The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අවමඟුල් භෝජන සංග්‍රහ හෙවත් 'මළ මඟුල්' | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

May 6, 2025 • 7:02 AM

අවමඟුල් භෝජන සංග්‍රහ හෙවත් 'මළ මඟුල්' | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ “කෑම ටික කොහොමද?” හා “කෑම ටික නම් හොඳට තිබුණා’ යන පැනය හා පිළිතුර ය.
  • එය විමසා හෝ අසා නොමැති අයකු අප සමාජයෙන් සොයා ගැනීම පවා අසීරු බව අපගේ විශ්වාසයයි.
  • එමෙන්ම මානව සමාජයේ කිසියම් සන්තුට්ඨිදායක සංසිද්ධියක් මුල් කොට ආහාරය ද පෙරට එන බව නොරහසකි.
  • වෙසක් කෑම යනුවෙන් ජන වහරක් නොමැති වුව ඒ හා සම්බන්ධ දන්සල් කෑම යන්නෙන් එම අඩුව සපිරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ “කෑම ටික කොහොමද?” හා “කෑම ටික නම් හොඳට තිබුණා’ යන පැනය හා පිළිතුර ය.

එය විමසා හෝ අසා නොමැති අයකු අප සමාජයෙන් සොයා ගැනීම පවා අසීරු බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මානව සමාජයේ කිසියම් සන්තුට්ඨිදායක සංසිද්ධියක් මුල් කොට ආහාරය ද පෙරට එන බව නොරහසකි. මඟුල් කෑම, අවුරුදු කෑම, නත්තල් කෑම ආදිය ඒ සඳහා යෙදිය හැකි සුලබ නිදසුන් වේ. වෙසක් කෑම යනුවෙන් ජන වහරක් නොමැති වුව ඒ හා සම්බන්ධ දන්සල් කෑම යන්නෙන් එම අඩුව සපිරෙනු ඇත.

නමුත් තම ඥාති හිතවතකුගේ වියෝවක් හෙවත් අභාවයක් මුල් කොට එලෙස ආහාර හෙවත් කෑම ඉදිරියට නො ඒම ස්වභාවිකත්වය හා සබැඳි කරුණකි. ඒ කිනම් හෝ මානසික කැළඹීමක්, සන්තාපයක් හමුවේ ආහාර ‘රුචිය අවම වීම හෝ මුලුමනින් නොමැතිව යාම මිනිසුන් සේම සතුන් තුළ ද පවත්නා ජෛවමය සංසිද්ධියක් බැවිනි. එහෙත්, එවන් වාතාවරණයක් තුළ පවා අවමංගල්‍යයන් මුල් කොට ඥාති මිත්‍රාදීන් හට භෝජන සංග්‍රහයන් පැවැත්වීමේ නව මාදිලියේ විලාසිතාවන් මේ වන විට නගරයෙන් ගම ද ආක්‍රමණය කර ගනිමින් තිබෙනු පෙනෙයි.

o RENT A MOURNER facebook

 

සාමාන්‍යයෙන් අවමඟුල් මුල්කොට එම මියගිය තැනැත්තා ගේ පවුලේ ඥාතීන් ඇතුළු සමීපතමයෝ ශෝක කරන්නවුන් ( Mourners ) ලෙස සැලකෙති.

තම පවුලේ ඥාතියා ගේ වියෝව මුල් කොට ඔවුන් තුළ පවතින ආහාර රුචිය සහ සාමාන්‍ය ආහාර රටාවේ පසුබෑමක් දක්නට ලැබීම සාමාන්‍ය ස්වභාවයකි. එහෙත්, එම පවුලේ ඥාතියා වෙනුවෙන් එම දේහයට අවසන් ගෞරව දැක්වීමටත් එම පවුලේ ඥාතීන් හා එම වියෝ දුක බෙදා හදා ගැනීමටත් එම නිවසට පැමිණෙන සෙසු ඥාති මිත්‍රාදීන් කාරුණිකව පිළිගෙන ඔවුන් හා හෘදයාංගම සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට අතිරේක නව ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ද මේ වන විට ප්‍රවර්ධනය වෙමින් තිබේ. ඒ එම අවමංගල නිවසේ දී සිදු කෙරෙන භෝජන සංග්‍රහයකට ඔවුන් සහභාගී කර ගැනීම ය.

 

78a01069a4a888e5deb7c3faca1af6c5a9a0ce10

අප වෙත ලැබී ඇති ආරංචි මාත්‍ර වලට අනුව සාමාන්‍ය ආහාර වේලකින් ඇරඹෙන මෙය අද වන විට රස මසවුළු වලින් යුතු අනගි භෝජන සංග්‍රහයක් තෙක්ම ප්‍රවර්ධනය වෙමින් තිබේ. එමෙන්ම උදය, දහවල, රාත්‍රී ආදී වශයෙන් සමාජ සම්මත මිනිසාගේ ප්‍රධාන ආහාර වේල් සීමාව ද අතික්‍රමණය කොට ඇති මෙය දවසේ පැය විසි හතර පුරාම සිදු කෙරෙන අඛණ්ඩ භෝජන සංග්‍රහයක් බවට පත් වෙමින් තිබේ.

Air Bangladesh WomensRight1

 

අපගේ දේශීය ජන සම්ප්‍රදායකට අනුව පවුලේ යමකු මියගිය පසු එම නිවසේ ලිප නිවා දැමීම අනිවාර්යයෙන් සිදු වන්නකි. එය නැවත දැල්වෙනුයේ එම දේහය සම්බන්ධ අවසන් කටයුතු නිමවා පවුලේ ඥාතීන් ඇතුළු සමීපතම ඥාති හිතමිත්‍රාදීන් යළි නිවසට පැමිණීමෙන් පසුව ඉදෙන ‘මළ බත’ පිසීමට ය. මළ බත යනු එම පවුලේ ඥාතීන් ඇතුළු සමීප ඥාති මිත්‍රාදීන් ගේ සහභාගීත්වයෙන් පිසෙන ඔවුන් සඳහාම සුවිශේෂ බතකි.

ඒ සඳහා වට්ටක්කා, කරවල ( ඇතැම් ප්‍රදේශ වල බල කරවල ) සහ අළු කෙසෙල් ව්‍යංජන ප්‍රධාන වශයෙන් යොදා ගැනෙයි. එමෙන්ම එලෙස පිසුණු මළ බත කෙසෙල් කොළ මතට බෙදා සමීප ඥාති මිත්‍රාදීන්ට අනුභව කිරීමට දීමේ සම්ප්‍රදායක් ද අප සමාජයේ විය. එසේම එම මළ බතක රස සම්බන්ධ ගුණ අගුණ නොකීමේ සිරිතක් ද මෑතක් වන තුරුම අප රටේ ගැමි සමාජය තුළ තිබිණ. ඉන් පැහැදිලි වනුයේ එය හුදෙක් කායික ව්‍යුහයේ පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස උපයෝගී කර ගත් එකක් මිස කිසිසේත් රස තෘෂ්ණාව පුබුදු කරවීම පිණිස පිසුණු ආහාර වේලක් නොවන බව ය. එමෙන්ම එය හුදෙක් එම ස්ථානයේ දීම ආහාරයට ගත යුත්තක් මිස පිටතට ගෙන නො ආ යුත්තක් බවට ද ජන සම්මතයක් විය. ඒ එසේ මළ බත එම නිවසින් පිටතට ගෙන යාම එම මියගිය තැනැත්තා ගේ ආත්මය හෙවත් මළ ගිය ප්‍රාණකාරයා ගේ අවධානයට යොමු වේය යන ගුප්ත විශ්වාසය මත පදනම් වූවක් නිසා විය හැක.

 

malabatha
මානව ශිෂ්ටාචාරයේ පවත්නා සෑම අවමඟුල් චාරිත්‍රයකම පාහේ මිය ගිය තැනැත්තා තුළ අද්භූත ජීව බලයක් ඇතැයි යන විශ්වාසය අඩු වැඩි වශයෙන් පවතින බව ලොව පුරා අවමංගල චාරිත්‍ර සම්බන්ධයෙන් විමසුම් කළ සමාජ මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කොට තිබේ. මෙය ලොව ප්‍රාථමික ආගම් වල ද දක්නට ලැබෙන්නකි.

ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ පවා මළවුන් මුල් කොට ගත් විවිධ අභිචාර සහ යාතු කර්ම සිදුකරනුයේ එම විශ්වාසය පදනම්ව ය. දේහයක් අවසන් කටයුතු කිරීමට පෙර භික්ෂුන් උදෙසා සිදු කරන මතක වස්ත්‍ර පූජාව, හත් දවසේ බණ සහ දානය ආදී සිංහල බෞද්ධ සමාජය තුළ ජන සම්මත චාරිත්‍ර විධි ද හුදෙක් මූලික බුදු දහම හා සෘජු සබැදියාවක් නොමැති මහනුවර රාජධානී සමයේ පමණ සිට පැවැත එන ඒවා බව පෙනේ.නමුදු මෙම මළ බත යනු එවන් දානමය කටයුත්තක් සේ නොසළකන බව ද විශේෂයෙන් කිව යුතුය.

නමුත් වත්මන් ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික සමාජය තුළ මතු වන මෙම අවමංගල්‍ය භෝජන සංග්‍රහයන් සම්බන්ධයෙන් කෙරෙන විමසුම් වල දී ඉතා පැහැදිලිව පෙනෙන කරුණු කිහිපයක් තිබේ. එම අවමඟුලට සහභාගී වන්නවුන් ගේ අවශ්‍යතා මත පදනම් වන්නකට වඩා එම අවමඟුල් නිවසේ පදිංචි කරුවන් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලබන්නක් ලෙස එය පළමුව හඳුනා ගත හැක. ඇතැම් විට එය අවමඟුලට එක් වන ඥාති මිත්‍රාදීන් වෙත එල්ල වන බලහත්කාරයක් තෙක් දුර-දිග යන අවස්ථා ද තිබේ.

20122010 001
නමුදු මුලදී ඔවුන් තම හැකියාව සමාජ තත්ත්වය පෙන්වීම පිණිස ආරම්භ කරන ලද මෙය අද වන විට ජන සම්මත අවමංගල්‍ය චාරිතයක් බවට පත් වෙමින් පැවැතීම කෙසේවත් සාධනීය වූවක් නොවේ. එමඟින් යමකු මරණයට පත් වන පවුල් වල බොහෝ දෙනකුට මහත් දුෂ්කරතාවක් සේම හිසරදයක් බවට පත්ව ඇති බවක් ද පෙනේ. එමෙන්ම එම සමාජමය චර්යාව සම්බන්ධයෙන් කෙරෙන නිරීක්ෂණ වලදී අපට පැහැදිලිව පෙනී යන විශේෂිත කරුණක් ද වේ. එනම් ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික සමාජය අත්විඳින ප්‍රශස්ත මට්ටමේ භෝජන සංග්‍රහයක තත්වයේ සංග්‍රහයන් ද ඇතැම් අවමඟුල් නිවෙස් වල සංවිධානය කොට ඇති බවකි.

හුදෙක් අවමඟුලට එක් වන ඥාති මිත්‍රාදීන් ගේ සාගිනි නිවීම අතික්‍රමණය කෙරෙන මෙම භෝජන සංග්‍රහයන් ඇතැම් ප්‍රීති උත්සව වලදී මෙන් ඒවා පිළිගන්නවුන් ගේ රස නහර පිනා යන මට්ටමක පැවැතීම අතිශය ව්‍යාකූල තත්වයකි. තම පවුලේ සාමාජිකයකු මිය ගොස් දේහය නිවසේ තැන්පත් කොට ඇති පසුබිමක ඊට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන්නවුන් හට ප්‍රණීත රස මසවුළු වලින් සංග්‍රහ කිරීමෙත් ඔවුන් ඒවා පිළිගැනීමත් නූතන සමාජ ආර්ථික අසංවිධිතතාව තුළින් ඉස්මතු වන අනිසි ප්‍රතිඵලයකැයි මට සිතෙයි.

95f7bb80 16ce 11f0 963a 3738e7f2791c

 

විශේෂයෙන් ඉතා අනපේක්‍ෂිත ලෙසින් සිදුවන අකල් මරණ හා සම්බන්ධ අවමඟුල් මුල් කොට මෙවන් උත්සව සාද ස්වරූපයේ භෝජන සංග්‍රහයන් පිළිගැන්වීමට සිදුවීම එම ඛේදවාචකයේම තවත් පැතිකඩක් බව නිසැක වශයෙන්ම කිව යුතු වේ. එනිසාම මෙවන් අභියෝගයන් හට මුහුණ පෑමට සිදුවන්නවුන් උදෙසා විශේෂිත සහනදායී වැඩසටහන් සකසා දෙන අවමංගල්‍යාධාර සහ අනොන්‍යාධාර සමිති වැනි ප්‍රජා හා සමාජ ව්‍යුහයන් ද මේ වන විට සැකසී තිබේ. එහි දී එම සමිති මගින් සිය සමාජිකයන්ට අවමංගල්‍යයක් මුල් කොට ලබා දෙන සහනාධාර අතරට මුදල් වලට අමතරව ආහාර පිසීම සඳහා වන සහල් ඇතුළු අනෙකුත් ද්‍රව්‍යයන් සේම ඒවා පිළිගැන්වීම පිණිස වන උපකරණ හෙවත් ‘බුෆේ සෙට්’ ද ඇතුලත් වන බව මේ වන විට අසන්නට ලැබේ.

එමෙන්ම මෙවන් අවමංගල්‍ය උත්සව සඳහා විශේෂ සහන මිල යටතේ ආහාර පාන සපයන “කේටරින්” ආයතන පිළිබඳ තොරතුරු ද මේ වන විට බහුලව වාර්තා වේ. ඒ අනුව රුපියල් පන්සියයක් වැනි මිලකට ලබා දෙන සරල චාම් ආහාර වේලක සිට එවන් දස ගුණයක් දක්වා වන විවිධ රස මසවුළු වලින් යුතු ප්‍රණීත ආහාර වේලක් දක්වා වන විවිධ මාදිලියේ ආහාර පාන වට්ටෝරුව ඔවුන් සතුව ඇති බව අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් පසුගිය දිනයෙක අප වෙත ලැබුණු තොරතුරකට අනුව අගනුවර ආශ්‍රිත මධ්‍යම පාන්තික නිවාස කලාපයක නිවසක පැවැති එවන් අවමඟුල් නිවසක් එම දේහය අවසන් කටයුතු සඳහා නිවැසියන් බැහැර ගෙන යන තෙක්ම ඒ අවට ජීවත් වන ජනයා ගෙන් පිරී ඉතිරී තිබේ. ඒ හුදෙක් එම මියගිය තැනැත්තා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස නොව එම සුපිරි භෝජනය රස බැලීමට බව බැලූ බැල්මටම පෙනෙයි.

 

funeral parlour

ඒ කෙසේ හෝ මෙම අවමංගල භෝජන සංග්‍රයන් හි වපසරිය මෙලෙස නොවිධිමත් අයුරින් පුළුල් හා ප්‍රාසාරණය වීම හේතුවෙන් අද වන විට නාගරික සේම අර්ධ නාගරික ජනතාව පවුලේ ඥාතීන්ගේ අවමංගල්‍ය කටයුතු කිරීම පිණිස අවමංගල්‍යාගාර (Funeral parlour ) සේවාව යොදා ගන්නා බව පෙනේ. එහි දී අවමඟුලට සම්බන්ධ වන එම දේහයන් අවසන් කටයුතු සිදු කරන තෙක් එවන් අවමංගල්‍යාගාරයක තැන්පත් කොට තැබීමෙන් අවමඟුලට සහභාගී වන ඥාති මිත්‍රාදීන් උදෙසා භෝජන සංග්‍රහ පැවැත්වීමේ හිරිහැරයෙන් තරමක් අත්මිදීමට ඔවුනට පුළුවන. එහෙත් මේ වන විට එවන් නාගරික අවමංගල්‍යාගාර ද ආශ්‍රිතව ද එවන් භෝජනාගාර සේවා පවත්වා ගෙන යන අතර එය එම ව්‍යාපාරික ප්‍රජාවගේ ව්‍යාපාරික වපසරිය වඩාත් පුළුල් හා ප්‍රචලිත වීමට හේතු වී තිබේ.

20220218 204806 3

 

එහෙත්, ආහාර පාන සපයා ගැනීමේ අසම්බන්ධ අපහසුවක් නොමැති පසුබිමක ඒ සඳහා තම ඥාති හිත මිත්‍රාදී කිසිවකුගේ වියෝවක් පාදක කර ගැනීමේ ඇති යෝග්‍යතාව අප නැවත නැවතත් සිතා බැලිය යුතු ය. ඒ මෙම නව ජනප්‍රිය සංස්කෘතිකාංගය එතරම් සදාචාරාත්මක නොවන බව මූලික වශයෙන්ම යමකුට පෙනී යන බැවිනි.ඒ අවමඟුල් නිවසක දක්නට ලැබෙන හඬා වැළපුම් සුසුම් හෙළීම් මත යමකු තුළ ආහාර රුචියක්;රස තෘෂ්ණාවක් ජනිත වීම සමාජ මනෝ විද්‍යාත්මකව විමසා බැලිය යුත්තක් වන බැවිනි.

යමකුගේ අවමඟුලට එක් වන පිරිස් හට මෙවන් භෝජන සංග්‍රහයන් ලබා දී මිය ගිය පුද්ගලයා සඳහා පින් ලබා දිය හැකි ක්‍රමයක් සේ පවසා මෙම නව සංස්කෘතිකාංග ප්‍රවර්ධනය කරන පිරිස් ද වෙති. එහෙත් එවන් පින්දීමේ ක්‍රමයක් අපගේ ජන සංස්කෘතියේ හතර මායිමකවත් නැත. ඒ අනුව මෙම නව ජන සංස්කෘතිය පහසුවෙන් හඳුන්වා දීම පිණිස මගේ හිතවතකු යෝජනා කළ නමකින් මේ සටහන නිමා කිරීමට මම කැමැත්තෙමි.
ඒ නම වනුයේ “මළ මඟුල්” යන්නය.

Praneeth Abayasundara(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...