The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පළාත් පාලන ඡන්දයෙන් වෙනත් පක්ෂයකින් බලයට එන ආයතන වලට රාජ්‍ය අරමුදල් නොදෙන කතාව ආණ්ඩුවේ පුස් වෙඩිල්ලකි | සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

April 19, 2025 • 7:46 AM

පළාත් පාලන ඡන්දයෙන් වෙනත් පක්ෂයකින් බලයට එන ආයතන වලට රාජ්‍ය අරමුදල් නොදෙන කතාව ආණ්ඩුවේ පුස් වෙඩිල්ලකි | සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවදත් මැතිවරණයකදී බලයේ සිටින ආණ්ඩු විසින් කරන අන්දමටම මේ ආණ්ඩුවත් මැතිවරණය ජය ගැනීම වෙනුවෙන් බලය අයුතු ලෙස යොදමින් එළිපිටම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට පටන්ගෙන තිබේ.
  • ඉන් ප්‍රධානම නීති උල්ලංඝණය නම් ආණ්ඩුවේ ලොක්කන් මැතිවරණ වේදිකාවේ දී කියන පළාත් පාලන මැතිවරණයෙන් වෙනත් පක්ෂයකින් බලයට පත්වන පළාත් පාලන ආයතන වලට වැඩ කිරීම සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීමේ දී අපහසුතා ඇතිවිය හැකි බවට කරන තර්ජනයයි.
  • වෙනදා නම් මෙබඳු කතාවක් ආණ්ඩුවේ වේදිකාවෙන් ඇසුණු පසු මාධ්‍ය සාකච්ඡා පවත්වා ඒ ප්‍රකාශය විවේචනය කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර ලොකු තරඟයක් පවා ඇති වේ.
  • මැතිවරණ කාල වලදී මැතිවරණ නීති වලට අනුකූලව කටයුතු කරන බව සහතික වීම සඳහා පොලිසිය ද ඇතුලුව අධීක්ෂණ කණ්ඩායම් මැතිවරණ බලධාරීන් යටතේ ක්‍රියාත්මක වීම ද සාමාන්‍ය මැතිවරණයකදී අපට දැක ගත හැකි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කවදත් මැතිවරණයකදී බලයේ සිටින ආණ්ඩු විසින් කරන අන්දමටම මේ ආණ්ඩුවත් මැතිවරණය ජය ගැනීම වෙනුවෙන් බලය අයුතු ලෙස යොදමින් එළිපිටම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට පටන්ගෙන තිබේ. ඉන් ප්‍රධානම නීති උල්ලංඝණය නම් ආණ්ඩුවේ ලොක්කන් මැතිවරණ වේදිකාවේ දී කියන පළාත් පාලන මැතිවරණයෙන් වෙනත් පක්ෂයකින් බලයට පත්වන පළාත් පාලන ආයතන වලට වැඩ කිරීම සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීමේ දී අපහසුතා ඇතිවිය හැකි බවට කරන තර්ජනයයි.


වෙනදා නම් මෙබඳු කතාවක් ආණ්ඩුවේ වේදිකාවෙන් ඇසුණු පසු මාධ්‍ය සාකච්ඡා පවත්වා ඒ ප්‍රකාශය විවේචනය කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර ලොකු තරඟයක් පවා ඇති වේ. මෙදා පාර විශේෂත්වය වන්නේ බොහෝ නිරීක්ෂණ සංවිධාන ඒ කතාව ගැන ප්‍රසිද්ධියේ විවේචනය නොකිරීම ය..

එපමණක් ද නොවේ. මැතිවරණ කාල වලදී මැතිවරණ නීති වලට අනුකූලව කටයුතු කරන බව සහතික වීම සඳහා පොලිසිය ද ඇතුලුව අධීක්ෂණ කණ්ඩායම් මැතිවරණ බලධාරීන් යටතේ ක්‍රියාත්මක වීම ද සාමාන්‍ය මැතිවරණයකදී අපට දැක ගත හැකි වේ. පසුගිය පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ කාල වලදී මේ නීති බලාත්මක කිරීමේ බලධාරීන් හෝටල්වලට ගොස් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්නවුන්හට සංග්‍රහ කිරීමට සූදානම් කර තිබුණු ආහාර පාන සංග්‍රහ පවා තහනම් කළ අන්දම අපට මතක ය.

sathosa.jpg

නමුත් රටේ පාලන බලය උසුලන ප්‍රධානීන් මැතිවරණ වේදිකාවේ දී වෙනත් පක්ෂයකට පලාත් පාලන ආයතනයක බලය ලබාදුන්නොත් ඒ ආයතනයට රජයෙන් මුදල් ලබාදීම අසීරු බවක් පවසමින් අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරද්දී නීතිය බලාත්මක කරන බලධාරීන් ක්‍රියා මාර්ගයක් ගන්නවා අප දකින්නේ නැත. මේ සියල්ලෝම සමාධි සුවයෙන් කල්ගත කරනවාද? නැත්නම් යම් යම් අතීත සිදුවීම් මුල් කොට මේ ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ගැන ක්‍රියා කිරීමට බයෙන් සිටිනවාදැයි අප දන්නේ නැත. කෙසේ වුවත් ආණ්ඩුවේ පැත්තෙන් අවුරුදු සමයේ බෙදන්නට ගිය බඩු මලු බෙදීම නතර කිරීමට මැතිවරණ කොමිසමෙන් කළ දැනුම් දීම නම් අගය කළ යුතු ය.


ඒ කෙසේ වෙතත් තම පක්ෂය නොවන වෙනත් පක්ෂයකට පලාත් පාලන ආයතනයේ බලය ගියොත් ආණ්ඩුවේ මුදල් ප්‍රතිපාදන එම සභාවට පහසුවෙන් ලබා නොදෙන බවට ආණ්ඩුවේ ලොකු ලොක්කන් මැතිවරණ වේදිකාවේ කරන තර්ජනය පිළිබඳව මඳක් විශ්ලේෂණය කර බැලීම අත්‍යාවශ්‍ය වී ඇත.

පළාත් පාලන අයතන යනු මේ රටේ ව්‍යවස්ථාදායකය විසින් නීතියෙන් සංස්ථාපනය කර ස්ථාපිත කරනු ලැබූ නෛතික ආයතන ව්‍යුහයකි. එම ආයතන වර්ග තුනක් පවතින අතර මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා යනුවෙන් ඒවා හඳුන්වනු ලැබේ.මේ එක් එක් පළාත් පාලන ආයතන වර්ගයේ සංයුතිය, අදාල විෂයයන් බලතල, කාර්ය භාරය ආදිය සම්බන්ධ විධිවිධාන එකී පළාත් පාලන ආයතනයට අදාල පණතේ විස්තර කර තිබේ. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයකටම තම බල ප්‍රදේශයෙන් ආදායම් උත්පාදනය කිරීම සඳහා ‍රීති පැනවිය හැකි වේ. ඒ අනුව වරිපනම් බදු වෙනත් බදු වර්ග හා ගාස්තු ලෙස සෑම පළාත් පාලන ආයතනයක්ම තම ආයතනයට අනන්‍ය වූ ආදායම් උපයා ගත හැකි වේ. පළාත් පාලන ආයතනයකට මේ අන්දමින් ලබන ආදායම සභාව අනුමත කරන වියදම් සඳහා භාවිතා කිරීමට කිසිදු බාධාවක් නැත. මීට අතිරේකව පළාත් පාලන ආයතනයේ යම්‍ යම් වියදම් ප්‍රතිපූර්ණය සඳහා අදාල පළාත් සභාව විසින් අරමුදල් සැපයීම ද සිදු කරනු ලබයි.

777 1
බොහෝ පළාත් පාලන ආයතන වල කාර්ය මණ්ඩල වැටුප් සඳහා පළාත් සභාවෙන් අරමුදල් ලබාදීම සිදු කෙරේ. එසේම පළාත් පාලන ආයතනය ක්‍රියාත්මක කරන යම් යම් පොදු ව්‍යාපෘති සඳහා ද අදාල පළාත් සභාව විසින් ප්‍රතිපාදන අයදුම් කරනු ලැබේ. පළාත් සභාව විසින් පලාතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හා පළාත් පාලන ආයතනක් මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති රාජ්‍ය ආවැය ලේඛනයක් මගින් මුදල් අයදුම් කරන්නේ මුදල් කොමිසම හරහා ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති ස්වාධීන කොමිසමක් වන මුදල් කොමිසම පළාත් සභා අවශ්‍යතා සඳහා රාජ්‍ය අයවැයෙන් ලබා දිය යුතු මුදල් පිළිබඳ නිර්දේශයන් ආණ්ඩුව වෙත ලබාදීම සිදුකරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන පරිදි රටේ ආණ්ඩුව විසින් මුදල් කොමිසමේ නිර්දේශ මත පළාත් සභා සඳහා ප්‍රමාණවත් අරමුදල් අය වැය ලේඛනයෙන් වෙන්කර දීමට බැඳී සිටියි. මුදල් කොමිෂන් සභාව සිය කාර්ය ඉටු කිරීමේදී සලකා බැලිය යුතු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කර තිබේ.

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා වශයෙන් වන පලාත් පාලන ආයතන නියාමනය පිළිබඳ බලය මුලුමනින්ම පළාත් සභාවලට පවරා දී ඇති නිසා ආණ්ඩුවට කෙලින්ම පළාත් පාලන ආයතන වල කටයුතු වලට මැදිහත් වීම අසීරු ය. ඒ අනුව වෙනත් පක්ෂයකට පලාත් පාලන ආයතනවල බලය වෙනත් පක්ෂයකට ගියොත් රජ්‍ය අරමුදල් ලබාගත නොහැකිය යනුවෙන් ආණ්ඩුව අනියමින් කරන තර්ජනය පුස් වෙඩිල්ලක් හා කයිවාරුවක් පමණි. හුදෙක් බල ලෝභය මුල් කොට මෙබඳු “ගැලරිය පිනවීම්” කරන වත්මන් ආණ්ඩුවේ ලොක්කන් හැඳින්වීම පිණිස යොදන “කයි-තන්”යන දිනෙන් දින රට පුරා ප්‍රචලිත වන්නේ ඔවුන් ගේ මේ කියුම් කෙරුම් නිසා ය.

PET1

2017 වර්ෂයේදී පළාත් පාලන ආයතන රැසක පාලන බලය එවක පැවති ආණ්ඩුවට නොව විරුද්ධ පක්ෂයට ලැබී තිබුණි. එසේ වුවද පළාත් සභාව හරහා පළාත් පාලන ආයතන වලට ලැබුණු මූල්‍ය ප්‍රදානයන්ට ඉන් කිසිදු බාධාවක් වුණේ නැත. එවක විරුද්ධ පක්ෂයේ බලය තිබුණු බොහෝ ප්‍රාදේශීය සභා රාජ්‍ය අරමුදල් ලබාගෙන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘති, ආදහනාගාර, සතිපොලවල් සංවර්ධනය ආදී වටිනා වැඩ සටහන් කර සම්මානයට ද පාත්‍ර විය.

කලකට ඉහත දී ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගත් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දකුණු පළාතේ හොඳම ප්‍රාදේශීය සභාව බවට පත්වන සේ වැඩ කළේ ද රජයේ අරමුදල් ලබා ගෙන ය. එවක රාජ්‍ය පාලනය තිබුණේ එම පක්ෂයට එරෙහි දේශපාලන පක්ෂ අතේය.  

2017 වසරේ විශේෂ රාජ්‍ය ව්‍යාපෘතියක් වූ ගම්පෙරලිය වැඩ සටහන යටතේ බොහෝ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරද්දී එවක ආණ්ඩුව විපක්ෂයේ බලය සහිත ප්‍රාදේශීය සභා මග හැර කෙලින්ම ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් එකී මාර්ග සංවර්ධනය කිරීමට යම් උත්සාහයක් ගත්තද නෛතිකව පළාත් පාලන ආයතනය යටතේ වූ මාර්ග වල එහි අනුමැතිය නොගෙන සංවර්ධන කටයුතු කළ නොහැකි බවට ලැබුණු නීති උපදෙස් මත එකී පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සිදු විය.

 

The Supreme Court of Sri Lanka pic by Madahawa Tennakoon

අනික් අතට ආණ්ඩුවට තම පක්ෂය බලයේ සිටින පළාත් පාලන ආයතනයට එක් ලෙසකටත් විරුද්ධ පක්ෂයක් බලයේ සිටින පළාත් පාලන ආයතනයකට ඊට වෙනස් ලෙසකටත් සැලකීම කළ නොහැක. ඒ රාජ්‍ය පාලනයේදී අසමාන ලෙස සැලකුම් කිරීම ඒකාන්තයෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් වන නිසා ය. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව මෙන්ම සියලුම රාජ්‍ය නිලධාරීහු බැඳී සිටිති. එසේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවලදී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් සහනයක් අයැද සිටීමට ජනතාවට අයිතිය ඇත.

මේ නිසා ආණ්ඩුවේ ලොක්කන් වේදිකාවල “කයි-තන්” ස්වරූපයේ කයිවාරු ගැසූ පමණින් මේ කියන ඒවා කළ නොහැකි බව ජනතාව තේරුම් ගත යුතුව ඇත. ස්වකීය නිදහස් ඡන්දය භාවිතා කිරීමේදී තර්ජන ගර්ජන වලට යට නොවී බොරු පොරොන්දු අල්ලස් අයුතු බලපෑම් වලට යට නොවී නිදහස් හා නිවහල්ව ස්වකීය හෘද සාක්ෂියට අනුව තමන්ට සුදුසුයැයි හැඟෙන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ඡන්දය භාවිතා කර රටේ ප්‍රජාතන්ත්‍රීය පාලනයක් උදෙසා දායකත්වය දීමට මහජනතාව අදිටන් කර ගත යුතු ය.



sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)

කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...