The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව | තිලක් සේනාසිංහ

T

The Leader Desk

May 11, 2025 • 10:20 AM

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන වලට යාමට අමතරව මෙම වෙසක් බැලීම උදෙසා මැදියම් රැය පවා ඉක්මෙනතුරු කාලය කැප කිරීම සුලබ හා සාමාන්‍ය තත්ත්වයක් විය.
  • ඒ සමයේ රාත්‍රී කාලයන් හි ද අගනුවර වීදි මහ ජනතාවගෙන් පිරී පැවතුණු අතර වෙස් මුහුණු, නලා ඇතුළු විවිධ අරුමෝසම් භාණ්ඩ සේම රස කැවිලි සහිත තාවකාලික වෙළඳ සල්පිල් ද නගරය පුරා විසිර තිබිණ.
  • ඒ අනුව මෙම වෙසක් බැලීම බොහෝ විට ආගමික ආධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නොතිබූ විනෝදාංගයක් වූ බව අපිට හොඳින් මතක ය.
  • නමුත් එවක අප එලෙස අත් විඳි වෙසක් බැලීමේ මාහැඟි අවස්ථාව දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාවට එපරිද්දෙන්ම හිමි වූයේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන වලට යාමට අමතරව මෙම වෙසක් බැලීම උදෙසා මැදියම් රැය පවා ඉක්මෙනතුරු කාලය කැප කිරීම සුලබ හා සාමාන්‍ය තත්ත්වයක් විය. කවුරුත් සහතිකම දැන සිටි අන්දමට එවක හොඳම වෙසක් තිබුණේ කොළඹ ය . ගම්පහ ද වෙසක් තිබූ මුත් ඒවා කොළඹ වෙසක් තරම් සරු නොවීය.

තොටළඟ, පිටකොටුව ආදී වශයෙන් වන මුල් පෙළේ වෙසක් තොරණ සහ පහන් කූඩු කොළඹ වෙසක් බැලීම හා සම්බන්ධ කේන්ද්‍රීය ස්ථාන විය. ඒ සමයේ රාත්‍රී කාලයන් හි ද අගනුවර වීදි මහ ජනතාවගෙන් පිරී පැවතුණු අතර වෙස් මුහුණු, නලා ඇතුළු විවිධ අරුමෝසම් භාණ්ඩ සේම රස කැවිලි සහිත තාවකාලික වෙළඳ සල්පිල් ද නගරය පුරා විසිර තිබිණ.

වෙසක් උළෙලේ ජාතික වැදගත්කම යට ගහන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)

 

ඒ අනුව එවක වෙසක් බැලීමට එන කොලු කුරුට්ටන් එම වෙස් මුහුණු පැළඳීම, නලා පිඹීම සේම වෙසක් බැලීමට එන තරුණියන්ට උසුළු විසුළු කිරීම් ආදී දේ ද නොඅඩුවම දක්නා ලදී. ඒ අනුව මෙම වෙසක් බැලීම බොහෝ විට ආගමික ආධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නොතිබූ විනෝදාංගයක් වූ බව අපිට හොඳින් මතක ය.

නමුත් එවක අප එලෙස අත් විඳි වෙසක් බැලීමේ මාහැඟි අවස්ථාව දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාවට එපරිද්දෙන්ම හිමි වූයේ නැත.

“මෙහේ වෙසක් කියන්නේ පින්කම් වලට විතරක් සීමා වුණු පෝයක්. එදාට පන්සල්වලට තමයි හැමෝම රොක් වුණේ. ඒත් පොසොන් පෝය එහෙම නෙවෙයි. පොසොන් කාලෙට මේ ගම් පළාත් එකම මඟුල් ගෙයක් වගේ කිව්වොත් තමයි නිවැරදි” මේ වෙසක් බැලීම සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතීච්.කේ විමලරත්න මහතා කීය.

wesak

එච්.කේ විමලරත්න

 

වෙසක් යනු බෞද්ධයාගේ උතුම්ම ආධ්‍යාත්මික දිනය වුවද ඒ තුළ ගැබ් වී ඇති මෙම විනෝදාත්මක පක්ෂය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී තිබීම එදා සේම අද ද පැහැදිලිව දැක ගත හැක. එබැවින් ඒ සම්බන්ධ විශේෂ විමසුමක් කිරීම යෝග්‍ය යැයි සිතමු.

සෑම වසරකම යෙදෙන පුර පසලොස්වක පොහෝ දින අතුරින් උත්සව ස්වරූපයෙන් සැමරෙන පුර පෝ දින කිහිපයක් තිබේ. ඒ වෙසක්, පොසොන් , ඇසල හා දුරුතු වශයෙනි. ඒ අතුරින් වෙසක් පොහෝ දිනය උත්සවාකාරයෙන් සැමරෙනුයේ අප රටේ බස්නාහිර පළාතේ හා දකුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ බව නිරීක්ෂණය වේ.

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)

 

ඒ 1880 වසරේ මැයි 17 වන දා ගාලු වරායෙන් ගොඩ බට ඕල්කට් තුමාගේ ලංකාගමනයෙන් පසුව බව පෙනේ. ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා පානදුරා වාදය ගැන වාර්තා කියවීමෙන් පසු මෙරටට පැමිණි බව කවුරුත් දනිති.

මෙරටට පැමිණි ඕල්කට් තුමා එම වසරේ මැයි 19 වන දින ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරුවනේ දී පංචශීලය සමාදන්ව බුදුසමය වැළඳගත් පසු වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සැමරීම ආරම්භ කළ බවත් පැවසෙයි.

 wesak1

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා

 

එහෙත්, ඒ සම්බන්ධ වැදගත් පසුබිම් කතාවක් ද තිබේ. ඒ වන විට කුරුඳු, රේන්ද බලපත්‍, මිනිරන්, ගැල් ප්‍රවාහන ආදී කටයුතු ආදිය මඟින් මහා විශාල ධන සම්භාරයක් එක් රැස් කර ගත් නව ධනේෂ්වර පැලැන්තියක් බිහි වී තිබූ මුත් එවක ප්‍රභූත්වයේ අසුන් ගත් මුල් පෙළේ දේශීය ප්‍රභූන් ගේ බලපෑමෙන් මෙම නව ධනේෂ්වර පැලැන්තියේ පොහොසත් කම් වලට සරිලන ප්‍රභූත්වයක් පිරිනැමීම ඉංග්‍රීසි ආණ්ඩුව මුල් කාලයේ දී මැලි වූ බවක් පැවසෙයි.

ඊට සමකාලීන හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් දියත් වූ බෞද්ධ පුනරුදයට සුවිසල් අනුග්‍රහයන් දැක්වීම තුළින් ඉංග්‍රීසි ආණ්ඩුවට තම බලය ශක්තිය පෙන්වීමට ඔවුන් උත්සාහ කළ අතර ඒ අනුව ගාල්ලේ සිට කොළඹ දක්වා වන නගර කිහිපයක ආගමික කටයුතු වලින් බැහැර වෙසක් උත්සව සැනකෙළි පදනම්කොට ගත් ජනරාශීන් පුබුදුවා ගැනීමට ඔවුනට හැකි වූ බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. ඒ ඕල්කට් තුමා හඳුන්වා දුන් බටහිර සංස්කෘතිකාංග වලට අමතරව සමකාලීන දේශීය සමාජ සංස්කෘතික සාධක පදනම්ව ය.

තොවිල් කියන්නේ ගැමියන් ගේ මෝඩ වැඩක් සේ සිතීමම මෝඩ කමක් | තිලක් සේනාසිංහ

 

සන්නි යකුම, දහඅට සන්නිය යනු ශ්‍රී ලංකාවේ පහතරට තොවිල් වර්ග හතරෙන් එකකි. අතිශය බලසම්පන්න ශාන්ති කර්මයක් ලෙස සැළකෙන මෙය නිශ්චිත ප්‍රජාවකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් උදෙසා කරන ශාන්ති කර්මයක් වශයෙන් හැඳින්විය හැක.

සන්නි යකුම තුළ ඇති සැරසිලි පිළිබඳව විමසීමේදී බෙන්තර, මාතර,රයිගම ආදී ලෙසින් එකි`නෙකට වෙනස් හා සමාන ලක්ෂණ දක්වා ලැබේ. සමකාලීන වෙසක් සැරසිලි වල සමාරම්භය සඳහා මෙම සැරසිලි මඟින් ලැබුණු පිටිවහල ද අපට අමතක කළ නොහැක. එමෙන්ම ඒ සඳහා ආලෝකය ලබා දුන් උස් රිටක් මත දල්වන ලද කාල පන්දම් ද දකුණේ හික්කඩුව සීනිගමට ගොඩ බට බව කියන දෙවොල් දෙවියන් මුල් කොට දෙවොල් පටුන ශාන්ති කර්මය සඳහා යොදා ගන්නා ලද්දකි. ඉන් දෙවොල් දෙවියන් ප්‍රමුඛ සත් කට්ටුව ලක්දිවට ගොඩ බැසීමට පැමිණි නැවේ කුඹ ගස ලෙස, කාලපන්දම සංකේතාත්මකව නිරූපණය වන බව පැවසෙයි. පසුව මෙය වෙසක් උත්සව ආලෝකමත් කිරීමට ද යොදා ගෙන තිබේ.

 පුවත් - Results from #8940

ශ්‍රී ලංකාවේ වෙසක් සැරසිලි

 

දහ අට සන්නි වීදිය යනු දහඅට සන්නිය ශාන්ති කර්මයක ඇති ප්‍රධාන සැරසිල්ල ය. දහ අට සන්නිය හා සම්බන්ධ පුරාණෝක්තියට අනුව මින් පුරාණ ඉන්දියාවේ නගරයක් නිරූපණය කෙරේ.

සන්නි වීදිය, සන්නි යකුම් වීදි මාලාව, සංඛපාල වීදිය, කපාල වීදිය ලෙසින් හඳුන්වන මෙය අයිල දහ අටක් සහිතව අතීතයේ නිර්මාණය විය. නමුත් වර්තමානයේ ප්‍රධාන වීදි තට්ටු පහක් හෝ තුනක් සහිතව සිදු කෙරේ. ලී කණු, පුවක් පටි ආධාරයෙන් සැකිල්ල සදාගන්නා අතර කෙසෙල් පතුරු, ගොප් කොළ වලින් අලංකාර කොට පුවක් අතු, බුරුල්ල අතු ආදිය ද එල්ලීම සහ ගැටගැසීම සිදු කරයි. නමුත් මෙහි කලාත්මක බව ද ඒ ඒ ප්‍රදේශබදව යම් යම් ආකාර වලින් වෙනස් වනු දැකිය හැක.

පිල්ලු වීදිය යනු දහ අට සන්නි මාතර සම්ප්‍රදාය තුළ දක්නට ලැබෙන සැරසිල්ලකි. සූනියම් දෙවියන් සම්බන්ධ වතාවත් සිදු කිරීමට මෙය නිර්මාණය කරනු ලබයි. කෝටු සහ පුවක් පටි ආධාරයෙන් තට්ටුව බැඳ ගොප් රැහැන්, ගොප් තෝඩු, පුවක් අතු ආදියෙන් සරසාගනු ලබයි. වෙසක් උත්සවය මුල් කොට දකුණු පළාතේ වෙසක් සැරසිලි කටයුතු වල දී මෙම දහඅටසන්නි වීදිය හා පිල්ලු වීදිය හැඩ ගැන්වීමේ කලාවන් ද උපයෝගී කර ගත් බව පෙනේ.

 තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන තොටළඟ තොරණ

ශ්‍රී ලංකාවේ වෙසක් සැරසිලි

 

එමෙන්ම වෙසක් සැරසිලි අතුරින් ප්‍රධාන තැනට පත් වන තොරණ හා කූඩු සමඟ ද මෙම ශාන්ති කර්ම අතර ඇති සබැඳියාව අප විශේෂයෙන් විමසා බැලිය යුතු ය. දහ අට සන්නි මාතර සම්ප්‍රදාය තුළ දක්නට ලැබෙන මෙය සන්නි නැටීමේදී භාවිතා වන දහ අටපාළි තොරණ ද මෙහි දී අප ගේ අවධානයට යොමු විය යුතුය. කෙසෙල් පතුරු, ගොප් කොල, කොල අතු මගින් සරසනු ලබයි. වැදි සන්නිය පිවිසීම සිදු වන්නේ ද මෙය තුළිනි.

පසුකාලීන වෙසක් තොරණ මෙහි විකාශනයක් නොවුව ද දකුණු පළාත් මුහුදු තීර‍යේ ජන මනැසට හුරු එය වෙසක් සමයේ දී අන්‍ය සවරූපයකින් එළි දැක්වීමක් ලෙස ද සිතීමට අපට පුළුවන. එමෙන්ම මෙම වෙසක් තොරණ වෙසක් සැරසිලි අතරට බොහෝ පසුකාලීනව එක් වූවකි. එය බොහෝ විට පහත රට විහාර චිත්‍ර සම්ප්‍රදායන් විවෘත සමාජයට දැක්වීමක් සේ පෙනේ.

මෙම වෙසක් සැරසිලි පිළිබඳව විමැසීමේ දී ශාන්ති කර්ම වල දක්නට ලැබෙන සන්නි කූඩුව කෙරෙහි ද අපගේ අවධානය යොමු විය යුතු ය.

hq720 2

 

සන්නි පිදේනිය, කපාල කූඩුව ලෙස හඳුන්වන මෙය ඝණකාභ හැඩයකින් යුතු ය. කොටු වලින් සැකිල්ල සාදා උඩම ඇති තට්ටුවේ සන්නි පිදේනිය නිර්මාණය කරන අතර ගොප් තෝඩු සහ බුරුල්ල අතු මගින් සරසනු ලැබේ. මධ්‍යයේ මෝල් ගසක් තබා බිම සිටුවා යකුන් එන විට මෙය කරකැවිය හැකි ආකරයට සකසන බැව් පැවසේ.

මාතර සම්ප්‍රදාය තුළ සුවඳ මල් අමාත්‍ය නැටුමට පෙර හෝ පන්දම් පාළිය නර්තනයේදී මෙම සන්නි කූඩුව දිෂ්ඨි කිරීම සිදුවේ.එම ප්‍රදේශ වල වැසියනට හුරු පුරුදු මෙය කැරකෙන වෙසක් කූඩුවේ මූල රූපය විය නොහැකි ද?

මෙම වෙසක් පහන් පිළිබඳව කරන විමසුම් වල දී සාම්ප්‍රදායික චීන ෂැන්ග්යුවාන් නම් සාම්ප්‍රදායික චීන පහන් කූඩු උත්සවය කෙරෙහි ද අප ගේ අවධානය යොමු කළ යුතු ය. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ පෙබරවාරි හෝ මාර්තු මුල වැටෙන එය සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සැමරුම්වල අවසාන දිනය සනිටුහන් කරයි. බටහිර හැන් රාජවංශය (ක්‍රි.පූ. 206–ක්‍රි.ව. 25) තරම් මුල් කාලයේ දී, එය ඉතා වැදගත්කමක් ඇති උත්සවයක් බවට පත් වූ මෙය අද දක්වාම අඛණ්ඩව පැවැත්වෙන්නකි.

අතීතයට සාපේක්ෂව වර්තමානයේ මෙම පහන් කූඩු සංකීර්ණ මෝස්තර වලින් අලංකාර කර ඇත. වාසනාව සංකේතවත් කිරීම සඳහා චීන පහන් කූඩු සෑම විටම පාහේ රතු පැහැයෙන් යුක්ත වේ. මෙය ද අප රටේ දකුණුකරයට යම් බලපෑමක් කරන ලදැයි අපට සිතෙනුයේ පෙරදිග හා බටහිර ලෝකය යා කරන සේද මාවත නම් නාවුක ගමන් මාර්ගය අප රටේ දකුණු මුහුදෙන් වැටී තිබීම නිසා ය. බේරුවල ද එහි වෙළඳ නැව් තොටක් වූ අතර අද ඒ ආශ්‍රිතව “චීන කොටුව” නම් ප්‍රදේශයක් තිබේ.

 wesak23

චීන පහන් කූඩු

 

මෙලෙස ශ්‍රී ලංකාවේ වෙසක් සිරි නම් වන සැණකෙළි ස්වරූපය සම්බන්ධයෙන් විමසා බලන විට වසර එකසිය පනහකට ආසන්න කාලයක් තිස්සේ අම්බලන්ගොඩ නගරය ද විශේෂයෙන් කැපී පෙනේ. ඉන් පෙර සිටම රූකඩ කලාව මුල් කොට ගත් “නිශා සංස්කෘතියක්” පැවතීම ඊට හේතුව බව පෙනේ. දිගු වේලාවක් නොනිවී දැල්වෙන කාල පන්දම් තැනීමට ද අම්බලන්ගොඩ වැසියන් මහත් දක්ෂයන් වූ බවට ද සාක්ෂි තිබේ.

1870 වසරේ එඩින්බරෝ ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු ශ්‍රී ලංකාවට පැමිණ අම්බලන්ගොඩ රූකඩ බලා කොතරම් සතුටට පත් වීද යත් එම ශිල්පීන්ට රුපියල් පන්සියයක මුදලක් (වර්තමාන වටිනාකමට අනුව රුපියල් මිලියන ගණනක්) ප්‍රදානය කළ පුවත එම ප්‍රදේශයේ ප්‍රකට වී තිබේ. එවක ඔවුන් තුළ පැවැති ඒ ජනප්‍රිය සංස්කෘතිකාංගය වෙසක් සිරිය එළිදැක්වීම පිණිස ද සාධනීය ලෙස යොදා ගන්නට ඇති බව පැහැදිලි ය.

වෙසක් යනු එක්තරා ආලෝක මංගල්‍යයකි. එය බුදු ගේ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේ එන “ආලෝකේ උදපාදි “යන්න සංකේතනය කරන්නකි. පහන් වැට ( දීප + ආවලී) යන අරුත සහිත දීපාවලී හින්දු ආගමික උත්සවය ද මීට සමාන ය.

මෙම උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පවතින අතර හින්දු චන්ද්‍ර සූර්ය මාසය වන ඔක්තෝබර් මැද සහ නොවැම්බර් මැද අතර එළඹෙන කාර්තික මාසය තුළ සමරනු ලැබේ. හින්දු ආගමේ වඩාත් ජනප්‍රිය උත්සවයක් වන දීපාවලී උත්සවය “අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම” සංකේතවත් කරන්නකි.

 wesak21

චීන පහන් කූඩු

 

ලක් ඉතිහාසයෙන් උකහා ගත හැකි ආලෝක උත්සව අතර ‘ගිරිභණ්ඩ පූජා’ නම් වූ ආගමික සැණකෙළිය මුල් තැනක් ගනී. ගිරිභණ්ඩ = ගිරි+භණ්ඩ; ගිරි = කන්ද + භණ්ඩ = භාණ්ඩ (ද්‍රව්‍ය). යනු මෙහි අරුතයි. එබැවින් මෙය නොයෙක් ආකාරයේ මහත්, කුඩා, අනුකුඩා අවශ්‍ය දානමය වසතූන් විශාල ප්‍රමාණයක් ( = “කන්දක්” ) පූජා කිරීමේ විචිත්‍රවත් මහා පූජෝත්සවයකි. මහාවංශයේ තිස්හතර වන පරිච්ඡේදයේ 75-84 අතර ගාථාවලින් මෙහි රමණීයත්වය මනාසේ විස්තර වෙයි. මහාවංශයෙහි එන ඉහත සඳහන් විස්තරය අනුව අනුරාධපුරයේ කළ මහා දාඨික මහා නාග හෙවත් මහදැලියා රජු (ක්‍රි.ව.9-12) විසින් මිහින්තලයේ සෑගිරිය කේන්ද්‍ර කොට ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වූ බව පෙනේ.

වංශ කතා විස්තරයට අනුව මේ සඳහා සුවිසල් සැණකෙළි කලාපයක් ද සකසා තිබිණ. එහි වපසරිය සෑගිරිය අවට යොදුනකි. ඒ සඳහා දොරටු සතරක් යොදා තිබිණ. එම සැණකෙළි කලාපයේ වීදි ධජ පතාක ආදියෙන් මනාව සරසා පහනින් ආලෝකමත් කර ඇතැයි පැවැසේ. එමෙන්ම කොළොම් ඔයේ (මල්වතුඔය) සිට සෑගිරිය තෙක් මාර්ගය පියැවිලි ද අතුරා තිබිණ. තව ද මෙම සැණකෙළිය නැටුම්, ගැයුම්, වැයුම්වලින් අලංකාර වී තිබිණ. නගරයේ සතර දොරටුවලම දන්සල් ය. එමෙන් ම මෙහි ඇති විශේෂත්වය වී ඇත්තේ මෙම සැණකෙළිය මුල් කොට ගනිමින් මුළු රටේම පමණක් නොව මුහුදේ යොදුනක් දක්වා ද පහන් දල්වා තිබීම ය.

oopsdf
ඒ අනුව මෙවැනි වෙනත් දැවැන්ත සැණකෙළියක් පිළිබඳව ලක් ඉතිහාසයේ අන් කිසිදු තැනකින් වාර්තා නොවූ බව අප ගේ වැටහීම ය.ඒ අනුව මෙම “වෙසක් බැලීම” නූතනයට පමණක් සීමා වන්නක් නොවන බව පෙනේ.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව | තිලක් සේනාසිංහ | The Leader