The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පෙරහන්කඩේ : ප්‍රදේශීය සභා වූ ගම් සභා ක්‍රමය පටන් ගත් හැටි | චන්ද්‍රසිරි සෙනෙවිත්න

T

The Leader Desk

May 9, 2025 • 2:59 PM

පෙරහන්කඩේ : ප්‍රදේශීය සභා වූ ගම් සභා ක්‍රමය පටන් ගත් හැටි | චන්ද්‍රසිරි සෙනෙවිත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රමයේ අතීතයට යනු කැමැත්තෙමි.
  • අංක 9 දරණ ගම්සභා ආඥා පනතට අනුව ආරම්භ කළ ගම් සභා නම් පළාත් පාලන ආයතන පිහිටුවීම සිදු කිරිමේ වගකීම පැවරී තිබුණේ දිස්ත්‍රීක්කයේ ආණ්ඩුවේ ඒජන්ත වරයාටය.
  • මේ අවස්ථාවේ කැඩුන සිංහලෙන් පැමිණි පිරිසට කතා කළ සුදු ජාතික දිසාපති වරයා නිකම් මිනිසුන් වෙනුවෙන් ගම් කාර්ය සභාවට නියෝජිතයන් දෙදෙනෙකු නම් කළ හැකි බව දන්වා සිටියේය.
  • මාසික සභා රැස්වීම් ගිරාගම වලව්වේ හෙවත් ගම් කාර්ය සභා සභාපති මාම්පිටියේ දිසා හාමුදුරුවන්ගේ වලව්වේදී පැවැත්වෙන බවද නිවේදනය කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රමයේ අතීතයට යනු කැමැත්තෙමි.  

1924 අංක 9 දරණ ගම්සභා ආඥා පනතට අනුව ආරම්භ කළ ගම් සභා නම් පළාත් පාලන ආයතන පිහිටුවීම සිදු කිරිමේ වගකීම පැවරී තිබුණේ දිස්ත්‍රීක්කයේ  ආණ්ඩුවේ ඒජන්ත වරයාටය. ඒ අනුව මහනුවර දිස්ත්‍රීක්කයේ යටිනුවර කෝරළ හතරේ ගම් කාර්ය සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේ රැස්වීම කඩුගන්නාවේ සියඹලාගොඩ නම් ස්ථානයට කැඳවා තිබුණේ කිංස්ලි නම් සුදු ජාතික මහනුවර ආණ්ඩුවේ ඒජන්ත විසිනි. මේ රැස්වීමට නිල වශයෙන් ආණ්ඩුවේ මුලෑදෑනින් කැඳවා තිබූ අතර, එහි සිදුවන්නේ කුමක්දැයි දැන බලා ගැනීමට පැමිණි නිල තානාන්තර රහිත සාමාන්‍ය පුරවැසියන් කිහිප දෙනා අතර, මහනුවර මුල්ගම්පොල බෝවල පදිංචි සිවිල් ක්‍රියාකාරිකයෙකු මෙන්ම මුද්‍රණාල හිමිකරුවෙකු වූ ටී.බී.එස්. ගොඩමුන්නේ ද විය.

මේ කාලයේ සර්ව ජන ඡන්ද බය රටට ලැබී නො තිබිණ. රැස්විම කැඳවූ කිංස්ලි නම් සුදු ජාතික සිවිල් නිලධාරියා විසින් යටිනුවර කෝරළ හතරේ ගම් කාර්ය සභාවේ සභාපති ධුරයට මාම්පිටිය රටේ මහත්තයා නම් කළ අතර, රජයේ නිල සාමාජිකයන් හැටියට යටිනුවර හතර කෝරළේ කෝරාළේවරුන් සහ ගම් මුලෑදෑනිවරුන් නම් කළේය. මේ අවස්ථාවේ කැඩුන සිංහලෙන් පැමිණි පිරිසට කතා කළ සුදු ජාතික දිසාපති වරයා නිකම් මිනිසුන් වෙනුවෙන් ගම් කාර්ය සභාවට නියෝජිතයන් දෙදෙනෙකු නම් කළ හැකි බව දන්වා සිටියේය. ඒ අවස්ථාවේ පැමිණි පිරිස අතුරෙන් කැපි පෙනුණ ටී.බී.එස්. ගොඩමුන්නේ සහ කඩුගන්නාවේ සුන්දරසේකර යන දෙදෙනා නිකම් මිනිසුන් වෙනුවෙන් නම් කළ අතර සුදු ජාතික ඒජන්ත වරයා දන්නා සිංහලෙන් නිකම් මිනිසුන් යනුවෙන් අදහස් කළේ ordinary people (සාමාන්‍ය ජනතාව)  යන්නය.  

මාසිකව ගම් සභා රැස්විම පැවැත්විය යුතු අතර, ප්‍රදේශයේ පොදු අවශ්‍යතා ආදි දේ ගැන සාකච්ඡා කර ගන්නා තීරණ ආණ්ඩුවට දැන්වීම ආදි වගකීම් රාශීයක් එහිදී කියවනු ලැබීය. මාසික සභා රැස්වීම් ගිරාගම වලව්වේ හෙවත් ගම් කාර්ය සභා සභාපති මාම්පිටියේ දිසා හාමුදුරුවන්ගේ වලව්වේදී පැවැත්වෙන බවද නිවේදනය කෙරිණ.

cgty567
වර්තමානයේ ගිරාගම සෞන්දර්ය ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටා ඇත්තේ මේ කියන ගිරාගම වලව්වේය. ගම් කාර්ය සභාව රැස්වෙන රැස්වීම් ශාලාවේ තිබුණේ පුටු දෙකක් පමණකි. ඒ පුටු දෙක දිසා හාමුදුරුවන් සහ ඔහුගේ ලේකම් සඳහාය. ගම් කාර්ය සභාවේ අවසේස සාමාජිකයන් එනම් යටිනුවර හතර කෝරළේ කෝරාළවරුන් සහ ගම් මුලෑදෑනියන් ආදි ආණ්ඩුවේ නිලධාරින් මෙන්ම ගම් කාර්ය සභාවේ සාමාජිකයන් වූ නිකම් මිනිසුන් දෙදෙනාත් වලව්වේ ලී වැටට හේත්තු වී රැස්වීමට සහභාගි විය යුතු විය. රටේ මහත්තයාගේ සියලු යෝජනා එහෙයි කියා අනුමත කළ යුතු විය. සභාවේ බහුතරය වූ නිල පංගුවේ සාමාජිකයන්ගේ අදහස් සභා සම්මත වූ බවට වාර්තා කළද, නිකම් මිනිසුන් දෙදෙනා ඉදිරිපත් කළ අදහස් වර්තා කිරීමක් හෝ මෙහිදී සිදු වී නැත.

frtye565නිල කට්ටුව රටේ මහත්තයාට යටත් බය පක්ෂපාත යටත් අයවළුන් වීම හේතුවෙන් නිකම් මිනිසුන් නියෝජනය කළ දෙදෙනාගේ හැසිරීමට කිසිදු වලංගු භාවයක්  තිබිලාම නැත. එක් ගම් සභා රැස්වීම් වාරයකදි සභා කාර්යාලයේ හුණු ගෑම සඳහා යෝජනාවක් ගම් කාර්ය සභා සභාපති මාම්පිටියේ රටේ මහත්තයා විසින් ඉදිරිපත් කළේය. ඒ සමග හඬ අවදි කළ සාමාන්‍ය ජනතාව නියෝජනය කළ ටී.බී.එස්.ගොඩමුන්නේ ඒ කියන කාර්යාලය තිඛෙන්නේ කොහේදැයි විමසා සිටියේය. කවුරුවත් නො අසන දේ තමන් අහනවා නේදැයි වහා හඬ අවදි කළ කෝරළේ මහත්තයෙක් කෝපයෙන් ප්‍රශ්න කළේය. මේ තත්වය තුළ යම් අපහසුවකට පත්ව සිටි මාම්පිටිය රටේ මහත්තයා මේක තමයි ඒ කන්තෝරුව කියා තම වලව්වේ වහලයට ඇඟිල්ල දිගු කිරීමත් සමග, ආණ්ඩුවේ මුදලින් වලව්වේ හුණු පිරියම් කිරීමේ යෝජනාව සභා සම්මත වූ  බව රටේ මහත්තයාගේ ලේකම් විසින් සටහන් කරගනු ලැබීය.  මේ අවස්ථාවේ සුළුතරය වූ  ගොඩමුන්නේ සහ සුන්දරසේකර දෙදෙනාට තිබුණේ බලා සිටීම පමණකි.

රටේ තත්වය ගැන යම් පිබිදුණ මනසකින් යුතුව ජිවත්වූ ගොඩමුන්නේට සිතුමිණ මුද්‍රණාලයට අමතරව ඒ නමින් පොත් සාප්පුවක්ද විය. සිය හිතවතා වූ කඩුගන්නාවේ සුන්දරසේන නම් පුරවැසියා සමග මේ අවිධිමත් තත්වය 1924 වසරේදී ඉහළට පෙත්සමක් ස්වරූපයෙන් ලිඛිතව දන්වා යැවීමට ගොඩමුන්නේ පියවර ගත්තේය. පෙත්සමක්වූ එකී ලිපියෙන් හැම කෝරළයකටම එක බැගින් ගම් කාර්ය සභා පිහිටුවන ලෙස, ලංකා මහජන සභාවේ නායකයන් වන එෆ්.ආර්. සේනානායක සහ ආතර් වී දියෙස් යන ප්‍රමුඛ පුරවැසියන්ට යොමු කළ මහජන පෙත්සමේ පිටපත් යටත් විජිත මහ ලේකම්, මහනුවර ආණ්ඩුවේ ඒජන්ත, යන අයට යොමු කළහ. එහි ප්‍රතිපලය ලෙස 1929දී  කෝරළ 4 සඳහා වෙන වෙනම ගම් කාර්ය සභා 4ක් පිහිටුවීමට රජය පියවර ගත්තේය. එකී ආයතනවල සභාපති හැටියට කෝරළේවරු නිල බලයෙන් පත් වූ, මහනුවර ගඟවට කෝරලේ ගම් කාර්ය සභා ලේකම් ධුරය සඳහා ටී.බී.එස් ගොඩමුන්නේ නම් කෙරිණ. මෙහිදී කෙරුණ විප්ලවීය වෙනස නම් රටේ මහත්තැන්ට හිමි අධිකාරි බලය ඊට පහළින් පත්ව සිටි කෝරළේට පැවරීමය. මහනුවර ගඟවට කෝරළේ ගම් කාර්ය සභා ඉතිහාසයේ 1929 සිට 1931 තෙක් මුල් වසර දෙකක කාල පරිච්ඡේදය පුරා සභා ලේකම් ලෙස ටී.බී.එස්.ගොඩමුන්නේ සේවය කළේය.

සර්ව ජන ඡන්ද හිමිකම ලංකාවට ලැබුණ පසුව මහනුවර ගඟවට කෝරළේ ගම් කාර්ය සභාවේ සභාපති වරයා හැටියට 1931 සිට 1954 තෙක් විසි තුන් වසරක් නිතරගයෙන් තේරී පත්වී සේවය කළ ටී.බී.එස්.ගොඩමුන්නේ මහතා 1954දී ස්වේච්ඡාවෙන් ගම් කාර්ය සභා සේවයෙන් ඉවත් වූ වෙනත් සමාජ සේවා කටයුතුවල නිරත විය. ඔහු ගම් සභාපති ධුරය දැරූ එකී විසි පස් වසරක සේවා කාලය පුරා සමස්ත ලංකා ගම් සභාපති වරුන්ගේ සම්මේලනයේ උප සභාපති පදවිය දරනු ලැබූ අතර, ඒ කාලයේ එකී සමිති සම්මේලනයේ සභාපති තනතුර දරණු ලැබුයේ එවකට පළාත් පාලන අමාත්‍ය වරයා වූ එස්.ඩබ්ලිව.ආර්.ඩී. බණ්ඩාරනායක විසිනි.

1934දී මධ්‍යම පළාත් ගම් සභාපති වරුන්ගේ සංගමය පිහිටුවීමට පුරෝගාමි වූ ගොඩමුන්නේ 1944 වසර තෙක් එහි මුල් දස වසරක් පුරා එහි ගරු ලේකම් ධුරයද  1954 තෙක් දෙවන දස වසරක කාලයෙහි එහි සභාපති පදවිය දැරීය.

කන්ද උඩරට හේවාහැට ගොඩමුන්නේ සකලසූරිය පරම්පරාවේ විසි වෙනි සියවස නියෝජනය සඳහා වර්ෂ 1898 ඔක්තෝබර් මස 08 වෙනිදා උපන් ටිකිරි බණ්ඩා සකලසූරිය ගොඩමුන්නේ උපන් ප්‍රදේශයේත් සමස්ත දේශයෙත් අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ දේශපාලන හා ආගමික කටයුතුවල නියැළෙමින් සිට වසර අසූ දෙකක්  ආයු වළඳා වර්ෂ 1980 දෙසම්බර් මස 23 වෙනි දින අභාවප්‍රාප්ත විය. හේවැහැටින් අම්පිටියට පැමිණ ජීවත්වූ ඩිංගිරි බණ්ඩා සකලසූරිය ගොඩමුන්නේගේ පුත් ටිකිරි බණ්ඩා සකලසූරිය ගොඩමුන්නේ මහනුවර බෝවල ගමේ ජීවත් විය. සකලසූරියගේ මව හරකහවේ උපන් වීරපාන මුදියන්සේලාගේ මුතු මැණිකේ වූවාය. වීරසේකර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ සමග විවාහ වූ හෙතෙම, පී. බී. එස්. ගොඩමුන්නේ හේමා දොරකුඹුර, ගුණමිණි ගොඩමුන්නේ, සරත් ගොඩමුන්නේ, සහ රමණි අදිකාරම් යන දරුවන් පස්  දෙනෙකුගේ දයාබර පියා විය.

දිගු කලක් කඩවත් සතර විවාහ උප්පැන්න රෙජිස්ට්‍රාර් තනතුර දැරූ ටී.බී.එස්. ගොඩමුන්නේ විශ්‍රාම යාමෙන් පසුව, ඔහුගේ බිරිය බණ්ඩාර මැණිකේ ගොඩමුන්නේ එකී තනතුර දැරුවාය. ඇය ගඟවට කෝරළේ කඩවත් හතර ප්‍රදේශයේ විවාහ උප්පැන්න රෙජිස්ට්‍රාර් තනතුරට පත්වූ  ප්‍රථම කාන්තාව බව කියති. ඔහු සිය ව්‍යාපාර කටයුතු සහ පොදු සේවා නිම කොට දවස කෙළවර බෝවල නිවෙසට පැමිණ හිතවතුන් පංච දැමීමෙන් විවේකය ගත කිරිමට පුරුදුව සිටි සරල මිනිසෙකි.

නවසිය හැට ගණන් වන තෙක්ම ගම් කාර්ය සභා සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේදී සිරිතක් හැටියට දේශපාලන පක්ෂ මැදිහත් නොවීය. එහෙත් ගම් කාර්ය සභා ජනතාව ඡන්දයෙන් තෝරා පත් කර ගත් සමහර පුරවැසියන් ජාතික දේශපාලනයට බද්ධ විය.  විශිෂ්ඨ කතානායක වරයෙකු ලෙස ඉතිහාසයට එක්වූ සර් ඇල්බට් එෆ්. පිරිස් සිය දේශපාලන ගමන ආරම්භ කළේ කම්මල් පත්තුව ගම් සභාවේ සභාපති හැටියටය. ලග්ගල පළමුවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ලෙස පත්වූ කේ.ඇම්.කේ. බණ්ඩා ලග්ගල උඩසිය පත්තුවේ ගම් කාර්ය සභාවේ සභාපති ලෙස සහ දෙවන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ජී.මුතුබණ්ඩා ලග්ගල පල්ලේසිය පත්තුවේ ගම් කාර්ය සභාවේ සභාපති ලෙස දේශපාලනයට ප්‍රවිශ්ඨ විය. ලග්ගල පල්ලේසිය පත්තුවේ ගම් කාර්ය සභාව යම් කාලයක මඩුමානේ පුද්ගලික නිවසක රැස්වූ අතර එකී නිවාසය හිමියා දිගු කලක් එකී ගම් කාර්ය සභාවේ සභාපති ලෙස සේවය කළ හේ.මු.ක. ගුණතිලක නම් වැඩිහිටියාය.

පසු කලෙක පී.ජී.මුතුබණ්ඩා සිහිපත් කළ ආකාරයට මාසික රැස්වීම් සඳහා උදේ රැයින් ලග්ගල පල්ලේගමින් පිටත්ව ගොස් රැස්වීමට සහභාගි වීමෙන් පසුව මැම්බර්ලා සියළු දෙනාම අසලින් නික වතුරා ඔයෙන් පැන් සැනහී සභපති ගුණතිලක විසින් සපයන දිවා ආහාරයද භුක්ති විඳ සවස් යාමයේ නිවෙස් බලා පැමිණි බව කිවේ මහත් තෘප්තියෙනි. 1960 මාර්තු මහ මැතිවරණයට ස්වාධින අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ගුණතිලක සිය මැතිවරණ ප්‍රකාශනය සමග සතර සති පට්ඨානයද මුද්‍රණය කරවා ඛෙදා හැරියේය.

chandrasiri senevirathne(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...