The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැලිපැන්නෙන් එළි පැන්න දේශපාලන දිශානතිය | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

May 4, 2025 • 6:14 AM

වැලිපැන්නෙන් එළි පැන්න දේශපාලන දිශානතිය | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) බොහෝ දෙනෙකුගේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ.
  • එයට හේතුව වන්නේ පසුගිය මැයි 1 වැනිදා වත්මන් ආණ්ඩුවේ මැයි රැළියට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි විශාල බස් රථ සංඛ්‍යාවක් වැලිපැන්න සේවා කලාපය (මෙය Canowin Arcade හරිත කලාපය ලෙස ද හඳුන්වනු ලබයි) අවට අධිවේගී මාර්ගයේ නැවැත්වීමේ සිදුවීමය.
  • මේ පිළිබඳ සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනයකට අනුව පෙනී යන්නේ මේ බස් රථ නවත්වා ඇතිවා පමණක් නොව ඒවායේ ගමන් කළ මගීන් අධිවේගී මාර්ගය ඔස්සේ ඇවිදිමින්, කමින් බොමින්, ඇතැමුන් මුත්‍රා පවා දමමින් අවිචාරවත් ලෙස හැසිරෙනු දකින්නට ලැබීමය.
  • ඇතැමුන් මත්පැන් පානය කරමින් සිටි බවට ද වාර්තා වන නමුත් ඒවා තහවුරු වී නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) බොහෝ දෙනෙකුගේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. එයට හේතුව වන්නේ පසුගිය මැයි 1 වැනිදා වත්මන් ආණ්ඩුවේ මැයි රැළියට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි විශාල බස් රථ සංඛ්‍යාවක් වැලිපැන්න සේවා කලාපය (මෙය Canowin Arcade හරිත කලාපය ලෙස ද හඳුන්වනු ලබයි) අවට අධිවේගී මාර්ගයේ නැවැත්වීමේ සිදුවීමය.

අධිවේගී මාර්ග සම්බන්ධ නීතිය අනුව කිසිදු වාහනයක් අධිවේගී මාර්ගයේ නැවැත්වීමට අවසරයක් නැත. මේ පිළිබඳ සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනයකට අනුව පෙනී යන්නේ මේ බස් රථ නවත්වා ඇතිවා පමණක් නොව ඒවායේ ගමන් කළ මගීන් අධිවේගී මාර්ගය ඔස්සේ ඇවිදිමින්, කමින් බොමින්, ඇතැමුන් මුත්‍රා පවා දමමින් අවිචාරවත් ලෙස හැසිරෙනු දකින්නට ලැබීමය.

ඇතැමුන් මත්පැන් පානය කරමින් සිටි බවට ද වාර්තා වන නමුත් ඒවා තහවුරු වී නොමැත.

එයට අමතරව කන්ටේනර් රථයකින් මේ පිරිසට දිවා ආහාර ලබා දුන් බවට වාර්තා වන නමුත් එහි ඡායාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් හෝ මෙතෙක් දකින්නට නොමැති බැවින් තහවුරු කර ගත නොහැකිය.

මෙයට පෙර කිසිදා මෙවැනි හැසිරීමක් සහිත අත්දැකීමක් කිසිදු අධිවේගී මාර්ගයක් සම්බන්ධයෙන් සොයා ගත නොහැකි අතර මේ අවිචාරවත් හැසිරීමට තිත තබන්නට බලධාරීන් ක්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරියේදී මෙය සුලභ, සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වන්නට ඉඩ තිබේ.

සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ කිසිවකු නොදැන සිටීම සහ හදිසියේ යම් කිසිවකු හෝ මාර්ගය හරහා ඇවිද යනු ඇතැයි යන සැකය නිසා බොහෝ දෙනෙකු ගමන් කළේ දැඩි වික්ෂිප්ත භාවයකිනි. මේ අවස්ථාවේ දී අධිවේගී මාර්ගයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ ආරක්ෂක අංශය ද එතැනට පැමිණ තිබූ බව වීඩියෝවේ දකින්නට ලැබුණ ද ඔවුන් ද කිසිදු පියවරක් ගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැත.

 

මේ පිළිබඳ පසුව විමසීමක දී දැනගන්නට ලැබුණේ මේ සා බස් ප්‍රමාණයකට වැලිපැන්න සේවා කලාපයේ නතර කරන්නට ඉඩකඩ මදි වූ බැවින් අධිවේගී මාර්ගය ඔස්සේ නවතා දිවා ආහාර ගැනීමට සිදු වූ බවය. මෙහි මෙයට වඩා විශාල සේවා කලාපයක් ඉදිකිරීමේ සැලැස්මක් පැවති බවත් හිටපු ජනපතිවරයකු වූ මහින්ද රාජපක්ෂ ඒ මුදල් ද යටිමඩි ගසා ගැනීම නිසා මේ සා බස් සංඛ්‍යාවකට නැවැත්වීමට තරම් ප්‍රමාණවත් ඉඩක් නොමැති සේවා කලාපයක් පිහිටුවන්නට සිදු වූ බව ද මේ පිරිස් පැවසූයේ යැයි වාර්තා විය.

ඔවුන්ට සේවා කලාපයෙන් පිටත බස් නවත්වන්නට සිදු වූයේ එසේ ඉඩකඩ මද වූ නිසා පවත් පවසා තිබේ. එය සැබෑවක් නම් එය වෙනම විමර්ශනයකට ලක් කළ යුතු කාරණයක් වන නමුත්, අධිවේගී මාර්ගය ඔස්සේ බස් නැවැත්වීමට හේතුව සාධාරණීකරණය කිරීමට එය අදාළ කර ගැනීම සදාචාරාත්මක හෝ නීතිගරුක හෝ නැත. මන්ද මෙයට නිසි පියවරක් නොගත හොත් මෙය පූර්වාදර්ශයක් බවට පත් කර ගනිමින් ඉදිරියේ දී වෙනත් පිරිස් ද මේ ක්‍රියාවම අනුගමනය කරන්නට ඉඩ තිබෙන නිසාය.



කලිඳු කරුණාරත්න ‘දෙරණ 360’ වැඩසටහනේ දී මේ සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායකගෙන් විමසා තිබූ අතර මෙය සිය පාක්ෂිකයන් අතින් සිදුවූ වරදක් බව පිළිගත් අතර එයට සම්බන්ධ සංවිධායකයන්ට සහ එහිදී නීතිය ක්‍රියාත්මක නොකළ පොලිස් නිලධාරීන්ට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බව එහිදී ප්‍රකාශ කළේය.

බස් රථවලට නතර කිරීම සඳහා වැලිපැන්න සේවා මධ්‍යස්ථානයේ ඉඩකඩ මද වීම මෙයට හේතුව වූ බව ඔහු ද පවසා සිටි අතර එසේ වුවත් එය වැරදි ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කළේය.

මේ බස් රථ නවතා තිබුණේ ප්‍රධාන මංතීරු දෙකට අමතරව ඇති මං තිරුවේය. එය ඉංග්‍රීසි බසින් shoulder නමින් හඳුන්වනු ලබයි. ලෝකයේ අධිවේගී මාර්ග පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ මේ කොටස ඇතැම්විට තාර අතුරා නිමාවකට පත් කර තිබෙන බවත් ඇතැම් ඒවා ගල් බොරළු පමණක් දමා නිමාවකට පත් කොට තිබෙන බවත් ය. මෙය ප්‍රධාන වශයෙන් කාර්යයන් කිහිපයක් සඳහා භාවිත වේ.

 

vy6
ඉන් එකක් වන්නේ හදිසියේ යම්කිසි වාහනයක කාර්මික දෝෂයක් ඇති වුවහොත්, එසේත් නැත්නම් වාහනය පදවාගෙන යා නොහැකි තරමේ ශාරීරික ආබාධයකට ලක් වුවහොත් ඒ සඳහා ආධාරක කණ්ඩායමක් පැමිණෙන තුරු වාහනය තවතා තබන්නේ මේ ස්ථානයේ ය. නමුත් එහිදී තමා ආපදාවකට ලක්ව සිටින බව සංඥා ආලෝක මගින් දැන්විය යුතු අතර වාහනයෙන් පිටතට පැමිණීම තහනම්ය.

ඇතැම් අවස්ථාවල දී තම වාහනය මාර්ගයෙන් පිටතට ඇදී යනු දැනුණ හොත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කරන ඉඩපහසුව සලසා ගන්නට උපකාරී වන්නේ ද මේ කොටසය. එමෙන්ම අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු කරන විවිධ පාර්ශ්වයන්ට අයත් අපදා රථ, ගිලන් රථ, පොලිස් රථ ආදිය නවතා තැබීම සඳහා ද මේ තීරුව භාවිත වේ. මෙය අවභාවිත කිරීම අවදානම් සහගත දෙයක් වන අතර සහමුලින්ම නීති විරෝධීය.

weipenna12

වත්මන් ආණ්ඩුව පිළිබඳ බහුතර අදහස වූයේ ඔවුන් ඕනෑම කාර්යයක් පිළිවලට කළ හැකි, නීතිගරුක කණ්ඩායමක් ලෙසිනි. කෙසේ නමුත් නිලනොලත් ලෙස දැනගන්නට ලැබී ඇති පරිදි අධිවේගී මාර්ගයේ මේ ආකාරයට බස් රථ නැවැත්වීම සඳහා උපදෙස් ලබා දී ඇති එම පක්ෂයේ ප්‍රබල නායකයකු විසිනි. එය ඔවුන් මෙතෙක් පවත්වාගෙන පැමිණි ප්‍රතිපත්තිවලට ඉඳුරාම පටහැනිය.

රාජ්‍ය බලය යොදා ගනිමින් නීතිය අවභාවිත කිරීමට එරෙහිව කාලාන්තරයක් තිස්සේ දැඩි ලෙස එරෙහිවෙමින් අදහස් දැක්වූ වත්මන් ආණ්ඩුව විසින්ම මෙය සිදුකිරීම දෛවයේ සරදමකි. නීතිය අවභාවිත කිරීම සඳහා ප්‍රකටව සිටි යම්කිසි දේශපාලන පක්ෂයක සාමාජිකයන් විසින් මෙවැන්නක් සිදු කළේ නම් ඔවුන් නීතිගරුක නොවන පිරිසක් යැයි චෝදනා කළ හැකිය. නමුත් අතීතයේ කිසිදු අවස්ථාවක එවැන්නක් සිදු වී නොමැත.

යම්කිසි ආපදා අවස්ථාවක දී අධිවේගී මාර්ගයක ඉදිරියෙන් බාධා සහිත තත්ත්වයක් ඇති නම් එහි පරිපාලනය විසින් අදාළ ස්ථානය කරා ප්‍රවේශ වන්නට පෙර මෙය ඔස්සේ ගමන් කරන වාහනවලට පූර්ව දැනුම්දීමක් සිදු කරන අතර එසේ කරන්නේ ඔවුන් අධික වේගයකින් පැමිණීමත්, මේ බාධාව නිසා වේගය අඩු කොට සූදානම්වීම සඳහාත්ය. නමුත් මේ අවස්ථාවේ දී එවැන්නක් ද සිදු වී නොමැති බව දැනගන්නට ලැබී තිබේ.

 



මෙයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කළ බවට ද වාර්තා වන නමුත් ගැටලුව ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ ද ඔවුන්ට නීතිගරුකව කටයුතු කිරීම සඳහා බාධාවක් ඇති කළ දේශපාලන බලපෑමට ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතුව තිබේ.

වත්මන් ආණ්ඩුව මෙවර මැයි රැළිය භාවිත කළේ පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ ජය තහවුරු කර ගැනීමේ ප්‍රචාරක අවස්ථාවක් ලෙසින් බව පැහැදිලිය. එය ප්‍රදේශීය මට්ටමේ ඡන්ද විමසීමක් වන අතර ඒ ආයතන සියල්ල ද වත්මන් ආණ්ඩුවට ලබාදෙන්නැයි නිතර පවසනු දකින්නට හැකි විය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවට බලය නොමැති වන යම් පළාත් පාලන ආයතනවලට මුදල් ලබා දීමේ දී නැවත සිතන්නට වන බවත්, බලය සහිත පළාත් පාලන ආයතනවලයට මුදල් ලබා දෙන්නේ ඇස් වසාගෙන බවත් ජනපතිවරයාම පවසනු අසන්නට හැකි විය.



කෙසේ නමුත් මධ්‍යම රජයට රිසි පරිදි පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කිරීම හෝ නොකිරීමක් සිදු නොවන අතර ඒවාට ලැබිය යුතු අරමුදල් කිසිදු බාධාවකින් තොරව හිමි වෙයි. ඒවා ස්වාධීන ආයතන ලෙස ක්‍රියාත්මක වෙයි. අනෙක් කාරණය නම් මේ පළාත් පාලන ආයතන ද රජයටම හිමි වීම තුළින් වැඩි වාසියක් ජනතාවට ලැබෙන බවට වත්මන් ආණ්ඩුව විසින් පැවසීම තුළ ද ඇත්තේ සත්‍යයක් නොවේ.

අධිවේගී මාර්ගයේ බස් රථ නවතා අවිචාරවත් ලෙස හැසිරුණේ මේ මැයි රැළියට සහභාගී වන්නට පැමිණෙන පිරිස්ය. අනෙක මෙය බිම් මට්ටමේ කිසිවකුගේ ඕනෑකමට සිදුවූවක් නොව ප්‍රබලයකුගේ උපදෙස් මත සිදුවීම ද ගැටලුවකි. මේ සිදුවීම තුළින් ඉස්මතු වන්නේ වත්මන් ආණ්ඩුවේ පාක්ෂිකයන්ගේ සැබෑ ‘කොලිටිය’ ද යන ගැටලුව ද මෙහි දී ඉස්මතු වෙයි.

මෙවර වත්මන් ආණ්ඩුවේ මැයි රැළියේ තේමාව බවට පත්ව තිබුණේ ‘ රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැළිය’ යන්නය. මෙසේ අවිචාරවත් ලෙස හැසිරුණේ මේ රට හදන ජන බලයෙන් කොටසකි. කෙසේ නමුත් මෙවැනි අවිචාරවත් ක්‍රියා සමග රට සෑදිය නොහැකි බව ආණ්ඩුවේ ප්‍රබලයන් දැනගත යුතුය.

Niranjan Chaminda(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...