මන්නාරම පාරිසරික, භූ විද්‍යාත්මක, ඓතිහාසික, සංචාරක සහ සංස්කෘතික වශයෙන් වැදගත් වන ප්‍රදේශයකි. ඈත අතීතයේ සිටම වෙළඳ මධ්‍යස්ථානයක් වූ මන්නාරම අනුරාධපුර රාජධානි සමයේ සිට සෙංකඩගල රාජධානිය දක්වා ගමනාන්තයක් විය.

එමෙන්ම ඈත පෙරදිග සිට මැද පෙරදිග හරහා යුරෝපයට ගමන් මාර්ගය වැටී තිබුනේ මන්නාරම් මුහුද හරහාය. විශේෂයෙන් මන්නාරම් දුපතේ වෙළෙඳුන්ගේ බළකොටුවක් වූ අතර පසුව එය මුස්ලිම්, පෘතුගීසි,ලන්දේසි, ඉංග්‍රීසි අතට පත් වෙමින් අද වන විට එය ලංකාව සතුය. සියවස් දෙකකට පෙර මෙරට කෝපි හා තේ වගාව සඳහා අර්ධ වහලුන් මෙන් දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් රැගෙන ආවේ ද මේ මන්නාරම් වරාය ඔස්සේය. එතැන් සිට ඔව්හු පා ගමනින් මධ්‍ය කඳුකරය දක්වා රැගෙන ගියහ.
සිරිමා -ශාස්ත්‍රී වැනි ගිවිසුම් හරහා මලෛයහ දෙමළ ජනයාගෙන් කොටසක් යළි ඉන්දියාවට පිටුහල් කිරීමට යොදා ගත්තේ ද මන්නාරම ය. යුද ගැටුම් උත්සන්න වූ 1984 වකවානුවේ දී එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් ඉන්දියාව හා ලංකාව අතර පැවති මගී නැව් සේවාව නවතා දැමීය.

ඉංග්‍රීසින් විසින් `ඇඩම්ස් බ්‍රිජ්` ලෙස හැඳින්වූ පැරණි රාම් සේතු වැලි පරයේ එක් කෙළවරක් වනුයේ කිලෝමීටර් 30 ක් දිග කිලෝමීටර් 5 ක් පළල මෙම මන්නාරම් දුපතය. අනෙක් කෙළවර ඉන්දියාවේ රාමේශ්වරම් දුපතය. භූගෝලීය වශයෙන් වැදගත් මේ මාර්ගය ඔස්සේ ඉන්දියාව හා ලංකාව යා කෙරෙන පාලමක් තැනීම දැනට දශක ගණනාවක සිට කතා බහට පමණක් සීමාවී තිබුණු ව්‍යාපෘතියට පළමු පියවර ඉකුත් දිනෙක ඉන්දියාවෙන් ඇරඹිය. මේ පාලම සම්බන්ධයෙන් විරෝධයක් මෙන්ම යම් සාධනීය අදහසක් ද ලාංකිකයන් අතර පවතී.
මන්නාරම් දිස්ත්‍රික්කය ලෙස ගැනෙන ප්‍රදේශය ඉතා විශාලය. විල්පත්තු වනෝද්‍යානයේ උතුරු මායිමත්, යාපන දිස්ත්‍රික්කයේ දකුණු මායිමත් ගොඩ බිමින් යා වෙන මන්නාරම් දිස්ත්‍රික්කයෙන් 10 /1 වැනි කුඩා බිම් කඩකි මන්නාරම් දුපත.

මන්නාරම් දුපත ගිලා බසී ද
ඕස්ට්‍රේලියානු සමාගමක් හා ඉන්දියානු මාස් මෙටල් සමාගම දැනටමත් මෙහි ඛනිජ සම්පත් ගවේෂණයේ යෙදෙති. ඒ සඳහා අදාළ අවසරය ලබා ගෙන ඇත්තේ බොහෝ කලකට පෙරය.
මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න
'' 'ලංකාවේ අප්‍රිකාව' ලෙසින් හැඳින්වෙන මන්නාරමේ වියළි කලාපීය දේශගුණයක් තියෙන්නේ. මේ කැනීම් වලවල් නිසා අද ඒ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ගංවතුර එක්ක ජිවත් වෙන්න. ජලය බැස යාමක් නැහැ. මන්නාරම් දුපත්වාසින්ට මේ තත්වය නුහුරුයි.'' වන සත්ව හා රුක්ෂලතා සංරක්ෂණ සංගමයේ උප සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පෙන්වා දෙනුයේ මන්නාරම් දුපතේ 3/1 ක් ම ජලයෙන් යටවී ඇති බවය.

පරිසර යුක්ති කේන්ද්‍රය පවසන ආකාරයට මන්නාරම් දුපතේ බොහෝ ඉඩම් මෙම කැනීම් සමාගම් වෙත විකිනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය. ඛනිජ ගවේෂණයට පැමිණෙන සමාගම් වල පර්යේෂණ කණ්ඩායම්වලට දුපත්වාසින්ගෙන් එල්ලවන විරෝධය සමනය කරනු වස් බොහෝ විට ඔවුන් පැමිණෙන්නේ ප්‍රදේශය දන්නා විශ්‍රාමික ආරක්ෂක අංශ ප්‍රධානින් යටතේය.
කැණීම් වලට විරෝධයක් නගමින් එය නවතා ගැනීමට උත්සහා ගන්නා කතෝලික, හින්දු, ඉස්ලාම් භක්තිකයන්ගේ සමන්විත මන්නාරම් පුරවැසි කමිටුව දුපත්වාසි ජනයා වෙනුවෙන් ප්‍රශංසනීය කාර්යක් ඉටු කරමින් සිටී.
හේමන්ත විතානගේ
''මුළු මන්නාරමම ඉන්දියන් හා ඕස්ට්‍රේලියානු සමාගම් දෙකකට ඉල්මනයිට් කනින්නට බදුදීලා. මේ වනවිට ජනතා විරෝධය නොතකා ඒවාට පරිසර වාර්තා සකසන්නට පරිසර අධිකාරිය හා වෙරළ සංරක්ෂණ අධිකාරිය TOR ලබාදී තියෙනවා. අදානි සුලං බලාගාර කතාව තවම අවසන් වෙලා නැහැ. තලෙයිමන්නාරම පාර හා හරස් පාරවල් නිසාද, සුලංබලාගාරයට පාර තැනීම නිසාද, මන්නාරමේ ජනතාවගෙන් භාගයක් ගංවතුරෙන් පීඩාවිදී. වගාවන් පාලු වෙලා. තල්ගස් ක්‍රමයෙන් මැරෙමින් තියෙනවා. කැලි කසල ගොඩගසන්නට තැනක් නැහැ. උසාවියේ තහනම් නියෝගයක් ද තියෙනවා.'' යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක, පරිසරවේදී හේමන්ත විතානගේ පෙන්වා දෙයි.
සංක්‍රමණික පක්ෂීන්ගේ ගමනාන්තය

ලෝක බැංකුව විසින් 2000 වසරේදී සම්පාදනය කරනු ලැබූ වාර්තාවක් මගින් ලංකාවේ සුළං විදුලි බලය ජනනය කිරීමේ විභය පවතින ප්‍රදේශ කිහිපයක් හඳුනා ගෙන ඇත. මන්නාරම ද ඒ අතර වේ. මෙහිදී සැලකිල්ලට ගෙන ඇත්තේ සුළං වේගය හා වර්ෂය පුරාම සුළං පැතිරීම වැනි සාධක පමණි. කල්පිටිය, මහවැලි ද්‍රෝණියේ වස්ගමුව, නකල්ස්, රක්වාන කඳු හරහා හම්බන්තොට දක්වා වූ සුළං කලාපය සහ මන්නාරම සුළං මෝල් පිහිටුවීමට උචිත බව එම වාර්තාවේ දැක්වේ. ඒ හා සමගාමී කෙරුණු තවත් විමර්ශනයකින් පෙන්වා දෙන්නේ ලංකාවේ ගිගා වොට් 50 ක සුළං විදුලි විභවයක් පවතින බවය.
''මන්නාරම් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශයන් හි සුළං මෝල් පිහිටුවීම කෙසේවෙතත්. මන්නාරම් දුපත ආසන්නයේ නම් ඒවා ඉදි කිරීම සුදුසු නොවේ. මොකද බිලියන හතරක විතර ගොඩබිම හරහා පියාසර කරන සංක්‍රමණික පක්ෂීන්ගේ ගමනාන්තය වන්නේ ලංකාවයි. මන්නාරම දුපත ආසන්නයේ ඔවුන්ගේ නවාතැන් පොළ වෙනවා.'' වන සත්ව හා රුක්ෂලතා සංරක්ෂණ සංගමයේ උපසභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න කියා සිටියේ ආසියානු කලාපයේ විද්වතුන් හා එක්ව කොළඹ සරසවිය කළ පර්යේෂණයකින් ලබා ගත් දත්ත හා තොරතුරු මතය.
'' ප්‍රධාන `ෆ්ලයි වේස්` 8 ක් හරහා පක්ෂීන් ලංකාවට එනවා. අදාළ පරීක්ෂණය වෙනුවෙන් මෙහෙම ආපු පක්ෂීන් 70 වකගේ විතර පිටේ කුඩා පරිපථ සවි කර ඔවුන්ගේ ගමන් මාර්ග, ක්‍රියා කාරකම් නිරීක්ෂණය කරනවා. සමහරු ටිබෙට් සානුවේ බිත්තර දමලා කිලෝමීටර් 4000 ක විතර දුරක් ගෙවාගෙන මන්නාරමට එනවා. අප්‍රියෙල්, මැයි මාසවලදී පිටත් වෙලා රාජස්තාන්, මහාරාෂ්ට්‍ර, හරහා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ කන්දහාර්, කසකස්ථානය, රුසියාව හරහා යුරෝපය, ආර්ටික් කලාපයේ හිම දියවෙන අයින් වල බිත්තර දාලා, ඉරානය හරහා පකිස්ථානයට ඇවිත් එහි සති දෙක තුනක් ඉඳල තමයි ආයේ ලංකාවට එන්නේ.'' ඒ අනුව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මේ පක්ෂීන්ගේ ගහනයට මෙන්ම සංක්‍රමණයට සුළං මෝල් බලපෑමක් කරන බවය.

මේ අතර මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ජාත්‍යන්තර පරිසර සම්මුතීන් මෙන්ම, ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා අඥා පනත පවා උල්ලංඝණය කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ පෙන්වා දෙයි. මෙය ලංකාව අත්සන් තබා ඇති පර්යතනික පක්ෂීන් පිලිබඳ සම්මුති මෙන්ම ජෛව විවිධත්ව සම්මුති වලට පටහැනි ක්‍රියාවකි. දැනටමත් වෙරළ අද්දර ඉදි කර තිබෙන තම්බපවනි සුළං බලාගාරයේ ඇස්තමේන්තු කළාට වඩා හානියක් පක්ෂීන්ට සිදුවන බවද ආචාර්ය දාබරේ පවසයි.
රජයේ හමුදා වාඩිලාගත් ඉඩම්
සෙල්වම් අඩෛක්කලනාදන්
තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ [TELO ] නායක සෙල්වම් අඩෛක්කලනාදන් විසින් මිට සිව් මසකට පෙර එනම් 2024 නොවැම්බර් 25 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුනේ දෙමළ ජනයාට අයත් ඉඩම් තවමත් නාවික හමුදාව යටතේ පැවතීම නිසා ඔවුන්ගේ දෛනික ජිවිකාව අහිමිවී ඇති බවය. ඒ මගින් ඔහු ඉල්ලා සිටියේ ඒවා මුල් හිමිකරුවන් වෙත නිදහස් කරන ලෙසය. එහෙත් අඩෛක්කලනාදන් මන්ත්‍රීවරයා පවසනුයේ තම ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් තවමත් ලැබී නොමැති බවය.
2007 වසරේ සැප්තැම්බර් මස 7 වැනිදා මුල්ලිකුලම් ප්‍රදේශයේ සිටි දෙමළ ජනතාව රජයේ ආරක්ෂක අංශ විසින් පිටමං කිරීමෙන් අනතුරුව, අක්කර 1,000 කට අධික ඉඩම් ප්‍රමාණයක් ඔවුන්ගේ පාලනයට ගත් බව මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ. එහෙත් එම ඉඩම් වලින් මෙතෙක් නිදහස් කර ඇත්තේ අක්කර 100 ක ප්‍රමාණයකි. වයඹ නාවික හමුදා මුලස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු වැව් හතරක් සමග වගා බිම් ඇතුලත් ඒ ඉඩම් අක්කර 900 ක් සිය ග්‍රහණය යටතේ තබා ගැනීමට නාවික හමුදාව ක්‍රියා කර ඇත.
තලෛයි මන්නාරම ජැටිය පෙදෙස අසල ඇති මඩු මාතා පල්ලියට අයත් අවම අවශයෙන් ඉඩම් අක්කර දහයක් පමණ තවමත් පවතින්නේ එහි පිහිටුවා ඇති උතුරු මැද නාවික හමුදා මුලස්ථානය යටතේය. මෙහි ඇති අප ස්වාමි දුවගේ කතෝලික දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙයට පමණක් ගම්වැසියන්ට අවසරය හිමි වුවද, ඉඩම් නිදහස් කිරීමක් ගැන ගෙවුණු දශකය පුරාම කිසිදු කතා බහක් නොමැත.
පල්ලිමුනෛ පිහිටුවා ඇති නාවික හමුදා කඳවුර අයත් භුමිය ජනයා පදිංචිව සිටි අතර වන්කලායි-නානාට්ටම් මාර්ගයේ ඇති පුස්සදේව නාවික කඳවුර තනි පුද්ගලයෙකුට අයත් පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලානාදන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.
රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වලක්වාලීමේ අරමුණින් මන්නාරම් වෙරළ තීරය පුරා ආරක්ෂක මුර කපොලු තවදුරටත් නාවික හමුදාව මගින් පවත්වා ගෙන යනු ලබයි. මුල්ලිකුලම් සිට වෙඩිතලතිව් දක්වා මුහුදු තීරය නාවික හමුදා අණසක යටතේ පවති.
මුජිබර් රහුමාන් ජාතික සංවිධායක යහපාලනය සදහා ජාතික පෙරමුණ
'' මන්නාරම වටේට තිබුණු පොලිස්, හමුදා මුර පොළවල් ඉවත් කරා ජාතික ජනබලවේගය ආණ්ඩුව ආවට පස්සේ. ඒත් ලොකු කෑම්ප් තවම තියෙනවා. තවමත් ධීවරයන්ට මුහුදු යන්න නේවි එකෙන් පාස් ගන්න ඕනේ. මුල්ලිකුලම් ඉඳලා වෙඩිතලතිව් වෙනකම්, සිලාවතුර, වන්කාලෛ, පේසාලයි, තලෛමන්නාරම වෙනකම්ම ලොකු කුඩා නේවි කෑම්ප්. ධීවර බෝට්ටු නවත්වන හැම තැනකම නේවි ඉන්නවා.''`යැයි පවසන යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ [NFGG] , ජාතික සංවිධායක මුජිබර් රහුමාන් පෙන්වා දෙන්නේ ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණ මුහුදු සිමා ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් තවමත් මත්ස්‍ය සම්පත රිසි සේ කොල්ල කන බවය.
විල්පත්තුව මැදින් පුත්තලමේ සිට මන්නාරමට
මේ අතර විලපත්තු ජාතික වනෝද්‍යානය මැදින් පුත්තලම, එළුවන්කුලමේ සිට මන්නාරම දක්වා දැනට වසා දමා ඇති මාර්ගය යළි විවෘත කරන බවට ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ පරිසරවේදීන් අතර කතාබක් මතුව තිබේ. කරත්ත ගමන් ගන්නා මාර්ගයක් ලෙස පැවති මේ මාර්ගය යුද සමයේදී පුළුල් මාර්ගයක් ලෙස සකස් කරනු ලැබුවේ එවකට රජයේ ඇමතිවරුන් වූ බැසිල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ සහ රිෂාඩ් බදියුදීන් ගේ මැදිහත් වීමෙනි.
මේ මාර්ගයේ ගමන් කළ අසීමිත වාහන සංඛ්‍යාව හේතුවෙන් වනෝද්‍යානයට වන පාරිසරික හානිය ගැන පරිසර සංවිධාන විසින් 2010 වසරේදී නඩු පවරා ඇත. නඩු විභාගය අවසන්වන තෙක් මේ මාර්ගය තවදුරටත් ඉදිකිරිම කළ යුතු බවටත්, දැනට පවතින තත්වයේම පැවතිය යුතු බවටත් අධිකරණ නියෝගයේ දැක්වේ.
'' එදා බදූර්දීන්ගේ සැලසුම වුනේ සිලාවතුරේ ඉඳන් එලුවන්කුලමට විල්පත්තුව මැදින් පාරත්, විල්පත්තුවේ මුහුදු සීමාවේ එවකට බැසිල් රාජපක්‍ෂගේ අනුග්‍රහයෙන්, චම්පික රනවකගේ අනුබලයෙන් හමුදා යොදා හදපු පාරත් සකසා, ඒ අතර මැද විල්පත්තු වනෝද්‍යානයට අයිති ඉඩම් අක්කර දස දහස් ගානක් ඔහුගේ චන්දදායකයන්ට අනවසරයෙන් අල්ලාගැනීමට ඉඩ සැලසීමයි. එවිට ඔහුගේ චන්ද පදනම සවිමත් වෙනවා. විල්පත්තු පාර ඔහුගේ මරිච්චකට්ටි, ඇතුලු වනාන්තර කපා සෑදූ ගම්මාන වලට අත්‍යාවශ්‍ය දෙයක්. මෙය දැන් මාලිමාවේ දේශපලකයන්ටද අත්‍යාවශ්‍ය සාධකයක්. මුහුදු සීමාවේ ඇති පාරෙන් ඔබ්බට වූ ප්‍රදේශය කුඩා ඉඩම් කැබලි ලෙස එවකට හමුදාවල ලොක්කන් විසින් අල්ලාගෙන සුලං බලාගාර තැනීම සඳහාද උත්සාහයක් තිබුණා. මෙම පාර හැදෙනකම් බලාසිටින කතෝලික ජන කොටසක් ද ඉන්නවා. ඒ විල්පත්තුව ඇතුලේ තිබෙන කැලේ පල්ලිය සංවර්ධනය කරන්නටයි ඒකත් තවත් මඩු පල්ලියක් වගේ කරන්නයි සුදානම. වසරකට වරක් වන්දනාමාන කරන්න පල්ලියට යන්නට අවසරයක් තිබුනත්, දැන් එය මාස්පතා කරන්න උත්සහයක් තියෙනවා.''

පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක හේමන්ත විතානගේ පෙන්වා දෙනුයේ එළුවන්කුලම - මන්නාරම මාර්ගය විවෘත කිරීමට ගන්නා උත්සහාය පරිසරය රැකගැනීම වෙනුවෙන් නතර කිරීමය. ඔහුගේ අදහස වනුයේ මාර්ගය විවෘත කිරීම් මගින් ජෛව විවිධත්වය, පාරිසරික පද්ධති විවිධත්වය, කරදිය සහ මිරිදිය විල්ලු සහිත තෙත් බිම් පද්ධති, ලංකාව් ජීවත්වන අලියා, කොටියා, වලසා, නිල් තල්මසා වැනි ජීවින් සමගින් ගොඩබිම් සහ සමුද්‍රීය පාරිසරික පද්ධතියෙහි සුවිශේෂීත්වය දැකිය හැකි විල්පත්තු වන බිමට බරපතල තර්ජනයක් බවය.
පරිසරවේදියෙකු වන රවින්ද්‍ර කාරියවසම් සිය මුහුණු පොතේ මේ ගැන සටහනක් තබමින් එම මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමේ හැකියාව ඇති අතර කුමන හෝ වාහනයක් පුද්ගලයින් එම මාර්ගයේ ගමන් කරන්නේ නම් ඔවුන්ව අධ්‍යයනය කිරීමට නිසි වැඩපිළිවෙලක් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ යුතුය. යන්නය.
''මෙම මාර්ගය නැවත විවෘත කිරීම මගින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබීමට තියෙන ආදායම අඩුවීමේ අවදානමක් ඇත. එයට හේතුව ජාතික වනෝද්‍යානයට නිසි අවසරයයි පත්‍රයක් ලබා නොගෙන මන්නාරමට හෝ පුත්තලමට යන මුවාවෙන් ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමේ හැකියාව පැවතීමයි. මෙරට විශාලම ජාතික වනෝද්‍යානය වන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්‍ෂාවට මෙම මාර්ගය පැය විසි හතර පුරා විවෘත කර තබන්නේ නම් විශාල අනතුරකි. නමුත් කිනම් හෝ පුද්ගලයකුට හදිසියේ ( රෝහලකට යාමට වැනි ) මන්නාරමට හෝ පුත්තලමට යාමට අවශ්‍ය නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසර බලපත්‍රයක් රැගෙන ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඒ හරහා යෑමට අවසර ලබාදීමේ හැකිව තිබේදැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විමසා බැලිය යුතුය.
කෙසේ හෝ මෙම පාර වසා තැබීම මුස්ලිම් ජනතාවගෙන් ගේම ඉල්ලීමක් නොවන අතර එය හුදෙක් ජාතික වනෝද්‍යානය ආරක්ෂාවට හා පරිසර පද්ධතිය රැකගැනීම උදෙසා කරන මහඟු ක්‍රියාවකි. මෙය වසා තැබීමෙන් අනුර දිසානායක හෝ ජාතික ජන බලවේගය දේශපාලනිකව පරාද වන්නේ ද නැත. සැලකිය යුතුයි මෙ අස්සේ ජාතික භෞතික සැලැස්ම ගෙඩිය පිට්න් නැවත බැස්සවීමට ගෙනෙන යොජනා වලටද හසුවිය යුතු නැත.
''ජන්දේ බලන් කිව්ව කතාවක්''
එළුවන්කුලමේ සිට විල්පත්තු වන බිම මැදින් වැටි ඇති මේ මාර්ගය විවෘත කිරීම ඉමහත් සහනයක් වන්නේ තවමත් යළි පදිංචි නොකළ පුත්තලේම සිටින ජනතාවටය. පුත්තලේම සිට ඔවුන් මන්නාරමට පැමිණිය යුත්තේ අනුරාධපුරයට පැමිණ ඉන් මැදවච්චිය හරහාය.
''තවමත් උසාවි නිතිය ක්‍රියාත්මක නිසා අපි නම් හිතන්නේ නැහැ පාර අරිවී කියල. පාර ඇරියොත් අපි සතුටුයි. මේකත් ජන්දේ බලාගෙන කිව්ව කතාවක් වෙන්නත් පුළුවන්.'' යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ [NFGG] , ජාතික සංවිධායක මුජිබර් රහුමාන් පැවසීය.
මාර්ගය විවෘත කරන්නට එරෙහිවන්නන්ට වනෝද්‍යානයේ පිහිටි ජනයා වෙසෙන 'පුක්කුලම්' ගම්මානය, 'මෝදරගම' ගම්මානය පිළිබඳව එතරම් තැකීමක් නොමැති බව පවසන රහුමාන් පවසන්නේ විල්පත්තු කැලේ විනාශ කරන්නේ මුස්ලිම් ජනයා නම් අඩියෙන් අඩිය පිහිටි යුද හමුදා,නාවික හමුදා කඳවුරු වලින්, වන ජීවි නිලධාරින්, පොලීසියට ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කොට දඩුවම් පැමිණිය හැකි බවය.

''වෙරළ ආසන්නයෙන් කපලා තියෙන පාර පාවිච්චියට ගත්තොත් සංචාරක ව්‍යාපාරය හරහා ආර්ටික සංවර්ධනයක් වෙන්න පුළුවන්. කිලෝ මීටර් 40 ක දිග මේ පාර දිගේ වනෝද්‍යානයට කාටවත් ඇතුල් වෙන්න බැරිවෙන්න ශක්තිමත් වැටක් ගහන්න පුළුවන්. වැට පනින අයට දඩුවම් කරන්න පුළුවන්.''
අක්කර 6000 ක් වන රජයේ කජු වත්තේ සම්පුර්න පාලනය කරන්නේ හමුදාව විසිනි. රහුමාන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ යුද්ධයෙන් පිඩාවට පත් දෙමළ - මුස්ලිම් ජනයා වෙනුවෙන් මෙහි රැකියා විවෘතව නොකිරීම ඔවුන්ව ආර්ථික වශයෙන් තවදුරටත් පීඩාවට පත් කිරීමක් බවය. එමෙන්ම ප්‍රදේශයේ සංචාරක නිකේතන පවත්වාගෙන යමින් ආදායම් උත්පාදනය කරගන්නේ නාවික හා යුධ හමුදා වන අතර අනාථ කඳවුරක් ලෙස දෙමළ ජනයා රඳවා ගෙන සිටී චෙට්ටිකුලම්හි මැණික් ෆාර්ම් අද හමුදාව මගින් පවත්වාගෙන යන දැවැන්ත ගොවිපළක් බව ද ඔහු පවසනුයේ චෝදනා මුඛයෙනි.
මන්නාරම නගරයේ සතොස ගොඩනැගිල්ල අසලින් මතුවූ සමුහ මිනී වල ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම සමුහ මිනී වල ලෙස සැලකේ. එහි මරා වල දැමුවන්නට තවමත් යුක්තිය ඉටු නොවුණු, මෙය දශක කිහිපයක් පුරා පැවති යුද්ධයට හා මානව හිමිකම් කඩවීම් වලට මනා නිදසුනකි. යුද ගැටුම් අවසන්ව දාසය වසක් ඉක්ම ගිය ද උතුරු නැගෙනහිර අනෙකුත් පළාත් වල මෙන්ම මන්නාරමේ ජනයාට ද තවමත් යුක්තිය සාධාරණත්වය හෝ ආර්ථික සංවර්ධනය ලඟා වී නොමැත. තවමත් බොහෝ දෙනෙකුට තම ගම්බිම් වල නිවෙස් කරා යාමට නොහැක. ඔවුන් වෙත පැමිණ ඇත්තේ බහුජාතික සමාගම් වල බලපෑමත්, පාරිසරික ප්‍රශ්න වලින් බැට කෑමත් පමණි.
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com
[මෙම ලිපිය 'අනිද්දා' සතිඅන්ත පුවත් පතේ පළ වුවකි]



