The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙදා 'කතිරය' කීවේ මොනවා ද? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

May 9, 2025 • 6:08 AM

මෙදා 'කතිරය' කීවේ මොනවා ද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් මෙය කිසිදු දේශපාලන පක්ෂයක් හරි හැටි තේරුම් නැති බව ඔවුන් එකි`නෙකා සිදු කරන හානි පූර්ණ ප්‍රකාශ වලින් මනාව පැහැදිලි වේ.
  • ආණ්ඩුව උපරිම උත්සාහ ගන්නේ පළාත් පාලන මැතිවරණය තමන් ඉහළින් ජයග්‍රහණය කළ බවත් විපක්ෂය නැත්තට නැතිවුණු බවත් ජනතාව හමුවේ මවා පාන්නට ය.
  • ඊට සාපේක්ෂව විපක්ෂය උත්සාහ ගන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ “හොම්බ බිම ඇනුණු”බව තහවුරු කරන්නට ය.
  • ඒ නිසා එක් එක් දේශපාලන පක්ෂවලට මැතිවරණයෙන් සිදුවූ දේ පිළිබඳ මධ්‍යස්ථ විශ්ලෙෂණයක් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් මෙය කිසිදු දේශපාලන පක්ෂයක් හරි හැටි තේරුම් නැති බව ඔවුන් එකි`නෙකා සිදු කරන හානි පූර්ණ ප්‍රකාශ වලින් මනාව පැහැදිලි වේ. ආණ්ඩුව උපරිම උත්සාහ ගන්නේ පළාත් පාලන මැතිවරණය තමන් ඉහළින් ජයග්‍රහණය කළ බවත් විපක්ෂය නැත්තට නැතිවුණු බවත් ජනතාව හමුවේ මවා පාන්නට ය. ඊට සාපේක්ෂව විපක්ෂය උත්සාහ ගන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ “හොම්බ බිම ඇනුණු”බව තහවුරු කරන්නට ය.

මේ බොහොමයක් දේශපාලන පක්ෂ අනුන්ගේ ප්‍රතිපල දෙස බලා අදහස් පළ කරනවා මිස මෙම මැතිවරණයෙන් තමන්ට සිදුවූ දේ ගැන ස්වයං විවේචනයක් සිදු කොට නැත. එසේ නොකරන්නේ තමන්ට සිදුවූ දේ වසා ගැනීම තම දේශපාලනික ආරක්ෂාවට හිතකර යැයි සිතෙන බැවිනි. ඒ නිසා එක් එක් දේශපාලන පක්ෂවලට මැතිවරණයෙන් සිදුවූ දේ පිළිබඳ මධ්‍යස්ථ විශ්ලෙෂණයක් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇත. මගේ මේ උත්සාහය ඒ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටයි.

Anura21

මට තේරෙන හැටියට නම් මේ මැතිවරණයෙන් උදම් ඇනිය හැකි අන්දමේ ජයග්‍රහණයක් කළ කිසිවෙක් නැත. ආණ්ඩු බලය දරණ ජාතික ජන බලවේගය රාජ්‍ය බලයට පිවිසුණේ පසුගිය ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව ජය ගැනීමෙනි. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රමාණය සැලකිල්ලට ගන්නා මුල් වටයේ දී ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 5600000කි. තියුණු තරඟකාරී තත්වයකදී ජන මතය විමසා බැලීමේ දී ජාතික ජන බලවේගයේ ජන මතය ලෙස සැලකිය හැක්කේ එකී ලක්ෂ පනස් හයක ඡන්ද ප්‍රමාණයයි.

මෙවර පලාත් පාලන ඡන්දයේ දී ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ හතලිස් පහකි. ඒ අනුව ජනපතිවරණයට සාපේක්ෂව ලක්ෂ එකොලහක ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට අහීමි වී ඇත. වෙනත් අන්දමකට පැවසුවොත් ආණ්ඩු බලය හොබ වන මුල් මාස හය තුළදී පැවැත් වූ මැතිවරණයේදී තම ඡන්ද දායකයින් ලක්ෂ එකොලහකගේ සහය ආණ්ඩුව අහිමි කරගෙන ඇත. මෙය 20% පසු බැසීමකි. මාස හයක වැනි කෙටි කාලයක් තුළ මෙපමණ ප්‍රමාණයකින් ජන සහය අහිමි කරගත් වෙනත් ආණ්ඩුවක් මේ රටේ නොතිබුණි. එ නිසා ආණ්ඩුව ඒ අතින් වාර්තාවක් පිහිටුවා ඇති බව ද කිව හැකිය.


493022467 10229707142928251 5155315607894427712 n
මෙසේ සිදුවීමට බල පෑ කරුණු මොනවාද?

ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි වූයේ පසුගිය කාලයේ රටේ මතු වූ ආර්ථික අර්බුදය නිසා ඇති වුණු දේශපාලන හිඩැස පියවීමක් ලෙස ය. ඒ හැර ඔවුන් විසින් දිගු කලක් තිස්සේ වර්ධනය කරගෙන ආ ජනතා බලවේගයක සහායෙන් පාලන බලය අත්කර ගැනීමක් ලෙස නොවේ.

අර්ථික අර්බුදය පිළිබඳ කරුණු මතුපිටට පැමිණියේ ගෝඨාභය ගේ ආණ්ඩුව යටතේ වුවද ඒ පිළිබඳ හේතුවූ කරුණු දිගු කලක් මුලුල්ලේ රට තුළ ක්‍රමයෙන් වර්ධනය වූ ඒවා ය. ආර්ථික අර්බුදය මහ ජනතාවට දැනෙන්නට පටන් ගත්තේ ගෑස් සහ ඉන්ධන විදුලිය වැනි බලශක්ති ප්‍රභවයන් අඩුවීමත් සමඟිනි. විදුලිය කප්පාදු කිරීමත් ඉන්ධන පෝලිම් හා ගෑස් පෝලිම් මතු වීමත් සමග තීව්‍ර වුනු ආර්ථික අර්බුදයට පදනම් වූ හේතූන් පිළිබඳ සරල විශ්ලේෂණයක් ජනතාවට ඉදිරිපත් කිරීමට ආර්ථික විශේෂඥයන් සමත් වුයේ නැත.

gas polim 2 1000px

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර සහායෙන් එය විසඳීම පිණිස උපාය මාර්ග යෙදුව ද බහුතර ජනතාවට එය තේරුණේ නැත. ඔවුන් එදෙස බැලුවේ රෝගයකට විදින එන්නතක් “ඌයියා” කිරීමක් සේ සිතන සිඟිත්තන් මෙනි. ඒ අතරේ රටට මේ මොකද වුණේ කියමින් පෝලිම්වල දවස ගෙවූ මධ්‍යම පාංතිකයින්ට අර්බුදය පිළිබඳව හොඳින් තේරෙන සරලම විග්‍රහය ඉදිරිපත් වූයේ ජාතික ජන බලවේගයෙනි. ඒ විග්‍රහය අනුව ආර්ථික අර්බුදය ඇතිවුණේ අප රට නිදහස ලැබීමෙන් පසු බලයට පත් පාලකයින් හොරා කෑ නිසාවෙනි. ජාතික ධනය හොරා කෑමත් ණය අරගෙන හොරා කෑමත් පාලකයින් වසර හැත්තෑ හයක් තිස්සේ කරගෙන යාම නිසා අවසානයේ ජනතාවට දුක් විඳින්නට සිදු වූ බවක් ඔව්හු ලවක් දෙවක් නැතුව කීහ. එය හරියට යමකු හොර පොල් කඩා හසුවී ඉඩම හිමියාගෙන් ගුටි කන්නට සිදුවීම සෙනසුරු අපලයෙන් සිදු වූවක් සේ තේරුම් කර දීමකි.

ආර්ථික අර්බුදයේ බරින් පීඩිතව දුක් විඳිමින් සිටි ජනතාව ගේ සිත් සතන් කෝපයෙන් හා වෛරයෙන් පිරී ඉතිරී යන අන්දමට පසුගිය පාලකයන්ගේ හොරාකෑම හා සැප විඳීම විස්තර කර දීමට ජාතික ජන බලවේග නායකයෝ සමත් වූහ. ඒ අනුව ජනතාවට අවශ්‍ය වූයේ එතෙක් පාලන බලය දැරූ හොරු ටික එලවා දැමීමට ය.

ඒ අතර ජාතික ජන බලවේගය තමන් බලයට පත්වුණොත් හොරකම නතර කරන බවටත් තරාතිරම නොබලා හොරුන් අල්ලා හිරේ දමන බවටත් හොරකම් කර පිටරට සැඟවූ දේ රටට ගෙන වුත් රටේ ආර්ථික අර්බුදය විසඳන බවටත් සපථ කළෝ ය. ඔවුන් සොරකම් කළ දේ රටට ගෙන ඒමෙන්‍ම රට ගොඩ ගත හැකි බව ජාතික ජන බලවේගය යස අපූරුවට ජනතාවට ඒත්තු ගැන්වූහ. ඒ අනුව ජනතාව ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්දය දුන්නේ පසුගිය පාලකයන් සමඟ තිබුණු ජනතා වෛරය පිරිමසා ගැනීමට ය.

e5cad000 a6ff 11ef a4fe a3e9a6c5d640.jpg

අවසානයේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ පසු ජනතාව සැනසුම් සුසුම් හෙලුවේ දැන් ඉතින් හොරමැර කම් නැති අවංක කාර්යක්ෂම පාලනයක් කරමින් හොරු අල්ලා දඩුවම් කරනු ඇත කියා ය. ඒ සඳහා පාර්ලිමේන්තු බලය සකසා දෙමින් මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක අති මහත් බහුතරයක් ආණ්ඩුවට ලබාදීමටද මහ ජනතාව ක්‍රියා කළහ.

ජාතික ජන බලවේගය ආණ්ඩු බලයට පත්වූ පසුව හොරකම නවත්වන බවට දුන් පොරොන්දුව ඉටු කළ බව පුන පුනා කියා සිටිති. එහෙත්, ඒ හොරකම නවත්වන විට රටේ සංවර්ධන කටයුතු ද අඩාල වී ඇති බව තේරෙන්නට මාස කීපයක් ගත විය. එමෙන්ම ඔවුන් ගේ මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් වූ සහල් මෝල් මාෆියාව ද හිස් පඹයෙකු බව මේ වන විට ජනතාව තේරුම් ගනිමින් සිටිති. ඒ අතර පරීක්ෂාවෙන් තොරව වරායෙන් එළියට ඇද ගත්තේයැයි කියන කන්ටේනර් තුන්සියයකට අධික ප්‍රමාණයක් ගැන සාධාරණ පිළිතුරක් ද ආණ්ඩුවෙන් නොලැබුණි.

 

Import 241224

සහල් හිඟය නැති කරන්නට රටින් සහල් ගෙන ඒමට ආණ්ඩුවෙන් දැමූ ටෙන්ඩර් හතරම අවලංගුවී පුද්ගලික අංශය පමණක් සහල් ආනයනය කිරීම ද සැක උපදවන කරුණක් විය . මහ බැංකු හොරු ඇල්ලීම පිළිබඳව ජනතාවට දුන් පොරොන්දුව ද ඉටු නොවීය. ඒ ගැන දැන් කිසිම හාවක් හූවක් නැත.

මේ ආදී කරුණු වලින් රටේ කිසිදු දෙයක් නොවන බවත් ආණ්ඩුව කලින් පොරොන්දු වූ දේවල් ඉටු නොකරන බවත් ජනතාවට තේරුම් ගියේ ය.

ඒ අතර තමන් මවා පෑ සහල් මෝල් මාෆියාවෙන් ජනතාව බේරා ගැනීමට කියා මහජන මුදලින් රුපියල් කෝටි ගණනක් වැය කොට රජයේ වී ගබඩා ප්‍රතිසංස්කරණය කළ ද අද ඒවා මා වවුළන්ට බදු දී නිහඬ වීමට ආණ්ඩුවට සිදු වී තිබේ. වන සතුන් ගෙන් වගාවන් බේරා ගැනීමට ආණ්ඩුව කළ වන අලින් පළවා හැරීම්, රිළවුන් ගණන් කිරීම් ආදිය සාර්ථකත්යට පත් ව තිබේ නම් ඒ විහිළු වශයෙන් පමණි. පසුගිය දළදා ප්‍රදර්ශනය හමුවේ ඓතිහාසික මහනුවර ඇති වූ “ඓතිහාසික පරිසර දූෂණයෙන්” ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන “ක්ලීන් ශ්‍රී ලංකා”අමුඩ කෙටිය ද ගිළිහී වැටුණි. නීතියේ ආධිපත්‍යය ඇති කරනවා යැයි පොරොන්දු වුවත් දිනපතා සිදුවන වෙඩි තැබීම් හා මිනී මැරුම්වලින් මහජන අනාරක්ෂිත භාවය පිළිබඳ හැගීම් ක්‍රමයෙන් ජනතාව තුළ මතුවන්නට පටන් ගති. මේ අතර ආණ්ඩුවත් දිගින් දිගටම හොරා කාපු අයගේ යැයි කියමින් ලැයිස්තු ප්‍රසිද්ධ කරමින් සිටියා මිස ඒ සම්බන්ධ ක්‍රියාමාර්ගයන්ට පිවිසුණේ නැති බවක් ජනතාවට නිරීක්ෂණය විය.

Mahesh hapugoda 250424

අන්තිමේදී ආණ්ඩුව කයිවාරු ගැසීම හැර වෙන කිසිදු ප්‍රයෝගික ක්‍රියා මාර්ගයකට එළඹෙන්නේ නැති බව ජනතාවට ටිකෙන් ටික පැහැදිලි විය. ජාතික ජන බලවේගය ගැන ජනතා බලාපොරොත්තුව අවසන් වීම ආරම්භ වූයේ එසේ ය. ඒ අනුව ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද ගණනිනුත් ලක්ෂ එකොලහක් අඩුවෙන් භා මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ විසිතුනක්ම අඩුවෙන් පලාත් පාලන මැතිවරණයේදී ලබා ගැනීමට මාලිමාවට සිදුවිය. එය මහ මැතිවරණයට සාපේක්ෂව 33%කින් පහළට වැටීමකි. ඒ අතරේ ඔවුන් මුල් කොට ජන මනැසින් පිබිදුණු “කයියනායක” “කයි-තන්” වැනි සරදම් නාම මේ වන විට අතිශය ප්‍රසිද්ධියට පත් ව තිබේ.

ප්‍රධාන විපක්ෂයවූ සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේ දී ලක්ෂ හතලිස් තුනකට අධික ප්‍රමාණයක් ලබා ගෙන තිබුණි. ජනපතිවරණයේදී ලබාගත් එම ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී ලක්ෂ 19 දක්වා කඩා වැටුණු අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 55%ක් පමණ බිඳ වැටීමකි. පලාත්පාලන මැතිවරණයේදී ලක්ෂ 22ලබා ගෙන ජනාධිපතිවරණයට සාපේක්ෂව 51%බිඳ වැටීමක් දක්වා අඩුකර ගෙන ඇත. ආණ්ඩුවේ බලය 20%කින් පහළට එද්දී විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ බලය වර්ධනය වී ඇත්තේ 4%බඳු ඉතා සුලු ප්‍රමාණයකිනි. ඉන් අදහස් කරන්නේ ජනතා විශ්වාසය දිනා ගැනීම අතින් සමගි ජන බලවේගයේ ඇති මන්දගාමී බව හැර අන් දෙයක් නොවේ.

Namal 2025.05.03

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැතිනම් පොහොට්ටු පක්ෂය ලෙස හඳුන්වන නාමල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් ඇති පක්ෂය ජනාධිපතිවරණයට තරඟ වැදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 342000කි. එය මහ මැතිවරණයේ දී 350000දක්වා සුලු වශයෙන් වර්ධනයක් අත්කර ගත්තේය. නමුත් මෙවර පලාත් පාලන මැතිවරණයේදී ඡන්ද 954000ක් ලබා ගනිමින් 178%ක කැපී පෙනෙන වර්ධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්වීම විශේෂයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රටේ ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් හැදූ දේශපාලන පක්ෂයක් වීම නිසා එහි මේ වර්ධනය තවත් සුවිශේෂී වන බව පැහැදිලි ය. එසේම එකී ආණ්ඩු බලය තුළ තිබූ ක්‍රියකාරීත්වය ඔවුන් ඉදිරියේ ඇති විශාලම අභියෝගය බවද අමතක නොකළ යුතු වේ.

namal 250508

කෙසේ වුව ද ආණ්ඩුවේ බිඳවැටීමට සාපේක්ෂව ශීඝ්‍ර වර්ධනයක් ලබමින් සිටින දේශපාලන ව්‍යාපාරය බවට මේ වන විට පත්ව ඇත්තේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ බව පැහැදිලි ය. එසේ වුවත් ආණ්ඩු බලයක් දක්වා ගමන් කිරීමට තවත් විශාල වර්ධනයක් අත්කර ගතයුතු නිසා ඒ දක්වා යාමේදී පොහොට්ටු පක්ෂයට එරෙහිව පවතින අභියෝග ද සුලුපටු නොවන බව කිව යුතු ය. මේ වන විටත් උරමත සේම මනැසේ රඳන යල් පැන ගිය “පරම්පරා සාටක” මායාවෙන් අත් මිදී ඒ අභියෝගවලට මුහුණ දීමට තරම් පරිණත භාවයක් නාමල්‍ රාජපක්ෂ පෙන්වා සිටියොත් මගේ මීට ඉහත ලිපියක පෙන්වා දුන්පරිදි හැටේ දශකයට අයත් අනුර කුමාර දිසානායකට විකල්පය වීමට අසූව දශකයට අයත් ඔහු සමත් වනු ඇත.

එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ මැතිවරණයෙන් ජනතාව යම් කොල සංඥාවක් දුන්නත් එහි ඉදිරිය කෙසේ වේදැයි කීමට කල් මදි ය. ඒ අනුව මේ මැතිවරණයෙන් ජනතාව දුන් පණිවුඩය නිවැරදිව තේරුම් ගැනීම ඉහත දේශපාලන පක්ෂ තුනේම ඉදිරි පැවැත්මට බලපාන බව සඳහන් කළ යුතුය.


sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)

කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


Screenshot 2025 05 09 104845

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...