කිසිදු අධ්‍යාපන ආයතනයකට වඩා පුස්තකාල තුලින් මම දැනුම ලබා ගෙන ඇති නිසා මම එය ඉතා උද්‍යෝගයෙන් පිළිගත්තෙමි.
එහෙත්, 1970 ගණන්වලින් පසු මා කොළඹ මහජන පුස්තකාලය පරිහරණය කර නොමැති බවත්, 2002දී මා නැවත ලංකාවට පැමිණි දා සිට වෙනත් කිසිදු පුස්තකාලයක් හෝ භාවිතා කර නොමැති බවත් මට පසක් විය.
1960 සහ 1970 දශකවලදී, මම කොළඹ පුස්තකාලවල දැඩි පරිශීලකයෙක් වීමි. මම තවමත් තොරතුරුවල දැඩි පරිශීලකයෙක් බව කිව යුතුය. පසුගිය දශක පහ තුළ සිදු වූයේ කුමක්ද?
සිදු වුයේ අන්තර්ජාලය ප්‍රධාන තොරතුරු මාධ්‍යය බවට පත් වීමයි. පුස්තකාල ගැන කතා කිරීමේදී මේ වෙනස ගැන කතා නොකර බැරිය.
අවධානයේ හිඟය සහ අගය වැඩි වීම
හර්බට් සයිමන්
1971 දී, නොබෙල් ත්‍යාගය ලැබීමට වසර කිහිපයකට පෙර, හර්බට් සයිමන් මෙසේ ලිවීය:
"තොරතුරු බහුල ලෝකයක, තොරතුරු සම්භාරය යන්නෙන් අදහස් කරන්නේ වෙනත් දෙයක හිඟයකි. එනම්, එම තොරතුරු පරිභෝජනය කරන්නේ කවුරුද, කුමකටද යන්න නොදන්නාකමයි. තොරතුරු විසින් පරිභෝජනය කරනු ලබන්නේ කුමක්දැයි පැහැදිලිය. එනම්, තොරතුරු ලබන්නන්ගේ අවධානයයි. තිබෙන තොරතුරු සම්භාරය වෙත ප්‍රමාණවත් අවධානයක් යොමු වන්නේ නැත. අවධානය ඉල්ලා සිටින පරිභෝජනය කළ හැකි තොරතුරු ප්‍රභවයන්ගේ අති බහුලතාව මැද අවධානය කාර්යක්ෂමව වෙන් කිරීමේ අවශ්‍යතාවයක් ද ඇති වේ."

1960 ගණන්වලදී, තොරතුරු ඉතා හිඟවූ නිසා පරිශීලකයෝ කැමැත්තෙන් විමර්ශන පුස්තකාලවල කාලය ගත කළහ. දැන් ලෝකයේ තොරතුරු අපගේ ඇඟිලි තුඩු අසලම තිබේ. අද හිඟ වී ඇත්තේ අවධානයයි. වෙනත් වචනවලින් කිවහොත්, තොරතුරු පරිභෝජනය කිරීමට කාලය හිඟය. අද අප ජීවත් වන්නේ "අවධාන ආර්ථිකයකය".
ළමා වියේදී මට පොත් ගන්නට මුදල් තිබුණේ නැත. එම නිසා මම පුස්තකාලවල කාලය ගත කළෙමි. පොත් මිලදී ගන්නට දැන් මට මුදල් ඇත. අද ප්‍රශ්නය වී තිබෙන්නේ සුන්ඩොකු නම් ජපන් වචනයෙන් කියැවෙන ව්‍යාධියයි. වෙලාව නැති නිසා මිල දී ගත් පොත් කියවන්නේ නැති සින්ඩ්‍රෝමය හඳුන්වන්නේ සුන්ඩොකු ලෙසයි.
මගේ ව්‍යාධිය විස්තර කිරීමට අවශ්‍ය යෙදුම පවා අන්තර්ජාලය මට ලබා දෙන සංදර්භයක් තුළ මා තව දුරටත් පොත් පස්සේ යන්නේ ඇයි? "ලෝකයේ තොරතුරු සංවිධානය කිරීමට සහ එය විශ්වීය වශයෙන් ප්‍රවේශ විය හැකි සහ ප්‍රයෝජනවත් තත්වයට පත් කිරීමට" [ගූගල් සමාගමේ මෙහෙවර ප්‍රකාශය මෙයයි] මෘදුකාංග පවතින විට සහ ඒවා නිරන්තරයෙන් වැඩිදියුණු වෙමින් පවතින විට පුස්තකාලයක විමර්ශන කාමරයට යන්නේ කුමකටද?
පුස්තකාල සහ පොත් ගැන නැවත සිතා බැලීම
පොත් යනු විශේෂිත මාධ්‍යයක අන්තර්ගත කරන ලද තොරතුරු වේ. වැදගත් වන්නේ පහසුවෙන් ලබා ගත හැකි ආකාරයෙන් සංවිධානය කර ඇති තොරතුරු මිස තොරතුරු සංවිධානය කර තිබෙන මාධ්‍ය නොවේ. පුස්තකාලයක් යනු පොත් ගබඩාවක් නොවේ. එය ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සක්‍රිය අන්දමින් සපුරාලිය යුතු විශේෂිත ආයතනයකි.
පුස්තකාලයේ හදවත වන්නේ ග්‍රන්ථ නාමාවලිය නොහොත් කැටලොගයය. ඒවා ඩිජිටල්කරණය දැනටමත් සිදු කර හමාරය. අවම වශයෙන් කොළඹ මහජන පුස්තකාලයේ හෝ ඩිජිටල් නාමාවලි තිබේ. එහෙත්, එය ප්‍රමාණවත් නැත. අවශ්‍ය වන්නේ ඩිජිටල්කරණයයි. ඩිජිටල්කරණය යනු දත්ත පරිවර්තනය කිරීමෙන් ඔබ්බට ගොස් ක්‍රියාවලීන් සංවර්ධනය කිරීම සහ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා වැඩ ප්‍රවාහ වෙනස් කිරීමයි.

සාමාන්‍ය නාමාවලියක් (ඩිජිටල්කරණය කළ හෝ නොකළ) භාවිතා කිරීමට, විවෘතව පවතින වේලාවන් තුළ පාඨකයා භෞතිකව පුස්තකාලය වෙත පැමිණිය යුතුය. කතුවරයා, මාතෘකාව හෝ විෂය යන මාර්ග භාවිතා කරමින්, අවශ්‍ය පොත සොයා ගැනීමට පරිශීලකයාට සිදුවේ. එය රාක්කයේ තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන. එය රාක්කයේ නොමැති නම්, පුස්තකාලයට ගිය ගමන කාලය නාස්ති කිරීමක් වේ. නිතර භාවිතා කරන්නන් කලාතුරකින් භාවිතා කරන්නන් බවටත්, කලාතුරකින් භාවිතා කරන්නන් පරිශීලකයින් නොවන අය බවටත් පරිවර්තනය වන්නේ මේ ආකාරයටය.
ඩිජිටල්කරණය කරන ලද පුස්තකාලයක, නාමාවලිය දවසේ ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පිරික්සිය හැකි විය යුතුය. වඩාත් සුදුසු වන්නේ සුහුරු දුරකථනයකින්ය පිරික්සීමට හැකි වීමයි. නාමාවලිය පරිශීලකයාට තමන් සොයන පොතෙහි තත්ත්වය පිළිබඳව දැනුම් දෙනු ලබනවා පමණක් නොව, එය හරහා පරිශීලකයාට පොත වෙන් කරගැනීමට ද හැකි විය යුතුය. ඩිජිටල් නාමාවලියක සෙවුම් කාර්යය සමඟ පරිශීලකයාට අවම වශයෙන් අවකාශයේ සහ කාලයේ සීමාවන් හෝ ජයගත හැකිය. මෙම පළමු පියවර සම්පූර්ණ වූ පසු, පරිශීලකයාට පුස්තකාලයට ගොස් පොත ලබා ගත හැකිය.

එය රැගෙන ආපසු ලබා දිය යුතු පොතක් විය යුත්තේ ඇයි? තොරතුරු ඩිජිටල් ආකාරයෙන් සැපයිය නොහැක්කේ ඇයි? වෙනත් මාධ්‍යවල අඩංගු තොරතුරු නොසපයන්නේ ඇයි? පොත් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය මුලදී යොමු කළත්, මෙම ප්‍රශ්න සැමවිටම සිහියේ තබා ගත යුතුය.
සෙවුම් චර්යාවන් විසින් තොරතුරු අවශ්‍යතා පිළිබඳ දැනුම සපයයි. පුස්තකාලය සෙවුම් දත්ත මත යම් ආකාරයක කෘත්‍රිම බුද්ධියක් යොදවන්නේ නම්, තොරතුරු අවශ්‍යතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හැකිය. ඔබ තෝරා ගත් පොත වැනි අනිකුත් පොත් යෝජනා කල හැක. අන්තර්ජාලය හරහා පොත් මිලදී ගත් හෝ යූටියුබ් භාවිතා කරන අය මෙම අත්දැකීම ලබා ඇත.
පුස්තකාලයේ යම් පොතක් සෙවූ පුද්ගලයාට, එම පොත වෙන් කරවා ගැනීමේ හැකියාව පමණක් නොව, ඔහුට ප්‍රයෝජනවත් විය හැකි වෙනත් මාතෘකා පිළිබඳ යෝජනා ද ලැබේ. කලාතුරකින් පුස්තකාලය පරිශීලනය කරන්නවුන් නිතර නිතර පුස්තකාලයට එන අයවලුන් බවට පරිවර්තනය කර ගන්නේ එලෙසිනි.
මේ මොහොතේ මේ කතාබහ අරඹන්නේ ඇයි?

සියවස් සංවත්සර කතාව හේතුවෙන් මට පුස්තකාල, පොත් සහ තොරතුරු ගැන සිතන්නට සිදු විය. එහෙත්, මෙම ලිපිය ලිවීමට මුල් වුනේ මංගල සමරවීරයන්ගේ පෞද්ගලික එකතුවේ තිබුණු පොත් පුස්තකාල කිහිපයකට පරිත්‍යාග කරන බවට කරන ලද නිවේදනයයි.

21වැනි සියවසේදී පොත් සහ පුස්තකාල කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳව මංගල සමඟ ඇතිවන්නට තිබුණු සංවාදයක් ගැන මම සිතුවෙමි. පාඨකයන් රහිතව විමර්ශන කාමරයක හුදකලා වුනු ඔහුගේ පොත් ගැන ඔහු කුමක් කියනු ඇද්දැයි මට සිතා ගත්තෙමි.
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/
Most recent publication: https://journals.sagepub.com/
Most recent book: https://www.idrc.ca/en/book/



