The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප්ගේ බද්ද : ශ්‍රී ලංකා ආර්ථිකයේ නව හැරවුම් ලක්ෂ්‍යය - සහන කාලයේ එක්සත් ජනපදයට හොද හිත පෙන්වා ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනගා ගමු

T

The Leader Desk

April 18, 2025 • 11:50 AM

ට්‍රම්ප්ගේ බද්ද : ශ්‍රී ලංකා ආර්ථිකයේ නව හැරවුම් ලක්ෂ්‍යය - සහන කාලයේ එක්සත් ජනපදයට හොද හිත පෙන්වා ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනගා ගමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍ය ශ්‍රී ලංකා ජනසමාජය එක්සත් ජනපදය කෙරෙහි දක්වන සැක මුසු ස්වභාවය අනුව අමරිකාව වනාහි අපට සිටින ආක්‍රමණිකයෙකි.
  • මේ වර්ගයේ සැකයන් ශ්‍රී ලංකා ජන මනසේ වැපිරීම සදහා බලපාන ලද ප්‍රධාන හේතු තුනක් ඇත්තේය.
  • ශ්‍රී ලංකා දේශපාලනයේ දාර්ශනික ශක්‍යතාවය ඇත්තේ වමට බැවින්, මෙම රතු පොත් කියවන ලද සකල වම්මුන්, එක්සත් ජනපදය දකින ලද්දේ අධිරාජ්‍යවාදියෙකු, චෞරයෙකු සේය.
  • ඒ අනුව සමස්ත ශ්‍රී ලංකා දේශපාලනයේම එක්සත් ජනපදය පිළිබද මතවාදය සැකසෙන්නේ, බුවල්ලෙක් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

සාමාන්‍ය ශ්‍රී ලංකා ජනසමාජය එක්සත් ජනපදය කෙරෙහි දක්වන සැක මුසු ස්වභාවය අනුව අමරිකාව වනාහි අපට සිටින ආක්‍රමණිකයෙකි. හේ අප වෙත පැමිණෙන්නේ රටේ සම්පත් කොල්ල කෑම පිණිසය. අනෙක් කිසිදු රටක් මෙන් නොව එක්සත් ජනපදය අපගේ සම්පත් සුරා කෑම සදහා නිතර සැලසුම් සකස් කරන්නේය.

මේ වර්ගයේ සැකයන් ශ්‍රී ලංකා ජන මනසේ වැපිරීම සදහා බලපාන ලද ප්‍රධාන හේතු තුනක් ඇත්තේය. එහි අංක එක වන්නේ, සීතල යුද්ධ සමයේ තොග පිටින් සහ අඩු මිළට ශ්‍රී ලංකාවට පැමිණි මාක්ස් - ලෙනින්වාදී පොත් පත්ය. එම සෑම පොතක්ම සිය සතුරු කදවුර වූ එක්සත් ජනපදය මඩිනු පිණිස සෝවියට් දේශය සිදු කරන ලද සාධනයන්ගෙන් යුක්ත විය. ශ්‍රී ලංකා දේශපාලනයේ දාර්ශනික ශක්‍යතාවය ඇත්තේ වමට බැවින්, මෙම රතු පොත් කියවන ලද සකල වම්මුන්, එක්සත් ජනපදය දකින ලද්දේ අධිරාජ්‍යවාදියෙකු, චෞරයෙකු සේය. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකා දේශපාලනයේම එක්සත් ජනපදය පිළිබද මතවාදය සැකසෙන්නේ, බුවල්ලෙක් ලෙසය. එහෙයින් අමරිකාව පිළිබදව ශ්‍රී ලංකා චිත්‍රය අන්කල් සෑම් නම් ආර්ථික ඝාතකයා බවට පත්ව ඇත්තේය.

 
රතු පොත් වැපිරූ අන්කල් සෑම් විරෝධය

අරාබි වසන්තය
දෙවැනි කාරණය එක්සත් ජනපදයේ මෙහෙයවීම යටතේ ලෝකයේ රටවල් තුළ පුරා සිදු කරන ලද ආක්‍රමණික මෙහෙයුම්ය. චිලියේ දේශපාලන පෙරළි, කුවේට් ආක්‍රමණය, ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ප්‍රහාර, අරාබි වසන්තය, මෑතකදී ශ්‍රී ලංකාවේ අරගලය සදහා එක්සත් ජනපදය සිදු කරන ලද මැදිහත්වීම ආදිය හේතුවෙන් ශ්‍රී ලංකා ජන මනස එක්සත් ජනපදය දකින්නේ ‘අප වැනි රටකට කිසිදු විශ්වාසයක් ඇතිව වැඩ කළ හැකි රටක් නොවේ’ යන තේමාව සහිතවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරන යෝජනාව සදහා එක්සත් ජනපදය ලබාදෙන සක්‍රිය දායකත්වය ද ශ්‍රී ලංකාව ජනතාව වෙත දන්වනු ලබන්නේ ‘අමරිකාව විසින් අපේ රණවිරුවන් දංගෙඩිය සදහා ගෙනියනවා’ යන චිත්‍රයය.


හයානක සතුරා සහ ආර්ථික මිතුරා

මෙම මුලික කාරණා ත්‍රිත්වය අනුව එක්සත් ජනපදය කෙරෙහි ඇති ශ්‍රී ලංකාවාසීන්ගේ චිත්‍රය බුවල්ලෙකු වන් භයංකාරය. රාක්ෂයෙකු සේ ආක්‍රමණිකය. සිවලෙකු සේ උපාය මාර්ගිකව අපේ සම්පත් කොල්ල කන්නේය; යන ආකාරයට තැනි ඇත්තේය. එහෙයින් සමස්ත ජාතික දේශපාලනයේ, එක්සත් ජනපදය වෙනුවෙන් පෙනී සිටීමක් දක්නට නැත්තේය. එසේ වුවද නිදහසින් පසු ගලා ආ ඉතිහාසය දෙස බලන විට එක්සත් ජනපදය වනාහි ශ්‍රී ලංකාවට සිටින අංක එකේ ආර්ථික මිතුරාය. එය අවබෝධ කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර වෙළද ශේෂ පත්‍රය පළමුව ඉදිරිපත් කරමු.



ආසන්න වශයෙන් ඩොලර් බිලියන දෙකකට වඩා වාසිදායක වෙළද ශේෂයක ශ්‍රී ලංකාව රදා පවත්වා ගෙන සිටින එක්සත් ජනපදය වෙත ආර්ථික ඝාතකයා සහ සදාකාලික සතුරා බවට ශ්‍රී ලංකා ජනසමාජයේ බහුතරයක් පිරිස හම ගසන ලද්දේ මෙවන් පසුබිමකය. මෙය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය සමග සසදන විට 2.5%–3.7% දක්වා ස්ථාවරයක් දරණ ලද්දේය.

එහෙව් වාසි සහගත තත්ත්වයක එක්සත් ජනපදය සමග ශ්‍රී ලංකාවේ ගනුදෙනු තිබියදීත් ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ ප්‍රධාන ආදර්ශ පාඨයක් වුයේ ‘අපේ රට බංකොලොත් වන්නේ පාන් පිටි කෑම නිසා’ බවය. තිරිගු පිටි ආනයනය සදහා ශ්‍රී ලංකාව වාර්ෂිකව දරණ බර පැන එක්සත් ජනපදය සදහා ශ්‍රී ලංකාව සිදු කරන අපනයන සමග සංසන්දනය කරන විට, අප තිරිගු පිටි ප්‍රධාන ආහාරය බවට පත් කර ගත්තද දෙරටේ වෙළද ශේෂය සමාන නොවන්නේය. එතරම් බොළද තත්ත්වයක සිට එක්සත් ජනපදය දෙස බැලීමේ හීනය බොද කරන ලද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අප්‍රේල් දෙවැනිදා පනවන ලද බද්ද කරණ කොටගෙනය.

විරෝධය ආපසු හැරවූ ට්‍රම්ප්ගේ බදු රෝදය

 



ලෝකයේ රටවල් බොහොමයක් එක්සත් ජනපදයට ගරහමින් එහි වෙළද වාසිය භුක්ති විදින ලද්දේ හෙයින් ඒ සදහා නව බදු ක්‍රමවේදයක් ට්‍රම්ප් ජනාධිපතිවරයා හදුන්වා දෙන ලද්දේය. එය එක්සත් ජනපදයේ ආර්ථිකය දෙස බලා ඔහු විසින් ලබා ගත් තීරණයක් වන විට එක්සත් ජනපදය මත අධික බදු පනවන ලද රටවල් වෙත එය දැවැන්ත පහරක් බවට පත්විය.

අන්‍යෝන්‍ය බදු (reciprocal taxes) ප්‍රමාණය ශ්‍රී ලංකාව විෂයෙහි 44%ක් වැනි දැවැන්ත ඉලක්කමක් කරා ළගා වීම පිළිබදව ශ්‍රී ලංකා බලධාරීන් සැලකිලිමත් නොවූ බවට චෝදනා නගන ලද්දේ, වත්මන් ආණ්ඩුව ඉලක්ක කර ගනිමිනි.

කල්තියා සුදානම් වීම ආදිය පිළිබදව මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබදව ද එහිදී චෝදනා ගොඩ නැගිණි. දොස් පැවරීම පසෙක තිබියදී මේ සා ආර්ථික හානියක් රටට සිදු කළ අතීතය සම්බන්ධයෙන් විමසා බැලීමක් කළ යුතුය.

 

WhatsApp Image 2025 04 03 at 9.14.45 AM

දැනට උද්ගතව ඇති තත්ත්වය අනුව අප සිටින්නේ දෙලෝ රත්වූ තැනකය. වෙනත් රටවල් එක්සත් ජනපදය සමග සාකච්ඡා කරන ආකාරයට අපට සංදර්ශන දැමිය නොහැක්කේය. බොහෝ රටවල් පවසා ඇත්තේ ඔවුන් වෙත පනවා ඇති බද්ද ලිහිල් කිරීම වෙනුවෙන් තමන් විසින් එක්සත් ජනපදය වෙත මෙතෙක් පනවා තිබූ බද්ද ලිහිල් කිරීමට සුදානම් බවය. සාකච්ඡා මේසය ඇත්තේ එවැනි ආස්ථානයකය.

ශ්‍රී ලංකාවට එවැනි මාවතක ගමන් කළ නොහැකිය. හේතුව වන්නේ එවැනි ස්ථාවරයක් අප එක්සත් ජනපදය සදහා අනුගමනය කරන්නේ නම් අන් රටචල් සදහා ද එම බදු හැන්දම භාවිතා කළ යුතු වීමය. එසේ නොවුනහොත් අන් රටවල් ද ට්‍රම්ප් ආකාරයට අප වෙත පනවන ලද බද්ද ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකාවට සිදු වන්නේ අපනයන ආදායම බිමටම වට්ටා ගැනීමටය.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තත්ත්වයේ ඇගලුම් අපනයනකරුවෙක් වන විට එයින් කාලක්ම මිළට ගන්නේ එක්සත් ජනපදයය. මේ 25% පංගුව සදහා වෙනත් රටක් හෝ කිහිපයක් සොයා ගැනීම දුෂ්කරය. එසේම මේ රටේ විශාලම රැකියා දායකයා ඇගලුම් කේෂ්ත්‍රය හෙයින් එය පහළට වැටුණු කල්හි සමස්ත ආර්ථික ක්‍රියාදාමය දරා ගත නොහැකි පීඩාවකට පත් වන්නේය.


ඇදුම් ලිහා දැමු ඇගලුම් කෝටාව

අනික් අතට එක්සත් ජනපද ඇගලුම් අවශ්‍යතාවය අප මතම පිහිටා සිටින්නේ නැත. අපෙන් ගිලිහුණු කෝටාව වෙනත් තරගකාරී රටවල් කරා ඇදී යා හැකි බැවින් ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තය සදහා සදාකාලිකවම එක්සත් ජනපද වෙළද පොළ අහිමිවීම ද මේ හේතුවෙන් සිදු විය හැකිය. ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තකරුවෝ ද මේ කාරණය නිසා දිගටම බලාගෙන නොසිටින්නේය. ඔවුහු පිලිපීනය වැනි එක්සත් ජනපදය විසින් අඩු බදු පනවා ඇති රටකට සිය කර්මාන්තය මාරු කර ගැනීමට සැලසුම් සකස් කරනු ඇත.



ඒ අනුව ගියහොත්  එක්සත් ජනපදයට පමණක් නොව කැනඩාව සහ යුරෝපයටම, පිලිපීනය වැනි රටක සිට මේ රටේ ප්‍රබල ඇගලුම් කර්මාන්තකරුවෝ සිය නිෂ්පාදන අලෙවි කරනු ඇත්තේය. එවන් ඉරණමකට අප ලක්වුවා කියන්නේ මේ රටේ ඇගලුම් කර්මාන්තය සදා සොත්තිය. සමස්ත ඇගලුම් කර්මාන්තයම මහරගම පමුණුවේ, මට්ටමටම දක්වා පසු බසිනවා ඇත්තේය.

මේසා අවදානම් කලාපයක අපට සැරිසැරීමට සිද්ධ වුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ දුරදිග නොබැලීම හෝ අත්දැකීම් අඩුකම වැනි සාධක ඉක්මවා ගිය අතීතයේ ආණ්ඩු කිහිපයක කෙරුවාව නිසාය.

එතෙරට යවමු - විදේශ බඩු අපට එපා

ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදය සමග වෙළද ශේෂ හිගය සමනය කිරීමට කිසිදා උත්සාහයක් නොගැනීම පළමු වැරැද්දය. අපේ රටේ සමහර ආඥාන දේහයන්, තවම සිතා සිටින්නේ, ලෝකයෙන් අවමයෙන් භාණ්ඩ ගෙන්වා ගෙන අප ලෝකයට වැඩි වැඩියෙන් භාණ්ඩ යැවිය යුතු බවය. ඒ ආකාරයේ ගනුදෙනු රටා සදහා ලෝක ආර්ථිකයේ ඉඩක් නැත.

ලෝක වෙළද සංවිධානයට අනුව, වෙළඳ ශේෂය ස්වාභාවිකවම අසමතුලිත (Unbalanced) විය හැකි නමුත්, දිගුකාලීන අසමතුලිතතා (Chronic Imbalances) ආර්ථික ගැටළු ඇති කළ හැක්කේය. උදාහරණයක් ලෙස, එක් රටක් අඛණ්ඩව අනෙක් රටක් සමඟ විශාල වෙළද ශේෂයේ ඍණ අගයක් පවත්වා ගන්නේ නම්, එම අස්ථාවරත්වය සදහා පිළියම් යෙදිය යුත්තේය,යන්න ලෝක වෙළද සංවිධානයේ මතය වන්නේය.

වැඩේ දුර දිග යන්නේ නම් හෙවත් අඛණ්ඩව ඒ ආකාරයට රටවල් දෙකක් අතර වෙළද ශේෂය, එක් රටක් සදහා උග්‍ර අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් ඒ සදහා අනික් රට වෙත සම්බාධක යොදන මට්ටම තෙක් ලෝක සංවිධානයට ගමන් කළ හැක්කේය. එක්සත් ජනපදය සදහා අවාසිදායක වෙළද ශේෂයක් ශ්‍රී ලංකාව විෂයෙහි පැවතියේ වුවද එවැනි ආස්ථානයක් කරා ලෝක වෙළද සංවිධානය නොයන ලද්දේ එක්සත් ජනපද පාර්ශවයෙන් ඒ සදහා පැමිණිල්ලක් ගොනු නොකළ හෙයිනි.

p0k2r392.jpg

ජනාධිපති ට්‍රම්ප් දෙවැනි වතාවට බලයට පත්වීමෙන් පසු එක්සත් ජනපදයේ ආර්ථිකය නගා සිටුවීම ඔහුගේ ප්‍රමුඛ කාර්යය වුයේ හෙයින් තම රට වෙත අධික බදු පනවා ඇති රටවල් සදහා හරවා පහර එල්ල කිරීමට ඔහු පසුබට වුයේ නැත. දැන් ශ්‍රී ලංකාවට පත්තු වී ඇත්තේ එම හරවා පහරය.

එක්සත් ජනපදය සමග ඇති වාසිදායක වෙළද ශේෂය රස විදිමින් චීනය සහ අනික් රටවල් සමග අවාසිදායක වෙළද ශේෂයන් පවත්වාගෙන යෑම පසුගිය දශක දෙක තුළ පැවති සියලු ආණ්ඩු අඛණ්ඩව සිදු කරගෙන ගියේය. ආයෝජනයක් හෝ ණයක් නම් චීනය මිස අන් රටක් නැත්තේ යන ආස්ථානයේ සිට ඔවුහු කටයුතු කළහ.

 අවම තරමින් එක්සත් ජනපදය සමග ආයෝජන අවස්ථාව සදහා හෝ ශ්‍රී ලංකාව පසුගිය සමයේ ගමන් නොකළේ, එක්සත් ජනපදය ගණන් නොගෙන කටයුතු කිරීම හේතුවෙනි. එක්සත් ජනපදයට අප සමග ඇති අවාසිදායක වෙළද ශේෂය සමනය කර ගැනීම සදහා මෙන්ම දේශපාලන තුලනය සදහා ද අනර්ඝ අවස්ථාවක් වුයේ එක්සත් ජනපද ආයෝජන සදහා ශ්‍රී ලංකාවේ ඉඩ ප්‍රස්ථාව විවර කිරීමය.

පළමු අවස්ථාව අහිමි කර ගැනීමේ විපාකය

එවැනි අවස්ථා අපතේ හැරීම විසින් වැඩේ දැන් අප වෙතම කැරකි ඇත්තේය. ට්‍රම්ප් පළමු වතාවේ ජනාධිපති අසුනේ වාඩිලා ගත් විට දකුණු ආසියාවේ තමන්ගේ ආර්ථික මිත්‍රයා ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබුණි. ඒ සදහා වූ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සදහා එක්සත් ජනපද සමාගම් වෙත එරට රජයේ මැදිහත්වීමෙන් අවස්ථාව උදාකර දී තිබුණි.

petrol

මේ සමයේ ශ්‍රී ලංකාව දැවෙමින් පැවති ප්‍රශ්නය වුයේ ඉන්ධන බිලේ බරපතල කමය. රටක් ලෙස අප දරණ ලද විශාලම වියදම වුයේ එයය. දල දේශීය නිෂ්පාදනයෙන් 5%කට ආසන්න ප්‍රමාණයක් ඉන්ධන ආයතය සදහා ශ්‍රී ලංකාව දරමින් සිටියේ හෙයින් ඒ සදහා පිළියමක් අවශ්‍යව තිබුණි. එක්සත් ජනපදය විසින් මේ සදහා වන විසදුමක් ලෙස, නව තෙල් පිරිපහදුවක් සදහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සදහා විසදුමක් ලෙස පමණක් නොවේ. සිය අවාසිදායක වෙළද ශේෂය ශ්‍රී ලංකාවේ සිදු කරන ආයෝජන මගින් පියවා ගැනීමේ අරමුණ සහිතවය.

ඩොලර් බිලියන 2.5ක පොලි රහිත ආයෝජනයක් ලෙස එය පැමිණි අතර ව්‍යාපෘතිය සදහා ගත වෙන කාලය වසර එකහමාරකි. ණය ගෙවීම ආරම්භ වන්නේ වසර දෙකකට පසුවය. එසේම බැංකු ගාස්තු සැකසුම් ගාස්තු ආදිය ද රහිතව මෙම මුදල ලබා දෙන්නේ බැවින් සම්පුර්ණ මුදලම ආයෝජනය සදහා යට කළ හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. අනෙකුත් රටවල් සමග සිදු කෙරෙන ආයෝජන හී වැල්වටාරම් වියදම් අධික හෙයින් ආයෝජනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් ඒ සදහා යෙදෙවෙන්නේය. ඒ අනුව ගත්විට මේ වූ කලී කදිම ආයෝජන අවස්ථාවක් විය. පිරිපහදුවෙන් මුදල් උපයා ණය ගෙවිය හැකි තත්ත්වයක් මෙම ආයෝජනයේ තිබූ බැවින් එය රටේ ණය බර සදහා ද බරක් නොවන සෑම අතින්ම ආර්ථික වාසියක් ශ්‍රී ලංකාවට අත්කර දෙන ආයෝජන යෝජනාවක් විය.

තෙල් පිරිපහදුව සදහා ආ අමරිකා ආයෝජනය

 

image 800ad74a19සපුගස්කන්ද තෙල් පිරිපහදුව
1969 වසරේදී ඉරාන-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ඉරාන ජාතික තෙල් සමාගම (NIOC) විසින් තාක්ෂණික හා මුල්‍ය සහයෙන් ඉදිකරන ලද සපුගස්කන්ද තෙල් පිරිපහදුව යනු මේ සමය වන විට මහලු මිනිසෙකු ලවා බැරි බර අද්දවා ගැනීමක් විය. ආරම්භක අවධියේ දිනකට තෙල් බැරල් 50000ක් පමණ පිරිපහදුවට ලක් කළ සපුගස්කන්ද යන්ත්‍රාගාරය මේ සමය වන විට දිනකට බැරල් 35000ක නිෂ්පාදන මට්ටමට පහළ වැටී තිබුණි. වාණිජ වටිනාකම ඉහළ තෙල් නිපදවීමට ද නොහැකි තත්ත්වයකට එය පත්ව තිබූ හෙයින් අනිවාර්යයෙන්ම මේ සදහා විකල්පයක් රටට අවශ්‍ය වී තිබුණි. ඛනිජ තෙල් අපනයනය සදහා දැවැන්ත මුදල් වියදම් කරන අතරේ අකාර්යක්ෂම පිරිපහදුවක් ද තබා ගැනීම හේතුවෙන් පලදායිතාවය තවත් අඩුවී තිබුණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් කුවේට් පෙට්‍රොලියම් කෝපරේෂන් (KPC) සහ එහි සිංගප්පුරු අනුබද්ධ ආයතනය වන Kuwait Petroleum International (KPI) විසින් 2010 වසරේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළේය. එම අධ්‍යනය ප්‍රකාරව සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය සදහා ඩොලර් බිලියන 1.5 – 2 අතර පරිමාණයේ ආයෝජනයක් සිදු කළ යුතු යැයි යෝජනා කර තිබුණි. විශේෂයෙන්ම පිරිපහදුවේ පැරණි අංග නවීකරණය කර එය පණ ගන්වා ගැනීම අත්‍යවශ්‍ය බව මෙම අධ්‍යන මගින් පෙන්වා දී තිබුණි.

එම යෝජනාවට අමතරව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම පිළිබදව ද අවශ්‍යතාව මතුව තිබුණි. ඒ සදහා අවශ්‍ය මුලික කටයුතු සම්පුර්ණ කර කොලොන්නාව ප්‍රදේශයේ අක්කර පන්සියයක වපසරියක් සහිත කලාපයක් රජය වෙන් කරගෙන තිබුණේ රුපියල් බිලියන පහක් පමණ වියදම් කරය. 2010 වසරේ ලංකා ඛනිජ තෙල් සමාගම සිදු කළ මෙම යෝජනාව අනුව දිනකට තෙල් බැරල් පනස්දහසක් නිපදවීමේ ඉලක්කයක් තිබුණි. ඒ සෑම ඉඩ ප්‍රස්ථාවක් සදහාම එක්සත් ජනපදයේ පිරිපහදු යෝජනාව ගැලපි ගියේය.  


Screenshot 2025 04 18 150350


ශ්‍රී ලංකාවේ වාර්ෂික ඛනිජ තෙල් ආනයන වියදම සහ ඒ සදහා බලපාන ලද සාධක

මෙම වියදම සදහා අවම තත්ත්වයක් ලබා ගැනීමට තිබූ හොදම අවස්ථාවක් හෙයින් සහ එක්සත් ජනපදය සමග ආර්ථික සහ දේශපාලන සහයෝගිතාවය වර්ධනය කර ගැනීම පිණිස අනගි අවස්ථාවක් බවට තෙල් පිරිපහදුව සදහා වන ආයෝජනය ගත හැක්කේය.

එක්සත් ජනපද තානාපති කාර්යාලය මගින් එවන ලද ආයෝජන යෝජනාව පළමුව පසෙකට දමන ලද්දේ මහින්ද රාජපක්ෂ රජය විසිනි. මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර ඒ සදහා තීරණාත්මක කාර්යයක් ඉෂ්ඨ කළේය. අනෙක් අතට ඒ වන විට තෙල් ආනයනය හරහා දැවැන්ත කොමිස් මුදලක් හිමිකර ගත් පාර්ශ්ව සිය අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදයේ ආයෝජනයට එරෙහිව කුමන්ත්‍රණ දියත් කළේය.

මහින්ද රාජපක්ෂ රජයෙන් පසු යහපාලන ආණ්ඩුව ද පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දුන්නේ හෙයින් එම වසර පහ තුළ ද වැඩේ සිදු කෙරුණේ නැත.

gotabaya

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වූ විගස කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අර්බුදයක් මතුව ආවේය. එම අවස්ථාවේදී එක්සත් ජනපද තානාපතිනිය විසින් යළිත් වතාවක් මේ පිළිබදව රජයට සිහි කැදවන ලද්දේ ලිඛිතවය. මෙම ආයෝජනය පිළිබදව සදහන් කරමින් එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිස් විසින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල වෙත ලිපියක් යවන ලද්දේ 2020 නොවැම්බර් දහවෙනිදාය.


ආර්ථික ඝාතනයේ ගම්මන්පිල භූමිකාව

උදය ගම්මන්පිලගේ පිළිතුරක් නැතිවූ කළ තානාපතිතුමිය ඒ සදහා වන සාකච්ඡාවක් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියාය. ඒ පිළිබදව ඇය සිදු කළ සාකච්ඡාව උදය ගම්මන්පිල ප්‍රයෝජනය ගන්නා ලද්දේ දේශපාලන පාපන්දුවක් ලෙසය. එක්සත් ජනපද කදවුරට එරෙහිව තමන් අභීත වීරයෙකු සේ නැගී සිටිනවා යැයි දෙඩවීම සදහා හෙතෙම මෙම සාකච්ඡාව හොර රහසේ මාධ්‍ය වෙත ලබා දුන්නේ වංගු සහිතවය.

 

usa 1

දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ අනුර සොල්මන්ස් ගම්මන්පිලගේ හිතවතෙකු බැවින් ඔහු වෙත අදාළ තොරතුරු ලබාදුන් ගම්මන්පිල ඒ ගැන සදහන් කරන ලද්දේ, එක්සත් ජනපද ආයෝජනයක් ලෙස තෙල් පිරිපහදුවක් ඉදිකරන ලෙස එක්සත් ජනපද තානාපතිනිය තමන් වෙත බල කරන ලද බවය. එම පුවත 2021 ජුනි 27 වෙනිදා ඉරිදා දිවයින සිය ප්‍රධාන සිරස්තලය ලෙස පළ කරන ලද්දේය.

''කෝටි හැටදාහක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම්'' යන සිරස්තලයෙන් යුතුව 'දිවයින' මාධ්‍යවේදී මනෝජ් අබයදීර විසින් ලියා තිබු පුවත් වාර්තාවේ මෙසේ සඳහන් විය.

''ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඇමරිකානු ඉදිකිරීම් ආයතන වෙත ලබාදෙන ලෙස බලපෑම් කිරීම සඳහා ඇමරිකන් තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවී ඇත.

 දැනට ශ්‍රී  ලංකාවේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේ 1969 දී ක්‍රියාත්මක කරන ලද තෙල් පිරිපහදුව පමණි. නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ලක් රජය 1983 දී සිට අසාර්ථක උත්සාහයක යෙදිණි. දැනට පවතින තෙල් පිරිපහදුව දිනකට අමු තෙල් බැරල් 38,000 ක් පිරිපහදු කරන අතර එම ප්‍රමාණය දිනකට තෙල් බැරල් 45,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු යොදාගෙන යනු ලැබේ. ඊට අමතරව දිනකට තෙල් අමු තෙල් බැරල් 100,000 ක් පිරිපහදු කළ හැකි නව යන්ත‍්‍රාගාරයක් ඉදිකිරීමට රජය කටයුතු යොදා ඇත.

 මෙහි සම්පූර්ණ පිරිවැය ඇමරිකන් ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 60000 කි. ඒ අනුව එය මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කෙරෙන ඉදිකිරීම වනු ඇත. මීට කලින් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.350 ක් වැය වූ අතර නොරොච්චෝලේ බලාගාරය සඳහා ඩොලර් බිලියන නවසීයක් වැය විය. ඉදිකිරීමට යෝජිත නව පිරිපහදුව BOT පදනම යටතේ (වෙනත් පාර්ශ්වයක් විසින් ඉදිකොට පවත්වාගෙන ගොස් රජයට පැවරීම) ක්‍රියාත්මක කෙරෙනු ඇත. නව පිරිපහදුව ක්‍රියාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 300 ක් ඉතිරි වනු ඇත.

(දිවයින පුවත්පතින් උපුටා ගැනීම අවසන්)

 

Chaminda wijesiri

ඇමති ගම්මන්පිල මේ ආකාරයට නෙල්ලි කැලේ බුරියා සේ වීරයෙක් වීමට තැත් දරණ අතරේ ඒ සදහා ‘ඔසවා දීමක්’ සිදු කරමින්, ගම්මන්පිලට ‘ඩෑෂ් පහරක්’ ගැසීමට පාර්ලිමේන්තුවේ දී අවස්ථාව ලබා දුන්නේ, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාය. එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ද ඇනගෙන යෑමට දෙදෙනා අමතක නොකළේ, එක්සත් ජනපදයේ ආයෝජනය අත්‍යවශ්‍ය බැව් අවධාරණය කරමින් කැබිනෙට්ටුවේදී මේ පිළිබදව සදහන් කර තිබුණේ බැසිල් රාජපක්ෂ බැවිනි.

මේ පිළිබදව එක්සත් ජනපද තානාපතිනිය හමුවෙන ලෙස උදයට දන්වා තිබුණේ ද බැසිල් බැවින්, එම කතාව ද වටේ ප්‍රචාරය කළ උදය, තමන්ට දේශපාලන අභියෝගයක් වී තිබූ බැසිල්ට ද ‘අමරිකන් ගැත්තා’ යන ලේබලය ඇලවීමට මෙම අවස්ථාව උපයෝගී කර ගත්තේය.

2021 ජුලි මස අටවෙනිදා පාර්ලිමේන්තු වේදී ඇතිවූ සංවාදය මෙසේය.


බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි:

"තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් කෝටි හැට දහසක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යනවා. ඇමෙරිකානු තානාපතිනිය මේ පිරිපහදුව ඉල්ලා බලපෑම් කරනවා. ඇමරිකාවෙන් අද ඔබතුමාට බලපෑම් වැඩියි. මේ බලපෑම් කරන්නේ ඇමරිකාවද එහෙමත් නැතිනම් ඇමරිකාව සමග සම්බන්ධතා පවත්වන වෙනත් පුරවැසියන්ද. ඒ නිසා ඔබේ අමාත්‍යාංශයට සහ දේශපාලනයට යම් ගැටලුවක් තිබෙනවාද ? උගත් බුද්ධිමත් ඇමතිවරයෙක් විදියට ඒ බලපෑම්වලට යටවී මේ ටෙන්ඩරය ලබාදීමට සූදානම්ද.

අමාත්‍ය උදය ගම්මන්පිල:

 

images 2025 04 18T154349.980

ගරු කතානායකතුමනි,  මම මේ ඇමති ධුරයට පත්කර තිබෙන්නේ ගරු අගමැතිතුමාගේ නිර්දේශය යටතේ අතිගරු ජනාධිපතිතුමන්. මට ඉහළින් ඉන්නේ එතුමන්ලා පමණයි. ඒ දෙදෙනා මගේ අමාත්‍යාංශයට කිසිම දවසක බලපෑමක් කරල නැහැ. උපදෙස් දීලා තියෙනවා. තොරතුරු විමසලා තියෙනවා. නමුත් කවදාකවත් බලපෑමක් කරල නෑ."

"තානාපතිවරු මාව හමුවෙලා කරපු සාකච්ඡා ගැන මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුම් දුන්නා. ඒ තානාපතිවරුන් තමන්ගේ රටේ දැවැන්ත සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරද්දි කතා කරද්දි තමා මේ ටෙන්ඩරය  ලංකාවට වාසිදායක කෙනාට ලබාදෙන බව දැනුම් දුන්නා. මම ලිඛිතවම දැනුම් දුන්නා . ඇමරිකානු තානාපතිනිය මට ලියුමක් එවපු බව ඇත්තයි. එතුමිය මා හමුවුණු බවත් ඇත්තයි. ඒ සාකච්ඡාවේදී සිදුවුණු දේවල් ගැන මම  අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දැනුම් දීලා තියෙනවා. ඔබතුමාට මම එක සහතිකයක් දෙනවා  කිසිවකුගේ බලපෑම්වලට මම යට වෙන්නේ නැහැ.''

චමින්ද විජේසිරි:

ඇමතිවරුන්ට විදේශ තානාපතිවරුන් ගෙන් බලපෑම්  එල්ලවීම දිගින් දිගටම සිදුවෙමින් තිබෙන බව ඔබතුමා පිළිගැනීම ගැන මම සතුටු වෙනවා.

ගම්මන්පිලගේ බාල්දියටම වැටුණු දිලිත්

ඇමති උදය ගම්මන්පිල එම ආයෝජන අවස්ථාව සදහා බාල්දි පෙරලීම දැන් කැරකි ඇත්තේ සමස්ත රටටමය. එසේම මේ පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැන්වීම පිණිස තානාපති කාර්යාලය එකල කටයුතු කළ ද එයින් සෙතක් අත්වුයේ නැත.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ සමීප සගයා ලෙස තමන් විසින්ම නිවේදනය කරගෙන තිබූ දිලිත් ජයවීර වෙත අදාළ පාර්ශ්ව මෙම ආයෝජනය සම්බන්ධයෙන් දැනුවත් කරනු ලබන්නේ, ඔහු ලවා හෝ අභියෝගය ජය ගනු රිසියෙනි. දිලිත් ද වැඩේ සදහා කර අරින ලද්දේය.

dilith jayaweera

එවැනි අතීතයක් සහිත මේ දෙදෙනා දැන් තරගයට අනුර කුමාර දිසානායක ආණ්ඩුව හම ගසන්නේය. එක්සත් ජනපදය පනවන ලද අධික බදු හේතුවෙන් රට කඩා වැටීමකට ලක්වනු ඇතැයිද ඒ සදහා වගකිව යුත්තේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ දැක්මක් නොමැතිකම යැයි ද සමාජ මාධ්‍යයේ මේ දෙදෙනා මොර දෙන්නේ, තමන් කැපු වලේ රටක් වැටී සිටිනා අන්දම සගවාගෙනය.


එල්.එන්.ජී බලාගාරයට පිටුපෑම

අනෙක් වැඩසටහන වුයේ එල්.එන්.ජී බලාගාරයය. ජාතික විදුලි ජනනය සදහා අත්‍යාවශ්‍ය වූ දෘවිකෘති ස්වභාවික වායු බලාගාරයක් ශ්‍රී ලංකාවට ඊට හේතුව අඩුම ජනන වියදමය.

lng

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආයෝජනයක් වූ එල්.එන්.ජි බලාගාරයක් සදහා New Fortress Energy නම් ඇමරිකානු සමාගම, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මාර්ගයෙන් 2019 වසරේදී රජයට යෝජනාවක් ඉදිරිපත් කළේය. දෘවිකෘත ස්වභාවික වායු (LNG) මගින්වූ විදුලි ජනන ඒකකයක්, රු.18 ට ආසන්න මුදලකට ලබාදීම සඳහා මෙම ආයෝජනය මගින් ඉල්ලීම කර තිබුණේය. ඒ තරම් අවම ගාස්තුවක් ඒ වන විට සතු වුයේ ජල විදුලියට පමණය.


මෙම සමාගම විදුලිය ලබාදෙන මිල ගණන් සහ එවකට විදුලි නිෂ්පාදනය වෙනුවෙන් වැය කරන අධි වියදම් (ඒකකයක් රු.30.00 ආසන්න) ඞීසල් ජනනය හා සන්සන්දනාත්මකව බලන විට, රටට වාසිදායි බැවින් ඊට අදාළ තාක්ෂණික හා වාණිජමය කරුණු ඇතුළත් විස්තරාත්මක යෝජනාවක් කැඳවීමට රජය තීරණය කරනු ලැබීය. එය සුදුසු යෝජනාවක් ලෙස තාක්ෂණික ඇගයුමකින් තහවුරු වන්නේ නම් පමණක් ඊට සමාන වන්නාවූ යෝජනා ඉදිරිපත් කිරීමට අනෙකුත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව ලබා දීමටත්, අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවක් (CANC‍) තීරණය කළේය.

එකී යෝජනා සියල්ල ඇගයුම් කොට ඒ අතරින් තාක්ෂණික හා මූල්‍ය වශයෙන් වඩාත්ම සුදුසු යෝජනාව තෝරා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගෝඨාභය රාජපක්ෂ රජය අපේක්ෂා කළේය.

විදුලිබල මණ්ඩලයේ පාඩුවත්, එහා බැඳුණු ඛනිජ තෙල් සංස්ථාවේ, මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ පාඩුවත් දෙස බලන විට, අතින් කා හරක් බලන තියරියෙන් තව දුරටත් ජාතියේ විදුලි සැපයුම යාහැකි තත්ත්වයක තිබුණේ නැත. එසේම දුටු විට කරන්ට් වදින විදුලි බිල සම්බන්ධයෙන් පාරිභෝගික මැසිවිලිය.

ෆොට්‍රස් සමාගම ඉල්ලන ලද්දේ ශ්‍රී ලංකාව තුළ ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට වුවත් ඒ වෙනුවට රජය පාර්ශවයෙන් වෙනත් අදහසක් ඉදිරිපත් කරන ලද්දේ, උපායශිලීවය. ඒ සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවේ පදනම වූයේ යුගදනවි බලාගාරයය.

yugadanavipower

වෙස්ට් කෝස්ට් සමාගම සතු යුගදනවි බලාගාරය ඉදිවන්නේ විදුලිය ලබා ගැනීම සඳහා 2007 වසරේ සිදු කළ යෝජනාවක් අනුවය. රජය විසින් මෙහිදී දැරිය යුතු රාජ්‍ය කොටස, රු. මිලියන 225ක වුවත්, මෙම රාජ්‍ය කොටස සඳහා මුදල් රජය සතු නොවීය. මේ නිසා රජය සහ වෙස්ට් කෝස්ට් සමාගම පැමිණි එකගතාවය වූයේ ”ඔබ මුදල් සොයා බලාගාරය ඉදිකරන්න. අප නියමිත මිල පටිපාටින් අනුව විදුලිය මිලදී ගන්නම්’’ යන ආකාරයය.

ඒ අනුව සමස්ත ඇස්තමේන්තු පිරිවැයෙන් 30%ක් කොටස් වශයෙන් ද ඉතිරි 70% ඇමරිකානු, ප්‍රංශ, හොංකොං බැංකු මගින් ණය ලෙස ලබා ගැනීමට වෙස්ට් කෝස්ට් සමාගමට අවස්ථාව උදාවිය. සමස්ත එකගතාවය වූයේ 2035 වසරේදී මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය සතු කිරීමය.

විමල්ගේ විරෝධයෙන් ඊලග ආයෝජනයත් හාන්සි

වෙස්ට් කෝස්ට් සමාගමට ණය ලබා ගැනීමේදී රාජ්‍ය ඇපකරයක් විදේශ බැංකු සඳහා ලබාදිය යුතු විය. රජය සතු බහුතර කොටස් නොමැති තත්ත්වයකදී රාජ්‍ය ඇපකරයක් ලබාදිය නොහැකි හෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වූයේ, රජය සතු කොටස් නොමැතිව රාජ්‍ය ඇපකරයක් ලබා ගත නොහැකි බවය. මෙම අවකාශය සපුරා ගැනීම සඳහා ලෙකෝ ආයතනය රුපියල් මිලියන 2000ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 2000ක්, අර්ථ සාධක අරමුදල රුපියල් මිලියන 2000ක්, සේවක භාරකාර අරමුදල රුපියල් මිලියන 2000ක්, වශයෙන් යොදමින් රාජ්‍ය භාගය ඇති කිරීම සඳහා දායක විය.

මේ සියල්ල මහා භාණ්ඩාගාරය, සිය වත්කමක් ලෙස පවත්වාගෙන ගියේය.

images 2025 04 18T161246.130

අවසානයේදී යුගදනවි බලාගාරය 70%ක් සඳහා ණය මුදල් ලබාගත් අතර එම මුදල 2022 මාර්තු මාසයේදී ගෙවා නිම කිරීමට නියමිත වී තිබුණි. රජය සතු 50%ට වැඩි කොටස් ප්‍රමාණය වන 50%න් 40%ක් ඇමරිකානු ෆොට්‍රස් සමාගමට විකිණීම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණට ප්‍රශ්නයක් විය. විපක්ෂය ඒ සදහා දක්වන විරෝධය දේශපාලනික වුවද ආණ්ඩුව ඇතුලේම සිට මණ්ඩලය කචල් කරමින් පුද්ගලික සමාගමක් සදහා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ සමාගමක් පැමිණෙන විට බාල්දි පෙරලීමට කටයුතු කළ විමල් විරවංශ ද මේ දිනවල ආණ්ඩුවට බැන අඩ ගසමින් යන්නේ ආර්ථිකය සදහා සැලසුමක් නොමැති බව කියමිනි.


ෆොට්‍රස් සමාගම දෙස හෝ වෙන යම් හවුල් පාර්ශවයක් දෙස සර්ව සුබවාදී ආකාරයෙන් බැලිය යුතු නොවන්නා සේම එහි අනෙක් අන්තය ද නොබැලිය යුතුය. රජය මෙහිදී අනුගමනය කරන ලද පිළිවෙත වූයේ වෙනම බලාගාරයක් සෑදීම පිණිස පැමිණි ඇමරිකන් ආයෝජනය රජය සතු වන සමාගමක් සඳහා ලඝු කර ගැනීමය. එය ඇත්ත වශයෙන්ම හොඳ වර්ගයේ තේරීමකි.

40% කොටස් ප්‍රමාණයේ වටිනාකම ආසන්න වශයෙන් බිලියන 40කට තක්සේරු කර, එය බිලියන 50 කට ෆොට්‍රස් සමාගම වෙත ලබාදීම ගනුදෙනුවක් ලෙස අවාසිදායක තත්ත්වයක් නොවේ. මෙතෙක් කලක් බරවා කකුලක් සේ තිබූ යුගදනවිය ධාවනය කිරීමේ වගකීම දැන් ඇත්තේ ඇමරිකානු සමාගම අතේය. ඔවුන් විදුලිය නිපදවා, විදුලි බල මණ්ඩලයේ ගණනය කිරීම් අනුව රජයට ඒවා විකුණා ලාභ ලබාදිය යුතුය. යුගදනවි බලාගාරය ඞීසල් මගින් ධාවනය වන විට එහි විදුලි ඒකකය මිල රුපියල් 30කි. ද්‍රව ඉන්ධන යොදා ධාවනය වන්නේ නම් එහි මිල ඒකකයට රුපියල් 15කි.

අඩු මිළට විදුලියත් එපා කියයි

ෆොට්‍රස් සමාගම සඳහා තවත් අවස්ථාවක් මේ සමග උදාවිය. ස්වාභාවික වායු සඳහා නළ මාර්ගයක් එළීමට විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණි. වසරකට අවම වශයෙන් ඒකක මිලියන හතළිහක් තමන් ලබා ගන්නා බවට සහතිකයක් විදුලිබල මණ්ඩලය විසින් ලබාදෙමින් කැඳවා තිබූ එම අවස්ථාව ද ෆොට්‍රස් සමාගමට උදාවිය.

image aa7d6721bc

එසේම 2025 වසරේ සිට බලාගාර දෙකක් ස්වභාවික වායු ඇසුරෙන් ධාවනය කිරීම විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතාවයය. කෙරවලපිටියේ ලක්දනවි බලාගාරයේ අල්ලපු ඉඩමේ ඉදිවෙන සොබාදනවී බලාගාරය සඳහා ද මෙම ස්වාභාවික වායු අවශ්‍යයය. සොබාදනවී බලාගාරය පළමු වසර දෙක ඞීසල් ද 2025 වසරේ සිට ස්වභාවික වායු බලයෙන් ද ක්‍රියාත්මක කළ යුතුව ඇත. වැඩිවන විදුලිබල සැපයුම සැපයීම සහ විදුලිබිල අඩු කිරීම යන අවශ්‍යතා දෙක සපුරාලිය හැක්කේ එම පූර්ණයන් අනුවය.

මේ සඳහා මිල ගණන් දක්වන්නේ නම් ඞීසල් මගින් සොබාදනවී ක්‍රියාකරන විට ඒකකයක් සඳහා රුපියල් 25ක්ද, ස්වාභාවික වායුන් සඳහා ඒකකයක් රුපියල් 18ක් ද වනු ඇත. ජාත්‍යන්තර වෙළඳ පොළ තත්ත්වයන් අනුව වාසිම බලශක්ති ප්‍රභවය වි ඇත්තේ ස්වභාවික වායුන්ය. මේ පිළිබඳව ශ්‍රී ලංකා අවශ්‍යතාවය සකසනු ලැබුවේ විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් විසිනි.

යුග දනවියට ඇලවූ රාජ්‍ය දේපළ ලේබලය

මෙහිදී නගන ලද චෝදනාව වුයේ රාජ්‍ය ආයතනයක් ඇමරිකාවට විකුණා ඇත යන්නය. යුගදනවි රාජ්‍ය ආයතනයක් වන්නේ ණය ලබා ගැනීම සඳහා මිස අන් හේතුවක් මත නොවේ. එම ණය ලබා ගැනීම සඳහා දායක වූයේ රාජ්‍ය ආයතන කිහිපයක මුදල්ය. එම මුදල් ඝනීකෘත වනවා මිස, එම ආයතන වෙත ඒවා යළි ලබා ගැනීමේ අවස්ථාව පවතින්නේ අවම වශයෙනි. එසේම යම් වාසිදායක තත්ත්වයන් යටතේ එම මුදල් යළි ලබා ගැනීම වරදක් ද නොවේ. එසේම යුගදනවි බලාගාරය ලබාදෙන්නේ වෙනම බලාගාරයක් ඉදිකිරිම සඳහා පැමිණි ආයෝජකයෙකු වෙතය. යම් හෙයකින් එවැනි ආයෝජනයක් සඳහා ඉඩ දුන්නේ නම් සම්පූර්ණයෙන්ම එම බලාගාරය ඇමරිකානු ෆොට්‍රස් සමාගම සතු වනු ඇත.

එසේ බලාගාරයක් ඉදි කළේ නම් මේ සඳහා විරුද්ධ වන පිරිස චෝදනා කරනු ඇත්තේ, ඉරණවිල ඇමරිකන් හඬ වැනි ස්ථානයක් ඉදිකිරිම සඳහා රජය ඉඩ ලබා දෙන බවය. එසේ නොකර මෙරට බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් ආයෝජකයෙකූ උපායශීලි ආකාරයෙන් භාවිතා කිරීම වරදක් වන්නේ කෙසේද…?

අනෙක් චෝදනාව වනුයේ ස්වාභාවික වායු පිළිබඳ ඒකාධිකාරයක්, ෆොට්‍රස් සමාගම වෙත මෙමගින් ලැබෙන බවය. මේ සඳහා ද රජය ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. ස්වභාවික වායු සඳහා වන මිල ගණන් පිළිබඳව දර්ශක ගණනාවක් ලොව පුරා තිබේ. හෙන්රි හබ් දර්ශකය ඉන් ප්‍රමුඛ වන අතර ශ්‍රී  ලංකාව ස්වාභාවික වායු ලබා ගැනීමේදී භාවිතා කිරීම සඳහා සලකා ඇත්තේ එම දර්ශකයය. ජපන් – කොරියන් දර්ශකය සහ කටාර් රාජ්‍ය මූලික කරගත් බෙන් කෘඩ් දර්ශකය අනිකුත් ප්‍රධාන දර්ශක දෙකය.

මෙම මිල ගණන් අනුව අවම මිලක් යටතේ ස්වභාවික වායු ලබා ගැනීම රාජ්‍ය ප්‍රතිපත්තිය බවට ලංකාව පත් කරගෙන තිබේ. ඒ මිල ගණන් අතිනි. එසේම ෆොට්‍රස් සමාගම වෙත එවැනි ඒකාධිකාරයක් පිළිබඳව අභිප්‍රායක් තිබෙනවා නම් එය ඉටු නොවන බව කිව හැක්කේ, එසේ එම සමාගමට පමණක් මෙම ක්ෂේත්‍රයේ  ආයෝජනය කිරීමේ අවස්ථාවක් මේ කිසිදු අවස්ථාවක ලබාදී නොමැති හෙයිනි.

එසේ තිබියදී බිල්ලන් මැවීම සඳහාම ඉපදී සිටින සමහරෙක් මේ තලියේද කිඹුලන් දුටහ. ගිවිසුමේ කොන්දේසිවලට වඩා සමහරු  ප්‍රශ්න කරන ලද්දේ, මධ්‍යම රාත්‍රියේ එම ගිවිසුමට අත්සන් තැබීම පිළිබදවය. පසුදා උදෑසන අත්සන් තැබුවා නම් වැඩේ අවුලක් නොමැත්තේද...?

පෙරහැර ගිය පසු නඩුව අහකට

අවසානයේ විමල් ඇතුලු කල්ලියක් සහ ජවිපෙ සහ තවත් පාර්ශ්ව මෙම ගිවිසුමට එරෙහිව අධිකරණයට ගියේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලද්දේ 2022 මාර්තු 04 වෙනිදාය. නගන ලද අභූත චෝදනා ඒ ආකාරයට නීතිය ඉදිරියේ නිෂ්ප්‍රභා වුවද යළි මේ රට පැත්ත පළාතට නිව් ෆෝට්‍රස් ආයෝජනය පැමිණියේ නැත.

 106188259 gettyimages 1060179246 594x594.jpg

යම් හෙයකින් මෙම ආයෝජන ද්විත්වය ක්‍රියාවට නගා තිබුණේ නම් එක්සත් ජනපදය සමග අපගේ වෙළද ශේෂ හිගය, එම පාර්ශ්වයට අවාසි වුවද ආයෝජන සහ එයින් ලැබෙන ප්‍රතිලාභ හේතුවෙන් එක්සත් ජනපදය සමග අවම තරමේ අපට කතා කළ හැකි තත්ත්වයක් හෝ නිර්මාණය වෙනවා ඇත්තේය. අනික් අතට එදා ආණ්ඩුවේ සිටිමින්ම විමල්, ගම්මන්පිල ආදී පිරිස තෙල් සහ විදුලිය සදහා සිදු කළ ආයෝජන සදහා එරෙහි වුවෝය. ගෝඨාභයගේ ආණ්ඩුව සදහා ජනතා විරෝධය එල්ල වූ ප්‍රධාන කාරණා තුන වුයේ ඩොලර් හිගය, ඉන්ධන හිගය සහ විදුලිය කැපීමය. මේ ආයෝජන දෙක වහා ක්‍රියාත්මක කළේ නම් ඒ අවුලට ආණ්ඩුව මුහුණ දෙන්නේ ද නැත. එසේම අද ශ්‍රී ලංකාව පෙලෙන බදු වැඩි කිරීමේ අර්බුදයට ද වත්මන් ආණ්ඩුව මුහුණ දෙන්නේ නැත.


එම අර්බුද මවන ලද විමල් සහ ගම්මන්පිල ද අද පරාජිත දේශපාලනයේ ලකුණු බවට පත්ව මාධ්‍ය හමු පවත්වන මයික් කටාලා බවට ශේෂව හිදින්නේය.

ට්‍රම්ප්ගේ බද්දට වත්තම දෙමුද ?

 එක්සත් ජනපදය බදු පනවන ලද්දේ ශ්‍රී ලංකාවෙන් එරට ආනයන කරන දෑ සදහාය. එය රටක් ලෙස අපට අවාසියක් වුවද වෙනදා ශ්‍රී ලංකාවෙන් එරට යවන ලද රුපියල් සීයයක භාණ්ඩයක් සදහා එක්සත් ජනපද ජනතාව දැන් රු.144ක් ගෙවිය යුත්තේය. එසේම මම බදු වැඩිවීම අතිශය බහුතර ලෙස බලපාන්නේ මෙරට ඇගලුම් ක්ෂේත්‍රය වෙතය.

පසුගිය වසරේ එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනයෙන් අප ලද ආදායම ඩොලර් බිලියන 2.9කි. මෙයින් කොයි තරම් ප්‍රමාණයක් මෙරට කරා පැමිණියේද යන්න අප පළමුව ගණනය කළ යුත්තේය. පසුගිය වසර කිහිපයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් එතෙර බැංකු ගිණුම් හී පාක් වන්නේය. එය මුදලක් ලෙස ගත් විට ඩොලර් බිලියන 2 -4 අතර අගයක් ගන්නේය. එසේ නම් එක්සත් ජනපදය වැඩි කළ බද්ද නිසා ශ්‍රී ලංකාවට අහිමිවන ආදායම මෙම ප්‍රමාණයෙන් අඩු කර ගණනය කළ යුතුව ඇත.

මෙම හිගය පියවා ගැනීම සදහා හොදම ක්‍රමවේදය වන්නේ එක්සත් ජනපද ආයෝජන සදහා ශ්‍රී ලංකාවේ ඉඩ කඩ වැඩිපුර විවර කරදීම සහ එම ආයෝජන සාදරයෙන් පිළිගැනීමය. ඒ ආකාරයට කටයුතු කළ කල්හි ඩොලර් පාක් වීමේ භීතියක් ද අප නැත. අනික අතට එය එක්සත් ජනපදය සහ අප අතර ආර්ථික හොද හිත පිණිස යහපත් පසුතලයක් සපයනවා ඇත. එවැනි ආයෝජන කිහිපයක් සදහා මුල පුරන ලද පසුව එක්සත් ජනපදය සමග සාකච්ඡා කර, බද්ද සදහා යළි සමාලෝචනයක් කිරීමේ අවස්ථාව ද අපට උදා වන්නේය. එසේ නැතිව හිස් අතින් නියෝජිතයන් පිටත් කළ පමණට, ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ තීරණය වෙනස් කරනු ඇත්තේ යැයි සිතන්නේ නම් එය බරපතල මෝඩකමකි. පළමුව කළ යුත්තේ හැරී ගිය ආයෝජන සදහා යළි කතා කිරීමය.


අයෝජන ක්‍රමයෙන් ඩොලර් ගේමු

එක්සත් ජනපදයේ වාසි සහගත ආයෝජනය එළවා දැමුවේ වුවද මේවන විටත් ශ්‍රී ලංකාව තෙල් පිරිපහදු සහ යෝජනා සහ ආයෝජන කිහිපයක් සිදු කර ඇත්තේය. ඒ සියල්ල මෙසේ සාරංශ කළ හැක්කේය.

Screenshot 2025 04 18 150420
ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු සදහා වන යෝජනා සහ ආයෝජන

මේවා අසන දකින එක්සත් ජනපද රාජ්‍යය තමන්ගේ සමාන විෂය කේෂ්ත්‍රයේ තමන්ගේ ආයෝජන එලවා දමා එක්සත් ජනපදය සමග සතුරු සහ අභියෝග සහිත රටවල් සමග ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය දකින කල්හි ජනාධිපති ට්‍රම්ප් බදු ඉහළ දැමීමකට පමණක් යෑම සම්බන්ධයෙන් අප සතුටු විය යුත්තේය.  

වාසිදායකම වෙළද ශේෂය ඇති රටේ ආයෝජන සදහා මේ ආකාරයට සලකා අවාසිදායක වෙළද ශේෂයන් ඇති රටවල ආයෝජන ඉබලා පිළිගැනීම සම්බන්ධයෙන් කෝප වී අපට සම්බාධක නොපවන ලද්දේ ඇයිදැයි විමසා බැලිය යුතුය.

garment 25.04.03

මේ නිසා වහාම එක්සත් ජනපදයෙන් ගලා එන ආයෝජන අපේ රටේ ආර්ථිකයේ සවිමත්භාවය සදහා භාවිතා කළ යුත්තේය. එසේම ඇගලුම් කර්මාන්තය මුහුණ දී ඇති අභියෝගය සදහා විසදුමක් ලෙස විකල්ප වෙළද පොළ ආදිය ද අපට සොයා බැලිය හැකිය. ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරනු ලබන්නේ ලෝකයේ වටිනාම සහ අග්‍රගණයේ ඇදුම්ය. එම සන්නාම සදහා ආසියාවේ ද ඉල්ලුමක් තිබේ. එක්සත් ජනපදය නොවන බටහිර රටවල් සදහා අපට වැඩිපුර අපනයන අවස්ථාව ඇත්තේ දැයි සොයා බැලිය හැකිය. එසේම එක්සත් ජනපදයේ බදු වැඩි කිරීම නිසා සිදුවෙන ඩොලර් පාඩුව එම රටේ ආයෝජන හරහා පියවා ගැනීමට ද හැකියාව ඇත. ආයෝජන ආදායම වෙනත් ස්ථානයක පාක් නොකරන්නේ හෙයින් එය නිදන් ගත වන්නේ ශ්‍රී ලංකාවේය.


සහන කාලයේ උපාය සහ අපේ ඉලක්කය

දින අනුවක සහන කාලයක් මෙම බදු සදහා චීනයට හැර අන් රටවල් සදහා ජනාධිපති ට්‍රම්ප් විසින් ලබාදෙන ලදී. එය ට්‍රම්ප් විසින් අදාළ බදු සදහා පණ නැගී ඇති විරෝධය හේතුවෙන් සිදු කරන ලද අකුලා ගැනීමක් නොවන බව පළමුව අවධාරණය කළ යුත්තේය. අප්‍රේල් දෙවැනිදා බද්ද පනවන විටම එහි නළලේ මෙම සහන කාලය කොටා තිබුණි. අප්‍රේල් දෙවැනිදා ට්‍රම්ප් විසින් සිදු කරන ලද්දේ මුට්ටිය දමා බැලීම පමණය. මේ ආකාරයට ට්‍රම්ප්ගේ බද්ද පැනවීම සහ දින අනුවේ සහන කාලය තේරුම් ගත හැක්කේ ඔහු සිය පළමු ජනාධිපති කාලයේදී ද ඔය සෙල්ලමේ යෙදුණේ බැවිනි.

2018 මාර්තු 23 දා ජනාධිපති ට්‍රම්ප් මේ ආකාරයටම සිය ආර්ථික ජාතිවාදය පතුරුවා හළේය. ඇමරිකානු කර්මාන්ත ආරක්ෂා කිරීම සහ ඇමරිකාව පළමු (යන ඔහුගේ පිළිවෙත අනුව යකඩ සහ ඇලුමිනියම් සදහා හෙතෙම ආනයන බදු පනවන ලද්දේය. චීනය, කැනඩාව, යුරෝපා සංගමය, මෙක්සිකෝව වැනි රටවලින් ඇතිවන අතිරික්ත ආනයනය අවම කිරීම මුලික කර ගනිමින් ඔහු දියත් කළ ක්‍රියා මාර්ගය අනුව මෙම බදු සීමාව පනවා තිබුණි.

chines

25% බද්දක් වානේ ආනයනයට සහ 10% බද්දක් ඇලුමිනියම් ආනයනයට පනවා පැනවුයේ පොදු ලකුණ යටතේ වුවද ඔහු එහිදී ඉලක්කය කරගත්තේ චීනය පමණය. සිය  මිතුරු රටවල් සඳහා තාවකාලිකව බදු නිදහස් කිරීමේ උපාය (Temporary Exemptions) ට්‍රම්ප් එදා ද භාවිතා කළේය. මෙය ගෝලීය වෙළඳ උපායක් (Geopolitical Strategy) මිස එක්සත් ජනපදය පස්සට යෑමක් නොවේ.


මේ වාරයේ ද ට්‍රම්ප් ගියේ ඒ පාරේය. ඔහුට අවශ්‍ය වුයේ තම් රටේ ආර්ථිකය ලෝකය සමග කෙතරම් ගැට ගැසී ඇද්දැයි ‘ඇගට දැනෙන ආකාරයට’ අන් රටවලට කියාදීමය. ඒ සමග බදු පහර ලද සියලු රටවල් තුන් මුනින් තලා වැටී, එක්සත් ජනපදය මත්තේ නහින්නට පටන් ගත්තේය. ආරෝවක පැටලුනේ චීනය පමණය. චීනය සිදු කරන ලද්දේ දේශපාලනය සහ ආර්ථිකය පටලවාගෙන ට්‍රම්ප් සමග සටනට යෑමය.ඒ හේතුවෙන් චීනයට තවත් ආනයන බද්ද වැඩි කරන ලද ජනාධිපති ට්‍රම්ප්, අනික් රටවල් සදහා දින අනුවක සහන කාලයක් ප්‍රකාශයට පත් කළේය. ඒ වනාහි එක්සත් ජනපදය සමග මිත්‍ර අක්ෂය සදහා අන් රටවල් කැදවාගෙන යෑමේ අපේක්ෂාවය.

ට්‍රම්ප්ගේ නිරීක්ෂණ කාලයේ මිත්‍ර ලකුණු දල්වමු

තමන් සමග මිත්‍රත්වය නිරීක්ෂණය කරමින්, සහන කාලය දික් කිරීම සදහා ට්‍රම්ප් පරිපාලනය කටයුතු කිරීම එක්තරා අන්දමකට ආර්ථික සම්බාධකයක් පෙන්වා අනෙක් රටවල් යටපත් කර ගැනීමක් ලෙස ද සැලකිය හැකිය. මේ හේතුවෙන් චීන නිෂ්පාදන විෂයෙහි එක්සත් ජනපද පාරිභෝගිකයාට තෙරපුමක් ඇතිවන්නේය. චීනයේ නිෂ්පාදන සදහා ඇය කරන අධික බදු හේතුවෙන් ඒ සදහා එක්සත් ජනපද වෙළද පොළ වැසි යෑමත් සමග චීනයේ සිටින එක්සත් ජනපදය සදහා භාණ්ඩ නිපදවන සමාගම් අන් රටවල් කරා සේන්දු වීමේ ප්‍රවණතාවක් ඇත්තේය. මෙම ආයෝජන අවස්ථා සදහා ශ්‍රී ලංකාවට ආමන්ත්‍රණය කළ හැකිය.

අනෙක් අතට එක්සත් ජනපදය වෙත අංක එකේ ඇගලුම් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවට තාක්ෂණික ආයෝජන මාර්ගයෙන් තවත් අමතර වෙළද පොළක් එක්සත් ජනපදයේ විවර කර ගැනීම සදහා අවස්ථාව උදා වන්නේය. එවන් එක්සත් ජනපද ආයෝජන සදහා අප වැඩි වැඩියෙන් ඉඩ ලබාදීමත් සමග එහි ආර්ථික මිත්‍රභාවය සදහා පදනමක් ශ්‍රී ලංකාවට හිමිවන්නේය. දැනට අතරමං කර ඇති එක්සත් ජනපද ආයෝජන සදහා අතීතය සහමුලින් අමතා කර ආමන්ත්‍රණය කිරීම, මේ සදහා ඇති පළමු පියවරය. ඒ සදහා පළමුව ව්‍යාපෘතිය බවට තෙල් පිරිපහදුව පත් කර ගත හැක්කේය. එය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් හෙයින් සහ කඩවුණු එක්සත් ජනපද බලාපොරොත්තුව සදහා නව මාවතක් විවර වීම එයින් සිදු වන්නේය.

මේ ආකාරයට අතීතයේ අතරමං කරන ලද එක්සත් ජනපද ආයෝජන සදහා ආමන්ත්‍රණය නොකළහොත්, එක්සත් ජනපද ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබදව ඇති චිත්‍රය වෙනස් නොවන්නේ හෙයින් චීනයෙන් ඉවත්ව යන සහ නව එක්සත් ජනපද ආයෝජන වෙනත් රටවල් කරා ඇදී යෑම වැළැක්විය නොහැක්කේය. එය තවත් වටයකින් එක්සත් ජනපද ආර්ථික මනසේ ශ්‍රී ලංකාව කොන් කරන තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.

73b875f8 2a79 40ba bc6a d4e0ffd3ab5e

 දින අනුවක කාලය තුළ එවැනි සුබවාදී මංලකුණු ශ්‍රී ලංකාව ලකුණු නොකළහොත් අපට අත්වන්නේ ‘චීන මුද්‍රාව’ දරන රටක් ලෙස එක්සත් ජනපදය මනසේ චිත්‍රණය වීමටය. දින අනුව වසරක් දක්වා පළමු කොට දික් කර ගැනීම සදහා වූ සැලසුම දැන් දියත් නොකළහොත්, ඇගලුම් කර්මාන්තය සදහා කණකොකා හැඩීම ස්ථිර සාර වෙනවා ඇත.

Screenshot 2025 04 18 150456

(සටහන | විශේෂ ලියුම්කරුවෙකු විසිනි) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...