" කිසිදු අපරාධයක්, අපරාධ සංවිධානයක් සමඟ සබඳතාවයක් ඒ තරුණයාට තිබුණේ නෑ."
ජනපති, අගමැති හා රජයේ ප්‍රකාශකගේ ත්‍රිකෝණ කතා
තමන් විසින්ම අත්සන් කළ රැඳවුම් නියෝගයෙන් දින 17 ට පසුව පසුගිය 11 දා සමන්තුරේ මුස්ලිම් ජනයා ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර, "රුෂ්ඩිගේ වරද නිවැරදි " කොට තිබුණේ එසේය.
" ඒ තරුණයා ස්වයං අභිප්‍රේරණයකට ලක් වෙලා තිබුණා. අපි ඔහුව අත්අඩංගුවට ගත්තා. අරන් ඔහුගේ මුළු දේම අපි පරික්ෂාවට ලක් කළා," යැයි ජනාධිපතිවරයා කියා සිටියේ තමන් යටතේ ඇති පොලීසියට චරිත සහතික ලබා දෙමිනි.
"අපි එම දෙමාපියන්ට ඒ තරුණයාව පෙන්නුවා. දෙමාපියෝ ස්තූතිවන්ත වුණා. ඒ විනාශයෙන් දරුවා බේරා ගත්ත එක ගැන. මේක වැරදි ද? ඒක වැරදි ද? " දෑත් ඉදිරියට දමමින් හෙතෙම හැඟුම්බර විය.
" ඒක අමුලික බොරුවක්. අම්මයි , තාත්තයි කිසිම වෙලාවක ජනාධිපතිවරයාට ස්තූති කරේ නෑ. ජනාධිපතිවරයාට නෙමෙයි අපි රජයේ කිසිම කෙනෙකුට ස්තූති කරනවා තියා ඒ කාවවත් මුණ ගැහුනෙත් නෑ," යනුවෙන් පවසන්නේ රුෂිඩිගේ වැඩිමහල් සොයුරු මොහොමඩ් නසීම් ය.
ජනාධිපතිවරයාගේ සම්මන්තුරේ ප්‍රකාශය තිබුණේ සත්‍යයක් දැයි අප විසින් කරන ලද විමසුමකට පිළිතුරු ලෙස නසිම් එසේ කීය.
"ජනාධිපති තුමා ඇයි මෙහෙම බොරු කියන්නේ? ඇයි අපි ආණ්ඩුවට හරි පොලීසියට හරි ස්තූති කරන්නේ? එහෙම කරනවා කියන්නෙම මල්ලි වැරදියි කියලා අපිම පිළිගන්න එකම නේද? මල්ලි වරදක් නෙමෙයි කෙරුවේ. එහෙනම් ඇයි අපි ජනාධිපතිතුමා හරි, පොලිසිය හරි එයාව බේරා ගත්තා කියලා ස්තූති කරන්නේ?" නසීම් දැඩිව පවසා සිටියේ, "අපි කිසිම වෙලාවක රජයේ කාවවත් මුණ ගැහිලා නැති වෙලාවක මෙහෙම ප්‍රසිද්ධියේ බොරු කියන්න ජනාධිපතිවරයාට හැකි දැයි?" පෙරලා විමසමිනි.
ජනාධිපති දිසානායක එවැනි මහා බොරුවක් පවසා විසි හතර පැයක් ගත වෙන තැන, රාජ්‍ය ධූරාවලියෙන් ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන අගමැතිනිය මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ මැතිවරණ වේදිකාවක් මතදී සමච්චලය මුසු වුණු තර්ජනාත්මක ස්වරයෙන් මෙසේ කීවාය.
" දැන් ඒ ගොල්ලන්ට අපේ හොයන්න වරදක් නෑ. ඒ නිසා එක එක දේවල් අල්ලාගෙන ලොකු මාතෘකා බරට පෙන්නන්න හදනවා. දැන් මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ අවුරුදු 22 ක මුස්ලිම් තරුණයෙක් PTA යටතේ අත් අඩංගුවට ගත්ත එක. "
ආචාර්ය හරිනි අමරසූරියට සහ මාලීමා ආණ්ඩුවට එය "ලොකු හෝ වැදගැම්මකට නැති" මාතෘකාවක් මුත් මර්දනීය නීතියක් යටතේ එක් පැයකට හෝ සිරගතවන, චෝදනා රහිතව දණ්ඩනයට ලක් වෙන මිනිසුන්ට, ඔවුන්ගේ සමීපතමයන්ට එය නොතකා හැරිය නොහැකි දෙයකි. මන්දයත් එය ඔවුන්ගේ ජීවිතයේ ඉරණම පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නයක් වන බැවිනි. PTA අලුත්ම ගොදුරු වන රුෂ්ඩිගේ කතාව එම නීතියේ මර්දනකාරිත්වය පමණක්ම නොව එහි ගොදුරු බවට පත්වන මිනිසුන්ට එයින් පසුව අත්දකින්නට වෙන සියළු ව්‍යසනයන්වල ජීවමාන සාක්ෂි ද අපිට කිසිදු අඩුවකින් තොරව පෙන්වා දී තිබේ. බලයට ඒමට පෙර සමානාත්මතාවය සහ නීතියේ ආධිපත්‍ය ගැනත් මර්දනීය අණ පනත් ගැනත් කිඹුල් කඳුළු වැගිරු හරිනි අමරසූරිය වැනි ඉහළ මධ්‍යම පාන්තික ප්‍රභූ වියතුන්ගේ කණකොක් සුද එයම මිස වෙනකක් නොවන වග යළිත් පෙන්වා දී තිබේ.
රුෂ්ඩි නොකළ වරදකට නිරපරාදේ දඬුකඳේ ගැසූ මාලීමා ආණ්ඩුවේ මුල් ඇවරියේ දෙබිඩි කතා එයින් අහවර නැත. බටලන්ද විවාදය පැවති පසුගිය 10 වනදා පාර්ලීමේන්තුව හමුවේ අතිශය සංවේදී සහ තාර්කික අදහස් දැක්වීමක් කළ සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ට පිළිතුරු ලෙස රජයේ නිල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ කීය.
" පලස්තීනයට සහයෝගය පළ කරා කියලා හරි ස්ටිකරයක් ඇලෙවුවා කියලා හරි කිසි කෙනෙක්ව අත්අඩංගුවට ගන්න කටයුතු කරේ නෑ. අපිට ඕනේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මිසක් එක් එක් කෙනා අත්අඩංගුවට ගන්න නෙමෙයි. විමර්ශන අඛණ්ඩව සිද්ධ වෙනවා."
ජාතික ආරක්ෂාව නැමති කෝකටත් තෛලය වෙනුවෙන් කිසිම චෝදනාවක් නැතුව පොලීසියේ සහ දේශපාලන බලධාරින්ගේ මනදොල සපුරා ගන්නට විසි දෙහැවිරිදි තරුණයකු නිරපරාදේ හිරේ විලංගුවේ දැමීම පලස්තීන - ශ්‍රි ලංකා සහයෝගිතා ව්‍යාපාරයේ සභාපතිවරයා විසින් පාර්ලීමේන්තුව හමුවේ යුක්ති සහගත කරන ලද්දේ එසේය.
පොලිසීයේ විකාර රූපී මාධ්‍ය නිවේදන සහ රැඳවුම් නියෝග
යුදවාදී ඊශ්‍රායලය විසින් පලස්තීන ජනයා දස දහස් ගණනින් මරා දැමීම ගැන කම්පාවට පත්ව එයට විරෝධය දක්වමින් ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් මොහොමඩ් ලියාවුදින් මොහොමඩ් රුෂ්ඩි ‘ස්වයං අභිප්‍රේරණයකට ලක් වූ අයකු’ ලෙස ජනාධිපතිවරයා විසින් ඉහත කී දේශපාලන රැළියේදීම හැඳින්වුව ද, ආරක්ෂක අමාත්‍යවරයා ලෙසින් මාර්තු 25 දා නිකුත් කළ, රැඳවුම් නියෝගයේ දක්වා තිබෙන්නේ දේශපාලන කතා මාලාවකට එහා සැඟවූ බියකරු වදන් වැළකි.

" අන්තවාදි හෝ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් සමඟ ආශ්‍රය කරමින් , අන්තවාද මතවාදවලින් පොළඹවනු ලැබ ප්‍රජාවන් අතර සාමයට හා සමගියට හානිකර ආකාරයෙන් කටයුතු කරමින්, එවන් තොරතුරු ආරක්ෂක අංශ වෙතින් දැනුවත්ව වසන් කිරීම,"යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රිත අංක MOD/LEG/PTA/21/25 දරණ රැඳවුම් නියෝගයේ දැක්වේ.
පොලිසිය රුෂ්ඩි අත්අඩංඟුවට ගත් පසුව කියා පෑවේ එයට වෙනස් කතාවකි. එය එසේ මුත් අන්තවාදී අදහස් දරන දරුණු අපරාධකරුවෙකු සේ හුවා දක්වමින් පොලීසිය මාධ්‍ය නිවේදන නිකුත් කළේ ජනාධිපති රැඳවුම් නියෝගය අත්සන් කොට දින 5 ට පසුව ය.

රැඳවුම් නියෝගයේ දැක්වෙන චෝදනා පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වෙනා චෝදනාවන්ට වඩා වෙනස් සහ පුලුල් පරාසයකට දිවෙයි. රැඳවුම් නියෝගය මගින් රුෂ්ඩි මේ වන විටත් භයානක අපරාධකරුවකු බවට පත් කොට අවසන් ය. ' ප්‍රජාවන් අතර සාමයට සහ සමගියට හානිකර මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවන් පිළිබඳව තමන් දන්නා තොරතුරු ආරක්ෂ අංශ වෙතින් වසන් කිරීම,’ ද ඔහුට එරෙහි චෝදනා ගොන්නේ ඇති ප්‍රබල එකකි.
රුෂ්ඩි අත්අඩංගුවට ගනු ලබන්නේ මාර්තු 22 දාය. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය නිකුත් කරන්නේ ඉන් 8 දිනකට පසුව මාර්තු 30 දාය. මාධ්‍ය නිවේදනයට කරුණු පාදක වන්නේ CTID ය විසින් ලබා දෙන තොරතුරු විය හැකිය. එසේ නම් දින 8 ක් තුළ ඔවුන් රුෂ්ඩි පිළිබඳව සියල්ල සොයා ගෙන තිබිය යුතුය. පෙර ගවේෂණයක් සිදු කර තිබිය යුතුය. එසේත් නැත්නම් දින 8 ක් තුළ රුෂ්ඩි CTID ය ට අවශ්‍ය ලෙස සියල්ල 'වමාරා' තිබිය යුතුය.
එහෙත් අප විසින් අමතක නොකළ යුතු දෙයක් තිබේ.
එය නම්, රුෂ්ඩි කුණු බක්කියක ස්ටිකරය අලවා සැඟව පැන ගියේ නැති බවයි. ඔහු එය අලවා ඇත්තේ බොහෝ අය ගැවසෙන ප්‍රසිද්ධ තැනකය. එය ඔහුගේ සන්නිවේදනය යි. ස්ටිකරය ඇලවු පසුවත් ඔහු සුපුරුදු ලෙස සේවයට වාර්තා කොට තිබේ. 19 වැනි දා ස්ටිකරය අලවා 20 දින සේවයට යන ඔහු 21 දින නිවසේ රැඳි ඇත්තේ සිකුරාදා දිනයක් වූ එදින ඉස්ලාමිකයකු වන ඔහුට නිවාඩු ලැබි තිබුණු බැවින් මිස සැඟවී සිටීමේ අරමුණින් නොවේ. යළිත් සුපුරුදු ලෙස 22 සෙනසුරාදා සේවයට වාර්තා කරන්නේ ද සැඟව සිටීමට තරම් වරදක් හෝ අපරාධයක් තමන් විසින් කර නැතැයි හැඟීමෙනි.

මිනී මරන්නට උඩ ගෙඩි දෙන, මිනී මරන, සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම අධිකරණය හමුවේ චෝදනා එල්ල කරන පොලිස්පතිවරයෙක් සති ගණනාවක් තුළ පොලිසියටම හොරා පොලිස් සෙල්ලම් පෙන්නමින් කට්ටි පනිමින් සිටිය ද රුෂ්ඩි එසේ නොකළේ ය. එනිසාම මහා අපරාධ කරුවකු අල්ලා ගත් පරිද්දෙන් ඔහු අල්ලා ගන්නට වෙහෙස දරන්නට CTID යේ නිලධාරින්ට සිදු වූයේ නැත.

රුෂ්ඩි CTID නිලධාරින් හමුවේ පවසා ඇත්තේ පලස්තීන ගාසා තීරයේ සිදුවන මිනිස් ඝාතන සම්බන්ධයෙන් ඇති වූ කම්පනය සහ වේදනාව මත එවැනි ස්ටිකරයක් ඇලවු බවකි. රුෂ්ඩි එසේ පවසන්නේ නම් CTID ය උලුප්පන ඔහුගේ ආගමික අන්තවාදය හෝ ත්‍රස්තවාදී නැඹුරුව කුමක්ද? එය ඔවුන් විසින් සුපුරුදු පරිදි මවන ලද ව්‍යාජ බිල්ලෙකි.
"මෙම සැකකරුගේ ක්‍රියාකලාපය සම්බන්ධව දීර්ඝ ලෙස විමර්ශනය කරමින් පවතින අතර එහිදි හෙළිදරව් වු කරුණු අනුව මොහු අන්තර්ජාල භාවිතා කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගි කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක් වී ඇති පුද්ගලයෙකු බවට නිරික්ෂණය වී ඇති බැවින්, එම මානසික තත්වය මත ආගමික අන්තවාදි ක්‍රියාවක් සිදු කිරීමට ඔහුට ඇති ප්‍රවේදිතාවය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු වෙමින් පවතියි." එසේ දැක්වෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශයේ ය.
දිව උලුක් වන වචන යොදා ගනිමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය කුමක් පවසන්නට වෙර දැරුවද ඒ වචන යට සැඟව ඇත්තේ ඔවුන් විසින් සිංහල බෞද්ධ නොවන ජාතියක ආගමක අයකු අත් අඩංඟුවට ගත් පසුව ලියන්නා වු නාටක කතා තිර පිටපතයි. සැබවින්ම එය එකම තිර පිටපතකි. එහි වෙනස් වන්නේ අත් අඩංඟුවට පත්වන පුද්ගලයා පිළිබඳ තොරතුරු පමණි. අනෙක් සියල්ල පොදු වැකි ගොන්නකි. ත්‍රස්තවාදය, අන්තවාදය, ක්‍රමන්ත්‍රණ, මහ මොළකරුවන් ඒ තිරපටවල ප්‍රමුඛ වදන්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව දේශපාලන ජයග්‍රහණය රැකගැනීම වෙනුවෙන් මේ සිදු කරන්නා වූ සටකපට රංගනයේ දිග පළල කෙතරම් විය හැකි දැයි අපට අනුමාන කළ හැකිය. අනෙක් පසින් එළැඹෙන 21 දින වන විට පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවරෙක් දැයි තමන් රට හමුවේ හෙළිදරව් කරන බව ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ය. එසේම නැගෙනහිර ආශ්‍රිතව මුස්ලිම් නව අන්තවාදී කල්ලයක් බිහි වෙමින් තිබෙන බවට රට හමුවේ තහවුරු කිරීමකින් තොර මහා හෙළිදරව් කිරීමක් කරනු ලැබුවේ ද ඔහු විසින්ම ය. එසේ නම් නව මහා මොළකරුවන් සහ අන්තවාදින් සොයා ගැනීම පොලීසීය ප්‍රමුඛ ත්‍රස්ත මර්දකයන් ගේ වගකීමකි. ජන සංහාරයකට එරෙහිව ස්ටිකරයක් අලවා විරෝධය පලකිරීමේ සුජාත අයිතිය ප්‍රකාශයට පත් කළ රුෂ්ඩි ඒ සඳහා ඇති හොඳම ගොදුර ලෙස මේ සියල්ලන් ම සිතන්නට ඇත.
තරුණ රුෂ්ඩි අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන තෙක්ම ත්‍රස්ත මර්දන කොට්ඨාශය පුමුඛ පොලිසීය හැසිරුණු ආකාරයත් එයට අනුබල දුන් විධායකය ප්‍රමුඛ දේශපාලන බලාධිකාරියේ ආකල්පයන් දෙස විමසිල්ලෙන් බලන කල්හි අපට එය මනාව ගලපා ගත හැකි වෙයි. රුෂ්ඩි අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ මුළු කාලය පුරාම පොලිසීයේ හැසිරිම් රටාව කියා පෑවේ තර්ජනය, මර්දනය සහ අනීතික මැදිහත්වීම් සහිත නීතියට අවනත නොවන ආකාරයකි. බලහත්කාරයෙන් පාපොච්චාරණයක් ලබා ගන්නට සහ ' වරද පිළිගන්නට' සලස්වමින් ඒ සඳහා කළ හැකි සියළු බලපෑම් කිරීමටය.

එය රුෂ්ඩිගෙන් පටන් ගෙන ඔහුගේ 13 වියැති බාල සොහොයුරිය දක්වාම මුදාහරින්නට තරම් පොලීසිය ප්‍රමුඛ දේශපාලන බලාධිකාරිය නිහීන තත්වයට පත් වී තිබුණි.
මූලිකවම එම තර්ජනාත්මක මෙහෙයුම සඳහා පෙරමුණ ගෙන සිටින්නේ වධහිංසාවන්ට සහ පුද්ගල ඝාතන මෙන්ම සංවිධානාත්මක අපරාධ පිළිබඳව විශ්වසනීය ලෙස චෝදනාවට ලක්ව සිටින්නාවූද, අනීතික මෙහෙයුම් සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් ඇත්තාවූද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) ත්, කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) ත් ය.
අත්අඩංගුවට ගැනීම රහසක් ලෙස තබා ගන්නට කළ තර්ජන
"24 දා උදේම TID එකෙන් ගෙදරට කතා කරලා තරජනය කරලා කියලා තියෙනවා මේ සිද්ධිය ගැන පිටස්තර කා එක්ක හරි කතා කරලා හරි මාධ්‍යයට තොරතුරු තීලා තිබුණොත් මල්ලිට කවදාවත් එළියට එන්න බැරි විදිහට චෝදනා දාලා ඇතුලෙම තියා ගන්වා කියලා," යි ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ සිරකොට සිටි මොහොමඩ් රුෂ්ඩිගේ වැඩිමහල් සොයුරු මොහොමඩ් නසීම් පැවසීය.
තර්ජනයේ හස්තය පළමුව දිග හැරෙන්නට පටන් ගන්නේ එසේය.
ඔහු පවසන්නේ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ නිලධාරින් සිය සොයුරා දෙමාපියන් ඉදිරියේම තබා ගනිමින් ඔහු ලවාම මේ ගැන පිටස්තර කිසිවකු සමඟින් කතා නොකරන ලෙසට මව සහ පියාට බලපෑම් කර ඇති බවයි.

" 23 දා උදේ අම්මටයි, තාත්තටයි කට උත්තරයක් ගන්න TID එකට එන්න කියලා තිබ්බා. එහෙම ගියාම 'ඔයාලා මං ගැන කාටවත් කියන්න එපා. පත්තරවලට කිසිම දෙයක් කියන්නත් එපා. එහෙම වුණොත් මාව නිදහස් කරන්නේ නැතුව හිරේට දානවලු' කියලා මල්ලි අම්මලා එක්ක අඬ අඬා කියලා තිබුණා. පස්සේ එදාම හවස අම්මා මුහිජ් ජීරාම් ව මුණ ගැහෙන්න ගිහින් විස්තරේ කිවුවා. එයා මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක්. අම්මා කියන දේ ඒ වෙලාවේම එයා ෆේස්බුක් ලයිව් පෙන්නුවා. පස්සේ පහුවදා පාන්දරම TID එකෙන් ගෙදරට කෝල් කරලා තර්ජනය කරලා තිබුණා ඒ කියපු දේවල් ෆේස්බුක් එකෙන් අයින් කරේ නැත්නම් මල්ලිව කවදාවත් නිදහස් නොකර හිරේ දානවා කියලා."
එදිනම රුෂ්ඩිගේ දෙමාපියන් සමඟ නිවසට පැමිණ ඇති ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් නිවසේ අස්සක් මුල්ලක් නෑර පීරමින් ස්ටිකර් සොයා ඇති අතර පසුව රුෂ්ඩිගේ පැරණි පරිගණක උපකරන රැගෙන ගොස් ඇත්තේ වැඩිදුර පරික්ෂා කිරීමට බව පවසමිනි. රුෂ්ඩිගේ සොයුරා කියා සිටියේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් පරිගණක උපකරණ සමඟ නිවසේ තිබුණු වසර 10 ට වඩා පැරණි කඩුවක් ද රැගෙන ගිය බවකි.
සිය දෙමාපියන්ගේ බලවත් ඉල්ලීම පිට තමන් මුහිජ් ජිරාම්ට කතා කොට මවගේ ප්‍රකාශය අන්තර්ජාලයෙන් මකා දැමීමට කටයුතු කළ බව ද මොහොමඩ් නසීම් කීය.
අවසානයක් නැති බලහත්කාරය

රුෂ්ඩි ට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවත් ඔහුගේ පවුලේ අයට එල්ල වෙන තර්ජන ගර්ජන සහ බලපෑම්වල නිමාවක් දක්නට ලැබුණේ නැත. CTID නිලධාරින්ට අවශ්‍යව තිබුණේ රුෂ්ඩි රහසිගත ලෙස තබා ගන්නටය. එනිසාම ඉහත දැක්වු පරිද්දෙන් දිගින් දිගටම ඔවුහු රුෂ්ඩිගේ මවිපියන් පසුපස ලුහුබැන්දහ. මව්පියන් කතා බස් කරන්නේ කවරෙක් සමගද? , මුණ ගැසෙන්නේ කවරෙක් ද? යනුවෙන් ඔවුහු විමසිලිමත් වූහ. රුෂ්ඩි අත්අඩංගුවට ගෙන දින කිහිපයකින් CTID නිලධාරීන් ඔහුගේ මවට පවසා තිබුණේ පුතු වරදක් කළ බව සහ ඔහු අන්තගාමී අදහස්වලින් යුතු අයකු ලෙස පවසා ලිපියක් ලියා දෙන ලෙසයි. එය නොදෙන්නේ නම් රුෂ්ඩි නිදහස් නොකර දිගින් දිගටම රැඳවුම් භාරයේ තබා ගන්නා බවටද ඔවුන් තර්ජනය කොට තිබුණි.
" අම්මා හොඳටම බය වුණා. මල්ලිව නිදහස් කරයි කියලා හිතලා එහෙම ලියුමක් දෙන්න අම්මා කැමති වුණා," යැයි රුෂ්ඩිගේ සොයුරා කීය.
අදාල ලිපිය ලියවා ගැනීම පමණක් නොව එය ලබා ගෙන තිබෙන්නේ ද අනීතික ආකාරයෙනි. බලහත්කාරයෙනි. ඒ මන්ද යත් නිලධාරින් රුෂ්ඩිගේ මවට දුරකතනයෙන් කතා කොට ලිපිය නිට්ටඹුව බස් නැවතුම අසලට රැගෙන එන ලෙස මුලින් දන්වා තිබුණි. එම මාතාව බස් නැවතුම අසලට ගිය පසු එතැනින් නිට්ටඹුව නගරයේ පිහිටි තිලකවර්ධන නම් වෙළෙඳ ආයතනය අසලට පැමිණෙන්නැයි පවසා ඇත. ඒ අනුව ඇය එතැනට ගොස් ලිපිය භාර දී තිබුණද ඇයට ඇගේ පුතු දක්නට ලැබී නැත. මෙසේ කටයුතු කරන්නේ පොලිසිය ද කප්පම් කරුවන් ද? අපට පොලීසියෙන් අසන්නට ඇති පැණය එයයි. ප්‍රාණ ඇපයට ගන්නා තැනැත්තකු නිදහස් කර හරින්නට අසවල් තැනට, අසවල් තැනට කප්පම් මුදල රැගෙන එන්නැයි පවසා එය ලබා ගත් පසු සැඟව යන්නේ කප්පම්කරුවන්ය. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය කටයුතු කර ඇත්තේද ඒ අයුරිනි.
‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ නම් මාලිමා මැතිවරණ පොරොන්දු පත්‍රයේ "මහජන ආරක්ෂාව සලසන මිත්‍රශීලි සේවයක්" යනුවෙන් පොලීසිය පිළිබඳව ලස්සන වචනවලින් හැඳින් වෙන්නේ මෙවැනි අනීතික, කොල්ලකාරි පොලිසීයක් ගැන විය යුතුය. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඇවැසි නම් එහි 203 පිටුවේ සිට කියවා බලන්න.
බාල දරුවන්ට බලපෑම්
රුෂ්ඩි ත්‍රස්ත මර්දන භාරයේ සිටි දිනෙක ඔහුගේ පියාට ලැබී ඇති එක් දුරකතන ඇමතුමකින් කියැවී ඇත්තේ ඔහුගේ 13 වියැති බාල දියණිය එනම් රුෂ්ඩිගේ බාල සොයුරියත් කට උත්තරයක් ගන්නට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවට රැගෙන එන ලෙසයි.
" තාත්තා නීතිඥ මහත්මයෙක් ළඟ ඉන්න කොට තමයි නංගිවත් TID අරන් එන්න කියලා කෝල් එකක් ඇවිත් තිබුණේ. ඒ කතාව ඒ නීතිඥ මහතාත් අහන් ඉඳලා තියෙනවා. ඔහු මේ සිද්ධිය දන්නවා," යි රුෂ්ඩිගේ සොයුරා පැවසීය. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පාර්ලීමේන්තුව හමුවේ මහත් උජාරුවෙන් කියා සිටි ජාතික ආරක්ෂාව සුරැකීම නම් මෙය විය යුතුය. බාල වයස්කාර දරුවන් ත්‍රස්ත මර්දන ඒකකවලට කැඳවීම අපුරුයි.
අනෙක් පසින් මාලීමා ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් ජාතික දේශපාලනඥයන් විසින් රුෂ්ඩිගේ පවුලේ සාමාජිකයන් හට වරින් වර දුරකතන ඇමතුම් ලබා දෙමින් සිද්ධිය ගොඩින් බේරන්නට කපුකම් කිරීමය. රුෂ්ඩි ඉක්මනින් නිදහස් කරන බවටත්, මේ සම්බන්ධයෙන් කිසිදු නෛතික හෝ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන ලෙසටත් ඔවුන් බලකර තිබුණි.
නිදහස ඉල්ලන්නන් පස්සේ පොලිසිය

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් රුෂ්ඩි පිළිබඳ කිසිවක් පිටස්තර පුද්ගලයන් හට නොපවසන ලෙස ඔහුගේ දෙමාපියන් හට තර්ජනය කරමින් සිටින අතරවාරයේ අනෙක් පසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ ( CCD) නිලධාරින් රුෂ්ඩි නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වන්නන් පසු පස ලුහුබඳිමින් ඔවුන් දඩයම් කරන්නට පටන් ගෙන තිබුණි.
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසාව ඉලක්ක කරමින් එල්ල කරන දැවැන්ත ප්‍රහාර හේතුවෙන් දිනපතා මියයන කිරි කැටි දරුවන්ද ඇතුළු සිය දහස් ගණනක් වූ මිනිසුන් වෙනුවෙන් හටගත් කම්පනයෙන් එයට විරෝධය දක්වා ස්ටිකරයක් ඇලවීමේ වරදට ත්‍රස්ත මර්දන පනත යටතේ අත් අඩංගුවට ගත් රුෂ්ඩි නිදහස් කරන ලෙස ඉල්ලමින් සිවිල් සමාජ හා දේශපාලන ක්‍රියාධරයන්ගේ සහභාගිත්වයෙන් පැවති උද්ඝෝෂණයක් සංවිධානය කළ අයකුගේ නිවසට කඩා පැන ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) පිරිසක් ඔහු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත්තේ ‘ස්ටිකර් සිද්ධියේ මහ මොළකරු’ පිළිබඳව ප්‍රශ්න කරමිනි.
එම උද්ඝෝෂණයට සක්‍රීය දායකත්වයක් සපයන ලද පාර්ලීමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමන් පවසන්නේ ස්ටිකර් සොයමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් එම පුද්ගලයාගේ ගේ නිවස උඩු යටිකුරු කළ බවයි.
" ඒ මනුස්සයාව පැය තුනකට වැඩිය CCD යේ තියාගෙන ස්ටිකර් ගැන ප්‍රශ්න කරලා. පුදුම වදයක් දීලා තියෙන්නේ. ඊට පස්සේ එයාගේ බිරිඳගේ තාත්තව අරන් ගිහින්. එයාගෙනුත් ප්‍රශ්න කරලා," යි විපක්ෂයේ මන්ත්‍රිවරයා කීය.
ස්ටිකරයක් නිසා තුන් මසක රැඳවුමක්

රුෂ්ඩි අත්අඩංගුවට ගෙන දිනකට පසුව CTID යේ කැඳවුමක් මත 23 දා එහි ගොස් තිබුණු රුෂ්ඩිගේ මවට සහ පියාට එහි නිලධාරින් විසින් පවසා තිබුණේ රුෂ්ඩි රැඳවුම් භාරයේ තබා ගන්නට තුන් මසක රැඳවුම් නියෝගයක් තමන් විසින් ලබා ගෙන ඇති බවකි.
" අම්මටයි, තාත්තටයි TID එකේ අය කියලා තිබුණා දැන් මොනවත් කරාට වැඩක් නෑ මෙයාව මාස තුනක් තියා ගෙන ප්‍රශ්න කරන්න අපිට නියෝගයක් තියෙනවා කියලා,” යි රුෂ්ඩිගේ සොයුරා පැවසීය.
නමුත් අප විසින් කරන ලද නිරික්ෂණයන්ට අනුව දැන ගන්නට ලැබුණේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අත ඒ අවස්ථාවේ රැඳවුම් නියෝගයක් තිබුනේ නැති බවයි. ඊනියා රැඳවුම් නියෝගයේ පිටපතක් රුෂ්ඩිගේ දෙමාපියන් හට ලබා දී නැතුවා පමණක් නොව ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සිය නියෝගය නිකුත් කරන්නේ ද දින කීපයකට පසුවය. එම රැඳවුම් නියෝගයට අනුර කුමාර දිසානායක අත්සන් තබා ඇත්තේ 2025 මාර්තු 25 වැනි දාය. එහි සරල තේරුම නම්, 22 දා CTID ය විසින් අත්අඩංගුවට ගන්නා ලද රුෂ්ඩි රැඳවුම් භාරයට පත් කොට ඇත්තේ ඉන් තුන් දිනකට පසුව මාර්තු 25 වන දා බවය. එසේ නම් පැය 72 ක් ගෙවෙන තුරු CTID ය රුෂ්ඩි කිසිදු අධිකරණයක් හමුවට නොපමුණුවා රඳවා තබා ගෙන සිට ඇත. එය අනීතික ක්‍රියාවකි. පැය 72 ක් එනම්, දින තුනක් යම් අයකු අධිකරණයක් හමුවට පැමිණවීමකින් තොරව කවර නම් නීතියක් යටතේ රඳවා ගත්තේ දැයි CTID ය පමණක් නොව පොලිස් ප්‍රධානින් සහ නීති බලධාරීන් විසින් ද පැහැදිලි කළ යුතුව තිබේ.
සිංහලයන් බෞද්ධයන්ට අදාළ නොවන ආගමික අන්තවාදය

රුෂ්ඩි, ඔහුගේ හෘදය සාක්ෂියට අනුව දරා ඇති මතය බෝම්බ ගැසීමට හෝ කවරකු හෝ ඝාතනය කිරීමට හෝ මහජන දේපල කඩා බිඳ දැමීමට, කොල්ල කෑමට හෝ වූවක් නොව ගසා තීරයේ දිනපතා සිය දහස් ගණනින් මරා දමනා, අළු දුහුවිළි බවට පත් කරන ළමා ළපටින්ද ඇතුළු මුස්ලිම් බහුතරයක් වූ ගැහැණුන් හා මිනිසුන් ගේ ජීවිතවල ඉරණම පිළිබඳව ඔහුගේ හිතේ ඇති වුණු කම්පනය යි. ස්ටිකරයක් ඇලවීමෙන් ඔහු ප්‍රකාශ කරන්නට වෙර දැරුවේ එම කම්පිත හැඟිම් මිස අන් කිසිවක් නොවේ. මර්දනීය ආයතන ලෙස කුප්‍රකට CTID ය ට සහ CCD ය ටත් ඔවුන්ගේ අනීතික කටයුතු වලට ඉණිමං අල්ලන දේශපාලන බලාධිකාරියටත් එය අපරාධකාරි වරදක් වුවත් මනුෂ්‍ය හදවත් ඇති ශිෂ්ට සමාජයකට එය එසේ නොවන්නේ ය.
කෝඩිඩ් වසංගතයට ගොදුරු වූ ලොව සෑම රටක්ම එම වසංගතයට ගොදුරු වූ ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ඔවුන්ගේ ඇදහිල්ල පරිදි අවසන් කටයුතු කරන්නට ඉඩ දුන්නද විශේෂඥවරුන් යැයි කියා ගන්නා වනචාරි ගෝත්‍රිකයන්ගේ උපදෙස්, අනුශාසනා මත යමින් එවක පැවති ගෝඨාභය රජය විසින් කුඩා දරුවන්ගේද ඇතුළු මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු දවා අළු කරනු ලද්දේ ඒ පිළිබඳ එල්ල කෙරුණු මහජන විරෝධය පවා තුට්ටුවකට නොසලකමිනි. එවන් ම්ලේච්ච්ඡ දේශපාලන අතීතයක් සහිත රටක දේශපාලක - පොලිස් දෙබෑයන් එකතුව වර්ග සංහාරයකට එරෙහිව ස්ටිකරයක් ඇලවු තරුණයකු ගල්ගසා මරා දැමිය යුත්තකු ලෙස හංවඩු ගසා දිවිතුරා සිරගත කිරීම ට වෙහෙසීම ගැන අප පුදුමයට පත් විය යුතුද නැත.

තමන් පෑ විරෝධය ආරක්ෂක අංශ වෙතින් වසං කරන්නට රුෂ්ඩි කිසිසේත් උත්සාහ දරා නැත.
" මල්ලි, අම්මලයි TID එකේ අයයි ඉස්සරහම කම්පාවෙන් අඬ අඬා කියලා තියෙනවා ගාසා තීරයේ මරලා දාන පුංචි දරුවෝ, මිනිස්සු ගැන එයාට දැනෙන දුක දරා ගන්න බෑ කියලා. ඒ වේදනාව නිසා ඒ අපරාධවලට විරෝධය දක්වන්න ස්ටිකරයක් ඇලෙව්වා කියලත් එයා කියලා තියෙනවා," යි රුෂ්ඩිගේ සොයුරු නසීම් හැඟුම්බරව පැවසීය.
" මට දරා ගෙන ඉන්න බෑ ඒ ගොල්ලෝ මිනිස්සු මරනවා. පොඩි දරුවෝ මරනවා. ඒකයි මම ස්ටිකර් එකක් ඇලෙව්වේ." ඒ ආගමික අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදී හැඟිම්වලින් නොමග ගොස් ඇතැයි CTID ය විසින් මුද්‍රා තබා තුන් මසක අඩස්සිකයකට යටත් කොට සිටි තරුණයෙකුගේ කම්පිත වදන්ය.
සැබවින්ම ශ්‍රි ලංකාවේ දේශපාලකයන් සහ ආරක්ෂක බලධාරින් විසින් දශක කිහිපයක් තිස්සේ දිවා රෑ දොඩවන මේ ආගමික අන්තවාදය කුමක්දැයි ඔවුන් විසින්ම පැහැදිලි කළ යුතුව තිබේ. පාලකයන්ට සහ ආරක්ෂක බලධාරින්ට අනුව ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන ආගමික අන්තවාදයත්, ජාතිවාදයත් සීමා වෙන්නේ මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් වෙනුවෙන් පමණි. සිංහල - බෞද්ධ අන්තවාදීන් හෝ ජාතිවාදින් කුදලාගෙන ගොස් රැඳවුම් නියෝග ගසන බව නම් අපට අසන්නට නැත. මහනුවර, දිගන, බේරුවර, අම්පාර එයට පෙර 2000 දශකයේ මුල් අවධියේ මාවනැල්ලේ මුස්ලිම් ජාතිකයන්ගේ ශුද්ධ කුරාණයට මුත්‍රා කරමින් අපහාස උපහාස කළ, මුස්ලිම් දේවස්ථාන ගිනි තබා විනාශ කළ, මුස්ලිම් ජාතිකයන් මරා දැමූ සිංහල බෞද්ධ අන්තවාදී, "නොමග ගිය උන්, යහමගට ගන්නට " රැඳවුම් නියෝගයන්ට යටත් කළ බව නම් අප දන්නේ නැත. වෙනස ඇත්තේ එතනය.

අහිංසකයන් හිරේ දමා හැමදාමත් හොයන මහ මොළකරුවන්
තමන් විසින් කළ ක්‍රියාවේ හිමිකාරිත්වය භාර ගෙන ඒ වෙනුවෙන් විධායකය ප්‍රමුඛ පොලිස් රාජ්‍යයේ දණ්ඩනය ඉදිරියේ සිට ගැනීමට තරුණ රුෂ්ඩිට ආත්ම ධෛර්යයක් තිබුනද, ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ නිලධාරින්ට ඔහුගේ එම ප්‍රකාශයෙන් පමණක් සෑහීමකට පත් වන්නට නොහැකි වී ඇත්තේ තමන් ‘ළඟට ආ ගොදුර' ලෙහෙසියෙන් අත හැරීමට ඇති නොකමැත්ත නිසා විය යුතුය.
" කවුද උඹගේ පිටි පස්සේ ඉන්නේ, කවුද උඹට ස්ටිකර් දුන්නේ, කවුද උඹට මෙහෙම කරන්න කිවුවේ? " යනුවෙන් ත්‍රස්ත මර්දනයේ පිරිස් රුෂ්ඩිගෙන් තර්ජනාත්මකව දිගින් දිගටම විමසා තිබුණේ ඔහුගේ මව් පියන් දෙපල ඉදිරියේ තබා ගෙනමය.
අහ්නාෆ් ජසීම්
මහ මොළකරු සොයා ගැනීම හෝ ඒ වෙනුවෙන් හඹා යනු තුරු එයට පෙර අත්අඩංගුවට ගන්නා තැනැත්තා අඩස්සියේ තබා ගැනීම ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ පුරුද්දකි. බොහෝ විට ඔවුන් කරන්නේ එවැනි මනඃකල්පිත මහා මොළකරුවකු නිර්මාණය කිරීමය. පසුගිය සමයේ අපි එවැනි සිදුවීම් ගණනාවක්ම දැක තිබේ. ඉන් ප්‍රධාන එකක් වන්නේ මුස්ලිම් ජාතික කිවිවරයකු වූ අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවීම් දාමයයි. අහ්නාෆ් සම්බන්ධයෙන්ද ත්‍රස්ත මර්දන නිලධාරින් විසින් අනුගමනය කරන ලද්දේ අතිශය දළදඬු එමෙන්ම අනීතික ක්‍රියාකලාපයකි. මාස ගණනාවක් තිස්සේ ඔහු රැඳවුම් භාරයේ තබා ගෙන සිටිනු ලැබුවේ කිසි විටකත් සනාථ කළ නොහැකි විවිධාකාරයේ චෝදනා දුසිම් ගණනින් ඉදිරිපත් කරමිනි. ඒ සෑම චෝදනාවකටම අදාලව මහ මොළකරුවන් කවරෙක්දැයි විමසන්නට ද එසේ විමසමින් අහ්නාෆ් නොදන්නා ත්‍රස්ත මර්දනයේ මහත්වරුන් පමණක් දන්නා ඒ මොළකරුවන් වෙනුවෙන් නිදහසක් නොලබා රැඳවුම් නියෝග යටතේ ඉන්නටත් ඔහුට සිදුවිය. අවසානයේ ඒ සියළු චෝදනා පුස්සක් කරමින් අධිකරණය විසින් අහ්නාෆ් නිදහස් කරනු ලැබුවද අත්අඩංගුවේ සිටියදි ලද ශාරීරික සහ මානසික වධ බන්ධන වලින් ඔහු නිදහස් නොවන්නේ ය.
හය අවුරුද්දකට ඉහත පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මොළකරුවන් ගැන දේශපාලනඥයනුත්, කතෝලික ආගමික නායකයනුත් කතා කරති. එම මොළකරුවන් අල්ලන බවට දින වකවානුද වරින් වර ඉදිරිපත් කරති. සමහරු ප්‍රසිද්ධියේම කියා පාන්නේ තමන් මහා මොළකරුවන් දන්නා බවකි. රටේ විධායක ජනාධිපතිවරයා ද ඒ අතර සිටී. එහෙත් ත්‍රස්ත මර්දන නිලධාරින් ද ඇතුළු ආරක්ෂක අංශවලට තවමත් ඒ මොළකරුවන් අල්ලා ගන්නට නොහැකි වී තිබෙන්නේ ය. ඒ වෙනුවට මේ මොහොත වන විටත් අහිංසක මුස්ලිම් ජාතියන් සිය ගණනක් නිරපරාදේ හිරබත් කමින් සිටිති. ශර්ලොක් හෝම් විරුදාවලි ලත් විමර්ශකයන් විසින් රට පීරා අල්ලා ගත් එවැනිම අහිංසකයන් දුසිම් ගණනක් වසර ගණනාවක් හිර අඩස්සියේ තබා ගැනීමෙන් පසුව චෝදනා සහ සාක්ෂි නොමැති කමින් අධිකරණය විසින් වරින් වර නිදහස් කර හරින ලද්දේය. එහෙත් දේශපාලන සහ ආරක්ෂක බලධාරින් රඟන මේ නාටකය නම් තවමත් අවසන් නැත. නිරපරාදේ හිරබත් කෑවුන්ට යුක්තියක් ද නැත. පාස්කු ව්‍යසනයෙන් පසු මහමග යමින් මුස්ලිම් ජාතිකයන්ගේ දේපල කොල්ලකා ගිනිබත් කළ එකද අපරාධකාරයකු වත් අද වන තුරු අල්ලා ගෙන නැත.
නීතිඥ හෙජාස් හිස්බුල්ලාහ්
නීතිඥ හෙජාස් හිස්බුල්ලාහ් ට අත්වූයේ ද එවැනිම ඉරණමකි. අතිශය වංචාකාරි ලෙස අත්අඩංගුවට ගන්නා ලද ඔහු විවිධාකාරයේ චෝදනා යටතේ මාස ගණනක් ඇප දීමකින් තොරවම රඳවා ගන්නා ලදී. ඔහු පසු පස සිටින මහ මොළකරු කවුදැයි හෙළිකරන ලෙස බලකරමින් ඔහු දැඩි මානසික වධ බන්ධනයන්ට ලක් කර තිබුණි. ඔහු නියෝජනය කරන නීතී ප්‍රජාවේ සිංහල බෞද්ධ මතධාරින් අතිබහුතරයක් සිට ගත්තේ ඔහු වෙනුවෙන් නොව ත්‍රස්ත මර්දන කොට්ඨාශය සමගය.
එදා අහ්නාෆ් ජසීම් ට, නීතිඥ හෙජාස් හිස්බුල්ලාහ් ට මෙන්ම අනෙකුත් මුස්ලිම් සහ දෙමළ ජාතියන්ට අත්විඳින්නට සිදුවු ඒ අමිහිරි කටුක සත්‍යය අද මොහොමඩ් රුෂ්ඩිට ද අත්විඳින්නට සිදුව තිබේ.
(සටහන | කේ. විජේසිංහ)
මෙම ලිපියේ දෙවැනි කොටස බලාපොරොත්තු වන්න...



