
ඔහුව “තන්තායි චෙල්වා” කියලා දෙමළ සමාජය නම් කෙරුවේ 1960 දසකය ආරම්භයටත් කලින්. දෙමළෙන් “තන්තායි චෙල්වා” කියන්නේ “චෙල්වා පියාණනි” කියනවා වගේ අති ගෞරවනීය ආමන්ත්‍රණයක්. ඔහුගේ සම්පූර්ණ නම, සැමුවෙල් ජේම්ස් වේළුපිල්ලෙයි (SJV) චෙල්වනායගම්. කොළඹ සමාජයේ ඔහුව නිකම්ම “චෙල්වා” කියලත් ඇමතුවා.
චෙල්වා දේශපාලනයට එන්නට කලින් සිවිල් නීතිය සම්බන්ධ දක්ෂ නීතිඥවරයෙකු ලෙස පිළිගැනුමක් ලැබූවෙක්. ඔහුට යටත් විජිත ලංකාවේ අග්‍ර විනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පත්වීමක් සඳහා දෙවරක්ම කැඳවනු ලැබුවත් ඒ පත්වීම් බාර ගත්තෙ නැහැ. පසුව ඔහුට රාජ නීතිඥ පදවියක්ද බ්‍රිතාන්‍ය කිරීටයෙන් දෙනු ලැබුවා.

ලංකාවට නිදහස ලබා දීමේ ව්‍යවස්ථාමය ක්‍රියාවලිය 1946 සොල්බරි කොමිසම විසින් තහවුරු කෙරුණක්. දෙමළ දේශපාලනය විසින් සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත නොකෙරුවාට, නිදහස් ලංකාවේ පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිව දෙමළ ජාතික දේශපාලනයට අර්ථාන්විත වටිනාකමක් නොලැබෙන්නේ යැයි දෙමළ සමාජයේ මතයක් තිබුණා. එනිසා එවකට එකම දෙමළ දේශපාලන පක්ෂය වුන අධිනීතිඥ ජී. ජී. පොන්නම්බලම් (ජ්‍යෙෂ්ඨ) නායකත්වය දැරූ සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය 1947 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කෙරුවා. ඒ මැතිවරණයට කන්කසන්තුරෙයි ආසනයට තරග කෙරුවේ චෙල්වා. ඒ පළමු පාර්ලිමේන්තුවේ සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් 07 ගෙන් චෙල්වා එක මන්ත්‍රීවරයෙක්.
සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය 1949 දී දෙබෑ වුනා. ඊට හේතු වුනේ ඩී. එස්. සේනානායක අගමැතිගේ ආණ්ඩුව කන්ද උඩරට වැවිලිකරයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ශ්‍රමිකයින්ගේ පුරවැසි හා ඡන්ද අයිතිය අහෝසි කළ පනත් දෙකක් 1948 දී සම්මත කිරීමට පොන්නම්බලම් සහාය දැක්වීමයි. ඊට විරුද්ධව ලංකා දෙමළ කොන්ග්‍රසයෙන් ඉවත් වූ කණ්ඩායමට 1949 දෙසැම්බරයේදී වෙනම දෙමළ දේශපාලන පක්ෂයක් හදන්න නායකත්වය දුන් ප්‍රධානියෙක් වුනේ චෙල්වා ය.

අද පාර්ලිමේන්තු දේශපාලනයේ ITAK කියලා හඳුන්වන්නේ ඒ පක්ෂයයි. දෙමළෙන් “ඉලංකෙයි තමිල් අරසු කච්චි” කියන නම ඉංග්‍රීසියෙන් ලියනවිට භාවිත වන ඉංග්‍රීසි අකුරු සතර තමයි දැන් “ඉටාක්” කියන්නේ. “ඉලංකෙයි තමිල් අරසු කච්චි” කියන්නේ “ලංකාවේ දෙමළ රාජ්‍යයේ පක්ෂය” කියන අරුතයි. නමුත් ඉන් වෙනම රාජ්‍යයක් අරමුණු නොවන බව කීමට, ඔවුන් ඉංග්‍රීසියෙන් භාවිත කෙරුවේ “ෆෙඩරල් පක්ෂය” කියලා.
මේ ITAK පක්ෂයේ ආරම්භක සභාපති ලෙස පත් වුනේ චෙල්වා. දෙවන වරද සභාපති වූයේ චෙල්වා. ඔහුට අවශ්‍ය කාලයක් ITAK සභාපතිකම දරන්න කිසිදු බාධාවක් තිබුණේ නැහැ. සභාපති ධූරය වෙනුවෙන් තරග නොමැතිව පොදු එකඟතාවයකින් පුද්ගලයෙකු පත් කිරීමේ සම්ප්‍රදායක් චෙල්වනායගම් තහවුරු කෙරුවා. නමුත් දෙවන වාරයෙන් පසු ඔහු ITAK සභාපති ධූරය බාර ගත්තේ නැහැ. ඒ වෙනුවට වන්නියසිංහම්, නාගනාතන්, රාජවරෝතියම්, රාසමානිකම් සහ අමීර්තලිංගම් වරින් වර සභාපති ලෙස පත් වුනා. ITAK නායකයා හැටියට ඒ සියල්ලන් චෙල්වාව පිළිගත්තා.

නිදහසින් පසු චෙල්වනායගම් ගේ කාලයේ දෙමළ දේශපාලනයේ ඉදිරි මග සහ ක්‍රියාකාරිත්වය තීන්දු වූයේ ඔහුගේ එකඟත්වය මත පමණයි. ඔහු තීන්දු ගත්තේ අනෙක් ITAK නායකයින් එක්ක කතා කරලා. ඊට හොඳම අත්දැකීම තමයි 1957 අත්සන් කෙරුණු බණ්ඩා - චෙල්වා ගිවිසුමට එකඟවීම. කතාව සාරාංශගත කෙරුවොත් බණ්ඩාරනායක අගමැති වශයෙන් බලයට ආව 1956 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව, දකුණේ සිංහල-බෞද්ධ සමාජයට දුන් පොරොන්දුවට අනුව, සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව කළ පාර්ලිමේන්තු පනත පක්ෂව ඡන්ද 56 ක් සහ විරුද්ධව ඡන්ද 29 ක් සමග සම්මත කෙරුවා. සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ඊට විරුද්ධව ඡන්දය දුන්නා. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘56 ජුනි 05 වන දින, චෙල්වනායගම්ගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ඊට විරුද්ධව සාමකාමී සත්‍යග්‍රහයක යෙදුණු ITAK මන්ත්‍රීවරුන්ට, පිලිප් ගුණවර්ධනගේ මැරයින් පහර දුන්නා.

එවැනි පසුබිමක, ‘56 අගෝස්තු 17 - 19 දිනවල ITAK සමුළුව චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත් වුනා. එහිදී කරුණු 04 ක් ඇතුළත් යෝජනාවක් ඒකමතිකව සම්මත කෙරුණා. ඒ කරුණු 04 වුනේ,
(1) ෆෙඩරල් ලංකාවක ස්වාධීන දෙමළ පාලනයක්
(2) දෙමළ භාෂාවද සිංහල රාජ්‍ය භාෂාව මෙන් ජාතික රාජ්‍ය භාෂාවක් ලෙස සම්මත කිරීම
(3) වැවිලිකරයේ දෙමළ ජනතාවට පුරවැසි සහ ඡන්ද අයිතිය නැවත ලබාදීම සහ
(4) සාම්ප්‍රදායික දෙමළ ප්‍රදේශවල සිංහල ජනාවාස පිහිටුවීම වහා අත්හිටුවීමයි.
වැදගත් වුනේ සමුළුව විසින් එම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අවුරුද්දක කාලයක් දීමටත් අවුරුද්දක් ඇතුළත ආණ්ඩුව ඒවාට සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම්, සාමකාමී සෘජු විරෝධතා සංවිධානය කිරීමට ITAK වෙත බලය දීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කිරීමයි.

අලුත් අවුරුද්ද (1957) ආරම්භ වෙන්නේ වාහන ලියාපදිංචිය සඳහා “ශ්‍රී” අකුර යෙදීමත් ඊට විරුද්ධව දෙමළ ප්‍රදේශවල ඔවුන්ගේ අකුරක් යොදා ගැනීමත් සමගයි. ඊට ප්‍රතිචාර වශයෙන් දකුණේ දැන්වීම් පුවරුවල තිබූ දෙමළ වචන තාර ගා මකා දමන්න පටන් ගත්තා. මේ සිංහල-දෙමළ විරෝධතා සමග ත්‍රිකුණාමල ITAK සමුළුවේ සම්මත කෙරුණු ආණ්ඩුවට අවුරුද්දක කාලයක් ලබාදුන් යෝජනාවේ අගෝස්තු 20 අවසන් දිනයද ආසන්න වුනා. තත්ත්වය බරපතල වන බව අගමැති බණ්ඩාරනායක තේරුම් ගත් බවට සාක්ෂිය වුනේ ඔහු මැයි මාසයේ “ප්‍රාන්ත සභා” පිහිටුවීමේ පනත් කෙටුම්පතක් ප්‍රකාශ කිරීම නිසයි.
බණ්ඩාරනායක-චෙල්වනායගම් සාකච්ඡා ආරම්භ වෙන්නේ ඒ සමගයි. පළමු සාකච්ඡාව 1957 ජුනි මාසයේ හොරගොල්ල වලව්වේ පැවැත් වුනා. ඊළඟ සාකච්ඡා බණ්ඩාරනායක අගමැතිගේ රොස්මිඩ් පෙදෙසේ නිවසෙහි පැවැත් වුනා. ඒ සඳහා මුල් යෝජනා සකස් කෙරුණේ ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී වන්නියසිංහම් සහ ITAK ලේකම් වී. නවරත්නම් ගෙන්. එම යෝජනා දීර්ග සාකච්ඡා වලට හේතු උනා. ඒ සාකච්ඡාවල අගමැති බණ්ඩාරනායක නියෝජනය වූයේ මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා මගින්. ITAK නියෝජනය කෙරුවේ වන්නියසිංහම්, නවරත්නම් සහ තවත් කිහිප දෙනෙකු විසින්.
ජුලි 25-26 පැවති අවසන් අඛණ්ඩ සාකච්ඡා වලට අගමැති සහ චෙල්වනායගම් දෙපළම සහභාගි වුනා. දැන් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම කියලා හඳුන්වන විසඳුම් යෝජනා 26 වන දින පාන්දර ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් එයට අගමැති බණ්ඩාරනායක සහ ITAK නායක චෙල්වනායගම් අත්සන් තබා ඇත්තේ පසු දින යේයි.

අවාසනාව කියන්නේ, මේ තරම් වධ විඳලා, මහන්සි වෙලා මේ රටේ සියලු ජන කොටස් සඳහා තනි රටක් සංවර්ධනය කර ගැනීමට හදා ගත්ත බල හවුල, සිංහල-බෞද්ධ අන්තවාදීන් පිරිසකගේ විරෝධය හමුවේ අගමැති බණ්ඩාරනායක නොපමාව, ඔහුගේ තනි මතයට අතහැර දැමීමයි. එයට පිළිතුරු වශයෙන් 1960 චෙල්වනායගම්ගේ නායකත්වයෙන් උතුරු-නැගෙනහිර දියත්වූ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයට මුහුණ දෙන්න සිදුවුනේ බණ්ඩාරනායක මැතිනියටයි. එය මෙතෙක් සිංහල දකුණේවත් නොතිබූ, සියලු රජයේ කාර්යාල වසා තැබුණු ඉතා දැවැන්ත ජන සහභාගිත්වයක් තිබූ විරෝධතා ව්‍යාපාරයක් වුනා.
ඉන්පසුවද දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් සඳහා එකඟතාවක් 1965 ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව සමග චෙල්වනායගම් ගේ නායකත්වයෙන් ඇති කර ගත්තා. ඩඩ්ලි-චෙල්වා ගිවිසුම කියන්නේ ඒකට. නමුත් ඩඩ්ලිගේ 1965 හවුල් ආණ්ඩුවට එවැනි ගමනක් යන්න තරම් දේශපාලන හයියක් තිබුණේ නැහැ. ඊටත් අමතරව විපක්ෂයේ ශ්‍රී.ල.නි.ප සමග සන්ධානගතව සිටි සමසමාජ-කොමියුනිස්ට් පක්ෂද ඩඩ්ලි-චෙල්වා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට විරුද්ධව 1968 ජනවාරි 08 වන දින ශ්‍රී.ල.නි.ප සමග පාරට බැස්සා.

ඒ සමග දෙමළ තරුණයින් අතර, චෙල්වනායගම්ගේ සම්මුතිවාදී දේශපාලනය හා සාමකාමී විරෝධතා කොළඹ සිංහල නායකයින් සමග ගනුදෙනු කිරීමට නොගැලපෙන්නේ යැයි සාකච්ඡාවට ලක් වුනා. 70 දසකය ගෙවුනේ චෙල්වනායගම්ගේ නායකත්වය ප්‍රශ්න නොකෙරුණු නමුත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ITAK තරුණ පෙරමුණෙහි සටන්කාමිත්වයෙන් ශක්තිමත් කළ යුතු යැයි වූ යෝජනාද ඇතුවයි.
දකුණේ සිංහල-බෞද්ධ නායකයින්ගේ අන්තවාදය සමග 80 දසකය වනවිට “තන්තායි චෙල්වා” ගේ සාමකාමී දෙමළ දේශපාලනය තරුණ සන්නද්ධ ක්‍රියාකාරිත්වයෙන් ආදේශ වූවත් ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඔහුගේ දේශපාලන මුද්‍රාව, මකන්නට පුළුවන් මුද්‍රාවක් නෙවෙයි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 අප්‍රේල් 26



