The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රතිඵල ආවා

T

The Leader Desk

May 4, 2025 • 7:43 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රතිඵල ආවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමත් අසූවේ ‘ක්‍රෙඩිට්’ එක, ටියුෂන් සර්ලාටය.
  • “මම පන්තියෙ හැම එකෙක්ම පාස් කරනවා.
  • උත්තර පත්තරේ බලනා සුදු දෙයියා ෆේල් වුණොත්, කෙල්ලත් නැතිවෙන සෙයියා පින් සිදුවෙයි පවුලේ සැමටම දෙයියා ලකුණු දියන්, මම ගොඩ යන්නට දෙයියා විභාගයට පෙර, පන්සල් දේවාල ගාණේ ගොස් බාර හාර වීම, ළමයින්ගේ පමණක් නොව ඇතැම් දෙමව්පියන්ගේද සිරිතකි.
  • සමහර දෙවිවරු ඇත්තෙන්ම දෙවිවරුය.
අකුරු ප්‍රමාණය (Font Size):

සියයට අසූවක් සමත්ය. විස්සක් අසමත්ය. සමත් අසූවේ ‘ක්‍රෙඩිට්’ එක, ටියුෂන් සර්ලාටය. අනික් විස්ස, හෝඩියේ සිට උගැන්වූ ඉස්කෝල ගුරුන් අතර බෙදී යයි. (ඒගොල්ලෝ සියඹලා ගෙනැවිත්ම නැත.)

මේ සිරි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයයි. එය ද ‘සිස්ටම් චේන්ජ්’ එකකි. ඉහළින්ම පාස් කට්ටිය ගැන පත්තරවල පවා පළවෙයි. පහළින්ම ෆේල් කට්ටියට පාරේ තොටේ පවා යා නොහැකිය.

සමාජ ජාලයේ පළවූ නියම විහිළුවකින් එසේ ෆේල් වූ ළමයි ගැන මෙසේ කියැවුණි.

 

1721791374 AL 6
“පුතා, කොහොමද ඔයා විභාගෙ පාස්ද?”

“අපේ ටීචර්ගෙ පුතත් ෆේල් වෙලා.”

“නෑ... මං ඇහුවෙ පුතා පාස්ද කියලා.”

“අර ඩොක්ටර් අංකල්ගෙ පුතත් ෆේල්ලු.”

“පුතා පාස්ද කියන්ඩකො.”

“තාත්තගෙ ඔෆීස් එකේ ලොක්කගෙ පුතත් ෆේල් කියන්නෙ.”

“මං ඇහුවෙ උඹ පාස්ද කියලා.”

තාත්තාට මළ පැන්නේය.

පුතාට ද මළ පැන්නේය.

“මම සක්කරයගෙ පුතායැ? මටත් ඒ ටිකම තමයි.”
මේ දිනවල විභාග හා ප්‍රතිඵල ගැන නොයෙක් සිනා කතා අසන්නට ලැබෙයි. එක් ළමයෙක්, තාත්තාගෙන් මෙසේ ඇසීය.

 

image 3c8df081c2
“තාත්තා විභාග කීයක් පාස් කරල තියෙනවද?”

“අපි ඉස්කෝලෙ යන කාලෙ විභාග තිබුණෙ නෑ.”

“එහෙනං තාත්තත් අපේ ටියුෂන් සර් වගේ.”

“ඒ මොකද?”

“කොල්ලො කියනවා, අපිට උගන්නන්න ආවට මොකද සර්, කිසිම විභාගයක් පාස් නෑලු.”

494019434 1099158988915739 4035596727801347836 n

විභාග පාස්වන ළමයින්ට ටියුෂන් දෙන ගුරුලා විභාග පාස් නැත්නම්, ඒකත් එක්තරා විදිහක ‘සිස්ටම් චේන්ජ්’ එකක්ය. සමහර ටියුෂන් ගුරුවරුන්ගේ පෝස්ටර්වල පවා, ඔවුන් සමත් වූ උපාධි දැක්වෙයි. පාර්ලිමේන්තුවේදි වාගේ, ඒවා ගැන ප්‍රශ්න මතු කෙරෙන්නේ නැත. ටියුෂන් ක්‍රමය, මාෆියාවකැයි හඳුන්වන දෙමව්පිය පිරිසක් ද වෙති.

එහෙත්, ඔවුන්ගේ ළමයි ද ටියුෂන් යති. ඊට එක් හේතුවක් නම්, පාසල් ගුරුවරු ඉතා උදාසීන, ‘පොසිටිව් තින්කින්’ නැති පිරිසක් වීමය. ඔවුන් නිතරම කියන ආකාරයට “පුළුවන් එකා කරගනී. බැරි එකා ෆේල් වෙයි.” එහෙත් ටියුෂන් මාෆියා සර් එසේ නොකියයි.

 

493970692 1099158242249147 7178083958327038656 n
“මම පන්තියෙ හැම එකෙක්ම පාස් කරනවා. ප්‍රශ්න පත්තර පන්නල හරි, ලකුණු අරන් දෙනවා.”

එක් ටියුෂන් පන්තියක දැන්වීම් පුවරුවේ මෙසේ දැක්වුණි.

A නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
B නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
C නාවත් ෂේප් වේවි, ‘එස්’ ලැබෙයි පුතේ
ඒත් පුතේ, ‘එෆ්’ ආවොත්, කණ පැලෙයි උඹේ

(සමාජ ජාලයේ ආශ්‍රයෙනි.)

මෙය, විභාග ශාලාවක මේසයක ලියා තිබූ කවියකි.

 

exam2354
සුපිරිම තැනක ඩෙස්ක් එක මට සෙට් වේවා
හිත හොඳ යාළුවෙක්, අත ළඟටම ඒවා
කොපියක් ගසන්නට පෙර පින් මතු වේවා
පරීක්ෂක වුණත්, හොඳ බොක්කක් වේවා

උත්තර පත්තරවල කවි ලිවීමද පාඩම් නොකළ අහිංසක සිසුන්ගේ උපක්‍රමයකි.
මේ එවැනි කවියකි.

උත්තර පත්තරේ බලනා සුදු දෙයියා
ෆේල් වුණොත්, කෙල්ලත් නැතිවෙන සෙයියා
පින් සිදුවෙයි පවුලේ සැමටම දෙයියා
ලකුණු දියන්, මම ගොඩ යන්නට දෙයියා

 

කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර ගැටුමක්
විභාගයට පෙර, පන්සල් දේවාල ගාණේ ගොස් බාර හාර වීම, ළමයින්ගේ පමණක් නොව ඇතැම් දෙමව්පියන්ගේද සිරිතකි. ඔවුන්ට ගුරු භවතුන්ට වඩා කපුවන් ෂුවර්ය.

පහේ ශිෂ්‍යත්වය කාලයේ එක් අම්මා කෙනෙක් දේවාලයකට ගොස් කපුවාට පූජා වට්ටියක් දී තම ළමයා පාස් කර දෙන මෙන් ඉල්ලා සිටියාය.

“මගේ ළමයා, පහේ ශිෂ්‍යත්වය සමත් වේවා කියල ලියපු කොඩි පනහක් ගෙනත් දුන්නොත් හොඳයි.”

ඒ අම්මා ද එසේ කළාය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණියේය.

කපුවාගේ පුතා ඉහළින්ම සමත් වී තිබුණි.

 

කපුවන් ගේ අවැඩ නිසා දෙවියන්ටත් යන එන මං නැති වේ ද? - (ප්‍රණීත් අභයසුන්දර)
තවත් ශිෂ්‍යයෙක්, කාටත් හොරාම වනගත දේවාලයකට ගියේය. ඔහු තමා උසස් පෙළ විභාගයෙන් සමත් කර දෙන මෙන් යාච්ඥා කරන්නට විය.
එක්වරම, තිරයට පිටුපසින් කටහඬක් ඇසුණි.

“තමා මොනවද කරන සබ්ජෙක්ට්ස්?”

“මම කොමර්ස්.”

“එහෙමනං මට බාරවෙලා වැඩක් නෑ දරුවා. මම කෙරුවෙ ආට්ස්.”

“එහෙනං මාත් ආට්ස් කරන්ඩද?”

“පිස්සු කෙළින්ඩ එපා. ආට්ස් කරපු හින්ද තමයි, මටත් මේ දේවාලයක් අටවගෙන පණං හතරක් හොයාගන්ඩ සිද්ධ වුණෙ.”

ශිෂ්‍යයා ආපසු හැරුණේ, පූජා වට්ටිය ද රැගෙනය.

සමහර දෙවිවරු ඇත්තෙන්ම දෙවිවරුය.


කපිල කුමාර කාලිංගගේ හීසරය : ජනතා අධිකරණයක් ළඟදීම(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...