"මේ මනුස්සයා කියපු දේම වෙච්ච හැටි. හරියට ඍෂිවරයෙක් වගේ ටක්කෙට ම කිව්වනේ.''
බොහෝ දෙනාගේ අදහස එය විය.
මැතිවරණයෙන් පසුවදා ප්‍රතිඵල විශ්ලේෂණයට මුලින්ම රනිල් හමුවට ගියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, ජනාධිපති හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුම් කොළඹගේ ය.

රනිල් හිටියේ සිනා සිනාමුසුවය.
''සර් කියපු දේ එහෙමම වෙලා නේද?''
මාධ්‍ය සගයින් කී කතාවට රනිල් සැහැල්ලුවෙන් සිනාසුණේ ය.
"උපදෙස් දුන්න විදියට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙලා පළාත් පාලන ආයතන පනහකට සීයකට තරග කළා නම් ඒ සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගානක් ගන්නට ඉඩ තිබුණා. කොළඹට විතරක් වත් එවැනි දෙයක් කරන්නට තිබුණා. මම කිව්ව විදියට විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්නා." රනිල් කීවේ එසේය.

රනිල් ඒ ගැන තවත් විවරණයක් කළේය.
"අවුරුදු පහකට පසුව අපි අලියා ලකුණ යටතේ තරග කළා. මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි. සමහර ප්‍රදේශවල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි. දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි. මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්. හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා. අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.
අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා. අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අය යි. මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. රනිල් කීවේ එසේය.

රුවන්, වජිර, සාගල, තලතා ඇතුළු පක්ෂ නායකයෝ ද රනිල් හමුවට ආවේ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නට ය.
''ඇත්තටම මේ මැතිවරණයේදී ජනතාව ලොකුම පණිවිඩය දීලා තියෙන්නේ ආණ්ඩුවට. මට නම් හිතෙන්නේ ආණ්ඩුව කියපු පච දැන් මිනිස්සුන්ට අවබෝධ වෙලා වගේ. ලැබිච්ච ප්‍රතිඵලයත් එක්ක ඇතැම් සභා පිහිටුවන්න අපේ සහාය අවශ්‍ය වෙයි. ඒක නිසා සජබෙ හෝ වෙනත් ඕන පක්ෂයක් එක්ක සාකච්ඡා කරන්න අප ඉදිරිපත් වෙන්න ඕන"
රුවන් තමාගේ අදහස පැවසීය.
අනතුරුව වජිර ගණන් ඉලක්කම් සමග ඡන්ද ප්‍රතිඵල විවරණයක් ඉදිරිපත් කළේය.

'JVP ය ඡන්ද හතළිස් පන්ලක්ෂ තුන්දහස් නවසිය තිහක් ගන්න කොට රජයට විරුද්ධව ඡන්ද පනස් නව ලක්ෂ හයදහස් අටසිය අසූවක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නෙ ඡන්ද දාහතර ලක්ෂ දෙදහස් නවසිය පනහකින් විරුද්ධ පක්ෂයට වැඩිපුර ඡන්ද භාවිතා කරලා තියෙනවා. ඒ එක්කම JVP යෙන් සභිකයන් 3,926 ක් පත් වෙනකොට, SJB යෙන් සභිකයන් 1787 ක් පත්වෙනවා. SLPP යෙන් 742 ක් පත්වෙනකොට, UNP යෙන් 381 පත්වෙනවා. PA යෙන් 300 ක් පත්වෙනකොට, ස්වාධීන සහ අනෙක් කණ්ඩායම් 1776 ක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ අනෙක් සියලු පක්ෂ එකතුවෙලා සභිකයන් 4886ක් විරුද්ධ පක්ෂයට පත්කරගෙන තිබෙනවා. රජයේ කණ්ඩායමට වැඩිය සභික ධූර 960 ක් වැඩිපුර පත්කරගෙන තියෙනවා.

ඒ වගේම අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේ ලබා ගත්ත ඡන්ද ප්‍රමාණය සමග බැලුවම ඡන්ද ලක්ෂ 11 ක් අහිමි වී තිබෙනවා, මහ මැතිවරණයට සාපේක්ෂව බැලුවම ඡන්ද ලක්ෂ 23 ක් අහිමි කරගෙන තිබෙනවා. මං හිතන්නේ ලංකා ඉතිහාසයේ පළාත් පාලන ඡන්ද ඉතිහාසය දිහා බැලුවම කිසිම දවසක කිසිම රජයක් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 5/6 ක බලයක් දිනුවා ලංකාවේ පළාත් පාලන ආයතනවල සියලුම බලය ලබාගන්නවා. ඉන්පසුව ප්‍රේමදාස, චන්ද්‍රිකා,මහින්ද ,එහෙම නැත්තම් රනිල් අගමැති හැටියට 2001 ඉන්නකොටත් ලංකාව පුරා ගිහිල්ලා පළාත් පාලන මැතිවරණයේ අත්තනගල්ලත් එක්කම ජයග්‍රහණය කිරීමට කටයුතු කළා.
වජිර එලෙස දීර්ඝ විවරණයක් කළේ ආණ්ඩුවේ පසුබෑම ගැනයි.
අකිල කීවේ මේ ප්‍රතිඵලය එක්ක ආණ්ඩුවට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවයි.
''මේක ආණ්ඩුවේ වැටීමේ ආරම්භයක්. මේකෙන් පස්සෙ ආණ්ඩුව ගන්න තීන්දු තීරණ හරියට ක්‍රියාත්මක කරගන්න බැරිවෙනවා.'' යැයි අකිල කීය.

තුනෙන් දෙකක බලයක් ගත්ත ආණ්ඩුව අද වනවිට සියයට 26.2 දක්වා අඩු කරගෙන තියෙනකොට විරුද්ධ පක්ෂය73.8 ක ඡන්ද අරගෙන තියෙනවා. ආණ්ඩුවේ බොරුව තවත් ඉදිරියට ගෙනියන්න දෙන්නේ නෑ කියන පණිවිඩය ජනතාව විසින් ලබාදීලා තියෙනවා. කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම ගැන සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරන බව මෙහිදී සාගල අවධාරණය කළේය.
රනිල් ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අටවෙනිදා පිටත්ව ගියේය. රනිල් මෙවර ඉන්දීය සංචාරයේ නිරත වන්නේ ඉකුත් ජනපතිවරණයෙන් පසු සිව්වන වරට ය. හින්දු පුවත්පතේ පස්වන සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා ලැබ ඇත.
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි. දින දෙකක් පැවැත්වෙන මෙම උත්සවය සඳහා දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍ර වල ප්‍රවීණයෝ සහභාගී වෙති.



