The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'වෙසක් විනෝදය' නරක දෙයක් නොවේ | තිලක් සේනාසිංහ

T

The Leader Desk

May 12, 2025 • 8:40 AM

'වෙසක් විනෝදය' නරක දෙයක් නොවේ | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙසක් උත්සවය යනු එහි මූලික තේමාවට අනුව ආධ්‍යාත්මික හා සදාචාරාත්මක අංග ප්‍රවර්ධනය කරමින් ප්‍රතිපත්ති ගරුකව සැමරිය යුතු උත්සවයක් මිස බහු විධ සංස්කෘතිකාංග ආටෝපයන් ගෙන් යුතු නිසරු විනෝදය පදනම් කර ගත් හරසුන් සැනකෙළියක් නොවිය යුතු බව ය.
  • හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා එමෙන්ම ඉතා පැහැදිලිව හා ප්‍රබල ඓතිහාසික පදනමකින් යුතු මෙම වෙසක් උළෙල තුළට විනෝදාත්මක සැනකෙළි ස්වරූපයක් ආරෝපණය වන ලද්දේ 1880 වසරේ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නූතන බෞද්ධාගමික පුනරුදයත් සමඟ බවට මත පළ කරන්නෝ ද වෙති.
  • ඔවුන් ගෙන් සමහරකු පෙන්වා දෙන පරිදි වෙසක් උළෙල සඳහා ගත වූ කාලයේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙසක් සුබ පැතුම් පත් සහ වෙසක් භක්ති ගී ඇතුළු විනෝදාංග නත්තල මුල් කොට ගත් බටහිර කිතුණු සංස්කෘතික ආභාෂයෙන් මෙරට ජන සමාජය තුළට පිවිසි ඒවා ය.
  • ඒ අතර වෙසක් උළෙල හා සබැඳි මෙම විනෝදාත්මක පක්ෂය ප්‍රකාශ කෙරෙන මීට දශක කිහිපයකට පෙර අප සමාජයේ අතිශය ප්‍රචලිත වූ “ප්‍රීති වෙසක්” නමින් අකුරින් අකුර සඳහන් බෞද්ධ කොඩියේ පාට පහෙන් යුතු බකට් පහන් කට්ටලය මෙරට සෑම වැඩිහිටියකු ගේම මතකයෙන් බැහැර වීමට ඉඩක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙසක් උත්සවය යනු එහි මූලික තේමාවට අනුව ආධ්‍යාත්මික හා සදාචාරාත්මක අංග ප්‍රවර්ධනය කරමින් ප්‍රතිපත්ති ගරුකව සැමරිය යුතු උත්සවයක් මිස බහු විධ සංස්කෘතිකාංග ආටෝපයන් ගෙන් යුතු නිසරු විනෝදය පදනම් කර ගත් හරසුන් සැනකෙළියක් නොවිය යුතු බව ය.

 

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා

 

එමෙන්ම ඉතා පැහැදිලිව හා ප්‍රබල ඓතිහාසික පදනමකින් යුතු මෙම වෙසක් උළෙල තුළට විනෝදාත්මක සැනකෙළි ස්වරූපයක් ආරෝපණය වන ලද්දේ 1880 වසරේ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නූතන බෞද්ධාගමික පුනරුදයත් සමඟ බවට මත පළ කරන්නෝ ද වෙති.

හුදෙක් ජාතිකත්වය මත පිහිටා අන් බොහෝ වටිනා දේ නොතකා හරින්නෝ ද ඒ අතර වෙති.

ඔවුන් ගෙන් සමහරකු පෙන්වා දෙන පරිදි වෙසක් උළෙල සඳහා ගත වූ කාලයේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙසක් සුබ පැතුම් පත් සහ වෙසක් භක්ති ගී ඇතුළු විනෝදාංග නත්තල මුල් කොට ගත් බටහිර කිතුණු සංස්කෘතික ආභාෂයෙන් මෙරට ජන සමාජය තුළට පිවිසි ඒවා ය. ඒ අතර වෙසක් උළෙල හා සබැඳි මෙම විනෝදාත්මක පක්ෂය ප්‍රකාශ කෙරෙන මීට දශක කිහිපයකට පෙර අප සමාජයේ අතිශය ප්‍රචලිත වූ “ප්‍රීති වෙසක්” නමින් අකුරින් අකුර සඳහන් බෞද්ධ කොඩියේ පාට පහෙන් යුතු බකට් පහන් කට්ටලය මෙරට සෑම වැඩිහිටියකු ගේම මතකයෙන් බැහැර වීමට ඉඩක් නැත.

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)

 

ඒ අනුව වෙසක් උත්සවය මුල් කොට සමාජයක් වශයෙන් දැහැමි හා සදාචාරාත්මක සීමාවන් තුළ විනෝදයක් අත් විඳීමේ ඇති වරද කුමක්ද? යන්න සෑහෙන කලෙක සිට අපගේ සිත තුළට පිවිස ඇති ගැටළුවකි. ඒ සම්බන්ධයෙන් මූලිකව පැවැසිය යුත්තේ භික්ෂු විනය ප්‍රඥප්තිය මගින් භික්ෂුන්ට මිස බුදු දහමින් ගිහි සමාජය විසින් අත් විඳිනු ලබන දැහැමි සතුට විනෝදයට බාධා නොමැති බවකි.

වෙසක් උළෙල යන උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම යන බුද්ධ චරිත හා සම්බන්ධ අසිරිමත් සංසිද්ධීන් තුන පදනම් වන්නකි. ඒ අතුරින් බෝසත් වරයකු මව් කුස පිළිසිඳ ගැනීම මුල් කොට සිදුවන ආශ්චර්යයන් තිස් දෙකක් පිළිබඳව ජාතකකට්ඨ කතා සහ අපදානට්ඨ කතා වල සඳහන් වේ. මුලු මහත් ලෝකයට පරම සන්තුට්ඨියක් දනවන එම ආශ්චර්යමත් සිදුවීම් තිස් දෙක මෙලෙසිනි.

 


“දස දහසක් සක්වල ආලෝකය පැතිරීම, ද්‍රශ්‍යාබාධිතයනට පෙනීම ලැබීම, ශ්‍රව්‍යාබාධිතයනට ශබ්ද ඇසීම, කථනාබාධිතයන් කතා කිරීම, කුදු වූවන්ට සෘජු සිරුරු ලැබීම, කොරුන් පා වලින් ම ඇවිදීම, බන්ධනගත වූවන් එයින් මිදීම, සියලු නරකවල ගිනි නිවී යාම, ප්‍රේත විෂයෙහි සාප වස් නැතිවීම, තිරිසනුන්ගේ බිය දුරු වීම , සියලු සත්වයන්ගේ රෝග සුව වීම, සියලු සත්වයන් ප්‍රිය වදන් බිණීම, අශ්වයන් මිහිරි හඬින් හේශාරාව කිරීම, ඇතුන් කුංච නාද කිරීම, සියලු තූර්ය භාණ්ඩ ඉබේටම වාදනය වීම, මිනිසුන් පැළඳි ආභරණ නාද වීම, සියලු දිසා ප්‍රසන්න වීම, සිහිල් සුළං හැමීම, අකල් වැසි වැසීම, පොළොවෙන් ජලධාරා පහළවීම, පක්ෂීන් අහස් ගමන් අත ඇරීම, ගංගා නොගලා සිටීම, මහ මුහුද මිහිරි රසැති ජලයෙන් යුක්තවීම, හැම තැනම පස්පියුමෙන් සැදුම්ලත් විල් හට ගැනීම, ගොඩ දිය සියලු මල් පිපීම, ගස්වැල් මලින් බරවීම, ගල් තලා බිඳ ගෙන විල් හටගැනීම, අහසෙහි එල්ලෙන මල් හටගැනීම, හැමතැනම මල්වැසි වැසීම, අහසෙහි දිව්‍යමය තූර්ය පහළ වීම, මුලු ලෝකය එකම මල් යායක්ව සුවඳවත්වීම”

මූලික බුදු සමය හා නොසැසඳෙන නමුදු බෞද්ධ සාහිත්‍ය විචිත්‍රවත් කළ ඉහත සඳහන් අසිරිමත් සිදුවීම් තිස් දෙක වෙසක් උත්සව සංකල්පයෙන් කිසි සේත් බැහැර නොකළ යුතු සේම ඒවා මුල්කොට සාමාන්‍ය ජනතාව තම සතුට, සොම්නස හා සහනශීලීත්වය විවිධාකාරයෙන් එළිදැක්වීමේ කිසිදු දොසක් නොමැති බව අපගේ වැටහීම ය.

 

බෞද්ධයෙක් නම් නිරාගමිකයි - (චින්තන ධර්මදාස)
එමෙන්ම බුදු උපත පදනම් කර ගත් මෙම පරමෝත්කෘෂ්ඨ බව දෙව් ලොව තෙක් පැතිර යාම සම්බන්ධ රසාලිප්ත පුවතක් දහතුන් වන සියවසේ රචිත පූජාවලියේ මෙලෙස සඳහන් ව තිබේ.

“එදා මෙසේ බුදුන්ගේ උත්පත්ති ශ්‍රී දුටුවා වූ දේවතාවෝ “කිඹුල්වත් නුවර ශූද්ධොදන රජහුගේ පුත්රුවනෙක් උපණ, ඒ උත්තමයා බෝමැඩ හරා බුදු ව ධම්සක් පතුරුව යි. ඔහුගේ බුද්ධ ශ්‍රී බලම්භ”යි කිය කියා තවුතිසා දිව්‍ය ලොකයෙහි දෙවියෝ අත්වැල් බැඳ නට නටා ගී කිය කියා නඳුන් උයන් ආදියෙහි ඇවිද මහත් වූ උත්සවයෙන් නෙයියාඩම් කෙළනාහු ය” ( පූජාවලිය කිරිඇල්ලේ ඥනවිමල සංස්කරණය එම්.ඩී ගුණසේන 1986 )මෙම නෙයියාඩම් යන්න සුමංගල ශබ්ද කෝෂයේ අර්ථ ගන්වා ඇත්තේ විහිළු සෙල්ලම් යනුවෙනි.

මහා වංශය ඇතුළු අප රටේ ඉතිහාසය හා සම්බන්ධ ප්‍රමුඛතම මූලාශ්‍රවලට අනුව අප රටේ වෙසක් උත්සව සම්ප්‍රදායේ නිර්මාතෘත්වය තුන් හෙළයේ අසම සම නරපතියා වශයෙන් ජන සම්මත දුටුගැමුණු රජතුමන් (ක්‍රි.පූ.161-137) දුටුගැමුණු රජතුමන් හට හිමි වෙයි. දුටුගැමුණු රජතුමන් තම රාජ්‍ය කාලය තුළ සෑම වසරකම එනම් වසර විසි හතර පුරාම වෙසක් පූජා පැවැත්වූ බව වංශකතාවන් හි සඳහන් වේ.

image e9b29e8c01

 

ඉන්පසුව වසභ (ක්‍රි.ව. 62-108 ) වෝහාර තිස්ස (ක්‍රි.ව. 218-337) ගෝඨාභය (ක්‍රි.ව. 253-266) ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 832-340) දෙවන මුගලන් (ක්‍රි.ව. 608-614) යන නරපතියන් ද විශේෂිත වෙසක් පූජා පැවැත්වූ බව මහා වංශය සඳහන් කරයි.

එහෙත් ක්‍රි.ව. 868-901 තෙක් අනුරාධපුරයේ රජ කළ දෙවන සේන රජතුමා විසින් පවත්වන ලද වෙසක් උළෙල මහා වංශයේ වෙසාඛකීළං ලෙස හඳුන්වා දීම විශේෂයෙන් අවධාරණය කළ යුත්තකි. පාලි මහා වංශයේ49 වන පරිච්ඡේදයේ එය මෙසේ සඳහන් වේ.

”වෙසාඛකීළං කීළිත්‍ථ සදධිං දුගගතකෙහි සො උනනපාතඤච වතථඤව තෙසං දතථා යථාරුවිං”(පාලි මහා වංශය බුද්ධදත්ත සංස්කරණය එම් .ඩී ගුණසේන 1959) මෙම වෙසාඛ කීළං කීළිත්‍ථ යන්න මහා වංශ සිංහල පරිවර්තනයන් හි “වෙසක් කෙළි කෙළි කෙළ” ලෙස දක්වා තිබේ.

 

ස්වර්ණමාලි මහා සෑයට නම දුන්නු මහා ස්ත්‍රිය ? දුටුගැමුණු රජුගේ සැඟවුන රහස !

ඒ දක්වා හෙළ නරපතියන් ගේ වෙසක් සැමරුම් “මහා වෙසාඛ පූජංඤ” යනුවෙන් හඳුන්වා ඇති මහා වංශය පසුව එය වෙසාඛ කීළං (වෙසක් කෙළී) ලෙස නම් කොට ඇත්තේ එහි විනෝදාස්වාද පක්ෂය ප්‍රවර්ධනය වූ නිසා බව අප ගේ වැටහීම ය.

ඉහත සඳහන් කීළං හෙවත් කෙළි යන්න සිංහලයට නැංවීමේ දී එය ‘ක්‍රීඩා’ ලෙසින් අර්ථ දැක්විය හැක. එහෙත්, මෙම ක්‍රීඩා යන්න හුදෙක් කෙළි යන්නට වඩා පුළුල් අරුතක් පළ කරන්නකි. කෙළි‐සෙල්ලම් යන යුගල පදයෙන් එය වඩාත් පැහැදිලි වනු ඇත. ඉංග්‍රීසි බසින් ක්‍රීඩා හැඳින්වීම පිණිස Sports Games Plays යන වදන් යෙදෙයි. එහෙත්, ඉහත සඳහන් කෙළි යන්නට වඩාත් සැසඳෙන ඉංග්‍රීසි වදන Plays. යන්න බව අපගේ වැටහීම ය. ඒ එය ගායනය, වාදනය සහ රංගනය ආදිය සඳහා ද යෙදෙන බැවිනි. ක්‍රි. ව. දහවන සියවසේ ලියැවුණු දම්පියා ගැටපදයේ දොලොස් වන සියවසේ ලියැවුණු අමාවතුර ග්‍රන්ථයේ “කෙළි” යන වදන ඉදිරිපත් කොට ඇත්තේ විහිළුව යන අරුතින් වීම ද විශේෂත්වයකි.

ඒ අනුව මෙම වෙසක් උත්සවය තුළ බුදු සමයට අනුව පස් පව් දස අකුසල් වලින් බැහැර ඊට අදාල බහු විධ සංස්කෘතිකාංග උකහා ගත් දැහැමි සැනකෙළියක් ආලෝක මංගල්‍යයක් ලෙස භාවිතා කිරීමේ කිසිදු අයෝග්‍යතාවක් අපට නම් නොපෙනේ.

 

එමෙන්ම මෙහි අදත් බොහෝ දෙනකුට නොපෙනෙන ඉතා වැදගත් සමාජමය පක්ෂයක් ද තිබේ. එනම් වෙසක් උත්සවය තුළින් මෙවන් දැහැමි විනෝදාත්මක අංග ප්‍රවර්ධනය වීම මගින් ඒ සඳහා සෙසු ජන වාර්ගිකයන් ගේ හා ආගමිකයන් ගේ සහභාගීත්වය නොමඳව ම ලබා ගත හැකි වීමය. මේ වන විට නාගරික සේම අර්ධ නාගරික ප්‍රදේශවල ව්‍යාප්තව පවතින වෙසක් තොරණ, පහන් කූඩු, දන්සල් කෙරෙහි ආකර්ශනය වන්නේ හුදු බෞද්ධයෝම නොවෙති. අසිංහල සහ අබෞද්ධ යන කොටස් වෙසක් උත්සවය තුළ පවත්නා මෙම විචිත්‍රවත් සංස්කෘතියට කෙතරම් ඇළුම් කරන්නේ ද කිවහොත් ඔවුන් වෙසක් සැරසිලි සේම වෙසක් දන්සල් වලට සම්බන්ධ වීම සේම ඒවා පැවැත්වීම මගින් වත්මන් සමාජයේ ජාතික, ආගමික සහජීවනයට අත්වන පිටිවහල සුළු පටු නොවේ.

 107025969 vav

 

ඒ අනුව ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය වෙසක් උත්සවයේ මුඛ්‍යාර්ථය මත පදනම් වන දාන, ශීල, භාවනා ආදී හුදු ආගමික කටයුතු අතරේ මෙම වෙසක් සංස්කෘතිකාංග ද තව තවත් පිබිදිය යුතු බව අපගේ වැටහීම ය.

මෑත භාගයේ ශ්‍රී ලාංකේය බුදු සමය මුල් කොට ගත් සුවිසල් උද්දීපනය වූයේ 1956 වසරේ එළැඹි 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තියයි. මේ සඳහා සමාජයේ සෑම ජන කොටසක්ම විවිධාකාරයෙන් දායක වූ අතර එවක සමාජයේ “නගරං කාරයන්” ලෙස හැඳින්වුණු සැලකිය යුතු පිරිසක් 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල් කොට ‘බුදු සසුන බැබළේවා” යන වදන පපුවේත් දකුණු බාහුවේත් උඩ කොටා දාගැබක රූපයක්ත් පච්ච කොටා ගැනීමට පෙළඹුණු අතර එවක එය ඔවුන් අතරේ ජනප්‍රිය විලාසිතාවක් වූ බව අප අසා තිබේ.

 

 107031986 60715382 2165131996885646 562573095810891776 n
ඒ අනුව ලෝක වාසී බෞද්ධයන් ගේ අති උතුම් ආධ්‍යාත්මික සැමරුම වන වෙසක් උළෙල මුල් කොට ඉහත සඳහන් දැහැමි විනෝදාංශ තව දුරටත් ප්‍රවර්ධනය වීම ජාතික, ආගමික සුබ සිද්ධිය පිණිස හේතු වන බව අපගේ අවංක වැටහීම ය.

WhatsApp Image 2024 06 24 at 14.19.45(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...