The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ආණ්ඩුවේ සහතික මිළෙන් වැඩි වාසි වී මෝල් හිමියන්ට' | ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

April 21, 2025 • 5:55 AM

'ආණ්ඩුවේ  සහතික මිළෙන් වැඩි  වාසි වී මෝල් හිමියන්ට' | ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කතා නිසා තරුණයෝ ගොවිතැනට එන්නේ නැහැ.
  • මේක හරිම කාලකන්නි කතාවක්." ට්‍රොස්කිවාදී දේශපාලන ක්‍රියාධරයෙකු මෙන්ම ගොවි සංවිධාන නායකයෙකු වූ ටෙරන්ස් ගාමිණි ද සිල්වා, අවධාරණය කළේ මේ වෙනුවෙන් රජය මැදිහත්විය යුතු බවය.
  • මහ බැංකුව, වැවිලි අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වරින් වර නිකුත් කරන ලංකාවේ ඉඩම් භාවිතය පිළිබඳ සංඛ්‍යා ලේඛණ වල ඇත්තේ පරස්පරතාවයකි.
  • ආසන්න වශයෙන් ගත් කළ රටේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 6.5 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කතා නිසා තරුණයෝ ගොවිතැනට එන්නේ නැහැ. මේක හරිම කාලකන්නි කතාවක්." ට්‍රොස්කිවාදී දේශපාලන ක්‍රියාධරයෙකු මෙන්ම ගොවි සංවිධාන නායකයෙකු වූ ටෙරන්ස් ගාමිණි ද සිල්වා, අවධාරණය කළේ මේ වෙනුවෙන් රජය මැදිහත්විය යුතු බවය.

ගොවියාගේ හා ගොවිතැනේ දැනට පවතින ගැටළුවලට විසදුම් සොයන ඒකාබද්ධ වැඩපිළිවෙලක් වෙනුවෙන් ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වූ ක්‍රියාකාරිත්වය විසින් පසුගිය දා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

 

farming464

මහ බැංකුව, වැවිලි අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වරින් වර නිකුත් කරන ලංකාවේ ඉඩම් භාවිතය පිළිබඳ සංඛ්‍යා ලේඛණ වල ඇත්තේ පරස්පරතාවයකි. ආසන්න වශයෙන් ගත් කළ රටේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 6.5 කි. ඒ අතරින් වී වගාව වෙනුවෙන් හෙක්ටයාර් ලක්ෂ  983,550 ක් වන මුත් ඉන් වගාව අත්හැර ඇති කොටස හෙක්ටයාර් 40,356ක් වේ. ඒ අනුව රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 32% ක ප්‍රතිශතයක් කෘෂි සහ වැවිලි වෙනුවෙන් වෙන් වේ. ගෙවතු වගා ඉඩම් ප්‍රතිශතය වූ 18.18 % ත් සමඟ එය ආසන්න වශයෙන් 50% කි.

කෘෂි කාර්මික කෂේත්‍රය රටේ භූමියෙන්  40%ක් එනම්  හෙක්ටයාර මිලියන 2.3 ක් පුරා විහිදී පවතී. රටේ ජලමුලාශ්‍ර අතරින් 80% ක් පරිභෝජනය කරන්නේ කෘෂි කර්මය වෙනුවෙනි. මෙම ක්ෂේත්‍රයට බැඳුණු ශ්‍රම බලකාය රටේ සමස්ත ශ්‍රම බලකාය අතරින් 27% කි. එනම් මිලියන 2ක් මේ හා බැඳී සිටිති.

farming645645

රටේ කෘෂිකර්මය වෙනුවෙන් භාවිත වගාබිම් ප්‍රමාණය මිලියන 3.3 කි. ඉන් 45%  ක ඉඩම් වපසරිය හෙක්ටයාර් 0.1 ට අඩු කුඩා ඉඩම් ය. ඒ අනුව ලංකාවේ ගොවීන්ගෙන් ලක්ෂ 33ක් හිමිකම් කියන්නේ අක්කර කාලකට අඩු බිමකටය. ඉතිරියෙන් 90% ක් හෙක්ටයාර 2  ට එනම් අක්කර 5  ට අඩු වගාබිම්ය. රටේ කෘෂිකර්ම නිශ්පාදනයට දායක වන වගාබිම් අතරින් 80% ක් කුඩා ඉඩම් හිමියන් ගෙන් සමන්විතය.

"ගොවි නිෂ්පාදන වලට සහතික මිල ගෝලීය ඉල්ලීමක්"

විමුක්ති ද සිල්වා copyවිමුක්ති ද සිල්වා
ජාත්‍යන්තර ගැමි ගොවි ව්‍යාපාරයේ දකුණු ආසියානු කැඳවුම්කාරිය වන විමුක්ති ද සිල්වා පෙන්වා දෙනුයේ ලංකාවේ පමණක් නොව ගෝලීය වශයෙන් ද 70% ක් වූ කුඩා පරිමාන ගොවීන් බවය. ගොවීන්ගේ නිෂ්පාදනයන්ට අවම සහතික මිල යනු ගෝලීය ඉල්ලීමකි.

"වී වලට විතරක් නොවේ අනෙක් අතිරේක බෝග වලටත් මිල නියාමනයක් ගොවියෝ රජයෙන් අපේක්‍ෂා කරනවා. ලංකාවේ දී වී වලට සහතික මිල නියම කෙරුනේ නිෂ්පාදකයන්ට ප්‍රතිලාභ ලැබෙන විදිහට ද තීන්දු ගත්තේ කියලා හිතෙනවා." යැයි ඇය කියා සිටියාය.

වී අළෙවි මණ්ඩලය ශක්තිමත් කොට තරඟකාරී ලෙස වී මිලදී ගැනීමේ අවස්තාවක් උදා කෙළේ නම් සහල් ආනයනය කිරීමට සිදු නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අවධාරණය කළේය. කොළඹ මාධ්‍යවේදීන් ඉදිරියේ ඒ පිළිබඳව කරුණු දැක්වුයේ එම ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති ජේ.එච්. මුනිදාස නම් ගොවි නියමුවාය.

 

ජේ.එච්. මුනිදාස copyජේ.එච්. මුනිදාස

"අපි ඉල්ලුවේ නාඩු වී කිලෝවට රුපියල් 130 ක්. ඒත් ආණ්ඩුව දුන්නේ 120 ට. නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්නට ඕනෑ කම තිබ්බ රුපියල් 130 ට දෙන්න. ඒත් ගොවියන්වත් කැන්දෙව්වේ නැති කමිටුවකින් නේ තීරණ ගත්තේ. ගොවීන් පෙළඹුණේ රුපියල් 130 ට ගත්තු වී මෝල් හිමියන්ට වී ටික දෙන්න. වී අළෙවි මණ්ඩලයට  රුපියල් 120 ට ගන්න වුනේ දවසකට විතරක් සෑහෙන සහල් ප්‍රමාණයක් විතරයි. පිටරටින් සහල් ගේන එකෙනුත් අවසානයේ තැලෙන්නේ ගොවියයි."

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වූ අපනයන කෘෂිකර්ම ව්‍යාපෘතීන් මෙරට ජනයාගේ සෞඛ්‍ය හා පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට සමත්වී නොමැත. මෙම ව්‍යාපෘතීන් සිදුවන්නේ ගොවීන් තම ඉඩම තුලම කෘෂිකාර්මික කම්කරුවන් බවට පත්වීමය. එමෙන්ම දිනක සහල් පරිභෝජනය වෙනුවෙන් අවශ්‍ය වන වී මෙට්‍රික් ටොන් 65,000ක  ප්‍රමාණය නිසි පරිදි නිපදවා ගැනීමටද තවමත් නොහැකි වී ඇත. සෑම ආණ්ඩුවක්ම ඊට පිළියම් ලෙස සහල් ආනයනයට පෙළඹේ.

"මන්දපෝෂණය ප්‍රතිශතයක් වශයෙන් 30%ක්"

කීරි සම්බා හිඟය කෘත්‍රිමව ඇති කළ එකක් !
"පසුගිය රජයන් මෙන්ම මේ රජයත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිගනිමින් සහ එය ක්‍රියාත්මක කරන්න උත්සහා කරමින් ඉන්නවා. අපනයන කෘෂිකර්මය මත කෘෂි කර්මාන්තය ඉතා අසාර්ථකයි. වෙළඳ ගිවිසුම් වලට හිරවෙලා ගන්න තීන්දු තීරණ වලින් කෘෂි කර්මාන්තය ගොඩ නගන්න බැහැ. රජයෙන් අපේක්‍ෂා කරන්නේ  නව මානයක කෘෂි කර්මාන්තයක් ගොඩ නගන ලෙසයි" ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට යටත් නොවී රටේ කෘෂි කර්මාන්තය ගොඩනැගීම ගැන අවධාරණය කරනුයේ  ජාත්‍යන්තර ගැමි ගොවි ව්‍යාපාරයේ, දකුණු ආසියානු කැඳවුම්කාරිනි විමුක්ති ද සිල්වා ය.

"2014 අවුරුද්දේ වාර්තාවන්ට අනුව රටේ මන්දපෝෂණය ප්‍රතිශතයක් වශයෙන් 30%ක්. මේ තත්වයෙන් මිදෙන්න නම්  ප්‍රජාවගේ සෞඛ්‍ය හා පෝෂණය මුලික කරගත් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් විකල්ප කෘෂි කර්ම ක්‍රමවේදයක් වෙත යා යුතුයි."  

ලංකාවේ ගොවි බිම් අතරින් බහුතරයක් වී ගොවිතැන වන මුත් චීනයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දුනිසියාවේ වී නිශ්පාදනයට සාපේක්ෂව මෙරට වී නිශ්පාදනය ඇත්තේ  සතුටුදායක මට්ටමක නොවේ. ලංකාවේ වී නිශ්පාදනය හෙක්ටයාරයකට කිලෝග්‍රැම්  4500 ක් වන විට ඉන්දුනීසියාව හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 5100 ක්  ද, චීනය  හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 7000 ක් සහ ඔස්ට්‍රේලියාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 8800 නිපදවනු ලබයි.

වී වගාව අත් හරිමු ද? - (පිලිප් ශාන්ත)

මෙරට වී ගොවිතැන හෙක්ටයාර 850,000 පුරා විහිද ඇති නමුත් මහ කන්නයේදී එම බිම් ප්‍රමාණයෙන් 90% ක්ම වගා කෙරෙන අතර යල කන්නයේදී වගා කරන්නේ එම බිම් ප්‍රමාණයෙන් 50% පමණකි. මහ කන්නයේ අස්වැන්න බොහෝ විට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, කලාපයෙන් කලාපයට අනුව වෙනස්වේ. එම ප්‍රමාණය වනුයේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම්  2500 සිට ඉහළට යන ප්‍රවණතාවයක් බවට  කෘෂිකාර්මික සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරනු ලැබේ.

පරිසර හිතකාමී ගොවිතැන තුලින් ආහාර ස්වෛරීත්වය

ටෙරන්ස් ගාමිණි ද සිල්වා copyටෙරන්ස් ගාමිණි ද සිල්වා
"මේ  වී ගොවිතැන් ක්‍රමවේදය ඇතුලේ අක්කරයකට වී බුසල් 100 කට එහා යන්න මේ රසායනික ගොවිතැන එක්ක බැරිවෙලා තියෙනවා. අපි ස්වභාව දහමත් ඒකාබද්ධ කර ගනිපු ගොවි වැඩපිළිවෙලකට යන්න ඕනෑ. ඒ තුල පමණයි අක්කරයකට වී බුසල් 100 ඉක්මවා යන්න පුළුවන් වෙන්නේ. අක්කරයකට රුපියල් දෙලක්ෂය ඉක්මවන නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන් වෙන්නේ." යැයි ගොවි නායක ටෙරන්ස් ගාමිණි ද සිල්වා අවධාරණය කළේය.  

මෙරට ආහාර සංස්කෘතියේ දැවැන්ත වෙනසක අවශ්‍යතාව මෙන්ම කුසගින්නේ සිටින  50% කගේ ප්‍රශ්නය විසඳීමට කුඩා  පරිමාන ගොවීන්ට හැකියාව ඇති බවද  ඔහුගේ අදහස විය.

"දළ වශයෙන් පවුල් ලක්ෂ 51 ක් ඇතැයි සිතුවොත්, මෙයින් ගොවි පවුල් ප්‍රමාණය ලක්ෂ 18 ක්. වී ගොවිතැන සඳහා සහනාධාර ලබන ගොවි පවුල් ගණන 11,80,000 ක් වෙනවා. මේ කුඩා පරිමාන ගොවීන්ට පුළුවන් රටේ බඩගින්නේ ඉන්න 50% කගේ කුස පුරවන්න."

"අපි දැන් ක්ෂණික ආහාර වලට පුරුදුවෙලා. ඉබේ හැදෙන ගස් වැල් වල ආහාර අපි භාවිතයට ගන්නේ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් පැහැදිලිව ඒවා ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ ප්‍රවර්ධනය කරන්නේ රසායනික ද්‍රව්‍ය දාලා, නවීන තාක්ෂනය අනුව කූඩාරම් ඇතුලේ කරන ගොවිතැන. ඉබේ හැදෙන වී වලට ඒගොල්ලෝ කියන්නේ `වල් වී` කියලා. අපි මේ ගැන රජය එක්ක කතා කරනවා."

වී වගාව අත් හරිමු ද? - (පිලිප් ශාන්ත)

 

ඔහුගේ මුලික අදහස වනුයේ පරිසර හිතවාදී කෘෂි කර්මාන්තයක් තුලින් ආහාර ස්වෛරීත්වය රැක ගැනීමටත්, 25% ක් වූ ගැමි තරුණ විරැකියාවට විසදුමක් ලෙස තරුණ ජවය යොදා ගැනීමට ද හැකියාව පවතින බවය.

"අපේ ආහාර ටික අපි නිපදවා ගන්න ඕනෑ. අපේ මහ පොලව සුවපත් කරන්න ඕනෑ.ගස් වැල් සුවපත් වුනොත් තමයි අපි සමාජයක් හැටියට සුවපත් වෙන්නේ."

වී මිලදී ගැනීමේදී ජය මෝල් හිමියන්ට

වී තොග හිඟයෙන් පුංචි මෝල්කරුවෝ කම්මුතුයි!
දැවන්ත කෘෂි කාර්මික ව්‍යාපෘති කොතෙක් මෙරට තුල ක්‍රියාත්මක වුවද, ගොවියාගේ හා පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවහොත් ඒවායෙන් දිනෙන් දින පැන නගින අර්බුද මිසක තිරසාර විසදුම් ලැබී නොමැත. වී සහ හාල් ගැටලු, අලි මිනිස් ගැටුම් හා අනෙකුත් වගා හානි සතුන් පිළිබඳව මතුවූ ගැටළු ඉකුත් දිනයන් වලදී දක්නට ලැබුණි. ගොවියාගේ මෙන්ම පාරිභෝගිකයාගේ අයිතීන් රැකෙන පරිදි  කෘෂි කර්මාන්තය වෙනුවෙන් වූ  කෙටි කාලින, මාධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන්නේ  ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසිනි.

"වැව් ප්‍රතිසංස්කරණය කරන්න, වී මිලදී ගන්න, පොහොර සහනාධාර දෙන්න මුදල් වෙන්කරපු පලියට කෘෂි කර්මාන්තය ගොඩගන්න බැහැ. අයි.එම්.එෆ්. අපනයන ඉලක්ක, ට්‍රම්ප් ගේ තීරු බදු, අපනයන කඩා වැටීම්, යළ-මහ අස්වනු මිලදී ගැනීම් ආදිය කෙරෙහිත් කෙටි,මධ්‍යම හා දිගු කාලින වැඩ සටහනක් ඇතිව වී නිශ්චිත උපාය මාර්ග සොයන්න ඕනෑ." යැයි පවසන  ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු චින්තක රාජපක්‍ෂ කියා සිටියේ ඉදිරි කන්න පහක් හෝ හයක් වෙනුවෙන් වත් වැඩ සටහනක් සකස්කරන ලෙස ආණ්ඩුවට බල කරන බවය.

 

චින්තක රාජපක් ෂ copyචින්තක රාජපක්ෂ

ගොවීන්ගේ ඉල්ලීම් නොතකා වී කිලෝවක සහතික මිල රුපියල් 120 බවට ප්‍රකාශයට පත් කිරීම මත ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගත්  වී මෝල් කරුවන් මෙවරත්  ජයගත් බව ද ඔහු පෙන්වා දුන්නේය. වී අළෙවි මණ්ඩලය ශක්තිමත් කොට ක්‍රමවත් සැලසුමක් ඉදිරිපත් නොකළහොත් ආණ්ඩුවට එරෙහිව ගොවීන්ගේ විරෝධය එල්ලවීම වැළක්විය නොහැකි වනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.

කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තකෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත

මේ අතර යු ටියුබ් චැනලයක සම්මුඛ සාකච්ජාවකට එක්වූ කෘෂිකර්ම ඇමැති කේ.ඩි. ලාල් කාන්ත කියා සිටියේ ආණ්ඩුවේ වගකීම ගොවියාත්, පාරිභෝගිකයාත් බේරා ගැනීම වුවත්, පෞද්ගලික අංශය විනාශ කිරීමට අවශ්‍යතාවක් නොමැති බවය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තුල සියලු පාර්ශවයන්ගේ  අයිතීන් රැකිය යුතු බවද කෘෂිකර්ම ඇමතිවරයා අවධාරණය කළේය.

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
ishanka.singhe@gmail.com
නිදහස් මාධ්‍යවේදිනී


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ආණ්ඩුවේ සහතික මිළෙන් වැඩි වාසි වී මෝල් හිමියන්ට' | ඉෂංඛා සිංහආරච්චි | The Leader