The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මහ මොළ කරුවකු' හොයා ගනිමු ද? හදා ගනිමු ද? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

April 24, 2025 • 5:47 AM

'මහ මොළ කරුවකු' හොයා ගනිමු ද? හදා ගනිමු ද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වගේම ඒ සම්බන්ධ ව්‍යාකූල තොරතුරු රාශියකින් ජන මනැස ඔද්දල් වෙලා.
  • ඒ හින්දා තමයි මේ ප්‍රහාරයේ සුල මුල හෙළි කර ගන්න එක ජාතික වශයෙන් නොසන්සිඳෙන සා පිපාසාවක් බවට පත් වෙලා තියෙන්නේ.
  • ඒක කරපු මිනිස්සුයි ඒ අයට සම්බන්ධ අය කවුද කියන එකයි හොයාගෙන ගිහින් ඒ සම්බන්ධ තවත් බොහෝ තොරතුරු හොයා ගත්තත් මේ වැඩේ හෙළි නොවුණු කතාවක් ඇතෙයි කියන සැකේ සමහරුන්ට තිබුණා.
  • මහජනතාව තුළ මේ වගේ සැකයක් ඇත්නම් ඒක මාධ්‍යයටයි දේශපාලකයන්ටයි හොඳ ඉල්ලමක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම ඒ සම්බන්ධ ව්‍යාකූල තොරතුරු රාශියකින් ජන මනැස ඔද්දල් වෙලා. ඒ හින්දා තමයි මේ ප්‍රහාරයේ සුල මුල හෙළි කර ගන්න එක ජාතික වශයෙන් නොසන්සිඳෙන සා පිපාසාවක් බවට පත් වෙලා තියෙන්නේ.

කවුරු කළත් පාස්කු ප්‍රහාරෙ කියන්නෙ මරාගෙන මැරෙන මෙහෙයුමක් කියල සිද්ධිය වෙලා පැය දෙක තුනක් තුළහෙළි වුණා. ඒක කරපු මිනිස්සුයි ඒ අයට සම්බන්ධ අය කවුද කියන එකයි හොයාගෙන ගිහින් ඒ සම්බන්ධ තවත් බොහෝ තොරතුරු හොයා ගත්තත් මේ වැඩේ හෙළි නොවුණු කතාවක් ඇතෙයි කියන සැකේ සමහරුන්ට තිබුණා.

 black2

මහජනතාව තුළ මේ වගේ සැකයක් ඇත්නම් ඒක මාධ්‍යයටයි දේශපාලකයන්ටයි හොඳ ඉල්ලමක්. ඒ නිසාම දේශපාලකයොයි මාධ්‍යයයි කියන කොටස් දෙකම පාස්කු ප්‍රහාරෙ පිටිපස්සෙ සැඟවුණු න්‍යාය පත්‍රයක් ගැන හරි හරියට කතා කරන්න පටන්ගත්තා. ඒ සඳහා තමන්ම ගොඩ නන්ගාගත් උපකල්පනත් ඒකට යොදා ගත්තා. ජනතාවත් ඔවුන් දෙන ඉව පාරවල් ඔස්සේ ලුහු බඳින්න පටන් ගත්තා. ඒවායින් මුල්ම එක තමයි ලෝකෙ කොහෙවත් ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරා ගෙන මැරෙන්නෙ නෑ. ඒ නිසා පාස්කු ප්‍රහාරෙ සැලසුම් කරපු කණ්ඩායම් නායකයා යහතින් ඉන්න ඕන කියන එක. ඒ එක්කම එහෙනම් කවුද? ඒ නායකයා කියන සැකය මතු කළා. ඊළඟට සාරා ජෙස්මින් කියන කාන්තාව සායින්ද මර්දු මරාගෙන මැරෙන ප්‍රහාරෙන් පස්සෙත් ඉන්නව දැක්ක කියන ප්‍රවෘත්තිය ලැව් ගින්නක් වගේ පැතිරුණා.

පාස්කු ඉරුදින ප්‍රහාරය :සාරා ජෙස්මින්ගේ DNA ගැන මෙතෙක් නොදැන සිටි කතාව

 

ඉන්දියන් ඔත්තු සේවයක් මේ ප්‍රහාරෙ ගැන තොරතුරු ලංකාවට පූර්ව දැනුම් දීම කළේ ත්‍රස්ත කණ්ඩායමේ ඉන්දියන් ඔත්තු කරුවෙක් හිටි නිසාය. සාරා ජෙස්මින් ඒ ඔත්තුකාරි වෙන්න පුලුවන්ය කියලත් සැක මතු කළා. සමහර දේශපාලකයො කිව්වෙ සාරා ඉන්දියාවට පැනල ගියාය කියලයි.

ඉන්දියන් ආණ්ඩුවෙන් සාරව ඉල්ලන්නවත් බලයේ ඉන්න ආණ්ඩුව උනන්දුවක් ගන්නෙ නැත්තෙ ආණ්ඩුවත් මේ ප්‍රහාරෙට සම්බන්ධ නිසාය කියලයි ඒ දේශපාලකයො ජනතාවට කිව්වෙ.

ඔන්න ඒ අතර මහ මොළ කාරයෙක් ගැන අදහසක් මතු වුණා. ඒක මතු කළේ මැල්කම් රංජිත් කාදිනල් තුමයි. මේ හැම දෙනෙක්ම මේ සැක මතු කරන්න වුණේ විමර්ශනවල දී රටේ බුද්ධි අංශ මේ ප්‍රහාරකයන් සමඟයම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පෙන්වා දෙමිනුයි.

 



රටක බුද්ධි අංශ රටේ රාජ්‍ය විරෝධී කණ්ඩායම් එක්ක සක්‍රිය සම්බන්ධතා පවත්වගෙන යනව කියන කතාව අමුතු දෙයක් නොවෙයි. බුද්ධි නිලධාරීන් තමන්ගෙ ප්‍රධානීන්ගෙ මෙහෙයවීමෙන් රාජ්‍ය විරෝධී කල්ලි ඇතුලෙ ඒ කල්ලිවල සාමාජිකයො ලෙස පෙනී ඉන්නත් පුලුවන්. ඒ සංවිධානවල ඇතැම් ක්‍රියා කාරකම් වලටත් සම්බන්ධ වෙන්න වෙනව. නැත්නම් ඒ කල්ලිවල සාමාජිකයින් එක්ක සමීප සම්බන්ධතා පවත්වගෙන යනව වෙන්නත් පුලුවන්. ඒ සම්බන්ධතා එළිදරව් වීම් රාජ්‍ය බුද්ධි මෙහෙයුම් මුලුමනින්ම අඩාල වෙන්න හේතුවක්. ඒ නිසා බුද්ධි මෙහෙයුම් ගැන සාමාන්‍ය අපරාධ විමර්ශකයන්ටවත් හෙළිනොකර රහසිගතව තියා ගැනීමයි වෙන්නෙ. මේක අපේ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකම වෙන දෙයක්.

පාර්ලිමේන්තුවේත්, එළියේත් පාස්කු ප්‍රහාරය ගැන කතාවලට පොලිස් ඇමැති දුන්න  උත්තර ඇහුවද ?

පාස්කු ප්‍රහාරෙ විමර්ශනවල මේ බුද්ධි අංශ පවත්වාගෙන ගිය සම්බන්ධතාවය ගැන විමර්ශනය කරන්න ඉඩ නොදෙන්නෙ බුද්ධි අංශත් මේ ප්‍රහාරෙට සම්බන්ධ නිසා කියල ප්‍රවාදයක් රටේ හදන්න මාධ්‍ය වලටයි දේශපාලකයන්ටයි පුලුවන් වුණා. අන්න ඒ ප්‍රවාදෙ නිසා සැකයක් තිබුණු මිනිස්සු පාස්කු ප්‍රහාරෙ ඇතුළු මේ සේරම පිටිපස්සෙ මහ මොළයක් ඇතයි කියන කාරණේ පිළිගත්තා. ඉන්පස්සෙ දේශපාලකයන්ට පොරොන්දු වෙන්න වුණේ ඒ මහ මොළ කාරයව අල්ලනවා කියලයි. එහෙම කියල බලය ගත්තු අයට මහ මොළ කාරයෙක් හොයා ගන්න බැරි වුණාම මහ මොළ කාරයෙක් හදල හරි පෙන්නන්න වෙනවා. දැන් තියෙන්නෙ අන්න ඒ මහ මොළකාරයාව හොයා ගැනීම හෝ හදා ගැනීමේ මෙහෙයුම.

නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් -  (කුසල් පෙරේරා)

අපේ රටේ සිද්ද වුණු හැම අනපේක්ෂිත සිද්ධියක් පිටුපස්සෙම හෙළි නොවූ කතාවක් තියෙනවා කියන විශ්වාසෙ අලුත් එකක් නෙවෙයි. 1959 සිද්ද වූණු බණ්ඩාරනායක ඝාතනය ගැන තමයි මෑතක මුලින්ම ඔය කතාව මතු වෙන්නෙ. බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බෙ තල්දූවේ සෝමාරාම කියන භික්ෂුව. ඒ වෙලාවෙම ඔහුට වෙඩි තියල අඩපණ කරල අත්අඩංගුවට ගන්නව. ඔහු වෙඩි තියනව දැකපු ස්වාමීන්වහන්සෙ නමකුත් ඔහු සමඟම එතන ඉඳල සාක්කි දුන්න. ඝාතනය කරපු කුමන්ත්‍රණය කරපු කණ්ඩායම අල්ලල නඩු දාල සෝමාරාමව එල්ලල මරල දඬුවම් කළා. හැබැයි ඒ වුණාට බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බෙ සෝමාරාම නෙවෙයි ඔසී කොරයා කියල මහ විසාල හා හෝවක් පැතිරුණා. එහෙම කියන කට්ටිය අදත් ඉන්නව.

ඊළඟට විජය කුමාරතුංග මහත්තය මහ දවල් වෙඩි තියල ඝාතනය කිරීම. වෙඩි තිබ්බ කෙනා ඔහු එක්ක ගිය එකා ආදින් අල්ලගෙන ඔවුන්ගෙ පාපොච්චාරණය සටහන් කරගෙන ඔවුන්ව අතුරුදහන් කරලත් ඉවරයි. ඒ ඝාතනය වෙච්ච විගස එහි වගකීම අරගෙන නිවේදන නිකුත් කරපු සංවිධානත් තිබුණා. විජය ඝාතනය ගැන ලොකු විරෝධයක් රටේ එනකොට ඒ ඝාතනය ගැන වෙන වෙන විකල්ප කතා සමාජ ගත වෙන්න පටන්ගත්තා. ඒව දේශපාලනේටත් පාවිච්චි වුණා. අදත් විජය මැරුවේ කවුද කියල සැකයක් සමාජයේ සමහරුන් තුළ තියෙනවා.

 

එක්සත් ජාතික පක්ෂයේ බල පොරය අතීත උරුමයක්!
ඊළඟට ලලිත් ඇතුලත්මුදලි මහත්තයගෙ ඝාතනය. ඝාතකයා කියන කෙනා වෙඩි වැදිල මැරිල මිනියත් හම්බු වුණා. තමන් ඒ වෙලාවෙම ඒ ඝාතකයට වෙඩි තිබ්බය කියල ලලිත්ගෙ පුද්ගලික ආරක්ෂකය ලලිත්ට වෙඩි වැදුණු වෙලාවෙම කිව්වා. අපේ රටේ විකල්ප මාධ්‍ය ඔස්තාර් කෙනෙක් එයාගෙ පත්තරෙ ලිව්වා ලලිත්ට වෙඩි තිබ්බෙ “වැල්ලම්පිටියෙ සුදු මහත්තයා” කියන අපරාද කරුයි කියල. මේක දරා ගන්න බැරි වුණු “වැල්ලම්පිටියෙ සුදු මහත්තයා” ඒ මාධ්‍යකාරය හම්බුවෙලා තමන්ගෙ උඩුකය නිරාවරණය කරල පෙන්නලා කිව්වලු එහෙනම් කෝ පෙන්නන්න මගේ ඇඟේ ලලිත් සර් ගෙ බොඩිගාඩ් තිබ්බ වෙඩි පාරවැදුණු කැළල කියලත්. ඒ මාධ්‍ය ඔස්තාර් ඊට පස්සෙ ලිව්වෙ ලලිත්ගෙ බොඩිගාඩ් තිබ්බ වෙඩිල්ල ඝාතකයට වැදිල නෑ කියල මිසක් තමන් ගොඩ නගපු උපකල්පනය වැරදියි කියල නෙවෙයි. එහි ප්‍රතිපල හැටියට ලලිත් ඝාතනය එල්ටීටී ඊ එකෙන් ද ආණ්ඩුවෙන් ද කළේ කියන සැකය තාම සමාජගත වෙලා තියෙනවා.

ඊළඟට රණවිරු ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රමුඛ පිරිස ඝාතනය. යාපනේ අරාලි තුඩුවෙදි මහ දවල් හමුදාවෙ ප්‍රධානීන් කීප දෙනෙක් බලා සිටිද්දි බිම් බෝම්බෙකට අහුවෙලා ඒ මහාවිරුවන් ඝතනය වෙනව. එහෙම තියෙද්දි ඒ ඝාතනය සිදු වුණේ කොබ්බෑකඩුව මහත්තයගෙ වාහනේ හයිකරල තිබුණු බෝම්බයක් පුපුරවල ජනාධිපති ප්‍රේමදාසගෙ ඕනෑ කමටයි කියල කතාවක් හදල කොමිෂන් සභා හිටන් පත්කරල පරීක්ෂණ කරවන තැනට වැඩේ කළා. ඒ කොමිෂන් සභාව ඉස්සරහට ඇවිත් කවුදෝ කාන්තාවක් සාක්කි දුන්න ජෙනරාල් කොබ්බෑකඩුව මැරෙව්වෙ ජනාධිපති ප්‍රේමදාස ගෙ ඕනෑකමට මේජර් ජෙනරල් විජය විමලරත්නය කියලත්. විජය විමලරත්න කියන්නෙ කොබ්බෑකඩුව මහත්තයගෙ අතිශය හිතවත් සමිපතම හමුදා ප්‍රධානියෙක්. ඒ දෙන්න හමුදා මෙහෙයුම් වල එක්ව ක්‍රියාකරපු මහා රණ ශූරයො. හැබැයි අර මෝඩ කතාවත් පිළිගත්තු ගොබ්බ රැලක් රටේ ඉඳල කිරිබත්ගොඩ හන්දියේ ඉදිකරවලා තිබුණු විජය විමලරත්න ප්‍රතිමාවත් බිමට ඇදල දැම්ම. අන්තිමේදි අර කාන්තාව පට්ටපල්බොරුකාරියක්‍ පොදු ජන වහරට අනුව කිව්වොත් “පිස්සු මරගාතයක්” කියල හෙලි වුණාම කොබ්බෑකඩුව ඝාතන කුමන්ත්‍රණෙ ගැන අතේ පැලවෙන්න බොරු ලියපු මාධ්‍ය කට්ටිය හීන් සීරුවෙම වෙන මාතෘකාවලට මාරු වුණා. හැබැයි අදටත් කොබ්බාකඩුව ඝාතනය කළේ හිටපු ජනාධිපති ප්‍රේමදාසය කියන අය ඉන්නවා.

රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය නායකයා

 

ඊළඟට ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙම ඝාතනය. ඒකත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව බොහොම පැහැදිලිව පේන්න තිබුණට ඒකත් එල්ටීටීඊ එකෙන් කළ දෙයක් නොවේය තමන් ලලිත් මැරුව නිසා කේන්තියෙන් ඉන්න ජනතාවගේ අනුකම්පාව තමන්ට ගන්න හිටපු අනාධිපති ප්‍රේමදාස ප්ලෑන් කරල පොඩි බෝම්බයක් පූපුරුවල පොඩි තුවාලයක් හදාගෙන මැයි දින වේදිකාවට ලේ පෙරාගෙන ගොඩවෙලා පෙන්නන්න කරපු දෙයක් වැරදිලා වෙච්ච් දෙයක්‍ ය; ඒ වගේම සිරිසේන කුරේ ඕක පිටිපස්සෙ ඉන්නව කියල විකල්ප පත්තර ගජ බින්න ප්‍රචාරය කළා.

චන්ද්‍රිකා ජනාධිපති තුමිය අනූනමයෙන් ජීවිතේ බේර ගත්තු නගර ශාලා බෝම්බයත් එල්ටීටී ඊ ප්‍රහාරයක් නොවේය චන්ද්‍රිකා ඡන්දෙ දිනන්න කරවපු උප්පර වැට්ටියක්ය කියලා තමන් ප්‍රසිද්ධ කරපු පොතක ලියල පළකරපු මහා විකල්ප මාධ්‍යවේදී යුග පුරුෂයෙකුත් හිටපු රටක් මේ.

 

prem ka
ඒවගේම ප්‍රේම කීර්ති අල්විස් ඝාතනයත් එහෙමයි. ඒක ගැන අධිකරණෙ නඩු අහල ඊට සම්බන්ධ චුදිතයෙක්ව හිරේ යැව්ව. ඒත් ඒ ඝාතනේ කළේ ගුවන් විදුලියෙම ලොක්කෙක්ගෙ ඔනෑකමට ආණ්ඩුවෙ කණ්ඩායමක්ය කියල එයාගේ නෝනත් කියනවා.

මේ විදියට ප්‍රසිද්ධියේ සිද්ධවුණු පැහැදිලිම ඛේදවාචක වලත් පිටිපස්සෙ සැඟවුණු කතාවක් තියෙනවය කියල ප්‍රචාරය දෙන මාධ්‍යවේදීන් පිරිසකුත් බලය ගන්න ඕනෑම බොරුවක් ජනගත කරන දේශපාලකයොයි ඉන්න රටේ පාස්කු ප්‍රහාරෙ වගේ එකකට වෙනම රහස් කතාවක් නිර්මාණය නොවුණොත් ඒක ලෝක පුදුමයක්. ඒ නිසා ඔය මහ මොළ කාරයගෙ කතාව කවදාවත් අවසන්වෙන එකකුත් නෙවෙයි. පාස්කු ප්‍රහාරෙ කළ උන්ව සුද්ද කරල තමන්ට ඕන එකෙක්ගෙ ඇඟට ඒක දාල බඩ වඩා ගන්න කට්ටිය ඉන්නකම් ඒක නවතින්නෙ නෑ. ඒ නිසා දැන් ඉතින් අපිත් පාස්කු ප්‍රහාරයේ “මහ මොළ කරුවකු” හොයා ගනිමු නැත්නම් හදා ගනිමු කියලා තමයි කියන්න වෙන්නේ.


(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...