The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුරුණිය: වල් නාශක නැතුව කළ වල් විනාශය (4 කොටස) | ඉන්දු පෙරේරා

T

The Leader Desk

April 19, 2025 • 8:05 AM

කුරුණිය: වල් නාශක නැතුව කළ වල් විනාශය  (4 කොටස) | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුඹුරු යායෙහි ඇලවේලි සකස් කිරීම පොඩි සිඤ්ඤෝ අනෙකුත් ගොවීන් ද සමඟ ආරම්භ කළේ ගොයම් පැළ සිටුවන්නට මසකට පෙර ය.
  • වාණිජ වගාවක් ලෙස සිදු කෙරෙන විශාල කුඹුරු යායවල් අස්වැද්දීමේ දී වී වැපිරීම සිදු කළත් තම තමන්ගේ කුඹුරු වගා කරන ගොවියන් කණ්ඩායම එක් කුඹුරක වෙනම කොටසක උදැල්ලෙන් පස පෙරළා බිම සකස් කර බිත්තර වී දමා තවාන සකසා ගැනීම සිදු කරති.
  • ඒ කණ්ඩායමේ සියලු දෙනාගේම කුඹුරුවලට සෑහෙන ලෙස ගොයම් පැළ සාදා ගන්නට ය.
  • එලෙස ගොයම් පැළ සාදා ගෙන එම පැළ ක්ෂේත්‍රයෙහි සිටුවීම තුළින් බිත්තර වී අපතේ යාම වළක්වා ගතහැකි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
   
 කුඹුරු යායෙහි ඇලවේලි සකස් කිරීම පොඩි සිඤ්ඤෝ අනෙකුත් ගොවීන් ද සමඟ ආරම්භ කළේ ගොයම් පැළ සිටුවන්නට මසකට පෙර ය. එසේ කරන්නට ඔවුන්ට හේතු තිබිණි. මේවා ඔවුන් පාරම්පරිකව දැන කියාගෙන ආ කාරණා වුවද මෙහි විද්‍යාත්මක සත්‍යතාවයක් පවතියි. 
   
 ඊළඟ කන්නයට කුඹුර සූදානම් කිරීම සඳහා එහි තිබෙන ඉපනැල්ල ඇතුළු වල්ගස් කපා දැමූ පසු ඒවා කුඹුරෙහි මඩවලට යටවී එහි තැම්බී  පොහොර බවට පත්වන්නට මසක පමණ කාලයක් ගතවේ. 
 
කුඹුර සකස් කිරීමෙන් පසු පළවෙනි හීය හා ගත යුතුය. හීය හා ගැනීම යනු සී සෑම යි. මේ සඳහා පොඩි සිඤ්ඤෝ ලා භාවිතා කළේ මී හරකුන් ය. හොඳින් මඩ සහිත කුඹුරකට නම් මී හරකුන්ට නගුලක් බඳින්නට අවශ්‍ය වන්නේ නැත. මී හරකුන් දෙදෙනෙකු  බෙල්ලට ගැට ගසන ලද ලීයකින් යා කර ගොන් බානක් සකස් කර ගන්නා අතර සාමාන්‍යයෙන් කුඹුරකට එවැනි ගොන් බාන් පහක්වත් අවශ්‍ය වේ. ඒ ගොන් බාන් පහ පස් දෙනෙකු විසින් කුඹුර පුරා හොඳහැටි දක්කා ගැනීමෙන් ම හීය හා ගත හැකිය. 
පළමු හීය හා ගෙන සති දෙකකින්  දෙවෙනි හීය හා ගත යුතුය. ඒ දිනවලම බිත්තර වී තවාන් දැමීම සිදු කෙරේ. වාණිජ වගාවක් ලෙස සිදු කෙරෙන විශාල කුඹුරු යායවල් අස්වැද්දීමේ දී වී වැපිරීම සිදු කළත් තම තමන්ගේ කුඹුරු වගා කරන ගොවියන් කණ්ඩායම එක් කුඹුරක වෙනම කොටසක උදැල්ලෙන් පස පෙරළා බිම සකස් කර බිත්තර වී දමා තවාන සකසා ගැනීම සිදු කරති. ඒ කණ්ඩායමේ සියලු දෙනාගේම කුඹුරුවලට සෑහෙන ලෙස ගොයම් පැළ සාදා ගන්නට ය. එලෙස ගොයම් පැළ සාදා ගෙන එම පැළ ක්ෂේත්‍රයෙහි සිටුවීම තුළින් බිත්තර වී අපතේ යාම වළක්වා ගතහැකි  වේ.
     
මෙසේ කණ්ඩායමක් එක්ව අත්තම් ක්‍රමයට වී ගොවිතැන් කිරීම අතීතයේ පැවති ක්‍රමයයි. අත්තම් ක්‍රමය යනු මීට පෙර ද විස්තර කළ පරිදි කණ්ඩායමක් එක්ව  සියල්ලන්ගේම කුඹුරු සහයෝගයෙන් යුතුව වගා කර ගැනීම ය. මේ තුළ ශ්‍රමය  අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමක් මිස වර්තමානයේ මෙන් කුලියක් මලියක් ගැනීමක් නැත.
 
IMG 20250311 WA0003
එක්  තවානක් සාදා ගන්නේ  කණ්ඩායමටම සෑහෙන පරිදි නිසා මුළු කණ්ඩායමේම අය වගා කරන්නේ එකම වී වර්ගයකි. එක් තවානකට දැමිය හැක්කේ එකම වී වර්ගයක් පමණි. එකම වී වර්ගයක් එක යායකට දැමීමෙන් ඒවා හැදෙන්නේ වැඩෙන්නේ එකට ය. ඒවාට සාත්තු සප්පායම් කළ යුත්තේ එකම කාලයකදී ය. ගොයම පීදෙන්නේ ද එකටම ය. එනිසා  වී කරල් කන්නට එන කුරුල්ලන් එළවීම ආදිය පහසු ය. අවසානයේ අස්වැන්න නෙලා ගැනීමත් එකම දිනවල දී සිදු කළ හැකිය.
තුන්වෙනි හීය හා ගන්නේ පැළ සිටුවීමට දිනකට හෝ දෙකකට පෙර ය. වී වැපිරීම සිදු කළත් එය එසේම ය.
       
ගොයම් පැළවලට සති දෙක ගත වනවිට ඒවා කුඹුරේ  සිටවිය යුතුය. නමුත් මෙසේ සති දෙකෙන් සිටුවන්නේ මාස 3- 31/2 න් පීදෙන කුරුලුතුඩ, පච්චපෙරුමාල්, බෙහෙත් හීනැටි, කළු හීනැටි, සුදු හීනැටි, සුවඳැල් වැනි වී වර්ගයන් ය. 
 
 
IMG 20250311 WA0007
       
නමුත් වැඩිමල් වී වර්ග ලෙස හැඳින්වෙන පීදෙන්නට මාස 4 - 4  1/2 ක් පමණ ගතවෙන ගෝනබරු, හන්දිරම්, කහරමනා, මා වී වැනි වී තවාන් දැමූ පසු  සති තුනක පමණ කාලයක් තවානෙහි පැළ වර්ධනය විය යුතුය. 
       
ඇලවේලි බැඳීම මෙන්ම ගොයම් පැළ සිටුවීමේදීත් සුබ දවසක්, සුබ හෝරාවක් සහ කරණය ද බලන්නට පොඩි සිඤ්ඤෝ සේම සමකාලීන ගොවියන් අමතක කළේ නැත. වර්තමානයේ ද පාරම්පරිකවම හෙළ වී වගාවෙහි නිරතවන  ගොවියෝ  එවැනි පරපුරින් පරපුරට පැවත ආ සිරිත් විරිත් මඟ නොහරිති. 
       
කණ්ඩායමේ එක් අයකුට අයිති කුඹුරක පැළ සිටුවා අවසන් වූ පසු ඊළඟට කණ්ඩායමේ තවත් කෙනෙකුගේ කුඹුරෙහි  සියලු දෙනාම එක්ව පැළ සිටුවීම සිදුවෙයි. මෙලෙස කණ්ඩායමේ සියලු දෙනාගේම කුඹුරුවල පැළ සිටුවා අවසන් කෙරේ. 
 
 
05
කුඹුරේ පැළ සිටවීම අවසන් වූ පසු පොඩි සිඤ්ඤෝ ලා ගෙදර ට වී ගිමන් හරින්නේ නැත. නිරන්තරයෙන් කුඹුරෙහි ගැවසෙමින්  එහි සියලු සැප දුක් සොයා බැලීම ඔවුන්ගේ සිරිත ය. පැළ සිටුවා දින තුනකින් කුඹුරෙහි වතුර බැඳිය යුතුවෙයි. දවස් තුනක් එම වතුර තියෙන්නට හැර ඊළඟට වතුර බාගෙට කඩා දැමිය යුතුය. පොඩි සිඤ්ඤෝ ලා එය හැඳින්වූයේ පාවක්කඩ කැඩීම ලෙසිනි. එසේ නියර බාගෙට කඩා දමන්නේ සම්පූර්ණ කුඹුරෙහි තිබෙන රොන්මඩ ඉවතට ගලාගෙන යාම වැළැක්වීමට ය. කුඹුරෙහි කළු පැහැයට තිබෙන ක්‍රීම් වැනි මඩ හෙවත් පසෙහි හියුමස් කොටස වී වගාවට අතිශයින් වැදගත් වන පොහොරයි.
   
මෙලෙස පාවක්කඩ කඩා  දිනයක් තියෙන්නට හැර පසුදා කුඹුරට ගොස් සම්පූර්ණයෙන්ම නියර කඩා දැමීම සිදුකෙරේ. 
       
මේ ආකාරයට තවත් දවසක් තියෙන්නට හැර ඊළඟ දිනයේ  නැවත වතුර බැඳීම සිදුවේ. එය දින දෙකක් තියෙන්නට හැර ඉන්පසු වතුර කඩා දැමීමෙන් පසු  යළිත් වතුර බැඳීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත.
       
මෙය සාමාන්‍ය තත්ත්වය වුවත්, දේශගුණයට අනුව, වැසි සහිත කාලගුණයක් නම් ඒ අනුව, කුඹුරෙහි විශාලත්වය අනුව මෙහි යම් යම් වෙනස්කම් සිදුවිය හැකිය. ඒවා පොඩි සිඤ්ඤෝ ලා කරන්නේ පළපුරුද්දට අනුව මිසක් මේවා කියා දෙන පොත්පත් තිබුණේ නැත. 
 
 
IMG 20250311 WA0001
මෙසේ වතුර කඩමින් නැවත බඳිමින් සිදු කරන ක්‍රියාවලිය තුළ වල් ගස් ඇතිවීම පාලනය කිරීමක් සිදුවිය. වතුර බැඳ තිබෙන විට මඩවලින් වල් ගස්වල බීජ යට  වෙන නිසා ඒවාට හිරු එළිය වැදීම වළකින බැවින් පැළ වීමට තිබෙන  අවකාශ නැති වී යයි. ඊළඟට ගොයම් ගස ටිකෙන් ටික වර්ධනය වන විට එම ගොයම් කොළවලින් පොළොව වැසෙන නිසා එවිටද වල් ගස්වලට පැළ වෙන්නට නොහැකි වන්නේ හිරු එළිය ඒවාට වැදීමට බාධා ඇති වන බැවිනි.  
IMG 20250321 WA0004
 
ඒ පොඩි සිඤ්ඤෝලා වැනි  අතීත පරම්පරාවේ උදවිය  අනුගමනය කළ ස්වභාවික වල්  පාලන ක්‍රමයකි. ඔවුන් කිසි විටෙකත් වල් නැසීම සඳහා මහපොළොවට වස යෙදුවේ නැත. වැපිරූ දා සිට ම වී අස්වැන්න නෙලා ගන්නා තුරුම  දරුවෙක් බලන්නට යන ගමනක් මෙන් දිනපතා උදේට  කුඹුරට ගිය පොඩි සිඤ්ඤෝලා ගොයම් අතර මැද  වැවෙන වල් ගස් අතින් උදුරා දමන්නේ ඒවා කුඩා කාලයේදීම ය. 
     
මෙලෙස  හිමිකරුගේ දෑතෙහි ස්පර්ශය ලබමින්, හිමිකරු විසින් ආදරයෙන් කරනු ලබන සුවදුක් සොයා බැලීම්වලින් වැඩෙන ඒ ගොයම් ගස සෙනෙහස කැටි කරමින්ම ගොවීන් වෙත ආපිට ලබා දුන් වී අස්වනු  මිනිසාට කිසිසේත්  අහිතකර වුණේ නැත. පොඩි සිඤ්ඤෝලාගේ යුගයෙහි ඔවුන්ගේ ගෙවල්වල තුන්වේලම කෑවේ බත්  ය. ඒ දැන් අපට වෛද්‍යවරුන් උපදෙස් දෙන ලෙස අයුරින් බත් පීරිසි කෝප්පයක් සමග එය වැසෙන්නට දමාගත් එළවළුවලින් නොවේ.   එක් වේලකට ඔවුහු මැටිකෝප්පයක් පිරෙන්නට බත් කෑහ. ඒ බත්වලට ඔවුන්ම වවා ගත් එළවළු  තිබිණි. කොස් කාලයට කොස් ද, කොස් අවාරයට අටුකොස්, කොස් ඇට වැනිදෑ ද, දෙල් වාරයට දෙල්, දෙසැම්බර් ජනවාරිවල රාජාල හිඟුරල රට අල ආදී වශයෙන් වූ අල ගලවන කාලයට අල,  මඤ්ඤක්කා බතල වැනිදෑ,  ඒ හැරුණු විට කට්ට කරවල හොදි වැනි කරවල වර්ගයක් යන ආදී දේවල් ඒ බත් මැටි කෝප්පය තුළ විය. මෙවැනි කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර  පාලනය කරන ලෙස වෛද්‍යවරුන් කීවේවත්, ඒවා නිතර නිතර ගැනීමෙන් ඔවුන් තරබාරු වූයේවත්, දියවැඩියාව හෝ කොලෙස්ටෙරෝල්  ආදී මෙකී නොකී දහසක් රෝග වැළඳුනේවත් නැත.  
 
     
siyatha news templete124
 වත්මන් යුගයේ ගොවියන් වපුරා දින දහයකට පසු වස ටැංකිය පිටේ බැඳගෙන කුඹුර පුරාම වස ගසන්නේ වල්නාශක වර්ධනය වීම පාලනය කරන්නට ය. ඉන්පසු පියවරෙන් පියවර ඔවුන් තව කී වාරයක් නම් පොළොවට වස මුසු කරන්නේද? ඒවා වී වලටත් කා වදින්නේ නැද්ද? එක පැත්තකින් අපි එලෙස වස අනුභව කරන්නෙමු. අනෙක් පැත්තෙන් සොබා දහමට සියලු ආකාරයේ කෙනෙහිලිකම් කරන්නෙමු. මිනිසා විසින් කරනු ලබන මේ ක්‍රියාකාරකම් නිසා හේතු සොයා ගන්නට බැරි තරම්, නිශ්චය කරගන්නට බැරි තරම් රෝග අප වෙත  ලබාදෙමින් සොබා දහම අපට දැඩි දඬුවම් පමුණුවමින් සිටියි. සොබා දහම සමග එරෙහි වී අපට මේ ගමන තව ඒ හැටි කාලයක් යන්නට බැරි ය. මිනිසා සොබා දහමට අනුකූල  නොවන තාක් කල්, ලෙන්ගතු නොවන තාක් කල් සොබා දහමේ දඬුවම්වලට ලක්වීමට නියත වශයෙන්ම  සිදුවන අතර අප සිහි තබා ගත යුත්තක් වන්නේ කිසිවිටෙකත් සොබා දහම ඉක්මවා යන්නට මිනිසාට තබා කුමන ජගතෙකුටවත් නොහැකි බව ය. 
  
තවත් කොටසකින් යළිත් හමුවෙමු.
 
පැරණි හෙළ වී වගාව සම්බන්ධ සියලු තොරතුරු සහ ඡායාරූප සපයා දෙමින් සහාය වන ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයෙහි (LOAM) පුහුණු උපදේශක ඉන්දික සම්පත් මහතාටත්, මෙම ලිපි පෙළ සඳහා අනුග්‍රහය දක්වන එම ආයතනයෙහි සභාපති තිලක් කාරියවසම් මහතාටත් බෙහෙවින්ම ස්තූතියි.
        
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුරුණිය: වල් නාශක නැතුව කළ වල් විනාශය (4 කොටස) | ඉන්දු පෙරේරා | The Leader