The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සෙංකඩගල පුරවරය කුණු කන්දක් වුනේ ‘කළමනාකරණ’ දෝසයක් නිසාමද? | ඥානසිරි කොත්තිගොඩ

T

The Leader Desk

May 3, 2025 • 8:21 AM

සෙංකඩගල පුරවරය කුණු කන්දක් වුනේ ‘කළමනාකරණ’ දෝසයක් නිසාමද? | ඥානසිරි කොත්තිගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ කේඩරය, ආණ්ඩු බලය ලබා මාස 06 ක් ඉක්මෙන්නට මත්තෙන් අතුරුදහන් වුණේ කොහොමද?
  • "ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ" කියමින් 1965 දී ජාතිවාදී පෙළපාලි ගියා.
  • වැඩ වර්ජන, 71 කැරැල්ල මර්දනය කරන්න ධනපති ආණ්ඩුවලට සහය දුන්නා.
  • බලයට ආවොත් පෙරහැර පවා පවත්වන්න නොලැබෙන බවට විරුද්ධ පක්ෂවල මැතිවරණ වේදිකාවලින් කියනවා ඇහුණේත් මේ නිසා තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගන්න පුලුවන්කම තිබූ ජවිපෙ කේඩරය, ආණ්ඩු බලය ලබා මාස 06 ක් ඉක්මෙන්නට මත්තෙන් අතුරුදහන් වුණේ කොහොමද? ආණ්ඩු බලය අරගෙන හැදූ "ක්ලීන් ශ්‍රී ලංකා" ක්‍රියාන්විතය නුවරදී ක්‍රියා විරහිත වුණේ ඇයි?

අද දළදා ප්‍රදර්ශනයට ගියත් ජවිපෙ නායකයන් ආණ්ඩු බලය ගන්නට පෙර සමාජවාදය, නිර්ධන පංති විමුක්තිය, මාක්ස්, ලෙනින් ගැන කතා කළා. ආගම අබිං කියමින් අනෙක් රතු පක්ෂවලටත් වඩා ඉදිරියෙන් හිටියා.

ඒ අතරම සිංහල බෞද්ධ රාජ්‍ය සුරැකීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටියා. නමුත් පක්ෂය ජනගත වුණේ නිරාගමික පක්ෂයක් විදියට. 1950 ගණන් වලදී ධනපතියන් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හැදින්වූවේත් නිරාගමික පක්ෂයක් විදියට. ඔවුන් ආණ්ඩු බලයට ආවොත් බෝගස් කපා ලී ඉරාවි කියලා තමයි වේදිකාවලදී කිව්වේ. ඒත් ඡන්ද දිනුවා.

 

177761228 5ccc700f92 c
ලසසප පාර්ලිමේන්තුවාදයට යට වුනාට පස්සේ මල්වට්ටි අරගෙන පන්සල් ගියා. "ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ" කියමින් 1965 දී ජාතිවාදී පෙළපාලි ගියා. වැඩ වර්ජන, 71 කැරැල්ල මර්දනය කරන්න ධනපති ආණ්ඩුවලට සහය දුන්නා. 1972 දී  සිංහල, බෞද්ධ ඒකීය රාජ්‍යය වෙනුවෙන් ව්‍යවස්‍ථාවත් කෙටුම්පත් කළා. අවසානයේ ඒක යථාර්තයක් කරන්න රාජපක්ෂලා එක්ක වර්ග සංහාර යුද්ධ‍යේ කොටස්කාරයොත් වෙලා තමයි විනාස වුණේ.

ජවිපෙ ආණ්ඩු බලය ගන්නට පෙර කියූ මන බඳින මාක්ස්වාදී කතා, නෙත පිනන මැයිදින විලාසිතා මතුපිටින් නිරීක්ෂණයක් තමයි බොහෝ දෙනෙක් කළේ. ඒනිසා තමයි ඔවුන්ට නිරාගමික ලාඩම එල්ලුවේ. බලයට ආවොත් පෙරහැර පවා පවත්වන්න නොලැබෙන බවට විරුද්ධ පක්ෂවල මැතිවරණ වේදිකාවලින් කියනවා ඇහුණේත් මේ නිසා තමයි.

හැබැයි නව සමසමාජ පක්ෂයේ පුරෝගාමී ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න 1979 තරම් ඈත අතීතයේදී ජවිපෙ මේ දෙබිඩි පිළිවෙත මනාව හෙළිදරව් කළා. මොනතරම් මාක්ස්වාදී උධෘත හඬ නැගුවත් ජවිපෙ කියන්නේ තවත් රතු බණ්ඩාරනායකගේ පක්ෂයක් කියලා තමයි ඔහු පෙන්වා දුන්නේ. වසර ගණනාවකට පසු අද එය ජවිපෙ නායකයන්ම පැවසීම මොන තරම් අරුමයක්ද? මේ පරස්පරයේ ගැටුම තමයි නුවරදී එළියට ආවේ.

"ඉන්දියානු හින්දු ව්‍යාප්‍තවාදය" පරාජය කිරීම සඳහා සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය ශක්තිමත් කිරීම තමයි ඔවුන්ගේ දේශපාලන මූලධර්මය. මොන විදියේ රතු කැටයම් දැම්මත් ජවිපෙ කියන්නේ ධනපති චින්තනය දර්ශනය කරගත් දුගියන් නියෝජනය කරන්නා වූ පක්ෂයක්. ඒනිසා තමයි අද ඔවුන් ආණ්ඩු බලය අරගෙන තමන්ගේ දේශපාලන මූලධර්ම, ප්‍රතිපත්ති වෙත ගමන් කරමින් ඉන්නේ.

නමුත් මාක්ස්වාදයට ලොව පුරා නිර්ධනයන්, පීඩිතයන් පෙම් කරනවා. ලංකාවේ ජනගහනයෙන් සියයට 70 ක් විතර අයිති වෙන්නේ මේ නිර්ධන, දුගී, පීඩිත කියන කැටගරි එකට. එතකොට ආණ්ඩු බලය ගන්නනම් ඒ බලවේගය දිනා ගන්න ඕන. ඒ නිසා මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙස ජවිපෙ වෙස්වළා ගත්තා.

මේ වෙස්වලා ගැනීමට අනුසාංගික ලෙස පිළිම වන්දනාව, ඇදහීම, ආගමික චාරිත්‍ර වාරිත්‍ර ප්‍රතික්ෂේප කළයුතු බවට ඉගැන්නුවා. ඒවා මිත්‍යාමත ලෙස ප්‍රතික්ෂේප කරමින් පහර දුන්නා. නලින්ද ජයතිස්ස වර්තමාන ඇමැතිවරයා ජනාධිපතිවරණයට පෙර කරන්නා වූ එවැනි ප්‍රකාශයක් ඔබ අහලා ඇති.

මේ ඉගැන්වීම් නිසා ජවිපෙ කේඩර්වරුන් හුරුපුරුදු වුණේ නිරාගමික සදාචාරවාදී ජීවිතයකට. ඔවුන් ගමේ වාද විවාද කළේ නිරාගමික පිළිවෙතක ඉදලා. ඒ වගේම ඉන්දියානු විරෝධය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි බටහිර මූල්‍ය ආයතන පිළිබඳ විරෝධය ලේ වලටම කා වද්දලා තිබෙන්නේ. මහපරිමාන කොම්පැණිකරුවන්, හාල් මෝල් හිමියන් තමන් දුගී භාවයට පත්කරපු රාස්සයන් මරා කන පරාස්සයන් විදියට තමයි ඉගෙන ගත්තේ.

 

may 11

පෝස්ටරය ඇලෙව්වේ, පෙළපාලි ගියේ, හිරගෙවල ගියේ, රැකියා නැති කර ගත්තේ අවසාන වශයෙන් ජීවිතය පවා දුන්නේ මේ සියල්ලට විසඳුමක් ලෙස සමාජවාදය කියන සිහිනයේ දකිමින්. මැයි දිනේට කොළඹ ගිහින් ඇවිත් පාරේ ගියේ මහ උජාරුවෙන්. අනෙකුත් වාමාශිංක කඳවුරේ සාමාජිකයන් කවුරුන් හෝ තර්ක විතර්කවලට ආවොත් කට උත්තර නැතිවෙන්න තමයි දේශනාව දෙන්නේ

නමුත් එම පක්ෂයේ වර්තමාන නායකයා ජනාධිපති ලෙස දිවුරුම්දී පළමුව ගියේ මෙතෙක් අනෙකුත් ධනපති ජනපතියන් කළා සේම මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ ආශීර්වාද ලබා ගන්න. පාර්ලිමේන්තු බලයත් ලැබුණාට පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නවත්වපු තැන ඉදලා IMF එකත් එක්ක තමයි දීග කන්නේ. තවම මහ බැංකු අධිපති රනිල් ගේ ගෝලයා. ජනාධිපති මුදල් ඇමැති වුනාට වැඩ කරන්න ඕනේ බැංකු අධිපතිට යටත්වෙලා.

indiany tra

නිරාගමික රාජ්‍යයක් හදන්නේ කියලා පුරසාරම් දෙඩුවත් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්තානය අහිමි කරන්නේ නෑ කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණා. ජනාධිපතිවරයාගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික විදේශීය සංචාරය ඉංදියාව. පක්ෂ සාමාජිකයාගේ මළගමට සුදුවතින් සැරසී යන්න සිදුවුණා. ආණ්ඩු බලය එක්ක නායකයන්ගේ පැවැත්ම සීඝ්‍ර පරිවර්තනයකට ලක්වෙන බව දැක සාමාජිකයා විශ්මිතව බලා සිටියා.

ඉංදියාවත් එක්ක ගහපු එලි නොකරන ගිවිසුම් නිසා මේ අර්බූදය දෙගුණ තෙගුණ වුණා. තම සදාදරණීය නායකයා ඇතුළු තිස්හතලිස් දහසක් ඝාතකාගාරවලදී අනේක විද වදබන්ධනයන්ට ලක්ව දිවි දුන්නේ ඉංදියන් විරෝධය නිසා.

ඉහළ නායකයන්ගේ මේ පාවාදීම් නිසා අනෙකුත් වාමාශිංක කඳවුරේ සාමාජිකයන්ට මුහුණ දී ගත නොහැකි තත්වයකට ගමේ ජවිපෙ කේඩර්වරයා පත්වුණා. කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් ගිය ඔවුන්ට විරුද්ධවාදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව කරබාගෙන යන්න සිදුවුණා. ඒ පරාජිත හැඟීම නඩත්තු කරගත්තේ බර සුසුමක් හෙළලා අපට ආණ්ඩුවක් තියෙනවා නේද කියලා. එහෙම හිතලා නින්දට ගියා.

dalada

අවසානයේ අනෙකුත් ධනපති නායකයන් ගිය මඟම නොඅඩුව යමින් මැතිවරණය සඳහා දළදා ප්‍රදර්ශනයක් ආරම්භ කළා. දන්ත ධාතුව කියන්නේ බෞද්ධ රාජකීය බල සංකේන්ද්‍රනයේ සංකේතය. මේ ක්‍රියාවෙන් විප්ලවවාදී, සමාජවාදී කියමින් කේඩර්වරයාට ගැට ගසා තිබූ දිය නූලත් අවසාන වශයෙන් ජවිපෙ නායකයා ගලවා දැම්මා.

දළදා ප්‍රදර්ශනයේ වැඩ බෙදීමක් තිබුණේ නෑ. මේක මාක්ස්වාදයේ එන පංති විග්‍රහය අනුව සුළු ධනේෂ්වරයේ ජන්ම ගතියක්. ආරේ ගති නෑරේ කිව්වලු. තමන්ගේ ප්‍රභාස්වරය වටා තමයි සියල්ලන්ටම පැවැත්මක් තිබෙන්නේ කියලා තමයි මේ වර්ගයේ නායකයන් හිතන්නේ. ඒ නිසා තමයි ඔවුන් බලය සංකේන්ද්‍රනය කරගන්නවා මිස කිසිඳා බලය බෙදන්නේ නැත්තේ.

දරුවෙක් පිළිසිඳ ගත් මොහොතේ පටන් දරු ප්‍රසූතිය දක්වා නොකඩවා එන වින්නඹු අම්මා වගේ තමයි පෙරදා "ජවිපෙ රතු තරුව" හිටියේ. සුනාමිය වෙලාවේ එයින් විපතට පත් වූවන්ට සහන සලසන්න, විනාස වූ රේල් පාර, බස් නැවතුම්පොළ හදන්න පළමුවෙන්ම ආවේ ඔවුන් තමයි.

පෙළපාලි ගමන් මගේ කොඩි, බැනර් ඉවත් කරනවා පමනක් නොවෙයි රැස්වීම් පිටියේ ටොපි කොලයක් හෝ ඉතිරි කරන්නේ නෑ. ආණ්ඩු බලය ලැබුණු විගස මූදු වෙරළ පවා සුද්ධ පවිත්‍ර කළ "ක්ලීන් ශ්‍රී ලංකා" මේ සියල්ල අකර්මන්‍ය වුණා. ජවිපෙ කිසිදු කෙනෙක් නුවර කසළ ප්‍රශ්නය ගැන කතා කරන්නවත් ඉදිරිපත් වුණේ නැහැ.

 

Clean

කපා ගත්තානම් උඹම කර ගහගනින් කියලා අපේක්ෂා භංගත්වයට ගිය සාමාජිකයා, පාක්ෂිකයා, කේඩර්වරයා ජනාධිපති ගේ දළදා ප්‍රදර්ශන වැඩ පිළිවෙල මුළුමනින්ම අත් හැර දැමුවා. දවස් නවයක් ගතවෙද්දී කසළ ටොන් 600 ක් 700ක් ගොඩගැසුනා. ඒත් ජවිපෙ මැති ඇමැතිලාවත් කිසිදු මැදිහත්වීමක් කළේ නෑ. අන්තිමේදී 10 වැනි දින මහ රෑ අනුර ජනාධිපතිටම නුවර ගිහින් කසළ ප්‍රශ්නයට මැදිහත් වෙන්න සිද්ධ වුණා.

ඕනෑම දෙයක ඇක්ෂන් හා රිඇක්ෂන් කියලා දෙයක් තියෙනෙවා. ප්‍රතිපත්ති පාවා දෙනකොට ඒකට ලැබුණු රිඇක්ෂන් එක තමයි මේ. එවගේම ජවිපෙ, මාලිමා ආණ්ඩුවකින් සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් පසුගිය ඡන්දවලදී ඒ වටා රොක් වූ බොහෝ රැඩිකල් පිරිස්ද අද මාලිමාව අත්හැර යමින් ඉන්නේ. ඊළඟ රිඇක්ෂන් එක පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් බලා ගන්න පුළුවන්. සැබෑ වමක අඩුව නිසා ඒ වැඩි දෙනෙක් ඉන්නේ කරකවල අතෑරියා වගේ.

රටේ ආර්ථික තීන්දු තීරණ ගන්නේ IMF එක. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිටියා වාගේ ඇමතිවරුන් 3 ක් හිටියා නම් මුදලුත් ඉතිරි වෙයි. අපි මෙච්චර මුදල් ඉතිරි කළා, අච්චර ඉතිරි කළා කිව්වාට හැබැයි කිසිම විගණන වාර්තාවක නම් එහෙම සඳහන් වෙලා තිබෙනවා දැක්කේ නෑ. තියෙනවා නම් ජනතාවට දැනගන්න එලි කරන්න එපැයි. සමාජය තුළ මෙවැනි කතාබහ යනවා. ඒවා ඉහළ නායකයන්ට ඇහෙන්නේ නෑ. දැනෙන්නේ නෑ. උත්තර දෙන්න ඕන ගමේ එකා.

විරුද්ධ පක්ෂයේ ඉන්නා අවදියේ අනෙක් වාමාංශික පක්ෂවලට හා එහි නායකයන්ට මඩ ගැහුවා වගේ තමයි මේ මුදල් ඉතිරි කරන කතා. "ඩොලර් කාක්කෝ. ඔය කෑ ගහන්නේ කොටින්ගේ, දෙමළ ඩයස්පෝරාවේ සල්ලි" ආදී වශයෙන් තමා එදා කිව්වේ. එහෙම කිව්වත් අද වන තුරු කිසිම අයුරකින් ඒවා ඔප්පු කරළා නෑ. කන්ද කෙන්ද කිරීම, මඩ අවලාද නැගීම, අතිශයෝක්තිය සුළු  ධනේෂ්වර දේශපාලනයේ අවියෝජනීය ලක්ෂණයක්.

මේනිසා තමන් පිළිබඳ නොසළකා, පක්ෂ ප්‍රතිපත්ති පාවා දෙමින් තීන්දු අරගෙන වැඩ කරගෙන යනවා කියලා අද ජවිපෙ තුළින් එළිපිටම චෝදනා කරන තැනට ඇවිල්ලා. මේ නිසා තමයි ජවිපෙ නායකයන්ට සිය සාමාජිකයන් සනසන්න දැන දැනම බොරු කියන්න බලකෙරිලා තියෙන්නේ.

 

Anura Kumara Dissanayake And Tilvin Silva At The Victory Rally Of Nugegoda 1024x600
තමන් නොසලකා වෙනත් ගමනක් යන බවට පහළ සාමාජිකයන්ගේ චෝදනාවන්ට ලක් වී ඉන්නා ප්‍රමුඛයෝ තමයි ජවිපෙ නායක ජනාධිපති දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඇමැති ලාල්කාන්ත.    

IMF ඇතුළු අනෙකුත් විදේශීය මුල්‍ය ප්‍රතිපත්ති කර ගහගෙන යන්න ජවිපෙ ඉහළ ඇවරිය තීන්දු ගන්නවා. මේ තීන්දු අමු අමුවේම පහළ සාමාජිකයාට ගිල්ලවන්නේ ඇමැති ලාල්කාන්ත. ටිල්වින් සිල්වා ඉඳහිට ව්‍යාජ හීන් කෙඳිරියක් නගනවා "අපි සමාජවාදය අත් හැරලා නෑ" කියලා. මේක ඒ අය අතර කරගෙන තිබෙන වැඩ බෙදීමක්.

Nirmal Ranjith Dewasiri

මේ වැඩ බෙදීමෙන් පිට ඉන්නවා තවත් කෙනෙක්. එයා තමයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි. ඔහු උග්‍ර මාක්ස්වාදී විරෝධියෙක්. ඔහුගේ දේශපාලන ජීවිතයත් අර අහිකුණ්ඨික ජනතාවගේ ජීවිතය වගේ. වැඩිකල් එකතැනක රැදෙන්නේ නෑ.

ජවිපෙ ඉහළ ඇවරියේ තිදෙනා ගන්නා නව ලිබරල් ධනපති ක්‍රියාමාර්ග විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් යුක්ති සහගත කිරීම, සාධාරණීයකරනය කිරීම වෙනුවෙන් තමයි ඔහු අද කාලය ගෙවන්නේ. එසේ කරමින් නව ලිබරල් මාවත දිගේ ජවිපෙ නායකයන් දක්කා ගෙන යනවා.

නිර්මාල්ගේ මේ ඉලක්කය ජය ගැනීමට ජවිපෙ පැරණි කේඩරය බාධාවක්. ඒ නිසා ඔවුන් නම්මවා ගැනීමට හෝ එළවා දැමීම වෙනුවෙන් විවිද වීඩියෝ දානවා. නුවර කුණු ප්‍රශ්නය පිළිබඳවත් වීඩියෝවක් දාලා තිබුණා.

මේ වෙලාවේ අන් අයට වඩා මහාචාර්යවරයාගේ නිරනුකම්පිත උදහසට ලක් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප). මොකද පෙසප අද ඉන්නේ ජවිපෙ බලය ගැනීමට පෙර හිටිය ස්ථාවරයන්ටත් වඩා වමෙන්. ජවිපෙ කේඩරය වඩාත්ම අර්බූදයට ලක්වන්නේ, නිර්මාල්ට වැඩ වැඩි වෙන්නේ පෙසපෙ මේ ව්‍යාජය නිසා.

එහෙම වුණා කියලා ඡන්ද ටිකක් වැඩි කරගන්නවා හැර වමේ විකල්පය වෙන්න පෙසපෙට බෑ. IMF එකට, ඉංදියාවට, අධිරාජ්‍යවාදයට විරුද්ධව නාලාගිරි වගේ ගිරිය පුප්පාගෙන කෑගහනවා. හැබැයි ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම මහගෙදර එකම තමයි. ඔලුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ උත්තරේ කියන්න ටික වෙලාවක් යනවා. එච්චරයි වෙනස. බලය සංකේන්ද්‍රණය කර ගන්නවා මිස බලය බෙදීමක් නෑ. එක වල්ලේ පොල්.


8fb141f0 1b8e 11f0 a455 cf1d5f751d2f.jpg

ජවිපෙ මෙහෙම පක්ෂ අභ්‍යන්තර ගැටුමකට මැදිවී යන නව ලිබරල් ගමන නිසාම තමයි නුවර මාළිගාවත් චන්ද මාලිමාවක් කරගන්න ගියේ. ඒත් සිදු වුණේ වඳින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුණා වගේ වැඩක්. ඒකෙන් ගොඩ එන්න ජනාධිපති රාජපක්ෂ සමයේත් දළදා ප්‍රදර්ශනයක් නවතා දැමූ බවට කියැවෙන වීඩියෝවක් ප්‍රචාරය කළා.

නමුත් එහි කොතැනකවත් කියවෙන්නේ නැහැ අසූචි, මූත්‍රා, කැලිකසළ ප්‍රශ්නය නිසා දළදා ප්‍රදර්ශනය නැවතුනා කියලා. ඒකේ කියන්නේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසා නැවත්තුවා කියලා.

ඒනිසා ජවිපෙට මේ සිදුවෙමින් තිබෙන්නේ තීන්ත බාල්දියේ වැටුණු නරියාට වූ දෙයයි. නෙළමින් ඉන්නේ ඔවුන් ඉතිහාසයේ වැපිරූ දේ අස්වැන්න.  තල වපුරා මුං නෙළන්න බෑ.

koththi
(සටහන | ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)
koththigoda@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සෙංකඩගල පුරවරය කුණු කන්දක් වුනේ ‘කළමනාකරණ’ දෝසයක් නිසාමද? | ඥානසිරි කොත්තිගොඩ | The Leader