විශේෂයෙන්, සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග සමාජ මාධ්‍ය විසින් මාධ්‍ය භූමිකාව තුළ වැඩි ඉඩක් අත්පත් කර ගැනීම මෙන්ම ඒඅයි Artificial intelligence (AI) තාක්ෂණයේ ආගමනයත් මේ තර්ජනය තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබේ.
ජනමාධ්‍ය පිළිබඳව හෝ මාධ්‍ය ආචාරධර්ම කිසිවක් නොදන්නා පුද්ගලයෙකුට වුවද ඕනෑම ස්ථානයක සිට, ඕනෑම මට්ටමක අන්තර්ගතයක් නිර්මාණය කර ලෝකය පුරා, පොදු අවකාශයට මුදා හැරීමට ගත වන්නේ සුළු මොහොතකි. ඒවා අතර දුස් තොරතුරු, ව්‍යාජ පුවත්, නොමග යවනසුළු අන්තර්ගයන් බහුලය.
සාවද්‍ය තොරතුරු සම්ප්‍රදායික මාධ්‍යයෙන් පැමිණියද, සමාජ මාධ්‍යයෙන් පැමිණියද එහි අවසන් ප්‍රතිඵලය මාධ්‍ය ක්ෂේත්‍රයටත්, පොදුවේ සමස්ත සමාජයටත් කරන බලපෑම සුළුපටු නොවේ.
නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ ජෝෂුආ ටකර්ගේ ප්‍රකාශය ඒ බව හොඳින් පැහැදිළි කරයි.
ජෝෂුආ ටකර්
“සාවද්‍ය තොරතුරුවල සෘජු බලපෑම අප සිතන තරම් ඉහළ නොවිය හැකිය. නමුත් වක්‍ර ප්‍රතිඵලය වන්නේ මිනිසුන්ට මාධ්‍ය කලාව කෙරෙහි විශ්වාසය නැතිවීම, එහි වෛෂයික සත්‍යයක් ඇති බවට විශ්වාසය නැතිවීම සහ ඕනෑම දෙයක් වැරදි තොරතුරු විය හැකි බවට විශ්වාස කිරීමයි.”
මෙටා සමාගම ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන් පවත්වාගෙන යන ආයතන පවසන්නේ ඒවා වාරණය කිරීමට වඩා පරිශීලකයන්ගේ දැනුම අවබෝධය වර්ධනය කරගැනීම වඩාත් පළදායක විසඳුමක් බවයි.

මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන පුවතක් නිරවද්‍ය විය යුතුය. එය කිසිමාකාරයකින් පාඨකයාව නොමග යවනසුළු නොවීය යුතුය. එය මාධ්‍ය ආචාර ධර්මයන්හි ප්‍රමුඛතම කොන්දේසියකි. විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබාගැනීමට සහ බහුමූලාශ්‍ර පරිශීලනයට ජනමාධ්‍යවේදීන් උනන්දු කෙරෙන්නේ ඒ නිසාය. සිරස්තල යොදනා විට අන්තර්ගතයේ අදාළ කරුණු නිරවද්‍යව සිරස්තලයේ පිළිබිඹු විය යුතු බව පැවසෙන්නේද ඒ නිසාය.
මේ මාධ්‍ය ආචාර ධර්මයන් නොසලකා කටයුතු කිරීමෙන් පාඨකයා නොමඟ යෑම සිදුවෙයි. පාඨකයා වික්ෂිප්ත වන සුළු පරස්පර තොරතුරු සන්නිවේදනය වෙයි. ඒ වාගේම පුවතේ විශ්වසනීයත්වය හීන වීම ද නොවැලැක්විය හැකිය.
සම්ප්‍රදායික මාධ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට අදාළ කාරණා ලෙස සඳහන් වුවද, මේවා සමාජ මාධ්‍ය පරිශීලනයේදීද අදාළ කරගත යුතු කාරණාවන් වේ.
සමාජ මාධ්‍යයේ සහ AI වැනි තාක්ෂණික කාරණාවල ව්‍යාප්තිය ඉහළ යමින් තිබෙන පසුබිමක අන්තර්ගතයන් බෙදා ගැනීම, කමෙන්ට් කිරීම වැනි කාරණාවලදී මහජනයාටත් දැනුම්වත්භාවයෙන් කටයුතු කරන්නට වගකීමක් තිබේ.

හෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේ
හෑෂ්ටැග් පරපුර ආයතනයේ සමාජ මාධ්‍ය පර්යේෂක දුලන්ජය මහගමගේ මහතා මේ මහජනයාගේ වගකීම පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
“ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හසුරවන අයට, සමාජ මාධ්‍ය තුළ අන්තර්ගතයන් පල කරන අයට ඒවායේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒ වගේම මහජනතාවටත් ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒකට මම කරුණු දෙකක් කියන්නම්.
පළමුව, ස්වායංවාරණය සම්බන්ධයෙන් මහජනයාට වගකීමක් තියෙනවා. දුස් තොරතුරු, වැරදි තොරතුරු මහජනතාව පල කිරීම නිසා තමයි ඒවා තව තවත් අය බලන්නේ. විශේෂයෙන් කියන්න ඕනෑ, මේ දුස් තොරතුරු බොහෝමයක් හදලා තියෙන්නේ මහජනයාගේ ආවේගය ඉලක්ක කරගෙන. ඒ වගේ පෝස්ට්වල ලයික්, කමෙන්ට් අඩුයි. ශෙයාස් තමයි වැඩියෙන් තියෙන්නේ. ක්ෂණිකව දැකලා ශෙයාර් කරන්න තමයි ඒ වගේ දේවල් හදන්නේ. මහජනයා ඒවා ගැන හරියට හොයා බලන්නේ නැතිව, තමන්ගේ පක්ෂග්‍රාහීත්වය අනුව ඒවා ශෙයා කරනවා නම් වැරදියි. තමන්ගේ මතයට අනුකූල වුණත්, ශෙයාර් කරන්න කලින් ඒක හරිද කියලා හොයලා බලලා තහවුරු කරගන්නවා නම් හොඳයි. මොකද සමාජ මාධ්‍ය තුළ පෝස්ට් එකක් ශෙයාර් කිරීම තුළ විශාල සමාජ වගකීමක් තිබෙන නිසා.
දෙවැන්න තමන්ගේ මතයට සමපාත වුණත්, ඒක වැරදි තොරතුරක් කියලා තමන්ට හිතෙනවා නම්, ෆේස්බුක් වගේම අනෙක් සමාජ මාධ්‍යවලත් රිපෝට් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි යම් පෝස්ට් එකක් ඕපන් කරගත්තාම දකුණු අත පැත්තේ ඉහළින් තියෙනවා ඩොට් තුනක්. අපට අදාළ අන්තර්ගතයේ ස්වභාවය තෝරලා එය රිපෝට් කිරීමේ හැකියාව එතන තියෙනවා. සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම්ස් මේ වන විට, ඇතැම් වැරදිසහගත අන්තර්ගතයන් ග්‍රහණය කරගත හැකි ලෙස ඔවුන්ගේ ඇල්ගෝරිදම් පුහුණු කරලා තියෙනවා. ඒ වගේම වැරදි තොරතුරක් සමාජ මාධ්‍යයේ යනවා නම් රිපෝට් කරන්නත්, එය වැරදි තොරතුරක් බව කමෙන්ට් තීරුවේ දක්වන්නත් මහජනයා හැටියට අපට පුළුවන්.”
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා
“අපේ රටේ පවත්නා අවම ප්‍රජාතන්ත්‍රවාදයවත් ආරක්ෂා කරගන්නට නම්, පැහැදිලි ජනමතයකට ඉඩ දීමටත් මේ වැරදි තොරතුරු සමාජගත වීම වළක්වා ගන්නටත්, හැම විටම නිවරදි තොරතුරු ජනතාවට ලබා දීමටත් අප උත්සාහ කළ යුතුයි.”
මැයි 6 වන දා පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතය. මහජන මතය විමසන කාලයේදී සංවේදී සිදුවීම්, ප්‍රකාශයන්, සංසිද්ධි නිර්මාණයන් මෙන්ම ඒ පිළිබඳ ප්‍රචාරණමය දිශානතීන් කෙබදු ස්වරූපයක් ගනු ඇතිදැයි අනුමාන කිරීම පවා අසීරුය. එහෙත් අවදියෙන් සිටීම අප කාටත් යහපත්ය.
මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් බලාත්මක කර තිබෙන මාධ්‍ය උපමානවලට අනුව සෑම මාධ්‍ය ආයතනයක්ම ස්වකීය ප්‍රවෘත්ති විකාශ, පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් වැඩසටහන් ප්‍රචාරය හෝ විකාශය කිරීමේ දී හෝ ප්‍රසිද්ධියට පත්කිරීමේ දී නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතු වේ.
විශේෂයෙන් එම මාධ්‍ය උපමානවල අංක 02 උප ලේඛනයෙහි දක්වා තිබෙන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයන් සඳහා වන උපමාන දක්වා තිබේ.

විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය හසුරුවන්නන් විසින් මාධ්‍ය උපමාණ කඩ කරන අවස්ථා හඳුණාගෙන ඒවා මැතිවරණ කොමිසමට හෝ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ ආයතනවලට දැනුම් දීම සඳහා රටේ පුරවැසියා ඒවා පිළිබඳ දැනුම, අවබෝධය වර්ධනය කරගෙන සිටීම අවශ්‍ය වේ.
“නගර සභාවේ සල්ලි මදි නම්, මහ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නම්. හැබැයි පළාත්පාලන ආයතනයෙන් යෝජනා ටික එන්න ඕනෑ. ඒ යෝජනාවලට මහ ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරනවා. හැබැයි සල්ලි වෙන් කරන්න කලින්, යෝජනාව එවන්නේ කවුද කියලා බලනවා. මන්නාරම නගර සභාව ජාතික ජනබලවේගය අතේ නම් තියෙන්නේ, මහ ආණ්ඩුවට එවන යෝජනාව ඇස් පියාගෙන අනුමත කරනවා. හැබැයි වෙන අය අතේ නම් තියෙන්නේ, යෝජනාව දහ සැරේකට වඩා බලනවා. ඇයි, ඒ අය ශූවර් නෑ. පාරට කොන්ක්‍රීට් දාන්න කියලා ඉල්ලලා තියෙන්නේ, හැබැයි පාරට ටිකයි. සාක්කුවට ගොඩයි. එහෙම වුණේ නැද්ද? එහෙම වුණේ නැද්ද? ඉතිං අපි පඑවනවාද සල්ලි.”
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙබරවාරි 17 වන දාය. ඒ ජාතික ජන බලවේගයේ ‘ජය නියතයි - ගම අපිටයි’ මැතිවරණ රැස්වීම් මාලාවේ මන්නාරම ජන රැලියට එක් වෙමිනි. ජය නියතයි ගම අපිටයි රැස්වීම් බොහෝමයක ජනාධිපතිවරයා මේ අදහස ප්‍රකාශ කළේය.

මැතිවරණයක් අභිමුවේදී රටේ ජනාධිපතිවරයා, තමන්ගේ පක්ෂයේ මැතිවරණ වේදිකවල මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීම, ඡන්ද දායකයා නොමග යැවීමකි. මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.
ඒ පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබිණි. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ රැස්වීම් පැවැත් වූ දිනවල රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති හරහා විකාශය වූ අතර, ඉන් පසුව ජනාධිපතිවරයාගේ කතාවෙන් උපුටා ගන්නා කොටස් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවන්වල විශාල ලෙස ප්‍රචාරය වෙන්නට පටන් ගත්තේය.
නමුත් මේ පිළිබඳ විවිධ පාර්ශවවලින් එල්ල වූ විරෝධයත් සමග තමන් කියන්නේ හොරකම් කරන අය පත් වුණොත් සල්ලි දෙන්නේ නැති බව යැයි, ජනාධිපතිවරයා එම ප්‍රකාශය සාධාරණීකරණය කරන්නට උත්සාහ ගනිමින් සිටිනු දක්නට ලැබුණි.
අදවන විට නොමගයවනසුළු අන්තර්ගතයන්ගේ ස්වභාවය කොපමණ සංකීර්ණ වන්නේද, ඒවා ප්‍රචලිත වීම කෙතරම් ඉක්මනින් සිදු වන්නේද යන්න පිළිබඳ තේරුම් ගැනීම සඳහා මෑත කාලයේ සිදු වූ සිදුවීම් අතරින් මෙය ඉතා වැදගත් උදාහරණයකි.

මැතිවරණ කටයුතු පිළිබඳ පර්යේෂක, නීතිඥ ඩී.එම්. දිසානායක
මැතිවරණ කටයුතු පිළිබඳ පර්යේෂක, නීතිඥ ඩී.එම්. දිසානායක මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
අපි සාම්ප්‍රදායිකව බලන ආකාරයෙන් මැතිවරණ ප්‍රචණ්ඩත්වය අඩු වුනත්, විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතය තුළ සෑහෙන මැතිවරණ ප්‍රචණ්ඩත්වයන් දකින්න තියෙනවා. වැරදි තොරතුරු ප්‍රචාරය වීම, විකෘති කළ තොරතුරු ප්‍රචාරය වගේ දේවල වර්ධනයක් දකින්න තිබෙනවා. ඒවා නියාමණය කිරීම සඳහා පැහැදිලි ප්‍රතිපාදන අපේ මැතිවරණ ක්‍රමය තුළ නෑ. අද මැතිවරණ ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතය ඉතා ඉහළ මට්ටමින් සිදු වෙනවා. ඒ නිසා වැරදි භාවිතයන් අවම කරන්න ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුව තියෙනවා.
විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය හැමදාම බලයේ ඉන්න පක්ෂයට වාසි වෙන ආකාරයට තමයි මැතිවරණ අවස්ථාවල හැසිරෙන්නේ. අනෙක් අතට පෞද්ගලික මාධ්‍ය ආයතනත් එක් එක් අපේක්ෂකයාට නිල නොවන මට්ටමින් ප්‍රවර්ධන කටයුතු කරන ආකාරය අපි දකිනවා. ඒ නිසා දැඩි ලෙස මාධ්‍ය ආචාරධර්මවලට ගරුකරන ආකාරයෙන් මැතිවරණ පැවැත්වෙන අවස්ථාවල මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නීති සම්පාදනය වෙන්න අවශ්‍යයි. දැනටමත් මාධ්‍ය නියාමනය කිරීමේ යම් හැකියාවක් මැතිවරණ කොමිසමට තිබුණත් එය රාජ්‍ය මාධ්‍යවලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ වුණත් මැතිවරණ කොමිසමේ සීමාවන් ඉක්මවා රාජ්‍ය මාධ්‍ය හැසිරෙන ආකාරය පසුගිය මැතිවරණවලදී අපි කොච්චරවත් දැකලා තියෙනවා.
පෞද්ගලික මාධ්‍යවල පුද්ගලයින් ඉලක්ක කර සිදුකරන අසත්‍ය ප්‍රචාර, මඩ ප්‍රචාර බරපතළ ලෙස අපි දැක්කා. මේවා නියාමනය සම්බන්ධයෙන් ප්‍රතිපාදන මැතිවරණ නීතියට ඇතුළත් විය යුතුව තිබෙනවා. මැතිවරණ කාල සීමාවන් තුළ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට තිබෙන බලය රාජ්‍ය මාධ්‍යට වගේම පෞද්ගලික මාධ්‍යයටත් බලපාන ලෙස ප්‍රතිපාදන ඇතුළත් විය යුතුව තිබෙනවා.

හැබැයි මේ කාරණය හැම විටම මාධ්‍ය නිදහසත් එක්ක ගැටනවා. ඒ වුනත් මාධ්‍ය නිදහසට බාදාවන ආකාරයේ මැදිහත්වීම් ස්වාධින කොමිසමකින් සිදුනොවෙයි කියා අපි විස්වාස කරනවා. මැතිවරණ කොමිසම කවර හෝ ආකාරයකින් පක්ෂග්‍රාහීව කටයුතු කරනවා නම් මැතිවරණ ප්‍රතිසංස්කරණවලදී ඊට විරුද්ධව අභියාචනා කිරීමේ ඉඩකඩක් මාධ්‍ය පැත්තෙන් ලබා දෙන්න පුළුවන් සහ ඒ සමබරතාව ගොඩනගන්න පුළුවන්.
ග්‍රාහකයින් ලෙස, පාඨකයින් ලෙස සාවද්‍ය තොරතුරු, නොමග යවනසුළු අන්තර්ගතයන් හඳුනා ගැනීමේදී අප අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.
* මූලාශ්‍රය පරීක්ෂා කිරීම -
* කර්තෘ පරීක්ෂා කිරීම -

* පුද්ගලයා කවුරු වුවද, පුවතට අදාළ වෙනත් මූලාශ්‍ර පරීක්ෂා කිරීම -
* ග්‍රාහකයින් ලෙස විචාරාත්මක, විවෘත මනසකින් ඒ දෙස බැලීම -
* කරුණු නිසි ලෙස පරීක්ෂා කිරීම -
* අදාළ වෙබ් අඩවිය උපහාසාත්මක වෙබ් අඩවියක්දැයි සොයා බැලීම -

* කරුණු පරීක්ෂා (Fact checking) කරන ආයතනවල නිල වාර්තා, තහවුරු කිරීම් විමසා බැලීම -

“මහජනයාට තොරතුරු ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනව. එකක් ජනමාධ්‍ය. අනික සමාජමාධ්‍ය. ජනමාධ්‍යයෙන්, උදාහරණයකට පත්තරෙ ප්‍රවෘත්තියක් පල වෙලා එන්ඩ පොඩි කාලයක් යනවා. රේඩියෝ හෝ ටීවී නම්, ප්‍රාදේශීය මට්ටමේ නිවුස් එකක්, ප්‍රාදේශීය මට්ටමේ වාර්තාකරු ගිහිල්ල එතනින් නිවුස් එක අරගෙන, ප්‍රධාන කාර්යාලයට යැව්වට පස්සේ, ප්‍රචාරය වෙන්න කලින් ප්‍රධාන කාර්යාලයේදී එය තහවුරු කරන්න කවුරු හරි ඉන්නවා. පත්තරේදීත් එහෙමයි. ඊට පස්සේ තමයි ඒ පණිවිඩය යන්නේ. ඒ නිසා එතනින් සමාජයට වැරදි තොරතුරැ යන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. බැරිවෙලාවත්, වැරදි තොරතුරක්, වැරදි පුවතක් පත්තරේ පලවුනොත්, රේඩියෝ හෝ ටීවී එකේ විකාශය වුණොත් පසුව ඒ ගැන නිවැරදි කිරීමක් කරනවා. සමාව ඉල්ලා හිටිනවා.

නමුත් දැන් තියෙන ලොකුම අභියෝගය තමයි සමාජ මාධ්‍යය. සමාජ මාධ්‍යදී ඕනෑ කෙනෙකුට අන්තර්ගතයක් පලකරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් එතනදී හරිවැරදි හොයා බලන්න කෙනෙක් නෑ. ඒ නිසා සමාජය මාධ්‍යවල අන්තර්ගතයන් පලකරනවිට සහ අන්තර්ගතයන් ශෙයා කරනකොට ඒ තොරතුරුවල නිරවද්‍යතාව හොයලා බලලා ශෙයා කරන්න එය පල කරන අයට වගකීමක් තියෙනවා. ශෙයා කරන අයට වගකීමක් තියෙනවා.
මේ පිළිබඳ කැෆේ සංවිධානය ලෙස අපි සීලරතන හිමියන්ව දැනුවත් කළාම, උන්වහන්සේ කිව්වේ තමන්වහන්සේ ඒ පිළිබඳ කිසිවක් දැනගෙන හිටියේ නෑ. ඒවා දැක්කේ නෑ කියලා. ඒ නිසා කැෆේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් මගින් ඒ වරද නිවැරදි කළාට පස්සේ බොහෝ අය මේ පෝස්ට් එක ඩිලීට් කරලා තිබුණා. ශෙයා කරන එක නැවැත්තුවා.
අවසාන වශයෙන් තොරතුරුවලින් නොමඟ නොයා සිටීමේ මහජන වගකීම පිළිබඳ අපේ ජන සමාජයේ ප්‍රචලිත කියමනක් උපුටා දක්වමි. ඒ කියමන නම් “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය” යන්නයි.




(සටහන | සුජීව සෙනරත්)