The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක් : මන්ත්‍රණ සභික ගේටානෝ ග්‍රේකෝ වෙත කරන උපහාරයක් | ලයනල් සහ චිත්‍රා බෝපගේ

T

The Leader Desk

April 27, 2025 • 7:35 AM

සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක් : මන්ත්‍රණ සභික ගේටානෝ ග්‍රේකෝ වෙත කරන උපහාරයක් | ලයනල් සහ චිත්‍රා බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගේටානෝ ග්‍රේකෝ සහෝදරයා අපට මුලින්ම හමු වූයේ මෙයට දශක දෙකකට පමණ පෙර අප මෙල්බන් නුවරට පැමිණ ටික කලකට පසු යි.
  • ඒ මුල් කාලයේ පටන් ම ඔහු සහෝදර ක්‍රියාකාරිකයෙකු ට වඩා වැඩිමනත් අයෙක් - පවුලේ සුහද මිතුරෙක් සහ විශ්වාසවන්ත සටන් සගයෙක් බවට පත් විය.
  • කාලය ගෙවී යද්දී, ගේටානෝ සංස්කෘතිය පැත්තෙන් නොව, සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය කෙරෙහි පැවතුන පොදු කැපවීමක් නිසාවෙන් එකට එක්සත් ව සිටි, සමාන අදහස් දැරූ පවුල්වල සමීප කවයක කොටසක් බවට පත් විය.
  • ශ්‍රී ලංකාව සහ නැගෙනහිර ටිමෝරයේ ( ටිමොර්-ලෙස්ට්) සිට ඉන්දියාව සහ පලස්තීනය දක්වා ලොව පුරා සිටින ජනතා අරගල සහ කතන්දර ගැන ඔහු දැඩි උනන්දුවක් දැක්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගේටානෝ ග්‍රේකෝ සහෝදරයා අපට මුලින්ම හමු වූයේ මෙයට දශක දෙකකට පමණ පෙර අප මෙල්බන් නුවරට පැමිණ ටික කලකට පසු යි. ඒ මුල් කාලයේ පටන් ම ඔහු සහෝදර ක්‍රියාකාරිකයෙකු ට වඩා වැඩිමනත් අයෙක් - පවුලේ සුහද මිතුරෙක් සහ විශ්වාසවන්ත සටන් සගයෙක් බවට පත් විය.

කාලය ගෙවී යද්දී, ගේටානෝ සංස්කෘතිය පැත්තෙන් නොව, සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය කෙරෙහි පැවතුන පොදු කැපවීමක් නිසාවෙන් එකට එක්සත් ව සිටි, සමාන අදහස් දැරූ පවුල්වල සමීප කවයක කොටසක් බවට පත් විය.

ගේටානෝ සාඩම්බර ඉතාලි උරුමයක් සහිත අයෙකු වූවත්, ඔහුගේ දැක්ම දේශ සීමාවන් ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාව සහ නැගෙනහිර ටිමෝරයේ ( ටිමොර්-ලෙස්ට්) සිට ඉන්දියාව සහ පලස්තීනය දක්වා ලොව පුරා සිටින ජනතා අරගල සහ කතන්දර ගැන ඔහු දැඩි උනන්දුවක් දැක්වීය. පීඩනයට හා අසමානතාවයට එරෙහිව සටන් කළ අය කොහේ සිට පැමිණිය ද ඔහු ඔවුන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කළේය.

get1

මගේ පියා මෙන්, සිය පියාණන්ගෙන් පැවත එන ජාත්‍යන්තර සමාජවාදී චින්තනයට අයත් ප්‍රබල සම්ප්‍රදායකින් ගේටානෝ දැඩි සේ ආභාෂය ලැබීය. විශේෂයෙන් ම, ඔහු සේවය කළ ඕස්ට්‍රේලියානු බදු කන්තෝරුව තුල ත්, පසුව ඔහුගේ වෘත්තීය සමිති මැදිහත් වීම තුළිනුත්, කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටින්නෙකු බවට පත් වෙමින් ඔහු ඒ උරුමය අවංක බවෙන් යුතුව පවත්වා ගෙන ගියේය. මව් බස ඉංග්‍රීසි නොවන කම්කරුවන්ගේ හඬට ප්‍රමුඛත්වය දෙමින් සහ ඔවුන්ගේ හඬ ඇසුණු බව සහතික කරමින්, ඔහු ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට විශේෂයෙන් කටයුතු කළේය.

මේ අප දැන සිටි සහ අපේ ගරුත්වයට ලක් වූ: ප්‍රතිපත්ති ගරුක, දයානුකම්පිත සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමට දරන පරිශ්‍රමවල දී වෙහෙස නොබලා කටයුතු කල ගේටානෝ යි.

ආර්ථික සාධාරණත්වය, සංස්කෘතික පිළිගැනීම සහ සියලු ජනයාගේ ගරුත්වය උදෙසා සටන් කරමින් පෙරමුණු බොහොමයක අපි එකට කටයුතු කළෙමු. ඔහුගේ ආරාධනයෙන් මම (Darebin Ethnic Communities Council - DECC) ඩරබින් වාර්ගික ප්‍රජා කවුන්සිලයට එහි භාණ්ඩාගාරික ලෙස එකතු වූයෙමි; ඒ මෙහෙවර අපව තවත් සමීප කර ලීය. සහයෝගීතා උත්සව සංවිධානය කරමින් ද, විවිධත්වය තුළ ඒකත්වය පෝෂණය කරමින් ද ඉතාලි, ග්‍රීක, සිංහල, දෙමළ, කුර්දි, පලස්තීන සහ වෙනත් බොහෝ විවිධ පසුබිම්වලින් පැවතෙන ජන ප්‍රජාවන් සමඟ අපි සහයෝගයෙන් එකට කටයුතු කළෙමු. බහු සංස්කෘතික වාදය සඳහා ගේටානෝ තුල තිබුණු කැපවීම දේශපාලනික වූවක් පමණක් නොව, ගැඹුරෙන් ම පෞද්ගලික වූවක් ද විය. මේ කාලය තුළ, ඔහු ඩරබින් කවුන්සිලයට තේරී පත් වූ අතර, හැම විටම අවංකව සහ අරමුණු සහගත ලෙස නායකත්වය සපයමින් පසු කාලීනව එහි නගරාධිපතිවරයා ලෙස සේවය කළේය.

DsFyZxxUwAADKic

ලයනල් බෝපගේ ප්‍රත්‍යාවලෝකන | Lionel Bopage Retrospection - දෙසැ. 9 සවස 4.00  ටනිදහසින් පසු ශ්‍රී ලංකාව පිළිබඳ කතාන්දරය, වාමවාදී කාචයකින් ඉදිරිපත් කිරීමේ වැදගත්කම කල් ඇතිව හඳුනා ගත් ගේටානෝ, (ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ යනුවෙන් පරිවර්තනය කර තිබෙන) Lionel Bopage Story නමැති මගේ දේශපාලන චරිතාපදානයට වැදගත් අනුග්‍රාහකයෙකු ද වූයේය. ආන්තික බවට පත් කොට, අමතක කර දමා ඇති - ඉතිහාසය විසින් බොහෝ විට පසෙකට ලා තිබෙන අදහස් ප්‍රභාමත් කොට ආලෝකවත් කිරීම කෙරෙහි ඔහු විශ්වාසය තැබීය. ඔහු සංචාරයේ යෙදුණු සහ සහයෝගීතාවයෙන් කටයුතු කළ බොහෝ රටවල් කෙරෙහි ඔහු දක්වන ලද ප්‍රවේශයට මඟ පෙන්වූයේ ද මෙම ආචාර ධර්ම ම යි.

නැගෙනහිර පළාතේ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල සංචාරය කල ඔහු මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස දෙවරක් ශ්‍රී ලංකාවට ගියේය. ඔහු එහි ගත කල කාලය දේශපාලනමය වූවා පමණක් නොව, සවන් දෙන්නට, ඉගෙන ගන්නට, සාමාන්‍ය මිනිසුන් සමඟ එකට ඇවිද යන්නට ද ඉඩ කඩ සාදා ගත්තේය. ප්‍රභූ පැලැන්තියේ කතාන්දරවලින් ඔබ්බට පවතින සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වටහා ගන්නට ඔහුට අවශ්‍ය විය.

නැගෙනහිර ටිමෝරයේ දී ද ඔහු ඒ කල්පනාකාරී ප්‍රවේශය ම යොදා ගත්තේය. ඩරබින් වාර්ගික ප්‍රජා කවුන්සිලය, වික්ටෝරියාවේ ප්‍රකට ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන දෙකක් වන PHRE සහ AAGGSL සමඟ එකට කරන ලද කටයුතුවල දී ද ඔහුගේ සහයෝගය ද ලැබිනි.

ඔහුගේ සෞඛ්‍යයට අදාල දුෂ්කරතා පිළිබඳව අප දැන ගත් විට එය අපටම එල්ල වුනු දැඩි පහරක් විය. හුදෙක් සමීප මිතුරෙක් පමණක් නොවූ ගේටානෝ, වික්ටෝරියාවේ බහු සංස්කෘතික ප්‍රජාවේ කුළුණක් ද, හඬක් නොමැති අය වෙනුවෙන් නැඟුණු හඬක් ද, සාධාරණත්වය වෙනුවෙන් නිර්දය ලෙස පෙනී සිටි අයෙක් ද වූයේය.

99cc777b27175359b363d269f218df57

අසනීපව පසු වෙද්දී පවා, ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ව්‍යාපාර මුහුණ දෙන අභියෝග ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම වැනි වැදගත් කාරණා පිළිබඳව නොකඩවා කටයුතු කළේය. අධිකාරවාදයේ සහ ජනතාවාදී බෙදා වෙන් කිරීමේ ගෝලීය වඩ දිය රැල්ලට එරෙහි වුනු ශ්‍රී ලංකාව වැනි රටවල් කෙරෙහි අවධානය යොමු කරවීම ඉතා වැදගත් බව ඔහු විශ්වාස කළේය.

බෙදා හදා ගත් පරමාදර්ශ, මහ රෑ තෙක් කල සාකච්ඡා, එකට එක්ව ගත් ක්‍රියාමාර්ග සහ නොසැලෙන මිත්‍රත්වය වෙනුවෙන් - අප එකට ගත කළ කාලය වෙනුවෙන් අපි අතිශයින් කෘතඥ වෙමු. ගේටානෝ, ඔබේ ජීවිතය අපේ ත්, තවත් බොහෝ දෙනාගේත් ජීවිත සාරවත් බවට පත් කළේය.

හිතවත් ගේටානෝ, පෞද්ගලික වශයෙන්, අපේ අසීමිත කෘතඥතාවය සහ ආදරය ප්‍රකාශ කරන්නට අපට අවශ්‍ය යි. ඔබ අපට නොනැසී කල් පවතින මතක සටහන්, පාඩම් සහ ආශ්වාදයන් ඉතිරි කොට ගොස් ඇත. ඔබ ආදර්ශමත් මිනිසෙක් විය - එය එසේම පවතිනවා ඇත.

 

WhatsApp Image 2025 04 27 at 4.46.43 PM

අප සමු ගන්නා මොහොත තෝරා ගන්නට අප කිසිවෙකුට නොහැකි වුවද, ඔබ හැර තබා ගොස් ඇත්තේ විරල ආකාරයේ උරුමයකි. බොහෝ විට බිඳී ගොස් ඇති, සහ අසාධාරණ වන මේ ලෝකය, වඩා මානුෂීය සහ බලාපොරොත්තු සහගත එකක් බවට පත් කරන්නට ඔබ ඔබේ ජීවිතය කැප කළේය. අරගලය නොනවත්වා පෙරට ඇදෙනු ඇත. අනෙක් අය ඔබේ ගිනිසිළුව ගෙන යන්නට නැඟී සිටිනු ඇත. එහෙත් අපට නම් ඔබේ අඩුව, පිරවිය නොහැකි අවකාශයක් ඉතිරි කොට යනවා ඇත.

ආදරණීය මිතුර, ඔබ ගත කළ විශිෂ්ට දිවි පෙවෙතට අපි ඔබට ආචාර කරන්නෙමු; ගරු කරන්නෙමු.


ගැඹුරු මෙන්ම වේදනාකාරී අන්දමට අපට ඔබේ අඩුව දැනුණ ද, කිසිදා ඔබ අපේ මතකයෙන් ගිලිහී නොයනු ඇත.

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 අප්‍රේල් 26 වන දා

lionel.bopage@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...