The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලතෝනිය කියන්නේ විලාපයකට ද කිතුනු ජන ගායනයකට ද ? | තිලක් සේනාසිංහ

T

The Leader Desk

April 18, 2025 • 7:36 AM

ලතෝනිය කියන්නේ විලාපයකට ද කිතුනු ජන ගායනයකට ද ? | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සුවි‍ශේෂී සිදුවීම හා සම්බන්ධ වලප, විලාපය යන වදන් වලට සමාන අරුතක් දෙන ‘ලතෝනි’ ‘ලතෝනිය’ යන වදන මහනුවර රාජධානි සමයේ දී පමණ සිංහල ජන වහරට එක් වූවකි.
  • එම දුක්ඛය, දුක් ප්‍රාප්තිය, ලාලසාව, කාමය, මහත් ලැදිකම, කාමාශාව, රාගය ආදී බහු අරුත් පළ වූවත් මෙම පසම් ගායනාවන් හී නාද රටාව තුළ තියුණු භාවාතිශය සහ වේදනාකාරී බවක් ගැබ්ව තිබේ.
  • ඒ හා සම්බන්ධ ලතෝනි යනු ජේසුස් වහන්සේ ගේ මෘත ශරීරය තුරුළේ හොවා උන් වහන්සේ ගේ මව වන මරිය තුමිය නැංවූ බව පැවසෙන ශෝකී විලාපයන් පදනම් ව රචනා වූ ගායනාවන් ය.
  • පෘතුගීසි යටත් විජිතකරණයෙන් මෙරට ඇති කළ නව සංස්කෘතිකාංගයක් ලෙස පසම් හා ලතෝනි නම් කළ හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සුවි‍ශේෂී සිදුවීම හා සම්බන්ධ වලප, විලාපය යන වදන් වලට සමාන අරුතක් දෙන ‘ලතෝනි’ ‘ලතෝනිය’ යන වදන මහනුවර රාජධානි සමයේ දී පමණ සිංහල ජන වහරට එක් වූවකි. එහෙත්, මෙම ‘ලතෝනි’ යන වදන පිටුපස බොහෝ දෙනකු නොදන්නා යටගියාවක් හා ඒ හා සබැඳුණු කතා ප්‍රවෘත්තියක් තිබේ. එමෙන්ම එහි විශේෂත්වය වනුයේ එය නූතන ව්‍යවහාර වන ලතෝනි යන වදන තරම් අමිහිරි නොවීම ය. මේ වන විට පොදු සමාජ අවධානයට ලක්ව නොමැති වුවද ලතෝනිය යනු පැහැදිලි ජන සම්භවයක් සහිත එක්තරා ජන ගායනා විශේෂයකි. මෙම වදනේ මූල රූපය යාඥාව හැඳින්වීමට යෙදෙන Litany විය හැක.

පාස්කු උත්සවයට පූර්වගාමී චතාරික හෙවත් කොරෝස්ම (Lent) සමයේ ගැයෙන පසම් නමැති දුක් ප්‍රාප්ති ගායනා විශේෂයක් තිබේ. පෘතුගීසි බසින් Pascoa සහ ලතින් බසින් Paixao යනුවෙන් හැඳින්වෙන මේවා ඉංග්‍රීසි බසින් හැඳින්වෙනුයේ Passion යනුවෙනි.

එම දුක්ඛය, දුක් ප්‍රාප්තිය, ලාලසාව, කාමය, මහත් ලැදිකම, කාමාශාව, රාගය ආදී බහු අරුත් පළ වූවත් මෙම පසම් ගායනාවන් හී නාද රටාව තුළ තියුණු භාවාතිශය සහ වේදනාකාරී බවක් ගැබ්ව තිබේ. Paixao යන වචනයේ අරුත, දුක්ප්‍රාප්තිය වන අතර පසම් යනුවෙන් හඳුන්වන්නේ දුක්ප්‍රාප්තිය පදනම් කොට රචනා කරන ලද ගීතයන් ය. ඒ හා සම්බන්ධ ලතෝනි යනු ජේසුස් වහන්සේ ගේ මෘත ශරීරය තුරුළේ හොවා උන් වහන්සේ ගේ මව වන මරිය තුමිය නැංවූ බව පැවසෙන ශෝකී විලාපයන් පදනම් ව රචනා වූ ගායනාවන් ය.

පෘතුගීසි යටත් විජිතකරණයෙන් මෙරට ඇති කළ නව සංස්කෘතිකාංගයක් ලෙස පසම් හා ලතෝනි නම් කළ හැකි ය. කොරොස්ම සමයේ රාත්‍රී කාලය පුරා භාවාතිශය ස්වරූපයෙන් ගායනා කරන මේ භක්ති අභ්‍යාසය උපන්දා සිට බොදු- කිතුණු මුසු පරිසරයක වෙසෙන මෙම ලියුම්කරුට ද හොඳින් හුරු පුරුදු ය. කිතුණු දහම සහ ක්‍රිස්තු චරිතය, පිළිබඳ කිසිදු තැකීමක් නොමැති අප ප්‍රදේශයේ බෞද්ධ වැඩිහිටියන් පවසනුයේ ද එය ඉතා සංවේගජනක හැඟීම් උපදවන ගායනා විලාශයක් බව ය.

 

images 2025 04 18T121548.799

ලක්දිව පළමු පසම් ගායනා කළ ස්ථානය ලෙස මාතර කතෝලික ලේඛන වල සඳහන් ව තිබේ. මෙහි දී ලක්දිවට කතොලික ආගම හඳුන්වා දීමෙහි ලා පුරෝගාමී වූ ප්‍රැන්සිස්කානු නිකායික අන්තෝනියෝ පියතුමාගේ පුරෝගාමීත්වය නොතකා සිටිය නොහැක. අත්තෝනියෝ පියතුමාගේ ගීත කොතරම් ජනතාවගේ හදවත් සෝ සයුරේ ගිල්වා ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ඔවුන්ගේ හදවත් තුළට කිඳාබැස්සවීම ට සමත් වූයේ ද යත්, ක්‍රි.ව. 1631 චතාරික සමයේ දී එතුමන් විසින් නිර්මාණය කරන ලද වැලපුම් ගීත හෙවත් පසම් ගායනා අසා සිටි රැස් වූ ජනතාව කඳුළු වගුරවමින් වැළපුණු බව ලක්දිව කතෝලික ඉතිහාසයේ සඳහන් වේ.

මෙම දුක් ප්‍රාප්ති ගායනා හෙවත් පසම් ගැයුම් ස්වර ප්‍රස්ථාර පදනම් ව ශ්‍රී ලාංකීය ජන සමාජයට මුළුමනින්ම හුරු පුරුදු කරවන ලද්දේ වර්ෂ 1705-1742 දක්වා අප රටේ වෙසෙමින් කිතුණු සසුන වෙනුවෙන් කැප කළ ඉන්දියානු ජාතික ජාකෝමෙ ගොන්සාල්වෙස් පියතුමන් විසිනි. මෙම පසම් ලතෝනි සඳහා සිංහලයෙන් පැදි නිර්මාණය කළ එතුමා ඒ වෙනුවෙන් වූ ශෝකී තනු ද නිර්මාණය කළේය.


vialpaya3

ම පණ වැනි මගේ … කුමාරයාණෙනි අනේ
දෙනෙත එලියෙනී … මේ නුඹ රම්බර
මසින නව මස … මගේ ගැබ තුල
වඩා බොලදෙහි … ඇකෙයෙනා
වසින තිස් අවු … රුද්ද වන තුරු
තුරුල්ලේ මගේ … ඇති කරපු නුඹ
දකින පමණක් … නැතුව ඇරලා
කෙලෙස වෑ වෙමි … කුමරුනේ
සොමි සඳ දින … පති වැසු ක`එ
වලා ගැබ මෙන් … දුකින් දෙදෙනා
නොමැරී වන් … ශෝක පත්වී
නේක දුක් සන් … තා පෙනා
තෙමී නෙත් කඳු … ලෙන්ම දෙදෙනා
මෙ දුක් දුසු බස් … තෙපල තෙපලා
නැමී වැලඳා … සුසිරි වදනින්
රැගෙන අවසර … වෙන් වෙලා


ආදී වශයෙන් කිතු සමිඳුන්ගේ මරණය මුල් කොට සිදුවූ මරිය මව්තුමියගේ වැලපුම් ලෙස ගොන්සාල්වෙස් පියතුමන් ප්‍රබන්ධය කළ ‘පසම් ගී’ කිතුනු සමාජයේ අදත් භාවිතයට ගැනෙයි. අප ගේ පෞද්ගලික විශ්වාසය අනුව මෙම පසන් ගී වදන් සේම නාද රටා ද ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් ගේ ය.

PunchiBandara Sannasgalaපුංචි බණ්ඩාර සන්නස්ගල“භක්තිමත් කතෝලිකයා සෝ සයුරේ පතුලටම කිඳාවන එහි දේශනාවෝ පියතුමන්ගේ වේගවත් වාග් දහරාව නිසා අන්‍ය සාමාජිකයන්ගේ වුව දෙඇසින් කඳුළු වැගිරවීමේ සමත් විය.” මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගලයන් විසින් සිය සිංහල සාහිත්‍ය වංශය නම් කෘතියෙහි තබා ඇති ඉහත සඳහන් සටහන් එම පසම් ගී වල ප්‍රබලත්වය මනාව තහවුරු කරන්නකි.


දක්ෂ සංගීත වේදියකු ද වූ එතුමා කිතුනු ගායන සඳහා යොදා ගත් නාද රටාවන් ඉන්දීය කර්නාටක හා රාගධාරී සංගීතයේ ආභාෂය ද ලබා ඇති බව පෙනේ.

විශේෂයෙන් ඇතැම් කිතුනු ගීතිකා තුළින් අදටත් උත්තර භාරතීය රාගධාරී සංගීතයට අයත් ශිව රංජනී වැනි රාගවල මාධූර්යය පවා උද්වහනය වනු පෙනෙයි.මෙය ඒ දක්වා ස්වර සංගති සහිත සංගීතයකට හුරු නොවූ මෙරට සාමාන්‍ය ජනතාවට නවමු අද්දැකීමක් වූ බව නිසැක ය.

 

vialpaya2

මේ අතර සිංහල බෞද්ධ ජන සමාජයේ මළ පොත නමින් හැඳින්වෙන වෙස්සන්තර ජාතක කාව්‍යයේ නාද රටා ද මේ වන විට ප්‍රබුද්ධ සංගීතවේදීන් විවිධ අයුරින් භාවිතා කරනු පෙනෙයි. මහනුවර රාජධානි සමයේ දී පමණ ඇතැම් ප්‍රදේශවල අවමඟුල්වල දී කෙතෙක් දුරට භාවිතා වන්නේ ද කිවහොත් එය ‘වෙස්සන්තරේ කියනවා’ යනුවෙන් පොදු ගැමි වහරට ද එක් ව තිබේ.

තුන් සරණේ කවි, යශෝධරාවත, පත්තිනි හෑල්ල ආදී වශයෙන් පොදු ජනතාව අතර ජනප්‍රිය කාව්‍යයන් අතුරින් විවිධ වෘතයන් අනුව ප්‍රබන්ධය වූ කවි 975 න් සමන්විත වෙස්සන්තර ජාතක කාව්‍යය සිංහල බෞද්ධ සමාජයේ ‘මළ පොත’ බවට පත් වී ඇතත් එය අවමඟුල් වලදී ගැයීම පළාත් කිහිපයකට සීමාවී ඇති බවක් පෙනේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේදී පෙනී යන්නේ කිතුනුවන් ගේ පසම් හෙවත් දුක් ප්‍රාප්ති ගායනා වැඩිපුරම ඇසෙන ප්‍රදේශවල බෞද්ධ අවමඟුල් සඳහා වෙස්සන්තර ජාතක කාව්‍යය කියැවීම වැඩිම ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවකි. ඒ එවක ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් ගේ සංගීත හා සිංහල භාෂා දැනුම පදනම් වූ දුක් ප්‍රාප්ති ගායනා කෙරෙහි සමකාලීන බෞද්ධයන් වශීකෘත වීම වලක්වා ගැනීමට එවක බෞද්ධ නායකයන් යෙදූ උපාය මාර්ගයක් බව ද පැහැදිලි ය.

82326144 2615202975383826 756588047155331072 n
වෙස්සන්තර රජු විසින් ජූජක බමුණට දන් දෙනු ලදුව තම මව වන මන්ත්‍රී දේවිය සිහි ගන්වමින් ජාලිය හා ක්‍රිෂ්ණජිනා යන දරු දෙනා නම් වන මෙම විලාපය සෝ ගී නාද රටාවකින් යුතුව අවමඟුල් නිවෙස් වල රැය පහන් වන තුරු ගැයෙන විට ඉන් උද්වහනය වන කරුණ රසයෙන් එම මියගිය තැනැත්තාගේ පවුලේ ඥාතීන් තුළ ඇති දැඩි ශෝකය තරමක් හෝ තුනී වන බව ඒකාන්ත සත්‍යයකි.

පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින් දැයි අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වෙන දා නිවන් දකින් අම්මා

සැට දහසක් රජුන් මැදේ ඉපිද සො‍ෙඳ් අම්මා
රට දහසක් වල බැලුවත් නුඹසේ නුදුටිම්මා
කට දහසක් ඇතිව කිවත් නුඹෙ ගුණ නැත නිම්මා
වට දහසක් ගම් හිමයේ ගියෙදෝ අපෙ අම්මා

දුක්විඳ දසමස උසුලා වැදුදැයි අපෙ අම්මා
අඳුන් තෙලින් නිති සරසා ඇති කළදැයි අම්මා
රස පල වැල නෙලා දිදී රක්ෂා කළ අම්මා
සතර අපාවල නොඉපදී නිවන් දකින් අම්මා

devasa3

ඉහත සඳහන් වෙස්සන්තර ජාතකයේ මෙන්ම කිතු සමිඳුන්ගේ මරණය මුල් කොට සිදුවූ මරිය මව්තුමියගේ වැලපුම් ලෙස ගැයෙන ලතෝනි මඟින් අවමඟුල් වල මියගියවුන් ගේ ඥාති මිත්‍රාදී න් ගේ ශෝකය තුනී වීම පවුල් කේන්ද්‍රීය ඛේද චිකිත්සාව (Family focused grief therapy-FFGT ) නම් වන නූතන චිකිත්සක ක්‍රමයට ද අනියමින් සම්බන්ධ වී තිබේ.

එමෙන්ම කිසිදු සංගීත ආරකට සම්බන්ධ නොවුව ද ශෝකී හෙවත් කරුණ රසය ඉස්මතු වන සේ එහි තනු යෙදූ දේශීය ගැමියන් ගේ සහජ සංගීත විඥානය ද අප වෙසෙසින් අගය කළ යුතු ය.

මේ සියලු තත්වයන් යටතේ ඉහත සඳහන් කිතුනු දුක් ප්‍රාප්ති ගායනා සඳහා යෙදුණු ලතෝනි නම් වන මුල් නම මේ වන විට හුදු විලාපය හැඳින්වීම පිණිස යොදන ලද්දක් බවට පත්ව තිබේ. නමුදු එය සමකාලීන ජන විඥානය මත පදනම් වූ පොදු ජන සම්මතයක් බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවකුටත් දොස් නැඟියය නොහැක.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම-  vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...