The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙවර සිරි දළදා වන්දනාව අර්බුදකාරී වුණේ කොහොම ද? | තිලක් සේනාසිංහ

T

The Leader Desk

April 29, 2025 • 11:39 AM

මෙවර සිරි දළදා වන්දනාව අර්බුදකාරී වුණේ කොහොම ද?  | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණි විශාල පිරිසට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව මහවැලි ගඟ දෙපස ඒ සඳහා යොදා ගෙන ඇති බවත් ඒ ඔස්සේ බරපතල පාරිසරික ගැටළු මතුවනු ඇති බවත් ඔහු පවසා තිබේ.
  • එමෙන්ම ඇතැම් වන්දනාකරුවන් උණ සහ සමේ රෝගවලින් පෙළෙන බවත්, එමඟින් රෝග පැතිරීමේ අවදානම වැඩි වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ගේ සංගමයේ සභාපතිවරයා අනාවරණය කොට තිබේ.
  • වන්දනාකරුවන්ට ආහාර සැපයීම සඳහා දන්සල් 1000 කට පමණ අවසර ලබා දී තිබූ බවත් පාචනය ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා දන්සලවල්වල ශීත කළ කිරි ඇතුළු පාන වර්ග පිරිනැමීම නැවැත්වීමට පියවර ගත් බවත් සභාපති වරයා වැඩි දුරටත් පවසා තිබේ.
  • ඒ අතර මහනුවර මහ නගර සභාව ද සිරි දළදා වන්දනාව සමයේ එක් දිනක් තුළ එකතු වූ කසළ ප්‍රමාණය සාමාන්‍ය කාලයක නගර සීමාවේ මාසයකට එකතු කරන කසළ ප්‍රමාණයට සමාන බව පවසා ඇති අතර ඒවා නිසි ලෙස බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් හෝ බැහැර කිරීමට ඉඩක් නොමැති බව ද පසුගිය දිනවල පෙන්වා දී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය 18 වන දායින් ඇරඹී 27 වනදායින් නිමා වූ සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණි විශාල පිරිස දරාගත නොහැකි තරම් වූ බැවින් බරපතල බෝ වන රෝග පැතිරීමේ අවදානමක් පැන නැඟී ඇති බවත් ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි රෝග ජනතාව අතර පැතිරීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.


සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණි විශාල පිරිසට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව මහවැලි ගඟ දෙපස ඒ සඳහා යොදා ගෙන ඇති බවත් ඒ ඔස්සේ බරපතල පාරිසරික ගැටළු මතුවනු ඇති බවත් ඔහු පවසා තිබේ.

 

එමෙන්ම ඇතැම් වන්දනාකරුවන් උණ සහ සමේ රෝගවලින් පෙළෙන බවත්, එමඟින් රෝග පැතිරීමේ අවදානම වැඩි වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ගේ සංගමයේ සභාපතිවරයා අනාවරණය කොට තිබේ.

මීට පෙර දළදා ප්‍රදර්ශන පැවැති අවස්ථාවන් හි වන්දනාකරුවන්ගේ සංක්‍රමණය මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට පමණක් සීමා වූ නමුත් මෙවර අවට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ද දිගු පෝලිම් දැකිය හැකි විය.

වන්දනාකරුවන්ට ආහාර සැපයීම සඳහා දන්සල් 1000 කට පමණ අවසර ලබා දී තිබූ බවත් පාචනය ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා දන්සලවල්වල ශීත කළ කිරි ඇතුළු පාන වර්ග පිරිනැමීම නැවැත්වීමට පියවර ගත් බවත් සභාපති වරයා වැඩි දුරටත් පවසා තිබේ.

 

490135870 1431312884933323 8258275963987252068 n

ඒ අතර මහනුවර මහ නගර සභාව ද සිරි දළදා වන්දනාව සමයේ එක් දිනක් තුළ එකතු වූ කසළ ප්‍රමාණය සාමාන්‍ය කාලයක නගර සීමාවේ මාසයකට එකතු කරන කසළ ප්‍රමාණයට සමාන බව පවසා ඇති අතර ඒවා නිසි ලෙස බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් හෝ බැහැර කිරීමට ඉඩක් නොමැති බව ද පසුගිය දිනවල පෙන්වා දී තිබිණ. ඒ සඳහා වත්මන් ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට හැකියාවක් නොතිබූ බව මනාව පැහැදිලි විය.

ඒ අතර මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසා ඇත්තේ දළදා වන්දනාව පැවති සමයේ එකතු වූ කැලිකසළ ටොන් 625ක් මේ වන විටත් ගොහාගොඩ කසළ අංගනයට බැහැර කර ඇති මුත් එම කසළ තොගය වෙන් කළ නොහැකි මිශ්‍ර කසල ස්වභාවයෙන් යුතුවීම හේතුවෙන් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් මතුව පවතින බවකි.

 



නැවත ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගත නොහැකි මෙම කසල කොළඹ මහ නගර සභාව සතු භෂ්මක (Incinerator )මඟින් දවා විනාශ කිරීමට කටයුතු කරන බව ද ඇය පවසා තිබේ. එහෙත් ඒ සඳහා එතරම් විශාල කුණු කන්දක් සෞඛ්‍යාරක්ෂිතව මහනුවර සිට කොළඹ ප්‍රවාහනය කරනුයේ කෙසේද ?යන ගැටලුව අප තුළ පැන නැඟී තිබේ.

අතීත ශ්‍රී ලාංකේය ජන සමාජය ගම් දනව් පුරා වසංගත රෝග ආදිය පැතිර යන අවස්ථා වල ඒවා මැඬ පැවැත්වීම උදෙසා දළදා සමිඳුන්ට බාර හාර වූ බව නිසැක සත්‍යයකි. එහෙත් එවන් පසුබිමක් යටතේ සිරි දළදා වන්දනාව පදනම් කොට වසංගත රෝග අවදානමක් පැතිර යාම වත්මන් සමාජ අගතිගාමීත්වය මැනැවින් කියා පාන්නකි.

 

487810540 1431899851541293 120140662737433797 n

සිරි දළදා වන්දනාව යන නම ඇසුණු සැනින් ශ්‍රී ලංකේය ජන මනැසේ සනිටුහන් වනුයේ සරල, චාම් සැහැල්ලු බව පදනම් කොට ගත් කායික හා මානසික සහනශීලී බවින් සපිරි සදාචාරාත්මක ආධ්‍යාත්මක චාරිකාවකි. එහෙත්, මෙවර සිරි දළදා වන්දනාව ඊට වඩා වෙනස් මුහුණු වරකින් යුතු වූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණ. ඒ සිරි දළදා වන්දනාව තුළ කලින් පැවති ආධ්‍යාත්මික සංවරය, විනයවත් බව, ශික්ෂණය, සදාචාරාත්මක හා සංස්කෘතික පදනම වේගවත් පසුබෑමකට ලක් ව ඇති අයුරු ඇස් පනා පිට එළි දක්වමිනි.

මෙම සිරි දළදා වන්දනාව මුල් කොට ශ්‍රී ලාංකේය බෞද්ධයන් ගේ ආධ්‍යාත්මික වශයෙන් පාරිශුද්ධ යැයි සම්මත මහනුවර ඉහත සඳහන් අන්දමින් බරපතල දූෂණයකට ලක්වීමෙන්ම මෙම අර්බුදය හා සම්බන්ධ දෘශ්‍යමය සාක්ෂි පොදු සමාජය හමුවේ ගෙන හැර දක්වා තිබේ.

 

මාලිමා ඡන්දදායකයන්ගේ දළදා වන්දනාව | අජිත් පැරකුම් ජයසිංහ
ඉතා උතුම් කාරියක් වශයෙන් ජන සම්මත දළදා වන්දනාව මුල් කොට මෙවන් විමසුම් කිරීම කෙරෙහි ද ඇතැමුන් තුළ නොරිස්සුමක් හට ගත හැක. නමුත් එවන් යහපත් සංසිද්ධියකින් මඟින් අයහපත් ප්‍රතිඵල උදාවීමට බලපෑ සමාජමය හේතුන් ඒකාන්ත වශයෙන්ම අනාවරණය විය යුතුම ය. නො එසේ නම් නිරන්තරයෙන් මෙවන් අවාසනාවන්ත තත්වයන් ඉදිරියටත් ඇති වීමේ පහසු හැකියාවක් තිබේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වී ඇති අන්දමට මෙම දළදා දැක්ම සඳහා එක් දිනක් තුළ බැතිමතුන් තිස් පන් දහසක් පමණ වගකිව යුතු අංශ අපේක්ෂා කළ ද එම ප්‍රමාණය දෙතුන් ගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ. ඒ සඳහා වන හේතූන් සම්බන්ධ විධිමත් විමසුමක් කිරීම වැදගත් කාලීන අවශ්‍යතාවකි.

වර්තමානයේ අප සමාජමය විචල්‍යතාවන් අතර මාධ්‍ය සංතෘප්තතාව (Media saturation ) නම් වන තත්වයක් තිබේ. මෙය අදටත් අප සමාජයේ බොහෝ දෙනකු නොදන්නා බව අපගේ වැටහීම ය. ඊට හේතුව මේ සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයන් හි විද්වතුන් පිළිබඳ අහේනියයි.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය' කාගේ ද?

මාධ්‍ය සංතෘප්තතාව යනු කිසියම් සමාජයක් මාධ්‍ය පදනම් ව තමන් ගේ ජීවන රටාව සහ චර්යා පද්ධතිය ගොඩනඟා ගැනීමේ තත්ත්වයයි. විශේෂයෙන් රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය වැනි විද්යුත් මාධ්‍ය සඳහා වැඩිපුර යොමු වන ජනයා ඊට සාපේක්ෂව තමන් ගේ සිතීමේ හා විමසීමේ වපසරිය හකුළුවා ගැනීමත් එම කාර්ය භාරය ද මාධ්‍ය වෙතම පැවරීම මෙහි සාමාන්‍ය ලක්ෂණයයි. විශේෂයෙන් නූතන ජන මාධ්‍ය ඔස්සේ වේගයෙන් ගොඩනැඟෙන ප්‍රබල ප්‍රතිරූප පරමාදර්ශ වශයෙන් සළකා කටයුතු කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි.

නිදසුනක් ලෙස සූපවේදය සම්බන්ධ ඉදිරිපත් කිරීම් මගින් විද්යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව හමුවට එන සූපවේදියා අදාල ක්ෂේත්‍රය පිළිබඳ විශිෂ්ටතමයකු ලෙස ජනතා පිළිගැනීමට ලක් වීම දැක්විය හැක. නමුදු ඒ ආහාරයක රසවත් බවට ඉවහල් වන එහි සුවඳ සහ රසය යන දෙකම විද්යුත් මාධ්‍ය තුළින් නොලැබෙන පසුබිමක් තුළ ය. ආහාරයක සුවඳ හෝ රසය පිළිබඳ වැටහීමකින් තොරව ඒ සම්බන්ධ අගැයුමක් ලබා දෙනුයේ කෙසේ ද? යන්න අද සමාජයේ බොහෝ දෙනෙක් නොසිතති.

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබට ද ?
එමෙන්ම මෙවන් වැඩසටහන් සඳහා ඉදිරිපත් වන වෛද්‍යවරුන් ද අප රටේ විශිෂ්ටතම වෛද්‍යවරුන් ලෙස ශීඝ්‍රයෙන් ප්‍රකට වනුයේ ඔවුන්ගේ කරුණු දැක්වීම වල ව්‍යක්ත බව හා ඉදිරිපත් කිරීම් වල ප්‍රාසාංගික බව පදනම් ව මිස රෝග සම්බන්ධ විද්‍යාත්මක දැනුම සහ ප්‍රතිකාර කිරීමේ හැකියාව මත පදනම් ව නොවේ.

වර්තමානයේ මෙම මාධ්‍ය වලින් ධර්ම දේශනා කොට ජනකාන්ත බවට පත් වන භික්ෂූන් සම්බන්ධයෙන් ද කිව හැක්කේ මෙයම ය.

ඒ අනුව විවිධ විෂයන් සම්බන්ධයෙන් ජනතාව “පිනවීම” මුල් කොට මෙලෙස ප්‍රාසාංගික ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත්තවුන් ‘තරු’ බවට පත් වීම ද නිරතුරුවම සිදුවන්නකි.

 

මේ අතර වත්මන් සමාජය හමුවේ තම සමාජ ජාල ඔස්සේ සිය “සර්වඥතාව” පෙන්වීමෙන් ජනකාන්ත බවට පත් වන්නෝ ද ද දුලබ නොවෙති.

එසේම මේ වන විට ජනතාව තුළ පවත්නා මාධ්‍ය සංතෘප්තතාව මත පායා ආ තරු පිරිවරේ ඉදිරියෙන්ම හිඳින දේශපාලනඥයෝ ද වෙති. නමුදු මෙලෙස හනික පායන තරු හනික කඩා වැටීම ද පහසුවෙන් අත්දැකිය හැකි තත්වයකි.

එමෙන්ම කවර කරුණක් පදනම් ව එලෙස ‘තරු’ බවට පත්වන්නවුන්ට ඇති සමාජමය ඉල්ලුම නිරතුරුව පවත්වා ගත නොහැකි වීම මත ඒ තරු එක රැයින් ගිලිගී වැටීමේ පහසු අවකාශයක් තිබේ.

එමෙන්ම යම් යම් විෂයන් සම්බන්ධයෙන් ජන සමාජයට තීරණාත්මක බලපෑම් කළ හැකි ඔවුන් අදාල විෂයන්ට කිසිසේත්ම සම්බන්ධ නැති ජන මාධ්‍ය ධර්ම සාකච්ඡා ආදී වෙනත් වැඩසටහන් සඳහා ද එක්කර ගනු අපි දැක ඇත්තෙමු. මේ කාරිය මතුපිටින් ජන මාධ්‍ය ආයතන සහ ජන මාධ්‍ය කරුවන් විසින් සැලසුම් කරන බව පෙනෙන්නට තිබේ. මේ සෑම ජවනිකාවක් සම්බන්ධයෙන් මාධ්‍ය කරලියේ තිරයෙන් පිටුපස හිඳින වෙනම ප්‍රජාවක් ද සිටියි. ඒ ව්‍යාපාරිකයන් හා ඇතැම් විට ජාවාරම් කරුවන් ය.

 

image d34612f2d3

දෙමෝදර පාලම

 

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආරුක්කු නවයේ පාලම අද්දර පසුගිය සිංහල අලුත් අවුරුදු දින කිහිපය තුළ අති විශාල ජනකායක් රැඳී සිටි බව සමාජ ජාලවල තිබූ ඩ්‍රෝන ඡායාරූපයකින් දැක ගත හැකි විය.

එහෙත්, මෙම ආරුක්කු නවයේ පාලම අලුතින් ඉදිකරන ලද්දක් නොවේ. එය ඉංග්‍රීසි ජාතිකයන් විසින් උඩරට දුම්රිය මාර්ගය බදුල්ල තෙක් දීර්ඝ කිරීමේදී කළුගල් යොදා තනවන ලද කඳු දෙකක් සම්බන්ධ වන සේ එහි මැදින් වැටී ඇති නිම්නය හරහා තනවන ලද ආරුක්කු පාලම (Viaduct )කි.එය 1917 වැඩ අරඹා 1919 වැඩ නිම කළ බව ද සඳහන් ය.

නමුත් එය එවක සුදු ජාතික ඉංජිනේරුවන් මවිත කළ අප රටේ විසූ මේසන් බාස් උන්නැහේ කෙනෙකුගේ වික්‍රමයක් ය ආදී වශයෙන් කොණ්ඩේ බැඳපු චීනුන්ට කිව යුතු කිව යුතු කතා සමාජ ජාල මගින් ජනගත වීමත් සමඟ එහි බැලීමට අමුතු කිසිවක් නැතත් මේ වෙන විට ආරුක්කු නවයේ පාලම අවට එකම හිස් ගොඩක් බවට පත්ව තිබේ.

ipalawatte

දුම්රිය රියැදුරු අජිත් ඉපලවත්ත

 

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන දුම්රිය රියැදුරු අජිත් ඉපලවත්ත පවසා සිටියේ මීට විසි වසරකට ආසන්න කාලයක සිට තමන් මෙම ආරුක්කු නවයේ පාලම මතින් දුම්රිය ධාවනය කොට ඇතත් මුල් යුගයේ ඒ අවටින් ඉඳහිට එහි සේවයේ නියුතු දුම්රිය මාර්ග සේවකයකු වැන්නකු හැරුණු කොට මිනිස් පුළුටක් වත් දක්නට නොලැබුනු බව ය.

”මේ වන කොට අපේ එන්ජින් ඩ්‍රයිවර්ලට ඔතන පහු කරන්න වෙන්නේ හරිම පරිස්සමෙන්. මොකද ඔය වටේට ඉන්න ජනගහනයේ හැටියට කෝච්චිය එන කොට කවුරු හරි රේල් පාරට විසිවෙන්න හරි, ළමයෙක් රේල් පාරට පනින්න හරි ඉඩ තියන හින්දා” ඔහු පවසයි.

 

එමෙන්ම මෙවර දළදා ප්‍රදර්ශනය සඳහා දේශපාලනික සේම ව්‍යාපාරික ප්‍රජාවේ ද අනුග්‍රහ සහිත මාධ්‍ය මඟින් සිදු කරවන ලද සමාජමය කුළු ගැන්වීම් මුල් කොට කිසිවකුත් අපේක්ෂා නොකළ අති විශාල පිරිසක් මහනුවරට ඇදී ආ බව පැහැදිලි ය. මෙය හුදෙක් දළදා වහන්සේ දැක වැඳ පුදාගෙන අප ජන සම්මතය අනුව උන් වහන්සේ ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බහුතරයක ගෙන් සමන්විත බව මතුපිටින් පෙනෙන්නට තිබේ.

නමුදු, එම යොමු වීම සම්බන්ධයෙන් සමාජ හා මානව විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් බලන විට මෙය මාධ්‍ය සංතෘප්තිත සමාජයක නිරතුරු දැකිය හැකි රංචු චර්යාව (Herd behavior ) නම් වන මානව චර්යා පද්ධතිය මත පදනම්ව ඇති බවක් පෙනේ.

 

xfte44
සතුන් තුළ පවත්නා අවිචාරවත් අනුකරණය මෙන් වූ සමාජමය සංසිද්ධිය බ්‍රිතාන්‍ය ජාතික ශල්‍ය වෛද්‍ය වරයකු වූ විල්ෆ්‍රඩ් ට්‍රොටර් ( 1872-1939 ) ඔහුගේ Instincts of the herd in pesce and war (1914) නම් කෘතිය මඟින් මෙම රංචු චර්යාව යන ව්‍යවහාරය ජනප්‍රිය කොට තිබේ. මෙම රංචු චර්යාව නම් සංසිද්ධිය සමාජ උන්මාදය ( Social mania ) නම් අගතිගාමී තත්වය ද දිශානතිය කොට ගත් එකකි. එය ලොව පුරා කැරළි කෝලාහල සේම ආගමික යුද්ධ වලට ද මුල් වී තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපට අවසන් වශයෙන් කීමට ඇත්තේ කවර කරුණක් මුල් කොට කවර සමාජයක දක්නට ලැබුණ ද මාධ්‍ය සංතෘප්තතාව කෙසේවත් සාධනීය එකක් නොවන බවකි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙවර සිරි දළදා වන්දනාව අර්බුදකාරී වුණේ කොහොම ද? | තිලක් සේනාසිංහ | The Leader