The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජලභීතිකාව වවාගෙන කන්න නම් ලෑස්ති වෙන්න එපා | පශු වෛද්‍ය චමිත් නානායක්කාර

T

The Leader Desk

April 20, 2025 • 6:22 AM

ජලභීතිකාව වවාගෙන කන්න නම් ලෑස්ති වෙන්න එපා | පශු වෛද්‍ය චමිත් නානායක්කාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්ව ජලභීතිකා රෝගය තුරන් කරන්න නම් සත්තුන්ගෙන් 80% ක ප්‍රමාණයකට ජල භීතිකා එන්නත් ලබාදිය යුතුයි.
  • % ක ගහණයට එන්නත් කරන්න නම් ඒ 80% කියන ප්‍රමාණය අඩු ප්‍රමාණයක් වෙන්න ඕනේ.
  • ලොකු සත්ව ගහණයක් හිටියොත් ඒ 80% එන්නත් කරන්න අමාරුයි.
  • ඉන්පස්සේ එක් දහස් නවසිය හැත්තැ ගණන්වල ඉඳන් 2006 වසර වෙනකල්ම දිගින් දිගටම මේ සතුන් ලක්ෂය ගණනේ මරා දැම්මා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සත්ව ජලභීතිකා රෝගය තුරන් කරන්න නම් සත්තුන්ගෙන් 80% ක ප්‍රමාණයකට ජල භීතිකා එන්නත් ලබාදිය යුතුයි. විශේෂයෙන් සුනඛයන්ට. සුනඛයන් තමයි මනුෂ්‍යයන් සමඟ ළඟින්ම සම්බන්ධකම තියෙන්නේ. 80% ක ගහණයට එන්නත් කරන්න නම් ඒ 80% කියන ප්‍රමාණය අඩු ප්‍රමාණයක් වෙන්න ඕනේ. ලොකු සත්ව ගහණයක් හිටියොත් ඒ 80% එන්නත් කරන්න අමාරුයි. ඒ නිසා තමයි ගහණ පාලනයක් අවශ්‍ය වෙන්නේ.

dogo1

 

ගහණ පාලනය කරන්න ක්‍රම තුනක් තිබෙනවා. 1973 ලංකාවේ තුන් සිය ගණනක ප්‍රමාණයක් විතර ජලභීතිකාවෙන් මිය යනවා. එතකොට තීරණය කරනවා මේ ගහණය පාලනය කරන්න සත්තු මරන්න ඕනේ කියලා. ඉන්පස්සේ එක් දහස් නවසිය හැත්තැ ගණන්වල ඉඳන් 2006 වසර වෙනකල්ම දිගින් දිගටම මේ සතුන් ලක්ෂය ගණනේ මරා දැම්මා. ඊට පස්සේ මුළු ලෝකය තුළම සතුන් සම්බන්ධයෙන්, සත්ව සුබ සාධනය සම්බන්ධයෙන් ලෝකයේ මිනිස්සු කතා කරන්න, උනන්දු වෙන්න, ඒ සම්බන්ධයෙන් සටන් කරන්න පටන් ගත්තට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා වෙලා ඉන්න කාලේ එතුමා බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ සුනඛයන් මරණ එක නතර කළා. එසේ නතර කළත් සුනඛ ගහණය අඩු කරන්න ක්‍රමවේදයක් තිබුණෙ නෑ. ඊට පස්සේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා ජාතික ජලභීතිකා මර්දන කමිටුවක් පිහිටෙව්වා. ඒ කමිටුවට මමත්, කැක්පෝ එකේ චම්පා ප්‍රනාන්දු මහත්මියත් එකතු වුණා.

 95824499 5

ඊට පස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවසානයේ දී චම්පා ප්‍රනාන්දු මහත්මියගේ කැක්පෝ ආයතනයත්, වෙට්ස් ෆො ෆියුචර් අපේ ආයතනයත්, මමත්, ඩොක්ටර් උදයත් අපි ටික එකතු වෙලා මහනුවර, උඩුනුවර ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් කළා. සුනඛ ගහණය පාලනය කිරීම සඳහා සුනඛයන් මරා දැමීම 2006 දි නතර කිරීමෙන් පසු ගහණය වැඩිවීමක් වුණාට පසුව තමයි අපි නියමු ව්‍යාපෘතිය කරලා රජයට භාර දුන්නේ. ඊට පසුව රජය තීරණය කළා 2008 අවුරුද්දේ ඉඳලා සුනඛගහණය පාලනය කරන්න වන්ධ්‍යාකරණ සැත්කම් කරන්න ඕනේ කියලා. ඒක තමයි අපේ නියමු ව්‍යාපෘතියේ අදහස වුණේ.

2008 ඉඳන් මේ වැඩසටහන ආරම්භ කරන්න ගත්තා. නමුත් ඒ සඳහා සැකිල්ලක් සකස් වෙලා තිබුණේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තමයි මේක කරන්න තීරණය කළේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය යාන්ත්‍රණයෙන් ගමටම යන ක්‍රමවේදයක් තිබුණු නිසා තමයි මේ විදිහට කරන්න තීරණය කළේ. එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හිටියේ වෛද්‍ය මහීපාල මහතායි. පසුව එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වුණා.

සෞඛ්‍ය ලේකම් ධුරය පාලිත මහීපාලට - කුප්‍රකට ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවේ  විමර්ශන ඉදිරියටවෛද්‍ය පාලිත මහීපාල
එම ව්‍යාපෘතිය ආරම්භ කළාට මේක කරන්න පශු වෛද්‍යවරුන් හිටියේ නෑ. මේ නිසා කොහොමද මේක කරන්නේ කියලා ගැටලුවක් මතුවුණා. නියමු ව්‍යාපෘතිය කළේ අපි නිසා අපෙන් ඉල්ලීමක් කළා මේ වැඩසටහන කරන්න පුළුවන්ද? කියලා. මේ වන විට මමත්, වෛද්‍ය උදයත් වෙන වෙන වැඩවල හිටියේ. වෛද්‍ය මහීපාල මහත්මයා කතා කළ නිසාත්, සෞඛ්‍ය ඇමතිතුමාගේ ඉල්ලීම නිසාත් අපි වැඩේට සම්බන්ධ වුණා. අපි කරගෙන හිටපු වෘත්තීයමය කටයුතු අතහැරලා තමයි මේ වැඩේට සම්බන්ධ වෙලා වැඩ කරන්න පටන් ගත්තේ. 2008 ඒ වැඩසටහන පටන් අරන් අවුරුදු පහකින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාර දෙනවා කියන අදහසක් සහ වැඩපිළිවෙළක් ඒ වැඩේ ඇතුලේ තිබුණා. අපි මධ්‍යම පළාතෙන් ආරම්භ කරලා සබරගමුව පළාතේත් ස්ථාන ගණනාවක කළා. ඊට පස්සේ අපේ සංවිධානයට අමතරව වෙන වෙන කණ්ඩායමුත් අපිත් එක්ක එකතු වුණා.

පළවෙනි කාරණය තමයි මේ වැඩසටහන මුලින්ම ආරම්භ කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ආපු සුනඛයින් මරණ එක වෙනුවට ආදේශ වුණු ගහණ පාලන ව්‍යාපෘතියක් විදිහටයි. ඒ වන විට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහනට කිසිම සම්බන්ධයක්වත්, දායකත්වයක්වත්, අඩුම තරමින් ඒ සම්බන්ධ සාකච්ඡාවක්වත් මේ 2006 – 2008 වෙනතුරුම තිබුණෙ නෑ. මේ වැඩසටහන මෙහෙම කරගෙන යනකොට අවුරුදු පහෙන් බාර දෙන්න හිටියට ඒ වෙන කොට මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ හරිශ්චන්ද්‍ර මහත්මයා කැමති වුණේ නෑ මේක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාර දෙන්න. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් එතනින් එහාට අරගෙන ගියේ නෑ. නමුත් ඊට පස්සේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සාකච්ඡා කර 2018 වසරේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේ රාජකාරිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරා ගත්තා.

 

Veterinarians

අපි කවුරුත් දන්න දෙයක් වගේම අපි කවුරුත් පිළිගත යුතු දෙයක් තමයි ලංකාවේ පශු වෛද්‍යවරුන් ඉන්නේ ආයතනයක් විදිහට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. එතන පශු වෛද්‍යවරුන් හාරසීයක් පමණ ඉන්නවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ අනික් සංවිධාන කොන්ත්‍රාත් පදනම මත අරගෙන. මේ විදිහට කරගෙන ගිහින් 2018 සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාර දුන්නා. හැබැයි මාස හයක්වත් යන්න කලින් ඒ වැඩසටහන අසාර්ථකයි කියලා වැරදි චෝදනා කරලා නැවත වාරයක් වැඩසටහන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ම පවරා ගත්තා. 2017 වෙනකොට අපේ සංවිධානයේ පශු වෛද්‍යවරුන් තිස් පස් දෙනෙක් විතර හිටියා. ඊට පස්සේ අපි ළඟ හිටපු පශු වෛද්‍යවරු සියලු දෙනාම රාජ්‍ය සේවයට එකතු වුණා.ඒක තමයි ඇත්ත කතන්දරේ.

 

අපේ ආයතනය විදිහට අපි තීරණය කළා නැවත වාරයක් අපි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ නෑ කියලා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ සිදුවුණු අසාධාරණය සම්බන්ධයෙන් අපිත් විරෝධතාවයක් දැක්වූවා. විරෝධතා රැළිවලට පෙළපාළිවලට ගියා.

ඊට පස්සේ නැවත වාරයක් 2019 අවුරුද්දේ සබරගමුව පළාත් අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පෞද්ගලිකව කතා කරලා කිව්වා මේ වැඩසටහන අරගෙන කරන්න කියලා. හැබැයි අපි ඒකට කැමති වුණේ නෑ. අපි එක්කම වැඩ කරමින් සිටි පශු වෛද්‍යවරයකු වන පරාක්‍රම අපි එක්ක සාකච්ඡා කරලා අපේ කණ්ඩායමෙන් කොටසක් අරගෙන වෙනමම ආයතනයක් පිහිටුවා ගෙන එයා වැඩසටහන ආරම්භ කළා.

ඊට පස්සේ අපි 2020 අවුරුද්දේ කපිල කන්නන්ගර පළාත් අධ්‍යක්ෂ තුමාගේ ඉල්ලීම පිට සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් කළා. මොකද රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ වෙනකොට අපි නිශ්චිත වැඩපිළිවෙළක් කරලා සාර්ථක ප්‍රතිඵල අරගෙන තිබුණු නිසා. කෑගල්ල දිස්ත්‍රික්කයේ කළේ පශු වෛද්‍ය පරාක්‍රම යි.

2020 අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ මේ කාර්යය කරපු ආයතනයට සුනඛයන් ඇල්ලීම සම්බන්ධයෙන් ප්‍රශ්න තිබිලා ඒගොල්ලන්ව ඒ වැඩසටහනෙන් නතර කරලා කොළඹ වැඩසටහන අපට කරන්න කියලා කිව්වා. මොකද ඒ වෙනකොට කොළඹ තිබුණේ ගොඩක් නරක තත්ත්වයක්. කොළඹ නිතරම ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ලේකම්වරුන් වැනි අය යන එන නිසා කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ සුනඛ ගහණය වැඩිවීමේ අර්බුදයක් ආවොත් ගැටලුවක් වන නිසා අපිට එය කරන්න කියන ඉල්ලීම මත අපි 2020 අවුරුද්ද ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයේ කළා.

මේ විදිහට 2018 සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහන භාර ගත්තට පස්සේ නැවත වාරයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එය ආපසු ගත්තත් අප ගත්තු තීරණයක් මත ලංකාවේ ඒ දිස්ත්‍රික්ක කිහිපයක හැර සමස්ත දිස්ත්‍රික්ක පුරාම අපි වැඩ කළේ නෑ. පශු වෛද්‍ය පරාක්‍රම පසුගිය වසරේ ලංකාවෙන් ගිය නිසා අප ගිය වසරේ මධ්‍යම පළාතේ කළා. ඒ විදිහට තමයි අපි මේකෙ වැඩ කළේ.

 

z p43 better 1
අපේ ආයතනයට මේ අවුරුද්දට අවුරුදු 25 යි. 2010 අවුරුද්දේ ඉඳලම ලංකාවේ තිබුණ සත්ව සුබ සාධන සංවිධානත් එක්ක අපි මේ වැඩපිළිවෙළ කරමිනුයි හිටියේ. හැබැයි අපි රජයේ වැඩපිළිවෙළ කරපු නිසා 2017 වෙනකල් අපේ වැඩ ටික තාවකාලිකව නතර කරලා තිබුණේ. නමුත් නැවත වාරයක් අපි ඒගොල්ලොත් එක්ක වැඩසටහන ආරම්භ කරලා 2018 ඉඳන් මේ වෙනකොට සුබ සාධන සංවිධාන 12 ක් එක්ක වැඩ කරනවා. ඒ වගේම පෞද්ගලික අයත් තව හත් දෙනෙක් එක්ක අපි වැඩ කරනවා.

ලංකාවේ අපේ සංවිධානය, සත්ව සුබ සාධන සංවිධාන එක්ක එකතු වෙලා පහුගිය අවුරුදු හතර පහේ විතර ඉඳලම හැම අවුරුද්දෙම සත්තු 25000කට වඳ සැත්කම කරනවා. ඒ රජයේ මුදල්වලින් නෙමෙයි, සත්ව සුබ සාධන සංවිධානවලට පිටරටවලින් එන මුදල් කේන්ද්‍ර කරගෙන. ඒ වගේම අපි ජල භීතිකා එන්නත් පනස් දහසකට වැඩිය ලබා දෙනවා. ඒවත් රජයේ එන්නත් නෙවෙයි ඒ සංවිධාන මිලදී ගන්නා එන්නත්.

54728002 2158598864453114 5993050614395830272 n

 

2018න් පස්සේ මේ වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරන්න ඕනේ කියලා අපි දිගින් දිගටම කිව්වේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනීමක් නැති නිසා. මොකද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න පශු වෛද්‍යවරුන්ට තමයි මේ ගහණය සම්බන්ධයෙන් සහ ගහණ කළමනාකරණය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්නේ. දැන් බලන්න කොරෝනා වෛරසය ආපු වෙලාවේ පශු වෛද්‍යවරුන් ගියේ නෑනේ කොරෝනා වෛරසය මර්දනය කරන්න. ඒක අනෙකුත් වෛද්‍යවරුන්ගේ වැඩ කොටසක්. ඔවුන් එය ඉතා විශිෂ්ට ලෙස කළා.

ඒවගේ ජල භීතිකාවෙත් තියෙනවා කොටස් දෙකක්. සතුන් අතර පැතිර යන වෛරසය සහ සතුන් සපා කෑවට පස්සේ මිනිසුන්ගෙන් වෛරසය පැතිරී යාම වළක්වා ගැනීම වශයෙන්. ඉතින් අපි පැහැදිලිවම පිළිගත යුතු කාරණය තමයි සත්ව ජලභීතිකාව තුරන් කරන වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දිය යුතුයි. මොකද එතන තමයි පශු වෛද්‍යවරුන් ඉන්නේ. එහෙම නැතුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක ටෙන්ඩර් දාලා පශු වෛද්‍යවරුන් අරගෙන කරන එකේ කිසිම තේරුමක් නෑ. මොකද ඒක තුළ ඒ අදාළ ඉලක්කයන්වලට යන්න බෑ.

54729333 2158599831119684 7146179978239934464 n

 

උදාහරණයක් විදිහට ගත්තොත් ගිය අවුරුද්දේ මිලියන දෙසීයක් අනුමත වුණා මෙම වඳ සැත්කම් කිරීම හා ජලභීතිකා රෝගය මර්දනය කිරීමේ වැඩසටහනට. හැබැයි ඒ මිලියන දෙසීයෙන් වඳ සැත්කම් කිරීම සඳහා පාවිච්චි කළේ මිලියන සීයක් පමණයි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඒ මිලියන 200 දීලා තිබුණ නම් ඒ අයට තමන්ගේ පශු වෛද්‍ය කාර්යාලවල මේ වැඩසටහන කරලා සාර්ථක කරගන්න පුළුවන්.

අපි ජලභීතිකා රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් අවුරුදු විසිපහක් අපේ ජීවිතය කැප කරලා වැඩ කරපු සංවිධානයක් විදිහට මේකට කළ යුතු හොඳම දේ කියන්න අපට අයිතියක් තියෙනවා. මේක අපේ ජීවිතය. අපි ජීවිතය කැප කරලා කොන්දේ අමාරු හදාගෙන, කකුල් අමාරු හදාගෙන අත්වල කරගැට එනකල් සැත්කම් කරලා, ඒවට මොඩ්ල්ස් කරලා අපි මේ වැඩසටහන කළේ ජලභීතිකාව ලංකාවෙන් තුරන් කරන්න අපේ ශක්තිය ලබා දෙන්නයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට ලංකාවේ කරපු කිසිම මොඩ්ල් එකක් නෑ. 2008 ඉඳලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වඳ සැත්කම් කළාට “මෙන්න අපි නියමු ව්‍යාපෘතියක් කරලා තියෙනවා. ඇවිත් බලන්න. මේ දිස්ත්‍රික්කයේ අපි අවසන් කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්කයේ ගහණය අඩුයි” කියලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පෙන්වන්න කිසිම තැනක් නෑ. හැබැයි අපේ ආයතනය විදිහට අපි සත්ව සුබසාධන සංවිධානවල උදව් අරගෙන, ඒ අයගේ මුදල් අරගෙන මේ වෙනකොට ලංකාව ඇතුලේ ඉතාම සාර්ථක නියමු ව්‍යාපෘති දොළහක් කරලා තියෙනවා.

53781153 2158599934453007 2552286141009100800 n
හැබැයි මේ නියමු ව්‍යාපෘති කරනකොට මොනවද කරන්නේ? ඇයි කරන්නේ? කොහොමද කරන්නේ? සාර්ථකද? අසාර්ථකද? කියලා කියන්නවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අපෙන් මේ ගැන ඇහුවේ නෑ. අපිව කැඳෙව්වේ නෑ. අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩසටහන් කරනකොට වෙන අඩුපාඩු ගැන අපි පෙන්වලා දුන්නා. හැබැයි ඒ කිසි දේකට ඔවුන් ඇහුම්කන් දුන්නේ නෑ.

මේ වෙනකොට අපි සාර්ථක නියමු ව්‍යාපෘති රාශියක් කරලා තියෙනවා. ලංකාවේ ඕන කෙනෙකුට ඇවිල්ල බලන්න පුළුවන් මොනවද මේ අවුරුදු විසිපහ තුළ අපි කරලා තියෙන්නේ කියලා. මෙච්චර කල් මේ තිබුණු දේවල් සම්බන්ධයෙන් අපි කාගෙවත් නමක් කිව්වේ නෑ. හැබැයි අපි අද නම් කියනවා. අප සම්බන්ධයෙන් සහ අපේ හිතවත් සත්ව සුබ සාධන සංවිධානවල ඉන්න නියෝජිතයින් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කරමින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහන තවදුරටත් ඒ අය ළඟ තියාගන්න යනවා.

මේ වතාවේ ආණ්ඩුවෙන් රුපියල් මිලියන 200ක් පාස් වෙලා තිබුණට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වතාවේ වඳ සැත්කම් කරන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය වඳ සැත්කම් කරන්නේ නෑ කියලා අපි කිව්වාම ඒගොල්ලො හිතනවා සෞඛ්‍ය අමාත්‍යංශය වඳ සැත්කම් කිරීම නතර කරපු නිසා තමයි අපි මේ ගැන කියන්නේ කියලා. ඒක විහිළුවක්. බොරුවක්. ඒක මේ විද්‍යාව දන්නෙ නැති අඥාණයින්ව “අන්දන්න” කියන කතාවක්. මොකද උත්තර දෙකයිනේ තියෙන්නේ. සුනඛ ගහණයක් කළමනාකරණය කරන්න ඕනෙ නම් එක්කෝ වඳ සැත්කම් කරන්න ඕනේ. එහෙම නැත්නම් සත්තු මරන්න ඕනේ.

54267917 2158600087786325 7603460834097889280 n

 

සෞඛ්‍ය අමාත්‍යාංශය කරපු වඳ සැත්කම් ටික නතර කළාට පස්සේ ගහණය වැඩි වුණාට පස්සේ මොකක්ද කරන්නේ? ආයෙ සත්තු මරන්න වෙනවා. සත්ව සුබ සාධන සංවිධාන විදිහට, ඒ ගැන මැදිහත් වුණු අය විදිහට අපි ‘සෞඛ්‍ය අමාත්‍යාංශය සත්ව ගහන කළමනාකරණ වැඩසටහන් නතර කළේ ඇයි? ඒක වැරදියි’ කියලා පෙන්වා දුන්නට පසුව ඒකට වෙනත් අර්ථ කථන දෙන්න යන්න එපා. මේ විද්‍යාව තේරෙන්නේ නැති මිනිස්සුන්ව අන්දන්න හදන්න එපා. ඒක තමයි මගේ පළවෙනි කාරණය.

දෙවෙනි කාරණය මතක තියා ගන්න. ගිය අවුරුද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වඳසැත්කම් තිස් දාහක් කරනකොට සත්ව සුබ සාධන සංවිධානවල අපි සත්තු තිස්පන්දාහකට වඳ සැත්කම් කළා. හැබැයි ඒ රජයෙන් සත පහක්වත් ගන්නේ නැතුව. එතකොට ලංකාවේ මේ ගහණය පාලනය වෙලා තියෙන්නේ සුබ සාධන සංවිධානවලින් දෙන දායකත්වය නිසා මිසක, සත්තුන්ට ආදරය කරන මිනිසුන් දෙන දායකත්වය නිසා මිසක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සැත්කම් කරපු සත්තු තිස්දාහ හින්දා නෙමෙයි. ඒ හින්දා කරුණාකරලා මතක තියාගන්න මුලින්ම අපි කරන්නේ මොකක්ද කියන එකට ගෞරවයක් දෙන්න.

dogo767

 

දැන් ඔය ඉන්න ආනල් සහ අතුල කියන වෛද්‍යවරුන් දෙන්නා හැම තැනම කියාගෙන යනවා අපි මේ සත්ව සුබ සාධන සංවිධානවලට ඕන නිසා මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අරගෙන සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දෙන්න යනවා කියලා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ වැඩසටහන දුන්නට පස්සේ සත්ව සුබ සාධන සංවිධානවලට තියෙන වාසිය මොකක්ද? සත්ව සුබ සාධන සංවිධාන විදිහට අපි වැඩපිළිවෙළක් ක් දිගටම කරගෙන යනවා. ඒක අපි රටේ ජලභීතිකා මර්දනයට කරන උදව්වක්. මේක කොයිතරම් විහිළු සහගත තත්ත්වයක්ද කියලා කියනව නම් පහුගිය දවසක එක වෛද්‍යවරයෙක් ගිහින් සබරගමුවේ ආණ්ඩුකාර තුමිය හම්බවෙලා ජලභීතිකා එන්නත් ලබාදීමට හමුදාවේ ඉන්න සොල්දාදුවන් සම්බන්ධ කරගන්න වැඩසටහනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.

මම කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පශු වෛද්‍යවරුන් විදිහට සත්තුන්ට බෙහෙත් කරන්න විශේෂඥයින් ඉඳිද්දි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඒ අයත් එක්ක විධිමත් සාකච්ඡාවක් කරලා ඒ අයව මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ නැතුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් යනවා හමුදාවේ සොල්දාදුවන් ලවා එන්නත් කරවා ගන්න. කොරෝනා කාලයේ නම් හැම දෙනාටම එන්නත් කරන්න සෞඛ්‍ය අංශයේ නිලධාරීන් මදි වුණු නිසා හමුදාවේ අය ඒකට පුහුණු කරලා සම්බන්ධ කර ගත්තා. හැබැයි මෙතනදි කරන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සිටියදී ඒ අයගෙන් උදව් ගන්න එක සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරන්නේ නැතිව ඒ අය පැත්තකට දාලා සත්තුන්ට එන්නත් කරන්න හමුදාවේ සොල්දාදුවන් පුරුදු කරන්න යන එක.

 

health ministry 241125
පළවෙනි කාරණය ඒක ඇතුලේ සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙනවා. මම කියන පළවෙනි කාරණය තමයි ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න ඉහළ නිලධාරීන්ට මේ ජලභීතිකාව තුරන් කිරීමට අවශ්‍යතාවයක් නෑ. එයාලා මේක නඩත්තු කරනවා. ඒ නිසා එයාලා බයයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේක භාර දෙන්න. භාර දුන්නට පස්සේ මේක හොඳින් කරලා ඉවර වුණොත් ඒගොල්ලන්ට යම්කිසි ආදායම් මාර්ගයක් නැතිවෙනවා කියලා එකක්වත් තියෙනවද කියලා අපට දරුණු සැකයක් තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලිව්වා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිතුමාටත් ලිව්වා. හැම කෙනාටම ලිව්වා. හැබැයි ඒ අයත් මේ ගැන කිසිම දෙයක් තාම කරලා නෑ. මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා. මම කියන්නේ සත්ව සුබ සාධන සංවිධානවල ඉන්න අපි ආණ්ඩුවට කියනවා අපි ගැන හොයලා බලන්න. අපි කරපු වැඩ ගැන හොයලා බලන්න. අපි කරන වැඩ ගැන හොයලා බලන්න.

ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි ක්‍රමවේදයක් නිර්මාණය කරන්නේ නැතුව, අඳුරේ අතපත ගාන නිලධාරීන් සම්බන්ධයෙනුත් හොයලා බලන්න ඇයි මෙහෙම කරන්නේ කියලා. ඕන මෝඩයෙකුට තේරෙනවා, වඳ සැත්කම් කරන්න, එන්නත් කරන්න නිලධාරීන් ඉන්නෙ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නම්, සත්ව ජලභීතිකාව තුරන් කළ හැකි අය ඉන්නේ එතන නම් වැඩසටහන එතනට භාර දෙන්නේ නැතුව, එතනත් එක්ක සාකච්ඡාවක්වක් විධිමත්ව කරන්නේ නැතුව ඇයි ඒක ඒගොල්ලෝ මේ විදිහට කරන්න යන්නේ? මොකක්ද ඒගොල්ලන්ගේ තර්කය? මට තේරෙන්නේ නෑ. ඒ හින්දා අපි ආණ්ඩුවට කියනවා සත්ව සුබ සාධන සංවිධාන ගැන හොයන්න. ඒ අය කරන වැඩ ගැන හොයන්න. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කරන වැඩ ගැනත් හොයන්න. මේ ජලභීතිකා මර්දන වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නොදී ඉන්නේ ඇයි කියන එක ගැනත් හොයන්න. 2018 දී භාර දුන්නු වැඩසටහන ඒ අවස්ථාවේ භාර දුන්නේ මොන පදනමක් මතද? ආයෙත් නැවත වාරයක් ආපසු ගත්තේ මොන පදනමක් මතද කියලත් හොයන්න.

 

54361716 2158600281119639 3968668554529603584 n

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තව ලස්සන කතාවකුත් කියනවා. ඒ අය කියනවා 2018 දී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වැඩසටහන භාරගත් නිසා ඇතිවුණු ප්‍රශ්නය හේතුවෙන් තාම හරියට වැක්සින් ටික කරගන්න බැරි වුණා කියලා. මේ වෙනකොට ගිය අවුරුද්දේ වැක්සින් කරලා තියෙන්නේ ලක්ෂ එකොළහයි. ඉතිහාසයෙම අඩුම ගාණ. ගිය අවුරුද්දේ දුන්නු මිලියන දෙසීයෙන් පාවිච්චි කරලා තියෙන්නෙත් මිලියන සීයයි. 2018 දි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වැඩසටහන බාර දුන්නේ නම් 2024 වෙනකොටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බැරි වුණාද අර මාස හයකට දීපු වැඩසටහන හින්දා වෙච්ච පසුබෑම නිවැරදි කරගන්න. ඇත්තටම එහෙම පසුබෑමක් වුණේ නෑ. නමුත් එහෙම පසුබෑමක් වුණා කියලා කියනවා නම් මේ අවුරුදු හයක් ගතවෙලත් ඒක නිවැරදි කරගන්න බැරි වුණා නම් ඒකේ වැරැද්ද කාගෙද? ඒකෙ වැරැද්ද තියෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මිසක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නෙමෙයි.

ඒ හින්දා අපි වගකීමෙන් කියනවා නිකම් බොරු වැඩ කරන්නේ නැතුව, මිනිස්සුන්ට ඇඟිලි දික් කරන්නේ නැතුව මේකෙ තියෙන තර්කය තේරුම් අරගෙන මේ අදාළ වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාර දෙන්න. ඒ මිනිස්සු ඒ වැඩේ හරියට කරයි. ඒ මිනිස්සු ඒ වැඩේ කරන්න ලෑස්තියි.

dogs 250330
අනික අඩුම තරමේ මේ ඉතිහාසය ඇතුලත අපි මේ රටේ ජලභීතිකාව වෙනුවෙන් කරපු වැඩ ටික ගැනත් හොයලා බලන්න. එහෙම නැතුව තැන් තැන්වල එක එක මත ඇති කරලා මේ විදිහට මේ වැඩසටහන් නතර කර දාලා ජලභීතිකාව වවාගෙන කන්න නම් ලෑස්ති වෙන්න එපා. මොකද ඉස්සරහට ජනතාව අවදියෙන්. ඔය අයට දිගටම සෙල්ලම් දාන්න බෑ. ඒ වගේම අපි ඉතාම ආදරයෙන් කියන්න ඕනේ පහුගිය කාලයේ අපි මේ වැඩසටහන් කරන කරනකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පලාත් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගෙන් බහුතරයක් මේ වැඩසටහන්වලට උදව් කළා. ඒ අය හිත අමනාප කරගන්න එපා. මේ කියන චෝදනාවන් ඔය අයට නෙමෙයි.

මේ චෝදනාවන් කරන්නේ ඇත්තටම මේ වැඩසටහන අකර්මණ්‍ය කරමින්, මේ සම්බන්ධයෙන් යටි අරමුණු තියාගෙන වැඩ කරන වෛද්‍ය ආනල්ටයි, වෛද්‍ය අතුලටයි. ඔන්න කෙළින්ම කිව්වා ඕනෙම තැනකට, ඕනෙම විදිහකට විවාදයකට එන්න අපි සූදානම්, ඔබ සූදානම් නම්. ඔබලා පසුගිය කාලයේ කරපු දේවලුයි, දැන් කරන දේවලුයි, යටිකූට්ටු වැඩයි ඔක්කොම එළි කරන්න අපි සූදානම්.

( සටහන | පශු වෛද්‍ය චමිත් නානායක්කාර)

මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකතුවේ (Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ

උපුටා ගැනීම : vinivida


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...