The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කොණ්ඩ කැවුම් සහ ආස්මී

T

The Leader Desk

April 20, 2025 • 10:25 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කොණ්ඩ කැවුම් සහ ආස්මී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනෙක අවුරුදු කටේ තියෙද්දී මට පොළකට යාමට සිදුවිය.
  • පොල් පැණිවලට වඩා ඩිමාන්ඩ් එක ඇත්තේ කිතුල් පැණිවලටය.
  • පොල් හෝ කිතුල් හෝ වේවා, හැමතැනම ඇත්තේ හරි හරියට සීනි මිශ්‍ර බාල පැණිය.
  • පැණි හිඟ නිසා දැන් පැණි කැවුම් වෙනුවට ඇත්තේද සීනි කැවුම්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය දිනෙක අවුරුදු කටේ තියෙද්දී මට පොළකට යාමට සිදුවිය. ගමක සුබසාධක සමිතියක් මගින් සංවිධානය කරන ලද එහි, ඇඳුම් පැළඳුම්, අවුරුදු කෑම වර්ග සිට එළවළු දක්වා දේවල් තිබුණි. පැමිණ සිටියෝ පුළුපුළුවන් හැටියෙන් අවුරුද්දට බඩු මුට්ටු ගනිති.

සමහරු කියන විදිහට මේ දිනවල බඩුවලට වඩා සුලබ නඩුය.

ඒ කෙසේ වෙතත් මම ද පොළේ තැන තැන ඇවිද, බඩු මිල ගැන “සමීක්ෂණයක” යෙදුණෙමි.
“බිත්තර නං වෙනදට වඩා ටිකක් වැඩියි වගේ.”

 

වෙළඳ මාෆියාවක් ! - බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි ඉල්ලීමක්
කවුදෝ කියනු ඇසුණි.
මම බිත්තර වෙළෙන්දා වෙතට ළං වුණෙමි.
“කොහොමද බිස්නස්... බිත්තර යනවද?”

“නෑ. බිත්තර යනවා අඩුයි.”
“ඒ මොකද?”
“පහුගිය ටිකේ බිත්තර ගණන් බැස්සනෙ. ඉතින් මිනිස්සු හිතන්නෙ අපි වැඩි මිලට විකුණනවා කියලා.”

ඉන්පසු මම එළවළු පැත්තට ගියෙමි.
“එළවළු ලාබද?”
මම කාන්තාවකගෙන් ඇසුවෙමි.

උඩරට එළවළු ගොවියා කුල්ල කුජීත වෙලා? - (සේන සූරියප්පෙරුම)
“අපෝ නෑ. ගිනි ගණන්.”
මම වෙළෙන්දා දෙසට හැරුණෙමි.
“මොකද එළවළුවල තත්වෙ?”

“පහුගිය ටිකේ වැස්සනෙ. එතකොට එළවළු නරක් වෙනවා. ගණන් ඉහළ යන්නෙත් ඒකයි.”
ඉන්පසු මා ගියේ ඇඳුම් පැළඳුම් අංශයටය. මම සරම්වල ගණන් බැලුවෙමි. කොලිටි සරම් ගණන්ය. ලාබ සරම් අඳින්නට බැරිය. හේතුව, ඒවා “ඝණ්ඨාර මාක්” වීමය. ගිය අවුරුද්දේ මට කාගෙන් හෝ ඝණ්ඨාර මාක් සරමක් තෑගි ලැබුණි. දිනක් මම එය ඇඳගෙන, ගේට්ටුව අසලට ගියෙමි. අපේ වයිෆ්ට තද වුණේය.

“ඔයිට හොඳයිනෙ, නිරුවස්තරෙන් ගියා නං.”
ඉන්පසු කිසි දිනක මම ඒ වර්ගයේ සරම් නොඇන්ඳෙමි.

 

kri pani

සිංහල අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරීම කෙසේ වෙතත්, උගුරෙන් පහළට හෝ ටිකක් යවා ගැනීමට නම්, නිවෙසේ කිරි පැණි තිබිය යුතුමය. එහෙත් කිරි තරමක් ලාබය. පැණි මාර ගණන්ය. කිරි කෑවොත් පැණි නැත. පැණි ගත්තොත් කිරි නැත. පොල් පැණිවලට වඩා ඩිමාන්ඩ් එක ඇත්තේ කිතුල් පැණිවලටය. එහෙත් නියම කිතුල් පැණි සොයනවාට වඩා කළුනික සෙවීම පහසුය. පොල් හෝ කිතුල් හෝ වේවා, හැමතැනම ඇත්තේ හරි හරියට සීනි මිශ්‍ර බාල පැණිය.

කැවුම්, කොකිස්, කිරිබත්, කෙසෙල් ගෙඩි නැත්නම් එය අවුරුදු මේසයක් නොවේ. පැණි හිඟ නිසා දැන් පැණි කැවුම් වෙනුවට ඇත්තේද සීනි කැවුම්ය.

 

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික  අංග ගැන විමසා බැලීමක්
ඉස්සර නම් අවුරුද්දට කැවුම් හදන්නට පිටි කොටන්ට පටන් ගන්නේ කොහා හඬන්නටත් කලියෙනි. දැන් නම් අවුරුදු මේසවල වැඩිපුර ඇත්තේ කඩෙන් ගෙනා කැවුම් කොකිස්ය.

කැවුම් වර්ග බොහෝ ඇතත්, ඉන් ලොක්කා කොණ්ඩ කැවුම්ය. අලුත් පරම්පරාවේ කතුන්ට කොණ්ඩ කැවුමේ කොණ්ඩය ගැනීමට අමාරුය. එය, සැලූනයකට ගොස් කොණ්ඩා මෝස්තර දානවා තරම් පහසු නැත.

අමෙරිකාවට ගොස් සිටි සිංහල පවුලක කාන්තාවක් ඔවුන්ගේ අවුරුදු උත්සවයක් සඳහා කොණ්ඩ කැවුම් සැපයීමට බාර ගත්තාය. ඇය දැක-අසා ඇති ආකාරයට කැවුම් බැදීම පටන් ගත්තාය. කොණ්ඩය එන්නේම නැත. අන්තිමේදි හැදුණේ කොණ්ඩය නැති කොණ්ඩ කැවුම්ය. ඒ නිසා පවුලේ අය ඒවාට නම දැමුවේ “කොණ්ඩලස් කැවුම්” යනුවෙනි.

 

අවුරුද්දට නැතිව ම බැරි කොණ්ඩ කැවුමේ කතාව
දැන් බොහෝ කාන්තාවන් කෑම හදන්නේ ‘යූ ටියුබ්’ සූපවේදිනියන් කියා දෙන ආකාරයටය. එහෙත් කියන්ඩ ලේසිය. කරන්ඩ අමාරුය. මගේ මිතුරකුගේ බිරිඳ මෙවර අවුරුද්දට “ආස්මී” හැදීමට පටන් ගත්තාය. ඇයගේද “ගුරුතුමිය” වූයේ යූ ටියුබයමය. අන්තිමේදී අප දන්නා “ආස්මී” වෙනුවට හැදුණේ වෙන මොකක්දෝ හැඩයක, අමුතුම ආස්මියකි. නිවෙසේ අය ඊට නම් තැබුවේ ‘ඩෝන්ට්-ආස්ක්-මී’ (Don't Ask Me) යනුවෙනි.

කැවිලි පිඟන් බෙදාහදා ගැනීමද සිංහල අවුරුදු චාරිත්‍රයකි. එක් වරක් අපට ලැබුණු කේක් ගෙඩියක් පෙට්ටිය පිටින්ම අසල්වැසි නිවෙසකට යැවීමු. ඒ නිවෙසින්ද වෙනත් නිවෙසකට යැවුවා විය යුතුය. කෙසේ වෙතත්, එසේ නිවෙසින් නිවෙසට ගිය කේක් ගෙඩිය නොනගතය උදා වෙන්නට ඔන්න මෙන්න තියෙද්දි, තවත් නිවෙසකින් ආපසු අප වෙතටම ආවේය. (පෙට්ටිය ඇතුළටම ඔබා තිබූ මුද්‍රිත අවුරුදු සුබ පැතුම් කාඩ්පතක් නිසා එය සැකහැර දැනගත හැකි විය.)

අලුත් අවුරුද්ද

 

මෙවර කොහා නොහැඬීම ගැන සමාජ මාධ්‍යවේදියකු කනගාටුව ප්‍රකාශ කර තිබුණි. ඊට යටින් වූ කොමෙන්ටුවලින් මෙසේ කියැවුණි.

“ට්‍රම්ප්ගේ බද්දට කොහාත් බය වෙලා.”
“කොහාටත් තාම වැට් ද කොහෙද!”

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජනතා අධිකරණයක් ළඟදීම(සටහන | කපිල කුමාර කාලිංග)

ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...