එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන් ලෙස ද හැඳින්වීම බොහෝ විට දක්නට ලැබේ.
ඒ අතර අවිනීත ඇඳුම් විලාසිතා සහ චර්යාවන් සහිත තරුණ කතුන් හැඳින්වීම පිණිස ද බොහෝ දෙනෙකු මෙම ‘ජවුසම’ යන වදන යොදනු අපි අසා ඇත්තෙමු. ඒ සියළු භාවිතාවන් ගෙන් ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් තිබේ. එනම් ජවුසම හා ජවුසන් නැටීම නිග්‍රහාත්මක භාෂණයක් බව ය.
එහෙත්, ඒ සම්බන්ධ වර්තමාන තත්වය එසේ වුවද ජවුසන් නමින් හැඳින්වුණු විශේෂිත රංගන සම්ප්‍රදායක් මෑතක් තෙක් අප රටේ තිබී ඇත. මේ වන විට ද එය ශේෂ මාත්‍රික තත්වයක පවතී. මෙම ජවුසන් නැටුම් පිළිබඳ මෑත කාලීන වැදගත් සාක්ෂියක් හමුවනුයේ ආචාර්ය නන්දදේව විජේසේකර සූරීන් විසින් සම්පාදනය කොට 1955 වසරේ එළි දක්වන ලද (එම්. ඩී. ගුණසේන සහ සමාගම) “ලංකා ජනතාව” නම් කෘතියෙනි.
එහි 250,251 පිටුවල මෙසේ සඳහන් වේ. “මුස්ලිම් ජනයා අලුත්ගම හා බේරුවල අවුරුදු පතා බුහාරි නම් උත්සවයක් පවත්වයි. නගර වීදි වල සංචාරය කරන ‘ජවුසන්’ කාරයන්ගේ නාට්‍යයෙහි උප්පත්තිය ඉන්දියානු, මුස්ලිම් වරුන් වූ බව පෙනේ. රෑට ගිනි පෑගීමකින් පසු මේ ක්‍රියා කෙළවර වේ” එමෙන්ම සිරි ලියනගේ සූරීන් විසින් සම්පාදනය කරන ලදුව වසර 2000 එළි දැක්වූ (සිරිලිය ප්‍රකාශන, පොල්ගස්ඕවිට) “ජනශ්‍රැති ශබ්ද කෝෂයේ” ද ජවුසන් කාරයා අර්ථ දක්වා ඇත්තේ මුස්ලිම් වරුන් ගේ ආගමික උත්සවයක නටන විකට නළුවා යනුවෙනි. ඉන් පසුව එහි ජවුසන් නටනවා යන්නට අර්ථයක් නැති විකාරයක් කරනවා යන අර්ථය ලබා දී තිබේ. ඒ අතර ඒ සඳහා ගැහැනු ළමුන් ගේ අවිනීත හැසිරීම් ද ජවුසන් ලෙස හඳුන්වන බව සමාජමය ව්‍යවහාරයන් ඇසුරින් එහි දක්වා තිබේ.
එහෙත්, ශ්‍රී ලාංකේය නර්තන කලා විශාරද වරයකු වන සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් මෙම ජවුසන් අර්ථ දක්වනුයේ ඊට ඉඳුරාම වෙනස් ලෙසකිනි.
‘ඔය ජවුසන් කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ “ජව සෙන්” ඒ කියන්නේ ජව බලයක් තියන සේනාව කියන වචන වලින්. ඕක රණකාමීත්වය පිළිබිඹු කරන නැටුමක් හත් කෝරලයේ අපේ ගම්පළාත් වල විශේෂයෙන් ඔය බිංගිරිය වගේ පළාත් වල ඉස්සර ජවුසන් නැටුම් තිබුණා. තම්මැට්ටම වගේ වාදන භාණ්ඩ තමයි ඒකට යොදා ගත්තේ.

එමෙන්ම 1960 දශකයේ අග භාගයේ දී මිහිඳුකුලසූරිය නිකලස් ද මෙල් නම් කලා ගුරුවරයාගෙන් ජවුසන් නර්තන කලාව ප්‍රගුණ කළ මීගමු දූවේ ලක්ෂ්මන් ද මෙල් මහතා ද අද ද එහි පුරෝගාමීත්වය දරයි. ඔහු පවසන අන්දමට මෙම ජවුසන් නර්තනය මීට වසර දෙසීයකට පමණ ඉහත කේරලයේ කොචින් බලා ගමන් ගත් හතලිහක ගෙන් යුතු මීගමු දූවේ ධීවර කණ්ඩායමක් විසින් එහි දී දැක බලාගත් ජන නැටුමක් ආශ්‍රිතව රටට විත් පුරුදු පුහුණු වූවකි.
එහි දී දූවේ කලා පරපුරකට අයත් මිහිඳුකුලසූරිය දුමිංගු ප්‍රනාන්දු විසින් ඒ සඳහා අවශ්‍ය ගායනා ප්‍රබන්ධය කොට එය කිතුනු ජන රංගනයක් සේ සකස් කොට තිබේ. ඒ මීගමු දූවේ කිතුනු ජන කලාව තව දුරටත් පෝෂණය කිරීමේ අදිටනින් විය යුතු ය. 1937 වසරේ සිට එංගලන්තයේ රජ කළ හය වන ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් මීගමු දූව නියෝජනය කරමින් මීගමුව කොටුව පිට්ටනියේ ඉදිරිපත් කළ ජවුසන් රංගනය ඊට සහභාගී වූ ඉංග්‍රීසි ප්‍රභූන් ගේ පවා අමන්දානන්දයට හේතු වූ බව පැවසෙයි.
පසුව 1944 වසරේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති දීප ව්‍යාප්ත පාසල් ජන නැටුම් තරඟාවලියේ දී ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට මීගමුවේ දූව කතෝලික පිරිමි පාසලේ ජවුසන් නාට්‍ය කණ්ඩායම සමත් වී තිබේ. එමෙන්ම 1988 ජාතික යෞවන සම්මාන උළෙලේ සමූහ ජන නැටුම් තරඟයේ ප්‍රථම ස්ථානයන් 1990 ජාත්‍යන්තර සාම නැටුම් උළෙලේ ප්‍රථම ස්ථානයන් මීගමු දූවේ ජවුසන් කණ්ඩායමට හිමි ව ඇත.
මෙම ජවුසන් යනු වැදි නැටුමකි. එහිදී වැදි ජනතාව මෙන් සැරසුණු පිරිසක් උස් මුගුරු ගෙන “ජවුසන් ජල්ලි මා”යනුවෙන් ඇරඹෙන ගායනයක් ද සමඟ අසීරු රංගනයක යෙදෙන අතර එම කණ්ඩායමේ වන සතුන් මෙන් සැරසුණු කිහිප දෙනෙක් ද වෙති. ඒ අනුව මෙය දඩකෙළි නිරූපණයක් බව ද පෙනේ. මුල දී වැදි ජනතාව මෙන් රඟන ශිල්පීන් කොළ අතු හැඳ රංගනයට පිවිසිය ද දැන් ඔව්හු ඒ වෙනුවට එම වර්ණ හා හැඩයෙන් යුතු ඇඳුම් භාවිතා කරති. නමුත් මෙම ජවුසන් රංගනයෙන් කිසිදු පුරාවෘත්තයක් අනාවරණය නොවීම ද විශේෂත්වයකි.

“ඔය දූවේ මිනිස්සුන්ට ඕනෙම කලාවක් පුදුම විදිහට පිහිටනවා. ඒ මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ගායනය, වාදනය, නැටුම කියන තලෙන්තු ( Talents,හැකියා, දක්ෂතා ) තුනම ප්‍රදානය කළා කියලා කතාවට කියනවනේ. නමුත් අපේ ආච්චිලා සීයලගේ කාලේ ඉන්දියාවෙන් රා මදින්න ආපු කොච්චි මිනිස්සුත් ඔය වගේ අමුතු නැටුම් දැන ගෙන ඉඳලා තියනවා. ඒ මිනිස්සු ඒවා තැන් තැන්වල පෙන්නලත් තියනවා” මීට මඳ කලෙකට පෙර මට හමු වූ මීගමුව, සිරිවර්ධන පෙදෙසේ මේරි ඇග්නස් ප්‍රනාන්දු මහත්මිය මා හා කියා තිබේ.

ඇය පවසන රා මැදීම පිණිස කේරලයෙන් මෙරටට සංක්‍රමණය වූ තරුණයන් බොහෝ දෙනෙක් එහි කොච්චි හෙවත් කොචින් වැසියන් වීම මත ඔවුන් කොච්චින් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම ඔවුන් බොහොමයක් නාඹර තරුණයන් බවත් ඔවුන් ගේ කාය බලය ප්‍රදර්ශනය වන මෙම නැටුම් නැරඹීමට එවක එම ප්‍රදේශවල තරුණියන් මහත් ඇල්මක් දැක් වූ බවත් ඒ ඔස්සේ සමහර තරුණියන් එම කොච්චි තරුණයන් හා විවාහ වූ බවත් ප්‍රනාන්දු මහත්මිය තම වැඩිහිටියන් ගෙන් අසා තිබිණ.
(සටහන | තිලක් සේනාසිංහ)ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com
(උපුටා ගැනීම- vinivida.lk)



