එකල කොග්ගල හිරිගල් දේවාලය පසු කරමින් යන ජනතාවට එය කුමක්දැයි ඇතිවූ කුකුස මෙන්ම වැලිගම පසු කරමින් යන විට වැලිගම තානායම ඉදිරිපිට වැලිගම බොක්කට මුහුණලා පිහිටා ඇති මනරම් දිවයින දකින හැම පුද්ගලයකු තුළම එය කුමක්දැයි යන ගැටළුව ඇතිවේ.
මනරම් උද්‍යානයක් සහ සංචාරක නිවසකින් සමන්විත මෙම දූපතේ ඉතිහාසය වසර සියයකට වඩා වැඩිය.
වැලිගම මේ වන විට ඉතා ජනප්‍රිය සංචාරක කලාපයක් වුවා මෙන්ම ශතවර්ෂ ගණනාවකට පෙර සිට එය ඉතා වැදගත් නගරයක් වූ බව සංදේශ කාව්‍ය, පුරාවිද්‍යාඥයන්ට පවා නිවැරදි අර්ථකථනයක් දීමට තවමත් නොහැකි වූ කුෂ්ඨ රාජගල, සියවස් ගණනාවක් පැරණි මුස්ලිම් දේවස්ථානය සාක්ෂි සපයයි.

මොරිස් තල්වන්ඩ් කවුන්ට් වරයා ( Count Maurice Maria Talvande) ශත වර්ෂයකට පමණ පෙර කටු පඳුරු සහ පොල් ගස් පමණක් තිබූ කුඩා දුව මනරම් උද්‍යානයක් බවට පත්කළ පුද්ගලයාය. 1866 මාර්තු 21 වන දින උපන් ඔහු බැංකු කළමනාකරුවෙකු ලෙසද ප්‍රංශයේදී කටයුතු කොට ඇත. එංගලන්තයේ ස්ටැෆර්ඩ් හි හතරවන අර්ල් වරයාගේ දියණිය වූ ලේඩි මේරි එළිසබත් ඇග්නස් සමග ඔහු විවාහ වූයේය. බංකොලොත්භාවයට පත් වී සිටි ඔහු විවාහයත් සමගම එම තත්ත්වයෙන් මිදුණේය.

මොරිස් තල්වන්ඩ් කවුන්ට් වරයා 1910 දී පමණ මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ තේ වැවිලි වගාවේ ප්‍රමුඛයා වන සර් තෝමස් ලිප්ටන්ගේ ආරාධනයෙනි.
ඔහු ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන ලද අතර එහි දේශීය වඩුවන් දෙසීයක් පමණ සේවය කොට ඇත. පැරණි ගෘහ භාණ්ඩ එකතු කරන්නන් අතර එම ලී බඩු වලට තවම ඉතා ඉහළ ඉල්ලුමක් ඇත.
1925 දී ඔහු Weligama Local industries සමාගම ආරම්භ කළේය. 1930 දී පමණ ඇති වූ ලෝක ආර්ථික අවපාතයත් සමඟ එම සමාගමේ වැඩ කටයුතු වසර පහකට පමණ අත්හිටවා නැවතත් 1936 දී ආරම්භ කරන ලදී.

වැලිගම බොක්කට මුහුණලා කටු පඳුරු සහ පොල් ගස් කිහිපයක් පමණක් පිහිටි ගල්දුව නමැති මෙම දූපත ඔහු මිලදී ගන්නේ රුපියල් 250 කටය. ඒ වන විට දූපත වටා මනරම් දම්පැහැති කොරල් පරයකින් තිබිණි. 1927 පෙබරවාරි පලවනදා ඉදිකිරීම් සඳහා මුල්ගල තබා garden of taprobane නමින් නම් කොට දූපත සංවර්ධනය කරන ලදී.
මොරිස් තල්වන්ඩ් කවුන්ට් වරයා ග්‍රන්ථ තුනක් රචනා කොට ඇති අතර ඉන් එකක් පළවන ලෝක යුද්ධය පිළිබඳවත් ඉතිරි පොත් දෙක ශ්‍රී ලංකාව සහ උද්‍යාන අලංකරණය පිළිබඳවත් රචනා කර ඇත.

Gardening in ceylon සහ The Gardens of Taprobane එම පොත් දෙකයි. පිටු තුන්සිය විස්සකින් යුතු දෙවැනි පොත ලිවීම සඳහා පුරා මාස හයක කාලයක් ඔහු ගත කොට ඇත.
1941 මැයි මස 27 වන දින මොරිස් තල්වන්ඩ් කවුන්ට් වරයා යාපනයේදී අභාවප්‍රාප්ත වී ඇත.

1942 දී ඔහුගේ පුත් වික්ටර් ඇලෙක්සැන්ඩර් විසින් රුපියල් දොළොස් දහසකට විකුණන ලද මෙම දිවයින දෙස් විදෙස් හිමිකරුවන් රාශියක් අත හුවමාරු වී ඇත. ඒ අතර ප්‍රකට ඇමෙරිකානු ලේඛකයෙකු වන Paul Bowles අයර්ලන්ත ජාතික ලේඛකයකු වන Shun Mandy සහ බ්‍රිතාන්‍ය විසූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රැජිණ නීතිඥවරයෙකු වූ ඩෙස්මන් ද සිල්වා (ඔහු විවාහ වී සිටිය යුගෝස් ලෝවියානු කුමරියක වූ කැතරින් සමගය) වැනි සම්භාවනීය පුද්ගලයන් අත මෙම දිවයින හුවමාරු වී ඇත.
වර්තමානයේදීද ප්‍රකට ගායිකාවන් සහ සිනමා අධ්‍යක්ෂකවරුන් මෙම දිවයිනට පැමිණෙන බවට අන්තර්ජාලයේ තොරතුරු සඳහන් වේ.


(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
prasadrharischandra@gmail.com



