The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මේක ඩොලර් නිසා පිස්සු වැටුණු ආණ්ඩුවක්' | මන්නාරම ගොවි ජනයා මැයි රැළිය

T

The Leader Desk

May 12, 2025 • 5:27 AM

'මේක ඩොලර් නිසා පිස්සු වැටුණු  ආණ්ඩුවක්' | මන්නාරම ගොවි ජනයා මැයි රැළිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය මෙවර මන්නාරමේ දී පැවැත්වුනේ දෙවනවරටය.
  • “සූරාකෑමට, පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, කිරිගොවීන්ට අමතරව ධීවරයන්, වතු කම්කරුවන් හා ආදී වාසින් ද එක්ව සිටියේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල් කරුවන් ලෙසය.
  • "මන්නාරම කියන්නේ කිලෝමීටර් 4ක් පළල, කිලෝමීටර් 30ක් දිග ඉතා කුඩා දූපතක්.
  • ඒත් ඉන්දීය ට්‍රොල්ර් හින්දා නිසා අද වෙනකොට මුහුදු රස්සාව කරගන්න බැහැ." රැස්ව සිටී ගොවි-ධීවර ජනයා ඇමතූ මන්නාරම ධීවර සංගමයේ ප්‍රධාන ලේකම් මොහොමඩ් හලිම් පැවසුවේ මෑතකදී අත්සන් කෙරුණු ඉන්දු - ලංකා ගිවිසුම් ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් වසරේ ඇඹිලිපිටියෙන් ඇරඹි ගොවි මැයි දිනය මෙවර මන්නාරමේ දී පැවැත්වුනේ දෙවනවරටය. “සූරාකෑමට, පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩනගමු” තේමාව ඔස්සේ ගොවීන්, කිරිගොවීන්ට අමතරව ධීවරයන්, වතු කම්කරුවන් හා ආදී වාසින් ද එක්ව සිටියේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ හවුල් කරුවන් ලෙසය.

"ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරීත්වය" හා සෙසු ගොවි සංවිධාන මෙය සංවිධානයට දායකත්වය සපයා තිබිණි.

ගොවි ඉල්ලීම් 30 ක්

Walk 1
උතුරු -නැගෙනහිර ජනයාගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින වගා බිම් ඇතුළු ඉඩම් ඔවුන් වෙත යළි ලබා දීම, සංවර්ධනයේ නාමයෙන් ගොවීන් ඇතුළු සුළුපරිමාන නිෂ්පාදකයන්ගේ ඉඩම් උදුරා ගැනීමේ සැලසුම් අත්හිටුවීම, මලෛයහ දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම, ජලය, බීජ ඇතුළු ස්වභාවික සම්පත් කොල්ලය නතර කිරීම, ලෝක බැංකු හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම් පිටුදැකීම, ගැමි ස්ත්‍රීන් පීඩාවට පත් කරන ක්ෂුද්‍ර මුල්‍ය ණය අහෝසි කිරීම, ජාතික ප්‍රශ්නයට දේශාපලන විසදුමක් ලබා දීම ඇතුළු ඉල්ලීම් 30 ක් ගොවි -මැයි දින ප්‍රකාශණය මගින් එලිදක්වා තිබේ.

"මන්නාරම කියන්නේ කිලෝමීටර් 4ක් පළල, කිලෝමීටර්  30ක් දිග ඉතා කුඩා දූපතක්. එක් පැත්තකින් මුහුද සූරාකනවා, අනිත් පැත්තෙන් ඉඩම් සූරාකනවා, අනිත් අතට සුළඟත් සූරාකන්න හදනවා. මේ හින්දා සම්පත් සූරාකෑම අතින් මන්නාරම කියන්නේ ප්‍රධාන තැනක්. මේ නිසා පළාතේ ජනතාවට ජීවනෝපාය අහිමිවෙලා තියෙන්නේ. ධීවර කර්මාන්තයෙන් යැපෙන පනස්දාහක් විතර මන්නාරමේ ඉන්නවා. ඒත්  ඉන්දීය ට්‍රොල්ර් හින්දා නිසා අද වෙනකොට මුහුදු රස්සාව කරගන්න බැහැ." රැස්ව සිටී ගොවි-ධීවර ජනයා ඇමතූ මන්නාරම ධීවර සංගමයේ ප්‍රධාන ලේකම් මොහොමඩ් හලිම් පැවසුවේ මෑතකදී අත්සන් කෙරුණු ඉන්දු - ලංකා ගිවිසුම් ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතු බවය.

"ඒ ගහපු ගිවිසුම් වල අපේ මත්ස්‍ය සම්පත් ගැන මෙනවා හරි තිබුනද කියලා අපි දන්නේ නෑ. අපි ආන්ඩුවට කියනවා ඒ ගහපු ගිවිසුම් වල තියෙන්නෙ මෙනවාද කියලා රටට කියන්න කියලා. මේ ආණ්ඩුව ගෙනාවේ ජනතාව. මේ අණ්ඩුවත් යන්නේ අර පරණ ආණ්ඩු ගිය පාරේ නම් ඊළඟට මේ ආණ්ඩුව පෙරළන්නත් අපිට පුළුවන්."


නැගෙනහිර පළාතේ ගොවීන් මුහුණ දෙන බරපතලම අර්බුදය ඉඩම් ගැටලුවයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබන්නටත් පෙර සිටම විවිධ සංවර්ධන යෝජනා ක්‍රම වලදී වගා බිම් අත්පත් කර ගැනිණි. ගල්ඔය, ඇල්ළ - කන්තලේ ජනපදකරණය, හිඟුරාන සීනී කර්මාන්තය, මහවැලි යෝජනා ක්‍රමය වැනි ව්‍යාපෘති මගින් ඉඩම් අහිමිවුවෝ බොහෝය. අද දවසේ එය ක්‍රියාත්මක වන්නේ වෙනත් මුහුණු වරකිනි.

"මේ ඉඩම් මංකොල්ලය. පූජා භූමි හැටියටත්, ඒ වගේම භූ විද්‍යා පරීක්ෂණ හැටියටත්, තවත් සමහර විට වන ජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම්  මේ වගේ විවිධ දේවල් වලට  මුවාවෙළා තමයි අද නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් මංකොල්ලය සිදුකරන්නේ. මඩකලපුවේ -මයිලත්තමඩු සහ අම්පාරේ වට්ටමඩු වල ගව පාලනය කරන කිරි ගොවීන් විශාල වශයෙන් ඉන්නවා. ඔවුන්ගේ ගවයින්ට ආහාර සපයන තෘණ භූමි ටික මේ වෙනකොට මංකොල්ල කමින් තිබෙනවා. ඔවුන් දැන් වසර ඒකහමාරකට වැඩ කාලයක් අරගලවල නිරත වෙමින් ඉන්නවා." යැයි නැගෙනහිර පළාත් ජනතා සැලසුම් සංසදය වෙනුවෙන් කේ රාසලිංගම් අවධාරණය කළේය.

වනයෙන් පිටමං කළ ආදිවාසියෝ

Sudawanniayalaththo
විශේෂයෙන්ම නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත් වලට බෙදුණු පැරණි වැදී රට ආදී වාසි ප්‍රජාවට සිය වාසභුමි අහිමිවන්නේ, මෙවැනි සංවර්ධන යෝජනා ක්‍රම මගින්ය. ඒ ගැන ගොවි මැයි රැළියට එක්වූ  රතුගල ආදිවාසී නායක සූදා වන්නිලෑත්තෝ මෙසේ සිහිපත් කළේය;

"මේ රටේ මුල් පරම්පරාවේ අයිතිකාරයෝ විදහට කැලේ ආරක්ෂා කලේ අපි. නමුත් ගල්ඔය -ඉඟිනියාගල සංවර්ධන ව්‍යාපෘතිය නිසා අපි කැලෙන් එලියට දැම්මා. අපි  දඩයමින් තමයි ජීවත්වුනේ. ගොවිතැන අපිට හුරු නැහැ. දැන් අපිට අපේ ජීවිකාව විතරක් නෙවෙයි සංස්කෘතිය මේ හැම එකක්ම නැතිවෙලා."

1818 ඌව වෙල්ලස්සේදී යටත්විජිත බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව කැරලි ගසන්නට එක්වූ ආදීවාසි ජනයාට එරෙහිව මුලින්ම මර්දනය දියත්වන්නේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා යටතේය. පසුව `නිදහසේ පියා` ලෙස සැලකෙන එක්සත් ජාතික පක්‍ෂ නිර්මාතෘ, නිදහස් ලංකාවේ පළමු අගමැති  ඩී.එස්. සේනානායකය ඇරඹි ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයෙන් සිය වාසභූමි අහිමිවිය. එසේ අවතැන් වූ ඔවුන්ට දඩයම අත්හැර ගොවිතැනට හුරුවීමට වඩාත් බලපෑම් කෙරුනේ කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හරහාය. බහුජාතික සමාගම්, ධනපති ව්‍යාපාරිකයන් ඔවුන් වෙසෙන ගම් බිම් උදුරා ගැනීමට කෙරෙන උත්සහයන් අදත් ආදිවාසි ජනයා විසින් ඔවුන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් පරාජය කරමින් සිටිති.

රටේ ඇතිව තිබෙන දේශපාලන වෙනස, පිඩිත ජනතාව අපේක්‍ෂා කළ වෙනස ද යන්න සිතා බැලිය යුතු බවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ උතුරු පළාත් සම්බන්ධිකාරක තේවන් ක්‍රිෂ්ණන්, ගොවි ජනයා හමුවේ අවධාරණය  කළේය.

"මේ රටේ සාමය, සමානාත්මතාව වගේ  අදහස් දේශපාලකයෝ කිව්වා. ඒත් අවසානයේ මුල්ලිවෛක්කාලවලදී දෙමළ ජනයා විශාල පිරිසක් මියගියා. ඒ වගේ  තත්වයක් තුළ අපි මතක් කළ යුතුයි, දැනට තියෙන මේ දේශපාලන වාතාවරණය තුළ කතාවට විතරක්  ජනතාවගේ අයිතිවාසිකම් සුරකින, තමන්ගේ දේශපාලන පටු අදහස් සාර්ථක කර ගන්න, සම්පත් මංකොල්ලකෑම් කරන්න  පුළුවන් බව අපිට පේනවා. ඒක උතුරද, දකුණද, නැගෙනහිරද අදාල නෑ. අපි සියලු දෙනා ඒකමුතුව ඒ ගැටළු වෙනුවෙන් සහෝදරත්වයෙන් එක්වීය යුතුයි."

"මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් සුළං විදුලි බලාගාර දැන් ක්‍රියාත්මක වෙනවා. මේවායෙන් අවසානයේ බලවත් පීඩාවට පත්වන්නේ ගොවියයි." සියලු දෙනා එක්ව මේ තත්වය පරාජය කරන්නට සියලු දෙනාට එක්වන්නැයි ද ඔහු ඇරයුම් කළේය.

ගෝලීය ඉඩම් කොල්ලය

ලෝක බලවතුන්ගේ නිදහස් වෙළඳ ගිවිසුම් හේතුවෙන් වින්දිතයන් බවට පත්ව ඇත්තේ ලොව පුරා වෙසෙන ආහාර නිෂ්පාදකයන්ය. ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ තීරු බදූ ප්‍රතිපත්තියත් සමගින් අපනයන මත ආර්ථිකය රඳවා ගැනීම අවදානම් බව මනාව පෙන්නුම් කර තිබේ.

Vimukthi de Silva
"වත්මන් ආණ්ඩුව පවා අපට කියන්නේ අපට කන්න වවන්න නෙවෙයි. රට පටවන්න වවන්න කියලා. මේක ඩොලර් නිසා පිස්සු හැදිලා ඉන්න ආණ්ඩුවක්. අනික් අතට මේ වෙන කොට ලෝක බලවතුන් විසින් බරපතළ ආකාරයේ ඉඩම් මංකොල්ල සිදු කරමින් ඉන්නේ. ඔවුන් ලෝකය පුරා යුද්ධ ඇති කරමින් ඉඩම් මංකොල්ල කමින් සිටිනවා. පලස්තීනයේ හයිටියේ, ඊජිප්තුවේ අද සිදු වෙමින් තියෙන්නේ මේක. ආහාර නිෂ්පාදකයාට තමයි මහ පොළොව අයිති. ඒ අයිතිය උදුරා ගන්න කිසිවකුට බෑ." යැයි  දකුණු ආසියානු ගැමි ගොවි සංවිධානයේ කැඳවුම්කාරිනී විමුක්ති ද සිල්වා පෙන්වා දුන්නාය.

"ස්වාභාවික සම්පත් බලවතුන්ට අවශ්‍ය විදිහට සංවර්ධනයට මුවා වෙලා පැහැර ගන්න ඉඩ දෙන්න බෑ. මේ නිසා අපට වෙන් වෙන්ව නොවෙයි ගෝලීය වශයෙන් සංවිධානය වෙලා අරගල කිරීම අත්‍යවශයයි." ඇය කීවාය

මේ අතර ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් 2025 මාර්තු 28 වැනිදා නිකුත් කළ අංක 2430 දරණ ගැසට් පත්‍රය මගින් උතුරේ ඉඩම් අක්කර 5941 ක තෙමසක් තුළ හිමිකම තහවුරු නොකළහොත් රාජ්‍ය සන්තක කරන බවට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබිණි. මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1703ක්, යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 3669ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 515ක්  හා  මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර  54 ක් වශයෙන්  අක්කර 5941 කි. මෙසේ පෞද්ගලික ඉඩම් පවරාගැනීම සඳහා රජය විසින් යොදා ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත ය.

මේ ඉඩම් බොහොමයක් ප්‍රදේශයේ ජනයාගේ වගා බිම්ය. යුද්ධයෙන් උන් හිටි තැන් අහිමිවූ  බොහෝ දෙනා විදේශයන්හි දිවි ගෙවති. ඇතැම් අය සතුව තිබු ඔප්පු තිරප්පු යුද ගැටුම් මැද අස්ථාන ගතවී හෝ විනාශ වී ඇත.

"අනාගත පරපුරට මන්දපෝෂණය"

Terance Gamini
මෙම ක්‍රියාවලියට  එරෙහිව සටන් කිරීමට නම් සියලු බලවේග ඒකරාශි විය යුතුය. ඒ අරමුණු පෙරදැරි කරගනිමින් ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරිත්වයක් ගොඩ නගන්න පියවර තැබු බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපති මෙන්ම, ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වූ  ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු, ටෙරන්ස් ගාමිණි ද සිල්වා මැයි දින රැළිය අමතා පැවසීය.

"අපි ගොවිතැන් කලේ බඩගින්න නැතිකරගන්න. දැන් වෙලා තියෙන්නේ ලාභ ලබන්න ගොවිතැන් කරන්න. ලාභ ලබන්න අස්වැන්න වැඩියෙන් ගන්න ඕනේ. ඒ නිසා ජාන විකෘති කරපු බීජ දාලා, රසායනික පොහොර දාලා, යන්ත්‍ර සූත්‍ර දාලා දැන ගොවියා ව්‍යාවසායකයෙක් කරලා තියෙන්නේ. එහෙම අස්වැන්න වැඩිවුනා කියලා ගොවියාගේ බඩගින්න නිවාගන්න බැරිවෙලා තියෙනවා. පාරිභෝගිකයාට අඩු මිලට කන්න ලැබිලත් නෑ."

"මෙහෙම ගියාම වෙන්නේ අපේ අනාගත පරම්පරාවට මන්දපෝෂණය හැදෙන එක. ඒත් බයවෙන්න එපා මන්දපෝෂනය හැදුනා කියලා ආණ්ඩු අපිට මැරෙන්න දෙන්නේ නෑ. එයාල සහනාධාර දෙනවා. පාලකයෝ ලැජ්ජ නැතුව කියනවා සහනාධාර වැඩිකළා කියලා. සහනාධාර වලින් ගොඩ ගිය රටක් නෑ. නව ලිබරල් කියන්නේ අපෙන්  උදුරාගෙන උන් පෝසත් වෙන සිස්ටම් එකට."

 

Chinthaka Rajapaksha
ප්‍රශ්න රැසකින් පීඩාවට පත්ව සිටින ආහාර නිෂ්පාදකයන්ට  ජාතික ගොවි ව්‍යාපාරයක් වෙනුවෙන් පෙළ ගැසෙන්නට බල කෙරෙන බවට ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වයේ සම කැඳවුම්කරු චින්තක රාජපක්ෂ අවධාරණය කළේය.

"ඔවුන් කල්පනා කරන්නේ හෙට වගාව අලින්ගෙන් බේරගන්නේ කොහොමද ඉඩම බේර ගන්නේ කෙහෙමද?, අපේ වැව් ටික බේරගන්නේ කොහොමද ? අපේ මුහුදේ චීන, ඉන්දියානු ධිවරයෝ ඇවිල්ලා මාළු ටික ගෙනියනකොට විරැද්ධ  වෙන්නේ කෙහෙම ද ? කියන ප්‍රශ්න වලට තමයි ඔවුන් උත්තර හොයමින් ඉන්නේ. මේ සියල්ලට තනි තනිව උත්තර හොයන්න අමාරුයි. අපි ඔක්කොම එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් වැළඳගත්තොත් විතරයි අපිට මේ ප්‍රශ්න වලට සටන් කරලා උත්තර හොයන්න පුළුවන්."

ගොවියෝ තම ඉල්ලීම් ඇතුලත් ප්‍රකාශණයක් මන්නාරමේ දී ඉදිරිපත් කරද්දී ආණ්ඩුවේ මැයි දින රැලිය පැවති ගාලු මුවදොර වේදිකාවට පිවිසි ජනාධිපතිවරයා කම්කරුවන්ට කියා සිටියේ වෘත්තීය ක්‍රියා මාර්ග නවතා වෙනත් ආකාරයකින් සිතන ලෙසය.

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස්  මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com

[මෙම ලිපිය ''මාස තුනකින් අයිතිය නොපෙන්නුවොත් ඉඩම් අක්කර 5941 ක් රජයට ගනී'' නමින් 'අනිද්දා සතිඅන්ත' පුවත් පතේ පළ වුවකි]


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...