුරින් ගැලවෙන තක්කාලි එකතු කරන කුඩා වෙළෙන්දෝ ඒවා පිටතට රැගෙන ගොස් අලෙවි කරති. මේ දසුන මට සිහිපත් කළේ, තමිල්නාඩුව සිට මදනපල්ලි දක්වා ආ ගමන තුළ මාර්ගය දෙපස මා දුටු දිළිඳු පැල්පත් සහ වීදි දරුවන්ය. බිලියන 1.45 කට අධික, ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රටෙහි දරුවෝ බොහෝ විට දේශයේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා වන තරගයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටිති.

 

lunch child

ඉන්දියාව තුළ ජීවවත්වන වීදි දරුවන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 18කි. ඔවුන් බොහෝ දෙනෙක් නවදිල්ලිය, කොල්කටා සහ මුම්බායි යන ප්‍රධාන නගරවල දිවි ගෙවති. ඔවුන්ට නිසි අධ්‍යාපනයක්, සෞඛ්‍ය පහසුකමක් හෝ සමාජ ආරක්ෂාවක් හිමි නොවේ. බොහෝ විට ඔවුන් සූරා කෑම්වලට ලක්වේ. තවත් සමහරු සමාජ විරෝධී ක්‍රියා සඳහා පෙළඹෙති. මෙය වෙළඳපොළේ බිම වැටී තිබූ තක්කාලිවලට වඩා නරක නොසලකා හැරීමේ කතාවකි.

school indi2

අපි මදනපල්ලි වීදි දිගේ ගමන් කරන අතරතුර, 2009 වසරේ සිට පවත්වාගෙන යන අනාථ දරුවන්ට යම් හෝ බලාපොරොත්තුවේ පහනක් දල්වන ‘චෛතන්යා සේවා සමිතිය’ නම් ළමා නිවාසය නැරඹීමට ගියෙමු. එහි අධ්‍යක්ෂ එම්.පී. ආනන්දන් අනාථයෙකු වූ තම සීයාගේ උරුමය දරයි. "තනිකමේ වේදනාව මගේ සීයා දැනගෙන හිටියා" ආනන්දන් පැහැදිලි කළේය. "ඒ වේදනාව තමයි, එවැනි තත්ත්වයට පත්වුණු අනිත් අයට උදව් කරන්න එයාව පෙළඹෙව්වෙ. අද අපි එයාගෙ සිහිනය ඉදිරියට අරගෙන යනවා."

 

school india
අනාථ සයුරින් දිය දෝතක්

බොහෝ හද කම්පා කරවන, කිසිවිටෙකත් සිතාගත නොහැකි ආකාරයෙන් අනාථ වූ ළමයි 150කට වැඩි පිරිසක් මෙහි සිටිති. මෙම ස්ථානයට අපව හඳුන්වා දුන් අප මිත්‍ර ක්‍රිෂ්ණා චරන්, COVID-19 ව්‍යසනයෙන් අනතුරුව සහ තවත් විවිධ හේතු නිසා රැකවරණය අහිමිව අනාථ වූ දරුවන්ගේ කථා කිහිපයක් අප සමඟ බෙදා ගත්තේය.

 child 3

“මෙහෙ ඉන්න සමහර ළමයි දේපළ ආරවුල් නිසා අනාථ වෙලා ඉන්නවා. තවත් සමහර ළමයින්ගෙ දෙමව්පියන් සිදුකරපු ඝාතන සහ පහර දීම හේතුවෙන් ජීවිත තර්ජන තියෙන ළමයි මෙතන ඉන්නවා. එච්අයිවී ආසාදනය වීම හේතුවෙන් දෙමව්පියන් අහිමි වෙච්ච ළමයි ඉන්නවා. විවිධ හදිසි අනතුරුවලින් දෙමව්පියන් අහිමි වෙච්ච ළමයි ඉන්නවා. දරිද්‍රතාවය හේතුවෙන් පාරවල්වල හිඟා කමින් සිටි දරුවන් පවා අප රැක බලා ගන්නවා”  මේ ළමයින්ගෙ කතාව නිශ්චිතයෙන්ම අප අසල්වැසි රටේ සමාජ යථාර්ථයේ කැඩපතකි.  


බිය දනවන ඉලක්කම්

 

child 6

ඉන්දියාව යනු තොරතුරු තාක්‍ෂණය සහ නව ආර්ථික ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටින බලවත් රටකි.  ඔවුන් ලෝකයට දායාද කළ විශිෂ්ටයන් අප්‍රමාණය. නමුත් තම රටේ මිලියන 18ක දරුවන්ගේ මූලික අයිතීන් තහවුරු කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.

මිලියන 59ක් පමණ ඉන්දියානු දරුවන් අධ්‍යාපනයට ප්‍රවේශය නොමැති අතර මිලියන 60ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙති. මිලියන 17ක් වන, ලොව වැඩිම ළමා ශ්‍රමිකයින් සිටින රටද ඉන්දියාවයි. ස්ත්‍රී පුරුෂභාවය හේතුවෙන් අදටත් ඉන්දියාවේ ගැහැනු ළමයි තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවති. මේ සංඛ්‍යාලේඛන හුදෙක් ඉලක්කම් පමණක් නොව සමාජ ඛේදවාචකයකි.

child 5

බොහෝ ඉන්දියානු චිත්‍රපටවල, ඉන්දියාව විචිත්‍රවත් සහ අතිවිශිෂ්ට රටක් ලෙස නිරූපණය කර ඇති අතර සුඛෝපභෝගී ජීවන රටා, මනරම් භූ දර්ශන, නවීන යටිතල පහසුකම් සහ අභියෝග ජයගැනීමේ හද උණුසුම් කරවන කතා ප්‍රදර්ශනය කරයි. නමුත්, ඉන්දියාවේ යථාර්ථය මෙයට වඩා සංකීර්ණය. ඉන්දියාව සැබවින්ම තාක්‍ෂණය, ආර්ථිකය සහ සංස්කෘතිය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. එමෙන්ම සැලකිය යුතු සමාජ හා ආර්ථික අභියෝගවලටද ඉන්දියාව මුහුණ දී ජයගෙනද තිබේ. එහෙත් දරිද්‍රතාව, වීදි දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය, අසමානතාවයෙන් පිරි අධ්‍යාපනය වැනි ප්‍රශ්න තවමත් එහි විසඳී නැත. බොහෝ විට ප්‍රධාන ධාරාවේ සිනමාව තුළ අවධානයට ලක් නොවෙන හෝ අඩුවෙන් නියෝජනය වන මාතෘකා බවට මේවා පත් වේ. සෑම දිනකම මිලියන ගණනක් මෙම සංකීර්ණ ගැටලුවලින් පීඩා විඳිති. ඉන්දියාව සත්‍ය වශයෙන්ම අවබෝධ කර ගැනීමට නම්, යමෙකු සිනමා කාචයෙන් ඔබ්බට ගොස් එහි මහ පොළොවේ යථාර්ථයන් ගවේෂණය කළ යුතුය.


මගහැරිය නොහැකි අභියෝගයක්



people india

නොයෙක් අභියෝග මධ්‍යයේ වුවද, චෛතන්යා සේවා සමිතිය දරුවන්ගේ බලාපොරොත්තුවලට ආලෝකයක්  ලබා දී තිබේ. එය හුදෙක් නවාතැනක් පමණක් නොව අධ්‍යාපනය ආරක්ෂාව සහ රැකවරණයද ළමයින්ට ලබා දී සමාජයට යහපත් පුරවැසියන් බිහිකරන ස්ථානයක් බවට පත්ව ඇත. ළමා නිවාසට අමතරව තමන්ගේ පවුල්වලින් ප්‍රතික්ෂේප වූ වැඩිහිටි පුද්ගලයන් පහළොස් දෙනෙකු පමණ සිටින වැඩිහිටි නිවාසයක්ද එහි තිබේ.

එමෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන පාසලක්ද විය. මෙහි දරුවන් 150කට යම් ආකාරයක රැකවරණයක් ලැබේ. නමුත් එය මහා අනාථ සාගරයේ දිය බිඳක් මෙනි.

child 4

සමස්ත ඉන්දියාවේ වීදිවල සිටින මිලියන 18 දරුවන්ගේ ජීවිත වෙනස් වෙන්නේ කවදාද?

අපි ළමා නිවාසයෙන් පිටව යන විට, නැවත වරක් තක්කාලි වෙළඳපොළ සිහියට නැගිණි. ඇසුරුම්වලින් මග හැලෙන තක්කාලි පාවලට පෑගී යන අතර, ඊට පෙර පරිස්සමෙන් අහුළා පිරිසිදු කරගතහොත් ඒවාද වෙළෙඳපොළෙහි අගයක් ඇත. ආදරයෙන් හා සැලකිල්ලෙන් පෝෂණය කළහොත් වීදි දරුවන්ගේ මුහුණේද අව්‍යාජ සිනහවක් දක්නට හැකි වනු ඇත. නියත වශයෙන්ම ඔවුන්ගේ කථා ඇසීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වගකීමක් සමාජයට ඇත.


child 8

ඉන්දියාවේ අභියෝග අතිමහත්ය, නමුත් එම අභියෝගයද කිසිසේත් මගහැර යා නොහැක්කකි. වෙනස ආරම්භ වන්නේ පයට නොපෑගී බේරෙන තක්කාලි මෙන් දෛවයේ දයාවට ඉතිරි වූ දරුවෙකුගෙන් නොව, එම දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ යෝධ අභියෝගය රටක් ලෙස භාරගැනීම තුළිනි. මදනපල්ලි නගරයේ ආර්ථිකය කුඩා තක්කාලි ගෙඩි මත රඳා පවතින පරිදිම, යෝධ භාරත දේශයෙහි අනාගතය දරා ගැනීමට අවැසි කෙතරම් අගනා මානව සම්පත්, මිලියන 18ක් වූ මේ දරුවන් තුළ සැගවී තිබෙනු ඇත්ද?




(සටහන | ශබීර් මොහොමඩ්)
byshabeer@gmail.com



 

image

image 2

image 3

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...