The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇමරිකන් ටැරිෆ් සහ ලංකන් ලොජික් | දිල්මිණී අබේරත්න

T

The Leader Desk

May 2, 2025 • 6:56 AM

ඇමරිකන් ටැරිෆ් සහ ලංකන් ලොජික් | දිල්මිණී අබේරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැස්සක පෙරනිමිති විදිහට කළු වළාකුළු එක්ක ගිගිරුම් හඩ ඇහුණට, කවුරුත් හිතුවේ නෑ මේ තරම් අනෝරා වැස්සක් වැටෙයි කියලා.
  • ඒකට හේතුව වුණෙත් කලින් වතාවේ ට්‍රම්ප් පරිපාලනය ඇතුලේ දකින්න ලැබුණු අස්ථාවර හැසිරීම.
  • ඒ නිසා බදු පනවනවා කිව්වට, ලංකාව වගේ රටකින් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවලට 44% තරම් විශාල ප්‍රමාණයක බද්දක් ගහයි කියලා හිතුවේ නෑ.
  • එහෙමත් නැත්නම් වැඩිම තීරු බදු අනුපාතයක් පනවපු මුල්ම රටවල් 10 අතරට ලංකාව එයි කියලා හිතන්න ඉඩක් තිබ්බෙත් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

වැස්සක පෙරනිමිති විදිහට කළු වළාකුළු එක්ක ගිගිරුම් හඩ ඇහුණට, කවුරුත් හිතුවේ නෑ මේ තරම් අනෝරා වැස්සක් වැටෙයි කියලා. ඒකට හේතුව වුණෙත් කලින් වතාවේ ට්‍රම්ප් පරිපාලනය ඇතුලේ දකින්න ලැබුණු අස්ථාවර හැසිරීම. මොකද ට්‍රම්ප් කියලා කියන්නේ කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා බදු පනවනවා කිව්වට, ලංකාව වගේ රටකින් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවලට 44% තරම් විශාල ප්‍රමාණයක බද්දක් ගහයි කියලා හිතුවේ නෑ. එහෙමත් නැත්නම් වැඩිම තීරු බදු අනුපාතයක් පනවපු මුල්ම රටවල් 10 අතරට ලංකාව එයි කියලා හිතන්න ඉඩක් තිබ්බෙත් නෑ. හැබැයි අන්තිමට ඒ නොහිතපු දේ ඇත්තටම සිද්ධ වුණා.

 



දකුණු ආසියාතික රටවල් මත පැනවූ තීරු බදු අනුපාත


ඇමරිකන් තීරු බද්ද ලංකාවට මෙච්චර බර ඇයි?

ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරලා තියෙනවා ඇමරිකාව කියන්නේ ලංකාවේ අපනයනවල ප්‍රධානම සහ විශාලතම ගමනාන්තය කියලා.

 

2024 වසරේ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2909.97ක්. එරටින් මෙරටට ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 443.90ක්.

2023 වසරට සාපේක්ෂව 2024දී ශ්‍රී ලංකාව ඇමරිකාවට කළ අපනයනවල 5%ක වැඩි වීමක් වාර්තා කරලා තියෙනවා.

ඒ වගේම 2023 වසරට සාපේක්ෂව 2024දී ඇමරිකාවෙන් ලංකාවට ආනයනය කළ ප්‍රමාණය 13%න් අඩු වෙලා.

මේ විදිහට ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ අතරේ තියෙන්නේ පිරිමි සහ කාන්තා යට ඇඳුම්, පිරිමි සහ කාන්තා ඇඳුම්, නැවත සකස් කරන ලද රබර් ටයර් සහ ටියුබ්, ටී-ෂර්ට්, අත්වැසුම්, උණුසුම් රෙදි (ජර්සි, ෆුල්ඕවර් ආදිය), රබර්වලින් සාදන ලද කාර්මික සහ ශල්‍ය අත්වැසුම්, ක්‍රීඩා ඇඳුම් සහ ළදරු ඇඳුම් කියන දේවල්.

ඒ අනුව පැහැදිලියි මේ දේවල් අතරින් වැඩි ප්‍රමාණයක් ඇමරිකාවට යවන්නේ ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන නියමුවෙක් විදිහට සැලකෙන ඇඟලුම් කර්මාන්තය.

බොහෝමයක් දෙනාට ජීවනෝපාය සලසන, ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකායෙන් සැලකිව යුතු පිරිසක් නිරත වී සිටින රැකියා ක්ෂේත්‍රයක් විදිහට එය සලකන්න පුළුවන්. මේ නිසා ඇඟලුම් කර්මාන්තයට සෘජුව ඇතිවන බලපෑම්, විදේශ විනිමය ඉපයීම්වල පහත යාමට, ගෙවුම් ශේෂයට, ශ්‍රම බලකායට, සේවා නියුක්තියට වගේම ඒ හා බැඳුණු සමාජීය වෙනස්කම් රැසකට හේතු වෙන්න පුළුවන්.


ඇමරිකාව මේ වගේ තීරණයක් ගත්තේ ඇයි?

අලුතින් පත් වූ ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ රටේ සුබසෙත උපරිම කිරීම වෙනුවෙන් තමයි මේ වගේ දැඩි තීරණයකට එළඹෙන්නේ. ඔහුගේ අදහසට අනුව (to make America Great again …) තමන්ගේ රටට පිටරටවලින් ආනයනය කරන හැම දේකටම තීරු බදු පනවලා තියෙනවා.

හැබැයි ඒ ඒ රටවලට පනවලා තියෙන අනුපාත වෙනස්. මේ තීරුබදු පැනවීම ගැන කතාබහ ඇති වුණ මුල් අවස්ථාවේදී US Trade Representative වාර්තාවට අනුව ඇමරිකාව වෙනත් රටකට තීරු බදු පනවන්නට පෙර සලකා බලන සාධක දෙකක් තියෙනවා. ඒ තමයි,

1. තීරු බදු බාධක
2. තීරු බදු නොවන බාධක

Header SF Tariffs JD

 

තීරු බදු බාධක කියන එක මේ වෙද්දි අපට පැහැදිලියි. හැබැයි තීරු බදු නොවන බාධක කියන්නේ, ඇමරිකාවේ සැපයුම්කරුවන්ට / නිෂ්පාදකයන්ට තමන්ගේ නිෂ්පාදන වෙනත් රටක විකිණීමේදී මුහුණ දෙන්නට සිදු වන අනෙකුත් බාධක කියන එක.

උදාහරණයකට ඕස්ට්‍රේලියාව තුළ ඖෂධ සඳහා සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ රටේ මිනිස්සුන්ට ඉතාමත් සාධාරණ මිලකට බෙහෙත් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඇමරිකානු ඖෂධ සමාගම්වලට ඕස්ට්‍රේලියාව තුළ තරඟ කිරීමේ අපහසුතාවක් තියෙනවා. මේ වගේ අවස්ථාවක් තීරු බදු නොවන බාධකයක් විදිහට සලකනවා.

කොහොම වුණත් අවසානයේදී ශ්‍රී ලංකාව වගේ ආර්ථිකමය වශයෙන් කුඩා රටකට 44% තරම් විශාල තීරු බද්දක් පනවන්න හේතු වෙලා තියෙන්නේ ඔය කියන සාධකම නෙවෙයි. එතනදි ඔවුන් සලකලා තියෙන්නේ රටවල් දෙක අතර තියෙන වෙළඳ ශේෂය.

මම කලින් සඳහන් කළා වගේ ඇමරිකාවට ලංකාවත් එක්ක තියෙන්නේ වෙළඳ ශේෂ හිඟයක්. ඒකට හේතුව ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරනවාට වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනවා. මේ වෙළඳාමෙන් වැඩි වාසියක් තියෙන්නේ අපට නෙවෙයි ශ්‍රී ලංකාවට කියලා හිතන ට්‍රම්ප් ලංකාවට ලොකු තීරු බද්දක් ගහනවා. සරලම සිද්ධිය ඒක.

WhatsApp Image 2025 04 03 at 9.14.46 AM 1

 

හැබැයි මේ විදිහට හිතපු පළවෙනි රට ඇමරිකාව නෙවෙයි. වැඩිදුර නොහිතා ලංකාවම උදාහරණෙකට ගත්තොත්, මීට කලින් අවස්ථාවල ඉන්දියාව සහ සිංගප්පූරුව වගේ රටවල් එක්ක ගිවිසුම් / ගනුදෙනු කරද්දි, තමන්ට ලැබෙන ආර්ථික අවස්ථාවන් ගැන නොහිතා, ඔය විදිහටම ගෙවුම් ශේෂය විතරක් සසඳලා බලලා අදූරදර්ශී තීරණවලට එළඹිලා තියෙනවා.

මීට වඩා වෙනස් විදිහකට හිතලා වෙනස් ප්‍රවේශයකින් සමහර රටවලට තීරු බදු පනවන බවකුත් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව චීනයත් එක්ක තියෙන ආර්ථික සම්බන්ධතාවය මේ වෙද්දි තීරු බදු යුද්ධයක් තරම් ඉස්සරහට යන බවක් පේනවා. ඒ කවුරුවත් ඒදණ්ඩේ පිටිපස්සට යන්න ලෑස්ති නෑ.

දැන් ඇමරිකාවට සතුටුයි ද?

keep us
තමන්ගේ රටේ උන්නතිය වෙනුවෙන්‍ කියලා හිතාගෙන ට්‍රම්ප් මේ කරපු වැඩේ සාර්ථකද? නැද්ද? කියන ප්‍රශ්නේ කාටත් එනවා. අපි කෙනෙක්ට අපේ ගෙදරට එන්න බැරි වෙන්න දොරවල් වහනකොටම අපි තේරුම් ගන්න ඕන, අපිට ඒ කෙනාව මුණ ගැහෙන්න ඕන නම් අපි වහපු දොර තමයි අපිට හම්බවෙන මුල්ම බාධකය වෙන්නෙත්.

ඇමරිකාව පිටරටවලින් ගෙන්වන  භාණ්ඩවල මිල ගණන් වැඩි වෙද්දි, හැම රටකටම තීරු බදු පනවලා බලාපොරොත්තු වෙන සුබසෙතට වඩා පීඩනයක් ඒ මිල අධික භාණ්ඩ පරිභෝජනය කරන්න වෙන ඇමරිකානු පුරවැසියන්ට විඳින්න වෙනවා. ගෝලීය පාරිභෝගික ප්‍රජාවගෙන් 20% - 25% ප්‍රමාණයක් ඇමරිකානු පාරිභෝගිකයන්.

දෙවනියට සිද්ධ වෙන්නේ ඉහළ තීරු බදු නිසා ඔය කියන පාරිභෝගිකයෝ තමන්ගේ වියදම් කප්පාදු කළාම, ඒක ලෝවටා ඉන්න සියලුම නිෂ්පාදකයන්ට පහරක් වෙන එක. අවසානයේ domino effect එකක් වගේ මේ බලපෑම පැතිරෙනවා.

us2ඉස්සර කතාවක් තිබුණා තීරු බදු පැනවුවාම හොඳක් වෙනවා කියලා. එහෙම හිතුවේ වෙනත් රටකින් ගේන ආනයන වෙනුවට තමන්ගේ රට ඇතුලෙන්ම නිෂ්පාදනය කරලා අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න පුළුවන් වෙයි කියන තැන ඉඳන්. ඒත් ඒක යල් පැන ගිය කතාවක්.

සර්ව සම්පූර්ණ ස්වයංපෝෂී ආර්ථිකයක් බිහි කිරීම හීනයක් විතරයි. විශේෂයෙන් ලංකාව වගේ රටකට තමන්ට ඕන හැම දෙයක්ම තමන්ටම සපයා ගන්න හැකියාවක් නෑ. අපිට අනිවාර්‍යයෙන් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක ජාත්‍යන්තර වෙළඳාම තුළින් විතරයි අපේ අවශ්‍යතා, වුවමනා සපුරා ගැනීමේ හැකියාව තියෙන්නේ.

විශේෂයෙන් යුරෝපා සංගමය වගේ ආර්ථික හවුලක් සලකා බලද්දි පේනවා ඒ රටවල ආර්ථික කටයුතු මොනතරම් නම්‍යශීලීව සහ පාරිභෝගික, නිෂ්පාදක කියන අංශ දෙකටම සුබසාධනයක් ඇති වෙන ආකාරයට සිද්ධ වෙනවද කියලා. ඒකට හේතුව ඒ ඒ රටවල් අතර තියෙන ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා.

ජාත්‍යන්තර වෙළඳාම ඇතුලේ රටක් තමන්ට වඩාත් හොඳින් සහ ලාභදායීව නිෂ්පාදනය කළ හැකි දෙයක් නිෂ්පාදනය කරලා වෙනත් රටක් එක්ක හුවමාරු කර ගන්නවා. විශේෂයෙන් ලංකාව වගේ රටකට ජාත්‍යන්තර වෙළඳාම තුළින් මිස ලංකාවේ ආදේශකවලින් සපුරා ගන්න බැරි ඉන්ධන වගේ වුවමනා රැසක් තියෙනවා. ඒ නිසා තීරු බදු පැනවීම කියන සිද්ධියෙන් මිදෙන්න අපිට බෑ. හැබැයි දීර්ඝ කාලීනව අපිට ඒ බලපෑම අවම කර ගැනීම වෙනුවෙන් කළ හැකි දේවල් තියෙනවා.

එකම විසඳුම : ආර්ථික ප්‍රතිසංස්කරණ

ආර්ථික හැකියාව සහ මැතිවරණ පොරොන්දු - ( සාගල රත්නායක)
අපි හරි පාරේ යන්න ඕන කවුරුවත් බල කරන නිසා නෙවෙයි, ඒ පාරේ ගියාම නතර වෙන්නේ හරි  තැන කියලා අපි දන්න නිසා. ඒ වෙනුවෙන්,

1. ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින තීරු බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම මඟින් ආනයන සඳහා වන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද (PAL) සහ අගය එකතු කළ බද්ද (VAT) වැනි පැරා-තීරුබදු ඉවත් කරන්න ඕන.
 
2. ඇමරිකාව අපිට තීරු බදු පැනෙව්වා කියලා, අපිට ඒ අයත් එක්ක කරන ගනුදෙනු නවත්තන්න බෑ. එයාලා අපි එක්ක යාළු වෙයි කියලා හිතලා වෙළඳ ශේෂය ඇමරිකාවට හිතකර වෙන විදිහට අපි ඒ රටින් කරන ආනයන වැඩි කරලා වැඩකුත් නෑ. ඒ නිසා ලංකාවේ භූ දේශපාලනික පිහිටීම පවා සලකලා ඇමරිකාව එක්ක උපායමාර්ගිකව සම්බන්ධ වෙන්නයි ඕන.
 
3. එකම රටක් / රටවල් කීපයක් මත පමණක් රඳා පවතින්නේ නැතුව, අලුත් වෙළඳපළවල් සොයා යාම වැඳගත්. ඒ වගේ වෙළඳපළවල් හොයා ගන්න නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ විභව ප්‍රවේශ මාර්ගයක්. ඒ වුණත් රටක් සමඟ ගිවිසුම් ඇති කරගත් පමණින් වෙළඳපලක් විවර වෙන්නේ නෑ. ඒකට කරන්න වෙන්නේ කාලීනව සුදුසු ගැලපුම් සහ නවීකරණයන්ට අදාළ නිෂ්පාදකයන් විසින් අනුගත වීම. මෙතනදි ලෝකයේ අවශ්‍යතාවන්ට ගැලපෙන, ගුණාත්මක නිෂ්පාදන වෙළඳපලට ගෙන ඒමත්, පිළිගත් සම්මතයන්ට අනුකූල වීමත් වැඳගත්.


හැම වැහි වළාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ පනවලා තියෙන තීරු බදු නිසා ඇති වුණ ප්‍රශ්නය, තමන්ට ලැබුණු අවස්ථාවක් විදිහට දකින්න ලංකාවට පුළුවන්. මේ තාක් මඟ ඇරුණු අවස්ථාවක්; කරන්න බැරුව හිටිය ප්‍රතිසංස්කරණ කරන්න ලැබුණු තල්ලුවක්. ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලින් අසාධාරණ තරඟයක් ඇති කිරීම වෙනුවට, සාධාරණ තරඟයක්, නිදහස් ආර්ථිකයක් සහ ජාත්‍යන්තර වෙළඳාමක් තුළින් වාසි ලබා ගන්න ලංකාවට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක නුවණක්කාර විදිහට පාවිච්චි කරන එක රටට බාරයි.

dilmini(සටහන | දිල්මිණී අබේරත්න)
Advocata Institute

dilmini@advocata.org

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමරිකන් ටැරිෆ් සහ ලංකන් ලොජික් | දිල්මිණී අබේරත්න | The Leader