The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ: කතෝලික සභාව වෙනස් කළ පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ

T

The Leader Desk

April 21, 2025 • 11:40 AM

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ: කතෝලික සභාව වෙනස් කළ පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන වියේ පසු වූ උන්වහන්සේ වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි උන්වහන්සේගේ ස්වර්ගස්ථ වූහ.
  • මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් විය.
  • සිරියාවේ උපන් III වන ග්‍රෙගරි පාප් වහන්සේ 741දී මිය ගිය දා සිට රෝමයේ යුරෝපීය නොවන රදගුරුවරයෙක් නොසිටියේ ය.
  • ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ, වසර 600කට ආසන්න කාලයකදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් පළමු පාප් වහන්සේ වූ අතර දශකයකට ආසන්න කාලයක් වතිකානයේ පාප් වහන්සේලා දෙදෙනෙක් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


88 වන වියේ පසු වූ උන්වහන්සේ වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි උන්වහන්සේගේ ස්වර්ගස්ථ වූහ.

2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් විය.

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි කාලය තුළ පෙර නොකළ බොහෝ දෑ සිදුවිය. කිසි විටෙකත් කතෝලික පල්ලියට ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නතර නොකළ උන්වහන්සේ සාම්ප්‍රදායිකවාදීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන්නට වූහ.

උන්වහන්සේ ඇමෙරිකාවේ නොඑසේ නම්, පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ වූහ. සිරියාවේ උපන් III වන ග්‍රෙගරි පාප් වහන්සේ 741දී මිය ගිය දා සිට රෝමයේ යුරෝපීය නොවන රදගුරුවරයෙක් නොසිටියේ ය.

පාප් පදවියට පත්වූ පළමු ජේසු නිකායික පියතුමන් ද උන්වහන්සේ වූහ. ඉතිහාසය පුරා රෝමය ජේසු නිකායික පියතුමන්ලා දෙස බැලුවේ සැකයෙනි.

 


ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ, වසර 600කට ආසන්න කාලයකදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් පළමු පාප් වහන්සේ වූ අතර දශකයකට ආසන්න කාලයක් වතිකානයේ පාප් වහන්සේලා දෙදෙනෙක් වූහ.

ආර්ජන්ටිනාවේ කාදිනල් බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේදී පාප් පදවියට පත්වන විටත් 70වන වියේ පසු වූහ.

නව පාප් වහන්සේ තරුණ අයෙකු වනු ඇතැයි බොහෝ කතෝලිකයන් උපකල්පනය කර ඇත.

බර්ගෝලියෝ කාදිනල් වහන්සේ සම්මුතිවාදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කෙරිණි: එනම්, සමාජ සාධාරණත්වය පිළිබඳ උන්වහන්සේගේ ලිබරල් ආස්ථානයෙන් ප්‍රතිසංස්කරණවාදීන් ආකර්ෂණය කර ගනිමින් ලිංගික කාරණා සම්බන්ධයෙන් ගතානුගතික අදහස් ඇති පුද්ගලයින්ගේ ද උන්වහන්සේ සිත් දිනා ගත්හ.

උන්වහන්සේගේ වෙනස් පසුබිම වතිකානය පුනර්ජීවනය කිරීමට සහ එහි ශුද්ධ මෙහෙවර ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

නමුත් වතිකාන නිලධාරිවාදය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රතිසංස්කරණ සඳහා ගත් ඇතැම් උත්සහයන් ප්‍රතිරෝධයට ලක්වූ අතර, 2022දී මියගිය උන්වහන්සේගේ පූර්වගාමියා සාම්ප්‍රදායිකවාදීන් අතර ජනප්‍රියතත්වයක් උසුලන්නට විය.

 pope 1

උන්වහන්සේගේ වෙනස් පසුබිම වතිකානය පුනර්ජීවනය කිරීමට සහ එහි ශුද්ධ මෙහෙවර ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

 

වෙනස් වීමට දැඩි අධිෂ්ඨානයක්

පාප් පදවියට තේරී පත්වූ මොහොතේ සිට, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඇඟවූයේ, උන්වහන්සේ වෙනස් ලෙස කටයුතු කරන බව ය. උන්වහන්සේ තම ආසනයේ අසුන් ගෙන නොව නැගී සිට සහ සම්ප්‍රදායෙන් බැහැරව තම කාර්දිනල්වරුන් පිළිගත් අයෙකු වූහ.

 

2018 12 25T121603Z 283661468 RC1A85C180B0 RTRMADP 3 CHRISTMAS SEASON POPE 1024x682
2013 මාර්තු 13 වන දින, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රය දෙසට මුහුණ ලා ඇති බැල්කනියේ සිට රැස්ව සිටි ජනතාවට ආචාර කළහ.

සරලව සුදු ඇඳුමින් සැරසී සිටි උන්වහන්සේ 13 වන සියවසේ දේශකයෙකු සහ සත්ව ලෝලියෙකු වූ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් තුමාට ගෞරවයක් වශයෙන් නව නාමයක් තෝරා ගත්හ.

උන්වහන්සේ අධිෂ්ඨාන කරගෙන සිටියේ උඩඟුකමට හා විභූතිය අභිබවා යමින් නිහතමානීකමට මුල් තැන දීමට ය. උන්වහන්සේ පාප් වහන්සේට හිමි ලිමොසින් රථය භාවිත නොකළ අතර ඒ වෙනුවට අනෙකුත් කාර්දිනල්වරුන් නිවසට රැගෙන යන බස් රථයේ ගමන් කිරීමට තෝරා ගත්හ.

නව පාප් වහන්සේ බිලියන 1.2ක් වූ කතෝලික භක්තියක් නව සදාචාරාත්මක මගක් ඔස්සේ ගෙන යාමට තීරණය කළහ. "අනේ, මම කැමති දුප්පත් පල්ලියකට දුප්පතුන්ට," උන්වහන්සේ සඳහන් කළහ.

 pope 2

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2014 පාප් පූජාවේදී ඔහුගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේට සුබ පතයි

 

හොර්හේ මාරියෝ බර්ගෝලියෝ 1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හිදී උපත ලැබීය. උන්වහන්සේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූහ.

උන්වහන්සේ ටැන්ගෝ නැටුම් කලාවට ප්‍රිය කළ අතර උන්වහන්සේ ආර්ජන්ටිනාවේ පාපන්දු සමාජයක් වන සැන් ලොරෙන්සෝහි ආධාරකරුවෙකු ද වූහ.

දරුණු නියුමෝනියා තත්ත්වයක් වැළඳීමෙන් පසු පෙනහලුවල කොටසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වෙමින් ජීවිතය ගලවා ගැනීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත වූහ. නමුත් එය උන්වහන්සේ තම ජීවිත කාලය තුළ ආසාදනවලට ගොදුරු වීමේ අවදානමකට පත් කළේ ය.

වැඩිහිටියෙකු වූ පසු ද උන්වහන්සේගේ දකුණු දණහිසේ වේදනා තත්ත්වයක් පැවති අතර උන් වහන්සේ එම තත්ත්වය විස්තර කළේ, "ශාරීරික දුර්වලතාවක්" ලෙසිනි.

 pope 3

හොර්හේ මාරියෝ බර්ගෝලියෝ 1940 දශකයේ බුවෙනොස් අයර්ස්හි පාසල් සිසුවෙකු ලෙස

 

තරුණ බර්ගෝලියෝ රසායන විද්‍යාඥයෙකු ලෙස උපාධිය ලබා ගැනීමට පෙර රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු (bouncer) සහ බිම පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කළේ ය.

ආර්ජන්ටිනාවේ කම්හලකදී, උන්වහන්සේ එරට මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව හඬ නැගූ එස්තර් බැලෙස්ට්‍රිනෝ සමග සමීපව කටයුතු කළහ. ඇයට වධහිංසා පමුණුවා තිබුණු අතර ඇයගේ මෘත ශරීරය කිසි දා හමු නොවිණි.

උන්වහන්සේ ජේසු නිකායට සම්බන්ධ වී දර්ශනය හැදෑරූ අතර සාහිත්‍යය සහ මනෝවිද්‍යාව ඉගැන්වූහ. ඉන් දශකයකට පසුව පූජකවරයෙකු බවට පත් වූ උන්වහන්සේ වැඩි කල් නොගොස් උසස් නිලයන්ට පත්ව 1973දී ආර්ජන්ටිනාවේ කලාපයේ ප්‍රධානියා බවට පත්වූහ.

 pope 4

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බුවනොස් අයර්ස්හි පිහිටි සිය දේශීය පාපන්දු කණ්ඩායම වන සැන් ලොරෙන්සෝහි ජීවිත කාලය පුරා ම රසිකයෙකු වූහ

චෝදනා

ආර්ජන්ටිනාවේ කුරිරු මිලිටරි පාලන තන්ත්‍රයේ ජෙනරල්වරුන්ට විරුද්ධ වීමට ප්‍රමාණවත් තරම් යමක් කිරීමට උන්වහන්සේ අසමත් වූ බව ඇතැමෙකුගේ අදහස වූහ.

1976 සිට 1983 දක්වා මිනිසුන් දහස් ගණනකට වධ හිංසා පමුණුවා හෝ මරා දැමූ හෝ අතුරුදහන් වූ කාලපරිච්ඡේදයක් වූ 'ආර්ජන්ටිනාවේ අශුද්ධ යුද්ධයේදී' පූජකවරුන් දෙදෙනෙකු හමුදාව විසින් පැහැර ගනු ලැබීමට සම්බන්ධ බවට උන්වහන්සේට චෝදනා එල්ල විය.

එම පූජකවරුන් දෙදෙනා වධ හිංසාවලට ලක්ව තිබුණු නමුත් අවසානයේ ජීවිත හානියක් නොමැතිව සොයා ගැනිණි. නමුත් ඔවුන් සිටියේ සිහිමදව සහ අඩ නිරුවතිනි.

pope 11

දුප්පත් අසල්වැසි ප්‍රදේශවල පූජකවරුන්ගේ කටයුතු කතෝලික සභාව විසින් අනුමත කරනු ලැබ ඇති බව බලධාරීන්ට දැනුම් දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බර්ගෝලියෝට චෝදනා එල්ල විය. එය සත්‍යයක් නම්, එය ඔවුන්ට මරණීය ඉරණමක් අත් කර දීමකි. එය උන්වහන්සේ එක හෙළා ප්‍රතික්ෂේප කළ චෝදනාවක් වූ අතර, උන්වහන්සේ ඔවුන් නිදහස් කර ගැනීම සඳහා තිරය පිටුපස ක්‍රියා කළ බව අවධාරණය කළහ.

ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළ විට, එය අපහසු කාර්යයක් වූ බව පැවසුවේ යැයි වාර්තා විය. සත්‍ය වශයෙන් ම වයස අවුරුදු 36දී උන්වහන්සේ වඩාත් පළපුරුදු නායකයෙකුට පවා දුෂ්කර විය හැකි අවුල් ජාලයක සිරවී සිටියහ.

බර්ගෝලියෝ විමුක්ති දේවධර්මය කෙරෙහි උනන්දුවක් නොමැති බව විශ්වාස කළ සෙසු ජේසු නිකායික පියවරුන් සමග ද උන්වහන්සේට මතභේද පැවතිණි. විමුක්ති දේවධර්මය යනු, අයුක්තිය අතුගා දැමීමට උත්සහ කළ කිතුණු චින්තනයේ සහ මාක්ස්වාදී සමාජ විද්‍යාවේ සංශ්ලේෂණයකි.

ඇතැම් අවස්ථාවලදී, උන්වහන්සේ සහ ජේසු නිකායික පියවරුන් අතර පැවති සම්බන්ධය විරසකයක් දක්වා ම වර්ධනය විය. 2005දී උන්වහන්සේ පාප් පදවියට පත් වීමට මුල්වරට ගත් උත්සහයෙන් අසාර්ථක වුණු අවස්ථාවේදී ඇතැම් ජේසු නිකායික පියවරු සැනසුම් සුසුම් පවා හෙළූහ.

 pope 5

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 1998දී බුවනොස් අයර්ස්හි අගරදගුරු ලෙස හොර්හේ මාරියෝ බර්ගෝලියෝ පත් කරන ලදී

 

සරල රුචි අරුචිකම් ඇති මිනිසෙක්

උන්වහන්සේ 1992දී බුවනොස් අයර්ස්හි සහයක රදගුරු ලෙස නම් කරන ලද අතර පසුව අගරදගුරු බවට පත් වූහ.

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 2001දී උන්වහන්සේ කාදිනල්වරයෙකු ලෙස පත් කළ අතර, උන්වහන්සේ කතෝලික දෙස සභාවේ පාලන තන්ත්‍රය වන කියුරියාහි නිලයක් දැරූහ.

ජ්‍යෙෂ්ඨ පූජකයෙකුට ලැබෙන වරදාන වරප්‍රසාද නොලබමින් උන්වහන්සේ සරල රුචි අරුචිකම් ඇති මිනිසෙකු ලෙස කීර්තියක් අත්පත් කර ගත්හ. උන්වහන්සේ සාමාන්‍යයෙන් ගුවන් ගමන්වල නිරත වූයේ, සාමාන්‍ය පන්තියේ වන අතර උන්වහන්සේගේ පදවියට හිමි රතු සහ දම් පැහැති ලෝගුව නොව පූජකයෙකුගේ කළු ලෝගුව ඇඳීමට කැමැත්තක් දැක්වූහ.

pope 12

 

උන්වහන්සේ සිය දේශනාවල දී සැමට සාධාරණව සලකන ලෙස ඉල්ලා සිටි අතර සමාජයේ සිටින දුප්පත් ම ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීමට අපොහොසත් වූ ආණ්ඩු විවේචනය කළහ.

"අපි ජීවත් වන්නේ ලෝකයේ වඩාත් ම අසමානකම් තියෙන කොටසේ," උන්වහන්සේ පැවසූහ. "[ආර්ථිකය] උපරිමයෙන් දියුණු වෙලා තියෙනවා, ඒත් දුප්පත්කම අඩු වෙලා නැති තරම්."

පාප් වහන්සේ වශයෙන්, නැගෙනහිර ගතානුගතික සභාව සමග වසර දහස් ගණනක් තිස්සේ පැවති විරසකය නිම කිරීමට උන්වහන්සේ විශාල උත්සහයක් ගත්හ.

පිළිගැනීමක් ලෙස, 1054 මහ සභා භේදයෙන් පසු පළමු වතාවට, එහි නායක පූජක පියතුමන්ලා රෝමයේ නව බිෂොප්වරයෙකු පත් කිරීමට කිරීමට සහභාගී වූහ.

 pope 6

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊශ්‍රායල ජනාධිපති ෂිමොන් පෙරෙස් (වමේ) සහ පලස්තීන ජනපති මහමුද් අබ්බාස් 2014දී සාමය සඳහා යාච්ඤා කිරීම සඳහා එක් තැනකට ගෙන්වා ගැනීමට සමත් වූහ.

 

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇංග්ලිකානුවන්, ලූතර්වරුන් සහ මෙතෝදිස්තවරුන් සමග කටයුතු කළ අතර සාමය සඳහා යාච්ඤා කිරීමට තමා හා එක්වන ලෙස ඊශ්‍රායල සහ පලස්තීන ජනාධිපතිවරුන් පොළඹවා ගත්හ.

මුස්ලිම් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් පසු උන්වහන්සේ ප්‍රකාශ කළේ, ඉස්ලාමය ප්‍රචණ්ඩත්වය ලෙස හඳුනා ගැනීම නිවැරදි නොවන බව ය. "මම ඉස්ලාමීය ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා නම්, මට කතෝලික ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්නත් වෙනවා," උන්වහන්සේ ප්‍රකාශ කළහ.

දේශපාලනිකව, උන්වහන්සේ ෆෝක්ලන්ඩ් දූපත් සඳහා ආර්ජන්ටිනාවේ ආණ්ඩුව හිමිකම් පෑමට සහය දැක්වූ අතර දේව මෙහෙයක දී මෙසේ පැවසූහ: "අපි ඇවිල්ලා ඉන්නේ, ඔවුන්ගේ රට ඔවුන්ට හිමි කර ගන්න, තම මව්බිම ආරක්ෂා කර ගන්න ගිහින් මිය ගිය මව්බිමේ පුත්‍රයන් වෙනුවෙන් යාච්ඥා කරන්න."

තව ද, ස්පාඤ්ඤ භාෂාව කතා කරන ලතින් ඇමෙරිකානුවෙකු ලෙස, එක්සත් ජනපද ආණ්ඩුව කියුබාව සමග ඓතිහාසික සහයෝගීතාවක් කරා ගමන් කළ අවස්ථාවේ උන්වහන්සේ මැදිහත්කරුවෙකු ලෙස තීරණාත්මක සේවාවක් දුන්හ. යුරෝපීය පාප් වහන්සේ කෙනෙකු මෙතරම් තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරයක් ඉටු කළ බව සිතීම දුෂ්කර ය.

 pope 7

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2015 වසරේ හවානා නුවර කළ සංචාරයේදී හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ හමුවූහ

 

කතෝලික සභාවේ ඉගැන්වීම්වල දී දැරූ මතය

කතෝලික සභාවේ ඉගැන්වීම්වල දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සම්ප්‍රදායිකවාදියෙක් වූහ.

උන්වහන්සේ "දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ තරම් ම ඉතා දැඩි කෙනෙක් වුණා... අනායාස මරණය, මරණ දඬුවම, ගබ්සාව, ජීවත්වීමේ අයිතිය, මානව හිමිකම් සහ පූජකයන්ගේ බ්‍රහ්මචර්යාව වගේ දේවල් ගැන."

දේව සභාව මිනිසුන්ගේ ලිංගික දිශානතිය නොතකා ඔවුන් සාදරයෙන් පිළිගත යුතු බව උන්වහන්සේ පැවසූහ. නමුත් උන්වහන්සේ සමලිංගික යුවළ දරුවන් දරුකමට හදා වඩා ගැනීම දරුවන්ට වෙනස් කොට සැලකීමේ ආකාරයක් බව අවධාරණය කළහ.

pope 13

 

සමලිංගික යුවළ සඳහා යම් ආකාරයක සමලිංගික විවාහවලට පක්ෂව ධනාත්මක ප්‍රකාශ නිකුත් කෙරුණ ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එය විවාහය ලෙස හැඳින්වීමට කැමැත්තක් නොදැක්වූහ. මේක "දෙවියන් වහන්සේගේ සැලැස්ම විනාශ කිරීමේ උත්සහයක්" වනු ඇතැයි උන්වහන්සේ පැවසූහ.

2013දී පාප් පදවියට පත්වීමෙන් ටික කලකට පසු උන්වහන්සේ රෝමයේ ගබ්සාවට එරෙහි පාගමනකට සහභාගී වූහ. එය සංවිධානය කර තිබුණේ, "පිළිසිඳ ගත් මොහොතේ සිට" නූපන් දරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීම වෙනුවෙනි.

උන්වහන්සේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගෙන් ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අතර අයර්ලන්තයට පණිවිඩයක් යවා [ඔවුන් මේ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වූ බැවින් නූපන් දරුවන් ආරක්ෂා කරන ලෙස එහි සිටින ජනතාවගෙන් අයැද සිටියහ.

උන්වහන්සේ කාන්තාවන් පූජකත්වයට පැමිණවීමට විරුද්ධ වූ අතර, දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ වරක් සහ ස්ථිරව ම එම හැකියාව බැහැර කළ බව ද ප්‍රකාශ කළහ.

තව ද, රෝග වැළැක්වීම සඳහා උපත් පාලන ක්‍රම භාවිත කළ හැකියි යන්න සඳහා උන්වහන්සේ විවෘතව සිටි බවක් මුලින් පෙනෙන්නට තිබුණ ද උන්වහන්සේ මෙම විෂය පිළිබඳ VI වන පාවුළු පාප් වහන්සේ ඉගැන්වීම ප්‍රශංසා කළහ. එනම්, උපත් පාලනය කාන්තාවන් පිරිමි තෘප්තිමත් කිරීමේ උපකරණ බවට පත් කළ හැකි බවට වන අනතුරු ඇඟවීම ය.

2015දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිලිපීනයේ ජනතාව අමතමින් කියා සිටියේ, උපත් පාලන ක්‍රම "දරුවන් නැතිකම හරහා පවුල විනාශ කිරීමට" දායක වන බව ය. උන්වහන්සේ එතරම් හානියක් ලෙස දුටුවේ දරුවන් නොමැතිකම නොව, ඔවුන් වළක්වා ගැනීමට හිතාමතා ගන්නා තීරණය යි.

 pope 8

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පිලිපීනයේ සංචාරයක් අතරතුර මැනිලාහි ජනතාව වෙත ආචාර කරමින් වැස්සෙන් ආරක්ෂා වීමට කහ පැහැති වැහි කබායක් ඇඳ සිටින අයුරු

 

ළමා අපචාරවලට එරෙහිව කටයුතු කිරීම

උන්වහන්සේගේ පාප් පදවියට එල්ල වූ විශාලතම අභියෝගය පෙරමුණු දෙකකින් පැමිණියේ ය: එනම් ළමා අපචාර පාලනය කිරීමට අසමත් වූ බවට උන්වහන්සේට චෝදනා කළ පිරිසෙන් සහ උන්වහන්සේ ධර්මය දියාරු කරන බව හැඟෙන ගතානුගතික විවේචකයන්ගෙන් එල්ල වූ චෝදනා ය. විශේෂයෙන් ම, දික්කසාද වූ සහ නැවත විවාහ වූ කතෝලිකයන්ට සභාවේ සාමාජිකත්වය ලබා දීමට ඉඩ දීම සඳහා උන්වහන්සේගේ පියවර ඔවුන්ගේ මනසෙහි විය.

ගතානුගතික මතධාරීහු ඔවුන්ගේ දිගුකාලීන ව්‍යාපාරයේ ආයුධයක් ලෙස ළමා අපචාර ප්‍රශ්නය ද අත් නොහළහ.

 

Pope McCarrick 1

2018 අගෝස්තු මාසයේදී, එක්සත් ජනපදයේ හිටපු වතිකාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අගරදගුරු කාලෝ මරියා විගානෝ විසින් පිටු 11ක යුද්ධ ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන ලදී. හිටපු කාදිනල්වරයෙකු වූ තෝමස් මැක්කැරික්ගේ හැසිරීම පිළිබඳව වතිකානයට කරන ලද අනතුරු ඇඟවීම් මාලාවක් විස්තර කරමින් උන්වහන්සේ ලිපියක් නිකුත් කළහ.

මැක්කැරික් වැඩිහිටියන්ට සහ බාල වයස්කරුවන්ට දිගින් දිගට ම පහර දෙන අපයෝජකයෙකු බවට චෝදනා එල්ල විය. අගරදගුරු විගානෝ පැවසුවේ, පාප් වහන්සේ ඔහු ගැඹුරින් දූෂිත බව දැන සිටිය ද ඔහුව "විශ්වාසවන්ත සභිකයෙකු" බවට පත් කළ බව ය. විසඳුම පැහැදිලි විය. උන්වහන්සේ මෙසේ පැවසූහ: ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා අස්විය යුතු ය.

"මේ සමලිංගික ජාල, රහසිගතව සැඟවිලා බූවල්ලෙකුගේ අඬු වගේ වැඩ කරන්නේ... මුළු පල්ලිය ම වෙළාගෙන."

පසුව ඇති වූ ආන්දෝලනය කතෝලික පල්ලිය ගිල ගැනීමට තරම් තර්ජනයක් විය. වතිකානය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු අවසානයේ 2019 පෙබරවාරි මාසයේදී මැක්‍රික් සේවයෙන් පහ කෙරිණි.

 pope 9

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2023දී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හමුවිය

 

කොවිඩ් වසංගතය අතරතුර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රය වෙත නිතිපතා පැමිණීම අවලංගු කළහ. ඒ, වෛරසය සංසරණය වීම වැළැක්වීම සඳහා ය. සදාචාරාත්මක නායකත්වය පිළිබඳ වැදගත් උදාහරණයක් ලෙස, උන්වහන්සේ එන්නත් කිරීම විශ්වීය වගකීමක් බව ද ප්‍රකාශ කළහ.

2022දී 95 වන වියේදී මියගිය බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍යයට නායකත්වය දුන් එනම්, වසර 100කට වැඩි කාලයක් හිටපු පාප් වහන්සේ කෙනෙකුගේ අවමංගල්‍යයට නායකත්වය දුන් පළමු පාප් වහන්සේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ වූහ.

මේ දක්වා, උන්වහන්සේට සෞඛ්‍ය ගැටලු තිබිණි. රෝහල්ගත කිරීම් කිහිපයක් ද සිදු විය. නමුත් ෆ්‍රැන්සිස් පාප් වහනසේ ගෝලීය සාමය සහ අන්තර්-ආගමික සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා උන්වහන්සේගේ උත්සහය අඛණ්ඩව කරගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටියහ.

2023දී, උන්වහන්සේ දකුණු සුඩානයට වන්දනා චාරිකාවක නිරත වූ අතර, ගැටුම් අවසන් කරන ලෙස රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ යුක්‍රේනයේ "නිරර්ථක සහ කුරිරු යුද්ධය" අවසන් කරන ලෙස ආයාචනා කළ නමුත් උන්වහන්සේ යුක්‍රේන වැසියන් කලකිරීමට පත් කළේ, රුසියානු ආක්‍රමණයට හේතුව ඔවුන් බවට වූ රුසියාවේ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි.

ඉන් වසරකට පසුව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව සහ සිංගප්පූරුව ඇතුළු මහාද්වීප දෙකක් හරහා රටවල් හතරක සංචාරය කළහ.

pope 10
හොර්හේ මාරියෝ බර්ගෝලියෝ පාප් පදවියට පැමිණියේ එය වෙනස් කිරීමට අදිටන් කරමිනි.

ඉතාමත් ලිබරල් නායකයෙකු ලෙස උන්වහන්සේට කැමති පිරිසක් සිටින අතර, විවේචකයින් පෙන්වා දුන්නේ, උන්වහන්සේ කතෝලික සභාවේ පූජකයින් අතින් සිදුවූ ලිංගික අපයෝජනයට එරෙහිව ගෙන ඇති පියවර දුර්වල බව ය.

නමුත් උන්වහන්සේ එය වෙනස් කිරීමට කටයුතු කළහ.

උන්වහන්සේ යුරෝපීය නොවන රටවලින් කාදිනල්වරුන් 140කට වඩා වැඩි ගණනක් පත් කළ අතර උන්වහන්සේට උරුම වූ කතෝලික සභාවට වඩා බොහෝ දුරට ගෝලීය දැක්මක් ඇති සභාවක් උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයාට දායාද කළේ ය.

තව ද, ආදර්ශයක් තැබීම සඳහා, උන්වහන්සේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ නොව නමුත් යාබදව පිහිටි වෙනත් ගොඩනැගිල්ලක (දෙවන ජුවාම් පාවුළු පාප්තුමා විසින් අමුත්තන්ගේ නිවාසයක් ලෙස ඉදිකරන ලද) වාසය කිරීමට තෝරා ගත්හ.

 

Pope Francis 2160x1440
වෙනත් ඕනෑ ම දෙයක් නිෂ්ඵල වනු ඇතැයි උන්වහන්සේ විශ්වාස කළහ. "මොනරා දිහා බලන්න," ඔබ ඒ සත්වයාගේ ඉදිරියෙන් බැලුවොත් ලස්සනට පේනවා, නමුත් පිටුපසින් බැලුවොත් ඔබට සත්‍යය වැටහේවි."

අභ්‍යන්තර ආරවුල් කපා හැර, දුප්පතුන් කෙරෙහි අවධානය යොමු කර, කතෝලික සභාව නැවත ජනතාව වෙත ලබා දීමෙන් සභාවේ ඓතිහාසික මෙහෙවර වැඩිදියුණු කරමින්, වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු වූහ.

"විනාශකාරී ආකල්පවලින් සහ තමන්ගේ ලෝකය ගැන විතරක් හිතන සභාවකින් වළකින්න," පාප් පදවියට තේරී පත් වී මද වේලාවකින් උන්වහන්සේ පැවසූහ.

"ලෝකයත් එක්ක ගනුදෙනු කරන, පාරට බැහැලා මිනිස්සු වෙත ළඟා වෙන පල්ලියක් තියෙනව නම් මම පළමුවෙන් ම තෝරා ගන්නේ ඒක."


| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...