කැබිනට් මණ්ඩලයේ තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට මින් ඉදිරියට සහභාගි විය හැක්කේ මාධ්‍යවේදියෙකු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුද්ගලයින්ට පමණක් යැයි මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, මාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙතෙක් එවැනි සීමා තහංචි නොවුනු බැව් ඉන් කියැවෙන්නකි.
පාරදෘශ්‍යභාවය, සමාජ වගවීම පොරොන්දු වූ දේශපාලන නායකත්වයක් හදිස්සියේ එවැනි මාධ්‍ය සීමාවක් තීන්දු කරන්නේ මන්දැයි පැහැදිලි කළ යුතුව ඇත. එවැනි පැහැදිලි කිරීමක් මෙතෙක් අසන්නට නොලැබුණි.
මා දන්නා තරමින් මාධ්‍ය ආයතනයක් මගින් තම ආයතනයේ මාධ්‍යවේදියෙකු යැයි නිකුත් කරනු ලැබ තිබූ හැඳුනම්පතක් සමගින් ඕනෑම පුද්ගලයෙකුට, කැබිනට් මණ්ඩලයේ තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි විය හැකිව තිබිණ. දැන් යෝජනා කෙරෙන්නේ එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම් පතට සීමා කිරීමකි.

එයට පසුබිම්වන මාධ්‍ය ක්ෂේත්‍රයෙහි වර්ධනයක් ඇත. පසුගිය දසක 02 ක පමණ කාලය තුල ව්‍යාප්ත වූ ඩිජිටල් (සංඛ්‍යාංක) පුවත් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල සමග සාම්ප්‍රදායික මාධ්‍ය ආයතන වලින් බැහැරව බිහි වූ සැළකිය යුතු මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඇත. ඔවුන්ගේ මාධ්‍ය භාවිතය තීන්දු වන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය සමග නොවේ. මුද්‍රිත හා ආයතනගත විද්‍යුත් මාධ්‍යයෙහි නොමැති නිදහසක් ඔවුන්ට ඇත. මගේ මතකය නිවැරදි නම්, පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ඩිජිටල් පුවත් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවේ, ඩිජිටල් මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි වූ මතවාදයක් සමාජයේ සාකච්ඡා වූයෙනි. එහෙත් එය පාර්ලිමේන්තු පනතක් මගින් නෛතිකව පැනවූ කොන්දේසියක් නොවූයෙන් එළෙස ලියාපදිංචි නොවුනු ඩිජිටල් (සංඛ්‍යාංක) පුවත් අඩවි සංඛ්‍යාවක් තවමත් ඇතැයි සිතමි.
ඩිජිටල් (සංඛ්‍යාංක) පුවත් අඩවි වලට අමතරව පසුගිය දසකයෙහි සීඝ්‍රයෙන් වර්ධනය වූ “යූ-ටියුබ්” මාධ්‍ය නාලිකා විශාල සංඛ්‍යාවක්ද දැන් ඇත. ඒ ඇසුරෙන් මාධ්‍යවේදීන් ලෙස යම් සමාජ පිළිගැනුමක් ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් බිහිවී ඇත.

ගැටළුව මාධ්‍යවේදීන් සංඛ්‍යාව නොව, ඔවුන්ගේ මාධ්‍ය කලාව ය. ඔවුන් පවතින්නේ ඔවුන්ගේ මාධ්‍ය නාලිකා හා පුවත් අඩවි වලට දෛනිකව පිවිසෙන අනුග්‍රාහකයින් සංඛ්‍යාව මත ලබන්නාවූ ආදායම ගණන් හදමින් ය. එය ඔවුන් අතර තරගයක්ව ඇති හෙයින් ඔවුන් සොයන්නේ කටට රහට දිය හැකි “බයිට්” පුවත් ය. ඔවුන්ගේ සිරස්තල වල ඇති ආන්දෝලනාත්මක ස්වරය, බොහෝ විට ප්‍රවෘත්තියෙහි නොමැත්තේ එබැවින් ය. විචාරයක් විනයක් නැති මේ මාධ්‍ය භාවිතය දැන් ආණ්ඩුවේ මාධ්‍ය හමු වෙත ආණ්ඩු විරෝධී ස්වරයක් සමගින් පැමිණ ඇත. “ආණ්ඩුවේ කල්කිරියාව ප්‍රශ්න කෙරෙන”, ආණ්ඩු විරෝධී මාධ්‍ය හමු බවට ඒවා පත් වෙමින් යන්නේ ය. ඊයේ පෙරේදා එවැනි මාධ්‍ය හමුවක “පීචං ආණ්ඩුව, පච ආණ්ඩුව” වැනි ගැරහුම් අසන්නටද ලැබුණි.
ඇමති මණ්ඩල තීන්දු ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමු පැවැත්වෙන්නේ කුමටද? ආණ්ඩුව ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු සහ පියවර පිළිබඳව සමාජයට දැනුම් දීමට බැව් දැන් බහුතරයකට අමතකව ඇත. ඒ දැනුම් දීම් ආණ්ඩුවක පාර්දෘශ්‍යභාවය හා සමාජ වගකීම සම්බන්ධ එක් වැදගත් මැදිහත්වීමකි. ඒ වෙනුවෙන් දියුණු තාක්ෂණයක් ඇති මේ යුගයේ, සම්මත පැරණි මාධ්‍ය හමු පැවැත්වීම වෙනුවට ආණ්ඩුව අලුත් තාක්ෂණය යොදා ගැනීමට මාරු විය යුතුය. එවැනි නවීකරණ භාවිතය ඇමති මණ්ඩල ලේකම් කාර්යාලයේද වගකීමකි. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ට අවනත කරගත හැකි මාධ්‍යවේදීන් තෝරා ගැනීම වෙනුවට, ඇමති මණ්ඩල ලේකම්ගේ වගකීම යටතේ,
1. ඇමති මණ්ඩල රැස්වීමේ වාර්තාව (අවශ්‍යයැයි සිතනවා නම්, ජාතික ආරක්ෂාව සම්බන්ධ සංවේදී සටහන් ඉවත්කර) භාෂා 03 න්ම ඇමති මණ්ඩල ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කිරීමය. එය සැබවින්ම මාධ්‍යවේදීන් දුසිමකට දෙකකට කරුණු කීමට වඩා පුළුල් ජනගත කිරීමකි.
2. එහි අන්තර්ගතය සම්බන්ධ ආණ්ඩුවේ කරුණු දැක්වීම් හා පැහැදිලි කිරීම් සඳහා ලේකම්ගේ මෙහෙයවීම යටතේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක හා ඇමතිවරුන් සහභාගිවන මාධ්‍ය හමුවක් පසු දිනයේ පැවැත් විය හැකිය. ඇමති මණ්ඩල රැස්වීම්වල වාර්තා ලේකම් කාර්යාල වෙබ් අඩවියේ පළකර තිබීමෙන්, පෙර පැවති ඇමති මණ්ඩල රැස්වීම්වල වාර්තා වුවද සාකච්ඡා සඳහා උපයෝගී කරගත හැකිය.
3. වෙබ් අඩවියේ පළකර ඇති ඇමති රැස්වීමේ වාර්තාවට සීමා කෙරෙන මාධ්‍ය හමුවීම්, වල්පල් දොඩවන මාධ්‍ය හමුවක් නොවන්නට, ඇමති මණ්ඩල ලේකම් විසින් වග බලා ගත යතුය.
4. ඇමති මණ්ඩල ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අමතරව විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍ය නියෝජනයක් ඇතිව ඇමති මණ්ඩල තීන්දු තීරණ සම්බන්ධ ඇමතිවරුන් සහභාගිවන මාධ්‍ය හමුව සඳහා එහි විෂය පථය, සහභාගි වන්නන්ගේ වගකීම් සහ මාධ්‍ය හමුව සඳහාවන කාලය සම්බන්ධවද චර්යා පද්ධතියක් සකසා ප්‍රකාශයට පත් කරන්නේ නම් සහ මාධ්‍ය සංවිධාන එවැන්නක් මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවට ගන්නේ නම් එය වඩාත් යහපත් ය.

අවංකවම කියන්නේ නම්, මාධ්‍ය වගකීම් සම්බන්ධ දැනුවත් සහ විනයානුකූලව මාධ්‍ය භාවිත කරන වෘත්තීය මාධ්‍යවේදීන් සිටින්නේ නම්, එවැනි සැළසුම් සඳහා කාලය වැය කිරීමට අවශ්‍ය වන්නේ නැත. එහෙත් මාධ්‍ය ක්ෂේත්‍රයේ “තරු” වන්නට අලුතින් ගොඩ බසින තරුණන්ට අවශ්‍යව ඇත්තේ මාධ්‍ය ඒ සඳහා වාහනයක් කර ගැනීමට පමණි. මාධ්‍ය අර්බුදයේ ආරම්භය ඇත්තේ එතැන ය. මාධ්‍ය ඇමති ජයතිස්ස හසුව ඇත්තේ එයට ය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 මැයි 01 දින
මේ ලිපියට සම්බන්ධ තවත් විස්තර
කැබිනට් මාධ්‍ය හමුවට සීමා පැනවීම මාධ්‍ය නිදහසට තර්ජනයක් : වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
කැබිනට් මාධ්‍ය හමුවට හැඳුනුම්පත අනිවාර්ය කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය
කැබිනට් මාධ්‍ය හමුවට කොන්දේසි පනවයි !



