The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිරුර මිහිතලය මත හොවා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පියතුමා | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

April 28, 2025 • 11:34 AM

සිරුර මිහිතලය මත හොවා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පියතුමා | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සිය ජීවිතයත් මරණයත් තුළින් දිළිඳු අසරණ ජනතාවට නිහතමානී බවින් සහ දයානුකම්පාවෙන් සැලකූ නායකයකු වූ ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ලෝකයට සමු දුන් දිනය වූ බැවිනි.
  • අප්‍රේල් 26 වැනිදා පවත්වන්නට යෙදුණු අවමංගල්‍යෝත්සවය විශේෂිත වන්නේ එකී අභාවය කෝටි සංඛ්‍යාත මිනිසුන්ට ශෝකී දිනයක් වූ බැවින් පමණක් නොව, එය සාම්ප්‍රදායික පාප් වහන්සේ කෙනෙකුගේ මරණයකට වඩා ඉතා සුවිශේෂ වූවක් වූ බැවිනි.
  • ඒ වෙනුවට දෙවියන් වහන්සේ ඉදිරියේ නිහතමානීබව පෙන්වීමේ සංකේතයක් වශයෙන් උන් වහන්සේගේ දේහය එහි පොළොව මත තබා තිබිණි.
  • එයින් උන් වහන්සේ අදහස් කළේ තම දේහය දෙවියන් වහන්සේ විසින් මැවූ මිහිතලය මත පමණක් තැබීමට කැමති වූ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සිය ජීවිතයත් මරණයත් තුළින් දිළිඳු අසරණ ජනතාවට නිහතමානී බවින් සහ දයානුකම්පාවෙන් සැලකූ නායකයකු වූ ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ලෝකයට සමු දුන් දිනය වූ බැවිනි.

අප්‍රේල් 26 වැනිදා පවත්වන්නට යෙදුණු අවමංගල්‍යෝත්සවය විශේෂිත වන්නේ එකී අභාවය කෝටි සංඛ්‍යාත මිනිසුන්ට ශෝකී දිනයක් වූ බැවින් පමණක් නොව, එය සාම්ප්‍රදායික පාප් වහන්සේ කෙනෙකුගේ මරණයකට වඩා ඉතා සුවිශේෂ වූවක් වූ බැවිනි. චාරිත්‍ර වාරිත්‍රවල සිට සමාදානයේ සැතපෙන ස්ථානය දක්වාම සිය මරණය තුළින් පවා උන් වහන්සේ ලෝකය හමුවේ තබා තිබුණේ ඉමහත් වූ ආදර්ශයකි.

000 434Q862

පෙර සිටි පාප් වහන්සේලා මෙන් නොව ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ යම්කිසි දිනක සිය අවමංගල්‍ය කටයුතු සිදු කරද්දී එය අනවශ්‍ය පුහු ආටෝපයන්ගෙන් පිරවීමෙන් වළකින මෙන් ඉල්ලා තිබිණි.

 

සාම්ප්‍රදායිකව ගතහොත් පාප් වහන්සේ කෙනෙකුගේ අවමංගල්‍යයක් අත්‍යලංකාර චාරිත්‍රවාරිත්‍ර, සැරසිලි ආදියෙන් පිරී පවතින්නකි. දේහය දින ගණනක් සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කොට තිබෙන අතර එහි දී අලංකෘත වූ දිව්‍ය පූජාවක් පවත්වනු ලබයි. නිසල දේහය කිරිගරුඬවලින් තැනූ සියවස් ගණනක් ඉපැරණි සොහොන් අතර බැසිලිකාවේ පොළොව යට තැන්පත් කිරීම සිදු වේ.

 

කෙසේ නමුත් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ වෙනස් අදහසක් දැරූ, තමා දේශනා කළ සුභාරංචි පණිවිඩය තුළ රැඳී සිටින්නට අදහස් කළ අයකු විය. සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති අවමංගල්‍ය දේව මෙහෙයේ දී එතුමාගේ දේහය පොළොවෙන් ඉහළට එසවුණු අලංකෘත වූ වේදිකාවක් මත තැබීම සිදු නොවීය. ඒ වෙනුවට දෙවියන් වහන්සේ ඉදිරියේ නිහතමානීබව පෙන්වීමේ සංකේතයක් වශයෙන් උන් වහන්සේගේ දේහය එහි පොළොව මත තබා තිබිණි. එය සාම්ප්‍රදායිකව පාප් වහන්සේ කෙනෙකුගේ දේහයක් ඉහළට එසවුණු අලංකෘත වූ වේදිකාවක් මත තැන්පත් කිරීමේ චාරිත්‍රයට කණේ පහරක් ගැසුවා සේ විය. එයින් උන් වහන්සේ අදහස් කළේ තම දේහය දෙවියන් වහන්සේ විසින් මැවූ මිහිතලය මත පමණක් තැබීමට කැමති වූ බවය. එමෙන්ම එසේ සිය දේහය මිහිතලය මත තැබීමේ ක්‍රියාව පමණක්ම උන් වහන්සේට ස්වර්ගාරෝහණය ලබන්නට හේතුවක් බව යමෙක් සඳහන් කර තිබිණි.

ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවේ පොළොව මත තබා තිබූ ආකාරය

 

මේ සරල ක්‍රියාව තුළින් පවා උන් වහන්සේ ලෝකය හමුවේ ඉමහත් වූ පණිවිඩයක් ඉතිරි කළහ. සිය දේහය හුදෙක් බොල් පොළොව මත තැබීමෙන් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ලෝකයට මෙන්ම, විශේෂයෙන්ම කතෝලික ලෝකයේ නායකයින් හට සුවිශේෂ පණිවිඩයක් ලබා දුන්නේය. ඒ මරණය යනු කාටත් පොදු දෙයක් සේම දෙවියන් ඉදිරියේ බලය සහ වරප්‍රසාද භුක්ති විඳීමට ඉඩක් නොමැති බවය. උන් වහන්සේ සිදු කළ ඇතැම් විප්ලවීය වෙනස්කම් කතෝලික සභාව තුළම නොරිස්සූ පිරිසක් සිටි බව නොරහසකි.

සියවස් ගණනක් තිස්සේ පැවැත ආ සම්ප්‍රදාය බිඳ හෙළමින් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ සිය දේහය තැන්පත් කළ කළ යුත්තේ සාන්ත බැසිලිකාවේ නොව සාන්ත මේරි ප්‍රධාන බැසිලිකාවේ (Santa Maria Maggiore) බවට ඉල්ලීම් කොට තිබිණි. එම දේවස්ථානය උන් වහන්සේට පෞද්ගලික වශයෙන් ද වැදගත් කමක් පැවති ස්ථානයක් විය.

 

pap8

දේව මෙහෙය සඳහා සහභාගී වී සිටි කාදිනල්වරු

 

සිය පාප් ජීවිතය ආරම්භ කළ යුගයේ සිටම ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ සෑම ජාත්‍යන්තර චාරිකාවකට පෙර සහ පසු සාන්ත මේරි ප්‍රධාන දේවස්ථානයේ වූ කන්‍යා මරියතුමියගේ සුරුවමට වන්දනා කිරීමට පුරුදුව සිටියහ. මේ සුරුවම ලතින් බසින් Salus Populi Romani නමින් හඳුන්වනු ලබන අතර එහි සරල අර්ථය වන්නේ ‘රෝමානු ජනතාවගේ නීරෝගීබව (ගැලවීම)’ යන්නය.

ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේට මේ බැසිලිකාව වූ කලී යාඥා කරන්නට, නිහතමානීබවට සහ මිනිසුන් සමග සම්බන්ධ වන්නට ඉතා පහසු මෙන්ම කැමැත්තක් දැක්වූ ස්ථානයක් විය. සිය දේහය එහි තැන්පත් කරන්නැයි කළ ඉල්ලීම තුළින් සංකේතවත් වන්නේ අතීත පාප් වහන්සේලා අතර නොව පොදු ජනතාව නිතර ගැවසෙන ස්ථානයක එය සිදු විය යුතුය යන්නය. එයින් උන් වහන්සේ ලෝකයට මෙන්ම කතෝලික දේවස්ථානයට ද දුන් ප්‍රබල පණිවිඩය වූයේ කතෝලික දේවස්ථානය වරප්‍රසාද නම් වූ පවුරුවලින් වෙන් නොවී පොදු ජනතාවට වඩාත් සමීප විය යුතු බවය.

m56uy756756

සියවසක පමණ කාලයකට පසුව වතිකානයෙන් පිටත ස්ථානයක පාප් වහන්සේ කෙනෙකුගේ දේහයක් තැන්පත් කළ ප්‍රථම වතාව එය විය. එතුමාගේ මේ ඉල්ලීම සිහිපත් කර දෙන්නේ මෙවැනිම නිහතමානී සමුගැනීමක් සිදු කරමින් සාන්ත ජෝන් බැසිලිකාවේ සිය දේහය තැන්පත් කරන්නැයි ඉල්ලා සිටි ශුද්ධෝත්තම 13 වැනි ලියෝ පාප් වහන්සේගේ චරිතයය.

සම්ප්‍රදාය බිඳිමින් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ මේ චාරිත්‍රවල තවත් වෙනසක් කරන්නැයි ඉල්ලා තිබිණි. ඒ සාමාන්‍යයෙන් පාප් වහන්සේ කෙනෙකු සඳහා සයිප්‍රස් දැවයෙන්, ඊයම්වලින් සහ ඕක් දැවයෙන් වශයෙන් වූ ‘ත්‍රිත්ව ශව භාජන’ සම්ප්‍රදාය බිඳ දමා සින්ක්වලින් රේඛනය කළ, දැවයෙන් සකස් කළ සරල ශව භාජනයක් (මිනී පෙට්ටිය) යොදා ගැනීමය. එතුළින් සිය උදාරත්වය සහ සරල බව ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ලොව හමුවේ තැබූහ.

දේව මෙහෙය පවා පැහැදිලි ලෙස මහත් සරල ආකාරයකින් පවත්වන්නට යෙදිණි. අත්‍යලංකෘත වූ වාද්‍යවෘන්ද වෙනුවට ග්‍රෙගෝරියන් ගීතිකා යොදා ගැනුණු අතර යාඥාවන් ද ඉතා කෙටි විය. එතුළින් සුභාරංචියේ සැබෑ අරුත පිළිබිඹු කරන්නට සමත් විය. මේ තුළින් මිනිසුන් මතක තබා ගත යුත්තේ එය රජකුගේ අවමංගල්‍යයක් ලෙස නොව හුදෙක් ෆ්‍රාන්සිස් නම් පූජකවරයාගේ අවමංග්‍යය පමණක් බව පැවසිණි.

 

pap11

සාන්ත පීතර දේවස්ථාන චතුරශ්‍රයට ලක්ෂ දෙකක පමණ පිරිසක් පැමිණ සිටි බව පැවසේ

 

අනෙක මේ අවමංල්‍යෝත්සවයේ තවත් කැපී පෙනුණු කාරණයක් වන්නේ එහි වූ පරිපූර්ණ සහභාගිත්වයය. එය කාදිනල්වරු, රාජ්‍ය නායකයින්, රාජකීය අමුත්තන්, සංක්‍රමණිකයන්, වාසස්ථාන අහිමි දිළින්දන්, සරණාගතයන් සහ ලිංගික විපර්යාසයන්ට ලක් වූ මිනිසුන් ආදී ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේගේ ස්පර්ශයට ලක් වූවන්ගේන් පිරී තිබීමය.

ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ‘දේවස්ථානය’ යනුවෙන් අර්ථ දැක්වූයේ එය ලෝක වාසී සියලු අසරණයන්ගේ ගැලවීමේ නිවස්නය විය යුතුය යන්නය. ඒ සඳහා උන් වහන්සේ යොදා ගත්තේ යුද බිමක දී අසරණ වූවන්ගේ ජීවිත ගලවා ගැනීම පිණිස ස්ථාපිත කරනු ලබන ‘තාවකාලික රෝහල’ යන අරුතැති field hospital යන්නය. සමාජයේ ආන්තික ජන කොටස්වලට ද ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝක වන්නට පැමිණීම සඳහා දොරටු විවර වී තිබිණි.

pap6
මේ ක්‍රියාව තුළින් ද ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේගේ ගැඹුරු පණිවිඩයක් ලොව හමුවේ තැබූහ. එනම්, දේවස්ථානය වූ කලී සියල්ලන්ටම පොදු ස්ථානයක් බවත්, කිසිවකු දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් නොකර සිටිය යුතු බවත් ය.

 

pap5

පැමිණ සිටි සාමාන්‍ය ජනතාවගෙන් කොටසක්

 

සිය 12 වසරක ශුද්ධෝත්තම ජීවිතය තුළ ෆ්‍රාන්සිස් පාප් වහන්සේ සරල දිවි පෙවෙතක් ගත කළහ. උන් වහන්සේ පාප් වහන්සේ කෙනෙකු වෙනුවෙන් වෙන් වූ සුඛෝපභෝගී නිවස්නය වෙනුවට කාසා සැන්ටා මාර්තා නම් නවාතැන් පළෙහි කුඩා කාමරයක ජීවත් වන්නට තීරණය කොට තිබිණි. උන් වහන්සේ ගමන් බිමන් යාම සඳහා යොදා ගෙන තිබුණේ සාමාන්‍ය තත්ත්වයේ මෝටර් රථයකි. උන් වහන්සේ නිරන්තරයෙන් සිරකරුවන්ගේ සහ සංක්‍රමණිකයන්ගේ පා දෝවනය කළහ.

pope fransis jd8qw7

පූජකත්වය වෙනුවෙන් පැවති වරප්‍රසාද සම්බන්ධයෙන් උන් වහන්සේ නිතර විවේචනය කළහ. උන් වහන්සේ 2015 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ගමන් බිමන් යාම සඳහා ඉල්ලා සිටියේ සුඛෝපභෝගී නොවන වාහනයකි. එනිසාම උන් වහන්සේ ගේ එම ගමනාගමන කටයුතු උදෙසා ටොයොටා විට්ස් මෝටර් රථයක් ලබා දෙන ලදී. සුඛෝපභෝගීත්වය තුළින් පුහු ආටෝපයක් ඇති කර ගෙන සිටින ගිහි පැවිදි දෙපාර්ශ්වයටම උන් වහන්සේ එමගින් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨ ආදර්ශයකි.

ef8da670b6caa910

 

උන් වහන්සේගේ අවමංගල්‍යය තුළින් පිළිබිඹු වන්නේ නායකත්වය යනු නම්බුනාම හෝ උත්සවාදීන් නොව අව්‍යාජත්වය සහ මෙහෙය බවය. දේවස්ථානයට සහ එහි නායකයින් වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේට ලබා දෙන්නට අවශ්‍ය වූ පණිවිඩය වූයේ සරලබව යනු දුර්වලකමක් නොව, ඇදහීම තුළ මුල් බැස ගත් ශක්තියක් බවය.

සාම්ප්‍රදායිකව පාප් වහන්සේ කෙනෙකු රතු පාවහන් සහිතව මිහිදන් කරනු ලබයි. එයින් සංකේතවත් වන්නේ ප්‍රාණ පරිත්‍යාගයය. නමුත් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ තමා දෛනිකව භාවිත කළ කලු පැහැ පාවහන් සමග පමණක් මිහිදන් කරන්නැයි ඉල්ලා සිටියහ.

 

be6k6i
පාප් වහන්සේ කෙනෙකුගේ ශව භාජනයේ දේව මෙහෙයේ දී පළඳිනු ලබන ලෝමවලින් සමන්විත ලෝගුවක් තැන්පත් කරන අතර එහි මිල අධික ආභරණ තැන්පත් නොකරන ලෙසත් ඒ වෙනුවට සුභාරංචියේ පිටපතක් සහ ජප මාලයක් පමණක් තබන ලෙසත් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටියහ. එයින් සංකේතවත් කෙරුණේ සැබෑ නිධානය වන්නේ ඇදහීම පමණක් බව ය.

අනෙකුත් පාප් වහන්සේලාගේ දේහය දින ගණනක් ප්‍රදර්ශනය කෙරෙන නමුත් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේගේ දේහය අවසන් ගෞරවය සඳහා එක් දිනක් පමණක් තබන්නැයි ඉල්ලා සිටියහ. එමෙන්ම අත්‍යංලකෘත වූවක් වෙනුවට උන් වහන්සේ නම සහ දින පමණක් ඇතුළත් සරල සොහොන් ටැඹක් පමණක් තනන ලෙස උන් වහන්සේ ඉල්ලා සිටි බව වාර්තාවල සඳහන් වේ.

 

pap2

දේහය තැන්පත් කිරීම සඳහා රැගෙන යන ආකාරය

 

ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේගේ ජීවිතයෙන් සහ මරණයෙන් උගන්වනු ලබන්නේ සැබෑ ශ්‍රේෂ්ඨත්වය ඇත්තේ බලය තුළ නොව මෙහෙය තුළ බවය. අතිශය සරල වූ සිය අවමංගල්‍යය තුළින් ලෝකයට ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි. එනම් නායකත්වය යනු නිහතමානී බව, ප්‍රවේශවන්නට හැකිබව සහ අව්‍යාජත්වය පිරි එකක් විය යුතු බවය.

 

ප්‍රසිද්ධ ජිවිතය අත්‍යලංකාරය සහ පුහු ආටෝපය තුළින් අර්ථ දැක්වෙන සමාජයක ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේගේ සමුගැනීම විශිෂ්ට පණිවිඩයක් අප හමුවේ ඉතිරි කරයි. එනම්, විශේෂයෙන් නායකයින් නිහතමානීව පැමිණ ආත්මාර්ථකාමීබවින් තොරව මෙහෙය සිදු කළ යුතු බවය. අවසානයේ මේ මහ පොළොව මත පා තැබූ, ජනතාවට ඉතා සමීප සහ දෙවියන් වහන්සේගේ හදවතට ඉතා සමීප ‘දිළින්දන්ගේ සහ පොදු ජනතාවගේ පාප් වහන්සේ’ ලෙස ගෙවූ ජීවිතයේ මතකය එලෙසම මිනිස් සිත් තුළ රඳවමින් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ මෙලොවින් සමුගෙන ගියහ.


(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...